ඇනිමි ඉතිහාසය

විකිපීඩියා වෙතින්


ඇනිමි ඉතිහාසය ආරම්භවන්නේ 20 වන සියවස මුල්භාගයෙනි. මේ කාලයේදී ජපාන සිනමාකරුවෝ ප‍්‍රංශය, ජර්මනිය, එක්සත් ජනපදය සහ රුසියාව යන රටවල් විසින් සොයාගනු ලැබූ සජීවීකරණ ශිල්පක‍්‍රමයන් අත්හදා බැලීමට පටන්ගත්හ. මුල්ම ඇනිමි නිෂ්පාදනය 1917 දි තිරගත විය. එය සිය ඉලක්කය වෙත තමන්ගේ නව අසිපතින් පහරදීමට උත්සාහ කරන සමුරායිවරයකු දැක්වෙන විනාඩි දෙකක ධාවන කාළයකින් යුතුවූවක් විය.

1930 වනවිට ජපානයේ ඌනසංවර්ධිත ත‍්‍රාසජනක සිනමා කර්මාන්තයට සාපේක්‍ෂව විකල්ප කථාන්තර කීමේ කලාවක් ලෙස සජීවීකරණය ඉදිරියට පැමිණෙන ලදී. ඇමරිකාවේ මෙන් නොව ජපානයේ ත‍්‍රාසජනක සිනමාව අයවැය සකස් කිරීම, රූගත කිරීමේ ස්ථාන සොයාගැනීම සහ නළු නිලියන් තොරාගැනීමේදී පැවති සීමාවන් ආදිය හේතුවෙන් කුඩා ප‍්‍රමාණයේ කර්මාන්තයක් ලෙසින් පැවතින. උදාහරණයක් ලෙස බටහිර පෙනුම ඇති නළුවන්ගේ හිඟය වැනි හේතූන් නිසාවෙන් යුරෝපයේ, ඇමරිකාවේ, ජපානය ආදල නොවන පරිකල්පනීය ලෝකයන්හි වැනි දර්ශන රූගත කිරීම කළ නොහැක්කක් බවට පත්වෙමින් පැවතින. සජීවීකරණය විසින් කලාකරුවන්ට තමන් අභිමත වටපිටාවක් සිය නිර්මාණයන්ට පසුබිම් කරගැනීමේ නිදහස ලබාදෙනු ලැබිණ.

1937 දී තිරගත වූ ඩිස්නිගේ වෘතාන්ත චිත‍්‍රපටයේ සාර්ථකත්වය ජපාන සිනමාකරුවන්ට විශාල බලපෑමක් සිදුකරන ලදී. ඔසමු ටෙසූකා ඩිස්නිගේ සජීවීකරණ ශිල්පක‍්‍රමයන් විශාල වශයෙන් යොදාගනිමින් නිෂ්පාදනයේදී වැයවන මුදල සහ යොදාගත යුතුවන රූපරාමු ප‍්‍රමාණය අවම කරගැනීමට සමත්විය. මෙය අත්දැකීම් රහිත සජීවීකරණ කාර්යමණ්ඩලය සහ දැඩි කාළසටහනක් අනුව කටයුතු කරමින් නිර්මාණය සිදුකිරීම සඳහා අනුගමනය කරනු ලැබූ තාවකාලික පියවරක් විය.

1970 ගණන්වලදී ඔසමු ටෙසූකා විසින් නිර්මාණය කරන ලද සජීවීකරණ කෘතීන් විශාල ලෙස ජනපි‍්‍රය විය. ඔහු සහ ක්ෂේත‍්‍රයේ පුරෝගාමීවූ නිර්මාණකරුවෝ අද ඇනිමි ලෙස හැඳින්වෙන කලාවේ මූලධාර්මික සංකල්පයන් ගොඩනැගීමට දායක වූහ. දැවැන්ත රොබෝ ෂානරය ටෙසූකා විසින් හැඩගස්වනු ලැබූවක් වන අතර ගෝ නගායි විසින් එයසුපිරි රොබෝ ෂානරය ලෙස එය වර්ධනය කරනු ලැබින. දශකය අවසාන වන විට යොෂියුකි ටොමිනෝ විසින් එය සැබෑ රෝබෝ ෂානරය ලෙස සංවර්ධනයට ලක්කරනලදී. ‘ගුන්ඩම් මැක්රෝස්’ වැනි රොබෝ ඇනිමි 1980 ගණන්වල ඉමහත් ජනපි‍්‍රයතාවයක් හිමිකරගන්නා ලදී. මෙම දශකයේදී ඇනිමි ජපානයේ ප‍්‍රධාන ධාරාවේ සිනමාව විසින් පිලිගැනීමට ලක්වූ අතර එය එහි වර්ධනය තවත් වේගවත් කිරීමට හේතුවිය. 80 දශකයේ විදේශීය වෙළඳපොළවල් විසින්ද සාර්ථක ඇනිමි අනුවර්තන නිර්මාණ බිහිකළ අතර 90 දශකයේ සහ 2000 න් පසු කාළයේද ඇනිමි දිනෙක් දින සිය ජනපි‍්‍රයතාවය වර්නය කරගනිමින් සිටියි.

"https://si.wikipedia.org/w/index.php?title=ඇනිමි_ඉතිහාසය&oldid=187492" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි