හරප්පා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඉන්දු නිම්නයේ හරප්පාහි පිහිටීම හා ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ වපසරිය (කොළ පැහැයෙන් දක්වා ඇත).

හරප්පා (උර්දු: ہڑپہ,හින්දි: हड़प्पा) යනු ඊසානදිග පකිස්තානයේ, පන්ජාබ්හි, සාහිවාල්ට කිමි 35ක් (සැතපුම් 22ක්) පමණ නිරිත දිගට වන්නට පිහිටි නගරයකි .

නූතන නගරය, රාවි නදියේ පැරණි පෙතට කිට්ටුවෙන් හා පුරාතන කොටුබැම්මෙන් සුරැකුණු සහ සුසානභූමි එච් සංස්කෘතිය හා ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට අයත් වූ නගරයක නෂ්ඨාවශේෂ අසබඩ පිහිටයි.

පුරාතන නගරය ක්‍රිපූ 3300දී සිට පමණ සි‍ට [1] ක්‍රිපු 1600 දක්වා පැවැති බවද වැසියන් 40,000 පමණ ගණනක් විසූ බවද —එකල සුවිශාල ලෙස සැලකුණු බවද පෙනේ. හරප්පා සංස්කෘතියේ බලපෑම වර්තමාන පකිස්තානයේ සීමාවලින් ඔබ්බට විහිදුනද, එහි කේන්ද්‍රස්ථාන සින්ද් හා පන්ජාබ් වූහ.[2]

2005දී මෙම භූමිභාගය තුල විනෝද උද්‍යානයක් සඳහාවූ ‍ මතභේදකාරී යෝජනාක්‍රමයක් අත්හැරදැමීමට ඉදිකිරීමෙහි නිරතවූවන් හට සිදුවූයේ ඉදිකිරීම් ක්‍රියාවලියේ මුල් අවදියෙහිදී පුරාවිද්‍යාත්මක මානවකෘති පොළොවෙන් මතු වීම නිසාය. ප්‍රසිද්ධ පකිස්තානු පුරාවිද්‍යාඥ අහමද් හසාන් දානි විසින් සංස්කෘතික අමාත්‍යාංශයෙන් සිදු කල අභියාචනයක් නිසා මෙම වැඩබිම ප්‍රතිසංස්කරණයට ලක් කෙරිනි.[3]

ඉතිහාසය[සංස්කරණය]

ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය (හරප්පා සංස්කෘතිය ලෙසද හැඳින්වේ) හි ආදිතම මූල සෝදිසි කරන විට ක්‍රිපූ 6000 දී පමණ මර්ගාර් පෙන්නුම් කරයි. මොහෙන්ජො-දාරෝ සහ හරප්පා යන මහා නගර, ක්‍රිපූ 2600 දී පමණ, ඉන්දු නදී නිම්නය පසෙකින් පන්ජාබ් සහ සින්ද් හිදී බිහි වූහ. ලේඛන ක්‍රමයක්, නාගරික මධ්‍යස්ථාන, හා විචිත්‍ර සමාජ හා ආර්ථික සම්ප්‍රදායන් යන දෙයින් අනූනවූ මෙම ශිෂ්ඨාචාරය, 1920 ගණන් වලදී සින්ද් හීදී සුක්කූර් ට කිට්ටුවෙන් මොහෙන්ජො-දාරෝ ( "මළවුන්ගේ ගොඩැල්ල" යන අරුත් දෙන) හි හා බටහිර පන්ජාබ්හි ලාහෝරයට දකුණින් හරප්පා හි පුරා විද්‍යා කැණීම් වලදී නැවත සොයාගන්නා ලදි. උතුරෙන් ඉන්දියාවේ, නැගෙනහිර පන්ජාබ්හි, හිමාලය කඳු පංතියේ කුඩා කඳු ගැටද , දකුණින් හා නැගෙනහිරින් to ගුජරාටයද, හා බටහිරින් බලුකිස්තානයද යන පෙදෙස් වලින් පරිමිත වූ භූමිභාගයෙහි බොහෝ වැඩබිම් එළිදරව් කොට ගෙන අධ්‍යයනයට බඳුන් කොට ඇත. 1857 දී ලාහෝර්-මුල්තාන් දුම්රිය මාර්ගය තැනූ ඉංජිනේරුවන් අතින් හරප්පා නෂ්ඨාවශේෂයන්හි ගඩොල් track ballast සඳහා භාවිත කිරීම හේතුවෙන් හරප්පා හි පුරාවිද්‍යාත්මක වැඩබිම අර්ධ වශයෙන් හානියට ලක් වුවද, මානවකෘති මහත් සම්භාරයක් සොයාගෙන ඇත.[4]

සංස්කෘතිය සහ ආර්ථිකය[සංස්කරණය]

ඉන්දු නිම්න ශිෂඨාචාරය ප්‍රධාන වශයෙන් අතිරික්ත කෘෂිකාර්මික නිෂ්පාදනය හා වෙළහෙළඳාම විසින් පණ පෙවුනු නාගරික සංස්කෘතියක් වූ අතර, දෙවැන්න විස්තර කරන කල්හී දකුණු මෙසපොටේමියාවේ සුමර් හා සමග වෙළඳාම සඳහන් කල යුතුම වේ. බොහෝ අතින් සමාකාර සැලසුම් ප්‍රකාරව මොහෙන්ජො-දාරෝ හා හරප්පා නගර ද්වයම ගොඩනගාතිබූයේ මනාව-ඇසිරූ මාවතින් ද, "වෙන්කොට නිර්මිත වාසස්ථාන, පැතලි-පියසි සහිත ගඩොල් නිවාස, හා කොටුබැම්මෙන් සුරැකුණු පරිපාලන හෝ ආගමික මධ්‍යස්ථාන"වලින්ද සමන්විතවය. [5] කිරුම් පඩි හා මිනුම් ක්‍රම මුළු පෙදෙස පුරාම සම්මත කෘත කොට තිබූ අතර දේපල මෙන්ම නැව්ගත කෙරෙන භාණ්ඩ තොග හඳුනා ගැනීම සඳහාද විශේෂිත මුද්‍රා භාවිත කොට තිබුණි. තඹ සහ ලෝකඩ භාවිතයෙහි පැවතුනද, යකඩ පිළිබඳ නොදත් බැව් පෙනේ. "වස්ත්‍ර සඳහා කපු කටින ලද බවත් සායම් පොවන ලද බවත්; තිරිඟු, සහළ්, හා විවිධ වර්ගයන්ට අයත්වූ එළවුළු හා පළතුරු වගා කළ බවත්; හා මොල්ලි සහිත වෘෂභයන් හා වෙනත් බොහෝ සිව්පාවුන් හීලෑකරන ලද බවත්." [5] සක පෝරුව මත තැනූ- මැටි භාණ්ඩ—මෙයින් සමහරක් සත්ත්ව හා ජ්‍යාමිතික-හැඩ මෝස්තර රටා වලින් හැඩගැන්වුනු— ප්‍රධාන ඉන්දු නිම්න වැඩබිම් හිදී අති බහුල ලෙස සොයා ගෙන ඇත. අනාවරණය කරගන්නා ලද සංස්කෘතික ඒකාග්‍රතාවය හේතුපාදක කොට ගෙන මධ්‍යගත පරිපාලනයක් පැවැති බවට අනුමාන කෙරේ; එනමුදු, අධිකාරය පැවැතියේ පූජක හෝ වාණිජ කතිපයාධිපත්‍යය අතුරින් කුමක් මතද යන්න තවමත් අවිනිශ්චිතය.

පුරාවිද්‍යාව[සංස්කරණය]

සියළු අතින් බලන කල මෙතෙක් සොයාගනු ලැබූ අතිශයින් උත්කෘෂ්ට නමුත් ඉතාමත් තේරුම්ගැනීමට අපහසු මානවකෘතිය වනුයේ, මිනිස් හා සත්ත්ව මෝස්තර රටා කැටයම් කරන ලද, කුඩා, හතරැස් මේදෝපාෂාණ මුද්‍රා ය. මෙම මුද්‍රා අතිවිශාල සංඛ්‍යාවක් සොයාගන්නා ලද්දේ මොහෙන්ජො-දාරෝ හිදී වන අතර, මෙයින් බොහෝමයක් මත, කිසියම් අක්ෂර මාලාවක උපාංග යැයි සැලකිය හැකි චිත්‍රාශ්‍රිත ලිඛිත ශිලාලේඛන සඳහන්ව තිබිණ. ලොවෙහි නන් දෙසින් පැමිණි වාග්විද්‍යාඥවරුන්ගේ අතිමහත් උත්සාහයන් අභිමුඛයෙහි වුවද, පබල පරිගණකයන් ගේ බල මහිමය ඉදිරියෙහි වුවද, මෙම අක්ෂර මාලාව කියවා තේරුම් ගැන්මට අපොහොසත් වී ඇති අතර, එය පූර්ව-ද්‍රවිඩ හෝ පූර්ව-සංස්කෘති ගණයට අයත් වන්නේද යන්නද තවමත් නොදනී.

සටහන්[සංස්කරණය]

  • ජාලයෙහි සඳහන් කොට තිබූ ආදිතම රේඩියෝකාබන් කාලනිර්ණය වනුයේ ක්‍රිපූ 2725+-185 (ක්‍රමාංකිත‍ නොකල) හෝ ක්‍රිපූ 3338, 3213, 3203 ක්‍රමාංකිත, බැවින් මධ්‍ය ලක්ෂය ලෙස ක්‍රිපූ 3251 සැලකිය හැක. කෙනොයියර්, ජොනතන් මාර්ක් (1991) ඉන්දු ජනශ්‍රැතියේ නාගරික ක්‍රියායනය: පරිකර්ම වාර්තාවක්. 1986-1990, හරප්පානු කැණීම් ආශ්‍රිත: තෙවන සහස්‍ර නාගරීකරණයට බහුශික්ෂණ උපගමනයක්, සංස්කරණය කලේ රිචඩ් එච්. මීඩෝ: 29-59. ‍ජගත් පුරාවිද්‍යාව පිළිබඳ ඓකික නිබන්ධ අංක.3. ප්‍රීහිස්ටොරි ප්‍රෙස්, මැඩිසන් විස්කොන්සින්.
  • 4 සහ 5 කාලපරිච්ඡේද හරප්පා හි කාල නිර්ණය කර නොමැත. හරප්පා හි හරප්පානු සම්ප්‍රදායෙහි සමාප්තිය ක්‍රිපූ 1900 හා 1500 අතර සිදුවූ බව සැලකේ.
  • පකිස්තානයේ, සින්ද් ප්‍රාන්තයේ පිහිටි මොහෙන්ජො-දාරෝ, මෙම යුගයටම අයත් තවද ප්‍රධාන නගරයකි.
  • ධොලවීර යනු පුරාතන පුරවර නගරයකි. හරප්පානු වැසියන් භාවිත කලේ මොහෙන්ජො-දාරෝ හා ධොලවීර වැනිවූ අනෙකුත් ඉන්දු නිම්න නගරයන්හි භාවිතවූ ප්‍රමාණ‍යේම ගඩොල් හා සම්මත-කෘත කිරුම් පඩිය. පුළුල් මාවත්, පොදු හා පෞද්ගලික ලිං, දිය බස්නා කාණු, ස්නාන වේදිකා සහ ජලාශ යනාදියෙන් පිරිපින්වූ මෙම නගර මනාව සැලසුම් කර තිබුණි. මේවා අතුරින් ඉමහත් ලෙස ජනප්‍රිය නිර්මාණයක් ලෙස මොහෙන්ජො-දාරෝ හි මහා නාන ස්ථානය හැඳින්විය හැක.

බලුකිස්තානය, මධ්‍ය ආසියාව හා ඉන්දීය අර්ධද්වීපයෙහි යාබද ප්‍රදේශයන්හි අතිශයින් සමෘද්ධවූ තවද සංස්කෘතීන් පැවතිණි. භෞතික සංස්කෘතිය හා හරප්පා සුසානභූමිහි හා අනෙකුත් වැඩබිම්හි වූ ඇටසැකිලි සාක්ෂි දරන්නේ බටහිරින් මෙන්ම නැගෙනහිරින්ද පැමිණි ප්‍රජාවන්ගේ සම්මිශ්‍රණයක් සිදුවී ඇති බවය. හරප්පා ජනාවාස වීම ඊනියා පුරාතන ඉන්දු ශිෂ්ඨාචාරය සමෘද්ධිමත්ව වැජඹීමට පෙර සිදුවූ අතර, වත්මනද එය ධරමාන සුළු නගරයක්ව පවතී

ආශ්‍රිත[සංස්කරණය]

  1. ගවේෂිත 'පැරණිතම ලේඛන ක්‍රමය' බීබීසි ප්‍රවෘත්ති, 1999, මැයි 4.
  2. බස්හැම්, ඒ. එල්. 1968. ඒ. එච්. දානි විසින් රචිත ( අයි. එච්. කුරේෂිගේ ප්‍රස්තාවනාවක් සහිත) සංක්‍ෂිප්ත පකිස්තාන ඉතිහාසය පිළිබඳ විමර්ශනය. කරච්චිය: කරච්චි විශ්වවිද්‍යාල මුද්‍රණාලය. 1967 පැසිෆික් එෆයාස් 41(4) : 641-643.
  3. ටහීර්, සුල්කනයීන්. 2005 මැයි 26. හරප්පා උද්‍යානය පිළිබඳ විභාග මණ්ඩලය, ඩෝන්. උපුටා දැක්වීම 2006 ජනවාරි 13.
  4. කෙනෝයර්, ජේ.එම්., 1997, ඉන්දු නිම්නයෙහි වෙළෙඳාම සහ තාක්ෂණය : පකිස්තානයේ හරප්පා වෙතින් නව ප්‍රතිවේධ, වර්ල්ඩ් ආර්කියොලොජි, 29(2), පිටු. 260-280, හයි ඩෙෆිනිෂන් ආර්කියොලොජි
  5. 5.0 5.1 ලයිබ්‍රරි ඔෆ් කොන්ග්‍රස්: රාෂ්ට්‍ර අධ්‍යයන. 1995. හරප්පානු සංස්කෘතිය. උපුටා දැක්වීම 2006 ජනවාරි 13.

බාහිර බැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 30°38′උ″72, 52°නැ′region:PK_type:city″නැ

"http://si.wikipedia.org/w/index.php?title=හරප්පා&oldid=289531" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි