ආරාම

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
අනුරාධපුරයේ ආරාමයක්.jpg

හැදින්වීම[සංස්කරණය]

ග්‍රී ලාංකීය ඉතිහාසයේ අනුරාධපුර යුගයේ සිට යුග ගණනාවක් තුල නිර්මාණය වෙමින් පැවති සුවිශේෂි බෞද්ධාගමික කලා නිර්මාණයක්ලෙස ආරාම හදුන්වාදිය හැක.මෙම ලිපිය තුලින් අනුරාධපුර යුගයේ ක්‍රි. පූ. 3 සිට ක්‍රි. ව. 10 දක්වා කාලපරිච්ජේදය තුල නිර්මාණය කරනලද ආරාම පිළිබඳ තොරතුරු දැක්වෙයි.අනුරාධපුර යුගයේ ආරාම නිර්මාණය හා එහි පාලනය සිදු වු ආකාරයත් ආරාම නිර්මාණයට පාදක වූ හේතූන්, එහි මූලාරම්භය හා වර්ධනයත් එහි පාලන කටයුතු සිදු වූ ආකාරයත්මෙමගින් විස්තර කරේ. ආරාම බිහිවීම ප්‍රථමයෙන් ම සිදු වුයේ අනුරාධපුර යුගයේය. ආරාම යනු භික්‍ෂුන්ගේ වාසස්ථාන සඳහාත් අනෙකුත් කාර්යයන් උදෙසාත් නිර්මාණය කරන ලද්දකි. මුල් යුගයේ ආරාම නොතිබුණ අතර භික්‍ෂුන් වාසය සඳහා යොදා ගත්තේ ගල්ලෙන්ය. එසේ ලෙන් වල වාසය කිරිමට එක් හේතුවක් වූයේ ලෙන් භාවනායෝගිව වැඩසිටීමට වඩාත් සුදුසු බවට අතීතයේ සිටම සලකුණු ලැබීමයි. උදා: තම්බපණ්ණියේ චූලනාග ලෙන, උදුම්බරගලලෙන ද බොහෝ භික්‍ෂුන් භාවනාව සඳහා වඩින ලද ලෙන් ලෙස සඳහන් වේ.

අනෙක් හේතුව නම් ආරාම සැකසීම අපහසු කටයුත්තක් වීමයිමෙම ගල්ලෙන් රාජමහාමාත්‍යයන් විසින් භික්‍ෂූන්ට පූජා කරන ලද ඵ්වා වේ.ලෙන් වල වාසය කළ භික්‍ෂූන් අනෙකුත් භික්‍ෂූ වාසස්ථානවල වාසය කළ භික්‍ෂූන්ට වඩා පූජ්‍ය යැයි එකල සලකන ලදි. එයට හේතුව ආදාම කාලයේ භික්‍ෂූහු ඉතා සුශීල වීමයි. මෙකල ලෙන් ඇරෙන්නට භික්‍ෂූන්ගේ වාසය සඳහා කොළඅතු සෙවිලි කරන ලද පන්සල් ද තිබුණු බවට අතීත ග්‍රන්ථවල සඳහනවේ.බුදුදහම රජයේත් රටවැසියන්ගේත් ආගම බවට පතවීමත් සමඟ භික්‍ෂූන්ට ආගමික කාර්යන් සඳහා රට වැසියන් සමඟ සම්බවන්ධ වීමට සිදුවිය. එහිදී භාක්‍ෂූන්ට වනාන්තර හා දුරබැහැර පිහිටි ලෙන්වල වැඩ විසීමට නොහැකි වූ අතර ජනාවාස ආශ්‍රිතව වැඩවිසීමට සිදු විය. එබැවින් ගම් ආශ්‍රිතව වැඩ විසීමට සිදුවිය. එබැවින් ගම් ආශ්‍රිතව ආරාම බිහිවන්නට විය.එම ආරාම බිහි වූ ආකාරය හා එහි පාලනය පිළිබඳවත් අනුරාධපුර යුගයේ සුප්‍රසිද්ධ විහාර පිළිබඳවත් මෙම ලිපියේ සඳහන් වේ. ආරාම වල‍ට ප්‍රථම භික්‍ෂූ වාසස්ථානයක්.jpg

අනුරාධපුර යුගයේ ආරාම නිර්මාණය වී ඇති ආකාරය[සංස්කරණය]

ලංනකාවේ බිහි වූ පලමු ආරාමය අනුරාධපුර මහමෙව්නා උයනෙහි දෙවනපෑතිස් රජු කරවූ තිස්සමහාරාමයයි. මෙය පසු කලෙක මහාවිහාරය ලෙස හඳුන්වන ලදි. මුලින්ම කාලප්‍රසාද පිරිවෙණ නමින් භික්‍ෂූනගේ ආවාසය සඳහා මැටි වලින් කරවන ලද ගෙයක් ලෙස මෙය පැවත ඇත. පසු කලෙක රජවරු හා ඇමතිවරු භික්‍ෂූන්ගේ ප්‍රයෝජනය සඳහා ගෙවල් කිහිපයක් මහමෙව්නා උයනෙහි සාදා ඇත. මේ කාලයේම රුහුණ හා සෙසු පළාත් වලද විශාල ආරාම බිහි වී ඇත. දුටුගැමුණු රජු කාලයේ දී ප්‍රසාද ගණනාවකින් යුත් අනුරාධපුර මහාවිහාරය බිහි විය.අභයගිරිය හා ජේතවනය අනුරධපුරයෙහි පිහිටි ප්‍රධාන ආරාම දෙකකි. ආරාම, විහාර යන නමින් ද හඳුන්වනු ලබන අතර විහාරයක තිබිය යුතු අත්‍යවශ්‍ය අංග කිහිපයකි. එනම් චෛත්‍යය, ලැගුම් ගෙය, ධර්ම දේශනා කරන ස්ථානයයි. ආරාම භූමිය ඇතුලත ප්‍රධාන පූජ්‍ය වස්තුව වූයේ බුදුන් වහන්සේගේ ධාතු නිධන් කළ චෛත්‍යයයි.චෛත්‍යය වටා සුදුවැලි ඇතිරූ මළුවක් ඇත. එම මළුව වටා පවුරක් ඇති අතර ඊට ඉහලින් ඇතුළු මළුව පිහිටා ඇත. මෙම මළුව වටා ඇත් රූප වලින් පවුරක් ද මහ දොරටු සතරෙහි තොරන් හතරක් තිබී ඇත. චෛත්‍යය ලංකාවේ ආරාමයක අංගයක් බවට පත්ව ඇත්තේ ථූපාරාමය කරවීමෙන් පසුවයි. චෛත්‍යය හැරුණු විට ආරාමයක ප්‍රධාන කොට සලකන ලද්දේ බෝධියයි. බෝමළුවෙහි සතර දිසාවෙහි තොරන් සතරක් ද බෝධිය වටා උස් ගල් මළුවක් ද තිබී ඇත.

මීට අමතරව බෝධිය අසල බෝධිඝරය හෙවත් බෝගෙයක් විය. එහි බුදුපිළිමය තැන්පත් කර ඇත. ආරාමයකදී බෝධියට ලැබුණේ බුදුන් වහන්සේගේ ශාරීරික ධාතූන්ට ලැබෙන ගෞරවයට පමණක් දෙවැනි වූ තැනකි.මීළඟට වැදගත් අංගය වූයේ බුදුපිළිමය තැන්පත් කර ඇති පඨමාඝර හෙවත් පිළිම ගෙයයි. දුටුගැමුණු රජතුමා මහා සෙල් පිළිමයක් ථූපාරාමයෙන් රැගෙන ගොස් ප්‍රාචීනතිස්සපබ්බත නම් ආරාමයක වැඩහිදුවා ඇත.එය විශේෂයෙන් පූජ්‍ය වූ දෙයක් ලෙස එකළ සලකන ලද ප්‍රකට ප්‍රතිමාවකි. මෙලෙස ආරාම වල පිළිම ගෙවල් සාදා පිළිම තැන්පත් කර තිබුණත් පාලි අට්ටකතා වල හා ජූජාපටිපාටියේ පිළිම ගෙවල් ගැන සඳහන් වී නැත. නමුත් ආරාමයක අනෙකුත් අංග ගැන ඒවායෙහි සඳහන් වී ඇත. පිළිම ගෙය ගැන සඳහන් නොවීමට හේතු ලෙස සිතිය හැකි වන්නේ හෙළ අටුවා ලියන කළ ඇතැම් විට ආරාම වල පිළිම ගෙවල් නොතිබෙන්නට ඇති බවත් නැතිනම් එකළ ධාතු නිදන් කළ බුදුපිළිම පමණක් පූජ්‍ය වස්තූකන් ලෙස සැලකීමත් හා බොහෝ බුදු පිළිම ප්‍රමාණයෙන් කුඩා වීමත්ය.එමෙන්ම එකළ පිළිම අඩු සංඛ්‍යාවක් තිබුණු අතර දාන මාන කටයුතු වලදී ඒවා එහා මෙහා ගෙනයාමට සිදුවිය. එහෙයින් පිළිම තැන්පත් කිරීමට විහාර ගෙයක් අවශ්‍යම නොවීය.මෙම හේතූන් නිසා පිළිම ගෙය ගැන සඳහන් කිරීමට එතරම් සැලකිල්ලක් දක්වා නැතැයි සිතිය හැක.ක්‍රි.ව.5 වන ශත වර්ෂය පමණ වන විට පිළිම ගෙය තරමක් විශාල මන්දිරයන් බවට පත්ව ඇත. 1 වන මුගලන් රජු කළ ලංකාවට වැඩම කරවන ලද කේශධාතුව තැන්පත් කරන ලද්දේ පිළිම ගෙයකය.

ආරාමයක මීළග වැදගත්ම අංගය වූයේ ධර්ම දේශනා ඇසීමට ඇති ධර්ම ශාලාවයි. ලෝවාමහාපායේ පහත මාලය ධර්මශාලාවක් වශයෙන් පැවත ඇත. එකළ ධර්ම ශාලාව සැප පහසු එකක් ලෙස පැවතිණි. විශාල පිරිසකට ඉඩ කඩ නොතිබුණු අතර අවට වල් බිහි වී ඇත.සෑම විහාරයකම පෝය ගෙයක් ද විය. භික්‍ෂූන් පසලොස්වක පෝය දා විනය කර්ම සෑම විහාරයකම පෝය ගෙයක්ද විය.භික්ෂූන් පසළොස්වක පෝයදා සහ මාසේ පෝයදා විනය කර්ම කිරීම සදහා රැස්වී ඇත්තේමෙමස්ථානයටයි. ලෝවාමහාපාය, අනුරාධපුර මහාවිහාවාසී භික්ෂූන්ගේ පෝය ගෙය විය.අනුරාධපුරයෙහිම ථූපාරාමය,මිරිසවැටිය,දකුණු වෙහෙර ආදී ආරාමවල වෙනවෙනම පෝය ගෙවල් තිබී ඇත.මේවාහි සතරවාසල දොර-කොටු හතරක් තිබී ඇති අතර ඒවායෙහි දොරටුපාල රූපද තිබී ඇත.පසුකලකදී ඇතැම් ආරාමවල සම්බුද්ධ ධාතුන් තැන්පත් කර තැබීම පිණිස දාගැබී තිබී ඇත.මෙම ගෙවල් කේෂ ධාතූ හා දන්ත ධාතූ වැඩසිටුවීම පිණිස කරවා ඇත.අනුරාධපුර දළදා ගෙය අතිශයින් පූජ්‍ය හා ශෝභාසමිපන්න වූ මන්දිරයයකි.දළදා මැදුරේ මළුව හුණින් කළ ඇත් රූප වලින් අලංකාර කොට ඇත.එමෙන්ම මහා විහාරයත,ජේතවනය හා අභයගිරිය වැනි විශාල ආරාම සමහරක රත්න ප්‍රාසාද නම් ගොඩනැගිල්ලක් තිබී ඇති අතර එය කුමක් සඳහා යොදා ගනු ලැබුවේදැයි තීරණය කිරීමට හැකියාවක් නොමැති වී ඇත.

එකල හැම ආරාමයකම බත් හලක් (හත්තසාලා) තිබුනු අතර භික්ෂූන්ට දන් පිළිගන්වා ඇත්තේ මෙහිය.මුලින්ම දේවානම්පියතිස්ස රජු විසින් මහාවිහාරයෙහි කරවන ලද බත්හල 'මහාපාලි'නමින් හදුන්වා ඇත.එය අනුරාධපුරයේ සියලුම ප්‍රධාන ආරාමවල භික්ෂූන් ට පොදු බත්හලක් වී ඇත.බත් දැමීම සදහා ගලින් කළ ඔරුද තිබී ඇත.එකල ආරාමවල පිරිවෙන් බොහෝ ගණනක් තිබීමද විශේෂත්වයකි. අනුරාධපුර මහවිහාරයේ පිරිවෙන් හා ප්‍රසාද 364ක් තිබී ඇත.ථූපාරාමයේද පිරිවෙන් රැසක් තිබී ඇත.භික්ෂූන් සෙනසුන් සදහා පරිභෝග කළ ස්ථානය විහාරය,ආවාසය හෝ පිරිවෙන නම් විය.සම්පූර්ණ ආරාමයක දොරටුවේ දොරටු පැන් මඩිය නම් ගොඩනැගිල්ලක් තිබිණි. එහි පැන් කළයත් තබා ඇති අතර එයින් වන්දනාකරුවන් අත් දෝවනය ,මල්වලට පැන් ඉසීමට හා බීමට යොදා ගෙන ඇත.උදා- ජේතවනාරාමයේ විශාල දොරටු පැන් මඩිය නම් ගොඩනැගිල්ලක් තිබී ඇත. පඨානඝර හෙවත් ආරාම ගෘහයද ආරාමවල තවත් වැදගත් අංගයක් විය.මුලදී මෙම ගොඩනැගිල්ල භාවනා කිරීමට පාවිච්චි කර ඇති අතර පසුකලකදී ආරාමයේ නායක ස්ථවිරයන්ගේ ලැගුම් ගෙය වී ඇත. ඇතැම් විට පඨානඝරය තුළ ධර්ම දේශනා ද පවත්වා ඇත. ආරාමයක ප්‍රධාන අංග වලින් එකක් ලෙස වැසිකිළියද සදහන් කළ හැකිය. ආරාම භූමිය ඇතුළත සුදුසු තැන් වල මුසුන් මඩු හා දර මඩු ද තිබී ඇත. මීට අමතරව පැන් මඩුවක්ද තිබී ඇත. පොත්ගුල්ද ආරාමවල තිබී ඇති අතර අනුරාධපුරයේ හා මාගම විශාල ආරාමවල පොත්පත්ද රැස්කර තබා ඇත. ක්‍රි.ව. 4හා 5වන ශතවර්ෂවලදී දීපවංශයද පාලි අට්ඨ කතාද මහවංශයද ලියැවී ඇත. බුද්ධඝෝෂාචාරයන් පාලි අට්ඨ කතා ලියුවේ ගන්ථාකර විහාරයෙහි වැඩ සිටිමින් බව මහවංශයේ දක්වා ඇත.

අනුරාධපුර යුගයේ ආරාම පාලනය[සංස්කරණය]

ආරාමයක පාලනය මුලුමනින්ම සංඝයා සතු කාර්යයක් විය.එක එක ආරාමයෙහි නේවාසික මහා ස්ථවිර කෙනෙක් සිට ඇත.ආරාමයේ විනයත් සාමයත් ගැන වගකීම පැවරුනේ උන් වහන්සේටය.විහාර,ගම් නොතිබුණු කාලයේ ආරාම පාලනය සුලු කටයුත්තක් වුවද ජනාවාස බිහිවීමත් සග පිරිස වැඩි වීමත් සමග ආරාම පාලනය කිරීම භාරදූර කටයුත්තක් විය.පුරාණ ලංකාවේ ආරාම පාලනය වූ ආකාරය ගැන සෙල් ලිපිවල දැක්වේ.ආරා‍මයෙහි සංඝයාද ආරාමිකයන්ද,දාසයන්ද විහාර ගම් පාලනයද පිළිබද එකල ව්‍යවස්ථා තිබී ඇත.එක් එක් අය විසින් ඉටු කළ යුතු කාර්ය නියම කොට දිවෙල්ද එක් එක් කාර්යට ගෙවිය යුතු පඩිනඩි ද නියම කොට තිබිණි.මෙම සියලු පාලන කටයුතු සලසන ලද්දේ සංඝයාගෙන් විමසා ඔවුන්ගේ කැමැත්ත අනුවය.ආරාම තුළ දී ආහාර ලබා ගැනීම,බෙහෙත්,ගිතෙල් ආදිය ලබා ගැනීම භික්ෂූන් විසින් වැඩිමහල් පිළිලෙට ගොස් ලබා ගත යුතු විය.දුසිල් හෙණුන්ට ආරාමයේ වාසය තහනම් වූ අතර ආරවුල් ඇති කර ගන්නා භික්ෂූන්ට ආහාර නොදී ඒවා බලු කපුටු ආදී සතුන්ට දැමිය යුතු බව එක් සෙල් ලිපියක දක්වා ඇත.එසේම වෙනත් ආරාම වලට අධාර කරන්නන් හෝ වෙනත් ආරාම සමග ආශ්‍රය කරන්නන් ඒ ආරාමයෙහි නොවිසිය යුතු බව ජේතවන සංස්කෘත සෙල් ලිපියේ දක්වා ඇත.මීට අමතරව ආරාම භූමියේ ගහකොළ කැපීමද තහනම් වූ අතර එසේ තහනම් කර ඇත්තේ පිටස්තර අමුත්තන්ගෙන් ආරාම රැක ගැනීම පිණිසය.මෙකළ අභයගිරියේ භික්ෂූන් 5000 ක් ද මහාවිහාරයේ භික්ෂූන් 3000 ක් ද වැඩවසා ඇත.මේනිසා ආරාම වල නඩත්තුව සදහා විශාල පිරිසක් සිට ඇත.පස්වන මිහිදු රජුගේ මිහින්තලා සෙල් ලිපියෙහි දැක්වෙන ආකාරයට මිහින්තලේ ආරාමයේ විවිධ වැඩකටයුතු පිණිස ස්ථිර සේවකයෝ 200ට වඩා සිට ඇත.ආරාමයේ සියලු කාර්මිකයින්ට ද භික්ෂූන්ට ද රාජකාරියට වැටුප් ගෙවන ලදි.ආරාම නඩත්තු කර බලා ගැනීම පිණිස විශාල මුදලක් අවශ්‍ය වූ අතර එම ආදායම විවිධ මාර්ගයෙන් ලබා ගෙන ඇත.සැදැහැවතුන් තම වත්කමින් කොටසක් සංඝයාට පූජා කර ඇති මුත් ඒ අල්ප වශයෙනි.එම නිසා ස්ථිර ආදායම් මාර්ග හතරක් තිබී ඇත.එනම් ගම්බිම් හා කෙත්වතු,වැව් හා වේලි,පොලී ලබාගැනීම,බදු හා දඩ මුදල් අයකර ගැනීමයී.

මෙකළ රජවරුන් සහ මෙහෙසියන් විසින් ද වෙනත් පුද්ගලයන් විසින් ද ආරාම වලට වැව් හා වේ ලි රාශියක් ද පූජා කර ඇත.ථෙරිය නිකායට ධාතුසේන රජු වැව් 18 ක් පූජා කර ඇත.එම වැව් හා වේලි වටිනා ආදායම් මාර්ගයක් ලෙස පැවත ඇති අතර දිය බදු නමින් බද්දක් වශයෙන් එම ආදායම ලබා ගෙන ඇත. 4වන හා 5වන ශත වර්ෂ වන විට ආර්ථිකමය වශයෙන් වෙනස්කම් සිදු වූ අතර ආගමික කටයුතු වලද පුදපූජා ක්‍රම වෙනස් විය.කෙත් වතු වැව් වේලි වෙනුවට ‍භෝග හා මිල මුදල් තැන්පත් කිරීම සිදු විය.උදා:-ඇමතියකුගේ පුතකු වූ සිරිනෙක නම් අයෙක් නුවර ට නැගෙනහිරින් පිහිටි දේවගිරි නම් ආරාමයක ප්‍රයෝජනය සදහා මහබතක ශ්‍රේණියෙහි කහවනු 100ක් තැන්පත් කළ බව ලබු ඇට බැදිගල ලිපියෙහි සදහන් වේ.තවත් ආදායම් ක්‍රමයක් නම් ආරාමවල දාසයන්ගේ නඩත්තුව සදහාත් ඔවුන් දාසකමින් මුදවාලීම සදහාත් මුදල් පූජා කිරීමයි.දාසයකු ලෙස සිටියදී පැවදි කරලීමද තහනම් විය.දාසයන් එම දාස බවින් මුදවාලීමත් ඔවුන්ගේ නඩත්තුවට මුදල් පරිත්‍යාග කිරීමත් මහගු පිනක් ලෙස සළකන ලදී.උදා- අනුරාධපුරයේ අභයගිරියේ දාසයන්ගේ පැවැත්ම පිණිස කහවනු පූජා කළ අය පිළිබද එම යුගයේ තිබී හමු වූ හයවන හා හත්වන ශත වර්ෂවලට අයත් නකටි සෙල් ලිපි 8ක සදහන් වී ඇත.එසේම ආරාමයක දාසයකු ලෙස කැපවීම මහත් ථල මහානිසංශ ගෙන සදන ආගමික පිංකමක් ලෙස සැළකිණි. 8වන අග්බෝ රජු තම මෑණියන් ලවා තමා සංඝයාට ජූජා කරවා තමාගේ වටිනාකමට සරිලන මුදලක් ගෙවූ බව සදහන් වේ.ක්‍රි.ව.පස්වන ශතවර්ෂයේ සිට අටවන ශතවර්ෂය පමණ වනතෙක් මෙම ආගමික සිරිත පැවත ඇති බව සෙල් ලිපිවල දක්වා ඇත.මෙම වහල් වෙළදාමෙන්ද සැබෑ වෙළදාමෙන්ද ආරාම වලට විශාල ආදායමක් ලැබී ඇත.

එසේම අනුරාධපුර නගරයට ගෙනන ලද එක් එක් වී මල්ලෙන් පතක බද්දක් සංඝයාගේ පොදු ලහබත් හල වූ මහා පාලියේ පැවැත්ම පිණිස අය කරන ලද බව දහවන සියවසට අයත් සෙල් ලිපියක දක්වා ඇත.මෙම විවිධ ආදායම් මාර්ග හේතුවෙන් මෙම යුගයේ ආරාම ධන ධාන්‍යයෙන් පිරී පැවත ඇත.ඇතැම් රජවරු විපතට පත් අවස්ථාවලදී ඔවුන්ට ආධාර කිරීමට තරම් වත් පොහොසත්කමක් ආරාම වලට තිබී ඇත. මෙම යුගයේ භික්ෂුනී ආරාමද පැවත ඇත.දේවානම්පියතිස්ස රජුගේ අනුලාදේවිය ඇගේ පිරිවර ස්ත්‍රීන් සදහා අනුරාධපුරයෙහි මෙහෙන වරක් කරවා ඇත.මෙම භික්ෂු භික්ෂුණි ආරාම අසළ වෙදහල් ද පැවත ඇති බව අනුරාධපුරයේ යුගයේ තිබු විවිධ සෙල්ලිපි හා පුරා විද්‍යා නටඹුන් වලින් පෙනී යයි.

අනුරාධපුර යුගයේ සුවිශේෂි ආරාම[සංස්කරණය]

මහාවිහාරය[සංස්කරණය]

අනුරාධපුර යුගයේ තිබූ විශාලතම හා වැදගත්ම ආරාමය වූයේ මහාවිහාරයයි.ථෙරවාදී බුදුදහම ආරක්ෂා වූයේ ද මෙම විහාරෙහිය.මහාවිහාරය ගොඩනැගිලි කිහිපයකින් යුක්ත වූ අතර ඉතා සමෘද්ධිමත් විහාරයක් විය. ලෝවාමහාසෑය,මහාථූපය,ස්වර්ණමාළී මහාසෑය,මහා බෝධි යන ස්ථාන මහා විහාරයට අයත් විය.මෙහි භික්ෂූන් 3000ක් වැඩවාසය කර ඇත.තවද බුදුදහම වැලඳ ගැනීම පිණිස විදේශිකයෝ ද මහාවිහාරයට පැමිණ ඇත.මෙම යුගයේ මහාවිහාර හා අභයගිරි විහාර භික්ෂූහු අතර විවිධ මත ගැටුම් ඇති වී තිබේ.එය ථෙරවාදී හා මහායාන බුදුදහම අතර ඇති වූ නිකායවාදී මතභේධයකි.එසේම බ්‍රාහ්මණතිස්ස සාගතයෙහිදීද දමිළ ආක්‍රමණ වලදීද භික්ෂූන් විසින් අතහැර දැමීමක් ද සිදු විය.කෙසේ වෙතත් අනුරාධපුර යුගය පමණක් නොව ලාංකීය ආරාමයන් පිළිබද විමසීමේදී මහවිහාරය ප්‍රමුඛස්ථානයක් ගනී.

ථුපාරාමය[සංස්කරණය]

ථූපාරාමයද අනුරාධපුරයේ ඇති පූජනීය වූ විහාරයකි.එහි දාගැබෙහි කකුසද,කෝණාගම,කාශ්‍යප හා ගෞතම යන බුදුවරුන්ගේ ධාතු නිදන් කර ඇතැයි විශ්වාස කෙරේ.එසේම බුදුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදීමෙන් මෙම ‍චෛත්‍ය පාරිශුද්ධ කරන ලද බවට විශ්වාසයක් පවතී.ථූපාරාම විහාරයෙහි ශ්‍රීමහ බෝධියේ පැලයක් රෝපණය කර තිබේ.තවද ගජබාහු රජු විසින් ථුපාරාමයේ සංඝයා වෙත කරන ලද පරිත්‍යාගයක් ගැන පාලුමැකිච්චාව ශිලා ලිපියෙහි දැක්වේ.

ඉසුරුමුණිය හා වෙස්සගිරිය[සංස්කරණය]

මෙම විහාර දෙක කරවන ලද්දේ දේවානම්පියතිස්ස රජු විසිනි.ස්වභාවිකව පිහිටි ගලක් හාරා වෙස්සගිරිය නිර්මාණය කරඇත.මහාවිහාරය,ථූපාරාමය,චේතියවහාරය,ඉසුරැමුණිය හා වෙස්සගිරිවිහාර අනුරාධපුර පංච මහා විහාර ලෙස හදුන්වන ලදි.නමුත් අනෙකුත් විහාර මෙන් ඉසුරුමුණිය හා වෙස්සගිරිය ගැන තොරතුරු පලිඅටිඨකතාවන් හි සඳහන් වී නොමැත.

අභයගිරිවිහාරය[සංස්කරණය]

අභයගිරිය වට්ටගාමිණීඅභය රජු විසින් කරවන ලද්දකි.එකල අභයගිරිය හා ජේතවන විහාර දෙක,අභයගිරිය ජේතවනය ලෙසත් ජේතවනය අභයගිරිය ලෙසත් වරදවා වටහාගෙන ඇති බව ගයිගර් මහතා විසින් පෙන්වා දී ඇත. වෛතුල්‍යයවාදීන්ගේ ප්‍රධානස්ථානය වූයේ අභයගිරියයි.නිකාය භේදය නිසා මහාවිහාරවාසීන් සමග මතභේද ඇති වීමද මහායාන බුදු සසුනෙහි චිරස්ථිතිය උදෙසා කටයුතු කිරීම නිසාද අභයගිරි විහාරවාසීන් වැදගත්වේ.

දක්ඛිණගිරි විහාරය[සංස්කරණය]

අනුරාධපුර නගරයට දකුණු දෙසින් පිහිටා ඇති මෙම විහාරය කලක් සාගලිය නිකායෙහි ප්‍රධාන ස්ථානය වී පැවතිණි. අට්ඨ කතා වලද මහවංශයෙහිද දක්ඛිණගිරි විහාරය ගැන සදහන් වේ.සද්ධාතිස්ස රජු විසින් කරවන ලද්දක් වන මෙම විහාරය කලක් රහතුන් වහන්සේලාගේ වාසස්ථානයක් ලෙස ප්‍රකටව ඇත.


සමාලෝචනය[සංස්කරණය]

ලාංකීය ඉතාහාසය දෙස බැලූ විට අනුරාධපුර යුගය ලාංකීය සංස්කෘතික අංග වර්ධනයට මූලික වූ අතිශය වැදගත් යුගයක් ලෙස හැදින්විය හැක. බෞද්ධ සංස්කෘත වර්ධනයෙහිලා මෙකළ සිටි රජවරු හා රට වැසියන් ඉමහත් ලෙස දායක වී ඇත. අනුරාධපුර යුගයේ සියලු ආගමික ගොඩනැගිලි ආරාම ඇසුරින් නිර්මාණය වී ඇත. අනුරාධපුර යුගය මෙකළ රටේ අගනුවර වශයෙන් පැවතීම තුල එහි වූ විහාරාරාම විශේෂ සැලකිල්ලට ලක්ව ඇත. එමෙන්ම මුල් යුගයේ ගල්ලෙන් භික්‍ෂූ වාසස්ථාන වූ අතර පසු කලෙක ඒවා විශාල ගොඩනැගිලි වලින් යුත් ආරාම බවට පත්ව ඇත. ආරාම පාලනය විධිමත් අයුරින් පැවත ඇත. ආරාම වලට ලැබුණූ ආදායම් තුලින් පෙනී යන්නේ විශාල ධනස්කන්ධයක් ආරාම සතුව පැවති බවයි.ආරාම මගින් විශාල ධන පරිත්‍යාග ද සිදුකර ඇත.අනුරාධපුර යුගයේ ආරාම ලාංකීය සංස්කෘතියටත් බුදු සසුනටත් මධස්ථානයක් වී ඇත.

ආශ්‍රිත සාහිත්‍යය මූලාශ්‍ර[සංස්කරණය]

  • වල්පොළ ශ්‍රී රාහුල ස්වාමීන්වහන්සේ - 1999,ලක්දිව බුදුසමයේ ඉතිහාසය,ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන,කොළඹ 10.
  • අධිකාරම් ඊ. ඩබ්.- පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය හෙවත් පාලි අට්ටකථා වලින් අනාවරණය වන ලංකාවේ බුදුසමයේ තත්වය, ජේ. කේ. ජී.ජයවර්ධන සහ සමාගම, කොළඹ.
  • ද ලැනරෝල් වි.ඩි. (සංස්කරණය)- 1961 ජූලි, ලංකා ඉතහොසය(පූර්වභාගය), ඇම්.ඩි.ගුණසේන සහ සමාගම,කොළඹ.
  • සුරවීර ඒ.වි.-අනුරාධපුර සමාජය.
"https://si.wikipedia.org/w/index.php?title=ආරාම&oldid=121505" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි