මිහිකත දිනය

විකිපීඩියා වෙතින්
(ම්හිකත දිනය වෙතින් යළි-යොමු කරන ලදි)

අප්‍රේල් 22 පෘථිවි දිනය, පරිසර සංරක්ෂණය සඳහා සහය දැක්වීම සඳහා ලොව පුරා සමරනු ලබන ජාත්‍යන්තර උත්සවයකි. 2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාවක් අනුව නම් කරන ලද මෙම දිනය “පොළව මත ඇති සියළුම ජීවීන්ගේ පැවැත්ම තහවුරු කරන පද්ධතියක් ලෙස මිහිතලය සැලකීම” යන්න අරමුණු කර ගෙන ඇත. 1970 අප්‍රේල් 22 දින ජගත් මිහිතල දිනය ප්‍රථම වරට එක්සත් ජනපදයේදී සමරන ලදී. ඒ සඳහා, හේතු පාදක වූයේ යුරෝපීය ජාතීන් විසින් සිදු කරන ලද අධික සම්පත් පරිභෝජනය හේතුවෙන් සිදුවූ වායු දූෂණය සහ ජල දූෂණය හේතුවෙන් මානව සෞඛ්‍ය සඳහා එල්ලවූ තර්ජන මඟහරවා ගැනීම සඳහා ජනතාව පෙළගැසීමයි. අද වන විට රටවල් 193ක බිලියන 1 ක පමණ ජනතාව මිහිකත දිනයට සහභාගී වී පරිසරය සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කරගෙන පෙළ ගැසෙති.

ජගත් මිහිතල දිනයේ ආරම්භය හා විකාශනය[සංස්කරණය]

ලොව පළමුවරට මිහිතල දිනය සැමරුනේ 1970 වර්ෂයේදීය. මේ සඳහා පුරෝගාමී වී කටයුතු කරන ලද්දේ ඇමරිකානු සෙනෙට් සභිකයෙකු හා පරිසරවේදියකු වු ගේලෝඩ් නෙල්සන් නැමැත්තෙකි. ඔහු හා හාවඩ් විශ්වවිද්‍යාලයේ දේශපාලනිකව ක්‍රියාකාරී සරසවි සිසුවෙකු වූ ඩෙනිස් හේස් විසින් මිහිතල දිනය වශයෙන් අප්‍රේල් 22 යොදාගන්නා ලදි. ඔවුන් විසින් 1970 අප්‍රේල් මස 22 දින දහස් ගනන් ජනතාව විදීවලට ගෙන්වා ඇමරිකාවේ පැවති පරිසර විනාශය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරවීමේ අරමුණින් මිහිතලය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රමදාන හා පෝස්ටර් ව්‍යාපාර ඇතුළුව සංවිධානය කරන ලද සාමකාමී පරිසර අරගලයක් ලෙස මිහිතල දිනය ආරම්භ කර ඇත. මෙහිදී එකල පැවති වියට්නාම් යුද්ධයෙන් සිදු වන පරිසර විනාශය පිළිබඳ ජනතාවගේ අවධානය යොමු නොවන බව දුටු ඔහු, දුමාරය,තෙල් වැගිරීම් හා කෘමිනාශක ආදීයෙන් පෘථීවියට සිදු වන හානිය සම්බන්ධයෙන් අවධානය යොමු කරවන ලදී. මේ සඳහා ඇමරිකානුවන් මිලියන විස්සක් පමණ සහභාගි වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසර කිහිපයක් තුළ ඇමරිකාවේ පරිසර සංරක්ෂණයට අදාළ අණ පනත් ගණනාවක් ඇති වු අතර ඒ සඳහා වගකිව යුතු ආයතන කිහිපයක් ද ස්ථාපනය කිරීමට ද අවධානය යොමු කර තිබෙන බව පිළිගනී.

මෙම මිහිතල දිනය ඇමරිකාව තුළ ආරම්භ වුවද පසුව ලොව දසත ව්‍යාප්ත වු සංකල්පයකී. 1980 දශකයේ සිට සෑම වසරකම අප්‍රේල් මස 22 වැනි දිනය මිහිතල දිනය ලෙස සැමරීමට ලොව පුරා රටවල් රැසක් අවධානය යොමු කර ඇත. 1990 වන විට ලොව පුරා රටවල් 141ක පුද්ගලයින් මිලියන 200ක පිරිසක් මෙම දිනය සැමරිමට එක්විය. 2000 වසර වන විට ලොව පුරා පරිසර සංවිධාන 5000ක දායකත්වයෙන් රටවල් 184ක ලෝක මිහිතල දිනය සමරන  ලදී. එහෙත් මෙම දිනය එක්සත් ජාතීන් ගේ දිනයක් සේ නොසැලකේ. නමුත් 2009 වසරේ දී 'ජාත්‍යන්තර මිහිතල මාතා දිනය' යනුවෙන් හැඳින්වෙන්නේ ද අප්‍රේල් 22 වන දිනයයි. මෙය එක්සත් ජාතීන්ගේ සංවත්සර දිනයකි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2009 වර්ෂයේ දී සම්මත කරන ලද යෝජනාවක් අනුව මෙම දිනය නම් කරන ලදී. එහි අරමුණ "පොළව මත ඇති සියලුම ජිවීන්ගේ පැවැත්ම තහවුරු කරන පද්ධතියක් ලෙස මිහිතලය සැලකීම" යන්නයි.

ජගත් මිහිතල දිනයට අපට ලබාදිය හැකි දායකත්වය[සංස්කරණය]

  • දේශගුණික විපර්යාසයන්ට හේතුවිය හැකි ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් වෙමු .
  • ගෙවත්තේ, පාසලේ හෝ සුදුසු ස්ථානයන්හි නිසි පරිදි රුක් රෝපණය කරමින් රෝපණය කරන ලද ශාක නිසිපරිදි නඩත්තු කරමු.
  • පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කරමු.
  • බලශක්තිය සංරක්ෂණයට පියවර ගනිමු.
  • හැකි සෑම විටම පොදු ප්‍රවාහන ක්‍රම භාවිතයට නැඹුරුවෙමු.
  • පරිසර හිතකාමී බලශක්ති ප්‍රභව වෙත යොමු වෙමු.
  • අහිතකර පරිසර තත්ත්වයන්ට ඔරොත්තුදීමේ හැකියාව සහිත බෝග වර්ග හා ජීවී විශේෂ සංරක්ෂණය කරමු. අදාළ ප්‍රදේශවලට හදුන්වාදෙමු.
  • ජීවී විශේෂයන්ගේ පැවැත්මට හානිකර ද්‍රව්‍ය (උදා- කෘෂි රසායන) භාවිතයෙන් වළකිමු/ අවම කරමු.
  • නිසි පරිදි කසළ බැහැර කරමු.
  • හැකි සැමවිටම පරිසර හිතකාමී භාණ්ඩ භාවිතා කරමු.
  • පරිසර පද්ධතිවලට හානිවන ක්‍රියාකාරකම්වලින් වලකිමු.
  • ස්වභාවික සම්පත් අධිපරිභෝජනය සීමා කරමු..
  • ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණයකර ජල සම්පත් කළමනාකරණය කරමු.
  • වගකීමෙන් යුතුව පරිසර වින්දනය කරමු.
  • පරිසරය පිළිබඳව නිසි පරිදි දැනුවත් වීම හා අන්අයටත් එම දැනුම ලබාදෙමු.
  • සරල දිවිපෙවතක් ඇතිකරගනිමු
  • මිහිකත දිනය, අපගේ පරිසර පද්ධතිය කෙතරම් අස්ථාවර විය හැකිද, සහ අපගේ ක්‍රියාවන් අප ජීවත් වන ලෝකයට ධනාත්මක හෝ ඍණාත්මක ප්‍රතිවිපාක ඇති කළ හැකිද යන්න සවිඥානක සිහිගැන්වීමක් ලෙස ක්‍රියා කරයි. අපගේ නිවස හෙවත් පෘථිවිය ආරක්ෂා කර ගැනීමට අප විසින් කළ යුතු දේ පිළිබඳව අපව ගොඩනංවයි, සහ අපගේ ලෝකයට අප විසින් දැනටමත් සිදු කර ඇති සියලුම හානිය සම්බන්ධයෙන් සහ එම හානියන් අවම කොට මිහිකත සුව කිරීමට අපට දැන් කළ හැකි දේ පිළිබඳව කතිකාවතක් ගොඩ නැගීමේ අවශ්‍යතාව සිහි කරවයි
"https://si.wikipedia.org/w/index.php?title=මිහිකත_දිනය&oldid=659467" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි