මාරයා (බුදුදහම)

විකිපීඩියා වෙතින්
(මාරයා වෙතින් යළි-යොමු කරන ලදි)

වෙසක් පුන් පොහෝ දිනෙක ලොවක් සැනසූ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ දස මර සෙන් පරදවා බුද්ධ රාජ්‍යයට පත්වූ සේක. උන්වහන්සේ තම අත්දැකීම් අනුව අපට වදාළේ මිනිස් ලොව, සදෙව් ලෝ තල හා සතර අපාය යන එකොළොස් කාම භූමි මාරයාගේ විෂයය ක්ෂේත්‍රය වන බවයි.

එම ලෝකවල මාරයාගේ ආධිපත්‍යය පවතින හෙයින් මරු පරදවා ජය ගතයුතු බව උන්වහන්සේ අපට ඉගැන්වූහ. කොරෝනා ව්‍යසනය හමුවේ අසරණ වී පණ ගැහෙමින් වෙව්ලමින් සිටින ලෝකයා මරුගෙන් ගැළවෙන මං මෙහොතක් පාසා සිතමින් ළතැවෙන මෙම අවධියේදී මරයා යනු කවරෙක්ද? ඔහුගේ ස්වභාවය හා කාර්යභාරය කුමක්ද යන්න තේරුම් ගැනීම ඉතා වැදගත් ය. මෙම වෙසක් පුන් පොහෝ දිනය ඊට සුදුසුම අවස්ථාවකි.

බුදුදහම හා බෞද්ධ සාහිත්‍යය අනුව මාර සංකල්පයට දාර්ශනික මෙන්ම සාහිත්‍යමය අරුතක් ද ඇත. එම කරුණ පැහැදිලි කිරීමට පෙර කිවයුතු කරුණක් වේ. එනම් මාරයා පිළිබඳ අදහස බුදුදහමේ පමණක් නොව ඍග් වෛදික යුගය තරම් ඈත අතීතයේ සිට ආගමික ඉතිහාසයේ කතා වී ඇති බවයි. එසේම බොහෝ ආගම් හා පෙරපර දෙදිග බොහෝ සාහිත්‍යයන්හි ද මාරයා පිළිබඳ අදහස සාකච්ඡාවට බඳුන් වී ඇත. උගතුන්ට අනුව බුදුදහමෙහි මරණයට පුද්ගලත්වාරෝපණයක් කොට මාරයා යන්න අර්ථකථනය කොට ඇත. එහෙත් එය එපමණකින්ම තේරුම් ගැනීම ප්‍රමාණවත් නොවේ.

බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල දැක්වෙන පරිදි මාරයා පාපියෙකි. ඔහු කුසලය වළක්වන්නෙකි. අකුසලයට පොළඹවන්නෙකි. සිත වික්ෂිප්ත කරන්නෙකි. එසේම ඔහු විනාශයේ සලකුණකි. බුදු දහමෙහි නිරූපිත මාරයා අටුවා ග්‍රන්ථවල දාර්ශනික අරුතකින් පැහැදිලි කිරීමේ දී පස් වැදෑරුම් කොට දක්වා ඇත.

එයින් පළමුවන ස්කන්ධ මාර යන්නෙන් පඤ්චස්කන්ධය අදහස් කෙරේ. දෙවැන්න කිලෙසමාර වන අතර එයින් අදහස් වන්නේ කෙලෙසුන් ය.

තුන්වැන්න අභිසංඛාර මාර නම් කර්ම රැස් කිරීම ය.

සිවුවැන්නා මච්චුමාර නම් වේ එනම් මරණයයි. පස්වැන්නා දෙවපුත්තමාර නම් වේ. එනම් වසවත්ති නම් දිව්‍ය ලෝකයේ වෙසෙන දාමරික දිව්‍ය පුත්‍රයෙකි.

මෙම පස් මරුන් අතරින් සාමාන්‍ය ලෝකයේ අප අතර වැඩි වශයෙන්ම මාරයා යන්නෙන් වටහා ගැනීමට කැමති වී ඇත්තේ මාරයා යනු මරණය බවයි. මාරයා කවර මොහොතක අප වෙත පැමිණේ දැයි අපි නො දනිමුයි බොහෝ අය විසින් පවසනු ඔබ අසා ඇත. අප කවර විස්කම් පෑවද අපට මාරයා හෝ මරණයට අභියෝග කළ නොහැකි බව අපි හොඳීන්ම දනිමු. බුදුදහම පිළිගන්නා පරිදි අප වෙසෙන මෙම සමස්ත ලෝකයම මාරයාගේ නියෝගයට යටත් ය. මරණයේ ස්වභාවය මැනවින් අපට වටහා දීම සඳහා ඊට පුද්ගලත්වාරෝපණයක් කොට මාරයා ලෙස නම් කොට ඇත. එහෙයින්ම බුද්ධ දේශනාවල මරණය මච්චුරාජ, අන්තක, නමුචි යනාදී නම්වලින් දක්වා ඇත. ලෝකය මරණයේ අණසක යටතේ පවතින නිසා බෞද්ධ ග්‍රන්ථවල මෙම ලෝකය මාරධෙය්‍ය සහ මච්චුධෙය්‍ය යන විශේෂ නම්වලින් හඳුන්වා ඇත.

මේ හැරුණුවිට වසවත්ති නම් දෙව්ලොව දේවපුත්‍රයකු ද මාරයා ලෙස දක්වා ඇත. මොහු ඔහුම හඳුන්වා ගන්නා පරිදි කාම ලෝක තම වසඟයෙහි තබා ගන්නා වූ අධිපතියා ය. එනිසාම ඔහුට කාමධාතුරාජ යනුවෙන් හඳුන්වනු ලැබේ. එසේම ඔහු ශක්‍රයා හා මහාබ්‍රහ්මයා තරම් බලවත් කෙනකු ද වේ. කුසලයට ප්‍රතිපක්ෂ කරමින් අකුසලයට පොළඹවමින් ලෝකයා වික්ෂිප්ත බවට පමුණුවා එකිනෙකා අතර ගැටුම් නිර්මාණ කිරීම ඔහු විසින් කරනු ලැබේ. විශේෂයෙන් උසස් ආධ්‍යාත්මයක් ඇති පුද්ගලයන්ට බාධා හිංසා කිරීමක් ද මොහුගෙන් සිදුවේ.

කිලෙසමාර යනුවෙන් ද බුදු දහමෙහි මාරයා හඳුන්වා ඇත. එබැවින් කෙලෙස් යනු මරයාගේ හෙවත් මරණයේ නැතහොත් විනාශයේ උපකරණ වේ. අප තුළ ඇති වන ලෝභ, ද්වේෂ, රාග ආදී අනේකවිධ ක්ලේශයන් අප සැලකිය යුතු වන්නේ මාරයා විසින් කරනු ලබන ක්‍රියාකාරකම් වශයෙනි.

බුදුන් වහන්සේ එක් අවස්ථාවක මාරයා හමුවේ පැවසූයේ තමා දසමාර සේනාව මැනවින් හඳුනන බවයි. ඒ අනුව කාමය පළමු සේනාව බවත්, පිනට කුසලයට නො ඇලීම දෙවන සේනාව වන බවත් ආදී වශයෙන් කෙලෙස් සේනා මරුගේ සේනාවන් බව පෙන්වා දී ඇත.

එම නිසා අප තුළ ඇති වන කෙලෙස් කිසි ලෙසකින්වත් අපට හිත මිතුරු යහපත උදා කරවන දේ ලෙස ඇලුම් නොකළ යුතු ය. දිනෙන් දින කෙලෙසුන් සමඟ ඇති ළබැඳීයාවෙන් ඈත්විය යුතු ය.

සිද්ධාර්ථ බෝධිසත්ත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සඳහා ප්‍රධන් වීර්යය වඩද්දී ඊට බාධා පමුණුවමින් මාරයා පුද්ගල වේශයෙන් පෙනී සිට තණ්හා රතී රඟා යන මර දූවරුන් මෙහෙයවා එය ද අසාර්ථක වූ කල්හී වෙනත් නොයෙක් බාධා පැමිණ වූ බව බෞද්ධ මූලාශ්‍රයයන්හි සඳහන් වේ. එම විස්තර පිරික්සීමේ දී බදු දහමෙහි ඉගැන්වෙන මාරයා යනු හුදු මනඞකල්පිත සංකල්පයක් ම නොවේ. බුදුන් වහන්සේ මාරයාගෙන් ලද අභියෝග හා ඊට මුහුණ දුන් ආකාරය ඉතා පැහැදිලි ය. එපමණක් නොව මාරයා සම්බන්ධ බෞද්ධ කියවීම කෙසේ විය යුතු දැයි සූත්‍ර ගණනාවක ම බුදුරදුන් දේශනා කොට ඇත.

බුදුන් වහන්සේට පවා නොපෙනී සිටීමට මාරයා වග බලා ගත් බවත් බදුන් වහන්සේ හෝ බුද්ධ ශ්‍රාවකයකු විසින් ඔහු හඳුනාගත් බව දැනගත් සැනෙකින් මරු අතුරුදන් වූ බවත් බොහෝ සූත්‍රවල සඳහන් වේ.

ආධ්‍යාත්මික දියුණුවක යෙදෙන මිනිසකුට මරුගෙන් වන අභියෝග හමුවේ නොසැලී සිටීමට සිදුවේ. බුද්ධ චරිතය ඊට හොඳම නිදසුනයි. මාර සංයුත්තයේ පමණක් සූත්‍ර විසි පහක බුදුන් අබියස සිදුවූ මාරයාගේ එබඳු ක්‍රියාකාරකම් ගැන සඳහන් වේ. මරුගේ බාධා, හිරිහැර, කරදර, ප්‍රේමාන්විත විධියකට හෝ ව්‍යසනාපන්න ලෙසින් ඔබ වෙත පැමිණිය හැකි ය.

එදා අබිනික්මන් කොට බුද්ධත්වය කරා යන ගමනේ දී සිද්ධාර්ථ ගෞතම උතුමාණන් වහන්සේට මාර දියණියෝ ප්‍රේමාන්විත ලෙස ආහ. එය බෝසත්හු මැනවින් ජය ගත්හ.

නාග, යක්ෂ, ගව මහිෂාදී සත්ත්ව වේෂයෙන් ද හිරිහැර කළහ. සය වසක් දුෂ්කර ක්‍රියා කොට කෘශ වූ ගතින් සිටි බෝසතුන් වෙත වරක් පැමිණි මාරයා උන්වහන්සේගේ මනස තුළ මානසික යුද්ධයක් ඇති කිරීමට වෑයම් කරමින් මෙසේ කී ය.

ඔබ ඉතා කෘශ වී සුදුමැලි වී ඇත. දැන් ඔබ මරණයේ අබිමුව සිටී. මරණයෙන් බේරී සිටීමට ඇත්තේ දහසකින් පංගුවක් තරම් ඉඩකි. එහෙත් ජීවත්වීම සඳහා ඉතා සුළු අවස්ථාවක් ඔබට ඉතිරිව ඇත. උතුමාණෙනි, ජීවත්වීම උතුම් ය. ජීවත් වුවොත් පින් කළ හැකි ය. එබැවින් එන්න, දුෂ්කර ක්‍රියා නවතා ජීවත් වන්න යනුවෙනි.

එහෙත් භවගත ව වඩන ලද බුද්ධිය ධෛර්යය වැනි ගුණාංග සමුදායකින් යුතු සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මර සෙනඟ පිරිවරා සිටි මරු සමඟ අවසන් සටනෙහි යෙදුණු අයුරු බෞද්ධ මූලාශ්‍රයන්හි අපූරු අයුරින් නිරූපිත ය. ඒවායෙහි මෙසේ දැක්වේ. එකල්හි මාර දිව්‍යපුත්‍රයා සිද්ධාර්ථ කුමරු මාගේ විෂයය ඉක්මවා යනු කැමැත්තේ ය. ඔහුට කාම විෂය ඉක්මවා යා නොදිය යුතු යැයි දහසක් අත් මවා ගිනිගෙන දිලිසෙන නොයෙක් ආයුධ ගෙන යොදුන් එක්සිය පණහක් පමණ වන ගිරිමේඛලා නම් ඇතකු පිට නැඟී ඉදිරියෙන්, වමෙන් හා දකුණෙන් දොළොස් යොදුන් හා පිටුපසින් පිට සක්වල දක්වා පොළොව පැළී යන තරම් ගොර බිරම් මහ හඬ ඇති මර සෙනඟ පිරිවරා පැමිණ සිද්ධාර්ථ කුමරුව ගන්ව, අන්ව, විදුව, පයින් අල්වා පර සක්වල ගසවයි අණවමින් ආයේ ය.

ඒ දැක දෙව් බඹහු පවා හිස් ලූ ලූ අත පළා ගියහ. තැතිගත් මහකෙළ නම් නාරජ පොළොවෙහි කිමිඳ පන්සීයයක් යොදුන් මන්දේරික නම් නාග භවනයට ගොස් මුහුණ වසා නිදා ගත්තේ ය. බෝසත්හු “දස පාරමිතාවෝ මා විසින් බොහෝ කලක් පෝෂණය කළ යෝධයෝ වැන්නාහ” යැයි සිතා පාරමිතා බලයෙන් මර බල මැඬිය යුතු යැයි සිතා පෙරුම් දම් සිහි කරමින් වැඩ හුන්හ. එකල්හි මර සෙනඟ විසින් අහසින් එවන ලද දුනු හී අවි ආයුධ මල් මාලා බවට පත්ව බෝසතුන් පාමුල පතිත විය. අවසන්හි මරහු විසින් එවන ලද බිහිසුණු චක්‍රායුධය පුෂ්පමය ඡත්‍රයක් මෙන් පිහිටියේ ය. මෙබඳු දහසක් දෑ කළ ද සේනා සහිත මරුට බෝසතුන්ගේ එක් රෝම කූපයකුදු සෙළවීමට නොහැකි විය.

දෙව් බඹුන් නර නාගයන් සහිත ලෝකයේ ආධ්‍යාත්මික මහා පුරුෂයකු විසින් ලැබිය හැකි උතුම්ම පදවිය වන බුද්ධත්වය සාක්ෂාත් කරනු වස් ලොව්තුරා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මිනිස් සිතකින් සිතිය නොහැකි තරමේ බිහිසුණු සටනක් දස මර සෙන් සමඟ සිදු කළහ.

එබැවින් මාරයා සහ මාර බලවේග පිළිබඳ දහමෙහි සඳහන් කරුණු අප මැනවින් වටහා ගත යුතු වන්නේ අපගේ දෙලොව පිහිට සඳහා ය. කෙලෙස් වශයෙන් හෝ යක්ෂ හා මනුෂ්‍ය වේෂයෙන් හෝ සුනඛ නාග ආදී වෙනත් සත්ත්ව වේෂයකින් හෝ මරු අප ඉදිරියේ පෙනී සිටිය හැකි ය. අපගේ මනස විපරීත කිරීම, ආගමික භක්තිය නැසීම, මානසික ශක්තිය බිඳ දැමීම, කුසලයෙන් ඈත් කිරීම, අකුසලයට බර කිරීම හෝ ආධ්‍යාත්මික ශක්තිය බිඳ දැමීම ඔහුගේ අරමුණ ය. එබැවින් මාරයා හඳුනා ගැනීමත් ඔහුගේ මායාවන් හා සැහැසිකම් හමුවේ අප විසින් කළ යුත්තේ කුමක් ද යන්න තීරණය කිරීමත් ඔබ හා මා සතු වගකීමකි.

"https://si.wikipedia.org/w/index.php?title=මාරයා_(බුදුදහම)&oldid=524646" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි