ඉසුරුමුණි කැටයම්
From Wikipedia
පැරණි ලක්දිව ගොඩනැගිලි කර්මාන්ත අශ්‍රයෙන් විකාශනයට පත් විවිධ ශිලාමය කැටයම් අංග හැරුණු විට ස්වාධීන වශයෙන් අගය කළ හැකි කලාත්මක හා ශිල්පීය වශයෙන් උසස් තත්වයෙහි ලා සැලකිය හැකි සුප්‍රසිද්ධ ගල් කැටයම් කීපයක් ද ලැබී ඇත.විශේෂයෙන් අනුරාධපුරයෙහි ඉසුරුමුණි විහාරය ආශ්‍රයෙන් මෙවැනි වැදගත් කැටයම් කීපයක් ලැබී ඇත.ඒ අතර "ඉසුරුමුණි පෙම් යුවල" දැක්වෙන කැටයම ඉතා කලාත්මක නිර්මාණයකි.මෙම කැටයම මුලින්ම ලැබී ඇත්තේ ඉසුරුමුණි විහාරයට නුදුරින් පිහිටි රන්මසු උයන භූමියෙනි.ඉන් පසු එම කැටයම ඉසුරුමුණි විහාරයට ගෙනවුත් පැරණි විහාරයට අයත් ගල් බැම්මෙහි සවි කර තබා තිබූ අතර දැනට එය එහි ඉඳි කළ කුඩා කෞතුකාගාරයක තැන්පත් කර ඇත.මෙම ගල් පුවරුව අඩි 3ක් පමණ උසින් සහ අඩි 2ක් පමණ පළලන් යුක්ත වේ.මෙම කැටයමෙහි මූලික වශයෙන් නිරූපණය කර ඇත්තේ ආසනයක වාඩි ගත් තරුණ පුරුෂයෙකු හා කාන්තාවක්ය.මෙම පුරුෂයා වාඩි වී සිටින ඉරියව්ව "අර්‍ධ පර්යංකාසන හෙවත් ලලිතාසන" යනුවෙන් හැදින්වේ.මෙහි කාන්තාව වාඩි වී සිටින්නේ තරුණයාගේ නවා ගත් වම් කකුල මතය.තරුණයාගේ දකුණු උරහිසට ඉහළින් කඩුවක මිටක් හා පළිහක් වැනි දෙයක් දක්නට ලැබේ.මෙම දෙදෙනාගේ උඩුකය නග්නව දක්වා ඇති අතර විවිධ මාල, වළලු හා කර්ණාභරණ පැළඳ ඇති බව පෙනී යයි. මෙම දෙදෙනාගේ දකුණු අත් වලින් පිළිඹිබු කෙරෙන මුද්‍රා එතරම් පැහැදිළි නොවේ.සමහරු මෙම මුද්‍රා වලින් ප්‍රේමය පිළිබඳ අදහසක් පිළිඹිබු කෙරෙතැයි විශ්වාස කෙරේ.කලාත්මක වශයෙන් ඉතා විශිෂ්ඨ ඝනයෙහි ලා සැලකිය හැකි මෙම "පෙම් යුවල කැටයම" ක්‍රි.ව. 5 වන සියවසට පමණ අයත් බව පුරා විද්‍යාඥ මතයයි. පැරණි භාරතයේ විශිෂ්ඨතම විශිෂ්ඨතම කලා සම්ප්‍රදාය ලෙස සැලකෙන ගුප්ත මූර්ති කලා සම්ප්‍රදායේ ආභාසය මෙම කැටයමින් පිළිඹිබු වේ.
මෙම කැටයමින් නිරූපණය වන්නේ කවුරුන්ද යන්න තවමත් නොවිසඳුන ගැටලුවකි.මේ සම්බන්ධයෙන් දේශීය හා විදේශීය උගතුන් අර්ත නිරූපණ දක්වා ඇත.හින්දු සමය හා සම්බන්ධ ශිව දෙවියන් හා ඔහුගේ භාර්යාව වූ පාර්වතී දේවිය නිරූපණය කරන බව ඇතමුන්ගේ මතයයි. මහායාන සම්ප්‍රදායෙහි හමුවන බෝධිසත්‍වවරුන් අතරින් ලාබාලතම බෝධිසත්‍වවරයා ලෙස සැලකෙන මඤ්ජු ශ්‍රී බෝධිසත්‍වවරයාත් ඔහුගේ තාරා නම් බිසවත් දැක්වෙන බව තවත් අදහසකි. යුධ භටයෙකු හා ඔහුගේ තරුණ භාර්යාව ඉන් පිළිඹිබු වෙතැයි තවත් මතයකි.පුරා විද්‍යා කොමසාරිස්වරයෙකුව සිටි මහාචාර්ය පරණවිතානයන්ගේ මතය වන්නේ දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරුත් ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලාත් ඉන් නිරූපණය වන බවයි. මීට අමතරව කුවේර නම් දෙවියනුත් ඔහුගේ භාර්යාව වූ වසුන්දරාත් ඉන් නිරූපණය වන බවට මතයකි.
ඉසුරුමුණියෙන් හමුවන තවත් අගනා ගල් කැටයමක් ලෙස එහි ස්වභාවික ගල් පර්වතයේ නෙලා ඇති වාඩිගත් මිනිසෙකු හා අශ්ව හිස ක් දැක්වෙන කැටයම දැක්විය හැක.මෙහි නිරූපිත තරුණයාගේ රූපය අඩි 2 1/2 ක් පමණ උසින් යුක්ත වේ.මෙහි නිරූපිත පුද්ගලයා වාඩි වී සිටින්නේ "මහාරාජ ලීලා" නම් ඉරියව්වෙනි. ඔහුගේ දකුණු උරහිසට ඉහළින් නිරූපණය කර ඇත්තේ අශ්වයෙකුගේ හිසකි.මෙම කැටයම ක්‍රි.ව. 7 වන හෝ 8 වන සියවසට අයත් බව පැවසේ. දකුණු ඉන්දියාවේ ව්‍යාප්තියට පත් පල්ලව මූර්ති කලාවේ අභාසය මෙම කැටයමෙහි පිළිඹිබු වන බව වියතුන්ගේ නිගමනයයි.මෙම කැටයමින් කුමක් නිරූපණය කරන්නේදැයි යන්න පිලිබඳවත් උගතුන් අතර විවිධ මත පවතී. කලා ඉතිහාසඥයෙකු වූ ආනන්ද කුමාරස්වාමිගේ අදහස වන්නේ හින්දු දේව කතා වල හමු වන කපිල නම් ඍෂිවරයා සහ ඔහුගේ අශ්වයා මෙයින් නිරූපණය වන බවයි. පරණවිතානගේ නිගමනය වන්නේ අශ්ව හිසින් ගින්නට අධිපති අග්නි දෙවියනුත් මිනිස් රූපයෙන් වර්ෂාවට අධිපති පර්ජන්‍ය දෙවියනුත් සංකේතවත් කෙරෙන බවයි.
මීට අමතරව දුටුගැමුණු රජ පවුල දැක්වෙන කැටයමත් දිය නාන අතුන් දැක්වෙන කැටයමත් ඉසුරුමුණි විහාරය තුළ හඳුනා ගත හැකි තවත් අගනා කැටයම් වේ.

