ලොතාල්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ලොතාල් පුරාවිද්‍යාත්මක ප්‍ර‍දේශ‍ය

ලොතාල් (ගුජරාටි: લોથલ loˑt̪ʰəl) යනු පුරාතන ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙහි ඉතා වැදගත් නගර අතුරින් එකකි. වර්තමාන ගුජරාට් ප්‍රාන්තයේ බාල් ප්‍රදේශයෙහි පිහිටා ඇති මෙය ක්‍රිපූයු 2400 ක පමණ ඈත ඉතිහාසයකට හිමිකම් කියයි. 1954 දී සොයාගත් ලොතාල්හී කැණීම් කටයුතු, 1955 පෙබරවාරි 13 දින සිට 1960 මැයි 19 දින දක්වා සිදුකරන ලද්දේ පුරාතන ස්මාරක සංරක්ෂණය සඳහා ඉන්දියානු රජයේ නිල කාර්යාංශය වූ ඉන්දීය පුරාවිද්‍යාත්මක මිනින්දෝරු ආයතනය (ASI) විසිනි. වර්තමානයෙහි එය වට කොට පිහිටි කච් කාන්තාරය අරාබි මුහුදෙහි කොටසක්ව පැවැති කාලයෙහිදී සින්ද්හී හරප්පානු නගර හා සව්රාෂ්ට්‍ර අර්ධද්වීපය අතර වෙළෙඳ ගමන් මගෙහි සාබර්මාටි නදියෙහි පුරාතන ගමන් මගට — ලොව අප දන්නා පැරණිතම — ලොතාල්හී නැව් තටාකය විසින් නගරය සම්බන්ධ කෙරිණි. එහි පබළු, මැණික් සහ වටනා ආභරණ වෙළඳාම බටහිර ආසියාවේ සහ අප්‍රිකාවේ ඈත කෙළවර දක්වා ලඟාවූ, ඉතා වැදගත් සහ සඵල වෙළෙඳ මධ්‍යස්ථානයක්ව එය පුරාතන කාලයෙහි පැවතිණි. පබළු-තැනීම සඳහා සහ ලෝහ විද්‍යාවෙහිදී ඔවුන් පුරෝගාමීව ඇරඹූ ක්‍රමවේද හා මෙවලම් වසර 4000 කට වඩා අධික කාලයක් භාවිතයෙහි පැවතිණි.[1]

එහි විද්‍යාඥ‍යෝ සිප්පි මාලිමාවක් භාවිතයෙන් ක්ෂිතිජය හා අහස 8-12 කොටස් ගණනකට බෙදීමට සමත් වුහ. ඔවුහු ග්‍රීකයන්ට අවු. 2000 කට පෙර තාරකා අධ්‍යයනය හා නාවික කටයුතුවල පුරෝගාමීන් වුහ.

ලෝතාල්, අහම්බාද් දිස්ත්‍රික්කයේ සරග්වාල ග්‍රාමය අසල පිහිටා තිබුණි. එය අහම්බාද්- භව්නගර් දුම්රිය මාර්ගයේ පිහිටි ලොතාල් - භූමි දුම්රිය ස්ථානයට කී.මි 6 ක් ගිනිකොණ දෙසින් පිහිටා ඇත. අහම්බාද්, භව්නගර්, රාජ්කොත් හා ඩොල්කා යන නගර සියල්ලම කරා දිවෙන මාර්ග හා සම්බන්ධව පවති. ආසන්නයේම පවතින නගර වන්නේ ඩොල්කා හා බගෝධරය. 1961 නැවත ආරම්භ වු කැණීම් මඟින් පුරාවිද්‍යාඥයෝ උතුරු, නැගෙනහිර හා බටහිර ප්‍රදේශයේ තනන ලද අඟල් මතු කර ගත්හ. ඒවා නැව් තටාකය හා ගංගාව සම්බන්ධ කළ පීලි ලෙස භාවිතා වී තිබුණි.

එම කැණීම් ප්‍රදේශයට ආසන්නයේ පුරාවිද්‍යාත්මක කෞතුගාරය පිහිටා තිබෙන අතර එහි සින්දු යුගයේ වටිනා පුරාවස්තු තැන්පත් කර තිබේ.

ඉතිහාසය[සංස්කරණය]

හරප්පානු ජනතාව පැමිණීමට ප්‍රථම (ක්රි.පු. 2400 වෙනි ශත වර්ෂය) ලෝතල් ගම්මානය කම්බාට් මුහුදු බොක්ක හරහා ගොඩ බිම වෙත ළඟාවීමට පහසුකම් සැපයු ගංඟාව ආශ්‍රිතව පිහිටි කුඩා ගම්මානයක් විය. මෙහි වාසය කළ ස්වදේශීක ජනතාව යහපත් ආර්ථික තත්ත්වයකින් යුක්ත වු බව මෙම ප්‍රදේශයෙන් හමුවු තඹ වස්තු, මාල සහ අඩු වටිනාකමින් යුත් මැණික් වර්ග ආදියෙන් පැහැදිලි වෙයි. මෙම ප්‍රදේශයෙන් හමුවු මැටි භාණ්ඩ සිනිදු මැටි වලින් නිම වු ඒවා වන අතර ඒවායේ පෘෂ්ඨ මයිකා පාෂාණ භාවිතයෙන් රතු පැහැයට හරවා තිබුණි. මොවුහු අර්ධ වශයෙන් ඔක්සිකාරක වූත් අර්ධ වශයෙන් ඔක්සිහාරක වූත් මැටි භාණ්ඩ තාපනය කිරීමේ ක්‍රම වේදයක් වැඩි දියුණු කළ අතර එය ඔස්සේ කළු සහ රතු පැහැයෙන් යුතු වු මැටි භාණ්ඩ වෙනුවට මයිකා රතු පැහැයෙන් යුතු වු මැටි භාණ්ඩ නිර්මාණය කිරීමට සමත් විය. ලෝතල් ගම්මානය වෙත හරප්පානු ජනතාව ඇදී ඒම සදහා ඒ ආශ්‍රිතව පිහිටි ආරක්ෂිත වරාය, කපු සහ සහල් නිෂ්පාදනය සදහා ඉතා සුදුසු වු පරිසරය සහ පබලු නිර්මාණය කිරීමේ කර්මාන්තය හේතු විය. මේ සමය වන විට ලෝතල් ගම්මානය ආශ්‍රිතව නිර්මාණය කෙරුනු පබලු සහ මැණික් වර්ග සදහා බටහිර රටවල දැඩි ඉල්ලුමක් විය. මෙසේ ලෝතල් ගම්මානය වෙත පිටතින් පැමිණි ජනතාව එහි සිටි ජනතාව සමග සාමකාමීව ජීවත් වු අතර ගම්මානයේ මුල් පදිංචි කරුවන් ක්‍රමයෙන් පිටතින් පැමිණි ජනතාවගේ ජීවන ක්‍රමයටම හුරුවූහ. මේ බව වර්ධනය වු වෙළද කටයුතු සහ විවිධ කටයුතු සදහා භාවිතා කළ ක්‍රම වෙනස් කිරීම මගින් පැහැදිලි වෙයි. මේ අතර හරප්පානු ජනතාව ස්වදේශීක ජනතාවගෙන් මැටි භාණ්ඩ නිපදවීමේ ක්‍රමය ඉගෙන ගත්හ.

ලෝතාල් - නගර නිර්මාණය[සංස්කරණය]

ගඩොලින් තෑනු අපවහන පද්ධතිය

ක්‍රි.පු. 2350 දි ඇති වු විශාල ගංවතුරකින් ලෝතාල් ගම්මානය හා එහි වු ජනවාස විනාශ විණි. ලෝතාල් අවට විසු හරප්පාවරු හා සින්ද්වරු මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන තම නගර වඩා සැලසුම් සහගතවත් විශාලවත් නිර්මාණය කිරීම ආරම්භ කළහ. ‍ලෝතාල් සැලසුම් ශිල්පීන් තම නගරය නිරතුරුව ඇතිවන ගං වතුර විපත් වලින් බේරා ගැනීමට කටයුතු කළහ. නගරයේ 1-2 m පමණ උස (අඩි 3-6) වේදිකාවක් ගඩොල් වලින් තැනු ඔවුන් එක එකක් මත මැටියෙන් තැනු ගෙවල් 20-30 අතර ප්‍රමාණයක් ගොඩනැගූහ. නගර බලකොටුව, නගර ප්‍රාසාදය හා පහත් නගරය ලෙස කොටස් වලට බෙදන ලදී. නගරයේ පාලකයෝ නගර ප්‍රසාදයේ විසු අතර එහි නාන කාමර, භූගත හා ඉහළ කානු පද්ධති (පිළිස්සු ගඩොලින් තැනු) හා පානිය ජල ළිඳක් පැවතුණි. නගරය තවත් උපකොටස් දෙකකට බෙදන ලදී. උතුරේ සිට දකුණට විහිදෙන ප්‍රදේශය ප්‍රධාන වානිජ ප්‍රදේශය විය. එහි පොහොසත් හා සාමාන්‍ය වෙළඳුන්ට අයත් කඩසාප්පු තිබු අතර හා කැටයම්කරුවෝ ද විසුහ. නගරයේ නිවාස කඩ වීදියෙන් දෙපසට පිහිටා තිබුණි. ලෝතාල් සමෘද්ධියට පත්වෙත්ම නගරයේ ප්‍රමාණයද විශාල කරන ලදී.

ලෝතාල් ඉංජිනේරුවෝ වෙළදාම සඳහා නැව් තටාකයන් හා බඩු ගබඩාවක් තැනීම සඳහාත් මුල් තැන ලබා දී තිබුණි. මෙම ගොඩනැංවීම නැව් තාටාංගනයක්ද එසේත් නැතිනම් එහි ප්‍රමාණයේ ඇති කුඩා භාවය නිසා එය වාරිමාර්ග වැවක්ද යන්න පිළිබඳව සමකාලීන පුරාවිද්‍යාඥයන් අතර මතවාද පවතී. නැව් තාටාක නගරයෙන් නැගෙනහිර දෙස පිහිටා තිබුණි. මෙය ඉංජිනේරු විද්‍යාවේ අග්‍ර ඵලයක් ලෙස පුරාවිද්‍යාඥයෝ සලකති. එහි රොන්මඩ තැන්පත් වීම වැළැක්වීම සඳහා එය ප්‍රධාන ගංගාවේ ජල ප්‍රවාහනයෙන් ඉවත්ව පිහිටා තිබුණු අතර වඩදියේදි පවා නැවකට තුළට ඇතුල් වීමට අවස්ථාව සලසා දී තිබුණි. ගබඩාව නගර ප්‍රසාදය ආසන්නයේ 3.5 m උසැති (අඩි 10.5) ගඩොල් වේදිකාවක් මත තනා තිබුනි. එම නිසා පාලකයාට ගබඩාවේ හා වරායේ සිදුවන ක්‍රියාකාරිත්වය එකවරම නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබුණි. බඩු තොග ප්‍රවාහනය සඳහා මැටි ගඩොලින් තැනු 220 m දිගැති රේගුවක් තිබු අතර එය නැව් තටාකයේ බටහිර අන්තයේ පිහිටා තිබුණි. එහි සිට ගබඩාව දක්වා දිවෙන බෑවුමක් පිහිටා තිබුණි. ගබඩාවට විරුද්ධ දෙසින් ඉතා වැදගත් පොදු ගොඩනැගිල්ලක් පිහිටා තිබු අතර එහි සැකිල්ල සම්පුර්ණයෙන්ම විනාශව ගොස් ඇත. නගරය පැවති මුළු කාලයේම නගරයට ගංවතුර හා කුණාටු රාශියකට මුහුණ දීමට සිදුවිය. නැව් තටාකාංගනය හා නගරයේ පිටත ප්‍රාකාර හොඳින් නඩත්තු කෙරිණ. නගරයේ නිරතුරුව සිදුවු නැවත ගොඩනැංවීම් මඟින් වෙළදාමේ වර්ධනය හා සමෘද්ධිය අපේක්ෂා කෙරිණි. සමෘදධිමත්භාවය වැඩිවෙත්ම ලෝතාල් වාසීන් ප්‍රාකාර හා නැව් තටාංගය නඩත්තු කිරීම අතපසු කළ අතර මෙය තම පද්ධතිය පිළිබඳව පැවති ඉහළ ‍විශ්වාසය හේතුවෙන් සිදුවුවා විය හැකිය. සාමාන්‍ය විශාලත්වයන් සහිත ගංවතුර තත්ත්වයකදි (ක්‍රි.පු 2050) මෙම ගොඩනැංවීමේ දුර්වලතා හෙලිවුවද එම ගැටළු වලට නිසි පිළියම් නොයොදන ලදී.


ලොතාල් - පුරාවිද්‍යාව[සංස්කරණය]

ලෝතාල් යන වචනයේ අර්ථය "මළවුන්ගේ ගොඩැල්ල" යන්නයි. මෙය අසාමාන්‍ය නමක් නොසැලකෙන්නේ මෙහෙන්දජාරෝ හා සින්ධි යන නගර වල අර්ථය ද එයම වන බැවිනි. ‍ලොතාල් අවට ගම්වාසිහූ එම ප්‍රදේශයේ පැරණි නගරයක් පැවති බවත්, එහි මනුෂ්‍ය ඇටසැකිලි පිළිබඳවත් දැන සිටියහ. 1850 පමණ මෑත භාගය වනතෙක්ම මෙම වරායට බෝට්ටු පැමිණි අතර 1942 දී බ්‍රෝච් සිට සර්ග්වාලා වෙත දැව ප්‍රවාහනය කෙරුනේ මේ හරහාය. දැනට පවතින රොන්මඩ සහිත කුඩා ඇලමාර්ගය භො‍්ලාඩ්, ලෝතාල් හා සර්ග්වාලා සම්බන්ධ කරන අතර එය භෝලාඩ්, ලෝතාල් හා සර්ග්වාලා සම්බන්ධ කරන පැරණි ඇල මාර්ගයක හෝ ගංගාවක කොටසක් බවට විශ්වාස කෙරේ. ඉන්දියාව 1947 දී කොටස් දෙකකට වෙන්වීමෙන් අනතුරුව මොහන්දජාරෝ හා හරප්පා ඇතුළු පුරාවිද්‍යාත්මක ස්ථාන බොහොමයක් පාකිස්ථානයට අයත් විය. ඉන්දියානු පුරාවිද්‍යාත්මක ආයතනය විසින් (ASI) ගුජරාටයේ පවතින මෙවැනි ප්‍රදේශ ගවේෂණය හා කැණීම සිදු කිරීම සඳහා ‍නව වැඩපිළිවෙලක් සකස් කරන ලදි. 1954 සිට 1958 කාලය තුළ තුෂ් සිට සෞරාෂ්ට්‍ර අර්ධද්වීපය දක්වා ස්ථාන 50 ක් පමණ කැණීම් කරන ලද අතර එය හරප්පන් ශිෂ්ටාචාරයේ සීමා දක්වා විහිදිනි. ලෝතාල් මොහෙන්දජාරෝවෙන් 270 km දුරින් සින්ද්හි පිහිටා ඇත. ලෝතාල්හි ප්‍රධාන නගරය කුඩා ප්‍රමාණයෙන් යුක්ත නිසා එය විශාල ජනාවාසයක් නොවන බව පෙනේ. එහි නැව් තටාකය ලෙස හඳුන්වන ස්ථානය වැවක් විය හැකි බවට මතයක් පවති. කෙසේ වෙතත් ASI හා වෙනත් සමකාලීන පුරාවිද්‍යාඥයින්ට අනුව සින්ද් සිට ගුජරාටයේ සෞරාෂට්‍රය තෙක් විහිදී තිබුණු වෙළඳ මාර්ගයේ පැවති ප්‍රධාන ගංගා පද්ධතියේ ලෝතාල් නගරය කොටසකි. සොහොන් බිම් වලින් ලැබුණු සාක්ෂි වලට අනුව එහි වැසියෝ ඩ්‍රාවිඩිය, ප්‍රාග්-ඔස්ත්‍රෙලොයිඩ් හෝ මධ්‍යධරණි ශරීර ලක්ෂණ වලින් යුක්ත වුහ. ඉන්දියා‍වේ පුරාවිද්‍යාත්මක එකතුවෙන් වැඩි ප්‍රමාණයක් හමුවුයේ ලෝතාල් නගරයෙනි. එය හරප්පා සංස්කෘතියේ කොටසකි.

මොහෙන්දජා‍රෝ හි හරප්පා හි ඉන්දු ශිෂ්ටාචාරය පිරිහි ගිය ද ලෝතාල් නගරය ඉන් ‍බොහෝ අවුරුදු ගණනාවකට පසුවත් සමෘද්ධිමත්ව පැවතුණි. එහෙත් කුණාටු හා ගංවතුර වැනි ස්වභාවික විපත් වලින් නිතරම හානි පැමිණුන හෙයින් එයින් සංස්කෘතියේ තුලනය නැති වි එහි අවසානය ළඟා විය. භූවිද්‍යාත්මක පර්යේෂණවලින් සොයාගත් පරිදි ලෝතාල් නගරය ජනශුන්‍ය වන සමයේ එහි නියඟයක් පැවතිණි. ලෝතාල්හි ලවණ වඟුරක්ව පැවති ගොඩැල්ලක් දක්නට ලැබේ. චන්ද්‍රිකා ඡායාරූප වලට අනුව 30 km පමණ ගංගාවක් ලෝතාල් අසල තිබු බවට 2004 දී හෙළිකර ගැනුණි.

ලෝතාල් ආර්ථිකය හා නගර සංස්කෘතිය[සංස්කරණය]

ලෝතාල් නගරයේ හා එහි කොටස්වල පැවති යහපත් සංවිධානාත්මකභාවය නිසා එයින් හරප්පාවරු ඉතාම විනයගරුක හා හැදියාවකින් යුත් මිනිසුන් වු බව පැහැදිලි ‍වේ. මෙහි වාණිජ හා පාලන කට‍යුතු සිදුවුයේ එකල පැවති පිළිගත් ක්‍රමයකට අනුවය. නගර සභා පාලනය දැඩි වු අතර මාර්ගයේ පළල, බො‍හෝ කාලයක් යනතුරු ඒ ආකාරයෙන්ම පැවතුණි . නිවාසවල ඝන අපද්‍රව්‍ය එක් රැස්කර ගැනීමට කොටසක් වෙන්කර පැවති අතර, එමඟින් නගරයේ අපද්‍රව්‍ය ප්‍රවාහන පද්ධතිය අවහිර වීම වැළැක්විණි. නගරය පිරිසිදුව තබාගත් අතර කාණු පද්ධති ඔස්සේ අපද්‍රව්‍ය ගංගාවට බැහැර කරන ලදි. නව ප්‍රාදේශිය හරප්පා කලාවක් බිහි වු අතර, ජනප්‍රවාදවල සඳහන් සත්ව රූප හා කථා චිත්‍රයට නැඟීම ද ආරම්භ විණි. ගිනිදෙවියන් පිදිම අලංකාරව කැටයමට නඟා ඇති අතර එමඟින් ලෝතාල්හි සංස්කෘතියේ හා සමෘද්ධියේ උසස් භාවය පැහැදිලි වේ.


ඔවුන්ගේ ආයුධ හා මෙවලම්, වානේ මෙවලම්, තරාදි පඩි, පරිමාණ, මුද්‍රා හා විසිතුරු බඩු වැනි සියළුදේම එකම තත්වයකට‍ හා උසස් නිමැවුමකින් නිපදවා තිබුණි. මොහෙන්දජාරෝ හා හරප්පා තඹ, තිරුවාණ හා සාමාන්‍යයෙන් වටිනා ගල් වර්ග ආනයනයේ වැදගත් වෙළඳ මධ්‍යස්ථාන වු අතර එම අභ්‍යන්තර ගම්මාන හා නගරවලට තොග වශයෙන් බෙදාහරින ලදි. එහි මහා පරිමාණයේ තඹ භාණ්ඩ, බිළී කටු හා හෙල්ල හා විසිතුරු බඩු නිෂ්පාදනය විය. පබළු, මැණික් හා ඇත්දළ ඔවුන් අපනයනය කළෝය. ශෛලමය පිහි මඟින් ගෙදරදොර අවශ්‍යතා ඉටුකර ගත හැකි විය. මෙවැනි වෙළඳ ජාලයක් නිසා එහි වැසියෝ ඉතා සමෘද්ධිමත් වු අතර එය ඊජිප්තුව, බහරේන් හා සුමේර් දක්වා විහිදි පැවතුණි. පර්සියානු මුද්‍රා ලෝතාල් වලින් හමුවිමෙන් මෙය වඩාත් තහවුරු වේ.

නැව් තටාකය හා ගුදම[සංස්කරණය]

ප්‍රධාන ලිඳ

නැව් තටාකාංගනයේ රොන්මඩ තැන්පත්වීම වැළැක්වීම සඳහා එය ඉදිකර තිබුනේ ප්‍රධාන දියවැල් මාර්ගයට ඔබ්බෙනි. නුතන සමුද්‍රජීවී විද්‍යාඥයන්ට අනුව නිරතුරුව ගමන් මාර්ග වෙනස් වන සුබ්‍රමනි ගංගාවේ මෙවැනි නැව් තටාංගයක් තැනීමට තරම් උදම් රළ පිළිබඳව උසස් දැනීමක් හා ජල ගුණ විද්‍යාව හා සමුද්‍ර ඉංජිනේරු විද්‍යාව පිළිබඳව උසස් දැනුමක් හරප්පාවරුන්ට තිබිණි. මෙය නැංගුරම් පළ හා සේවා සපයන නැව් සහිත ලෝකයේ පැරණිතම වරායක් වේ. ලෝතාල් ඉංජිනේරුවෝ ගඩොල් වලින් තැනු ‍ගොඩනැගිල්ලකට උදම් රළෙහි චලනයන් බලපාන ආකාරය පිළිබඳව ඔවුන් අධ්‍යනය කර ඇති බව ඔප්පු වන්නේ වරායේ බිත්ති පුළුස්සන ලද ගඩොල් වලින් තනා ඇති බැවිනි. ඔවුන් සතු මෙම දැනුම පළමු ලෝතාල් තෝරාගැනීමේදී ද හේතුවන්නට ඇත. චම්බත් බොක්කේ හටගන්නා උදම් රළ ඉතා ඉහළ උසකින් යුක්ත වන අතර, මෙම උදම් රළ සමඟින් නැවත ගංමෝය තුළට ඇතුල්වීමට හැකි වීමත් ඊට හේතු වන්නට ඇත. ඉංජිනේරුවෝ විසින් ත්‍රිපීසියම් හැඩැති (trapezoidal) ව්‍යුහයක් නිර්මාණය කරන ලදි. එය උතුරු - දකුණු අන්ත අතර 21.8 m දිගකින් යුක්ත වන හා බටහිර හා නැගෙනහිර අතර 37 m දිගකින් යුක්ත ත්‍රිපීසියම් හැඩැති ව්‍යුහයකි. තවත් මතයක් වන්නේ මෙය වාරිමාර්ග වැවක් ලෙස ප්‍රයෝජනයට ගන්නා ලද්දක් බවයි. එයට ‍හේතුව නම් මෙම නැව් තටාකාංගනයේ දිග හා පළල ලෙස විශ්වාස කරන මිනුම් වලට අනුව එහි(නුතන ප්‍රමිතියට අනුව) නැව් රඳවා තබා ගැනීමට අපහසු වීම.

පෙර නැව් අංගනයේ උස 4.26 m පමණ වූ අතර දැන් එහි උස 3.35 m පමණ වේ. එහි ඇතුල්වීමේ ප්‍රධාන දොරටුව 12.8 m පළල වන අතර තවත් දොරටුවක් ඊට විරුද්ධ දිශාවෙන් පිහිටා තිබුණි. ජලයේ පීඩනයට ඔරොත්තු දීම සඳහා පිටත බිත්ති බෑවුම් සහිතව සාදා තිබුණි. ක්‍රි.පු. 2000 දී ගංගාවේ මාර්ගය වෙනස් වු විට 7 m පළලැති තවත් කුඩා ඇතුල් දොරක් තැනු අතර එය 2 km දිග ඇළමාර්ගයකින් ගඟට සම්බන්ධ විය 2.1 -2.4 m උසැති උදම් රළ නිසා නැව්වලට වරායට ඇතුල් වීමට හැකිවිය. අතිරික්ත ජලය 96.5 m පළල හා 1.7 m උස ඇළමාර්ගයක් ඔස්සේ පිටතට ගෙන යන ලදී. බාදිය අවස්ථාවේදි මෙම නැව් තටාකාංගනයට අවශ්‍ය වන අවම ජල ප්‍රමාණය පවත්වා ගැනීම සඳහා බිහිදොරක් පිහිටා තිබුණි. නගරයේ වාණිජ කේන්ද්‍රය වන ගබඩාව තනා තිබුනේ ඝනක හැඩැති ගල් වලින් තැනු පදනමක් මතය. මෙම කුඩා වේදිකාවට ගංවතුරෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා උපරිම ආරක්ෂාව සැලසීය. නැව් තටාකාංගනය දක්වා කෙලින්ම දිවෙන මාර්ගයක් තිබු අතර භාණ්ඩ ගොඩබෑමේදී හා පැටවීමේදී එය ප්‍රයෝජනවත් විය. පාලකයින්ට නිරික්ෂණය කිරීමේදී ඇති පහසුව සලකා ගබඩාව ප්‍රධාන නගර ප්‍රාසාදයේ පිහිටා තිබුණි. කෙතරම් ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබුණද විශාල ගංවතුරෙන් නගරයේ පරිහානිය ආරම්භ වු අතර මෙම ගබඩාවද ඉතා කුඩා එකක් බවට පත්විය.

ලෝහ කර්මාන්තය හා ආභරණ[සංස්කරණය]

කැටයම් කළ ගලින් තැනූ උපකරණය

ලොතාල්හි තඹ වෙනත් ඉන්දු ශිෂ්ඨාචාරවල තඹ මෙන් නොව ආර්සනික් මිශ්‍ර නොවු ඉතා සංශූද්ධත්වයේ පැවතුණි. ඔවුන් අරාබි අර්ධද්වීපයේ නොයෙක් ප්‍රදේශ වලින් ලෝහ කුට්ටි ආනයනය කළහ. කම්කරුවෝ එම තඹ, ටින් හා මිශ්‍ර කර කෙල්ටික, ඊ මුහුණක්, බිලිකටු, වළලු, මුදු හා හෙල්ල මුහුණත් නිෂ්පාදනය කළෝය. නමුත් ආයුධ නිෂ්පාදනය සිදුවුයේ සුළු වශයෙනි. ඔවුන් වාත්තු කිරීම සඳහා දියුණු තාක්ෂණ ක්‍රම භාවිතා කළ අතර පක්ෂින් හා සත්ව රූප නිෂ්පාදනය සඳහා එක් කොටසකින් යුත් අච්චුවක් භාවිතා කළහ. ඔවුන් හැඩ ගස්වන ලද කියත් හා පිදුම් යන්ත්‍ර ආදී අනෙකුත් සංස්කෘතින්ට ආගන්තුක වු මෙවලම් ද හඳුන්වා දුන්හ.

ලෝතාල් නගරය සිප්පි කටු නිෂ්පාදනයේ වැදගත් කේන්ද්‍රස්ථානයක් වු අතර, කුෂ් බොක්ක ප්‍රදේශයේ සිප්පි කටු බහුල වීම මෙයට හේතුවයි. පබළු, ආලේපන වර්ග, සිප්පි හා කිණිසි ආදිය අපනයනයට මෙන්ම ප්‍රාදේශීය පරිභෝජනය සඳහා ද නිපදවනු ලැබීය.

තත් සහිත සංගීත භාණ්ඩ සඳහා අවශ්‍ය කොටස්ද තැනුවේ සිප්පි කටු භාවිතයෙනි. ඇත් දළ වැඩපොළක්ද රජයේ සුපරික්ෂාව යටතේ පැවති අතර, ඇතුන් හීලෑ කිරීම පිළිබඳව අවධානයක් යොමු කර තිබුණි. කැණිම් වලදී ඇත් දළ මුද්‍රාවක්, පෙට්ටියක කොටස් සහ පිති හා කණකර ආභරණ සොයාගන්නා ලදී. ලෝතාල් වැසියෝ රන් ආභරණ හා විසිතුරු භාණ්ඩ රැසක් නිපදවුහ. මෙම ආභරණ වලින් ඉතාම අලංකාර ලෙස සැලකෙන්නේ පරිධිය 0.25mm (0.01 අඟල්) ට වඩා කුඩා වු රනින් තැනු පබළු වලින් සකස් කරගත් පොටවල් පහකින් සමන්විත මාලයයි. වර්තමාන ගුජරාම් කාන්තාවෝ කොණ්ඩ ගෙතු පසු සැරසීමට භාවිතා කරන කුඩා ආභරණ බදු රනින් කරන ලද පබළු ද එහි තිබී හමුවී ති‍බේ. බිලි පුජා සිදුකළ තැනකින් සොයාගන්නා ලද, තැනින් තැන සිදුරු සහිත විශාල තැටිය වේදික පුජකයෙකු විසින් පළඳින ලද්දක් බව විශ්වාස කෙරේ.

කර්ණාභරණ, දැතිරෝද හා හෘද වස්තුව හැඩති සිනිඳු ගල් වලින් තැනු පළඳනා ලොතාල් හි ජනප්‍රියව පැවතුණි. තඹ කම්බියක් දෙවරක් සර්පිලාකාරව කර කැවීමෙන් තනන ලද මුද්ද, වර්තමාන හින්දු විවාහ මංගල්‍යවලදී පළඳවන රන් මුදුවට සමාන වේ.

කලාව[සංස්කරණය]

කිෂ් හා උර් (නුතන ඉරාකය) හා ජලාබද් (ඇෆ්ගනිස්ථානය) හා සුසා (ඉරාකය) වලින් හමු වු අමුණන ලද පබළු හා නොඇමුණු දිගැටි පබළු බඳුන මඟින් ලෝතාල් පබළු කර්මාන්තය බටහිර ආසියාව පුරා කෙතරම් ජනප්‍රියව පැවතියේදැයි යන්න පෙන්වාදෙයි. එම පබළු නිර්මාණයේදි විවිධ වර්ණයේ ගල් භාවිතා කළ අතර ඒවා විවිධ හැඩ හා ප්‍රමාණ වලින් නිර්මාණය විය. ලෝතාල් පබළු නිෂ්පාදන ක්‍රමය කොතරම් ‍දියුණු ද යත් අවු.4000 ගතවන තෙක්ම එහි කිසිම වැඩි දියුණු කිරීමක් කර නැත. චම්තාත් හි වර්තමාන පබළු නිර්මාණකරුවෝද තවමත් මෙම ක්‍රමය අනුගමනය කරති. අගස්ති වලින් තැනු පබළු, රන් ආවරණ සහිත ජැස්පර් වලින් තැනු පබළු ලෝතාල් වලට ආවේණික ලක්ෂණ සහිත වේ. මෙහි ක්ලෝරයිට් වලින් තනන ඉතාමත් කුඩා දිගැටි පබළු ඉතා ප්‍රසිද්ධ විය.


ලෝතාල් නගරයෙන් මුද්‍රා 213 ක් හමුව ඇති අතර මෙම ස්ථානය ඉන්දියාවේ තෙවැනි වැදගත්ම පුරා විද්‍යාත්මක ස්ථානයයි. මුද්‍රා ශිල්පියෝ කෙටි අං සහිත වෘෂභයන්, කඳුකර එළුවන්, කොටි හා හස්ති-වෘෂභ වැනි සංයුක්ත සත්ව රූප ද කැටයම් කිරීමට වැඩි කැමැත්තක් දැක්වුහ. සියළුම මුද්‍රාවල කෙටි සටහනක් ද දක්නට ලැබේ. භාණ්ඩ ප්‍රවාහනයේදි එම භාණ්ඩ, පැදුරු හෝ රෙදි හෝ ලණු වලින් හෝ බැඳ තඹ මුද්‍රා වලින් තැනු මුද්‍රාවකින් මුද්‍රා තබන ලදි. භාණ්ඩ ප්‍රමාණය, පාලකයාගේ මුද්‍රාව හා අයිතිකරුගේ මුද්‍රාව එම භාණ්ඩ මත සලකුණු කරන ලදි. බහරේන් වලින් හමු වු මුද්‍රාවක මකරෙක් සලකුණු කර ඇත.


ලොතාල් හි මැටි බඳුන් වර්ග දෙකක් දක්නට ලැබුණි. ආධාරක සහිත හෝ රහිත බඳුන් හා උස් බඳුන් වර්ගයනු ඒවායි. මෙවැනි බඳුන් සමකාලීන ඉන්දු සංස්කෘතියේ දක්නට නොලැබිණි. ලෝතාල් චිත්‍ර ශිල්පියෝ නවීන චිත්‍ර ශිල්පයට සමාන චිත්‍ර ක්‍රම ඉදිරිපත් කළහ. එම චිත්‍රවල තම ස්වභාවික පරිසරයේ සිටින සතුන් නිරූපණය කෙරිණි. එක් විශාල බඳුනක ඇති චිත්‍රයක තම හොටින් මසුන් ඩැහැගෙන ගසක් මත වසා සිටින කුරුල්ලන් සමූහයක් සිටින අතර නරියෙන් වැනි සත්වයෙකු එහි බිම සිටිනු නිරූපනය කර ඇත. මෙය පංචතන්ත්‍රයේ එන කපටි නරියා සහ කපුටාගේ කථාව සිහිගන්වයි. කුඩා මැටි බඳුනක පිපාසිත කපුටාගේ හා මුවාගේ කථාව ද දැක්වේ. පටු විවරයක් සහිත බඳුනකින් දියබීමට නොහැකි වු මුවෙක් ද, එම බඳුනට ගල් කැට දමා බඳුනේ ජල මට්ටම ඉහළ ගිය පසු ජලය පානය කරන ලද කපුටෙකු ද පිළිබඳව එම කථාවේ සඳහන් වේ. මෙම සත්වයන්ගේ අංග ලක්ෂණ පැහැදිලිව ඇඳ තිබේ.


ටෙරාකොටා වලින් තනන ලද වර්තමාන චෙස් ඉත්තන්ට සමාන ඉත්තන් ලෝතාල් වලින් හමු වු අතර එහි සත්ව රූප, ඇත් දළ වලින් වැඩ දැමු පිරමීඩයන් හා මාලිගාවක් වැනි ඉත්තන් ද අඩංගු වේ. මනුෂ්‍යයන්ගේ හා සත්වයින්ගේ රූප ජීවමාන ස්වරූපයට ආසන්නව ඇඳ තිබේ. මිනිසෙකුගේ උඩුකය හා ස්ත්‍රියෙකුගේ හා පුරුෂයෙකුගේ ශෛලමය ප්‍රතිමා සුමේරියානු ප්‍රතිමා වලට සමානකම් දක්වයි. ටෙරා‍කොට වලින් තනන ලද සුනඛයින්, වෘෂභයන් හා අශ්වයන් දක්නට ලැබෙන අතර චලනය කළ හැකි හිස් හා රෝද සහිත සත්ව රූප කෙලිබඩු ලෙස භාවිතා වී ඇත.

ලොතාල් සංස්කෘතිය[සංස්කරණය]

ලෝතාල් වැසියෝ ඉන්දු යුගයේ මනුෂ්‍ය සංස්කෘතියට සැලකිය යුතු දායකත්වයක් දැක්වුහ. නගර නිර්මාණය, කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව හා ආගම එම කොටස් වේ. ඔවුන්ගේ ලෝහ කර්මාන්තය, මුද්‍රා, පබළු හා ආභරණ නිෂ්පාදන ආර්ථික සමෘද්ධියට හේතු විය.

විද්‍යාව හා කාර්මික ඥානය[සංස්කරණය]

ඝනැනි මුද්‍රාවක් වැනි සිප්පි කටුවකින් තනන ලද මාලිමාවක් ලෙස භාවිතා කරන ලද වස්තුවක් හමු වී ඇති අතර එය සිරස්ව හෝ තිරස්ව අංශක 40 කොටස් මඟින් අංශක 360 දක්වා මිනුම් ගැනීමේ හැකියාව සහිත විය. මෙය අහස 8-12 කොටස් වලට බෙදා මැනීමට යොදා ගන්නා ලද්දක් බවට විශ්වාස කෙරේ. පුරාවිද්‍යාඥයින් පවසන පරිදි ලෝතාල් වැසියන් ග්‍රීකයන්ට අවුරුදු 2000 කට පෙර අහස 8-12 කොටස් වලින් මැනීම, විවිධ කෝණ මැනීම, තරුවල පිහිටිම සෙවීම හා නාවික කටයුතු ආදිය සඳහා මාලිමාව භාවිතා කර ඇත. ලෝතාල් වැසියෝ මිනුම් පරිමාණ තුනෙන් එකක් නිපදවීමට සමත් වුහ. (අනෙක් දෙක හමුවන්නේ හරප්පාව හා මොහෙන්දජාරොවෙනි) ලෝතාල් වලින් හමුවු ඇත් දළ පරිණාමයක ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුළ පැවති කුඩාම දශමස්ථාන වලට බෙදා තිබුනි. එය 15 mm පළල හා 6 mm ඝනකම වු අතර 128 mm දිගින් යුක්ත විය.එහෙත් එහි 40 mm තෙක් පවතින්නේ බෙදීම් 27 පමණි. මිනුම් දෙකක් අතර දුර 1.70 mm විය. මෙම මිනුම් 10 ක දිග අන්ගුලක දිගට සමාන බව අර්තශ්‍රාස්ත්‍රයේ සඳහන් වේ. ලෝතාල් කාර්මික‍ශිල්පියෝ ගල් වලින් තැනු බර මනින පඩි තැනීමේදී නිරවද්‍යතාවය පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වුහ.


ආගම හා මළවුන් මිහිදන් කිරීම[සංස්කරණය]

ලෝතල් ජනපදයේ මිනිසුන් මුද්‍රාමත අං සහිත දෙවියෙකු ලෙස අනුමාණ කළ අතාර් හෝ අර්කා යන නම්වලින් හැඳින් වූ ගිනි දෙවියෙකු වන්දනාමාන කළහ. තවද එය සතුන් හා වසු පැටියන් බිලි දීම සිදුකළ පුද්ගලික හා පොදු අල්තාරවල පැවතීම මගින් ඔප්පු වේ. පුරා විද්‍යාඥයන් විසින් රන් පෙන්ඩන , පිඟන් බඩු හා දම්මැටි භාජනවල අළු , ගව වර්ගයේ අවශේෂ , පබළු හා ඉපැරණි වේද ආගම හා සම්බන්ධ ගව මානය බිලි පූජා දීම සිදුකළ බව පෙන්වන අනෙකුත් සාක්ෂි සොයා ගත්හ. සතුන් වන්දනා කිරීමද සාක්ෂි සහිතව සොයාගත් නමුත් අනෙකු හරප්පානු ශිෂ්ටාචාරවල තිබූ මවු දේවතාව ඇදහීම මෙහි දක්නට නොතිබුණි. විශේෂඥයන් මෙය සලකන්නේ ආගමික සම්ප්‍රධායයන්වල විවිධත්වයක් පැවතුණු බවට සළකුණක් ලෙසය. එ‍සේ නමුත් සමහර විට හින්දු යුගයේ මව් දේවතාව සමග සමිබන්ධ මුහුදු දේවතාවක් වන්දනාමානයට ලක් වුණි. වර්තමානයේදී දේශීය ගම්මාන වාසී මුහුදු දේවතාවියක් වන්දනාමාන කළහ. වනුවතී ,සිකොටරිමාටා පෞරාණික වරාය සම්ප්‍රධාය හා ‍ඓතිහාසික අතීතයක් සමග සම්බන්ධයක් යෝජනා කරයි. නමුත් පුරාවිද්‍යාඥයන් සොයාගෙන ඇත්තේ කි පූ 2000 පමණ වෙද්දී මෙම ක්‍රමය අත්හැර ඇති බවයි. (එය නිර්ණය කර ඇත්තේ ආදාහන කාළවල වෙනස හා අවශේෂවල කාබන් දින නියම කරණයෙනි) එමගින් යෝජනා කර සිටින්නේ මෙය සිදුකර ඇත්තේ යම් යම් අවස්ථාවලදී බවයි. සොයා ගෙන ඇති අඩු සොහොන් කොත් සංඛ්‍යාවෙන් එය වඩාත් සැලකිල්ලට භාජනය වේ. 15000 ක පමණ දළ ජනගහණයකින් සොහොන් සොයාගෙන ඇත්තේ 17 දෙනෙකුගේ පමණි. ලෝතල් ජනපද වාසීන් මරණ ආදාහනය සිදු කිරීම සිදු කරන ලදී. ආදාහනයෙන් පසු සිදු කළ මිහිදන් කිරීම් හරප්පා , මෙහි හා ඩෑම් බුටි තිබී සොයාගෙන ඇත. පස්ගොඩවල්වල තිබී ඇසිරියානුවන්ගේ හා ඊජිප්තුවන්ගේ මමී ගත කරන ලද අවශේෂ ද සොයාගෙන ඇත.

ලොතාල් පරිහානියට පත්වීම[සංස්කරණය]

ලෝතාල් හි නිවාසයක දක්නට ඇති නාන කාමර සැලැස්මක්


ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ අවසානය පිළිබඳ වාද විවාද තවමත් පැවතුන ද, ලෝතාල් හි අවසානයට හේතු වුයේ ගංවතුර, කුණාටු වැනි ස්වභාවික ව්‍යසන බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබි ඇත. විශාල ගංවතුරකින් නගරය යටවු අතර, නිවාස විශාල ගණනක් එයින් විනාශ විය. බිඳ වැටුණු නගර මධ්‍යය හා පාලන නිවාස සමතලා කර (ක්‍රි.පු 2000-1900) වෙළෙඳුන් එහි නිවාස තනාගෙන පදිංචි වුහ. මෙහි දරුණුතම ප්‍රතිවිපාකය වුයේ ගංගාවේ ගමන් මාර්ගය වෙනස් වීම නිසා නැව් තටාකයට ඇතුල් වීමට නොහැකි වීමයි. පාලකයන් නගරය හැරගිය ද, සාමාන්‍ය ජනයාට ජල පහර හා සම්බන්ධ වන පරිදි තනාගත් නොගැඹුරු ඇළකින් කුඩා නැව් එම වරාය තුළට ඇතුල් කර ගැනීමට හැකි විය. නමුත් විශාල නැව් එම වරායට පැමිණිම අතහැර දැමීය. නගරය නැවත ගොඩනැඟු නමුත් ගංවතුරෙන් පැමිණි අපද්‍රව්‍ය ඉවත් නොකර තනන ලද නිසා ඒවායේ තත්ත්වය බාල වු අතර ඉක්මනින් කැඩෙන සුලු විය. පොදු අපද්‍රව්‍ය ප්‍රවාහන පද්ධතිය ද නැවත සකස් කරන ලදි. ඔවුන් පොදු නාන ස්ථාන නැවත තනා ගිනි දෙවියන් පිදීම දිගටම සිදු කළහ. නමුත් අස්ථාවර රජයක් හා පිටතින් සහයක් නොලැබීම හේතුවෙන් පොදු කටයුතු පවත්වාගෙන යාම අපහසු විය. විශාල ගබඩාව නැවත ප්‍රතිසංස්කරණය නොකළ නිසා භාණ්ඩ තොග ගංවතුරට හා ගින්දරට හසුවීමට පහසු විය. නගරයේ ආර්ථික ක්‍රමය වෙනස් විය. වෙළඳාම ශීඝ්‍රයෙන් පහත වැටුනු අතර කුඩා වෙළඳ ව්‍යාපාර වසා දැමිණි. එම නිසා සියගණනක් කාර්මික ශිල්පියෝ එකම භාණ්ඩ සැපයුම්කරුවාට හෝ මුල්‍ය ප්‍රතිපාදකයා යටතේ වැඩ කරන ක්‍රමයක් ඇති විය. පබළු කර්මාන්ත ශාලාවේ විශාල කාමර 10 ක් හා මැද මිදුලක පිහිටා තිබුණි.‍තඹ කර්මාන්ත ශාලාව ද මෙලෙස විශාල විය.


‍ලෝතාල් හි නැතිවි යන සමෘද්ධියට සම්පත් හිඟතාවය, දුර්වල පාලනය හේතු වු අතර නිරතුරුව ඇතිවන ගංවතුර හා කුණාටු වලින් මිනිසුන්ගේ අඟහිඟතා හා ශෝකය තවත් වැඩි විය. පසේ ලවණතාවය අධික වීම හේතුවෙන් එය වගාවට හා ජීවත් වීමට නුසුදුසු බිමක් විය. මෙම ලක්ෂණය අවට නගරය වන රත්ග්පුර්, රූපාර්, හරප්පා, මොහෙන්දජාරෝ, චන්හුදාරෝ හිද දක්නට ලැබේ. ක්‍රි.පු 1900 දී පමණ පැමිණි මහා ගංවතුරෙන් නගරය මුලුමනින්ම විනාශ විය. පුරා විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව නැව් තටාකය සම්පුර්ණයෙන්ම අපද්‍රව්‍ය හා රොන් මඩ වලින් පිරිගිය ගොස් ගොඩනැගිලි බිමට සමතලා විය. මෙම ගංවතුර මුළු සෞරාෂ්ට්‍ර, සින්ද් හා දකුණු ගුජරාට ප්‍රදේශවලට බලපෑ අතර ඉන්දු හා සම්ලේර්හි ඉහළ කොටසට බලපෑවේය. එයින් එම ප්‍රදේශවල නගර හා ගම් සියල්ලම විනාශ වු අතර එහි වැසියෝ රටතුලට පලාගියහ.

සටහන්[සංස්කරණය]

  1. "එක්ස්කැවේෂන්ස් - ඉම්පෝටන්ට් - ගුජරාට්". ඉන්දීය පුරාවිද්‍යාත්මක මිනින්දෝරු දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 25 ඔක්තෝම්බර් 2011. 
"http://si.wikipedia.org/w/index.php?title=ලොතාල්&oldid=250303" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි