අමරපුර මහා සංඝ සභාව

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

අමරපුර මහ නිකාය ශ්‍රී ලංකාව පාදක කරගත් ප්‍රධාන භික්‍ෂු නිකායන් 3න් එකකි. ක්‍රි.ව. 1803 දී අමරපුර නිකාය ආරම්භ විය.ආරම්භයේදී අමරපුර සමාගම නමින් සංඝ සංස්ථාවක් වශයෙන් පැවතුණද පසු කාලීනව ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය විවිධ වූ උප පාර්ශවයන් 21 ක් දක්වා විකේන්ද්‍රගත විය. ඒම උප නිකායන් නිකාය යන වදන භාවිතාකිරීම හේතුකොටගෙන මවු නිකාය වර්තමානයේදී ශ්‍රී ලංකා අමරපුර මහ නිකාය ලෙස හැඳින්වේ. එම නිකායේ උපසම්පදාව පිහිටුවීමට මුල් වු බුරුමයේ පැරණි අගනගරය වන අමරපුර නගරය හේතුවෙන් එම නම යෙදී තිබේ. අමරපුර නිකායේ භික්ෂුන් අනුගමනය කරන්නේ ථේරවාදී බුදුදහමයි.වර්තමානයේ අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නාය පදවිය උසුලන්නේ කොටුගොඩ ධම්මාවාස මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය .

අයත් පාර්ශව[සංස්කරණය]

මේ වන විට අමරපුර මහ නිකාය පාර්ශව 21 කින් සමන්විතවේ. මෙම සෑම නිකාය පාර්ශවයක්ම මහ නායක පදවියකින් , අනුනායක පදවියකින්, මහා ලේඛකාධිකාරී පදවියක්, නියෝජ්‍ය ලේඛකාධිකාරී පදවියකින්, ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියකින් සහ විංශත්වාර්ගික කාරක මහා සංඝ සභාවකින් ප්‍රතිසංවිධානගතව ඇත.

01) මූලවංශික පාර්ශවය

02) උඩරට අමරපුර සාමග්‍රි සංඝ සභාව- ධම්මජෝති හිමියන් විසින් සිදුකරන ලද උඩරට ප්‍රදේශයේ ශාසනික ප්‍රබෝධයේ තවත් ප්‍රතිඵලයක් ලෙස උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාව හඳුන්වා දිය හැකිය. මෙය උඩරට අමරපුර නිකායෙන් බිදී ගිය නිකායකි. 1990 වන විට විහාරස්ථාන හා පිළිගත් මෙම නිකායට අයත් වූ අතර 285 නමක් පමණ පැවිදි පිරිසක් ඒවායේ වැඩ වාසය කළහ .


03) ඌව උඩුකිඳ පාර්ශවය- ඌව අමරපුර නිකායෙන් 1932 වසරේ දී උඩුකිඳ අමරපුර නිකාය බිහිවූ අතර එම නිකායට අයත් ව 1990 වන විට විහාරස්ථාන දාහතක් පමණ පැවති අතර 100කට ආසන්න භික්ෂූන් වහන්සේ පිරිසක් ඒවායේ වාසය කළහ.ඒ අනුව උඩුකිඳ අමරපුර නිකායද බෝගහපිටියේ ධම්මජෝති හිමියන් ඌවේ ඇති කළ ශාසන ප්‍රබෝධයේ ප්‍රතිඵලයකි.


04) ඌව අමරපුර පාර්ශවය- බෝගහපිටියේ ධම්මජෝති ස්වාමීන් වහන්සේගේ නායකත්වයෙන් නම්බපානතොට උදකුක්ඛේප සීමාවේදී සිදුකරන ලද උපසම්පදාව උත්සවයේ දී උපසම්පදාව වූ භික්ෂූන් වහන්සේ නමකි. විනයාචාර්ය රහුපොල සුජාත හිමියන්, මෙම හිමියන් ආදී ඌව පළාතේ අමරපුර නිකායික භික්ෂූන් ගේ උත්සාහයෙන් බෝගහපිටියේ ධම්මජෝති හිමියන්ගේ නායකත්වයෙන් මිරගහවත්ත,හපුගොල්ල පස්සර,රඹුක්පොත යන විහාරස්ථානයන්හි සීමා සම්මත කළහ.ඉන්පසු බෝගහපිටියේ ධම්මජෝති හිමියන් ඇතුළු මහා සංඝයාගේ අනුදැනුම මත වෙල්ලස්සේ ලබුහේනේ මහා නාහිමියන් උපාධ්‍යයන් කොට බු.ව.2388 ඌව පළාතේ යටිකිද ඇකිරිය නම් ගමේ කැකුලේ ඔය උදකුක්ඛේප සීමාවේදී ඌව අමරපුර නිකායේ පළමු උපසම්පදා උත්සවය පවත්වන ලදී.ඌව පළාතේ අමරපුර නිකාය නමින් මුල් කාලයේ හැඳින්වුණු මෙම නිකාය පසුව " ඌව අමරපුර නිකාය" නමින් ප්‍රසිද්ධ විය.එහි මුල්ම මහා නායක හිමියන් වූයේ බෝපිටියේ ධම්මජෝති හිමියන් වෙතින් උපසම්පදාව ලත් රහුපොල සුජාත හිමියන් ය.1990 වන විට මෙම නිකායට විහාර පනස් හතක් අයත්ව පැවති අතර දෙසිය නමකට වැඩි පැවිදි පිරිසක් ඒ වාගේ වැඩ වාසය කළහ.



05) සිරි සද්ධම්මවංශ පාර්ශවය


06) එක්නැළිගොඩ විහාර පාර්ශවය- අමරපුර මහා නිකායේ සපරගමුවේ පැරණිතම පාර්ශව වශයෙන් එක්නැලිගොඩ විහාර පාර්ශවය හැදින්විය හැකිය. කුරුවිට, එක්නැලිගොඩ ශ්‍රී වික්‍රමසිංහ අභයතිලකරත්නාරාම මූල මහා විහාරය හෙවත් කටුතියඹරාව පන්සල ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශවයේ මූලස්ථානය විය. ව්‍යවහාර වර්ෂ 1835 දී කළුගඟ නම්බපාන තොට සිදුකළ උපසම්පදා විනය කර්මයේදී අන්‍ය නිකායික හිමිවරුන් 18 නමක් උපසම්පදා සීලයට පැමිණියහ. එහිදී ශ්‍යාම වංශික භයගිරි විහාර පාර්ශවයේ පූජනීය යටන්වල ශ්‍රී සුනන්දාභිධාන මහා තෙරුන්ගේ ශිෂ්‍යවර කොරහගොඩ අභයතිස්ස අත්ථදස්සි, තෝලංගමුවේ සිද්ධාර්ථ ධම්මරක්ඛිත යන මහා තෙරුන් දෙපල මුල්කොට සිරිලක සපරගමු අමරපුර මහා නිකාය පිහිටුවා වදාළහ. එහි ආදිකර්තෘ සහ ප්‍රථම මහනායක ධුරයට පත් වූයේ මහා ධම්මම රාජාධි රාජගුරු ගණාචරිය, බෝධිසත්ව ගුණෝපලක්ෂිත බෝගහපිටියේ ශ්‍රී ධම්මජෝති මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. ආරම්භක අවස්ථාවේ පටන් මේ දක්වාවූ කාල පරාසය තුළ ශ්‍රීමත් මහානාහිමිවරුන් 12 නමකගේ පාලනාධිකාරය යටතේ පවත්නේ වෙයි.වර්තමානයේ කුරුවිට ශ්‍රී සරණංකර මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ශ්‍රී ධම්මජ්ජෝතිනී කාරක මහා සංඝ සභාවේ පාලනාධිකාරය යටතේ ක්‍රමිකව වර්ධනය වී ඇති බැව් සතුටින් සිහිගන්වමි.



07) ඉද්දමල්ගොඩ විහාර පාර්ශවය- ක්‍රි.ව 1930 දී මෙම පාර්ශවය ආරම්භ විය .ම්



08) රාස්සගල විහාර පාර්ශවය -මෙම විහාර පාර්ශ්වය සබරගමු අමරපුර සිරි සද්ධම්මවංශ නිකාය තුලින් භින්න වූ විහාර පාර්ශ්වය කි.ධම්මජෝති හිමියන් විසින් නම්බපානතොට උදකුක්ඛේප සීමාවේදී පවත්වන ලද උපසම්පදා මංගල්‍ය තුලදී උපසම්පදාව ලත් සලකුණුආරේ සුමංගල මහා ස්වාමින් වහන්සේගේ ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය දා මහන ශ්‍රී ධම්මානන්ද හිමිපාණන් මෙම පාර්ශවයේ පිහිටවා ඇති අතර 1990 වන විට විහාරස්ථාන හැත්තෑවක් මෙම පාර්ශ්වයට අයත් ව පැවති බව සඳහන් වේ එවකට එම විහාරයන්හි වැසි පැවිදි පිරිස එකසිය අසූ නමක් පමණ වූහ.

09) අමරපුර මූලවංශික පාර්ශවය

10) අමරපුර පාර්ශවය

11) අඹගහපිටිය පාර්ශවය

12) ශ්‍රී ධර්මරක්‍ෂිත පාර්ශවය

13) අමරපුර සද්ධම්මයුත්තික මාතර පාර්ශවය-


14) වජිරවංශ පාර්ශවය- 1891 බුරුමයේ වජිරාරාමයේ විහාරාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කළ පඤ්ඤාභි සිරිධම්ම ධජ මහා ධම්මරාජාධිරාජ ගුරු හෙවත් වජිරාරාම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ 46 නමක ගෙන් යුත් භික්ෂූන් වහන්සේලා ද , දසසිල් උපාසිකාවක් වූ, බුරුම රජුගේ පූර්ව බිසවු කෙනෙක්ද, සිහි දෙනකුගෙන් යුත් උපාසක උපාසිකා පිරිසක් ද කැටුව ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලංකාවට පැමිණියහ.මේ කාලයේ පෑලියගොඩ ගංගාරාමයේ විහාරාධිපති ධූරය හෙබවූයේ එළමල්දෙණිය ගුණානන්ද හිමියන්‍ ය. ගුණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලක්මිණි පහන් කර්තෘ ධර්මරත්න පඬිතුමා සහ ආර්. ජේ. ප්‍රනාන්දු මුදලාලි යන තිදෙනා වජිරවංස හිමියන්ට පෑලියගොඩ ගංගාරාමයට වැඩම කරන ලෙසට ආරාධනා කළේ, ගුණානන්ද හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු ට දළ්හ විනය කර්මය සිදු කරවා ගැනීම සදහාය. ගංගාරාමයට වැඩම කළ වජිරවංස හිමියන් විසින් 1891 වසරේ දී ගුණානන්ද හිමියන්ගේ ගෝලයෝ තිදෙනෙක් කල්‍යාණි නදියෙහි උදකුක්ඛේප සීමාවේදී උපසම්පදාවට පත් කරන ලදහ.මෙම වජිරාරාම හිමිපාණෝ 1894 වර්ෂයේ දී නැවත දළදා වහන්සේ වැඳ පුදා ගැනීම පිණිස ලංකාවට වැඩම කළහ. උන්වහන්සේ දළදා වහන්සේට පූජා කිරීම සඳහා නොයෙක් මාණික්‍යයන් ගෙන් අලංකාර කරන ලද ස්වර්ණමය කරඬුවක් ගෙනා අතර ඒ සමග සිය ගණනකට වඩා වැඩි බුරුම භික්ෂූ පිරිසක් ද පැමිණියහ. මෙම ගමනේ දී ද ගමනේ දී ද පෑලියගොඩ ගංගාරාමයට වැඩම කොට ගුණානන්ද හිමියන්ගේ ශිෂ්‍ය සාමණේරවරුන් පස් නමක් කල්‍යාණි නදී උදකුක්ඛේප සීමාවේදී උපසම්පදාවට පත් කරන ලදී.වජිරාරාමය හිමියන් 1900 වර්ෂයේ දී දළදා කරඬුව තැන්පත් කිරීම සඳහා රජතමය ආසනයක් ද රැගෙන නැවත වැඩම කළහ . මෙම ගමනේ දී ගංගාරාමයට වැඩම කළ වජිරාරාම හිමිපාණෝ එළමල්දෙණිය ගුණානන්ද හිමියන්ගේ තවත් ශිෂ්‍ය සාමණේරයන් පස් නමක් උපසම්පදාවේ පිහිටවන ලදි. මෙම උපසම්පදා විනය කර්මයක් සමඟ අමරපුර වජිරවංශ මහා නිකාය ආරම්භ කරන ලදී. එහිදී සංඝ සම්මුතියෙන් එළමල්දෙණිය ගුණානන්ද හිමියන් ප්‍රථම මහා නායක ධූරයට පත්විය.1990 වන විට විහාරස්ථාන හතළිහක් මෙම නිකායේ සතුව පැවති අතර ඒවායේ 118 ක් පමණ භික්ෂූන් වහන්සේලා වැඩ සිටියහ..


15) දඩළු පරම්පරායක්ත සිරි සුමන පාර්ශවය-


16) ස්වේජින් පාර්ශවය- බුරුමයේ ශ්වේජින් නිකායේ ආදිකතෘ වූ ශ්වේජින් සයාඩෝ (1822-1893) හිමිපාණන් ශ්‍රී ලංකාවේ "ජාගර මහතෙරුන් "යන නමින් ප්‍රකට ය.මහත්සේ පරිහානියට යමින් පැවති බුරුම පොදු සංඝයා ගෙන් වෙන්ව ඉතා ශික්ෂාකාමීව විනය පිළිවෙත් වලට අනුකූලව වාසය කිරීම හේතුවෙන් උන් වහන්සේ වටා විශාල වශයෙන් ගිහි පැවිදි පිරිස් රොක් වූහ.මෙය මුලදී එකල පාලකයා වූ මින්දොන් රජු ගේ උත්සාහය ද ඇතිව ශාසනය ටිකෙන් ටික පිරිසිදු කිරීමට ගත් උත්සාහයක් විය . පසුව එසේ ආරම්භ වූ නිකාය ශ්වේජින් නිකාය වශයෙන් බුරුම රට ප්‍රසිද්ධ විය.මෙම ශ්වේජින් නිකායේ ආදී කතෘ වූ ශ්වේජින් හිමිපාණන් 1878 අප්‍රේල් මස තවත් භික්ෂූන් හතර නමක් හා ගිහියන් හතර දෙනෙකු සමග පූජනීය ස්ථාන වැද පුදා ගැනීමට ලංකාවට වැඩිය සේක. ගාලු වරායෙන් ගොඩ බැස අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ උපකාර ලැබ දඩල්ලෙහි වාසය කලහ. උන් වහන්සේ ලංකාවට පැමිණීමට පෙර මාදු ගඟේ සීමා සංකර වාදය ට අනුව පැන නැගී අදහස්වලින් ලංකාගොඩ ධීරානන්ද හිමියන් නායකත්වය සැපයූ සද්ධම්මවංශ නිකායේ අදහස පිළිගෙන සිටියහ . මුන් වහන්සේ ගැන අසා පැහැදුන බලපිටියේ මහා කප්පින වලව්වේ රාජපක්ෂ මුදලි තුමා උන් වහන්සේට අවශ්‍ය පහසුකම් සපයා දුන්නේ ය මෙම කාලය තුළ උන් වහන්සේ 1851 වසරේ සිට දිග් ගැසෙමින් පැවැති බලපිටිය- දඩල්ල "සීමා සංකරවාදය" අවසන් කරනු පිණිස අවශ්‍ය කටයුතු සිදු කළ අතර මෙම දෙපාර්ශ්වය එකතු කොට උපසපන් විනය කර්මයක් සිදු කරනු වස් මාදු ගඟෙහි සීමාවක් ඉදි කරන ලදී. උන් වහන්සේට ගරු කිරීමක් ලෙස " ශ්වේජින් සීමා" නමින් නම් කරනු ලැබූ මෙම සීමාව අමරපුර සද්ධම්මවංස නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය සඳහා අදත් පාවිච්චි කරනු ලබයි .මෙම සීමාව සකස් කොට බලපිටිය - දඩල්ල යන දෙපාර්ශවයට අයත් සාමණේරවරුන් 28 දෙනෙකු උන්වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් උපසම්පදා කළහ. දන්ත ධාතූන් වහන්සේ ප්‍රධාන පූජනීය ස්ථාන වන්දනා කිරීමෙන් අනතුරුව මින්දොන් රජුගේ අභාවය නිසා 1878 ජූලි මාසයේ දී උන් වහන්සේ නැවත බුරුමයට වැඩම කළ අතර මෙම පැමිණීමෙන් ශ්‍රී ලංකාවට ශ්වේජින් නිකායේ ආභාසය ලැබුනි. ඉන් අනතුරු ව 1905 වසරේ දී U.විනයාලංකාර (1873-1957) හා U. ජයන්ත යන ශ්වේජින් නිකායික භික්ෂූන් දෙනමක් ලංකාවේ වන්දනාවට පැමිණි අතර විනයාලංකාර හිමියන් බුරුම රට ශ්වේජින් නිකායේ මහනායක U. සාසන තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය හිමි නමක් විය . විනයාලංකාර හා ජයන්ත යන තෙරුන් දලදා සමිදුන් වැද සංචාරය කරන අතර අනුරාධපුර රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් සිව් මසක කාලයක් නන් අයුරින් කටයුතු කරන ලදී . ශ්‍රී පාද වන්දනාවේ නිරත ව සිය රට යාමට රත්නපුර හරහා කොළඹ පැමිණෙන අතර හොරණ පොකුණුවිට ගමේ වැසියන් විසින් මේ දෙනම පිළිබඳව පැහැදී සංඝාවාසයක් ඉදි කොට දෙන ලදී . මේ අතර විනයාලංකාර හිමියන්ගෙ ගුරුවරයෙකු වූ U. ජින නම් නායක හිමි නමක් ද ලංකාවට වැඩම කළේය .ඒ අනුව U. ජින නායක ස්වාමීන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් විනයාලංකාර හිමියන්ගේ ආචාර්යත්වයෙන් යුතු ව පැවිදි අපේක්ෂකයන් විසි හත් දෙනෙකු 1906 ජනවාරි මස අට වැනි දින සසුන් ගත කළ අතර මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ ශ්වේජින් නිකායේ ආරම්භය ලෙස සැලකිය හැකි ය . ඉහත සඳහන් කළ සංඝාවාසය 1907 වසරේදී සම්පූර්ණ කොට විනයාලංකාර හිමියන්ගෙ නමින් පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමය යනුවෙන් නම් කොට සංඝයාට පූජා කරන ලදී .මෙය ශ්‍රී ලංකාවේ ශ්වේජින් නිකායේ ආරම්භක පන්සල විය. අනතුරු ව විනයාලංකාර හිමියන් කොළඹට පැමිණ මරදානේ විනයාලංකාරාමය , දෙමටගොඩ මකුටාරාමය, ආදී විහාරයන් තනවා අනුරාධපුරය ආදී ස්ථානවලද බුරුම විහාර තනවන ලදී. මෙම කාලයේ දී ම බුරුමයේ සිට දළදා වන්දනාව සඳහා ශ්‍රී ලංකාවට පැමිණි U.ගුණාභිධාන මහ තෙරුන් වහන්සේ හා විස්සක් පමණ බුරුම භික්ෂු පිරිසක් ශ්වේජින් නිකායික භික්ෂූන්ගේ විනය කර්ම සඳහා 1907 පෙබරවාරි මස 7 වැනි දින විනයාලංකාරාමය පොහෝ සීමාවක් සම්මත කළහ. 1907 වසරේ අග භාගයේ දී බුරුම මහා මංගලාරාම මංගලාරාම විහාරයේ නියෝජ්‍ය විහාරාධිපති U.වායාම හිමියන් දිවයිනට වැඩම කළේය. එවිට විනයාලංකාර හිමියන් සිය සාමණේර පිරිසට අධ්‍යාපනය ලබාදීම උන්වහන්සේ වෙත භාර කළේය. ඒ අනුව 1908 වසරේ සාමණේරවරු විසි තුන් දෙනෙකු බුරුමයට පිටත් කෙරිනි. එලෙස පිටත් වූ භික්ෂූන් වහන්සේ අතර මුළු මහත් ශ්‍රී ලංකාවේ ඉතාමත් ගෞරවාදරයට පාත්‍ර වූ අභි ධර්ම විශාරද රේරුකානේ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේ ද වෙයි. මෙලෙස ආරම්භ කරන ලද ශ්වේජින් නිකායේ 1990 වසර වන විට 225 ක් පමණ භික්ෂූන් වහන්සේලා භාවනා මධ්‍යස්ථාන හා විහාරස්ථාන පනස් හතරක පමණ වැඩ සිට ඇත . ලංකාව ශාසනය වෙනුවෙන් අනූපමේය සේවයක් ඉටුකළ නිකාය සම්ප්‍රදායක් වශයෙන් ශ්වේජින් නිකාය සැලකිය හැකි ය .

17) ම්‍රම්මවංශාභිධජ සිරි සද්ධම්මයුත්තික පාර්ශවය


18) චූලගණ්ඨි විහාර පාර්ශවය

19) උඩරට අමරපුර නිකාය - බෝගහපිටියේ ධම්මජෝති හිමියන් විසින් සබරගමුවේ හා ඌව ප්‍රදේශයේ ඇති කරන ලද ශාසනික ප්‍රබෝධය උඩරට සියලු ප්‍රදේශයන් කරා ව්‍යාප්ත විය. ඒ අනුව ඉහත සඳහන් නම්බපාන උපසම්පදා මංගල්‍යයේ දී උපසම්පදාවට පත් වූ භික්ෂූන් විසින් ආරම්භ කරන ලද ඌව අමරපුර නිකාය වෙතින් 1932 දී උඩරට අමරපුර නිකායේ නිකාය ආරම්භ විය . මෙම නිකාය උඩරට බොහෝ ප්‍රදේශ කරා ව්‍යාප්ත වූ අතර 1990 වන විට විහාරස්ථාන 326 ක් පමණ එයට අයත්ව තිබී ඇත.



20) සම්බුද්ධ සාසනෝදය සංඝ සභාව


21) කළ්‍යාණිවංශ පාර්ශවය

අතීතය[සංස්කරණය]

18 වන සියවසේ මැද භාගය වන විට ලක්දිව උපසම්පදාව නැති වී ගොස් තිබුණි. ශ්‍රී ලංකාවේ බුදු සසුන තෙවරක්ම පිරිහුණු අතර එය නැවත ඇති කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. එමනිසා කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේ (1747 - 1782) වැලිවිට සරණංකර මාහිමිපානන්ගේ ආරාධනාවෙන් උපාලි නම් තෙරණුවන් වහන්සේ නමක් 1753දී මහනුවරට වැඩම කර උපසම්පදාව නැවත පිහිට වු අතර, එය සියම් නිකාය නම්වේ. එයට හේතුව උපසම්පදාව රැගෙන ආවේ සියම් දේශයෙන් වීමයි.

බුදු දහම නැවත ස්ථාපිත කර දශකයක් පමණ ගතවීමෙන් පසු 1764 දී එම නිකායට අයත් භික්ෂුන්වහන්සේලා කණ්ඩායමක් එක්ව එම නිකායේ උපසම්පදාව ලැබීමට ගොවිගම කුලයට අයත් විය යුතු බවට නීතියක් පැනවීය. මෙම සමයේදී බුදුරජාණන් වහන්සේ විනය නොසලකා හැර තිබුණු අතර, සමහර භික්ෂුන් වහන්සේලා වතුපිටි අයත් කරගෙන අඹුදරුවන් සමඟ පුද්ගලික නිවාස වල ජීවත් වුහ. ඔවුන් තන්නාසි නමින් හැඳින්වේ. මෙම සම‍යේදී ශ්‍රී ලංකාවේ වෙරළ බඩ ප්‍රදේශය ලන්දේසී ආක්‍රමණ වලට ලක්වෙමින් පැවතුණි.

සියම් නිකායේ මෙම ගොවිගම කුල භේදයට විරෝධය පල කෙරමින් වෙනත් කුල වලට අයත් භික්ෂුන් වහන්සේලා රජුගේ අනුග්‍රහය නොලබමින් උපසම්පදා උත්සව 2 ක් 1772 දී තොටගමුව විහාරයේදී ද, 1796 දී තංගල්ලේදී ද පැවැත්විය. නමුත් සියම් නිකාය මෙය විනය නීති කැඩීමක් බව පවසා ඒවාට අනුමැතිය ලබා නොදුන්හ.

ආරම්භය[සංස්කරණය]

ගොවිගම කුලවාදයත්, ක්‍රි .ව 1762 ශ්‍රී වික්‍රම රාජසිංහයන් විසින් පැනවූ කතිකාවතත් කරණකොටගෙන වෙරළබඩ පළාත් වල විසු භික්ෂුන් වහන්සේලාට උපසම්පදා භාවය ලබාගත නොහැකි විය. මෙම තත්ත්වය වෙනස් කිරීමට සිතූ 1779 දී අඹගහපිටියේ ඤාණවිමලතිස්ස නම් භික්ෂුන් වහන්සේ නමක් තවත් සාමණේර හිමිවරුන් කණ්ඩායමක් සමඟ පහතරට ධනවත් දානපතියෙකුගේ අනුග්‍රහය සහිතව උපසම්පදාව ලබා ගැනීම සඳහා බුරුමය වෙත පිටත්වුහ. 1800 දී බුරුමයේ සංඝරාජ මාහිමියන් අතින් ඔවුන් උපසම්පදාව ලැබීය. මෙම කණ්ඩායම 1803 දී ශ්‍රී ලංකාවට පැමිණියහ. එහිදී ඔවුන් සමඟ පැමිණි ජ්‍යෙෂ්ඨ මියන්මාර් භික්ෂුන් අතින් බලපිටිය මාදු ගඟේ තනවන ලද විශේෂ සීමා මාලකයක වෙසක් පුන් පොහොය දිනයේදී උපසම්පදා උළෙලක් පැවැත්විණි. ඒ සමගින්මෙ පරම පූජ්‍යතර මහා ධම්ම රාජාධි රාජගුරු ගණාචරිය ශ්‍රී විභූෂණ අඹගහපිටියේ ශ්‍රී ඤාණවිමලතිස්සාභිධාන මහා නාහිමිපාණන් වහන්සේගේ ආදිකර්තෘත්වයෙන් වැලිතර අඹගහපිටියේ ශ්‍රී අම්බරුක්ඛාරාම මූල මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් අමරපුර සමාගම නම් වූ නවනිකායක් ඇරඹි අතර ආරම්භයේ දීම පහතරටට පමණක් සීමා නොවී උඩරට ඇතුළු සමස්ත සිරිලක සිසාරා පූජ්‍යතර බෝගහපිටියේ ශ්‍රී ධම්මජ්ජෝති, පූජ්‍යතර කපුගම ශ්‍රී ධම්මක්ඛන්ධ, පූජ්‍යතර කතළුවේ ශ්‍රී ගුණරතන, පූජ්‍යතර අත්තුඩාවේ ශ්‍රී ධම්මරක්ඛිත යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ උත්සාහයේ ප්‍රතිඵල වශයෙන් මහා නිකායක් වශයෙන් ව්‍යාප්ත කෙරිණ.

නිල පිලිගැනීම[සංස්කරණය]

කරාව හා දුරාව කුල වලට අයත් භික්ෂුන්වහන්සේලාද බුරුමය වෙත ගොස් උපසම්පදාව ලබාගත් අතර, 1810 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව අමරපුර නිකායේ උපසම්පදාව පිළිගන්නා බවට නිවේදනයක් නිකුත් කළේය. නමුත් සියම් නිකාය විසින් බුදුදහමට පටහැනිව සිදුකල මෙම ක්‍රියාව හේතුවෙන් කුල වශයෙන් බෙදීමට ලක්විය.

වැදගත්කම[සංස්කරණය]

අමරපුර නිකායේ ආරම්භය ශ්‍රී ලාංකික බුදුදහමේ හා සමාජයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. පළමුවරට රාජ්‍ය අනුග්‍රහය රහිතව බුදුදහම වෙනුවෙන් කැපවුනු ගිහි දානපතියන් මුල් වීමෙන් නව නිකායන් බිහිවිය. එම හේතුවෙන් වෙනත් නිකායන් මෙන් නොව අමරපුර නිකාය රාජ්‍ය බලය හා රජතුමාගෙන් නිදහස් විය. ඒ වෙනුවට මධ්‍යම පාන්තික දායකයන් සමඟ වඩාත් සමීපව කටයුතු කලහ. මේ හේතුවෙන් 19 හා 18 වන සියවස් වල මධ්‍යම පංතියේ බලය වැඩි විය. එසේම කුලවාදයට එරෙහි භික්ෂු පරපුරක් මෙතුළින් බිහිවූ අතර මෑත භාගයේදී අමරපුර මහා සංඝ සභාව රාමඤ්ඤ මහා නිකාය හා එක්ව එක් සාමග්‍රී ධර්ම සංඝ සභාවක් ලෙස ස්ථාපිත විය.එය ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීමක් ලෙස සැලකිය හැකිය.

ආශ්‍රිත වෙනත් ලිපි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අමරපුර_මහා_සංඝ_සභාව&oldid=457350" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි