අපනයන භාණ්ඩ - ශ්‍රී ලංකා

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ

හැදින්වීම[සංස්කරණය]

ශ්‍රී ලංකාව 1948 දී නිදහස ලබන අවස්ථාවේ නවීන වැවිලි ‍භෝග අංශය හා යැපුම් කෘෂිකර්ම අංශය යන ද්විත්ව ලක්ෂණයන්ගෙන් සමන්විත සම්භාව්‍ය විවෘත ආර්ථීකයක් උරුමවී තිබුණි. තේ රබර් හා පොල් යන වැවිලි කළ අතර ඒවායින් මුළු අපනයනයන්ගෙන් 90% ක් සැපයිණි. නමුත් නිදහස ලැබීමෙන් පසු දශක තුනකට ආසන්න කාලයක් ‍මෙය පැවතුනි. 1977 ආර්ථීකය ලිහිල් කිරීමෙන් පසුව මෙම තත්වය තියුණු ලෙස වෙනස් විය. මෙම කාල පරි‍ච්‍ඡ්‍දය තුළ විශාල අපනයන වර්ධනයන් හා සමගාමීව ශ්‍රී ලංකාවේ අපනයනයද වර්ධනය විය. මුල් කාලීනව ශ්‍රී ලංකා ආර්ථීකය තුළ කෘෂිකාර්මික අපනයන ඉපයුම්වල වැඩිම දායකත්වයක් ලබාදුන් අතර 1986 දී ප්‍රථම වරට අපනයනවල -දායකත්වය වැඩි විය. ඒ තුළ ඇගැයුම් අපනයනවලට විශේෂීය ස්ථානයක් හිමි වේ. මෙයට අමතරව මැණික් වැනි ඛනිජමය අපනයන-දායකත්වය වැඩිවීමක් පෙන්නුම් කරයි.භාණ්ඩ අපනයනය යනුවෙන් සාමාන්‍ය වශයෙන් අදහස්වන්නේ එක් රටක නිෂ්පාදනය කර තවත් රටකට යැවීමයි. මෙයට පැහැදිලි නිර්වචනයක් ඉදිරිපත් කිරීමට අපහසුය. පහත දක්වා ඇත්තේ විවිධ මූලාශ්‍ර වල අපනයන යන්න නිර්වචනය කර දක්වා ඇති ආකාරයි.

  1. භාණ්ඩ විකිණී‍‍මේ අරමුණින් රටක සිට තවත් රටකට හෝ තැනක සිට තවත් තැනකට යැවීම.
  2. උපනයන කාර්ය ඵලය යනු රටක් හෝ ජාතියක් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ තවත් රටකට විකිණිමට ගන්නා උත්සහයන්වල සාපේක්ෂ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය වේ.
  3. අපනයන යනු වෙළදාමේදී එක් රටක සිට තවත් රටකට ඕනෑම භාණ්ඩයක් යැවීමේනිත්‍යානුකූල ආදර්ශයකි.

ඉහත නිර්වචන වලින් පැහැදිලිවන පොදු අදහස වන්නේ යම් රටක දේශීය වශයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ තවත් රටකට විකිණිමේ අරමුනින් යැවීම අපනයනය වන බවයි. ශ්‍රී ලංකාවේ අපනයන යත්න මගින් ආවරණය වන්නේ කෘෂිකාර්මික අපනයන කාර්මික අපනයන ඛනිජ ද්‍රව්‍ය අපනයන හෝ වර්ග නොකල අපනයන වේ. කෘෂිකාර්මික අපනයන යටතේ තේ පොල් රබර් ආදියද කාර්මික අපනයන යටතට ආහාර පාන වර්ගද දුම්කොළ සහ රෙදි පිළි සහ ඇඟලූම් යන්ත්‍ර සූත්‍ර උපකරණ ආදියද ඛනිජ ද්‍රව්‍ය අපනයන යටතේ මැණික් හා වෙනත් ඛනිජ ද්‍රව්‍ය අපනයන ඇතුලත් වේ.


ශ්‍රී ලංකාවේ (1948-2008) දක්වා අපනයන ව්‍යුහයේ ක්‍රියාකාරීත්වය විශ්ලේෂණය කිරීම[සංස්කරණය]

1948-1970 දක්වා කාලය[සංස්කරණය]

මෙම කාලය තුළ ලංකාවේ අපනයන සංයුතියේ සැළකිය යුතු වෙනසක් ඇතිවී නොමැත. නිදහස ලබන අවදියේ මුළු අපනයන ආදායමින් 89 % ක්ම ලැබුණේ තේ, පොල් සහ රබර් නිෂ්පාදිත වලිනි. ඊට අවුරුදු 20 කට පමණ පසු වුවද අපනයන ආදායමින් 76 % ක් පමණම ලැබුණේ මෙම භාණ්ඩ තෙවර්ගයෙනි. එබැවින් නිදහස ලැබුවාට පසු කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයනවල මේ තත්වය වෙනස් වී නොමැති බව පෙනීයයි. මෙම නිසා මෙම බභාණ්ඩ තුනට ලෝක වෙළඳපලේ ඇතිවන තත්වය මත සමස්ත ආර්ථීකයම රඳාපවතී. අපනයන ආදායමින් දැනට 67 % ක් ලබාදෙන තේ හා රබර් වගාකර තිබෙණුයේ අපනයන අරමුණ ඇතිවයි. දැනට මේවායෙන් මුළු නිෂ්පාදනයෙන් 90 % ක්පමන අපනයන කරණනු ලැබේ. අප රටේ දැකිය හැකි පරිදි අපනයන භාණ්ඩ කීපයකට සීමා වි තිබෙයි. එම භාණ්ඩ කෘෂිකාර්මික ඒවාවීම රට ආර්ථීකයට එතරම් හොඳ තත්වයක් නොවේ. ලංකාවේ සුළු අපනයන 1948 ට වඩා 1970 පමන වනවිට සාපේක්ෂව වැඩි වැදගත් කමක් දරයි. එනම් 11 % සිට 25 % දක්වා වැඩි වී තිබෙයි. මැණික් අපනයනය දිරිගැන්වීම සඳහා රජය විසින් රාජ්‍ය මැණික් සංස්ථාව පිහිටු වීම හා පෞද්ගලික මැණික් අපනයනයට බල සැපයීම නිසා එම අපනයන සැලකිය යුතු ලෙස 1953 දී මැණික් අපනයන වටිනාකම ඉහල ගියේය. එසේම මෙම කාලය තුළ නව කාර්මික භාණ්ඩ අපනයනයද ඉහල ගියේය. ඒවා අතර රෙදිවර්ග රසායනික ද්‍රව්‍ය ඛනිජ තෙල් යන නිශ්පාදිත ඇතුලත් විය. ආර්ථීකය කැපී පෙනන අයුරින් සුළු අපනයන වල ව්‍යාප්තියක්දකින්නට නොමැත. කාර්මික අපනයන ඒවා දියුණු වීමේ වේගයට සාපේක්ෂව වර්ධනය වී නොමැත. එයට එක් හේතුවක් වුයේ දේශීය ඉල්ලුම සංසිදුවීම මෙම කර්මාන්ත වල මුලික අරමුණ වීමයි. එසේම තත්වය අතින් පහලවීම. විදේශිය වෙළඳ පොළ භාණ්ඩ සමග තරඟ කිරිමට නොහැකි වීම නිසාද එකී කාර්මික භාණ්ඩ අපනයන අඩුවී ඇත.මේ අනුව නිදහස ලැබීමෙන් දශක 03 කට ආසන්න කාලයක් තුළ ශ්‍රී ලංකාව ප්‍රාථමික නිශ්පාදන අපනයන කරුවකු වශයෙන් පැවතුනි.

1970-1975 දක්වා කාලය[සංස්කරණය]

කෘෂිකාර්මික අපනයන වල දායකත්වය 1970 දී 90.2 % ක් තරම් ඉහල අගයක පැවතුනි. මේ අතරින් ප්‍රබලම දායකත්වය 55 % ක් විය. රබර් 22 % ක්ද පොල් 12.4 % ක්ද විය. සුළු කෘෂිනිෂ්පාදන 03.0 % ක් විය. 1975 වන විට මෙම කෘෂි නිෂ්පාදන සියල්ලේම දායකත්වය අඩු වීමක් දක්නට ලැ‍බේ. කාර්මික අපනයන 7.4 % සිට 1975 වන විට 12.4 % දක්වා ක්‍රමයෙන් වැඩි වෙන ප්‍රවනතාවක් පෙන්වයි. ඛනිජමය අපනයනවල කැපීපෙනෙන දායකත්වයක් පෙන්වයි. මේ යටතේ මැණික්, දියමන්ති ආදිය දැක්විය හැකිය. 1970 දශකයේ ඛනිජ තෙල් මිල ඉහල යාමෙන් කෘතිම රබර් නිෂ්පාදන පිරිවැය ඉහල යෑමෙන් ස්වභාවික රබර්වල ඉල්ලුම ඉහල යන ලදී. ඉන්දියාවේ තේ නිෂ්පාදනය ඉහල ගිය විට ලංකාවේ රබර් ඉල්ලූම ඉහල යන ලදි.

1975-1980 දක්වා කාලය[සංස්කරණය]

කෘෂිකාර්මික අපනයනවල දායකත්වය 1975 දී 81.5 % ක මට්ටමේ පැවතුනි. එය 1980 වන විට ක්‍රමයෙන් අඩු වෙමින් 56.8 % දක්වාම අඩු විය. තේ වල දායකත්වය ක්‍රමයෙන් අඩු වෙමින් 1980 වනවිට 35.1 % දක්වාම අඩු විය. රබර් හා පොල් වලද සාපේක්ෂ දායකත්වය අඩු වු අතර 1977 දී විවෘත ආර්ථීක ප්‍රතිපත්ති හදුන්වාදීමත් සමග කාර්මික අපනයන වල සාපේක්ෂ දායකත්වය වැඩි වීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබෙයි. 1977 දී මුළු අපනයන වලින් 74 % ක් වැවිලි බෝග වලින් සමන්විත විය. මෙම අංශයන් මත වූ වෙළඳ පොළ පාලනය දැඩි බදු බර ප්‍රාථමික අපනයනවල වර්ධනයට අවහිරතා ඇති කරන ලදි.

1980-1985 දක්වා කාලය[සංස්කරණය]

මෙම කාලය තුළ කෘෂිකාර්මික අපනයන තවදුරටත් අඩු බවක් පෙන්වයි. මෙම කාලය තුළ මෙහි උච්චාවචනය දක්නට ලැබේ. අපනයන සංයුතිය තුළ තේ වල දායකත්වය 35.1 % සිට 33 % දක්වා අඩුවිය. රබර් හා පොල් ද මෙලෙස දායකත්වය අඩු වීමක් පෙන්වයි. සුළු කෘෂි නිෂ්පාදන වල දායකත්වය ක්‍රමයෙන් අඩු විය. පුවක්, කුරුඳු, කරාබු නැටි, අබ, කොකෝවා ආදියේ අපනයන පරිමාව සුළු වශයෙන් වැඩිවිය. කාර්මික අපනයන තවදුරටත් වර්ධනය වීමක් පෙන්වයි. රෙදිපිළි හා ඇගලුම් අපනයන මුළු අපනයන වලින් 33 % ක් විය. සමස්තයක් ලෙස බලන විට මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ අපනයනඅංශයේ ක්‍රියාකාරිත්වය දිරිගන්වන සුළු එකක් වූයේ නැත. බලාපොරොත්තු විරහිත තත්වයක් විය.

1985-1990 දක්වා කාලය[සංස්කරණය]

මේ කාල වකවානුව තුළදීද කෘෂිකාර්මික අපනයන 52 % සිට 39.2 % දක්වා පහල වැටිණ. ඒ යටතේ තේ, රබර්, පොල් යන තුනේම අපනයන සංයුතිය තුළ දායකත්වය ක්‍රමයෙන් අඩුවෙමින් ඇත. කාර්මික අපනයන අංශය ගත් විට 1985 සිට 1990 50.7 % දක්වා ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරයි. ඒ යටතේ රෙදිපිළි හා ඇගලුම් අපනයනවල දායකත්වය සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ. මෙම කාලය තුළ වෙළඳ ද්‍රව්‍ය වල මිල පහළ වැටීමත්, කාර්මික අපනයන සඳහා වූ ඉල්ලූම අඩු වීමට ඉවහල් වූ ආරක්ෂණ ප්‍රතිපත්තීන්හි බලපෑමත් මෙම අඩුවීමට තරමක් දුරට බලපාන ලදී. මෙම කාලය තුළ වානිජමය අපනයන උච්චාවචනය සමග ගමන් කර ඇත. 1986 පමන සිට ඇඟලුම් නිෂ්පාදන අංශයේ වේගවත් දියුණුවක් ඇති විය. නිදහස් වෙළඳ කලාපයේ ඇඟලූම් නිෂ්පාදන ප්‍රබල වීම මෙයට හේතුවයි.

1990-1995 දක්වා කාලය[සංස්කරණය]

1990 ට සාපේක්ෂව 1995 වන විට අපනයන ව්‍යූහයෙහි කෘෂි අපනයන වල දායකත්වය ඉහල ගොස් ඇත. වැවිලි භෝග වලින් ලත් අපනයන ඉපැයීම් 15 % කින් වර්ධනය වූ අතර එය කෘෂිකාර්මික අපනයනයන්හි සමස්ත වර්ධනයෙන් 12 % ක් දායක විය. තේ වල අපනයන ගත් විට 1991-1994 වන තෙක් ආන්තික අඩු වීමක් දැකගත හැකි වුවද 1995 දී තේ අපනයන ප්‍රමාණය 5 % කින්ද තේ වල මිල 2 % කින් ද තේ අපනයන ඉපයීම් ඉහල ගොස් ඇත. 1995 වසරේ සමස්ත තේ අපනයන ප්‍රමාණය 17 %ක් විය. ජාත්‍යන්තර මිල ගණන් ඉහළ යාම හේතුවෙන් රබර් අපනයනය දශලක්ෂ 74 දක්වා 46 % කින් කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත. යහපත් දේශගුණික තත්ත්වයන් නිසා දේශීය පොල් සැපයුම ඉහළ යාමෙන් පොල් අපනයන 1990 ට සාපේක්ෂව 1995 දී 28 % කින් ඉහළ ගොස් ඇත.ඇත. සමස්ථ කාර්මික අපනයනයන්ගෙන් 2/3 කට දායක වූ ඇඟලූම් අපනයන වැදගත්කම උප අපනයන අංශය ලෙස තවදුරටත් පැවතුණි.මැණික් අපනයන 1990-1995 වනවිට ක්‍රමිකව අඩු වැඩි වෙමින් පැවතීම හේතුකොටගෙන 1995 දී අපනයන ආදායම වි.ගා.නි. දශ ලක්ෂ 57 දක්වා පහත වැටුණි. දේශීය නිෂපාදනයේ අඩුවීම හේතුවෙන් මැණික් අපනයන 11 % දක්වා පහත වැටීමක් දක්නට ලැබුණි.

1995 - 2000 දක්වා කාලය[සංස්කරණය]

අපනයන ව්‍යුහය පිළිබද විමසීමේදී 1995 සිට 2000 දක්වා කෘෂි අපනයන වල දායකත්වය ක්‍රමයෙන් පහත වැටී කාර්මික අපනයන වල ඉහල යාමක් දක්නට ලැබෙයි. 1995 දී කෘෂිකාර්මික අපනයන වල දායකත්වය 23.5 % ක් වු අතර එය 2000 වනවිට 18 % දක්වා පහත වැටී ඇත. 33.4 % ක් වූ කාර්මික අපනයන 2000 වනවිට 28 % දක්වා ඉහල යාමක් සිදුව ඇත. තේ අපනයන වල සුළු වැඩිවීමක් දක්නට ලැබෙයි. රබර් පොල් අපනයන වල අඩු වීමක් දැකගත හැකිය. රබර් පොල් ගම්මිරිස් අපනයන යන්හි පහත වැටීම මෙයට හේතුවිය. මීට සාපේක්ෂව 2000 වර්ෂය වනවිට රෙදි පිළි ඇඟළුම් අපනයන ශක්තිමත් ලෙස වර්ධනය වීමත් දැකගත හැකිවිය. 1996 දී රෙදි පිළි ඇඟළුම් අපනයන ප්‍රමුඛ කරගත් කාර්මික අපනයනයන් අවශ්‍ය හා ඉපයුම් වලින් 73 % කට දායක වෙමින් වැඩිම දායකත් වයක් සැපයීය 1996 සිට 2000 වන විට රෙදි අපනයන වල සුළු වැඩි විමක් ද දැකගත හැකිය.

2000 - 2005 දක්වා කාලය[සංස්කරණය]

පෙර පරිදිම ආර්ථීකයේ අපනයන සංයුතිය තුළ කෘෂි කාර්මික අපනයන වල ක්‍රමික පහළ යාමක් මෙම කාල පරාසය තුළද දක්නට ලැබේ. 2001 වර්ෂයේ පැවති නීතිමය තත්ත්වය නිසා තේ නිෂ්පාදනය පසුබෑමකට ලක්විය. මේ නිසා තේ අපනයනය පහළ බැසිණි. රබර් නිෂ්පාදනයද 2005වන විට 12.8 % දක්වා පහළ බැසිනි.රබර් සඳහා පැවති අඩු මිල මෙයට බලපාන ලදි. රබර් අංශයේ පැවති දුර්වල ක්‍රියාකාරිත්වය නිසා රබර් අපනයනය අඩුවිය.මෙම වකවානුව තුළ පැවති අයහපත් කාළගුණ තත්ත්වය නිසා පොල් නිෂ්පාදනය ද අඩාල වී අපනයනය පහළ වැටිනි. අනෙකුත් සුළු අපනයන බෝග අතුරින් කරුදු වැඩි දායකත්වයක් දෙන ලදි.කරාඹු නැටි සඳහා ලෝක ඉල්ලුම ඉහළ යාමක් පෙන්වීය.ඇමරිකා එක්සත් ජනපදයට එල්ලවු ප්‍රහාර නිසා ලෝක ආර්ථීක අවපාත වර්ධනය වීම,කටුනායකට එල්ලවු ත්‍රස්ත්‍ර ප්‍රහාරය ආදිය නිසා කාර්මික අපනයන වල අඩුවීමක් සිදුවිය.මේ යටතේ රෙදි පිළි හා ඇගලූම් අපනයන වර්ධනය විය.

2006 වසර[සංස්කරණය]

අපනයනවල ගුණාත්මකභාවය වැඩි වීම අපනයන ගමනාන්ත රටවල පැවති ආර්ථීක සමෘද්ධිමත්භාවය ලෝක ආර්ථීකය සමග දේශීය ආර්ථීකය තවදුරටත් බද්දවීම තුළින් ජාත්‍යන්තර වෙළඳපල පුළුල්වීම හා රජය හා ප්‍රධාන අපනයන කරුවන් විසින් පවත්වාගනු ලැබූ වානිජමය සබඳතා හා නොයෙකුත් ආර්ථීක පියවර තුළින් ශක්තිමත් වෙමින් 2006 දී අපනයන තවදුරටත් අඛණ්ඩව වර්ධනය විය. අපනයන ඉපයුම් 8.4% කින් වැඩි විය. 2006 දී අපනයනවල සංයුතිය නොවෙනස්ව පැවතිණි. 2006 දී කාර්මික අපනයන 8.8% කින් වර්ධනය විය. දැඩි ජාත්‍යන්තර තරඟකාරිත්වය හමුවේ 2006 දී ඇඟළුම් අපනයන 6.4% කින් වර්ධනය විය. රබර් අංශය යම් පසුබෑමකට ලක් විය. තේ හා රබර් ක්‍රියාකාරිත්වය ඔස්සේ 2006 දී කෘෂි අංශයේ අපනයන ඉහළ යන ලදී. ජෝර්දානය, ඉරානය, හා ලිබියාවට අපනයනය කල තේ අඩුවීමෙන් එකතු කල වටිනාකමක් සහිත තේ අපනයන පහල ගියේය. ඛනිජ තෙල් මිල ඉහලයාමෙන් රබර් මිල ඉහළ යන ලදී. අනෙක් කෘෂිනිෂ්පාදන වටිනාකමද ඉහල යන ලදී.

2007 වසර[සංස්කරණය]

මේ වසරේදී අපනයන ආදායම තවදුරටත් වර්ධනය විය. 2007 වසරේ ආර්ථීකයේ යහපත් ක්‍රියාකාරිත්වය නිසා කාර්මික අපනයන ඉහල යන ලදී. එසේම ඛනිජ තෙල් මිල ඉහලයාම කෘෂි අපනයන වලට යහපත් අන්දමින් බලපාන ලදී. විශේෂයෙන් රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම ඉහළ යන ලදී. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපයීමේ ප්‍රධාන ප්‍රභවය රෙදිපිළි හා ඇඟළුම්ය. 2007 දී ඇඟලූම් වල ප්‍රධාන වෙළඳපළ ඇමෙරිකාව වේ. කෘෂිකාර්මික අපනයන අතුරින් විශාලම අපනයන ප්‍රභවය තේ විය. අන්තර්ජාතික වෙළඳපලේ බොරතෙල් මිල ඉහලයාම නිසා රබර් මිල ඉහළ යාමෙන් 2007 දී රබර් අපනයන තවදුරටත් වර්ධනය විය. විශේෂම සිදුවීමක් වන්නේ දේශීය වෙළඳපලේ පොල් මිල ඉහල යාම නිසා 2007 වසර අගදී පොල් අපනයන කිරීමට තහනම් කරන ලදී. මෙය 2007 වසරේ පොල් අපනයන පසු බැසීමකට හේතුවක් විය.

2008 වසර[සංස්කරණය]

මේ වසරේදී අපනයන ආදායම 6.5% කින් වර්ධනය විය. තේ සඳහා ඉහල මිල ගණන්වල හේතුවෙන් 2008 වසරේ තේ අපනයන ආදායම කෘෂි අපනයන සඳහා මූලික විය. සුළු කෘෂිකාර්මික අපනයන වල දායකත්වයද කැපී පෙනෙන ලෙස වැඩි වී තිබේ. මේ යටතේ ජාත්‍යන්තර වෙළඳපලෙහි පැවතුන ඉහල මිලගනන් හේතුවෙන් කුරුඳු හා බුලත් අපනයන නිෂ්පාදන හා සකස් කල දියමන්ති වැනි අනෙකුත් කාර්මික අපනයනවල ඉපයීම් වැඩි විය.

ශ්‍රී ලංකාවේ අපනයන වෙළදාමේ මෑත කාලීන උපනති[සංස්කරණය]

  1. අපනයන ඉල්ලූම් වල ඉහලම දායකත්වය හෙවත් සාපේක්ෂ වශයෙන් ඉහලම වැදගත්කම කාර්මීය අපනයන වලට හිමි වීම.
  2. 1978 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව විවිධාංගිකරණය වු අපනයන ආර්ථීකයක් බවට පත්වී අද දක්වාමක

දර ඒ තත්වයේම රුදී සිටීම

  1. 1978 වනතුරු ලංකාව ප්‍රාථමික කෘෂි ආර්ථීකයක් වු අතර 1978 න් පසුව අපනයන විවිධාංගිකරණයක් ඇතිවීම.
  2. තනි අපනයන භාණ්ඩයක් වශයෙන් වැඩිම වැදගත්කම රෙදි පිළි හා ඇගලූම් වලට හිමිවීම.
  3. අපනයන සංයුතිය තුළ දළ විදේශ විනිමය ඉපයීම් අනුව වැඩිම දායකත්වය රෙදි පිළි හා ඇඟලූම් අපනයන වලට හිමිවු ශුද්ධ විදේශ විනිමය ඉපයිම් අතින් වැඩිම දායකත්වය කෘෂිකාර්මික අපනයනයන් ගෙන් ඇතිවීම.
  4. තනි අපනයන භාණ්ඩයක් වශයෙන් ගත්විට විදේශ විනිමය ඉපයිම අතින් වැඩිම වැදගත්කම මේ වනතුරුම තේ වලට හිමිවේ.
  5. කෘෂිකාර්මික අපනයන වල වැදගත්කම වැඩි වෙමින් පැවැතීම
  6. කාර්මික අපනයන කාණ්ඩය තුළ විවිධාංගිකරණයක් නැති වීම.

මෑත කාලයේදී කාර්මික අපනයන්ගේ දායකත්වය වැඩිවීමට බලපෑ හේතු[සංස්කරණය]

  1. 1977 න් පසුව නිදහස් හා විවෘත ආර්ථීක ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම.
  2. ලිහිල් ආනයන ප්‍රතිපත්තිය නිසා කාර්මික නිශ්පාදනයට අදාල අමුද්‍රව්‍ය අන්තර් භාණ්ඩ හා ආයෝජන භාණ්ඩ ආනයනය ඉහල යාම.
  3. අපනයනාභිමුඛ කාර්මික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම.
  4. ආයෝජන ප්‍රවර්ධන කලාප පිහිටුවීම.
  5. විනිමය පාලන නීති ලිහිල් කිරීම.
  6. ජනසවිය මෙන්ම සමෘද්ධිය යටතේද සුළු පරිමාණ කර්මාන්ත ස්වයං රැකියා මගින් දියුණු කිරීම.
  7. කාර්මික නිෂ්පාදන සම්බන්දයෙන් විදේශ ආයෝජන ඉහල යාම.
  8. ඇඟලූම් කම්හල් 200 ට වැඩ පිළිවෙල නිසා ඇඟලූම් නිෂ්පාදන වැඩිවීම

කාර්මික අපනයන අංශයේ දක්නට ලැබෙන දුර්වලතා[සංස්කරණය]

  1. කාර්මික අපනයන විවිධාංගිකරණයක් නොමැති තරම් වීම. කාර්මික අපනයන වලින් වැඩිම දායකත්වය ලැබෙන්නේ රෙදි පිළි හා ඇඟලුම් වලිනි. අනෙක් අංශවල එතරම් දියුණුවක් නැත.
  2. කාර්මික අපනයන ආනයන මත රඳා පැවතීම.
  3. කාර්මික අපනයනවල වෙළඳපොළ පිළිබඳ අවිනිශ්චිතතාවය.
  4. කාර්මික රටවල නිශ්පාදිතයන් සමඟ තරඟ කිරීමේ අපහසුව.
  5. බහු ජාතික සමාගම්වල බලපෑම.

ලංකාවේ අපනයන ප්‍රවර්ධනය සඳහා මෑත කාලයේ ගෙන ඇති පියවර[සංස්කරණය]

  1. ආයෝජන මණ්ඩලයට අයත් නොවන අපනයන කරුවන් සඳහා දේශීය බැංකු ඒකකවලි සහ විදේශ ව්‍යවහාර මුදල් ණය යෝජනා ක්‍රමයක් 1997 දී ආරම්භ කිරීම.
  2. රාජ්‍ය මූල්‍ය දිරිගැන්වීම්
  3. බදු සානුබල ලබාදීම (තීරුබදු ප්‍රතිපාදන ඇතුළුව)
  4. ආනයන හා විනිමය පාලනය ලිහිල් කිරීම.
  5. අපනයනාභිමුඛ නිශ්පාදනය දිරිමත් කිරීම.
  6. ආයෝජන ප්‍රවර්ධන කලාප පිහිටුවීම.
  7. අපනයන නිශ්පාදන ගම්මාන පිහිටුවීම.
  8. විනිමය අනුපාත පාවීමට ඉඩ හැරීම.
  9. විදේශ රටවල් සමග වෙළඳ ගිවිසුම්වලට එළඹීම.

ආශ්‍රීත ග්‍රන්ථ[සංස්කරණය]

  • අබේරත්න සිරිමල් - ලංකාවේ ආර්ථීකය 50 වසරක දුර්භාග්‍ය
  • ඊරියගම තිස්ස - ලංකාවේ ආර්ථීක සංවර්ධනය
  • ප්‍රනාන්දු ඩබ්.එම්. ආර්ථීක විද්‍යාව 02 (2006)
  • විමලරත්න ඒ - ආර්ථීක විද්‍යාව, (1997) ප්‍රින්ටර්ස්, කොළඹ 9
  • නිදහස් ශ්‍රී ලංකාවේ ආර්ථීක ප්‍රගතිය.(1998) ශ්‍රී ලංකා මහ බැංකුව රාජගිරිය.
  • ශ්‍රී ලංකා සමාජ ආර්ථීක දත්ත 32 වෙළුම. 2009 ජුනි. (ශ්‍රී ලංකා මහ බැංකුව)
  • ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තා.
  • සටහන 11-12 කලාපය 2008 නොවැම්බර් - දෙසැම්බර් ( ශ්‍රී ලංකා මහ බැංකුව)