අර්නස්ට් හෙමිංවේ - පළමුවෙනි ලෝක සංග්‍රාම නිල ඇඳුමෙන්

විකිපීඩියා වෙතින්

20 වෙනි ශත වර්ෂය ආරම්භයේදි ඇමෙරිකානු නවකථා කරුවන් ඉහළ සහ පහළ පන්ති සමාජ ජීවිතය හසුකර ගැනීම සඳහා ඔවුන්ගේ ප්‍රබන්ධ කථා වල විෂය පථය පුළුල් කළහ. එඩිත් වාර්ටන් (Edith Wharton 1862-1937) ඇගේ කතාවල සහ නවකථාවල ඉහළ පන්තිය පරෙස්සමින් සෝදිසි කළාය. ඊස්ටන් සීබෝඩ් සමාජය නම් වූ එම සමාජය තුල ඇය හැදි වැඩුනාය. ඇගේ කදිම පොත් වලින් එකක් වූ ඒජ් ඔෆ් ඉනසන්ස් (The age of innocence) ඉලක්ක කර තිබෙන්නේ විවාහය සඳහා ලස්සන පිටස්තර ගැහැණියකට වඩා සාම්ප්‍රදායික සිරිත් විරිත් ගරු කරන සමාජය පිළිගත් ගැහැණියක තෝරා ගන්නා පිරිමියෙකු ගැනයි. මෙම කාලය තුලදීම ස්ටීවන් ක්‍රේන් (1871-1900) (Stephen crane) නිව් යොර්ක් නගරයේ වෙසඟනන් ගැන කියැවෙන ‘මැගි: අ ගර්ල් ඔෆ් ද ස්ට්‍රීට්ස්’ නැමැති කෘතිය කළේය. ඔහු ප්‍රසිද්ධියට පත් වූයේ සිවිල් යුද්ධය අලලා ඔහු ලියු ‘ද රෙඩ් බැජ් ඔෆ් කරේජ්’ නම් නව කථාවෙනි. එමෙන්ම ‘සිස්ටර් කැරි’ නමින් තියසෝර් ඩ්‍රෙසියර් (1871-1945) Theodore Dreiser) විස්තර කරන්නේ චිකාගෝ නගරයට පැමිණි ගම්බද කාන්තාවක් ගැනයි. හැමිලින් යාර්ලන්ඩ් සහ ෆ්‍රෑන්ක් නොරිස් ඇමෙරිකානු ගොවීන්ගේ ප්‍රශ්න ගැන ලියුවේය.

දේශපාලන ලියවිලි මගින් සමාජ ප්‍රශ්න සහ සමගියේ බලය ගැන ඍජුව සාකච්ඡා වුනේය. එඩ්වර්ඩ් බෙලමි වැනි ඇතැම්හු ඉදිරියේදි විය හැකි දේශපාලන සහ සමාජ හැඩ ගැසීම් වල හැඩය Looking Backward හිදී පෙන්වා දුන්හ. ද ජංගල් කෘතිය නිසා බොහෝ ප්‍රසිද්ධ වූ අජටන් සින්ක්ලෙයාර් නම් ලේඛකයා සමාජවාදය හඳුන්වා දුන්නේය. යුගයේ සිටි අනෙකුත් දේශපාලන ලේඛකයින් අතරට එඩ්වින් මාර්ක්හැම්, විලියම් වෝහ්න් මූඩි යන අය අයත් වෙති. පත්‍ර කලාවේ විවේචකයන් වූ ඉඩා එම් ටාර්බල් සහ ලින්කන් ස්ටෙෆෙන්ස් “අපචාර අවුස්සන්නේ” (muskrakers) ලෙස හඳුන්වනු ලැබූහ. හෙන්රි ඇඩම්ස්ගේ ස්වයං චරිතාපදානය වූ ‘ද එඩියුකේෂන් ඔෆ් හෙන්රි ඇඩම්ස්’ කෘතියෙන් අධ්‍යපන ක්‍රමයේ සහ නවීන ජීවිතයේ නොමනා පැති හෙළි කළේය.

හැඩය සහ ශෛලිය පිළිබඳ පරික්ෂණ ප්‍රස්තුත කාරණය සමග ඉක්මණින් සම්බන්ධ විය. 1909 දී එවකට පැරීසියට පිටමං වී සිටි ගර්ට්රූඩ් ස්ටෙයින් (1874-1946) ත්‍රී ලයිව්ස් නම් කෘතියක් ප්‍රකාශයට පත් කළාය. එය ජ්‍යාමිතික චිත්‍ර කලාව, ජෑස් සංගීතය සහ සමකාලීන කලා සහ සංගීතයේ අංග වලට ඇයට තිබු සමීප බව ආභාෂයට ගෙන ලියැවුනු අමුතු ආකාරයේ කෘතියක් විය.

එස්රා පවුන්ඩ් (1885-1972) නම් කවියා ඉඩහෝ හි උපන් නමුත් ඔහුගේ වැඩිහිටි කාලය බොහෝ සෙයින් ගත කළේ යුරෝපයෙහිය. ඔහුගේ නිර්මාණ සංකීර්ණය. ඇතැම් විට තේරුම් ගැනීමට දුෂ්කරය ඒවායේ වෙනත් කලා ක්‍රමවලට සහ පෙර අපර දෙදිග සාහිත්‍යයට යොමු කළ කරුණු ඇත. ඔහු වෙනත් ‍ෙබාහෝ කවීන්ගේ ආභාෂය ලබා ගත්තේය. විශේෂයෙන් ටී.එස්.එලියට් (1888-1965) සඳහන් කළ හැක. පවුන්ඩ්ගේ කෘති මෙන්ම එලියට්ගේ කාව්‍යයන්ද ව්‍යාංගර්ථයන් බහුලය. ඔහුගේ වෙස්ට්ලන්ඩ් (The wasteland) නම් කාව්‍ය සංග්‍රහයේ කවියා විසින්ම තබන ලද අධෝ ලිපි තිබේ. 1948 දී සාහිත්‍ය සම්බන්ධයෙන් එලියට් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවේය.

ඇමෙරිකානු ලේඛකයෝ යුද්ධය මත ඇති වූ සිත්වල පවතින මුලාවන් ප්‍රකාශ කළහ. එෆ්. ස්කොට් ෆිට්ස්ජෙරාල්ඩ්ගේ (1896-1940) කථා සහ නවකථා 1920 දශකයේ අසහනකාරි නොසැලකිලිමත් තත්වයන් හසුකර ගනි. ඔහුගේ ද ග්‍රේට් ගැට්ස්බි (The Great gatsby) කෘතියේ තේමාව වී ඇත්තේ තරුණයින්ගේ රන් සිහින බලාපොරොත්තු කඩවීම සහ අසමත් වීම මත දියවී යාමයි. සින්ක්ලෙයාර් ලුවිස් සහ ෂර්වුඩ් ඇන්ඩර්සන් ද ඇමෙරිකානු ජීවිතය විවේචන කරන ආකාරයේ නවකථා ලියූහ. ජෝන් ඩොස් පැඩෝස් යුද්ධය ගැන මෙන්ම පරිහානිය දක්වා විහිදෙන එක්සත් ජනපද ත්‍රිත්වය (U.S.A. Trilogy) ගැන ලියුවේය. අර්නස්ට් හෙමිංග්වේ (1899-1962) පළමු ලෝක යුද්ධ සමයේ ගිලන්රථ රියදුරෙකු වශයෙන් සේවය කිරීමේදි දරුණු ක්‍රියා සහ මරණය පිළිබඳ අත්දැකීම් ලබා තිබුනේය. ඔහු තම ලේඛණ වලින් අනවශ්‍ය වචන කපා හැරියේය. වාක්‍ය ව්‍යුහය සරල කළේය. ද සන් ඕල්සෝ රයිසස් සහ අ ෆෙයාර්වෙල් ටු ආර්මි යන කෘතින් සාමාන්‍යයෙන් ඔහුගේ අගනාම කෘතින් ලෙස සළකනු ලැබේ. 1954 දී ඔහු සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය ලැබුවේය.

හෙමිංවේට අවුරුදු පහකට කලින් තවත් ඇමෙරිකානුවෙකු වූ විලියම් ෆෝල්ක්නර් (William Faulkner) (1897-1962) නොබෙල් සම්මානය දිනා ගැනීමට සමත් විය. ඔහු විසින්ම නිර්මාණය කරන ලද මිසිසිපි ප්‍රදේශයක් වූ යොක්නපටව්ෆා කවුන්ටි (Yoknapatawha County) යෙහි මනුෂ්‍යත්වය පිළිබඳ අති විශාල පරාසයක් ඇතුළත් කර ගැනීමට සමත් විය. ඔහු ඔහුගේ චරිත නිර්මාණය කර ඇත්තේ (පෙනෙන ආකාරයට) සංස්කරණයකින් තොරව දිගින් දිගටම විස්තර කරමින් එම චරිත වල අභ්‍යන්තර ස්වභාවය පෙන්වා දීම සඳහාය. (මෙම ක්‍රමය හඳුන්වා දී තිබෙන්නේ ‘Stream of consciousness’ යනුවෙනි.) වර්තමානය තුල අතීතය පවතින්නේ කෙසේද කියා පෙන්වීමට ඔහු කාල ක්‍රමානූකුල පිළිවෙල (විශේෂයෙන් ඈත දකුණේ වහල් සේවය පැවති කාලය) වෙනස් කළේය. ඔහුගේ ශ්‍රේෂ්ඨතම කෘති අතරට ද සවුන්ඩ් ඇන්ඩ් ද ෆියුරි, ඇබ්සැලොම්, ඇබ්සැලොම්!, ගෝ ඩවුන්. මෝසෙස් සහ ද අන්වැන්ක්විෂ්ඩ් යනාදි කෘතින් ඇතුලත් වේ.

අවපාත යුගයේ (Depression era) සාහිත්‍යය තියුණු නොවීය. එසේම එය යොමු වූයේ කෙළින්ම සමාජ විවේචනය සඳහාය. ජෝන් ස්ටෙයින්බෙක් (1902-1968) කැලිෆෝර්නියාවේ සැලිනාස් හි උපත ලද අතර එහිදි ඔහුගේ බොහෝ ග්‍රන්ථ සකස් වුනේය. ඔහුගේ ශෛල්‍ය සරල මෙන්ම ප්‍රබෝධාත්මකය. මේ නිසාම විවේචකයින්ගේ නොව බොහෝ සෙයින් පාඨක ප්‍රසාදයට ඔහුට ලැබුනි. ඔහු ‍බොහෝ විට දුගී ජනයා, සහ යහපත් ජීවිතයක් පතා වැඩ කරන පන්තිය ගෙන යන අරගලය ගැන ලීවේය. ඔහුගේ යුගය ගැන බලන විට සමාජය ගැන හොඳින් දැනුවත්ව සිටි පුද්ගලයා ඔහු බව කිව හැකිය. ‘ද ග්‍රේප්ස් ඔෆ් රොත්’ ඔහුගේ අගනා කෘතිය ලෙස සැළකේ. එය ඉතා බලවත් සමාජය මූලික කරගත් කෘතියකි. වඩා හොඳ ජිවිතයක් අපේක්ෂාවෙන් ඔක්ලොහෝමා සිට කැලි‍ෆෝර්නියා දක්වා ගිය ජෝඩ් (Joads) නම් දුගි පවුලක් වටා එම කථාව ලියැවි තිබේ. ඔහුගේ අනෙකුත් ජනප්‍රිය කථා අතරට ටොරිල්ලා ෆ්ලැට් ඔෆ් මයිස් ඇන්ඩ් මෙන්, කැනරිරෝ සහ ඊස්ට් ඔෆ් ඒඩ්න් නම් කෘතින් ඇතුලත් වේ. 1962 වර්ෂයේදි ඔහු සාහිත්‍යය සඳහා නොබෙල් සම්මානය ලැබුවේය. දුගි අය ගැන ලියු අනෙකුත් ලේඛකයින් නම් නදනියෙල් වෙස්ට් (Nathanael west) ෆීල්ඩින් බර්ක්, ජැක් කොන්‍රොයි, ටොම් ක්‍රොමර්, රොබට් කැන්ට්වෙල්, ඇල්බර්ට් හාපර් සහ එඩ්වින් ඇන්ඩර්සන් යනාදිහු වේ.