පළමු උඩරට යුද්ධය

විකිපීඩියා වෙතින්
(පළමු උඩරට යුද්ධය 1803-1805 වෙතින් යළි-යොමු කරන ලදි)

ක්‍රි.ව. 1803-1805 දක්වා පැවතිණි. මහනුවරට ආසන්න ප්‍රදේශද, උඩරට රාජධානියේ බොහෝ ප්‍රදේශ කඳු සහිතය.ඝණ කැලෑවෙන් යුක්ත විය. එමෙන්ම මැලේරියාව බහුල ප්‍රදේශයකි. මහනුවරට යන මාර්ගය ඉතා හොඳින් ආරක්ෂාව සපයා තිබුණු අතර මාර්ග විස්තර රහසිගතව පැවැතියේය.

පළමු උඩරට යුද්ධය කඩිනම් වූයේ ශ්‍රී වික්‍රම රජුගේ අමාත්‍යවරයෙකුගේ කුමන්ත්‍රණ හේතුවෙනි. එකී අමාත්‍යවරයා බ්‍රිතාන්‍යයන් වෙතට පලාගොස් උඩරට රාජ්‍ය තුළ තිබෙන වංගු සහිත කඳුවල කපොලු අතරින් ගොස් අගනුවරට පිවිසෙන ආකාරය පෙන්වා දීමට පොරොන්දු වූයේය. මේ බව ආරංචි වී කෝපයට පත් රජතුමා එම අමාත්‍යවරයාගේ පවුල ඝාතනය කළේය.

‍බ්‍රිතාන්‍යයන් වෙන වෙනම මාර්ග දෙකකින් ඔවුන්ගේ හමුදාව උඩරට බලා පිටත් කර යැවූහ. එකක් මේජර් ජෙනරාල් හේ මැක්ඩොවල් (Hay Macdowell) යට‍ෙත් කොළඹින් ද, අනෙක කර්නල් බාර්බුට් (Barbut) යටතේ ත්‍රිකුණාමලයෙන් ද වශයෙනි. මෙම හමුදාවලට මැලේ 1 වෙනි ලංකා රෙජිමේන්තුව, සිංහල දෙවැනි ලංකා රෙජිමේන්තුව, මිශ්‍ර සිංහල මැලේ තුන්වෙනි රෙජිමේන්තුව ඇතුළත් විය. මහනුවර හමුදා‍වේ මැලේ ජාතික (මුස්ලිම්) කුමාරයෙකු වූ සංගුං‍ග්ලෝ යටතේ එක් සහාය හමුදාවක් තිබුණේය. මෙය විශේෂිත කාරණාවක් විය. එයින් පෙන්ණුම් කළේ උඩරට හමුදාව විවිධ ජන වර්ගයන්ගෙන් ද යුක්ත වූ බවයි. දරුණු සටනකින් පසු 1803 පෙබරවාරි මසදී සෙංකඩගලට ඇතුළු වූ බ්‍රිතාන්‍ය හමුදාවට එය පාලුවට තිබෙන බැව් පෙනී ගියේය. ඔව්හු ඉතා ඉක්මණින් බලකොටුවක් පිහිටුවා මුත්තුසාමි නම් රූකඩ රජෙකුට ඔටුණු පැළැන්දූහ. අනතුරුව ඔව්හු ඉතිරි පෙදෙස් යටත් කර ගැනීම සඳහා ඉදිරියට ගියහ.

බ්‍රිතාන්‍යයන් මුලදී ජයග්‍රහණය ලැබුව ද ඉන්පසු පසු බැසීම් කීපයකට මුහුණ දීමට ඔවුනට සිදු විය. බ්‍රිතාන්‍යයන්ට උඩරටට ඒමට මාර්ගය පෙන්වා දුන් ඇමතිට, රජු ලබා තිබුණු මහජන අප්‍රසාදය මහත් ලොකු රුකුලක් විය. උඩරට හමුදා ගරිල්ලා සටන් ක්‍රමවල පිහිට පැතූහ. (මෙම ගරිල්ලා සටන් ක්‍රම ඔවුහු ලන්දේසීන්ට හා පෘතුග්‍රීසීන්ට ද එරෙහිව කළින් පාවිච්චි කර තිබුණේය.) එහෙත් ඉංග්‍රීසීන් පලවා හැරීම දුෂ්කර විය. නගරය ආරක්ෂා කිරීමට නවතා තිබූ හමුදා භට පිරිස් ලෙඩරෝගවලට ගොදුරු වූහ. සමහර විට විශාලතම ප්‍රශ්නය වූයේ ස්වදේශීය කුළී හේවායින් පලාගොස් උඩරට හමුදාවට එක්වීමයි. මෙයට මැලේ සම්භවයක් තිබුණු විලියම් ඔ'ඩීන් නම් සෙබලෙකු ද එක් විය. ඔහු අවුරුදු ගණනාවකට පසු ඕස්ට්‍රේලියාවට පිටුවහල් කරන ලද්දේය. එසේ කරනු ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ඔහු විය.

උඩරට හමුදා මාර්තුවේදී ප්‍රතිප්‍රහාර එල්ලකොට නැවත සෙංකඩගල අත්පත් කර ගත්හ. බාර්බුට් සිරභාරයට ගෙන මරණ දඬුවම දුන්නේය. නග‍රයේ නවත්වා සිටි බ්‍රිතාන්‍ය භට පිරිස එක් අයෙකු හැර සහමුලින් විනාශ කරන ලදහ. මෙම කතන්දරය කීමට ඉතිරි වූයේ 19 වෙනි පාබල හමුදාවේ කෝප්රල් ජෝර්ජ් බ්‍රැන්ස්ලි පමණි. (වෙනත් මූලාශ්‍රවල කියවෙන්නේ ඉතිරි වූ පිරිස් සිව්දෙනෙකු ලෙසයි.) මේ අතර, පසුබසිමින් සිටි බ්‍රිතාන්‍ය හමුදාව උතුරා පිටාර ගලමින් තිබූ මහවැලි ගං ඉවුරේදී පරාජයට පත් කරන ලදී. පණ බේරාගත්තේ සිව් දෙනෙකු පමණි.

බ්‍රිතාන්‍යයන් මෙසේ පසුබෑමට ලක්වුවද ඔවුන් අල්ලා ගෙන සි‍ටි (පහතරට) පෙදෙස්වල ඔව්හු බලවත් වූහ. වසර අවසානයේ කෙරුණු උඩරට හමුදාවේ ප්‍රතිප්‍රහාරවලින් එය ඔප්පු විය. කලින් සටනේදී අල්ලාගත් රාත්තල් හයේ කාලතුවක්කු ස්වල්ප ප්‍රමාණයකින් සන්නද්ධව උඩරට හමුදා කඳුකර ගිරි දුර්ග පසු කරමින් හංවැල්ල දක්වා ඉදිරියට ආහ. අති විශිෂ්ට බ්‍රිතාන්‍ය වෙඩි බලය ඉදිරියේ සම්පූර්ණයෙන් පැරදී පලායාමට උඩරට හමුදාවට සිදුවිය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට කඳුකරය දක්වා පසුබැසීමට එම ප්‍රහාරයන් ප්‍රබල විය. උඩරට හමුදා එන බව අසා බ්‍රිතාන්‍යයන් සතු පෙදෙස්වල ඇතිවූ කැරැල්ලක් ද මැඩ පවත්වන ලදී.

ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝර්ත්(1798-1805) උඩරට දේශ සීමාව කෙරේ තම බලපෑම් පවත්වාගෙන ගියේ බොහෝ වරක් ප්‍රහාර එල්ල කරමිණි. ඔහු 1804 කපිතාන් ආතර් ජොන්සන් යටතේ සෙංකඩගල දෙසට හමුදාවක් යැව්වේය. පසුගිය වසර දෙසීයක් තිස්සේ සිදු වූ අයුරින්ම උඩරට හමුදාව විසින් තවත් වරක් බ්‍රිතාන්‍ය හමුදාව පරාජයට පත්කරන ලදී. ඒ උඩරැටියන් තමන්ගේ ගෙදර ලෙස හැඳින්වූ උඩරට පෙදෙ‍සේ දීය. 1805 දී පෙර ජයග්‍රහණයෙන් ධෛර්යය ලැබූ ඔව්හු මායිම් නගරයක් වූ කටුවන අල්ලා ගත්හ. මෙම ජයග්‍රහණය සහ 1803 දී මහවැලිය අසලදී ලද ජයග්‍රහණය ද උඩරට අන්තිම සාර්ථක අර්ථවත් ජයග්‍රහණයන් විය.

පළමු උඩරට යුද්ධය අවසාන වීමෙන් පසු නිල වශයෙන් ඒ බවට ගිවිසුම් අත්සන් නොකෙරුණ ද ජෙනරාල් ‍තෝමස් මේට්ලන්ඩ් ලංකාවේ ආණ්ඩුකාරයා ලෙස 1805 දී පත් කිරීම සාමාන්‍යයෙන් විවෘත සටන්වල ප්‍රථම පියවරෙහි අවසානය ලෙස පිළිගනු ලැබිණ.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Kandian_Wars#The_First_Kandyan_War.2C_1803-1805

"https://si.wikipedia.org/w/index.php?title=පළමු_උඩරට_යුද්ධය&oldid=471898" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි