Jump to content

විද්‍යුතය

විකිපීඩියා වෙතින්
(විදුලිය වෙතින් යළි-යොමු කරන ලදි)
අකුණූ ගැසීම, විද්‍යුතයේ ප්‍රමුඛ ආචරණයකි.(ප්‍රතිඵලයකි)

විද්‍යුතය යනු විද්‍යුත් ආරෝපණය පැවතීම සහ එය ගලා යාම හා බැඳි භෞතික සංසිද්ධීන් මාලාවයි. අකුණු ගැසීම, ස්ථිති විද්‍යුතය, විද්‍යුත්-චුම්බක ප්‍රේරණය සහ විද්‍යුත් ධාරාව ගලා යාම වැනි සුපතළ ආචරණයන් බොහෝමයක් විද්‍යුතය විසින් සපයයි. මෙයට අමතරව, රේඩියෝ තරංග වැනි විද්‍යුත්-චුම්බක විකිරණ තැනීම හා ආදායනය සඳහාද විද්‍යුතය අවකාශ සලසයි. විද්‍යුතය (ලතින් භාෂාවෙන් “Electricus) යනු විද්‍යුත් ආරෝපණ හා ඒවායේ ගලා යෑම නිසා ඇතිවන විවිධ සංසිද්ධීන්ට පොදුවේ යෙදෙන පදයකි. එනම් විද්‍යූතය හා අකුණු ගැසීම වැනි නිතර හමුවන සංසිද්ධීන් මෙන්ම විද්‍යූත් චුම්භක ප්‍රේරණය හා විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර වැනි නිතර හමුනොවන සංකල්පද මෙයට ඇතුළත් වේ. සාමාන්‍යය භාවිතයේදී විද්‍යුතය යන වචනය භෞතික ආචරණ රැසක් දැක්වීම සඳහා ප්‍රමාණවත් වේ. කෙසේ වෙතත් විද්‍යාත්මක භාවිතයේදී මෙය ප්‍රමාණවත් නොවන නිශ්චිත අරුතක් රහිත වදනක් බවට පත්වන අතර මෙහි විවිධ අර්ථයන් වෙන් වෙන්ව වි‍‍ශේෂකර දැක්වීම වඩ‍ාත් පැහැදිලි ක්‍රමයයි.

  • විද්‍යුත් ක්ෂේත්‍ර - විද්‍යුත් වශයෙන් ආරෝපණය වූ වස්තු අතර හටගන්නා සංසිද්ධි.
  • විද්‍යුත් ගාමක බලය - විද්‍යුත් ක්ෂේත්‍රයක විද්‍යුත් ධාරාවක් ඇති කරීමේ හැකියාව. (වෝල්ට් වලින් මනිනු ලබයි)
  • විද්‍යුත් ධාරාව - විද්‍යුත් ආරෝපිත අංශු වල චලනය වීමක් හෝ ගමන් කරීම. (ඇම්පියර් වලින් මනිනු ලබයි)
  • විද්‍යුත් ශක්තිය - සන්නායකයක් තුලින් ධාරාවක් ගමන් කරීම නිසා හටගන්නා ශක්තිය.
  • විද්‍යුත් බලය - විද්‍යුත් ශක්තිය වෙනත් ශක්ති ආකාරයකට (අලෝකය, තාපය, යාන්ත්‍රික ශක්තිය) හැරවීමේ වේගය.
  • විද්‍යුත් ආරෝපණ - උප-පරමාණුක අංශු අතර හටගන්නා විද්‍යුත් චුම්භක ක්‍රියාකාරීත්වයක්.
  • විද්‍යුත් චුම්භක ශක්තිය - විද්යුත් ධාරාව නිසා ඇති වන මූලික සංසිද්ධියක්.

