ඉසුරුමුණිය
From Wikipedia
ඉසුරුමුණිය ලාංකීය ඓතිහාසික හා රමණීය ස්ථාන අතරින් අද්විතීය ස්ථානයක් දිනාගනී. ඒ එහි ඇති ආගමික හා කලාත්මක වටිනාකම නිසාය. ඉසුරුමුණිය ඉපැරණි සිද්ධස්ථානයක් වශයෙන් මෙන්ම පැරණි සිංහලයන්ගේ කලා කෞශල්‍යය විදහාපාන කලා කේන්ද්‍රයක් ලෙස හැදින්විය හැකිය. ඉසුරුමුණිය ජනප්‍රිය ස්ථානයක් ලෙස වීර ප්‍රසිද්ධ වී ඇත්තේ එය පිහිටි ඓතිහාසික විහාරයද එහි දක්නට ලැබෙන චිත්තාකර්ෂණිය කැටයම්ද එය පිහිටා ඇති රමණීය වටපිටාවද නිසාය. එක් පසෙකින් තිසා වැවත් තවත් පසෙකින් මඟුල් උයනත් (රන්මසු උයන) අනෙක් පසින් වෙස්සගිරියත් තවත් පසෙකින් විශාල කුඹුරු යායකටත් මායිම්ව ඉසුරුමුණිය පිහිටා තිබෙයි. පස්වන සියවසට අයත් ලෙස සැලකිය හැකි මෙම අතිවිශිෂ්ට කලා කෘතිය ගුප්ත ශෛලියට නෑකම් කියයි. දේවානම් පියතිස්ස මහරජු(කි.පු 250-210) විසින් ඉසුරුමුණියේ මුල්ම බෞද්ධ විහාරයක් කරවන ලද බව මහාවංශයේ සදහන් වේ.
පන්සියයක් ඉසුරුමත් පුද්ගලයන් මිහිදු මහ තෙරණු වෙත පැවිදිව විසු තැන්හි දේවානම් පියතිස්ස රජු කල වෙහෙර ඉසුරුමුණිය නම් වු බව මහාවංශයේ සදහන් වේ.(මහාවංශය:20වැනි පරිච්ජේදය 14-28 ගාථා) වසභ රජු ඉසුරුමුණි විහාරයේ පොහොය ගෙයක් කරවා ඇති අතර වෝහාරක තිස්ස රජතුමා ඉසුරුමුණිය වටා පවුරක් කල බවද මහාවංශයේ සදහන් වේ.
[edit] ඉසුරුමුණිය නිර්මාණය වීම හා කැටයම් පිළිබද විවිධ මත
මහාවංශයේ සදහන් ආකාරයට සිය පියාණන් වු ධාතුසේන රජු මරා දැමු මහා කාශ්‍යප රජු එම පව් ක්ෂමා කරවා ගැනීමේ අදහසින් නොයෙකුත් පිංකම් කළේය. ඒ අනුව ඉසුරුමුණිය මළුව විශාල කරවා අවට තිබු ගම් මෙම විහාරයට පුජා කල අතර තමාගේ දියණියන් වු බෝධි හා උත්පලවණ්ණා යන දෙදෙනාගේ නම්ද තමාගේ නමද මෙම විහාරයට තබවා එය බුද්ධ ශාසනයට පුජා කල බැව් මහාවංශයේ 39 වැනි පරිච්ජේදය තුල දැක්වේ.මෙලෙස සිංහල නිරිදුන් රාශියකගේ ඉමහත් සැලකිල්ල මෙම ස්ථානයට නොමදව ලැබී ඇත. නමුත් විවිධ හේතු මත අනුරාධ පුර රාජධානිය නිරිත දෙසට මාරු වීමට පටන් ගත් නිසා අනුරාධ පුර රාජධානිය වන සතුන්ගේ රජ දහනක් බවට පත් වු අතර ඉසුරුමුණියද ඒලෙස වල් බිහි විය. නමුත් 19 වන සියවසේදි රජරට නටඹුන් කෙරෙහි විදේශිය උගතුන්ගේ අවධානය යොමු වීම දැකිය හැකිය.
ඉසුරුමුණියේ තිබෙන කැටයම් අතර "මිනිසා සහ අශ්ව හිස" අන්තර් ජාතික කීර්තියට පත් කලා කෘතියකි.ඉසුරුමුණි ගල්ෙලන් විහාරයට දකුණු පසින් පොකුණේ ඇත් රූප වලට ඉහලින්, අශ්වයකුගේ හිසක් සමග කුඹුරු ෙදස බලා සිටින නග්න උඩු කයකින් යුතු මිනිස් රූපය මිනිසා සහ අශ්ව හිසයි. ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මෙම කැටයමින් පිළිබිඹු කරන්නේ "කපිල ඍෂිවරයා" බව සදහන් කරයි.(spolia zeylanca,vol.vi.p.132).නමුත් ඒයට විරුද්ධ මතද අැත. එක් වරක් දුටුවකුට වුවද කිසිසේත් අමතක නොවන උසස් කලා කෘතියක් ලෙස ප්‍රකට කලා විචාරකයෙකු වන ලෝරන්ස් බෙනියොන් (Laurence Benyon) මෙය හදුන්වා දී ඇත.
[edit] මහාචාර්ය සෙනරත් පරණවිතාන ශුරීන් ගේ මතය
මෙම කැටයම් පිළිබදව දීර්ඝ පර්යේෂණයක යෙදුන මහාචාර්ය සෙනරත් පරණවිතාන ශුරීන් දක්වන අදහසට අනුව මිනිසා සහ අශ්ව හිසෙන් පෙන්නුම් කරන්නේ "පර්ජන්‍ය හා අග්නි" බව පවසයි.(Artibus Asiae,vol.xvi.pp.167-190) මහාචාර්ය පරණවිතානයන්, මහා භාරතය ,ජාතක කථා පාලි, අට්ඨ කථා,කාව්‍යශේඛරය ආදී ග්‍රන්ථ රාශියක් උපයෝගි කරගෙන සිය මතය සනාථ කර ඇත.පර්ජන්‍ය හා අග්නි විදහා දක්වන මෙම කලා කෘතියෙන් සංඛේතාත්මකව දක්වා ඇත්තේ කෘෂි කර්මාන්තයට අත්‍යවශ්‍ය"කලට වැසි ලැබිම හා හිරු එළිය ලැබීම" බැව් පැහැදිලි කර ඇත. v වන කාශ්‍යප රජුගේ අභයගිරි පුවරු ලිපියෙහි එන කරුණු මෙම මතය තහවුරු කිරීමට පරණවිතාන ශුරීන් යොදාගෙන ඇත. එහි එන "පොදන වුලු පුලුඩාවුලියෙන් කෙත් කම් සුලබ් කොට් සිරිලක් ලොන්දුරු වස් සබිය නිවස්"(Epigraphiya Zeylanica, vol .i.pp 41-57) යන ජේදයෙන් මේ ගැන අදහස් දක්වන මහාචාර්යවරයා "පොදන වුලු පුලුඩා වුලුයෙන්" යන පාඨයෙන් "පර්ජන්‍ය හා අග්නි" යන දෙවි වරුන්ට පුද පූජා පැවැත්වීමෙන් යන අර්ථ දෙන බැව් පවසයි. මෙම කැටයම පිහිටා ඇති ගල් පර්වත පාමුල හස්ති රූප කැටයමක් දැකිය හැකිය. ඒ පිළිබදව කරුණු දක්වන පරණවිතාන ශුරීහු හස්ති රූප වලින් පෙන්නුම් කරන්නේ වස්ස වලාහක දිව්‍ය පුත්‍රයා(පර්ජන්‍ය)ගේ පැමිණිම නිසා ප්‍රීති වන හස්තීන් බව ප්‍රකාශ කරති.මිනිසා සහ අශ්ව හිස කැටයමද දිය කෙළිනා හස්තීන්ගේ කැටයම්ද භාරත දේශයේ පල්ලව කලා ශිල්ප සම්ප්‍රදායේ බලපෑම පෙන්නුම් කරයි. පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වු හොකාර්ට් පවසන ආකාරයට මහ බලි පුරම් හි දක්නට ලැබෙන කලා කෘතිවල ආභාෂය මේවායේද මැනවින් දැකිය හැකි බවයි. මෙහි දැකිය හැකි ඉතා වීර ප්‍රසිද්ධ කැටයම් කිහිපයකි. ඒ අතරින් ඉසුරුමුණි පෙම් යුවල හා දුටුගැමුණු රජ වාසල දර්ශනයත් අතිවිශිෂ්ට කලා කෘතීන්ය.ඉසුරුමුණි පෙම් යුවල තුලින් පිළිබිඹු වන්නේ සාලිය-අශෝකමාලා යුවල බැව් ද"දුටුගැමුණු රජ පවුල" නැමැති කැටයමින් දැක්වෙන්නේ දුටුගැමුණු රජ සිය බිසොවද සමග සාලිය කුමරුන්ගේ මාලිගයට ගොස් සාලිය-අශෝකමාලා දෙදෙනා සමග පිලිසඳරේ යෙදි සිටින අන්දම යැයිද මහාචාර්ය පරණවිතානයන්ගේ අදහසයි. මෙම ස්ථානයේ ඇති මුර්ති අතුරින් විශිෂ්ටතම මුර්තිය වශයෙන් පමණක් නොව හෙළ කලා කරුවන්ගේ අතිශයින් විශිෂ්ට මුර්තියක් ලෙස මෙය එක හෙලා සැලකේ.
මේ අනුව අටවැනි ලෝක පුදුමය වු සීගිරිය වැනි විශ්මිත නිර්මාණ බිහිවු ලංකාවේ අද්විතීය ස්ථානයක් ඉසුරුමුණිය වැනි සිද්ධස්ථානයන්ටද හිමිවන බව පෙන්වා දිය හැකිය. ඒ පෞඩ ජාතියකගේ අභිමානයයි.

