නෙප්චූන් වෙතින් ඔබ්බෙහි පිහිටි ග්‍රහලෝක

විකිපීඩියා වෙතින්
"එක්ස්" ග්‍රහලෝක සංකල්පයෙහි නිර්මාතෘ වන පර්සිවල් ලොවෙල්

තාරකා විද්‍යාවෙහිදී ‘Planet X’ හෙවත් නොදත් ග්‍රහලොව නමින් සලකනුයේ නෙප්චූන් ග්‍රහලොවට ඔබ්බෙන් වූ න්‍යායාත්මක ග්‍රහ වස්තුවකි. මෙම සංකල්පය ගොඩ නගනු ලැබුයේ වායු යෝධයන්ගේ විසංගත හැසිරීම් තර්කානුකූලව පහදාදීම සඳහා විය. ප්‍රධානවම මෙම සංකල්පය මගින් විමර්ශනයට ලක් කෙරුණු ග්‍රහලෝක වූයේ යුරේනස් හා නෙප්චූන්ය. මෙම ග්‍රහලෝකවල කක්ෂවල වූ අපගමනයන් පිළිබඳව නිරාකරණය කරගනු ලැබුයේ 1980 දශකයේ දීය.

‘X’ යනුවෙන් අදහස් කරනුයේ රෝම ඉලක්කම්වලින් “10” යන සංඛ්‍යාව නොව “නොදත්” යන අදහසය. මෙම සංකල්පය ගොඩනගන ලද අවධියේ අප දැන සිටියේ ග්‍රහලෝක 8ක් ගැන පමණක් බැවින් එම කාලයේ දී මෙය “නවවන ග්‍රහලොව” නමින් ද හැඳින්වූ අවස්ථාවන් එමටය. එසේම 1930 න් පසු 1990 දී මෙම සංකල්පය ඉවත් වීමට පටන් ගන්නා තෙක්ම “දසවන ග්‍රහලොව” නමින් ද හැඳින්විය. කෙසේ වුවද , අදවන විට ‘Planet X’ යනුවෙන් තාරකා විද්‍යා අයවළුන් සලකනුයේ කල්පිත වස්තුවකි.

‘Planet X’ සෙවීමේ ගැඹුරු නිරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස ප්ලූටෝ සොයාගැනුණද එය ‘Planet X’ ලෙස නොසලකයි. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ වාර්ෂික සැසියේදී “එරිස්” ග්‍රහකය ග්‍රහලොවක් ද නැත් ද යන්න පිළිබඳව සලකා තිබුණි. (2006 ග්‍රහලෝක පිළිබඳ නැවත අර්ථ දැක්වීම අනුව) කෙසේ වුවද ජනප්‍රිය සංස්කෘතිය අනුව ‘Planet X’ සලන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ සොයා නොගත් ග්‍රහලෝකයක් ලෙසිනි.


X ග්‍රහලොව - විෂමතාවයේ ආරම්භය[සංස්කරණය]

බොහෝ තාරකා විද්‍යාඥයින් 20 වන සියවස ආරම්භයේ සිටම නෙප්චූන් ග්‍රහලොවට එපිටින් තවත් ග්‍රහලෝකයක් පැවතීම පිළිබඳව අනුමාන කළහ. නෙප්චූන් ග්‍රහලොව ගණිතඥයින් වන ජෝන් කව්ච් ඇඩම් (John Couch Adams) සහ අර්බේන් ලෙවෙරියර් (Urbain Le Verrier) විසින් ගණිතමය ගණනය කිරීම් මගින් සොයාගත් අතර ඒ සඳහා යුරේනස් , සෙනසුරු සහ බ්‍රහස්පතිගේ ගණිතමය පෙරයීම් සහ සැබෑ නිරීක්ෂණ අතර පැවති විෂමතා හේතු පාදක විය.

නෙප්චූන් සොයාගැනීමෙන් පසුව ඉහත සඳහන් ග්‍රහයින්ගේ කක්ෂවල සුළු වෙනස්කම් දක්නට ලැබූණු අතර නෙප්චූන් ග්‍රහයාගේ ද කක්ෂයේ විෂමතා දක්නට ලැබිණි. මෙය නෙප්චූන්ගෙන් එපිට ද තවත් ග්‍රහලොවක් පැවතිය හැකි බවට සාක්ෂියක් ලෙස පෙන්වා දෙන ලදී.

අගහරු ග්‍රහයා මත ඇළ මාර්ග ඇති බවට නිරීක්ෂණය කිරීමෙන් ප්‍රකට වූ “පර්සිවෙල් ලොවෙල්” (Percival Lowell) මෙම කල්පිත ග්‍රහලොව “X ග්‍රහලොව” (Planet X) ලෙස හැඳින්විය. ඔහු මේ ග්‍රහලොව සෙවීමට අසාර්ථක සෙවීම් 2ක් ක්‍රියාවට නැංවූ අතර පළමු වර සෙවීම X ග්‍රහලොව තිබිය හැකි යැයි අනුමාණ කළ ස්ථානය සංශෝධනය කිරීමෙන් 1909 දී අවසන් වූ අතර දෙවැන්න ලොවෙල් විසින් X ග්‍රහයාගේ පරාමිතියේ ගණිතමය කල්පිත ප්‍රකාශයට පත් කිරීමෙන් පසු 1913 ආරම්භ කර 1915 දී අවසන් විය. එම වසරේ ඔහු තම නිරීක්ෂණාගාරයෙන් ලබා ගත් ජායාරූපවල ප්ලූටෝ ග්‍රහයාගේ දීප්තියෙන් හීන ප්‍රතිබිම්භ සටහන් වී තිබූ නමුත් අවාසනාවකට මෙන් ඔහුට එකල එය සැබැවින් හඳුනාගත නොහැකි විය.