17 – 18 සියවස් පමණ වන තෙක්ම විද්‍යාත්මක දියුණුවක් නොලත් නමුත් අතීතයේ සිටම විද්‍යුතය අධ්‍යයනයට ලක්විය. කෙසේ නමුත් ඉංජිනේරුවන්ට විද්‍යුතය කාර්මික හා ගෘහස්ථ ප්‍රයෝජනයන් සඳහා යොදා ගැනීමට 19 වන සියවසේ අග භාගය පමණ විය. මෙම කාල වකවානුවේදී තාක්ෂණයේ දියුණූව සමග විශාල ව්‍යාප්තියක් ඇති වීමත් සමග කාර්මික හා ගෘහස්ථ භාවිතය සඳහා විද්‍යුතය සැපයීමට ඉංජිනේරුවන්ට හැකි විය. විද්‍යුතය,ප්‍රවාහනය, තාපය උපදවීම් , සන්නිවේදනය හා පරිගණකකරණය ආදී අසීමිත ක්ෂේත්‍රයන් ගණනාවකට යෙදිය හැකි තරම් බහුකාර්ය ශක්ති ප්‍රභවයකි‍. එනිසා විද්‍යූතය අද්විතීය ශක්ති ප්‍රභවයක් ලෙස සැළකේ. වර්තමානයේත්, අනාගතයේත් බොහෝ කාලයක් සඳහා කාර්මික සමාජයේ පදනම ලෙස විද්‍යූත් බලයේ භාවිතය මත රඳා පවතී යැයි සිතිය හැක.

ඉතිහාසය

[සංස්කරණය]

මධ්‍යධරණී ප්‍රදේශ ආශ්‍රිත පැරණි සංස්කෘතීන්ට අයත් ජනයා ඇම්බර් ආදී ද්‍රව්‍යවලින් තැනූ දඬු පූස් ලොම්වලින් පිරිමැදි විට ඒවාට පිහාටු වැනි සැහැල්ලු වස්තු ආකර්ෂණය වන බව දැන සිටියහ. ක්‍රි.පූ. 600 දී පමණ කේලේස්හි මිලේටස් ස්ථිති විද්‍යුතය පිළිබඳ පර්යේෂණ මාලාවක් සිදු කළ අතර පිරිමැදීමෙන් තොරවම චුම්භක ගුණ පෙන්වන මැග්නටයිට් වැනි ඛනිජවලට පරස්පර ආකාරයට ඝර්ෂණය නිසා ඇම්බර්වලට චුම්භක ගුණ ලැබෙන බව ඔහුගේ විශ්වාසය විය. ඉහත ආකර්ෂණයට හේතුව චුම්භකත්වය බවට තේලේස් කළ නිගමනය නිරවද්‍ය එකක් නොවන නමුත් පසු කාලීනව විද්‍යාඥයන් විසින් විද්‍යුතය හා චුම්භකත්වය අතර සම්බන්ධතාවය ඔප්පු කරන ලදී.

1936 වසරේ දී සොයා ගන්නා ලද පෙනුමින් ගැල්වානි කෝෂයක් ආකාරය ගන්නා “Baghdad Battery” (බෑග්බෑග් කෝෂය යන අරුත දේ) නම් පුරා වස්තුව මත පදනම්ව පාතියන්වරුන්හට විද්‍යුත් ලෝහාලේපනය පිළිබඳ යම් දැනුමක් තිබූ බවට මතයක් පළවී ඇති නමුදු මෙය විවාදයට තුඩු දී ඇත. පුරා වස්තුවේ යම් විද්‍යුත් ගුණාංගයක් පවතී ද යන්න තහවුරු වී නොමැති අතර ලෝහාලේපනය පිළිබඳ මතයට පුරා වස්තුවේ ව්‍යුහය හා එකඟ වන ආකාරයේ සාක්ෂි ‍නොමැත.

ප්ලිනී (Pliny the Elder) සහ ස්ක්‍රීබොනියස් ලාගස් ආදී පැරණි ලේඛකයන් කැට්ෆිෂ් සහ ටෝපිඩෝ මඩුවක් ඇති කරන විදුලි සැර වැදීමෙන් දැනෙන කම්පනය පිළිබඳ සඳහන් කර ඇති අතර එවන් විදුලි සැරයක් සන්නායක ඔස්සේ ගමන් කළ හැකි බව ද ඔවුන් දැන සිටියහ. එකල හිසරදය හෝ රක්තවාතය වැනි රෝගවලින් පෙලුනු රෝගීන් , ප්‍රබල විදුලි සැරයක් හේතුවෙන් රෝගය සුව වේ යැයි තිබූ විශ්වාස හේතුවෙන් විදුලි සැර නිකුත් කරන මසුන් ඇල්ලිමට යොමු කරවා ඇත.

18 වැනි ශත වර්ෂයේ දී බෙන්ජමින් ෆ්රූන්ක්ලින් විද්‍යුතය පිළිබඳ පුළුල් පරාසයකට අයත් පර්යේෂණ ගණනාවක් සිදු කරන ලදී.

කෙසේ නමුත් ආරම්භයෙන් සහස්‍රක දෙකකටත් වැඩි කාලයක් ගතවන තුරු, එනම් ක්‍රි.ව.1600 පමණ වන තුරු විද්‍යුතය හුදෙක් බුද්ධිමය කුතුහලය මදක් ඉක්මවූ ක්ෂේත්‍රයක් පමණක් විය. ක්‍රි.ව. 1600 පමණ ඉංග්‍රීසි ජාතික භෞතික විද්‍යාඥ විලියම් ගිල්බට් විද්‍යුතය සහ චුම්භකත්වය පිළිබඳ සූක්ෂම අධ්‍යයනයකින් අනතුරුව චුම්භක ගුණ ඇති පාෂාණ මඟින් ඇති කරන ආවරණය ඇම්බර් කැබලි පිරිමැදීමෙන් ලැබෙන ස්ථිති විද්‍යුතය වෙන්කර දක්වන ලදී. තවද ඔහු විසින් පිරිමැදීමෙන් අනතුරුව කුඩා වස්තු ආකර්ෂණය කිරීමේ ගුණය හැඳින්‍වීම සඳහා electricus නම් නව ලතින් පදය නිර්මාණය කරන ලදී. (මෙය “‍ඉලෙක්ට්‍රොන්” ලෙස ශබ්ද කෙරෙන ඇම්බර් සඳහා යෙදෙන ග්‍රීක වචනය ඇසුරින් නිර්මාණය කර ඇති අතර ලතින් බසින් එහි අදහස “ඇම්බර් වැනි” යන්නයි) අනතුරුව මේ අනුසාරයෙන් විද්‍යුතය හැඳින්වීමට භාවිතා වන "electric" හා "electricity" යන වදන් නිර්මාණය වූ අතර ඒවා පළමු වරට මුද්‍රිත අයුරින් ප්‍රකාශයට පත්ව ඇත්තේ 1646 පලවූ තෝමස් බ්‍රවුන්ගේ “Pseudodoxia Epidemica” නම් ග්‍රන්ථයේය.


ඔටෝ වොන් ගුරික්, රොබට් බොයිල් ස්ටීවන් ග්‍රේ සහ සී.එෆ්. ඩූ ‍ෆේයි විසින් පර්යේෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කරන ලදී. 12 වැනි ශත වර්ෂයේ දී ‍‍බෙන්ජමින් ෆ්රෑන්ක්ලින් විද්‍යුතය පිළිබඳ පුළුල් පර්යේෂණ රැසක් සිදු කළ අතර සිය පර්යේෂණ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමට ඔහු සිය බඩු බාහිරාදිය පවා විකුණා දමන ලදී. 1752 ජුනි මාසයේ දිනෙක ඔහු තෙත් වූ නූලක් සහිත සරුංගලයක නූලෙහි පහල කෙ‍ළවරට ලෝහ යතුරක් සම්බන්ධ කර අනතුරුව කුණාටුවක් ඇරඹීමට ආසන්නව එම සරුංගලය අහසට නංවා අනතුරුව යතුරෙහි සිට සිය පිටි අල්ලට පුලිඟු පනින අයුරු නිරීක්ෂණය කර ඒ ඇසුරින් අකුණු ගැසීම විද්‍යුතය හා සැබැඳි ක්‍රියාවලියක් බව පෙන්වා දෙන ලදී.

ස්නායු සෛල ඔස්සේ පේශි දක්වා සංඥා ගමන් කරනුයේ විද්‍යුතය මාධ්‍යයය ලෙස යොදා ගනිමින් බව ආදර්ශනය කරමින් 1791 දී ලුයිජි ගැල්වානි සිය ජෛව විද්‍යුතය පිළිබඳ සොයා ගැනීම ප්‍රකාශයට පත් ‍කළේය. ක්‍රි.ව. 1800 කාලයට අයත් මාරුවෙන් මාරුවට සින්ක් සහ තඹ පතුරු යොදා නිර්මාණය කළ වෝල්ටා පුංජය ලෙස හැඳින්වෙන ඇලෙක්සැන්ඩර් වෝල්ටාගේ කෝෂය එයට පෙර විද්‍යාඥයන් භාවිතා කළ ස්ථිති විද්‍යුත් උපකරණවලට වඩා විද්‍යුතය සඳහා විශ්වාසවන්ත ප්‍රභවයක් විය. 1820 දී ඇන්ඩේ මාරි ඇම්පියර් විද්‍යුතය හා චුම්භකත්වය අතර සම්බන්ධතාවයක් පවතින බව මුල්වරට සොයාගන්නා ලදී. 1821 වසරේ දී මයිකල් ෆැරඩේ විදුලි මෝටරය නිර්මාණය කළ අතර 1827 දී ජෝජ් ඕම් විද්‍යුත් පරිපථ ගණිතමය ලෙසට විශ‍්ලේෂණය කරන ලදී.

19 වැනි සිය‍වසේ විද්‍යා ක්ෂේත්‍රයක් ලෙස විද්‍යුතය සීඝ්‍ර දියුණුවකට ලක් වූ අතර විදුලි ඉංජිනේරු විද්‍යාව වඩාත් සීඝ්‍රව වර්ධනය වූයේ 19 වැනි සියවසේ අග භාගයේ දීය. නිකොලා ටෙස්ලා , තෝමස් ඒඩියන්, ජෝජ් වෙස්ටින්ග් හවුස් , අර්න්ස්ට් වර්නර් ‍වොන් සීමන්ස්, ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් සහ කෙල්වින් සාමිවරයා ආදීන්ගේ දායකත්වය හේතුවෙන් විද්‍යුතය හුදෙක් විද්‍යාත්මක කුතුහලයක් දන්වන්නක සිට නූතන ජන ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයක් දක්වා පරිවර්තනයකට භාජනය වූ අතර විද්‍යුතය දෙවැනි කාර්මික විප්ලවය ඇති කිරීම සඳහා ද හේතු විය.

විද්‍යුත් ‍ක්ෂේත්‍රය

[සංස්කරණය]

විද්‍යුත් ‍ක්ෂේත්‍රය යන සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ මයිකල් ෆැරඩේ විසිනි. යම් ආරෝපිත වස්තුවක් වටා වූ අවකාශය තුළ විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතිවන අතර මේ ක්ෂේත්‍රය තුළ වෙනත් ඕනෑම ආරෝපිත වස්තුවක් මත ක්ෂේත්‍රය මඟින් බලයක් ඇති කරයි. ස්කන්ධයන් දෙකක් අතර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් ක්‍රියා කරන්නා සේ ආරෝපණ දෙකක් අතර අනන්තය දක්වා වූ ක්ෂේත්‍රයක් හටගන්නා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝම ලෙස එය අනන්තය දක්වා පැතිරේ. නමුත් මෙම ක්ෂේත්‍ර යුගල අතර වැදගත් වෙනසක් ඇත. ගුරුත්වාකර්ෂණය සෑම විටම ස්කන්ධ දෙකක් එකිනෙකට ආකර්ෂණය කරන නමුත් විද්‍යුත් ක්ෂේත්‍රයක දී ආරෝපණ දෙකක් ආකර්ෂණයකට හෝ විකර්ෂණයකට භාජනය විය හැක. ග්‍රහලෝක වැනි විශාල වස්තූන්ගේ ශුද්ධ ආරෝපණයක් නොමැති නිසා යම් දුරකින් වූ විද්‍යුත් ක්ෂේත්‍රය ශුන්‍ය වේ. ඒ නිසා දුර්වල වූවත් විශ්වයේ විශාල දුර ප්‍රමාණ හරහා ක්‍රියාකරන ප්‍රධානම බලය ගුරුත්වාකර්ශනය වේ.

සන්නායක තලයක් මතුපිට ක්ෂේත්‍ර රේඛා ධන ආරෝපණයක් නිස්ස්‍රාවනය වේ.

අවකාශය තුළ විද්‍යුත් ක්ෂේත්‍රයක් සාමාන්‍යයෙන් විචලනය වේ. එහි යම් ස්ථානයක එහි ප්‍රබලතාව එම ස්ථානයේ වූ නිෂ්චල නොගැනිය හැකි තරම් කුඩා ආරෝපණයක් සඳහා (ඒකක ආරෝපණයක් මත) ලෙස අර්ථ දැක්වේ. සංකල්පිත ආරෝපණය (පරීක්ෂා ආරෝපණය) ප්‍රධාන ක්ෂේත්‍රයට බාධා ‍නොකෙරෙන පරිදි ක්ෂේත්‍රයක් නොසාදන ඉතා ක්‍රඩා ආරෝපණයක් විය යුතු අතර චුම්භක ක්ෂේත්‍රවල ආචරණයට ලක් නොවන පරිදි නිෂ්චල විය යුතුය. විද්‍යුත් ක්ෂේත්‍රයක් යනු බලයකි. බලයක් යනු දෛශිකයක් නිසා විද්‍යුත් ක්ෂේත්‍රයක් ද යනු දිශාවක් හා විශාලත්වයක් ඇති දෛශිකයකි. එනම් එය දෛශික ක්ෂේත්‍රයකි.

නිෂ්චල ආරෝපණ මගින් ඇතිවන විද්‍යුත් ක්ෂේත්‍රයක් පිළිබඳ අධ්‍යයනය ස්ථිති විද්‍යුතය යටතේ සිදු වේ. ක්ෂේත්‍රයක් දැක්වීමේදී මනංකල්පිත රේඛා භාවිතා කළ හැකි අතර එහි දී ඕනෑම ස්ථානයක රේඛා දිශාව එම ලක්ෂ්‍යයේ ද ක්ෂේත්‍රයේ දිශාවට සමාන විය යුතුය. මෙම සංකල්පය වර්තමානයේ දී ද භාවිතා කෙරෙන අතර 'බල රේඛා' යනුවෙන් හැඳින්වේ. මෙය ෆැරඩේ විසින් හදුන්වාදෙන ලද්දකි. බල රේඛා යනු ක්ෂේත්‍රයක් තුළ තැබූ ධන ආරෝපණ ඒවා මත බලයක් යෙදෙන බලය නිසා ගමන් කරන පථයයි. මෙම මනංකල්පිත රේඛාවලට භෞතිකමය පැවැත්මක් නොමැත. තවද රේඛා අතර පරතරය පුරාද ක්ෂේත්‍රය පැතිරී පවතී. නිසල ආරෝපණයකින් ස්‍රාවය වන බල රේඛාවලට ප්‍රධාන ලක්ෂණ කිහිපයක් ඇත ඒවා ධන ආරෝපනයකින් පටන් ගෙන ඍණ ආරෝපණයකින් අවසන් වේ. තවද ඒවා අනිවාර්යෙන් හොඳ සන්නායක මාධ්‍යයකට ඍජුකෝණීව ම ඇතුළු විය යුතුය. තෙවැන්න කිසිවිටකත් ක්ෂේත්‍ර එකිනෙක ඡේදනය නොවේ.

අධිවෝල්ටීය උපකරණ සෑ‍දීමේදී ස්තිථි විද්‍යුත් මුලධර්ම වැදගත් වේ. ඕනෑම මාධ්‍යයකට දැරිය හැකි විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තියට සීමාවක් ඇත. මෙම සීමාව ඉක්මවූ විට විද්‍යුත් බිද වැටීමක් ඇතිවන අතර ආරෝපණ කොටස් අතර විද්‍යුත් චාප හටගනී. උදාහරණයක් ලෙස කුඩා දුර ප්‍රමාණ සඳහා සෙන්ටිමීටරයකට හා 30kv හෝ ඊට වැඩි ප්‍රබලතාවක් ඇත. විද්‍යුත් ක්ෂේත්‍රයක් හටගැනීමේ දී වාතය තුළින් විද්‍යුත් චාප දැක්වේ. විශාල පරතර හරහා වාතයේ බිඳ වැටුම් ශක්තිය හීන වේ. එනම් සෙන්ටිමීටරයකට 1kv පමණ වේ. අකුණු ගැසීම මේ සඳහා වඩාත් ප්‍රායෝගික ස්වභාවික නිරීෂණයකි. මෙය සිදුවන්නේ ඉහල නඟින වාත කදන් මගින් වළාකුළුවල ආරෝපණ වෙන් වී වාතයට දරාගත නොහැකි තරම් ප්‍රබල විද්‍යුත් ‍ක්ෂේත්‍රයන් ඒ හරහා හටගත් විටය. මෙසේ වූ ආරෝපිත විශාල වළාකුලක වෝල්ටීයතාව 100Mv වැනි ඉහල අගයක් ගත හැකි අතර 250kwh වැනි විශාල විසර්ජන ශක්තියක් පැවතිය හැක.

සන්නායක වස්තු මගින් ඒවා අසල වූ ක්ෂේත්‍රයක ශක්තිය කෙරෙහි විශාල ව‍ශයෙන් බලපෑම් සිදු කරයි. තීව්‍ර තුඩු සහිත වස්තූන්ගේ තුඩු ගමන් කිරීමට සිදු වේ නම් ක්ෂේත්‍ර තීව්‍රතාව තවත් ඉහල‍වේ. අකුණු සන්නායක සදහා මෙම මුලධර්මය යොදාගනී. තීව්‍ර තුඩු සහිත සන්නායකය එය විසින් ආරක්ෂා කරන ගොඩනැගිල්ලට වඩා ඒ මතට විදුලි සැර ඇද ගනී.

විද්‍යුතය හා ස්වභාවික ලෝකය

[සංස්කරණය]

කායික බලපෑම

[සංස්කරණය]

මිනිස් ශරීරයට වෝ‍‍ල්ටියතාවක් සැපයු විට පටකයන් හරහා විද්‍යුත් ධාරාවක් ගමන් කරයි. සම්බන්ධය රේකීය නොවුවත් වෝල්ටීයතාව වැඩිවන විට ගලන ධාරාවද වැඩිවේ. දේහලීය සංවේදනතාව ධාරාවේ පථය හා සපයන ලද සංඛ්‍යාතය සමග වෙනස් වන අතර ජව මූලික සංඛ්‍යාත විද්‍යුත‍ය සඳහා පථ 1mA පමණ වේ.ධාරාවෙහි අගය ප්‍රමාණවත් තරම් ඉහළ වේ නම් එවිට පේෂී සංකෝචනය,හෘද තත්වායනය ,පටක පිලිස්සීම ආදී බලපෑම් ඇතිවේ. විද්‍යුතය කර ඇති සන්නායකයක් බාහිරව හඳුනා ගැනීමට නොහැකි බැවින් එය උවදුරක් ඇතිවීමේ මාර්ගයක් වේ.විදුලිසැර වැදීමෙන් ඇතිවන වේදනාව අතිශය තීව්‍ර විය හැක අතර එබැවින් විදුලිය හිංසන උපායන්ට යොදාගැනේ. විදුලි පහරක් නිසා සිදුවන මරණයක් electrocution ලෙස ඉංග්‍රීසියෙන් සඳහන් වේ. වර්ථමානයේ සුලභව භාවිතා ‍ෙනාවුවද සමහරක් අධිකරන බල ප්‍රදේශ තුළ මරණ දණ්ඩනයට ලක්වූවන් විදුලි සැර වැදීමෙන් මරණයට පත් කිරීම සිදුකරනු ලැබීය.

විද්‍යුත් සංසිද්ධිය

[සංස්කරණය]

විද්‍යුත‍ය යනු සියයට සීයක්ම මිනිස් නිපැයුමක් නොවේ. අකුණු ගැසීම වැනි විවිධාකාර තත්වලින් විද්‍යුත‍ය ස්වභාවයේ පවතී. පෘථිවි චුම්භක ක්ෂේත්‍රය ද පෘථිවි ගර්භය වටා වූ ස්වභාවික ඩයිනමෝවක් ආකාරයට ක්‍රියා කරන සංක්‍රමණ ධාරා හේතුවෙන් ඇතිවේ යැයි විශ්වාස කෙරේ. උක් දඬු මෙන්ම ක්වාටිස් වැනි සමහර පාෂාණ වර්ග ද බාහිර පීඩනනයකට යටත් වූ කල ඒවායේ පෘෂ්ඨ හරහා විභව අන්තරයක් හටගනී. මෙ‍ම සංසිද්ධිය පීඩ විද්‍යුත‍ය වශයෙන් හැඳින්වේ.

ග්‍රීක භාෂාවේ piezein යනු තද කරීමයි. මෙම සංසිද්ධිය 1880 දී පියරි හා ජැක්ස් කියුරි විසින් සොයාගන්නා ලදී. මෙම ආවරණය පරස්පර ලෙස පීඩ විද්‍යුත් ද්‍රව්‍යයක් විද්‍යුත් ක්ෂේත්‍රයකට භාජනය කළ විට එහි හෞතික මාන යම් ප්‍රමාණයකින් වෙන්වීම සිදු වේ.

මෝරුන් වැනි සමහර ජීවින් “විද්‍යුත් ප්‍රතිචාර” යන හැකියාව මගින් විද්‍යුත් ක්ෂේත්‍ර‍ෙය් වෙනස් වීම් හඳුනාගෙන එයට ප්‍රතිචාර දැක්විය හැක. සමහරක් ජීවීන් විද්‍යුත් ජනනීය ජීවීන් වන අතර ඔවුහු ආරක්ෂාකාරී හෝ ප්‍රහාරක ආයුධයක් වශයෙන් විද්‍යුතය නිපදවා භාවිතයට ගනිති. ‘විදුලි ආඳා’ ඇතුළත් වන ජම්නොටිෆෝම් ගෝත්‍රයේ ජීවීන්ට විද්‍යුත් ජනක සෛල ලෙස හැඳින්වෙන විශේෂ‍ෙයන් සැකසුණු පේෂී සෛලවල නිෂ්පාදිත අධික වෝල්ටීයතාවන් ඇසුරින් ඔවුන්ගේ ගොදුරු ආවරණය කරගැනීම හෝ අඩපන කිරීම කළ හැක. ස්නායු පද්ධතියේ ස්නායු සහ පේෂීන් අතර සන්නිවේදනයට උපකාරී වන ක්‍රියා විභවයන් ලෙස හැඳින්වෙන විද්‍යුත් ස්පන්දයක් ඇසුරෙන් සියළු ජීවීන් සිය සෛල පටල /ප්ලාස්ම ඹස්සේ තොරතුරු සම්‍ප්‍රේෂණය කරති. (මෙම මුලධර්ම හේතුවෙන් විදුලිසැර වැදීමක් මගින් ස්නායු පද්ධතිය අධිභාරයකට ලක්වී‍මෙන් ජීවියෙකු තාවකාලිකව හෝ ස්ථිරවම අංශභාග තත්වයකට භාජනය විය හැක.) මෙම පද්ධතීන් සමහර ශාකවල සම්බන්ධීකරණ ක්‍රියාවලිය සඳහා ද වැදගත් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=විද්‍යුතය&oldid=689424" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි