අක්මාව බද්ධ කිරීම
අක්මා බද්ධය | |
---|---|
මැදිහත්වීම | |
ICD-9-CM | 50.5 |
MeSH | D016031 |
අක්මාව බද්ධ කිරීම යනු රෝගී අක්මාවක් නිරෝගී පුද්ගලයෙක්ගේ අක්මාවක් මගින් ප්‍රතිස්තාපනය කිරීමයි. මෙහිදී බහුලවම භාවිතා වන ක්‍රමය වන්නේ අදාල පුද්ගලයාගේ රෝගී අක්මාව ඉවත් කර දායකයකුගෙන් ලබාගන්නා නිරෝගී අක්මාවක් රෝගියාගේ අක්මාව පිහිටි ස්ථානයටම බද්ධ කිරීමයි. අක්මාව බද්ධ කිරීම අක්මා රෝග ඇති අසාධ්‍ය රෝගීන්ට සහ ක්ෂණිකව අක්මාව අක්‍රිය වූ පුද්ලයන් හට ලබාදෙන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස අද දින ඉහළ පිලිගැනීමක් ඇත.
ඉතිහාසය
[සංස්කරණය]ප්‍රථම මිනිස් අක්මා බද්ධ කිරීම සිදු කරන ලද්දේ 1963 දී ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙන්වර් සහ කොලරාඩෝ ප්‍රාන්තයන්හි වෛද්‍ය තෝමස් ස්ටාල් ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් විසිනි. වෛද්‍ය ස්ටාල් මීට අමතරව අක්මා බද්ධ කිරීම් ද ඊළග වසර කිහිපය තුළ සිදු කළ අතර 1967 දී ප්‍රථම වරට අක්මා බද්ධයකින් පසු රෝගියෙකු වසරක් ජීවත් වුණි. විවිධ ශෛල්‍ය උපක්‍රම හමුවේ අක්මා බද්ධ කිරීම 1970 දී පරීක්ෂණාත්මක මට්ටමක පැවතුණු අතර සැත්කමකින් පසු රෝගියෙකු වසරක් ජීවත් වීමේ සම්භාවිතාව එවකට සියයට 25 ක් වුණි. සර් රෝයි කානි විසින් සයික්ලොස්පොරීන් නම් ඖෂධය හදුන්වා දීමෙන් පසු සැත්කමට ලක් වු රෝගීන් කෙරෙහි යහපත් ප්‍රතිඵල ලබාදුනි. 1990 දී වැඩිහිටියන් සහ කුඩා ළමුන් සදහා ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හදවත් බද්ධය යොදා ගැනේ. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයෙහි 100 කටත් වඩා ස්ථානයක සහ යුරෝපයෙහි බොහෝ ස්ථාන වල අක්මා බද්ධ කිරීම් සිදු කෙරේ. අක්මා බද්ධ කිරීම් මගින් නිරතුරු ව ම සංකූලතා ඇති වුවද මේ වන විට සැත්කමින් පසුව රෝගියකු වසරක් ජීවත් වීමේ සම්භාවිතාව සියයට 85 සිට 90 දක්වා ඉහළ ගොස් ඇත. අවාසනාවකට මෙන් මරණයට පත් වු පුද්ගලයන්ගෙන් ලැබෙන අක්මාවන් ප්‍රමාණයෙහි හිගතාවක් දක්නට ඇති නිසා දැනට කෙරෙන අක්මා බද්ධ කිරීම් සදහා ඒවා ලබාගනුයේ ජීවත් වන පුද්ගලයන්ගේ අක්මාවෙනි.
බද්ධ කිරීමේ ක්‍රමෝපායන්
[සංස්කරණය]බද්ධ කිරීමකට ප්‍රථම අක්මාව වෙතට ආධාරයක් ලබාදෙන ප්‍රතිකාර ක්‍රම ලබාදීම අත්‍යාවශ්‍යවේ. කෘතිමව අක්මාව සදහා ආධාරයක් ලබාදීම හෝ වෙනත් කෘතිම ක්‍රම මගින් ආධාර සැපයීම තවමත් සායනික මට්ටමෙන් අධ්‍යයනය වෙමින් පවතී. අවසානයේදී සියළුම අක්මා බද්ධ කිරීම් වලදී ස්වභාවිකවම ඇති අක්මා ඉවත් කර එය පෙර පිහිටි ස්ථානයේම නව අක්මාවක් මගින් ප්‍රතිස්ථාපනය කරයි. මෙම බද්ධ කිරීමේ සැත්කම අක්මාව ඉවත් කිරීමේ අදියර, සැත්කමෙන් පසු අක්මාව මුළු මනින්ම ඉවත් කළ අදියර සහ බද්ධ කිරීමෙන් පසු අදියර ලෙස අදියර තුනකි. මෙම සැත්කම සිදු කරනුයේ උදර කුහරයේ ඉහළ කොටස මත යොදන විශාල කැපුමක් මගිනි. අක්මාව ඉවත් කිරීමේ දී අක්මාව හා සම්බන්ධ සියළුම තන්තු හා පටක කොටස්, පොදු පිත්ත ප්‍රනාලය, යාකෘතික ධමනිය හා යාකෘතික ප්‍රතිහාර ශිරාව කපා වෙන් කරනු ලැබේ. සාමාන්‍යයෙන් අපරමහා ශිරාවෙහි අක්මාවට පිටුපසින් ඇති කොටස අක්මාව සමග ඉවත් කෙරෙන අතර වෙනත් සැත්කම් ක්‍රමයක් මගින් ප්‍රතිග්‍රාහකයාගේ අපර මහා ශිරාව සංරක්ෂණය කර ගත හැකිය.
බද්ධ කරනු ලබන අක්මාවෙහි ඇති දායකයාගේ රුධිරය UW (Viaspan) හෝ HTK වැනි ශීත කරන ලද අවයව තැන්පත් කරනු ලබන ද්‍රාවකයක් මගින් ප්‍රතිස්ථාපනය කරනු ලබයි. බද්ධ කිරීමේදී අපරමහා ශිරාව, යාකෘතික ප්‍රතිහාර්ය ශිරාව සහ යාකෘතික ධමනිය එකිනෙක සම්බන්ධ කරනු ලැබේ. අළුතින් බද්ධ කරන ලද අක්මාවට නව රුධිර සංසරණයක් ලැබුනු පසු පිත්ත ප්‍රනාලය ප්‍රතිග්‍රාහකයා පිත්ත ප්‍රනාලයට හෝ කුඩා අන්ත්‍රයට සම්බන්ධ කරනු ලැබේ. මෙම සැත්කම සිදු කිරීමට සාමාන්‍ය යෙන් පැය 5 ක් හෝ 6 ක් ගත වන අතර ෛශල්‍ය වෛද්‍ය වරයාගේ අත් දැකීම් හා දක්ෂතා අනුව ගත වන කාලය අඩු හෝ වැඩි වියි හැකිය.
අක්මා බද්ධ කිරීම් බොහොමයකගේ මිය ගිය දායකයෙකුගේ සම්පුර්ණ අක්මාවම ප්‍රතිග්‍රාහකයාට බද්ධ කරනු ලැබේ මෙය බොහෝ විට සිදු කරනුයේ වැඩිහිටි ප්‍රතිග්‍රාහකයන් සදහාය. කුඩා ළමුන් වෙත අක්මාව බද්ධ කිරීමේ දී වැඩිහිටියෙකුගෙන් ගන්නා අක්මාවෙන් කොටසක් අදාල ළදරුවාෙග් අක්මාවට සමාන ප්‍රමාණයකින් පිහිටන පරිදි කපා ඉවත් කරනු ලැබේ. මෙම ක්ෂේත්‍රයෙහි ඇති තවත් විශේෂ අංගයක් වනුයේ එක් දායකයෙකුගේ අක්මාවක් දෙකට කැපීම මගින් ප්‍රතිග්‍රාහකයන් දෙදෙනෙකුට බද්ධ කිරීම සදහා යොදා ගැනීමට හැකි වීමයි. තවද ජීවත් වන නිරෝගී දායකයෙකුගේ අක්මාවෙන් කොටසක් ප්‍රතිග්‍රාහකයෙකුට බද්ධ කල හැකිය. මෙලෙස කුඩා ළමයෙකුට අක්මා බද්ධ කිරීමක් සිදු කරන විට ජීවත් වන දායකයාගේ අක්මාවෙන් 20% ක ප්‍රමාණයක් කපා ඉවත් කරගත යුතුය.