මෙහෙන්දි

විකිපීඩියා වෙතින්
මෙහෙන්දි හෝ හෙනා අත් දෙකම මත ආලේපය; ඉදිරිපස පෙනුම
මෙහෙන්දි හෝ හෙනා අත් දෙකම මත ආලේපය; පසුපස පෙනුම

මෙහෙන්දි හෝ හෙනා, හෙනා ගසින් ලබා ගන්නා කොළ කුඩු බවට පත්කර ගෙන එයට වතුර යොදා පල්පයක් බවට පත්කර ගැනීමෙන් අනතුරුව එය ගැහැණුන් සහ පිරිමින් මෝස්තරයක් ලෙස භාවිතා කරයි. මෙය විශේෂයෙන් අත් සහ පා මෝස්තර කිරීමට වැඩි වශයෙන් භාවිතා කරනු ලබයි. මෙහෙන්දි යන්න සංස්කෘත වචනයෙන් ව්‍යුත්පන්න වූවකි.[1] මෙහෙන්දි හා කහ භාවිතය මුල් කාලීන හින්දු වෛදික චාරිත්‍ර පොත්පත් වල විස්තර කරයි. මුලින් මෙහෙන්දි භාවිතය දැකගත හැකි වූයේ කාන්තාවන්ගේ අත්වල මෝස්තර ලෙසයි. නමුත් ඇතැම් විට පිරිමින්ගේ අත්වලද මෙය දැකගත හැකි විය. මෙය බෙහෙවින්ම වෛදික චාරිත්‍රයක් වන අතර මේ අනුව පිටත හා අභ්‍යන්තර හිරු නිරූපණයක් වේ. වෛදික පොදු චාරිත්‍රයට අනුව "අභ්‍යන්තර ආලෝකයෙහි පිබිදීමක්" ලෙස මෙම මෝස්තර හැදින්විය හැකිවේ.

මෙහෙන්දි මෝස්තර විවිධාකාරවූ වෙනස්කම් හා වර්ග දැකිය හැකිවන අතර ඒ අනුව මෙය මෙලෙස වර්ගීකරණයකට ලක්කළ හැකිවේ. අරාබි මෙහෙන්දි මෝස්තර[2], ඉන්දියානු මෙහෙන්දි මෝස්තර[3], සහ පකිස්ථානු මෙහෙන්දි මෝස්තර[4]. මෙහෙන්දි මෝස්තර ඉන්දියාව තුළ බහුලව දැකගත හැකි අතර අසල්වැසි රටවල් වන බංග්ලාදේශය, පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතරද එම මෝස්තර කලාව ව්‍යාප්තව ඇත. කාන්තාවන් මෙහෙන්දි මෝස්තර විශේෂයෙන් භාවිතා කරනු ලබන්නේ, මංගල උත්සව, උත්සව අවස්ථා, ආගමික උත්සව හා සාම්ප්‍රදායික උත්සව වැනි අවස්ථාවන් සදහාය.

මෙහෙන්දි හෝ හෙනා සම්භවය පිළිබඳ මතභේද පවතින අතර එය මූලික වශයෙන් ඊජිප්තියානු මමී වල ශරීර ආවරණයක් ලෙසද භාවිත කර ඇත. මීට අමතරව එම මමී වල හිසකෙස් හා නිය ලා රතු දුඹුරු පාටින් තැවරූ හෙනා දැක ගත හැකි විය. උද්භිද විද්‍යාඥයන් විශ්වාස කරන්නේ, හෙනා ශාකය ඊජිප්තුයානු සම්භවයකින් ආරම්භවී එය කාන්තාවන්ගේ අත්ල සහ පා මෝස්තර කිරීම සඳහා ඉන්දියාවට ගෙන ආ බවයි (7වන ශත වර්ෂයේ පටන්). ඓතිහාසිකව හෙනා ඖෂධීය අරමුණු සඳහා භාවිතා කර ඇත. මීට අමතරව අශ්වයන් හා වෙනත් සතුන්ගේ ලොම් වර්ණ කිරීමට, රෙදි සහ සම් මෙන්ම හිසකෙස් සඳහා ඩයි ලෙසද භාවිත විය. ප්‍රධාන වශයෙන් ඉන්දියාව හා පාකිස්තානය තුළ මෙහෙන්දි හෝ හෙනා, තාවකාලිකව සම සැරසිලි කිරීම සඳහා භාවිතා කරනු ලබයි. මීට අමතරව ඉන්දීය සිනමා සහ විනෝදාස්වාදය කර්මාන්තය තුළද මේවා දැකගත හැකි විය. තවද නේපාලය, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල්හීද මෙහෙන්දි භාවිතය දැකගත හැකිවේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Sanskrit Dictionary. sanskritdictionary.com Retrieved on 2016-11-15.
  2. "Arabic Mehndi Designs". Life with Style. සම්ප්‍රවේශය 31 December 2013.
  3. "Indian Mehndi Designs". fashionsrunway.com. සම්ප්‍රවේශය 16 November 2016.
  4. "Mehndi Designs for Hands". Fashions Town. සම්ප්‍රවේශය 16 November 2016.
"https://si.wikipedia.org/w/index.php?title=මෙහෙන්දි&oldid=386797" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි