ලී සන්, වින්ඩ් ඔෆ් ද පැලස්

විකිපීඩියා වෙතින්
(යි සැන් වෙතින් යළි-යොමු කරන ලදි)
යි සැන්
ගොනුව:Yi San-poster.jpg
යී සන් ප්‍රවර්ධන රූපය
මෙලෙසද හැඳින්වේමාලිගයෙ මාරුතය
ප්‍රභේදයනාට්‍යමය
ඉතිහාසය කථා
ආකෘතියරූපවාහිනී කථා මාලා
රචනය කලේකිම් යී යන්ග්
අධ්‍යක්ෂණය කලේලී බ්යුන්ග් හූන්
කිම් ගෙයුන් හොංග්[1]
රඟපෑමලී සියො-ජින්
හන් ජී-මිං
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන77
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)ජෝ ෙජාන්ග් හ්යුන්
නිෂ්පාදක(යෝ)පාර්ක් චන්ග්-ශික්
කැමරා සැලැස්මබහු කැමරා
නිෂ්පාදන සමාගමකිම් ෙජාන්ග් හක් නිෂ්පාදන
ප්‍රචාරණය
මුල් නාලිකාවM.B.C - මුන්හ්වා රූපවාහිනී නාලිකා
මුල් ධාවනය17 සැප්තැම්බර් 2007 (2007-09-17) – 16 ජුනි 2008 (2008-06-16)
බාහිර සබැඳි
official MBC website
කොරියානු නම
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයI San
මැකූන්–‍රයිෂවර්Yi San

යි සන් (කොරියානු이산; හන්ජා李祘), ලී සන්: ද වින්ඩ් ඔෆ් ද පැලස්, යනු 2007දී විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික නාටයයකි. මෙහි චරිත නිරූපණය ලී සෝ-ජින් සහ හන් ජි-මින් විසිනි.[2] මෙය 2007 සැප්තැම්බර් 17 සිට 2008 ජූනි 16 දක්වා කොරියාවේ MBC නාළිකාව මගින් සදුදා සහ අගහරුවාදා පැය 21:55ට විකාශය කරන ලදී.[3] මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ සම්මානනීය දේ ජං ගුම් ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළ බ්යුං-හූන් විසිනි.[4]

සෝ-ජින් සහ හන් ජි-මින් මෙම නාට්‍යයේ දැක් වූ දක්ෂතා සදහා MBC නාට්‍ය සම්මාන උළලේදී සම්මාන දිනාගත්තේ ය.

සාරාංශය[සංස්කරණය]

යහපත් මහරජ නාට්‍යයෙන් නිරූපණය වන්නේ කොරියාවේ ජෝසුන් රාජවංශයේ 22වන පාලකයා වූ ජොංජෝ රජුගේ ජීවිත කථාවයි. ජොංජෝරජු කොරියානු ඉතිහාසයේ අමරණීයව ඇත්තේ සිය රජසැපතට වඩා ජනතාවගේ පහසුව පිළිබද සිතා අනුකම්පාවෙන් කටයුතු කිරීම නිසායි.

කථාව ඇරඹෙන්නේ රජුගේ කුඩා කාලයේදී ය. කුමරු කුඩාකළ මාලිගයේ සේවයෙහි යෙදුණු දරුවන් දෙදෙනෙකු සමග මිතුරු වන අතර පසුකලෙක ඔවුන්ව මාලිගයෙන් පිටුවහල් කර දැමෙනු ලැබෙයි. යොංජෝ රජු (ජොංජෝගේ සීයා) විසින් ජොංජෝ කුමරුගේ පියා වූ කිරුළහිමි සදෝ කුමරුව සහල් බහාලුමක දමා ආහාර හෝ ජලය ලබා නොදී මුද්‍රා තැබීමට කටයුතු කරනු ලබන්නේ ඔහු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට බිය වූ නිසායි. සිය පියාව බේරා ගැනීමට අවශ්‍ය වූ ජොංජෝ සිය මිතුරන් වූ සොං සොං-යොන් සහ පාක් දේ සු ගේ උදව්වෙන් යොංජෝ රජු හමු වී සිය පියාණන්ට සමාව දෙන ලෙස ඉල්ලා සිටිති.

ඉන්පසු කෙමෙන් වැඩිනියට පත්වන සහ ඔහුගේ මිතුරන් නැවතත් හමුවේ. නමුත් මේ වන විට ඔටුන්න හිමි කුමරුන්ගේ තනතුරට පත් ව සිටි ජොංජෝ කුමරුගේ තනතුර නොයෙකුත් කුමන්ත්‍රණකරුවන්ගේ ක්‍රියාවන් නිසා තර්ජනයට ලක්ව තිබිණි.

කිරුළහිමි ජොංජෝ කුමරු සිය කුඩා කල මිතුරියක වූ මාලිගයේ සිතුවම් ශිල්පියකුගේ දියණියක් සහ කුඩා කල මාලිගයෙන් නෙරපනු ලැබූ සොං සොං-යොන් සමග ප්‍රේමයෙන් බැදෙයි. ඉන්පසු කථාව ගලායන්නේ යි සන් හෙවත් ජොංජෝ කුමරු‍ බලයට පත් වීම, රාජ්‍යත්වයට ඇති ඔහුගේ උරුමය සහ මාලිගයේ නො-රොන් පක්ෂය මගින් කුමරුට එරෙහිව මෙහෙයවනු ලැබූ නොයෙකුත් කුමන්ත්‍රණවලින් කුමරුව සිය දිවි බේරාගන්නා අවස්ථා මැදින් ය. මෙම කථාව ඓතිහාසික වාර්තාවලින් යම් තරමක් අපගමනය වුවත් එහි ජෝසුන් රාජවංශ යුගයේ මාලිගයේ ජීවිතය සමකාලීන මූලාශ්‍ර අනුව නිර්මාණය කර ඇති බවක් පෙනී යයි.

චරිත සහ චරිත නිරූපණය[සංස්කරණය]

  • යි සන්/ජොංජෝ රජු (චරිත නිරූපණය ලී සෝ ජින් විසිනි) — කතාමාලාවේ ප්‍රධාන චරිතයයි. කිරුළහිමි සදෝ කුමරු සහ හ්යේග්යොං බිසවගේ එකම පුත්‍රයායි. ඉතා කාරුණික සහ ආචාරශීලී පුද්ගලයකු වූ අතර සාමාන්‍ය ජනයා ජීවිකාව ගෙන යන අයුරු දැකගැනීමට නිතර රහස් සංචාරවල යෙදුණේ ය. මෙම කථාවෙන් සන් කුමරුගේ ළමාවියේ එකොලොස් වියේදී කිරුළහිමි සදෝ කුමරු හට දඩුවම් කළ අවස්ථාවේ සිට රජබවට පත් වී වසර 40ක පමණ දිග කාලයක් දක්වා නිරූපණය වේ. මෙම කථාවේ ආරම්භ‍යදී සන් කුමරුට සොං-යොන් හා පාක් දේ සූ මුණගැසේ. මෙහි පළමු කථාංගයේදී සිය පියා සිරකර තැබූ සහල් බහාලුම වෙත හොරෙන් පැන යන සන් කුමරු සිය මිතුරන්ට තමන්ව හදුන්වා දෙන්නේ කනිෂ්ඨ පණ්ඩකවරයෙක් (eunuch -සිංහල වරනැගුමේදී මොවුන් පාලකවරුන් ලෙස හදුන්වා ඇත.) ලෙසයි. දේ සු සහ සොං-යොන්ගේ උදව් ඇතිව කුමරු සිය පියාගේ අවසන් පැතුම ඉටු කිරීමට සමත් වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අතර ඇරඹුණු මිතුදම කථාවේ දිගටම පැවතේ. දස වසරකට පසු සන් කුමරු කොරියාවේ ඔටුන්න හිමි කුමරු බවට පත් වෙයි. ඔටුන්න හිමි කුමරුන් වුවත් ඔහු සොං-යොන්හට ප්‍රේම කරයි. පසුව ඔහු රජු බවට පත් වූ පසු ඔහු සොං-යොන්ව සිය උපබිසවක් බවට පත්කර ගනී. එසේම සන් කුමරු යුධ ශිල්ප පුහුණු වීමට සහ වෙස්වලා සංචාරය කිරීමට ද ප්‍රිය කරයි. එසේ සිදුකරන විට ඔහු සිය නාමය ලෙස යි මු-දුක් යන ව්‍යාජ නාමය යොදා ගනියි.
තනතුරු: යි සන් (යි රාජකීය ගෘහයේ සන්), 이 산, වංගෙසුන් චොහා (කිරුළහිමි කුමාර උත්තමයාණෝ), 왕세손 저하, චුසැං චොනා (රජතුමනි), 주상 전하
ව්‍යාජ නාමය: යැං(ගා) මු-දුක් (යැං පෙළපතේ මු-දුක්), 양(가) 무덕
  • සොං සොං-යොන් (නිරූපණය හන් ජි-මින් විසිනි) — ජොංජෝ රජුගේ ප්‍රේමවන්තියයි. ඇය දක්ෂ මාලිගයේ සිත්තරෙකුගේ දියණියක් වූ නිසා ඇයට සිතුවම් කලාව කෙරෙහි දැජි ආශාවක් තිබිණි. කුඩා වියේදීම බිළිදු සහෝදරයාත් සමග අනාථභාවයට පත් වූ ඇයව ඇගේ ඥාතියකු විසින් මාලිගයේ පාලිකාවක් වීමට යොමු කරයි. වයස 11දී ඇය මාලිගයට ඇතුළු වූ අතර ඇගේ ‍සහෝදරයා වූ සොං සොං වූක් ව වෙදැදුරු පවුලක් විසින් දරුකමට හදාගනියි. ඇගේ මාලිගයේ පළමු රාත්‍රියේදී වැඩිමහල් පාලිකාවන්ට ආහාර ගෙනඒමට යන විට ඇයට සහල් බහාලුම වෙත සොරෙන් යමින් සිටි සන් කුමරු සහ මාලිගයෙන් පැනයමින් සිටි දේ සු ව හමු වේ. නමුත් අවාසනාවට ඇයව සහ දේ සුව හසුවන අතර ඔවුන්ව මාලිගයෙන් නෙරපා හැරෙනු ලැබෙයි. මේ නිසා ඇය පිළිබද කෝපයෙන් පසු වූ ඇයට මාලිගයට ඇතුළු වීමට උපකාර කළ ඇගේ ඥාතියා ඇයව භාරගැනීම ප්‍රතික්ෂේප කරයි. නමුත් ජ්‍යෙෂ්ඨ පණ්ඩනවරයකු වූ පාක් දේ-සුගේ මාමා වූ පාක් දල්-හෝ ඇයව සහ දේ-සුව හදාවඩා ගනී. නමුත් කුමරුට සතුරුකම් කළ පිරිස් නිසා ඔවුනට අගනුවරින් පිටවීමට හේතු‍ වේ. මිතුරන් තිදෙන නැවතත් මාලිගයට පැමිණෙන බවට පොරොන්දු වෙති. මේ අනුව සොං-යොන් සිතුවම් අංශයේ දාමෝවරියක් (කාන්තා සිතුවම් සහායිකාවක්) ලෙස සේවයට බැදෙයි. නමුත් ඇයට මාලිගයට යාමට අවස්ථාව උදාවන්නේ ක්විං චීන තානාපතිවරයා වෙනුවෙන් ‘කිරින්’ නැමැති සත්ත්වයාගේ රූපයක් සිතුවම් කිරීමෙන් පසුයි. ඇයව දැක කුතුහලයට පත් වන සන් කුමරු සිතුවම් අංශයෙන් ඇය පිළිබද සොයා බැලීමේදී ඇය සොං-යොන් බව දැනගනී. ඉක්මණින් අගේ නිවසට න කුමරු දේ සු සහ ඔහුගේ මාමාවද හදුනාගනී. එතැන් සිට ඔවුන් තිදෙන එක්ව කටයුතු කරති. මෙම කථාවේ සොං-යොන්ව නිරූපණය කර ඇත්තේ කාරුණික, රූමත් සහ බුද්ධිමත් තරුණියක් ලෙසයි. ඉතා පහත් පන්තියේ දාමෝ පන්තියෙන් සිය දිවිය ආරම්භ කරන ඈ සිතුවම් අංශයේ සිතුවම් ශිල්පිණියක් වීමට සමත් වන්නී ය. ඇගේ යහපත් චරිතය සහ රූමත් බවට වසග වන සන් කුමරු ඇය හා ප්‍රේමයෙන් බැදෙයි. කුමරු රජ වූ පසු ඇය රජුගේ උපබිසවක් බවට පත් වේ. අවාසනාවට ඇගේ පහත් සමාජ පන්තිය නිසා ඇයව පිළිගනු ලැබූයේ කිහිපදෙනෙකු පමණි. දාමෝවරියන්‍ වහල් තත්ත්වයටත් වඩා පහත් සේ සැළකිණි) නමුත් ඇය පිරිමි දරුවකු ප්‍රසූත කිරීමත් සමග එම තත්ත්වය වෙනස් වී ඇය රාජකීය උපබිසව තනතුරට උසස් වන්නී ය. කථාව අවසානයේ සොං-යොන් ඇගේ දෙවන දරුවාගේ ගර්භනී සමය අතරතුර අක්මාවේ පිළිකාවකින් මිය යන්නී ය. නමුත් සන්ට සිය අවසන් හුස්ම හෙළීමට මොහොතකට පෙර සිහිනයෙන් ඇයව හමු වේ.
තනතුරු: සොං(ගා) සොං-යොන් (සොං පෙළපතේ සොං-යොන්), 성(가) 송연, සොං සං-ගුං (සොං ආර්යාව), 성 상궁, සෝ-යොං සොං-සි (සොං පෙළපතේ සෝ-යොං උපබිසව), 소용 성씨, උයි-බින් සොං-සි (සොං පෙළපතේ රාජකීය වංශවත් උයි-බින් බිසව), 의빈 성씨
  • පාක් දේ-සු (නිරූපණය ලී ජොං-සූ විසිනි) — ජොංජෝ රජුගේ ප්‍රියතම යුධ නිලධාරියායි. ඇත්ත වශයෙන්ම දේ සූ කුඩා කළ මාලිගයේ කනිෂ්ඨ පණ්ඩකවරයකු විය. ඔහුව කර අඹා නොතිබූ නිසා මාලිගයෙන් පැන යාමට උත්සාහ කරන විටයි, සොං යොං සහ සන් කුමරුව ඔහුට මුණගැසුණේ. සොං යොං සේම කුමරුට උපකාර කිරීමට යාම නිසා ඔහුව නෙරපන ලදී. සොං යොං සමග වැඩුණු දේ සු හා සොං යොං එකිනෙකා පිළිබද හොදින් දැන සිටියහ. ඔවුන් දෙදෙනාම අනාථ දරුවන් වූ නමුත් දේ සුගේ මාමා විසින් ඔවුන් දෙදෙනාවම හදාවඩා ගන්නා ලදී. සොං යොං සිතුවම් අංශයට ඇතුළත් වූ විට දේ සු යුධ විභාගයෙන් සමත් වී කිරුළ හිමි කුමරුගේ (සන් කුමරුගේ) ආරක්ෂකයකු බවට පත් විය. එහිදී උසස් වීම් ලබන ඔහු ඔහු කොරියාවේ දක්ෂතම සේනාංකය හා රජුගේ ආරක්ෂක සේනාව වූ මකර කණ්ඩායමේ ප්‍රධාන අණදෙන නිලධාරියා බවට පත් වීමට හැකියාව ලබයි. මුලින් දේ සූ නිහඩ හා අනුන්ගෙන් යැපුණු පුද්ගලයකු වුවත් යුධ පරීක්ෂණය සමත් වූ පසු ඔහුගේ ගුරුවරුන් ඔහුට විනීත, බුද්ධිමත්, ස්වාධීන හා සංසුන් අයකු වීමට උදව් කළහ. මෙම වෙනස සිදුනොවුණේ නම් ඔහු මැරවරයකු වනු නිසැක ය. හැමවිටම රජුව අනුගමනය කළ යුධ නිලධාරීන් තිදෙනාගෙන් එක් අයෙක් දේ සු ය. අනෙක් යුධ නිලධාරීන් දෙදෙනා වූයේ දක්ෂ දුනුවායකු වූ කාං සුක් කි සහ දක්ෂ සටන්කාමියකු වූ සු ජං බෝ ය. දේ සු සොං-යොන්ට ප්‍රේම කළේ ය. නමුත් ඇය උපබිසවක් වූ පසු දේ සු ඇය පිළිබද අදහස අත්හළේ ය. ඔහු යී සන් කුමරුගේ පුත්‍රයා වූ සුන්ජෝ රජුගේ කාලයේද ජීවත් විය. ඔහු මරණින් පසු වෙනත් ආත්මයක දී ළමා වියේ සිය මිතුරන් සමග නැවතත් එක්වනු දැක්වේ. මෙම චරිතය ජොංජෝ රජුව විවිධ අවස්ථාවන්හි දී ආරක්ෂා කළ ප්‍රකට ආරක්ෂකයකු වූ බෙක් දොං-සූගේ චරිතය ඇසුරින් නිමවන්නට ඇතැයි සැලකේ.
  • හ්යේග්යොං බිසව (නිරූපණය ක්යොන් මි-රි විසිනි) — ජොංජෝ රජුගේ මවයි. ඇය ප්යොංසන් හොං පෙළපතේ මාලිගයේ උසස් නිලධාරියකු වූ හොං බොං-හන්ගේ දියණියයි. ඇය නිතරම රාජකීය පවුල සහ ජනතාව පිළිබද කරදර වූවා ය. හ්යේග්‍යොං බිසව පහත් කුලයේ ජනතාව පිළිබද මනාපයකින් පසු නො වූ අතර සොං යොංට උපබිසවක් වූ පසු විශාලම අභියෝගය එල්ල වූයේ ඇගෙනි. නමුත් සොං යොං පිරිමි දරුවකු බිහිකළ විට රාජකීය පවුලේ සාමාජිකයකු ලෙස පළමුව නිවේදනය කළේත් ඇයයි. සිහසුනට උරුමකරුවකු ගෙන ඒම සදහා උපබිසොවරුන් රැසක් රැගෙන ආවේත් ඇයයි.
  • හ්යෝයී අගබිසව (නිරූපණයපාක් ඉයුන්-හ්යේ විසිනි) — ජොංජෝ රජුගේ ප්‍රධාන බිසවයි. කිම් පෙළපතේ උපත ලැබුවා ය. දස වියැති සන් හට ඇයව සරණ පාවා දෙන විට ඇගේ වයස අවුරුදු 19ක් පමණ ය. හ්යෝයී බිසව ඉතා කාරුණික, යහපත්, ආචාරශීලී කාන්තාවක් වූ අතර කොරියානු කුල ස්ත්‍රියකගේ ගුණාංගවලින් පිරිපුන් කාන්තාවක වූවා ය. බලයට ආශා නොකළ ඇයට මාලිගයේ සැවොම ගරැකළහ. අවාසනාවට ඇයට දරැවන් ලද නොහැකි වූ බැවින් ජොංජෝගේ මව විසින් නොයෙකුත් උපබිසෝවරුන් රැගෙන එන ලදී. හ්යෝයී අගබිසව සොං-යොන්ට ප්‍රිය කළා ය. ඇගේ සහාය නිසායි සොං-යොන්ට උපබිසවක බවට පත්ව පුතකුට උපත ලබා දීමට හැකිවූයේ. ජොංජෝ රජු මියගොස් මඳ කලෙකින් හ්යෝයී අගබිසව ද මියයයිs.
  • යොංජෝ රජ (නිරූපණය ලී සූන්-ජේ විසිනි) — ජොංජෝගේ මුත්තණුවන් ය. කොරියාවේ 21වන රජු විය. යොංජෝට එක් පුත්‍රයකු සිටි අතර ඔහුගේ දෙවන පුත්‍රයා වූ කිරුලහිමි සදෝ කුමරු ද ඊට අමතරව හ්වාවැන් කුමරිය නම් දියණියක ද විය..[5] ආදරණීය, අත්දැකීම් බහුල වියපත් අයෙකි. ඊළග රජු බවට පත්කිරීම සදහා ඔහු සන්හට තදින් සිටියේ ය. යොංජෝ රජු සෑමවිටම සිය දෙවන පුතුව රාජද්‍රෝහී කුමන්ත්‍රණයකට සැක කළේ ය. එය මෙම කතාමාලාව පුරාම දැකගත හැකි. නමුත් සිය මරණයට පෙර එය සිය පුතුව හසුකිරීමට ඇට වූ උගුලක් බව යොංජෝ රජු දැනගනියි. සන් මෙන්ම යොංජෝ රජු ද ජනයාට බෙහෙවින් ඇළුම් කළ පාලකයකු වූ අතර තමන්ට ජනතාව අතර මියා යාමට අවශ්‍ය වූ නිසා ඔහු මාලිගයෙන් පිටත්ව ගොස් සිය පෞද්ගලික් නිවහන තුළ දී කළුරිය කළේ ය. 1777දී යොංජෝ රජු මියයන විට ඔහුගේ වයස අසූවක් පමණ වූ අතර ඔහු මිය ගියේ ඩිමෙන්ෂියා තත්ත්වය වැළඳීමෙනි.
  • ජොංසුන් අගබිසව (නිරූපණය කිම් යෝ-ජින් විසිනි.) — යොංජෝ රජුගේ 2වන අගබිසවයි. අන්දොං කිම් පෙළපතේ අතිශය ධනවත්, බලවත් වංශාධිපතියකුගේ දියණයයි. යොංජෝ රජු ඇයට පෙම් කරන විට ඔහුගේ වයස 66ක් වූ අතර ඇගේ වයස 15කි. මෙහි සියලු චරිත අතරින් වඩාත් කැපී පෙනෙන චරිතය ඇගේ චරිතයයි. ඉතා සැලකිළිමත්, සිත්ගන්නාසුලු තැනැත්තියක ලෙස මතුපිටින් පෙනුණ ද ඇය අභ්‍යන්තරයෙන් බල ලෝභී ස්ත්‍රියක් වූවා ය. ඇය සන්ගේ මිත්තණිය වුවත්, රහසේම සන් හට එදිරිවාදිකම් සිදු කළා ය.[6] මධ්‍යස්ථ මතධාරී නො-රොන් පක්ෂයේ නායිකාව වූ ඇය දශක ගණනාවක් පුරාම සන් විනාශ කිරීමට කුමන්ත්‍රණ දියත් කළා ය. අවසානයේ ඇයව බලයෙන් පහකෙරෙන අතර මාලිගය තුළ දිවිගෙවීමට පමණක් අවසරය හිමි වෙයි.
  • කිරුළහිමි සදෝ කුමරු (නිරූපණය ලී චං-හූන් විසිනි) — ජොංජෝගේ පියායි. ඔහු දුනු විදීමට, අක්ෂර ලිවීමට හා සිතුවම් කලාවට දස්කම් දැක්වී ය. ඔහු සො-රොන් පාක්ෂිකයන්ට (බලය අහිමිව තිබූ) සහාය දැක් වූ අතර පසුව නො-රොන් පාක්ෂිකයන්ගෙන් බලපෑම් ඇති විය. ඔහුගේ පියා වූ යොංජෝ රජුට එරෙහිව රාජද්‍රෝහී කුමන්ත්‍රණ කිරීමේ චෝදනාවට ලක් විය. එයට දඩුවම් ලෙස සහල් බහාලුමක සිරකොට මරණයට පත් කරන ලදී. ඔහු මියයාමට දින කිහිපයකට පෙර සන් රහසේම ඔහුව හමු වන අතර ඔහු සන්හට යොංජෝ රජුට පෙන්වීමට සිතුවමක් ලබා දෙයි. ශෝකයට පත්ව සිටි සදෝ යොංජෝ රජු එම සිතුවම දැකීමට ප්‍රථම මියයයි. එම සිතුවමේ අරුත වටහා ගත් සොං-යොන් එම සිතුවම යොංජෝ රජුට ඉදිරිපත් කරන විට සදෝ කුමරු මියගොස් වසර 14ක් ගත වී අවසන් ය. අනතුරුව යොංජෝ රජු සදෝ නිර්දෝෂී බව ප්‍රකාශ කළේ ය.
  • හ්වාවැන් කුමරිය (නිරූපණය සුං හ්යුන්-ආ විසිනි) — යොංජෝ රජුගේ උපබිසවකගේ දියණියකි. යොංජෝ රජු ඇයට බෙහෙවින් ප්‍රිය කරයි. හ්වාවැන් අතිශය රූමත් නමුත් නොඉවසිලිමත් කාන්තාවකි. වැන්දඹුවක් වූ ඇයට දරුවන් නොසිටි නිසා ඇය අනාථ දරුවකු වූ ජොං හු-ගියොම්ව හදාවඩා ගත්තා ය. පසුව හු-ගියොම් රාජ්‍ය නිලධාරියකු බවට පත් විය. අගබිසව ලෙසම, කුමරිය ද නො-රොන් පාර්ශ්වයට සහාය දැක් වූ අතර ජොංජෝ රජු විනාශ කිරීමට උපක්‍රම දියත් කළා ය. අවසානයේ ඇයව රාජකීය පවුලෙන් ඉවත් කෙරෙන අතර දුරබැහැර පෙදෙසකට පිටුවහල් කර ඇගේ පාලිකාව සමග නිවාස අඩස්සියේ රඳවනු ලැබෙයි.
  • ජොං හු-ගියොම් (නිරූපණය චෝ යොන්-වූ විසිනි) — හ්වාවැන් කුමරියගේ හදාගත් පුත්‍රයායි. ඉතා බුද්ධිමත්, සහ රාජසභාවේ සේවයකළ ලාබාලතම පුද්ගලයන්ගෙන් අයකු විය. ජොං රාජකීය ලේකම්වරයා ද විය. ඔහු ඉතා සූක්ෂම වූ අතර කුමරියට හිතෛෂී අයකු විය. ඔහු ළමා කල සන් ගේ කොන්ෆියුසියානු පාඩම් අධ්‍යයන සහායකයා විය. යොවුන් වියේ දී ක්විං චීනය බලා යන ඔහු වැඩිහිටියකු බවට පත්ව අතිශය සාර්ථක වේ. ඔහු සිය හදාගත් මව සේම නො-රොන් පක්ෂයේ ප්‍රබල සාමාජිකයකු වූ අතර සන් විනාශ කිරීමට උපායයන් යොදයි. අවසානයේ ඔහුව පිටුවහල් කෙරෙන අතර වස දී මරණයට පත් කෙරෙයි.
  • හොං ගුක්-යොං (නිරූපණය හන් සං-ජින් විසිනි) — ජොංජෝ රජුගේ දකුණත බඳු අයෙකි. ඔහු ජොංජෝගේ මව වූ හ්යේග්යොං ආර්යාවගේ දූරස්ථ ඥාතියකු විය. (ඔවුන් දෙදෙනාම ප්යොංසන් හොං පෙළපතේ විය) ඉතා අවංක අයකු වූ මොහු තරමක් බලලෝභී අයකු විය. දේ සුට යුධ විභාගයෙන් සමත් වීමට උපකාර කළ ගුරුවරයා ද ඔහුයි. ඔහුගේ දක්ෂතාව නිසාම ඔහුව ක්‍රමයෙන්, ප්‍රධාන පරීක්ෂක, ප්‍රධාන ආරක්ෂක නිලධාරී සහ අනතුරුව ප්‍රධාන ලේකම් තනතුරට උසස් කෙරේ. ඔහුගේ නැගණිය ද ජොංජෝගේ උපබිසවක වූ අතර ඇය මගින් සිහසුනට උරුමකරුවකු බිහිකර රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමට ඔහු අදහස් කළේ ය. ඔහුගේ නැගණිය ව්‍යාජ ගර්භනීභාවයක් පෙන්වීමට ගත් අසාර්ථක උත්සාහයක් හෙළී වීමෙන් පසු ඇති වූ ශෝකය නිසා මියයයි. අවසානයේ සිය නැගණිය මියයාමට ප්‍රථම ඇයට සමාව නොදුන් නිසා හ්යෝයී අගබිසවට වස දීමට උත්සාහ කිරීම නිසා ඔහුව පිටුවහල් කෙරෙයි. නමුත් අගබිසව වෙනුවට රජු එම උත්සවයේ දී ආහාර ගන්නා බව දැනගත් පසු ඔහු එම උත්සාහය ව්‍යාර්ථ කරයි. පසුව ඔහුට රජුගේ සමාව හිමි වන අතර රෝගී තත්ත්වය හේතුවෙන් ඔහු මියයයි.
  • ජොං යක්-යොං (නිරූපණය සොං චං-උයි විසිනි) — කොන්ෆියුසියානු අධ්‍යයනායතනයේ ශිෂ්‍යයකු වූ මොහු නම්-ඉන් පාක්ෂිකයෙකි. ඔහු වසර තුනක්ම උත්සාහ කළ ද මාලිගයට ඇතුළු වීමට නොහැකි විය. මාලිගයට පැමිණි පසු ඔහු ජොංජෝගේ සමීපම උපදේශක ලෙස හොං ගුක්-යොංගේ ස්ථානය හිමි කර ගත්තේ ය. ඔහුගේ පූර්වප්‍රාප්තිකයා මෙන් දේශපාලනයට දක්ෂ නොවූවත්, ඔහු නිර්මාණශීලී අයකු වූ අතර නව නිර්මාණ පිළිබඳ අදහස් රැසක් දැරී ය. ඔහු රජයේ ප්‍රතිසංස්කරණ රැසක් සඳහාම දායක විය.‍.
  • යැං චෝ-බි (නිරූපණය ලී ඉප්-සේ විසිනි) — සිතුවම් අංශයේ දාමෝවරියකි. මුලින් සොං-යොන්ට නපුරු ලෙස සැලකුවත්, දේ සූට පෙම් කළ ඇය දේ සූ, සොං-යොන්ගේ සොහොයුරකු වැනි බව දැන ඇයට කාරුණිකව සලකයි. පසුව ඇය සහ සොං-යොන් අතර සමීප මිත්‍රත්වයක් ගොඩ නැගේ. සොං‍-යොන් ජොංජෝගේ උපබිසවක් වූ විට චෝ-බි ඇයගේ පාලිකාව ලෙස 6වන මට්ටමේ පාලිකා තනතුරක් සඳහා තෝරා ගැනෙයි. (පැරණි කොරියානු මාලිගාවල රාජ්‍ය සේවකයින් සඳහා 1-9 දක්වා වූ මට්ටම් නවයකින් යුත් තනතුරු හිමි විය. මෙහි ඉහළම මට්ටම 1 වූ අතර පහළම මට්ටම 9 විය.) සොං-යොන්ගේ මරණින් පසු ඇයව හ්යෝයී අගබිසවගේ දෙවන පාලිකාව ලෙස තෝරා ගැනෙයි.
  • කිම් ග්වයි-ජූ (නිරූපණය පාක් යොං-ජි විසිනි) — ජොංසුන් අගබිසවගේ අයියණ්ඩියයි. නො-රොන් පක්ෂයේ සාමාජිකයෙකි. රාජ සභාවේ ඉහළ නිලයක් හෙබ වූ නිලධාරියකු වූ අතර කිම් මැතිතුමා යන ආමන්ත්‍රණය ඉසිලී ය. ඉතා කලහකාරී පුද්ගලයකු වූ මොහු සිය සොයුරියට රිදවන සෑම දෙනාටම හිංසා කළේ ය. ඔහු සිය සොයුරියට බෙහෙවින් සෙනෙහස දැක් වී ය. බුද්ධිමත් අයකු වූ මොහු ප්යොංග්යෑං නගරයේ සංචාරය කිරීමට ප්‍රිය කළේ ය. ඔහු සිය සොයුරිය සහ හ්වාවැන් කුමරිය වෙනුවෙන් සන්ව මරා දැමීමට උත්සාහ කරයි. මෙම ක්‍රමන්ත්‍රණයට ඔහුගේ දායකත්වය හෙළි වූ පසු ඔහුව සියලු තනතුරුවලින් නෙරපා මාලිගයෙන් පිටුවහල් කෙරෙයි.
  • නම් සි-චෝ (නිරූපණය මේං සං-හූන් විසිනි) — සන්ගේ ප්‍රධාන පාලකවරයායි. සන් යන සෑම තැනකම ඔහු පසුපස ගොස් ඔහුට උපකාර කරයි.
  • චේ ජේ-ගොං (නිරූපණය හන් ඉන්-සූ විසිනි) — සන්ගේ ප්‍රධාන උපදේශකයෙකි. ඔහු අධිකරණ අමාත්‍යවරයා (දේශීය සිරකරුවන්පිළිබඳ) විය. සන් කුඩා කළ චේ මැතිතුමා ඔහුගේ ගුරුවරයා විය. චේ නිතරම සන්හට ඔහුගේ නියෝගවලට උපකාර කළේ ය. එසේම ඹහු දේ-සු, සොං-යොන්, හොං ගුක්-යොං සහ සන්ගේ විශ්වාසවන්තයකු විය.
  • යි චියොන් — සිතුවම් අංශයේ රාජකීය සිත්තරෙයකි. සිතුවම් අංශයේ සොං යොන්ට වඩාත් උපකාර කළේ ඔහුයි. අති විශිෂිට චිත්‍ර ශිල්පියකු නො වූ මොහු දළ රූප සටහන් සහ ශෘංගාරාත්මක දර්ශන ඇඳීමට ප්‍රිය කළේ ය. නිතරම සිය බිරිඳ සතුටු කිරීමට උත්සාහ ගත් මොහු විකට පුද්ගලයකු විය..
  • සොං සොං-වූක් — සොං සොං යොන්ගේ බාල සොහොයුරායි. දෙමව්පියන්ගේ මරණින් පසු ඔහුව වෙදැදුරුවරයකු විසින් හදාවඩා ගැනෙයි. පසුකලෙක සොං වූක්ව වහල් සේවයට අලෙවි කෙරෙන අතර ඔහුගේ හදාගත් දෙමව්පියන් ඔහු මියගිය බවට සොං යොන්ට මුසා පවසයි. පසුව ඔහුව කතෝලිකයන් පිරිසක් විසින් හදාවඩා ගැනෙයි.
  • සිතුවම් ශිල්පී ටක් — තුවම් අංශයේ සිටි රාජකීය සිතුවම් ශිල්පියෙකි. යි චියොන්ට වඩා දක්ෂ සිත්තරකු වූ මොහු සොං යොන්ගේ මිතුරකු බවට පත් වෙයි. අවසන් කථාං‍ගයේ දී ටක්, 5වන මට්ටමේ ජ්‍යෙෂ්ඨ සිතුවම් ශිල්පියකු බවට උසස් කෙරෙයි.

කථාංග ඇගයීම්[සංස්කරණය]

යි සන් කතාමාලාව 26.4% (දීපව්‍යාප්ත)' සහ 28.6% (සෝල්) ඉහළ සාමාන්‍ය ප්‍රෙක්ෂක ප්‍රතිශතයක් හිමි කරගත්තේ ය. එහි උච්චම අගය 35.3% (දීපව්‍යාප්ත) සහ 38.6% (සෝල්) ලෙස පැවතිණි.

අන්තර්ජාතික විකාශය[සංස්කරණය]

ර‍ට නාළිකාව විකාශය ඇරඹීම තේමාව‍
 ශ්‍රී ලංකාව ජාතික රූපවාහිනිය ජූලි 2014 යහපත් මහරජ
 ඉරානය Provincial networks 2010 යි සන්
 පිලිපීනය GMA Network, Inc. 2012 ජූලි 30 ලී සන්: ද වින්ඩ් ඔෆ් ද පැලස්
 තායිලන්තය Channel 3 2008–2009, නැවත විකාශය 2011 ลีซาน จอมบัลลังก์พลิกแผ่นดิน (lī sān cxm bạllạngk̒ phlik p̄hæ̀n din[7])

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

2007 MBC නාට්‍ය සම්මාන
2008 බෙක්සං කලා සම්මාන

මූලාශ්‍ර[සංස්කරණය]

  1. http://www.imbc.com/broad/tv/drama/isan/
  2. Kim Hee-eun (14 May 2014). "King Jeongjo an idol of Korean modern media". Korea JoongAng Daily. සම්ප්‍රවේශය 2016-03-11.
  3. Lee Hyo-won (18 September 2007). "TV Falls in Love with Epic Dramas". The Korea Times. සම්ප්‍රවේශය 2016-03-11.
  4. Jeon Su-mi (8 March 2013). "′Horse Doctor′ to Air in Japan and Other Asian Countries". enewsWorld. CJ E&M. සම්ප්‍රවේශය 2016-03-11.
  5. ‍සදෝ මෙන්ම හ්වාවැන් ද යොංජෝගේ උපබිසවකගේ දරුවන් ය.
  6. සත්‍ය වශයෙන්ම ඇය ඔහුගේ නියම මිත්තණිය නොවෙයි. සන්ගේ නියම මිත්තණිය යොංජෝගේ උපබිසවකි.
  7. "ซีรีส์ช่อง3เก่า ลีซาน จอมบัลลังก์พลิกแผ่นดิน". Channel 3. August 16, 2015. තායි: ภาษาไทย

බාහිර සබැදි[සංස්කරණය]