රෙනේ ඩෙකාට්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
රෙනෙ ඩෙකාට්

Portrait after Frans Hals, 1648[1]
උපත 31 මාර්තු 1596(1596-03-31)
ටුරේන් හි ලා ඒ[2]
මරණය 11 පෙබරවාරි 1650 (වයස 53)
ස්වීඩනයේ ස්ටොක්හොල්ම් දී
ජාතිකත්වය ප්‍රංශ
යුගය 17 වැනි සියවසේ දර්ශනය
ප්‍රදේශය බටහිර දර්ශනය
ගුරුකුලය කාතිසියානුවාදය, යථාර්ථවාදය, පදනම්වාදය
ප්‍රධාන ලැදිකම් පාර භෞතිකවාදය, ඥාන විභාගය, ගණිතය
අත්සන

රෙනේ ඩෙකාට් ප්‍රංශ ජාතිකයෙකි. දාර්ශනිකයෙකි. ගණිතඥයෙකි. නූතන දර්ශනයේ ආරම්භකයා ලෙස හේ සැලකේ. ඔහු වඩාත් ම සුප්‍රසිද්ධ වන්නේ "මම සිතමි, එබැවින් මම ඇත්තෙමි," යන කියමනට ය. මේ පාඨය ඩෙකාට් ඉදිරිපත් කරන ඥාන විභාගයේ හරය වෙයි. එසේම එහි ඔහුගේ දර්ශනයේ ඇති වැදගත් ම කරුණු ද අඩංගු වෙයි. එවක පැවති විද්‍යාත්මක උත්සාහයන් වලින් පෝෂණය වෙන ඩෙකාට් ජෙසුයිට් පාසැලේ දී ලැබූ ස්කොලාස්ටිකවාදයෙන් ද පෝෂණය වී තිබියෙකි. ඒ නිසා අවිනිශ්චිත ද්වෛතයක් ඔහුගේ දර්ශනයෙන් ඉදිරිපත් වෙයි. තර්කානුකූල අතින් අනෙකුත් දාර්ශනිකයන් අභිබවා යන්නට ඔහුට හැකි වූව ද ඔහුගේ දර්ශනය ද්වෛතවාදය ඉදිරියේ දී අසංසන්දන වලට ද හේතු විය. ඩෙකාට් ප්‍රතිවිරුද්ධ වූ දාර්ශනික නිකායන් දෙකක ප්‍රභවස්ථානය ගත්තෙක් ලෙසින් සැලකේ.

පුද්ගලික තතු[සංස්කරණය]

වංශවත් පවුලකින් එන ඩෙකාට්, 1604 සිට 1616 දක්වා ලා ෆ්ලේෂේ හි රාජකීය හෙන්රි-ල-ග්‍රාන්ඩ් නමින් තිබි ජෙසුයිට් පාසැලක ඉගෙනුම ලැබීය. ඩෙකාට් ගේ පියා බ්‍රිට්නියෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූයේය. පියාට හිමි ඉඩම් පියාගේ මරණයෙන් පසු ඩෙකාට් ට හිමි වූවා යැයි සැලකේ. 1612 දී පැරිස් නගරයට යන ඩෙකාට් හුදෙකලා ජීවිතය ප්‍රිය කරන ලද්දෙකි. හමුදාවට බැඳෙන ඩෙකාට් ඕලන්දයේ 1618-1619 දක්වා කාලය ගෙවූ බව සඳහන් වෙයි. ස්පාඤ්ඤය සහ ඕලන්දය අතර සාමකාමී සමයක් වූ බැවින් ඔහු ගණිතය හදාරන්නට තම කාලය වැය කළේය. උදෑසන අවදි නොවෙන, දහවල් තෙක් නිදාගන්නා පුද්ගලයෙක් හැටියට ඩෙකාට් නම් දරයි. 1620 නොවැම්බර් මාසයේ දී ප්‍රාග් නගරය අසල බද වූ වයිට් මවුන්ටන් සටනේ දී ඩෙකාට් බැවේරියාවේ මැක්සිමිලියන් ඩ්‍යුක්වරයාගේ හමුදාවේ සටන් වැදි බව කියැවේ. 1621 දී යුද්ධ අතහැර දමන ඔහු ප්‍රංශයේ වාසය පටන් ගනිමින් යුරෝපයේ සංචාරයන්ට ගියේය. 1627 දී ප්‍රංශයේ හ්‍යුගනොට් බලකොටුවක් වු ලා රොෂෙල් අල්ලා ගැනීමේ මෙහෙයුමට ඩෙකාට් කාඩිනල් රිෂෙලියූ යටතේ සහභාගී වූවා යැයි සඳහන් වෙයි. එහි දී යම් සිත් තැවුලකට ලක්වෙන ඔහු ඕලන්දය තම වාසස්ථානය කරගනු පිණිස එහි යන්නේ ය. 1628 සිට 1649 සැප්තැම්බර් දක්වා ඕලන්දයේ ජීවත්වෙන ඔහු එහි දී හමුවෙන මෙහෙකාර කෙල්ලක් වූ හෙලේනා යන්ස් වැන් ඩ ස්ට්‍රොම් සමඟින් ෆ්‍රැන්සීන් නමින් දියණියක් වැදූ බවත් කියැවේ. 1640 දී දියණිය ආරක්තක උණ හැදී මිය යන්නීය.

විචාරයේ යුගයෙන් පුනරුද යුගයට බසින විද්‍යාත්මක ගවේෂණයේ යෙදෙන විද්වතුන් අතරට ඔහු එකතු වෙන්නේ විශ්ලේෂණ ජ්‍යාමිතිය හඳුන්වා දීමෙනි. පයිතගරස්ගේ අදහස් හැදැරූ අය අතර තිබි සම්ප්‍රදායික බලාපොරොත්තුවක් වූ තල ජ්‍යාමිතිය[4] සහ ශුද්ධ වීජ ගණිතය අතර සබැඳියාවක් පෙන්වන්නට ඩෙකාට් සමත් වෙයි. 1633 දී ඩෙකාට් විසින් තම භෞතික විද්‍යාව ගැන "ලෝකය" නමින් ලියූ පර්යේෂණ කෘතිය මුද්‍රණයට යන අවස්ථාවේ දී ඔහුට ගැලිලෙයෝ ගැලිලි මතක් වෙයි. වසර දාහතකට පෙර (1616) මිථ්‍යා දෘශ්ටීන් නැති කරනු පිණිස වූ කතෝලික සභාව විසින් ගැලිලෙයෝ ආගමික දණ්ඩායනයට ලක් වෙන අන්දම ඩෙකාට් ට සිහිවේ. වහා මුද්‍රණාලය වෙත දිව යන ඩෙකාට්, පෘතුවියේ භ්‍රමණය සහ විශ්වයෙහි අන්තය ගැන ලියූ තම අත්පිටපත ප්‍රකාශන නොකර ඉවත් කර ගන්නා ලදි. ගැලිලෙයෝ සිරගත වූයේ ඔහු නිමැ වූ දුරේක්ෂකයෙන් ජුපිටර් ග්‍රහලෝකයේ කක්ෂය වටා දිවෙන උප ග්‍රහයන් සිටිනා බව කීම නිසා ය. කතෝලික සභාව එකල දැරූ අදහස වූයේ පෘතුවිය විශ්වයේ කේන්ද්‍රස්ථානය බව ය. සූර්යයාගේ කක්ෂය වටා පෘතුවිය ගමන් කරන බව කටකතා වලින් පැතිර ගියත්, පෘතුවියේ කක්ෂය වටා යන චන්ද්‍රයා හේතුවෙන් ඔවුන් කේන්ද්‍රස්ථානය වන්නේ පෘතුවිය යැයි සැකයක් නැතිව ඔප්පු කරත හැකි විද්‍යාත්මක සත්‍යයක් ලෙස සැලකූහ. එහෙත් ගැලිලෙයෝ විසින් ජුපිටර් වටා සිටින උපග්‍රහයන් හතර දෙනෙක් දකින්නට හැකි බව කියද්දී ඔව්හු තම මතය නිශ්ප්‍රභා වේ යැයි අකමැත්තෙන් ගැලිලෙයෝ සිරගත කළහ.

ඩෙකාට් කතෝලික බැතිමතෙකු විය. ඔහුට කතෝලික පල්ලිය හා ආරවුලක් ඇති කරගැනීමට උවමනා වූයේ නැත. ගැලිලෙයෝ අත්විඳි කතෝලික පල්ලියේ දණ්ඩායනය සමාජයට අයහපත් යැයි හේ දැකීය. විද්‍යාවට ඉඩ නොදෙන ආගමික ආඥාදායක්වය නිසා මිනිසාට ආගම අප්‍රසන්න වේ යැයි ඔහු සිතුවේ ය. ඒත් එය ඔප්පු කරනු සඳහා සිරගෙදර යන්නට ඔහු අකමැති විය. ඉතා සූක්ෂම ලෙසින් මුද්‍රණාලයෙන් ඉවත් කරගත් අත්පිටපත ඩෙකාට් අතින් යළි සකස් වෙයි. එය භාවනා නොහොත් පළමු දර්ශනයේ භාවනා යැයි ඔහු නම් කරයි. එසේ නම් කර ඔහු එය පිරිනමන්නේ "පැරිසියේ දේවධර්මය හදාරන පූජනීය පීඨයේ වඩාත් ම ප්‍රඥාවත් හා සත්කීර්තිමත් පීඨාධිපති ඇතුළු ආචාර්යවරු වෙතටයි."[5] ඒ අතරතුර තම හිතවතුන්ට ලියන ඩෙකාට් "මේ භාවනා හයෙන් භෞතික විද්‍යාව ගැන වූ මගේ සියළු ම ප්‍රධාන අදහස් ගැන කියැවේ. ඒත් එය ඔබගේ දැන ගැනීම සඳහා පමණක් තබාගන්න," යැයි ලියා යවන්නේ ය.[6]

කාතිසියානු සැකය[සංස්කරණය]

කාතීසියානු සැකය ගැන කියැවෙන්නේ 1637 දී ලියන ලද "විධික්‍රම ගැන සංවාද" සහ 1642 දී ලියන ලද "භාවනා" යන කෘති වලිනි.

පළමු දර්ශනයේ භාවනා කෘතියෙන් ඩෙකාට් ඉදිරිපත් කරන්නේ මෙතෙක් පිළිගත් ඥාන විභාග පදනම් කඩා බිඳ දමා අලුතින් සැකිල්ලක් ගොඩ නඟනා ආකාරයයි. රැඩිකල් සැකය නම් විධි ක්‍රමයක් ගෙනෙන ඩෙකාට් සියල්ලක් ම සැකයට පාත්‍ර කළ යුතු යැයි කීවේය. සැකයට පාත්‍ර කළ හැකි සියල්ලක් ම හේ සැක කළේය. තර්කානුකූලව සැකයට පාත්‍ර කළ නොහැකි ප්‍රස්තුතය ඥාන විභාගයේ පදනම වේ යැයි හේ කීවේය. සියල්ල සැක කරන ඔහුට ඒ සියල්ල සැක කරන තමන් ඉන්නා බව සැක නැතැයි පෙනින. එනම්, මගේ පැවැත්ම ගැන සැකයි කියන්නා ද, සැකයෙන් තොරව පැවැත්මකින් තමා ඉන්නා බව ඔප්පු කර ඇතැයි හේ දැකීය.

සිරුරෙහි පැවැත් ම ගැන සැකයක් තිබුණ ද, සිතුවිලි ගලා එන සිතෙහි පැවැත්ම සැකයකින් තොර යැයි ඩෙකාට් විස්තර කළේය. ස්වීය යනු සවිඥානික බව යැයි එයින් ඔහු පහදා දුන්නේ ය. ඒ නිසා තමා යනු තමාගේ මනස යන්නත් ඒ දෙකම එකක් ම වන්නේ ය යන්නත් හේ කීය. මෙහි දී ඔහු ස්වීය, අනන්‍යතාවය, භාවාර්ථ සහ දෙවියන්වහන්සේ යන සංකල්ප මනසේ හටගන්නා ඊට සහජ වූ අදහස් යැයි තීරණය කරයි. දෙවියන්වහන්සේ යන්න මනසට සහජ වූ අදහසක් නම්, එය ඔප්පු කර පෙන්විය හැකි නම්, එහි දී තම ආත්මීයවාදයෙන් බැහැරකින් වූවක් ගැන කතා කරන්නට පියවරක් ගත හැකි යැයි ඔහු පෙන්වා දෙයි. එහෙත් දෙවියන්වහන්සේ ගැන වූ අදහස තම මනසේ රෝපණය කරන ලද්දේ පිටතින් පැමිණි පාපකාරී සතුරෙක් යැයි දැන ගන්නේ කෙසේ ද යන්න ඊ ළඟට ඔහුට මුහුණ දෙන්නට වූ ගැටළුවයි. දෙවියන්ගේ පැවැත්ම ඔප්පු කරනු පිණිස, තම මනසට පිටතින් අදහසක් ගෙනා පාපකාරී හතුරෙක් නැතැයි ඔප්පු කරනු පිණිස ඩෙකාට් තර්කයක් ගෙන එයි.

පැවැත්ම තහවුරු කරන සිතුවිල්ලට ඉඩක් ලබාදෙන මනස සිතුවිලි වලින් අයින් කරනු නොහැකි යැයි හේ එක තර්කයකින් පෙන්වයි. දෙවියන්ගේ පැවැත්ම එහි සාරයෙන් ඉවත් කරත නොහැකි සේ ම, ත්‍රිකෝණයක කෝණ වල එකතුවකට ඍජු කෝණ දෙකෙහි එකතුව ඇතුල් වී ඇත්තා සේ, කන්දක් ඇත්නම් මිටියාවත් ඇත්තා සේ, යනාදිය දක්වමින් ඔහු කියන්නේ අතිශ්‍රේෂ්ඨ සර්ව සම්පූර්ණ සත්තාව වන දෙවියන්වහන්සේට පැවැත්මක් නැතැයි කීම මිටියාවතක් නැතැයි කීමක් වැනි කියාය. මේ අදහස සාන්ත ඇන්සලම් වෙතින් ද එන්නක් බව එහි දී ඩෙකාට් සඳහනක් නොකරයි. ඔහු ගෙනෙන දෙවැනි තර්කය නම් (අ) මම සැක කරනවා යන්න මම සර්ව සම්පූර්ණ සත්තාවක් නැතැයි ඔප්පු කරන්නකි, සර්ව සම්පූර්ණ සත්තාව ඇත්තා සියල්ල දන්නේ ය, ඒ නිසා සැක නැත්තෙකි; (ආ) සර්ව සම්පූර්ණ බව කුමක් දැයි මම දැනටමත් දන්නේ නම් පමණක් මම සර්ව සම්පූර්ණ නැතැයි මට දැනගත හැකිය, (ඇ) සර්ව සම්පූර්ණ බව ගැන මට ඇති අදහස එන්නේ සර්ව සම්පූර්ණ වූ යමක් ඇති නිසාය; (ඈ) ඒ නිසා, සර්ව සම්පූර්ණ වූ යමක් පවතී, ඒ දෙවියන්වහන්සේ ය.

තම පැවැත්ම සැකයෙන් තොර යැයි කියන ඩෙකාට්, සැකයෙන් තොර පැවැත්මක් ඇති මට සර්ව සම්පූර්ණ වූ සත්තාවක් ගැන සංකල්පයක් ඇත්නම්, ඒ දෙවියන්වහන්සේ විය යුතුයි කියා එයින් දෙවියන්වහන්සේගේ පැවැත්ම ඇතැයි එසේ පෙන්වයි. සැකයක් ඇති කරගන්නේ සිතකින් නිසා, "මම සිතමි, එබැවින් මම ඇත්තෙමි," යන්න ඩෙකාට් විසින් "මම සැක කරමි, එබැවින් මම ඇත්තෙමි," යයි ද "මම සැක කරමි, ඒ නිසා දෙවියන්වහන්සේ ඇත්තේය," යන්න ද එසේ පෙන්වා දෙයි.

ඩෙකාට්ට අනුව ලෝකයේ යථාර්ථය ගැන අදහස් ගණිතමය භෞතිකවාදයෙන් කියා පෑ හැකිය. ඒ මඟින් ගැලිලෙයෝ විසින් ඉදිරිපත් කරන ලද නව විද්‍යාව යොදාගෙන දෙවියන්වහන්සේගේ පැවැත්ම ඔප්පු කරත හැකි යැයි කියයි.

කාතිසියානු යථාර්ථවාදය[සංස්කරණය]

දකින දෑ පවතින දෑ යන සාමාන්‍ය දැක්මෙන් ඉවත් වෙන ඩෙකාට් සියළු සංවේදනයන් වෙතින් ලැබෙන සාරාත්මක ගුණයන් (රතු, නිල්, පැණිරස, උණුසුම්, මිහිරි) යනාදිය මනසෙන් අත්විඳිනා දේ හැටියට හේ සලකයි. සීතල, ගඳ සුවඳක් නැති, පාටක් නැති, හඬක් නැති, රහක් නැති යනාදිය භෞතික වූ දෑ හැටියට හේ සලකයි. එසේ දෙකකට වෙන් කර තැබිය නොහැකි බව ඩෙකාට් විසින් විමසන්නේ නැත. මනසේ හටගන්නා සිතුවිලි භෞතික දේ වලට බලපෑමක් ඇති කරන්නේ කෙසේ ද සහ භෞතික දෑ වලින් මනසට බලපෑමක් ඇති කරන්නේ කෙසේ ද යන ද්වෛතවාදය පහදන්නට ඩෙකාට් ගෙනෙන්නේ මනස සිරුර හා හමුවෙන්නේ මොළයේ කේන්ද්‍රස්ථානයක බව කියමිනි. මේ විසඳුම ගැටලුව නිරාකරණය නොකරන බව ඔහු එතම් සැලකිල්ලකට ගත්තේ නැත. මොළයේ පවතින ඒ මධ්‍යස්ථානය කේතුක ග්‍රන්ථිය යැයි හේ කියයි. එහෙත් මනස සිරුර මුණ ගැසෙන්නේ කොතැනක දී ද යන්නෙන් ඵලක් නොවේ. මන්ද, එවිට මනසට ස්ථානයක් ලැබෙන නිසා, මනස ඒ තැනේ දී සිරුර බවට පත්වෙයි. එවිට මනස භෞතික පදාර්ථයක් බවට පත්වෙයි.

මේ ගැන වැඩි විස්තර පහදන්නට පෙර ඩෙකාට් ස්වීඩනයේ ක්‍රිස්ටිනා රැජිනගේ ඉල්ලීමකින් ඇය හමුවෙන්නට යන්නේ ය. එහි දී සෙම්ප්‍රතිශ්‍යාවකින් පෙළෙන හේ මිය ගියේය.

මූලාශ්‍ර[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=රෙනේ_ඩෙකාට්&oldid=226836" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි