විකිපීඩියා:පංචස්තම්භ

විකිපීඩියා වෙතින්

විකිපීඩියාව ක්‍රියාත්මක කිරීමට උපයෝගී කරගන්නාවූ මූලික මූලධර්මයන් "පංචස්තම්භ" ලෙසින් සාරාංශ ගත කොට ඇත:

විකිපීඩියාව වනාහි සාමාන්‍ය විශ්වකෝෂ, විශේෂිත විශ්වකෝෂ හා පංචාංග යන මේවායෙහි මූලිකාංග අන්තර්ගගත කරගත් විශ්වකෝෂයකි. විකිපීඩියාවෙහි පළ කෙරෙන සියලු ලිපි, උත්පාදක පර්යේෂණ ඇතුළත් නොකිරීම පිළිබඳ අපේ පිළිවෙත අනුගමනය කර යුතු අතර, තහවුරු කරගත හැකි අන්දමේ නිරවද්‍යතාවක් පවත්වාගෙන යාමට තැත් කළ යුතු වේ: මූලාශ්‍ර රහිත කොටස් ඉවත් කෙරෙන හෙයින් කරුණාකර ආශ්‍රිත විමර්ශන මූලාශ්‍ර සපයන්න. විකිපීඩියාව යනු පුද්ගලික මත, අත්දැකීම් හෝ තර්කවිතර්ක ඉදිරිපත් කිරීමට උචිත ස්ථානයක් නො වේ. විකිපීඩියාව යනු විභාග නොකළ තොරතුරු එකතුවක් නො වේ. විකිපීඩියාව යනු කථික පීඨිකාවක්, වෙළඳ ප්‍රචාරක වේදිකාවක්, කර්තෘ ප්‍රකාශන ආයතනයක්, අරාජකත්වය හෝ ප්‍රජාතන්ත්‍රය පිළිබඳ අත්හදාබැලීමක් හෝ වෙබ් ඩිරෙක්ටරියක් නො වේ. එය පුවත්පතක් නො වන අතර ප්‍රාථමික මූලාශ්‍ර ලේඛන එකතුවක් ද නො වේ; එවැනි වර්ගවල අන්තර්ගත යොමු කළ යුත්තේ සහෝදර විකිමීඩියා ව්‍යාපෘති වෙතට යි.
 
විකිපීඩියාවට ඇත්තේ මධ්‍යස්ථ දෘෂ්ටි කෝණයකි. ඉන් අදහස් වන්නේ අප මෙහි එන ලිපිවලින් කිසිදු එක් දෘෂ්ටි කෝණයක් ඔසවා තැබීමට වෑයම් නොකරන බව යි. ඇතැම් විට මේ කාර්යයෙහි දී දෘෂ්ටි කෝණ ගණනාවක් ඉදිරිපත් කිරීමත්, ඒ සෑම දෘෂ්ටි කෝණයක් ම නිවැරදි ව ඉදිරිපත් කිරීමත්, දෙන ලද සෑම දෘෂ්ටි කෝණයකට ම අදාළ සන්දර්භය සම්පාදනය කිරීමත්, කිසිදු නිශ්චිත දෘෂ්ටි කෝණයක් "සත්‍යය" හෝ "හොඳ ම දැක්ම" හැටියට හුවා නොදැක්වීමත් අවශ්‍ය වේ. විශේෂයෙන් ම විවාදාපන්න මාතෘකාවල දී, තහවුරු කළ හැකි, අධිකාරසම්පන්න මූලාශ්‍ර කෙරෙන් හැකි සෑම විටක ම කරුණු උපුටාගැනීම මින් අදහස් කෙරේ. අපක්ෂපාතීත්වය පිළිබඳ මතභේද පැන නඟින අවස්ථාවක, සංහිඳියා කාල පරිච්ඡේදයක් ප්‍රකාශයට පත් කොට, ලිපිය මතභේදයට තුඩු දී ඇති බවට සලකුණු කර, ඒ පිළිබඳ තතු සංවාද පිටුවෙහි සවිස්තරාත්මක ව සඳහන් කොට, මතභේද නිරාකරණ ක්‍රමවේද අනුගමනය කරන්න.
 
විකිපීඩියාව යනු ඕනෑම කෙනෙකුට සංස්කරණය කළ හැකි නිදහස් අන්තර්ගතයකි . සියලු ලේඛන GNU Free Documentation License (GFDL) නමැති බලපත්‍රය යටතේ නිදහස් ව පවතින අතර ඊට අනුකූල ව බෙදාහැරීම හෝ සබැඳීම සිදු කිරීමට පුළුවන. විකිපීඩියාවේ ලිපි ඕනෑ ම කෙනෙකුට වෙනස් කිරීමට හැකි බවත් මොන ම නිශ්චිත ලිපියක් හෝ තනි පුද්ගලයකුගේ පාලනයට යටත් නො වන බවත්, එහෙයින් ම, ඔබ එක් කරන ඕනෑ ම ලේඛන කොටසක් අපගේ ප්‍රජාව විසින් ක්ෂමා විරහිත ව සංස්කරණය කිරීමට හා නැවත පළකිරීමට ඉඩ තිබෙන බවත් හඳුනාගන්න. ප්‍රතිරූපණ අයිතිය උල්ලංඝනය කිරීමෙන් හා GFDL බලපත්‍රය සමග නොගැලපෙන බලපත්‍රවලට යටත් දෑ විකිපීඩියාවට එක් කිරීමෙන් වළකින්න.
 
විකිපීඩියාවට ආචාර ධර්ම පද්ධතියක් තිබේ: ඔවුන් හා එකඟ විය නොහැකි අවස්ථාවක පවා ඔබේ සහෝදර විකිපීඩියානුවන්ට ගරු කරන්න. ශිෂ්ටසම්පන්න වන්න. උත්සුකතා පිළිබඳ ගැටුම්, පුද්ගලික ප්‍රහාර හෝ අත්‍යනන්ත සාමාන්‍යකරණයන් වළක්වාගන්න. සම්මුතියකට පැමිණෙන්න, සංස්කරණ යුද්ධ වළකන්න. තුන්-පෙරළුම් රීති අනුගමනය කරන අතර, සිංහල විකිපීඩියාවෙහි 20,424 ක් තරම් ලිපි සංඛ්‍යාවක් වැඩ කිරීමට හා සාකච්ඡාවට තිබෙන බව සිහිතබාගන්න. සද්භාවයෙන් වැඩෙහි යෙදෙන්න; මොන ම විටක වත් කරුණක් පැහැදිලි කිරීම සඳහා විකිපීඩියාව කඩාකප්පල් කරන්න එපා, එසේ ම අන් අය ද සද්භාවයෙන් කටයුතු කරන බව උපකල්පනය කරන්න. විවෘත වන්න; අලුත පැමිණෙන්නන් සාදරයෙන් පිළිගන්න.
 
මෙහි ඉදිරිපත් කෙරුණු පොදු මූලධර්ම පහ හැරුණු විට විකිපිඩියාවට දැඩි රීති පද්ධතියක් නැත. ලිපි සංස්කරණයේ දී, නව ලිපිනයකට ගෙනයාමේ දී හා සංශෝධනය කිරීමේ දී "නිර්භය" වන්න. පරිපූර්ණත්වය අරමුණක් වුව ද එය අනිවාර්ය නො වේ. අත්වැරදීම් ගැන කණස්සලු නොවන්න. ලිපිවල සෑම මුල් ස්වරූපයක් ම සුරක්ෂිත ව තිබෙන හෙයින් ඔබට අත්වැරදීමකින් විකිපීඩියාවට හානි පැමිණවීමට හෝ ආපසු හැරවිය නොහැකි අන්දමින් අන්තර්ගතය මකාදැමීමට ඉඩක් නැත. ඔබ මෙහි ලියන කවරක් වුව ද මතු පරපුර සඳහා සංරක්ෂණය කෙරෙන බව සිහියේ තබාගන්න.
"https://si.wikipedia.org/w/index.php?title=විකිපීඩියා:පංචස්තම්භ&oldid=544801" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි