ඇවිදීම හා කඳවුරු බැඳීම

විකිපීඩියා වෙතින්

Hiking, Trekking, Camping නැතිනම් විනෝදයට ඇවිදීම හා කඳවුරු බැඳ රාත්‍රී ගත කිරීම ලංකාවේ ජනප්‍රිය වෙමින් යන විනෝද ක්‍රියාවක්. නිවාඩුවක් ලැබුනම හයිකින් හා කෑම්පින් යන්න කැමති තරුණ තරුණියන් සෑහෙන පිරිසක් ලංකාවේ ඉන්න බව හයිකින් / බැක්පැකින් ෆේස්බුක් සමූහවල සාමාජිකත්වය අරගෙන තියෙන ප්‍රමාණයෙන් වගේම එයාලා අහන ප්‍රශ්ණ හා ඇතිවන සංවාද වලින් හිතාගන්න පුලුවන්.

හයිකින්, බැක්පැකින්, ට්‍රෙකින්[සංස්කරණය]

ඉස්සෙල්ලම අපි හයික් එකක් හා බැක්පැකින් වල වෙනස වටහාගමු. ඒවගේම මේ දෙකම, ට්‍රෙකින් කියන එකෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලත් දැනගනිමු.[1]

හයිකින් (විනෝදයට ඇවිදීම)[සංස්කරණය]

හයිකින් නැතිනම් හයික් එකක් කියන්නේ සාමාන්‍යයෙන් පිටත්වෙලා, ඇවිදලා ආපහු රාත්‍රියට ඉස්සෙල්ලා නවාතැනට එන්න පුලුවන් එක දවසක් ඇතුලත ඉවර කරන්න පුලුවන් ඇවිදීමක්. උදාහරණයක් විධියට හෝර්ටන් තැන්නේ ලෝකාන්තය බලලා ආපහු එන එක හයික් එකක් විධියට ගන්න පුලුවන්.

ගොඩක් වෙලාවට හයික් එකක් සිද්ධවෙන්නේ පිටිසර නැතිනම් ඈත පලාත්වල වුනත්, හයිකින් වලදී නිතරම කලින් හඳුනාගත්, සළකුණු කල මාවත් (ට්‍රේල්) භාවිතා කරනවා. මේ මාවත් පිටිසර ගුරු පාරවල්, අඩි පාරවල් වගේම, විශේෂයෙන් සළකුණු කරනලද කැලෑ මංපෙත් (ෆොරස්ට් ට්‍රේල්) වෙන්න පුලුවන්. ඔබ හෝර්ටන් තැන්නේ ලෝකාන්තය වෙත යනකොට හරි සිංහරාජ වනයේ ඇවිදිනකොට හරි භාවිතා කරන්නේ සළකුණු කරනලද මංපෙත්.

මේ නිසා හයික් එකක් අණතුරුදායක බවින් වගේම වෙහෙසකර බවින්ද අඩුයි. හැබැයි ඒ මංපෙත් නිවැරදිව සළකුණු කරලා තියෙන සිතියමක් හරි හොඳ ජංගම ජී.පී.එස් යන්ත්‍රයක් හරි ගෙනියන එක වඩාත් සුදුසුයි. නැතිනම් මංපෙත් වැරදිලා අතරමං වෙන්න පුලුවන්.

බැක් පැකින්[සංස්කරණය]

බැක් පැකින් කියන්නේ දින දෙකතුනක් ගතවන, රාත්‍රිය කූඩාරම්තුල ගතකරමින් යන දිග හයික් එකකට. බැක් පැකින් යනකොට කූඩාරම්, රාත්‍රියට නිදන ස්ලීපින් බෑග්, ආහාර පිසගන්න උපකරණ හා උදුන් වගේ උපකරණ රාශියක් සහිත විශාල බෑග් පිටේ එල්ලගෙන යන්න වෙනවා. බැක් පැකින් යනකොට, සෑහෙන්න සැළසුම් කරලා යන්න වෙනවා.

ඒවගේම රාත්‍රිය ගතකරන තැන්වල ආරක්ෂාව, වනසතුන් හා සර්පයින්ගෙන් සිදුවිය හැකි අණතුරු පිලිබඳවත් සැලකිලිමත් වෙන්න වෙනවා. ප්‍රථමාධාර කට්ටල, ජලය පිරිසිදු කිරීමේ කට්ටල, සර්පයින් දෂ්ඨකලවිට ගතයුතු ඇන්ටි-වෙනම් (ප්‍රතිවිෂ ) ඉන්ජෙක්ෂන්, උයන පිහින උදුන් හා උපකරණ වගේ දේවල් නිසිලෙස සැළසුම් කරන්න ඕනෑ.

මේ නිසා බැක්පැකින් කරනකොට ඒගැන හොඳ පලපුරුද්දක් තියෙන අය සම්බන්ධ කරගන්න එක හොඳයි. නැතිනම් කැලේ අතරමන් වෙලා බොහෝ කරදර සිද්ධවෙන්න පුලුවන්.

ට්‍රෙකින්[සංස්කරණය]

ට්‍රෙකින් කියන්නේ වඩාත් දුෂ්කර, මිනිස් වාසයෙන් තොර පෙදෙස්වල දින ගණනාවක් බැක්පැකින් ආකාරයෙන් ගමන් කිරීම. ට්‍රෙකින් ඉතාම වෙහෙසකර වෙන අතර ඒ සඳහා හොඳ පළපුරුද්දක් ඇති වියයුතු වගේම, ඒවගේම හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුවෙන්න ඕනෑ. කිසිවිටකත් ආධුනිකයින් සමග ට්‍රෙකින් සැළසුම් නොකල යුතුයි.

හයිකින් හෝ බැක්පැකින් සංචාරයක් සඳහා උපකරණ[සංස්කරණය]

හයිකින්, බැක්පැකින් හා ට්‍රෙකින් සඳහා විශේෂිත උපකරණ තිබෙනවා. බටහිර රටවල මේ භාණ්ඩ විකිණීම සඳහා විශේෂිත ඊ-කොමර්ස් අඩවි හා වෙළඳසැල් තිබෙනවා. එහෙත් ඒවා මිලෙන් අධිකයි. ලංකාවේ එවැනි ස්තාන හිඟවුනත් මෑතකදී බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටුවා ඇති ජාත්‍යන්තර සන්නාමයක් සහිත වෙළඳ ආයතනයකින් (නම සඳහන් කල නොහැකියි) හොඳ ප්‍රමිතියේ මෙවැනි උපකරණ ගන්න පුලුවන්. [2]

කෙසේවෙතත් ඔබගේ පලමු හයිකින් සංචාර සඳහා එතරම් වියදමක් නොමැතිව ඇඳුම් හා උපකරණ සූදානම් කරගත හැකියි.[3]

ඇඳුම්[සංස්කරණය]

කාකි පැහැයෙන්, කපු රෙද්දෙන් නිමැවූ කාගෝ පෑන්ට්ස් (cargo pants) වර්ගයේ දිග කලිසම් සුදුසුයි. කාකි හෝ අඳුරු වර්ණ වඩා ගැලපෙනවා. තද හෝ දීප්තිමත් වර්ණ ඇඳුම් භාවිතා නොකරන්න. කොට කලිසම් ඇඳීමෙන් වලකින්න. වනගත පෙදෙස්වල ඇවිදින විට කැපීම්, සීරීම් වලක්වාගැනීමට මෙය වැදගත්.

සපත්තු[සංස්කරණය]

ඝණ රබර් අඩියක් සහිත සම් හෝ කැන්වස් සපත්තු වඩාත් සුදුසුයි. විශේෂයෙන් සැකසූ හයිකින් බූට්ස් ගත හැකිනම් වඩාත් හොඳයි. එහෙත් එලිමහනේ වැඩ කිරීමට යොදාගන්නා ගම්-බූට්ස් පැළඳීම නුසුදුසුයි. ඒවා පැලඳගෙන දුර ඇවිදීම අපහසු විය හැකියි.

කූඩැල්ලන්ගෙන් ආරක්ෂාවීමට "ලීච් සොක්ස්" මේස්[සංස්කරණය]

සිංහරාජය, කන්නෙලිය වැනි තෙත් වනාන්තරවල ඇවිදින්නන්ට කූඩැල්ලන්ගෙන් ගැහැට සිදුවනවා. විශේෂයෙන් කාන්තාවන් කූඩැල්ලන්ට විශාල බියක් දක්වනවා. කූඩැල්ලන්ගෙන් ආරක්ෂාවීමට පරණ දිග කලිසමක් ආධාරයෙන් ගෙදරදීම කූඩලු මේස් යුගලක් හෙවත් ලීච් සොක්ස් කුට්ටමක් හදාගන්න පුලුවන්. කූඩලු මේස් යුගලක් හදාගන්න විධිය වගේම කූඩැල්ලුන් එල්ලීම වලක්වන ප්‍රතිකර්ම, කූඩැලු තුවාලවලට ප්‍රථමාධාර ගැනත් මේ ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්.[4]

සිතියම්, ජී.පී.එස් යන්ත්‍ර හා මාලිමා යන්ත්‍ර[සංස්කරණය]

නොදන්නා පෙදෙසක, මගපෙන්වන්නෙකු හෝ ට්‍රැකර් කෙනෙකු නොමැතිව ජංගම දුරකථනවල ගූගල් මැප්ස් ආධාරයෙන් මග සොයාගෙන යාහැකි යයි සිතීම විශාල මුළාවක්. පලමුවෙන්ම ජංගම දුරකථනයක ගූගල් මැප්ස් ක්‍රියාත්මකවීමට ඔබට දත්ත සම්බන්ධතාවයක් (data link) තිබිය යුතුයි. ඈත පලාත්වල දත්ත සබඳතා ඉතාමත් දුර්වල බව මතක තබාගෙන, මග සොයාගැනීම සඳහා ජී.පී.එස් යන්ත්‍රයක් හෝ සිතියම්, මාලිමාවක් ගෙනයා යුතුයි.

ජී.පී.එස් යන්ත්‍ර ඉතා ප්‍රයෝජනවත් නමුත් එම ප්‍රයෝජනය බැටරිය පණ ඇති තාක් පමණක් වෙනවා. එමෙන්ම වනාන්තරවලදී උස් ගස්වල උඩුවියනෙන් අහස ආවරණවී ඇති අවස්ථාවල චන්ද්‍රිකා සබඳතාවය අවහිරවීමේ අවදානම තිබෙනවා.

එමනිසා සිතියම් හා මාලිමා යන්ත්‍රයක් ගෙන යාම සුදුසුයි. මාලිමාවක් භාවිතා කරමින් සිතියම් කියවීමේ නිවැරදි ක්‍රමවේදය ඉගෙන ගත යුතු අතර මාලිමාව ශ්‍රී ලංකාව වැනි රටක භාවිතා කිරීමට සුදුසු එකක් විය යුතුයි. සමකය ආසන්න රටවල භාවිතයට සුදුසු මාලිමාවල ME (Magnetic Equator Zone) ලෙස කේතයක් යොදා තිබෙනවා.

MN (Magnetic North Zone), NME (North of Magnetic Equator Zone), SME (South of Magnetic Equator Zone), MS (Magnetic South Zone) වැනි කේත ඇති මාලිමා ලංකාව වැනි සමකය ආසන්න රටවල භාවිතයට නුසුදුසුයි.[5]

ප්‍රථමාධාර පෙට්ටිය[සංස්කරණය]

වේදනා නාෂක පෙති, ප්ලාස්ටර්, බැන්ඩේජ් පටි, විශබීජ නාෂක,වේදනා නාෂක බාම් වර්ගයක්, අසමෝදගම් හෝ ග්‍රයිප් වෝටර්, පුළුන් හා කතුරක් ප්‍රථමාධාර පෙට්ටියේ තිබිය යුතුමයි.

විදුලිපන්දමක්[සංස්කරණය]

හොඳ බැටරි සහිත විදුලි පන්දමක් ගෙනයාම සුදුසුයි. කළුවර නොවැටුනත්, යම් යම් දේවල් සොයාගැනීමට වුවද විදුලි පන්දම අවශ්‍ය වන්නට පුලුවන්.

හොඳ පිහියක් හෝ ස්විස් ආමි පිහියක්[සංස්කරණය]

බොහෝ අවස්තාවලදී පිහිටට එන බැවින් රැගෙන යාම වඩා සුදුසුයි.

හයිකින් හෝ බැක්පැකින් (කඳවුරු බැඳීම්ද ඇතුළුව) සංචාරයක් සැළසුම් කිරීම.[සංස්කරණය]

මාර්ගය හා දුර්වලම සාමාජිකයා ගැන සිතා සැලසුම් කිරීම[6][සංස්කරණය]

හයිකින් ගොඩක් වෙහෙසකරයි. හිතනවාට වඩා අමාරුයි. උපරිම දුර වෙන්න ඕනෑ කණ්ඩායමේ දුර්වලම කෙනාට (නැතිනම් හයිකින් වලට ආගන්තුකයාට) යන්න පුලුවන් දුරයි. උදාහරණයක් විදියට Horton Plains පිවිසුමේ ඉඳලා ලෝකාන්තයට බේකර්ස් ඇල්ල මං පෙතෙන්  කිලෝමීටර් 4.5ක දුරක්, කුඩා ලෝකාන්තය පැත්තෙන් ගියොත් කිලෝමීටර් 3.5ක් විතර. ඒත් ඒ ගමන නුහුරු අයට කොයිතරම් වෙහෙසකර වෙනවද?

තමුන්ට/කණ්ඩායමට අධික වෙහෙසට පත්නොවී යන්න පුලුවන් දුර ගැන නිවැරදි ඇස්තමේන්තුවක් තියෙන්න ඕනෑ. ගිහිල්ලා ආයෙත් එන්න යන මුළු දුරම අරගෙන හයික් එක සැළසුම් කරන්න.

යන පැත්තේ සිතියම් බලලා, මග සළකුණු හා මාර්ගය පැහැදිලිව හඳුනාගන්න. ගූගල් මැප්ස් මත ඕනෑවට වඩා යැපීම දුරපලාත්වලදී භයානකයි. විශේෂයෙන්ම ලංකාවේ ඈත පලාත්වල ගූගල් මැප්ස් වල නිරවද්‍යතාවය සැකසහිතයි. ඒ නිසා මග සළකුණු අහගන්න ප්‍රදේශවාසීන් නැති කැලෑබද පෙදෙස්වල යනවා නම්  ජී.පී.එස් යුනිට් එකක් ගෙන යන්න පුලුවන් නම් හොඳයි.

අලුත්ම උපකරණ, සපත්තු හා බූට්ස්[7][සංස්කරණය]

දිගු ඇවිදීමකදී, කඳවුරු බැඳීමකදී හෝ දුෂ්කර පෙදෙසක ට්‍රෙකින් කිරීමේදී තමන්ට නුහුරු, නුපුරුදු, අලුත්ම අලුත් භාණ්ඩ පාවිච්චියෙන් වලකින්න.

අලුත් ජී.පී.එස් යන්ත්‍රයක් ගෙන යන්නේ නම්, එහි ක්‍රියාකාරිත්වය ගැන හොඳ අවබෝධයක් නොමැති නිසා කරදර ඇතිවෙන්න පුලුවන්. ඒවගේම කූඩාරමක් ගෙනියනවා නම්, එය ඉක්මණින් (උදා: වැස්සක් කඩා වැටෙන අවස්ථාවක) ඉක්මණින් සකසා ගන්න බැරිවෙන්න පුලුවන්.

අලුතින් සපත්තු, බූට්ස් ගත්තහම ගොඩක් දුර හයික් එකකට පලදින්න ඉස්සෙල්ලා, කෙටි දුරවල් ඇවිදින ගමන් දෙක තුනකට පාවිච්චි කරන්න. එතකොට ඒවා ගානට ගෙවිලා කකුල්වලට පහසුවෙනවා. ඒවගේම ඒවා පැළඳීම අපහසුනම්, ඒවගේ පාවහන් හයික් එකට අරගෙන යන්නේ නැතුව ඉන්න තීරණය කරන්නත් පුලුවන්.

සපත්තුවලින්, බූට්ස්වලින් කරදර වෙනකොට හයික් එකේ තෘප්තිය විඳිනවා වෙනුවට, වද විඳින්නයි වෙන්නේ. ඒ වගේම හයික් එකේ යන ගෲප් එකේ අනෙක් අයටත් ඔබ නිසා ප්‍රමාද වෙන්න , කරදර වෙන්න සිද්ද වෙනවා

හොඳ ප්‍රමිතියේ හයිකින් බැක්පැක්, සපත්තු, ටෙන්ට්, උපකරණ රැගෙන යන්න.[8][සංස්කරණය]

හොඳ සන්නාම තියෙන හයිකින් උපකරණ ගණන්, ඒ නිසා ඔන්ලයින් ෂොප් වල, නැතිනම් එම උපකරණ සාමාන්‍යයෙන් නොවිකුණන තැන්වල විකුණන්න තියෙන අඩුමිල උපකරණ ගන්න සමහර අය පෙළඹෙනවා.

මේ උපකරණ තත්වයෙන් බාලයි. හයිකින්, බැක්පැකින් වලදී බොහොම රළු පාවිච්චියක් තියෙන නිසා ප්‍රමිතිය අඩු ඒවා කැඩෙන, ගැලවෙන ඉරෙන සම්භාවිතාවය වැඩියි.

බැක්පැක් එකක වුනත් සිපර් එකක්, ස්ට්‍රැප් එකක් වගේ පොඩි දෙයක් කැඩුනත් ඒකෙන් ගමනට බාධාවක් වෙනවා. උස්සගෙන යන්න කරදර වෙන්න පුලුවන්. බූට් එකක, සපත්තුවක අඩිය ගැලවුනොත් කොච්චර කරදරද? ඒ නිසා හැකිතරම් ප්‍රමිතියක් තියෙන උපකරණ ගන්න බලන්න.

ගෙන යායුතු බඩු ලයිස්තුගත කිරීම[9][සංස්කරණය]

බැක්පැක් එකට දාගන්න පුලුවන් හැමදේම අරගෙන, බොහොම බර බැක්පැක් එකක් ගෙනියන කෙනාට වැඩිදුර ඇවිදින්න වෙන්නේ නෑ. බෑග් එකේ බරත් එක්ක ගමන වෙහෙසකරයි. ඒවගේම අත්‍යාවශ්‍ය ප්‍රමාණයට වතුර, කෑම, ප්‍රථමාධාර, ස්ලීපින් බෑග් එක, ටෙන්ට් එක හා වෙනත් උපකරණ රැගෙන නොයෑම තවත් ලොකු වැරැද්දක්.

ගමන සැලසුම්කරන අවස්ථාවේ ගෙනයන්න ඕනෑ මොනවද කියලා ලයිස්තුවක් හදාගන්න. ඒ ලයිස්තුව දෙතුන් සැරයක් යාවත්කාලීන කරන්න. පලපුරුදු අයගෙන අහලා දැන ගන්න.

සුදුසු දේශගුණය ඇති කාලය තෝරා නොගැනීම[10][සංස්කරණය]

ලංකාව වගේ නිතරම වහින රටවල්වලට මේක වැදගත්. හයිකින් කරන්න යන්න බලාපොරොත්තුවෙන ප්‍රදේශයට නිතරම වැස්ස නැති නම් දැඩි ඉඩෝරය තියෙන කාල මගහරින්න ඕනෑ.

අපේ මුතුන්මිත්තෝ සිරීපාදෙ යන්න දෙසැම්බර් ඉඳන් අප්‍රේල් වෙනකන් සිරිපා වාරය කියලා තෝරාගෙන තියෙන්නේ මේ දැණුම අනුවයි. දෙසැම්බර්-අප්‍රේල් වැස්ස නැතිනිසා සිරිපා කරුණාකරන්න ලේසියි.

කාළගුණ දෙපාර්තමේන්තුවේ කාළගුණ/දේශගුණය පිලිබඳ දත්ත/වගු හා සිතියම් වගේම, ඒ පැත්තේ පදිංචි පුද්ගලයින් හා සම්බන්ධවීමෙනුත් මේ තොරතුරු දැනගන්න පුලුවන්.

උදෙන්ම පිටත්වීම / මගදී අනවශ්‍යලෙස ප්‍රමාද නොවීම[11][සංස්කරණය]

ලංකාව වගේ රටවල්වල ඉක්මණට එලිය වැටෙන නිසා ඉක්මණින් පිටත්වීම හොඳයි. ඒවගේම දවල් 10 විතර වෙනකොට උෂ්ණත්වය දැඩිවෙනවා. මේ නිසා ඉක්මණට පිටත්වෙලා, දැඩි උණුසුම තියෙන දවල් කාලෙ විවේකයටත්, රෑවෙන්න කලින් ආපහු පටන් ගත්ත තැනට එන්න / නැතිනම් රෑට නවතින්න තීරණය කල කෑම්පින් සයිට් එකට හරි යන්න ඕනෑ.

හයිකින් වලදී රෑගමන් අණතුරු දායකයි. හයිකින් යනකොට පාන්දර කාලයේ හා හවස් වෙලා අඳුර වැටෙන වෙලාවේ පාර හොයාගන්න ප්‍රභල විදුලි පන්දම් ගෙන යන්න ඕනෑ.

හොඳ ප්‍රථමාධාර කට්ටලයක් ගෙන නොයෑම.[12][සංස්කරණය]

ප්‍රථමාධාර කට්ටලයක පැනඩෝල්, සිද්ධාලේප, ඩෙටොල් ප්ලාස්ටර් විතරක් තිබිලා මදි. ලොකු තුවාලයක් හරි අස්ථි බිඳීමක් හරි වුනොත් වෛද්‍යාධාර ලැබෙන තෙක් තුවාලය / බිඳීම ආරක්ෂිතව තියාගන්න ඇලවෙන බැන්ඩේජ් (Adhesive bandage), බැන්ඩේජ් පටි, ගෝස් පටි රෝල බැගින් තියෙන්න ඕනෑ.

ඒවගේම තුවල සුද්ද කරන්න සර්ජිකල් ස්පිරිට් / ඩෙටෝල් වගේ පොඩි බෝතලයකුත්, ඒවගේම තුවලවලට ගාන විශබීජ නාශක බෙටඩීන් වගේ ක්‍රීම් එකක්, තැල්මකට ගාන්න වින්ටජිනෝ ටියුබ් එකක් තිබුණොත් හොඳයි.

මීට අමතරව බඩේ අප්සෙට් / ගැස්ට්‍රික් තියෙන අයට ඕනෑ බේත් / අසමෝදගම් / ඇලර්ජික් (ආසාත්මික තාවය ) රියැක්ෂන් තියෙන අයට පිරිටන් පෙති ගෙනයන එක හොඳයි. බෙහෙත් බොන අය තමන්ගේ බෙහෙත් වඩි අනිවාර්යයෙන් ගෙනියන්න ඕනෑ.

අමතක නොකර හොඳ කතුරක් හා බොක්ස් කටර් පිහියක් දාගන්න.

වතුර හා කෑම ගෙනයාම හෝ මගදී ලබාගැනීම පිලිබඳව නිසි ලෙස සැළසුම් කරන්න.[13][සංස්කරණය]

උදය ආහාරය නොගෙන පිටත්වීම. අතරමගදී කෑම සඳහා ප්‍රෝටීන හා කැලරි වැඩි ආහාරයක් නොගෙන පිටත්වීම. ඇති පමණ වතුර නොගෙනයාම. ආහාරවලටත් වඩා ඇති පමණ වතුර ගෙනයා යුතුය. අවම වශයෙන් එක් පුද්ගලයෙකු ලීටර් 2ක වතුර ප්‍රමාණයක් රැගෙන යා යුතුයි.

විසිකරන පෙට් (PET) වතුර බෝතල් ගෙන නොයන්න. ඒවා සැහැල්ලු වුවත් පරිසරයට විනාශකාරීය.

විශාල ප්ලාස්ටික් වතුර බෝතලයක් මිළදී ගන්න. එයින් වතුර කාන්දු නොවන බව තහවුරු කර ගන්න. වතුර කාන්දුවන බෝතලයක් බැක් පැක් එකට දමාගත් පසු පැක් එකේ ඇති අනෙක් සියලුදෑ ජලයෙන් තෙමී යයි.

සබැඳි[සංස්කරණය]

  1. ටෙරන්ස් කහපොල ආරච්චි (විද්‍යා ගවේෂණ)
  2. https://www.decathlon.lk/15748-hiking-and-trekking[permanent dead link]
  3. http://www.lakdasun.org/tools-tips/equipment-guide-for-hiking-in-sri-lanka.htm
  4. http://www.lakdasun.org/tools-tips/leeches-preventive-socks-repellents-treatments.htm
  5. https://books.google.lk/books?id=Z-ADAAAAMBAJ&pg=PA69&lpg=PA69&dq=compass+MN,+NME,+SME,+MS&source=bl&ots=Q9_AnvqszE&sig=ACfU3U1wDDdYwlV3YHdWvlqXt7PDLO6o-Q&hl=en&sa=X&ved=2ahUKEwiG-fzixMLrAhVCaCsKHQDfCzUQ6AEwA3oECEQQAQ#v=onepage&q=compass%20MN%2C%20NME%2C%20SME%2C%20MS&f=false
  6. https://besthiking.net/plan-hiking-tour/
  7. සංරක්ෂිත පිටපත, https://awomanafoot.com/blog/how-to-plan-long-term-hiking-trip-backpacking-plan, ප්‍රතිෂ්ඨාපනය 2020-08-30 
  8. https://americanhiking.org/resources/planning-your-hike/
  9. https://www.erieinsurance.com/blog/how-to-plan-a-hike
  10. https://hikingisgood.com/how-to-plan-your-hiking-trip/
  11. https://www.wikihow.com/Plan-a-Backpacking-Trip
  12. https://australianhiker.com.au/advice/trip-planning/
  13. https://www.trailhiking.com.au/preparing-to-hike/plan-your-hike/