Jump to content

ඇප මත නිදහස් කිරීම

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ පුද්ගලයන් විසින් සිදු කරන වැරදි ප්‍රධාන වශයෙන් දෙයාකාර වේ.

1.ඇප දිය හැකි වැරදි

2.ඇප දිය නොහැකි වැරදි

මේ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 02 වන වගන්තිය මඟින් වැඩිදුරටත් දක්වා ඇත. මීට අමතරව වෙනත් විවිධ පනත් යටතේ වරදක් වන ක්‍රියාවන්ට චෝදනා ලැබූ තැනැත්තෙකු ඇප පිට නිදහස් කිරීම පිළිබඳව එම පනත් යටතේ ම දක්වා ති‍බේ.

උදා :-

  • පීඩාකාරී ආයුධ පනත යටතේ වරදක් කළේ යැයි සැක කරන පුද්ගලෙයකුට ඇප ලබාගත හැක්කේ

අභියාචනාධිකරණය මඟින් පමණි.

  • ආගමන හා විගමන පනත, පොදු දේපළ පනත, පුරා වස්තු පනත වැනි පනත් වල ඇප පිට

නිදහස් කිරීම සම්බන්ධයෙන් වෙනම ම විධිවිධාන සලස්වා ඇත.


ඉහත දක්වා ඇති පරිදි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 02 වන වගන්තිය මඟින් අර්ථ නිරූපණය කර ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාකච්ඡා කෙරෙන වැරදි පිළිබඳවය.නමුත් පොදුවේ අන් සියළු ම නීති යටතේ වන වැරදි පිළිබඳව ද නීති තත්වයක් දක්නට ලැබේ.ඒ අනුව,

1. මරණීය දණ්ඩනයෙන් හෝ අවුරුදු 07 ක් හෝ ඊට වැඩි කාලයකට බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කළ හැකි වරදක් වෙනත් නීතියක් යටතේ වරදක් වේ නම් එය ඇප දිය නොහැකි වරදකි.

2. බන්ධනාගාරගත කිරීමේ කාලය වසර 07කට අඩු වුවද වසර 03කට වැඩි නම් එය ද ඇප දිය නොහැකි වරදක් වේ.

3. ඉහත කරුණු වලට අදාළ නොවන වරදකදී වුවද ඇප ලබා ගත නොහැකි බව අදාළ පනත යටතේ දක්වා තිබේ නම් ඇප ලබා දෙනු නොලැබේ.

යමෙකු ඇප පිට නිදහස් කිරීම යනුවෙන් හැඳින්වෙන්නේ අධිකරණයක නඩු කටයුත්තක් පවත්වාගෙන යන අතරතුර අවසාන නිගමනයට එළඹීමට පෙර ඔහු බන්ධනාගාර අධිකාරීවරයාගේ භාරයේ තැබීමයි. මෙය රක්ෂිත බන්ධනාගාරගත කිරීම ලෙස හැඳින්වේ.ඇප ලබා දීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අදාළ වන්නේ 1979 අංක 15 දරණ අපරාධ නඩුවිධාන සංග්‍රහය පනත සහ 1997 අංක 30 දරණ ඇප පනතයි.සාමාන්‍යයෙන් පොලීසිය විසින් යම් පුද්ගලයෙකු කිසියම් වරදක් සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් පසු පැය 24ක් තුළ මූලික පරීක්ෂණ නිමවා එම සැකකරු මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ යුතුය.අපරාධ නඩුවිධාන සංග්‍රහ‍යේ 115 වගන්තියට අනුව එසේ පැය 24ක් තුළ ‍පොලිස් විමර්ශන අවසන් කළ නොහැකි නම් මහේස්ත්‍රාත් නියෝග මත ඇප ලබා ගත හැකිය.එවැනි අවස්ථාවකදී එවැනි පුද්ගලයෙකු දින 15ක උපරිමයකට යටත්ව රිමාන්ඩ් භාරයට පත් කිරීමේ හැකියාව මහේස්ත්‍රාත්වරයා සතුය.වරදකාරීත්වය ඔප්පු වන තුරු සෑම පුද්ගලයෙකුම නිවැරදිකරුවකු වන අතර කර ඇත්තේ ඇප දිය හැකි ආකාරයේ වරදක් නම් ඇප ලබා දිය යුතුය. දින 15 උපරිමයක් දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ හැක්කේ ඇප දිය නොහැකි වැරදි සම්බන්ධයෙන් පමණි. මෙම පනතේ ප්‍රකාශිතවම දක්වා ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 294, 114, හා 191 වගන්ති යටතට වැටෙන වැරදි, එනම් මිනීමැරීම,රජයට එරෙහිව කැරළි ගැසීම,සාවද්‍ය සාක්ෂි දීම යන වැරදි සම්බන්ධයෙන් ඇප මතනිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට හැකියාව නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් මහාධිකරණයක් මඟින් ඇප ලබා ගත යුතුය. එහිදී මහාධිකරණය විසින් අධි‍චෝදනා නඟා නඩු විභාගය ඇරඹෙන අතර, එසේ ඇරඹීමට මාස 03ක් දක්වා ප්‍රමාද වුවහොත් ඔහු නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය ඇත.ඇප පනත ඇප ලබා දීමේදී ඉතා වැදගත් වුවද එහි 03(1)වගන්තිය අනුව එය අදාළ නොවන සැකකරුවන් වර්ග 03ක් සිටිති.

1. 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වන සැකකරුවන්.

2. මහජන ආරක්ෂක පනත යටතේ සාදන නියෝග යටතේ වන සැකකරුවන්.

3. වැරදි පිළිබඳව ඇප ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන යම් නීතියක් යටතේ සඳහන් කර ඇති විට ඒ පනත යටතේ වැරදි සිදුකළ සැකකරුවන්

ඇප පනතේ 27 වගන්තිය අනුව, 1991 අංක 08 දරණ සැකකරුවන් නිදහස් කර යැවීමේ පනත හැර වෙනත් ඕනෑම පනතක් සමඟ ඇප පනතේ ප්‍රතිපාදන ගැටෙන්නේ නම් එහිදී බලාත්මක වන්නේ ඇප පනතයි.සාමාන්‍යයෙන් පොලීසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්පසු අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ඒ පිළිබඳව විමර්ශනය කර සැකකරුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇති බව ‍පෙනී යන්නේ නම්, නියමිත දිනයේදී අධිකරණයේ පෙනී සිටින බවට ඇපයකට අත්සන් ලබාගෙන ‍පොලිස් ස්ථානයේදීම ඔහු මුදා හළ හැක. සාමාන්‍ය ව්‍යවහාරයේ "පොලීසිය මඟින් ඇප දීම" යනුවෙන් හඳුන්වන්නේ මෙම ක්‍රියාදාමයයි.ඒ සඳහා වන නෛතික බලය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 118 සහ ඇප පනතේ 06 වන වගන්ති මඟින්පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලබා දී ඇත. සැකකරු ඇප ලබා දී මුදා හැරීමෙන් මහජන සාමයට බාධාවක් විය හැකි බව‍ පොලිස් ස්ථානාධිපතිවරයාට හැ‍ඟේ නම් මුදා නොහැර මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ යුතුය. එහිදී මහේස්ත්‍රාත්වරයාට ඇප ලබා දීමට හෝ නොදීමට බලය ඇත. පොලිස් ඇප මත මුදා හළ සැකකරුවකු නියමිත දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටියේ නම් මාස 06කට නොඅඩු කාලයකට බන්ධනාගාරගත කළ හැකි බව ඇප පනතේ 06 වන වගන්තිය මඟින් දැක්වේ. එසේම ඇප පනතේ 07 වන වගන්තිය ඇප දිය හැකි වැරදි හා ඇප දිය නොහැකි වැරදි යන ද්විත්වයට ම අදාළ වන අතර මහේස්ත්‍රාත්වරයෙකුට ඇප නියම කළ හැකි අවස්ථා ඒ තුළ දැක්වේ. සාමාන්‍ය භාවිතයේ පවත්නා ඇප වර්ග කීපයකි.මෙම අැපමහේස්ත්‍රාත්තුමාවිසින් නියම කළ හැකිය.

1. පුද්ගලික ඇප

සැකකරු විසින් ම අදාළ දිනයේ අධිකරණයේ පෙනී සිටින බවට යම්කිසි බැඳුම්කරයකට අත්සන් කිරීම මෙහිදී සිදුවේ.

2. ඇපකරුවන් සමඟ ලබා දෙන ඇප

සැකකරු අධිකරණයේ පෙනී සිටින බවට සැකකරු හා වෙනත් ඇපකරුවන් ද බැඳුම්කරයකට අත්සන් කරනු ලැබේ.

3. මුදල් ඇප

තමා අධිකරණයේ පෙනී සිටින බවට සහතික වෙමින් ඇපකරු විසින් යම් මුදලක් අධිකරණයේ තැන්පත් කරනු ලැබේ.නියමිත දිනයේඅධිකරණයේ පෙනී නොසිටියහොත් එකී මුදල රාජසන්තක වන්නේය.

4. සහතික ඇප

මෙහිදී වටිනාකමක් ඇති ඔප්පුවක් වැනි දෙයක් අධිකරණයේ තැන්පත් කළ යුතුය.උදාහරණ ලෙස රුපියල් ලක්ෂ දෙකක සහතික ඇපයක් නියම කළහොත් රුපියල් ලක්ෂ දෙකක වටිනාකම ඇති දේපළක ඔප්පුවක් අධිකරණයේ තැන්පත් කළ යුතුය.

යම් පුද්ගලයෙකු සිතාසියක් මත අධිකරණයේ පෙනී සිටි විට ඔහුට ඇප ලබා දී නිදහස් කිරීමට තීරණය කරන්නේ නම් අධිකරණය විසින් වාර්තා ගත කළ යුතු හේතූන් මත අන්‍යාකාරයකින් විධානයක් කළ හොත් මිස එකී තැනැත්තා ඔහු විසින්ම දෙන ලද බැඳුම්කරයක් මත ඇප ලබා දී නිදහස් කළ යුතුය. ඒ පිළිබඳ ව 07 වැනි වගන්තිය තුළ වැඩිදුරටත් සඳහන් වේ.සාමාන්‍යයෙන් දැනට ශ්‍රී ලංකාව තුළ ඇප සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ මෙම නීති තත්වයන් ය.

බලාත්මක අණ පනත්

[සංස්කරණය]
  • 1979 අංක 15 දරණ අපරාධ නඩුවිධාන සංග්‍රහය පනත
  • 2005 අංක 15 දරන අපරාධ නඩුවිධාන සංග්‍රහ සංශෝධන පනත
  • 1997 අංක 30 දරණ ඇප පනත
  • 1983 දණ්ඩනීති සංග්‍රහය

වැඩිදුර තොරතුරු මෙම අඩවියෙන්

[සංස්කරණය]

-66k ඇප පිළිබද නෛතික ප්‍රතිපාදන[permanent dead link]

law සංරක්ෂණය කළ පිටපත 2001-05-01 at the Wayback Machine

"https://si.wikipedia.org/w/index.php?title=ඇප_මත_නිදහස්_කිරීම&oldid=612989" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි