ඉන්දීය නිදහස් දිනය
නිදහස් දිනය | |
---|---|
Observed by | ඉන්දියාව |
Type | ජාතික නිවාඩු දින |
Celebrations | ධජය එසවීම, පෙළපාළි, දේශානුරාගී ගී සහ ජාතික ගීය ගැයීම , ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දියාවේ ජනාධිපතිවරයා විසින් කථා පැවැත්වීම |
Date | 15 අගෝස්තු |
1947 අගෝස්තු 15 වන දින බ්‍රිතාන්‍යය පාලනයෙන් ජාතික නිදහස දිනා ගැනීම අනුස්මරණය කිරීම පිණිස සමරන, නිදහස් දිනය ඉන්දියාවේ ජාතික නිවාඩු දිනයකි. ඉන්දීය ජාතික කොන්ග්‍රසය මගින් ගෙන ගිය අවිහිංසාවාදී විරෝධතා සහ මහජන කෝලහාල ඉන්දියාව නිදහස දිනා ගැනීමට ප්‍රධාන වශයෙන් මූලික විය.නිදහසට සමගාමීව බ්‍රිතාන්‍යය - ඉන්දීය අධිරාජ්‍ය ආගමික විශමතා හේතුකොට ගෙන ඉන්දියාව සහ පාකිස්තානය වශයෙන් බෙදීමකට ලක්විය. මෙහිදී අති වු උග්‍ර කලකෝලහල හේතුකොට ගෙන විශාල පිරිසක් විපතට පත්විය.
ජාතික කොඩිය එසවීමේ උත්සවය දිල්ලි නගරයේ රතු කොටුවේ සිදුවන අතර මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ජාතික කොඩිය ඔසවා ජාතිය ඇමතීම සිදු කරනු ලබයි. මෙදින රට පුරා කොඩි එසවීමේ උත්සව, පෙලපාලී සහ විවිධ සංස්කෘතික උත්සව දැකගත හැක. ඉන්දියානු ජනතාව තම නිදහස සමරන්නේ සිය ඇඳුම් ආයිත්තම්, වාහන සහ නිවෙස් වල ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීමෙන්, ජාත්‍යාලය දනවන චිත්‍රපට සහ ගීත ඇසීමෙන් සහ තම නෑදෑ හිතමිත්‍රාදීන් සමඟ සම්බන්ධතා වැඩි දියුණු කිරීම ආදී කටයුතු වල නිරත වීමෙනි. නිදහස් දිනය වර්ජනය කිරීමට සහ ඊට විරෝධය පෑමට බෙදුම්වාදීන් සහ යුධ කාමීන් විසින් නිරන්තරයෙන් අගෝස්තු 15 සහ ඒ ආශ්‍රිත දින වල ත්‍රස්ත ප්‍රහාර එල්ල කරනු ලබන අතර අනෙකුත් පිරිස් හර්තාල් සහ කළු කොඩි ව්‍යාපාර මගින් නිදහස් දින උත්සව සැමරීම් පිටු දැකීමට කටයුතු කර ඇත.
ඉතිහාසය
[සංස්කරණය]17 වන සියවස වන විට යුරෝපීය වෙළෙන්දන් විසින් ඉන්දීය අර්ධද්වීපයේ මුර පොලවල් පිහිටුවා ගෙන තිබුණි. නැගෙනහිර බ්‍රිතාන්‍ය වෙළඳ සමාගම විසින් සිය ප්‍රබල යුධ බලය යොදාගනිමින් 18 වන සියවස වන විට එවකට පැවති ඉන්දීය රාජය්‍යන් මැඩ පවත්වා සිය අණසක පතුවරන ලදී. ඉන්පසුව 1857 වර්ෂයේ දී ඇතිවූ කැරැල්ල නිසා, ඉන්දීය රාජය්‍ය පනත නම් වු බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු පනත යොදා ගනිමින් බ්‍රිතාන්‍යය අධිරාජ්‍ය, ඉන්දීය පාලනය සියතට ගන්නා ලදී. ඉන්පසු ගෙවී ගිය දශක කිහිපය ඇතුළත ඉන්දියාව තුළ ප්‍රජා සමාජය ක්‍රමක්‍රමයෙන් ගොඩනැගෙන්නට විය. මින් වඩාත්ම කැපී පෙනුනේ ඉන්දීය ජාතික කොන්ග්‍රසය 1885 වර්ෂයේ දී පිහිටු වීමයි. 1 වන ලෝක යුද්ධයෙන් පසු කාලය තුළ සිදු වු වැදගත්ම සිදුවීම වුයේ මොන්ටාගූ කෙම්ස්ෆෝර්ඩ් නම් බ්‍රිතාන්‍ය ප්‍රතිසංස්කරණ ස්ථාපිත වීමයි. මෙයට අමතරව මෙම සමය තුළ රොව්ලට් පනත පිහිටු වීම සහ ඉන්දියානු වන් ස්වයං පාලනයක් ඉල්ලා කළ බලපෑම් ද වැදගත් තැනක් ගනී.මෙම කාල සීමාව තුල ජනතාව තුළ පැවති අතෘප්තිය විදහා දක්වමින් ඉන්දියාව පුරාම අවිහිංසාවාදී සහයෝගීතා වර්ජන සහ මහජනයා අයබදු ගෙවීමෙන් ද වැළකී සිටියහ. මෙම ව්‍යාපාරයේ නියමුවා වුයේ මොහාන්දාස් කර්ම්චන්ද් ගාන්ධි ය.
ඉන්පසු දශකය 2වන ලෝක යුද්ධයට ඉන්දියාවේ සහභාගීත්වය, ඉන්දීය කොන්ග්‍රසයේ ස්වයංපාලනය ඉල්ලා කල අවසන් ප්‍රයත්නයන් සහ මුස්ලිම් ජනතාවගේ නැගීසිටීම යනාදී දේශපාලනික ආරවුල් වලින් පීඩිත එකක් විය.මෙසේ වර්ධනය වෙමින් ආ දේශපාලනික පීඩනය යටපත් වුයේ 1947 දී ඉන්දියාවට නිදහස ලැබීමත් සමඟ ය. නිදහස ලැබීමෙන් පසු උග්‍ර ගැටුම් හා කලකෝලහල මැද අර්ධද්වීපය ඉන්දියාව සහ පාකිස්ථානය වශයෙන් බෙදන ලදී.
නිදහසට පෙර නිදහස් දිනය
[සංස්කරණය]1929 වර්ෂයේ ලාහෝරයේ පැවති ඉන්දීය ජාතික කොන්ග්‍රස් සැසියේදී ඉන්දියාව පූර්ණ ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් වූ අතර ජනවාරි 26 වන දින නිදහස් දිනය ලෙස නම් කරන ලදී. මෙහිදී කොන්ග්‍රසය විසින් ජනතාවගෙන් අයබදු නොගෙවීමටත් තම සංවිධානය විසින් වරින් වර නිකුත් කරන උපදෙස් පිළිපැදීමටත් ප්‍රතිඥා ගත්හ.1930 ත් 1947 ත් අතර කාල පරාසය තුලදී මෙලෙස කොන්ග්‍රසය විසින් ජනවාරි මස 26 වන දින නිදහස සමරන ලද අතර මෙම සැමරුම් වල කැපී පෙනෙන අංගයක් වූයේ සහභාගී වූවන් විසින් ලබා දුන් නිදහස පිළිබඳ ප්‍රතිඥාවන්ය. ජවහර්ලාල් නේරු විසින් රචිත ආත්මචරිතකථනයහි සඳහන් ආකාරයට මෙම රැස්වීම් සාමකාමී, සන්සුන් වූ අතර "කථන සහ අනුශාසන වලින් තොර විය".රැස්වීම්වලට අමතරව දිනය ගෙවුණු ආකාරය පිළිබඳ මහත්මා ගාන්ධි ගේ දැක්ම වූයේ "..බැමවීම හෝ කුලහීනයන් ට සේවය කීරීම වැනි ප්‍රයෝජනවත් කාර්යයන්හි නිරත වීම හෝ හින්දූන් සහ මුස්ලිම්වරුන් ගේ ප්‍රතිසංගමය හෝ වැඩ තහනම් කිරීම හෝ මේ සියල්ලගේම සංයෝජනයක්.." ලෙසිණි. 1947 දී තත්‍ය නිදහස ලැබීමෙන් පසු; 1950 ජනවාරි මස 26 වන දින සිට සහ ඉන් ඉදිරියට ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලගැන්වූ අතර, එදින සිට ජනවාරි 26 ජනරජ දිනය ලෙස සමරනු ලබයි.
පසුබිම
[සංස්කරණය]1946 වර්ෂය වන විට මෑතකදී නිමාවූ 2වන ලෝක යුද්ධය නිසා සිය භාණ්ඩාගාරය හිස් ව ඇති බව එවකට පාලනයේ සිටි බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට වැටහිණි. ඉන්දියාවේ දිගින් දිගටම වර්ධනය වෙමින් පැවති කලහකාරී තත්වය තවදුරටත් මර්දනය කිරීමට අවශ්‍ය සිය ඡන්ද දායකයන්ගේ කැමැත්තවත්, ජාත්‍යන්තර සහයෝගයවත්, බ්‍රිතාන්‍යය-ඉන්දීය හමුදාවේ විශ්වසනීයත්වය වත් නොමැති බව තවදුරටත් ඔවුන් තේරුම් ගත්හ. එබැවින් 1947 පෙබරවාරි මාසයේදී එවකට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යව සිටි ක්ලිමෙන්ට් ඇට්ලී විසින් 1948 ජූනි 28 වන විට බ්‍රිතාන්‍යය-ඉන්දියාවට සම්පූර්ණ ස්වයං පාලනයක් ලබා දෙන බවට ප්‍රකාශයට පත් කරන ලදී.
ඉන්දීය කොන්ග්‍රසය සහ මුස්ලිම් සංවිධානය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් මධ්‍යම රජය බිඳවැටේ යැයි විශ්වාස කළ නව ප්‍රතිරාජයා වූ ලුවිස් මවුන්ට්බැට්න්ට බලය පැවරීමේ දිනය තව දුරටත් ඉදිරියට ගෙන ඒමට කටයුතු කළේය. ඔහු විසින්, ජපානය 2වන ලෝක යුද්ධයෙන් සිය යටත් වීම ප්‍රකාශ කොට දෙවසරක් ගතවීමේ සංවත්සරය, එනම් අගොස්තු 15 මෙම බලය පැවරීම සඳහා තෝරා ගන්නා ලදී. ඉන්පසු 1947 ජූනි මස 3 වන දින බ්‍රිතාන්‍යය රජය විසින්, බ්‍රිතාන්‍යය-ඉන්දියාව කොටස් දෙකකට බෙදීමේ යෝජනාවට සිය එකඟත්වය ප්‍රකාශ කළහ. මෙසේ වෙන් වන රාජ්‍ය දෙක හට ආධිපත්‍යභාවය හිමි වූ අතර බ්‍රිතාන්‍යය පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වීමේ සම්පූර්ණ අයිතිය ද ලැබිණි.මේ අනුව එක්සත් රාජධානි පාර්ලිමේන්තුව,1947 ඉන්දීය නිදහස් පනත ට අනුව බ්‍රිතාන්‍යය-ඉන්දියාව, ඉන්දියාව සහ පාකිස්ථානය(වර්තමාන බංග්ලාදේශයද ඇතුළත්)ලෙස ස්වාධීන රජ්‍ය දෙකකට බෙදන ලද්දේ 1947 අගෝස්තු 15 වන දිනයි.මෙම පනතට බ්‍රිතාන්‍යය රාජ්‍ය අනුමැතිය ලැබුණේ 1946 ජුලි මස 18 වන දිනයි.
නිදහස සහ බෙදීම
[සංස්කරණය]පෙ.ව. 8.30 නිළ නිවසේදී අග්‍ර ආණ්ඩුකාරවරයා සහ ඇමතිවරුන්ගේ දිවුරුම් දීම
පෙ.ව. 9.40 ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයට ඇමතිවරුන්ගේ පෙළගැස්ම
පෙ.ව. 9.50 ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයට රාජකීය ගමන
පෙ.ව. 9.55 අග්‍ර ආණ්ඩුකාරවරයාට රාජකීය ආචාරය
පෙ.ව. 10.30 ජාතික ධජය එසවීම
පෙ.ව. 10.35 නිළ නිවසට රාජකීය ගමන
ප.ව. 6.00 ඉන්දියානු ද්වාරයේදී පවත්වන කොඩි එසවීමේ අවස්ථාව
ප.ව. 7.00 ප්‍රදීපාලෝකනය
ප.ව. 7.45 ගිනිකෙළි සංදර්ශනය
ප.ව. 8.45 නිළ නිවසේ රාත්‍රී භෝජනය
ප.ව. 10.15 පිළිගැනීම
මිලියන සංඛ්‍යාත හින්දූන්, මුස්ලිම්වරුන් සහ සික් ජාතික සරණාගතයින් නිදහස ප්‍රකාශයට පත් වූ කාල සීමාව තුල තම ගම් බිම් අත්හැර නව දේශසීමා හරහා ගමන් ගත්හ. පන්ජාබ් ප්‍රදේශය දෙකඩ වන ලෙස බෙදීම හේතුකොට ගෙන විශාල ලේ වැගිරීම් සිදුවිය. බිහාර් සහ බෙන්ගාලයේ මහත්මා ගාන්ධි ගේ බලපෑම හේතුකොට ගෙන ජාතිවාදි ගැටුම් සහ ප්‍රචණ්ඩත්වය යම් තාක් දුරකට මඳ විය. මෙකී ප්‍රචණ්ඩත්වය හේතුකොට ගෙන දෙපාර්ශවයේම 250,000 - 1,000,000 අතර පිරිසකට සිය ජීවිත අහිමි විය. මුළු දේශයම නිදහස සමරද්දී මහත්මා ගාන්ධී කල්කටාවේ රැඳුණේ සංහාරය වළක්වන අටියෙනි. 1947 අගෝස්තු 14 වන දින පාකිස්තානයේ නිදහස් දිනය ලෙස ප්‍රකාශයට පත් වූ අතර, එදින කරච්චි නුවර දී නව අග්‍රාණ්ඩුකාර තුමා ලෙස මුහම්ම්ද් අලි ජින්නා දිවුරුම් දුනි. එදිනම මධ්‍යම රාත්‍රියේදී ජවහර්ලාල් නේරු විසින් ඉන්දියාවේ නිදහස ප්‍රකාශිත කරමින්, "Tryst with destiny" නම් සිය ලෝකප්‍රකට කථාව පවත්වන ලදී.
ඈත අතීතයේ අපි අපගේ දෛවය සමඟ ගිවිසුමක් ඇති කර කරගත්තෙමු. දැන් අපගේ පොරොන්දු ඉටු කිරීමට කාලය එලඹ ඇත. සම්පූර්ණයෙන් නොවුනත්, ඉතා වැදගත්ව එය කල යුතුව ඇත. මුලු ලොවම නිදිගත් මෙම රාත්‍රියේ, 12 කණිසම වදින විට ඉන්දියාව සිය නිදහස සහ ජීවය ලබා අවධිවනු ඇත. අපි අතීතයෙන් අනාගතයට පියමන් කරන, සියවසක අවසානය ලකුණු කරන සහ දිගු කලක් නිහඬ කරන ලද දේශයක ආත්මය නැගීසිටන දිනයක් පැමිණෙනු ඇත. එමනිසා මෙම අවස්ථාවේ වඩාත් සුදුසු වන්නේ අප විසින් ඉන්දීය මාතාවට, රටවැසියනට සහ මනුෂ්‍යත්වයට කැපවීමෙන් සේවය කිරීමට අධිෂ්ඨාන කරගැනීමයි..
— Tryst with Destiny කථාව, ජවහර්ලාල් නේරු, 1947 අගෝස්තු 15
නව දිල්ලි නුවර උත්සව පැවත්වෙද්දී ඉන්දියාව ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය. ජවහර්ලාල් නේරු හට නිදහස් ඉන්දියවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධූරය හිමි වෙද්දී මවුන්ට්බැට්න් සාමිවරයා අග්‍රාණ්ඩුකාරවරයා ලෙස පත්විණි. නිදහස සමරන ජනතාව මහත්මා ගාන්ධි ගේ නම සිහිපත් කළ නමුත් මහත්මා ගාන්ධි මෙම උත්සව සැමරුම් වලට සහභාගී නොවීය. එවෙනුවට ඔහු කළේ පැය 24 ක උපවාසයක් රැකීම සහ ඒ අතරතුර කල්කටා නගරයේ ජනතාව අමතා හින්දූන් සහ මුස්ලිම්වරුන් අතර සාමය සුරැකීමට ඔවුන්ව දිරිගැන්වීමයි.
උත්සවාංග
[සංස්කරණය]සියලුම ප්‍රාන්ත වල සමරන නිදහස් දිනය, ඉන්දියාවේ ජාතික නිවාඩු දින 3න් එකකි.( අනෙක් දෙක වන්නේ ජනවාරි 26 වන දින සමරන ජනරජ දිනයත් ඔක්තෝම්බර් මස 2 වන දින සමරන මහත්මා ගාන්ධී ගේ ජන්ම දිනයත්ය.) නිදහස් දිනයට පෙර දින සන්ධ්‍යාවේ ඉන්දියාවේ ජනාධිපති විසින් ජාතිය අමතා සිය කතාව සිදු කරනු ලබයි. අගෝස්තු 15 වන දින අග්‍රාමාත්‍යවරයා දිල්ලි නුවර රතුකොටුවේ ප්‍රාකාරය මත ජාතික ධජය එසවීම සිදු කරයි. මෙහිදී වෙඩි මුර 21 ක් පවත්වනුයේ මෙම උත්සවයේ ගාම්භීරත්වය සලකුණු කීරීම පිණියි. අග්‍රාමාත්‍යවරයා සිය කතාවේදී ගෙවී ගිය වසර තුල ලද ජයග්‍රහණ, පවතින ගැටලු සහ ඉදිරි සංවර්ධන ඉලක්කයන් ඉස්මතු කරන අතර නිදහස් අරගලයේ නායකයින් හට සිය ගෞරවය පිරිනැමීම ද සිදු කරයි. " ජන ගන මන" ලෙසින් පටන් ගන්නා ඉන්දීය ජාතික ගීය මෙහිදී ගැයෙන අතර ඉන්පසු ඉන්දීය යුධ හමුදාවල සහ අනෙකුත් ඒ හා සමාන බළඇණිවල ආචාර පෙළපාළි ගමන් ගනී. විවිධ වූ සරඹ සංදර්ශන සහ පෙළපාළි මගීන් ඉන්දීය නිදහස් අරගලයේ විශේෂ සිදුවීම් සහ විවිධ සංස්කෘතික අංග ගෙනහැර පායි. මේ හා සමාන වූ උත්සව සියලුම ප්‍රාන්ත අගනගර වල සිදු වන අතර එම නගර වල මහ ඇමති ජාතික ධජය ඔසවන අතර ඉන්පසු විවිධ වූ සංදර්ශන සහ පෙළපාළි දැකගත හැක.
රට පුරා රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සහ පාසල්වල ජාතික ධජය එසවීමේ උත්සව සහ විවිධ සංස්කෘතික අංග නිරීක්ෂණය කළ හැක. ප්‍රධාන රාජ්‍ය ආයතන බොහොමයක් විදුලි බුබුළු වල අලෝකයෙන් හැඩගනී. දිල්ලි සහ තවත් නගර කිහිපයක පමණක් දැකිය හැකි සරුංගල් යැවීම මෙම උත්සවය තවත් හැඩ ගන්වයි. ඉන්දීය වැසියන් සිය ජාතික ධජයේ ප්‍රාධාන වර්ණ 3 නිරූපණය වන අයුරින් සිය නිවෙස්, වාහන සහ ඇඳුම් පැළඳුම් වර්ණවත් කරනු දැකිය හැක.
ඉන්දීය ඩයස්පෝරාව, ඉන්දීය ජාතිකයන් වැඩි වශයෙන් වෙසෙන පෙදෙස් වල විවිධ සංදර්ශන සහ පෙළපාළි මගින් තම නිදහස් දිනය සමරනු ලෝකයේ නොයෙක් තැන්වල දැකගත හැක. නිව්යෝර්ක් නුවර සහ ඇමෙරිකාවේ අනෙකුත් සමහරක් නගරවල අගෝස්තු 15 "ඉන්දීය දිනය" වශයෙන් ඩයස්පෝරාව සහ එරට දේශිකයින් අතර ප්‍රසිද්ධියට පත්ව ඇත.
ආරක්ෂක ක්‍රියාමාර්ග
[සංස්කරණය]නිදහස ලබා අවුරුදු 3ක් වැනි කෙටිකාලයක් නික්ම යත්ම නාග ජාතික කවුන්සලය නිදහස් දිනය උතුරු නැගෙනහිර පළාතේ වර්ජනය කිරීමට පියවර ගන්නා ලදී. 1980 වන විට මෙම ප්‍රදේශයේ බෙදුම්වාදී විරෝධතා උත්සන්න විය. ඇසෑම් හි එක්සත් විමුක්ති පෙරමුණ, බෝදෝලන්තය හි ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වැනි සංවිධාන මඟින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර සහ වර්ජන ව්‍යාපාර නිදහස් දින සැමරුම් උත්සවවලට බාධා පමුණුවන්නට විය. 1980 අග භාගයේ ජම්මු හා කාශ්මීර් ප්‍රදේශ වල කැරලි උත්සන්න විය. බෙදුම්වාදී කැරලිකරුවන් එම ප්‍රදේශවල උද්ඝෝෂණ, කළු කොඩි ව්‍යාපාර සහ කොඩි ගිනි තැබීම් ආදිය කරමින් නිදහස් දිනයට සිය විරෝධය පෑහ. ලෂ්කර් ඊ තයිබා, හිස්බුල් මුජාහිදීන් සහ ජයිශ් ඊ මොහොම්ඩ් වැනි ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධාන නිදහස් දිනය අශ්‍රිතව විවිධ තර්ජන සහ ප්‍රහාර එල්ල කර තිබේ. මීට අමතරව මාඕයිස්ට් කැරලිකාර සංවිධානය විසින්ද නිදහස් දිනය වර්ජනය කිරීමට උපදෙස් නිකුත් කර ඇත.
ඉස්ලාම් යුද්ධකාමීන්ගෙන් ත්‍රස්ත ප්‍රහාරවලට පෙර සුදානම් පියවර ලෙස මුම්බාය සහ දිල්ලිය වැනි ප්‍රධාන නගරවලත් කලබල පවතින ජම්මු හා කාශ්මීර් වැනි ප්‍රදේශවලත් ආරක්ෂාව මෙම කාලයේදී තරකරනු දැකිය හැක. මීට අමතරව ගුවනින් සිදුවිය හැකි ප්‍රහාර වළක්වා ගැනීමට රතු කොටුව ආශ්‍රිත ගුවන් කාලාපය තහනම් පියාසැරි කලාපයක් ලෙස නම් කරන අතර අනෙකුත් නගරවල පොලිස් මුරකාවල් තරකරනු ලබයි.
සංස්කෘතිය
[සංස්කරණය]නිදහස් දිනයේදී, ගුවන් විදුලියේ සහ රූපවාහිනී නාලිකා වල දේශමාමක ගීත හින්දි භාෂාවෙන් සහ අනෙකුත් ප්‍රාදේශීය භාෂාවන්ගෙන් විකාශනය වනු ඇසිය හැක. මීට අමතරව මෙම ගීත ධජය එසවීමේ උත්සව අවස්ථාවලද වාදනය වේ. මේ අකාරයටම දේශමාමක චිත්‍රපටද විකාශනය වූ නමුදු වර්තමානය වන විට එසේ විකාශනය වන චිත්‍රපට ගණන අඩු වී ඇතැයි ඉන්දියාවේ ටයිම්ස් පුවත්පත වාර්තාකරයි. මෙයට හේතුව ලෙස ඔවුන් ගෙනහැර දක්වන්නේ දේශමාමක චිත්‍රපට දිගින් දිගටම පෙන්වීමෙන් ප්‍රෙක්ෂකයින් ගේ රුචිය අඩු වී ඇති බවයි. Y පරම්පරාවට අයත් පිරිස් ජාතිමාමකත්වය නවීන සංස්කෘතියට එකාබද්ධ කරමින් සැමරීම් සිදුකරයි. මෙම සම්මිශ්‍රණයට උදාහරණ වන්නේ ඉන්දියාවේ විවිධ සංස්කෘතික සම්ප්‍රදායන් නිරූපණය කරන ඇඳුම්, ඉන්දීය ධජයේ වර්ණ 3න් පාටගැන්වූ ආහාර සහ සළුපිලියි. වෙළෙඳසැල්වල මෙම කාලය තුළ විවිධ වෙළෙඳ ප්‍රවර්ධන කටයුතු සිදුකෙරෙන අතර පුවත් පත් වාර්තා කීපයක්ම මෙම වාණිජකරණය හෙළාදැක ඇත.
ඉන්දියානු තැපැල් සේවය අගොස්තු 15 වන දිනට සමගාමීව නිදහස් සටනේ නායකයන්, දේශාභීමනී තේමාවන් සහ රාජ්‍ය ආරක්ෂාව තේමාකරගත් අනුස්මරණ මුද්දර නිකුත් කිරීම සිදු කරයි.නිදහස සහ ඉන්දීය පාකිස්තාන් බෙදීම, සාහිත්‍ය සහ වෙනත් කලාත්මක නිර්මාණ බිහිවීම දිරිගන්වන්නක් විය. එවැනි බොහොමයක් නිර්මාණ දේශයන්ගේ බෙදීම නිසා අහිමි වූ ජීවිත පිළිබඳව සටහන් කරයි. බුකර් සහ බුකර් ඔෆ් බුකර්ස් වැනි සම්මානවලින් පිදුම් ලද සල්මාන් රුෂ්දීගේ මිඩ්නයිට් චිල්ඩ්‍රන්(1980) නම් කෘතිය 1947 අගෝස්තු 14-15 මධ්‍යම රාත්‍රීයේ උපන් ඉන්ද්‍රජාලික හැකියාවන් සහිත ළමුන් වටා ගෙතී ඇත. ලැරී කොලින්ස් සහ ඩොමින්ක් ලේපියර් විසින් රචිත ෆ්‍රීඩම් ඇට් මිඩ්නයිට්(1975)කෘතිය 1947 පළමු නිදහස් දිනය ආශ්‍රිතව සිදු වු සිදුවීම් වාර්තා කරන කෘතියකි. නිදහස පිළිබඳ ගොඩනැගී ඇති චිත්‍රපට වලින් කිහිපයක් පමණක් නිදහස ලබා ගැනීමේ මොහොත මධ්‍යස්ථ කරගත් ඒවා වන අතර බොහොමයක් නිරූපණය කරන්නේ ඉන්දියාවේ දෙකඩවීම සහ ඉන්පසු ඇතිවු විපාක පිළිබඳවයි.ගූගල් සමාගම විසින් එහි ඉන්දීය පිටුවේ, නිදහස අනුස්මරණය කිරීමට 2003 වර්ෂයේ සිට ඩූඩ්ල් එකක් යොදාගෙන ඇත.