ඇරිස්ටෝටල්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඇරිස්ටෝටල් Ἀριστοτέλης, Aristotélēs
උපත ක්‍රි. පූ. 384
ස්ටැපේයිරා, චැල්සියඩිස්
මරණය ක්‍රි. පූ. 322 (වයස 61 හෝ 62)
යු‍‍බෝයා
යුගය පුරාතන දර්ශනය
ප්‍රදේශය බටහිර දර්ශනය
ගුරුකුලය ජංගම පාසල් සංස්කෘතිය
ඇරිස්ටෝටලියානු ගුරු පෙළපත
ප්‍රධාන ලැදිකම් භෞතික විද්‍යාව, පාර භෞතික විද්‍යාව, ගද්‍ය, නාට්‍ය රංගනය, සංගීතය, ව්‍යක්ත කථනය, දේශපාලනය, පාලන තන්ත්‍රය, ආචාර ධර්ම, ජීව විද්‍යාව, සත්වවිද්‍යාව
සංගණ්‍ය අදහස් රන්මය මධ්‍යන්‍යය, විචාරය, තර්ක ශාස්ත්‍රය, සංවාක්‍යය, ලාලසාව


ග්‍රීක දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් ප්ලේටෝගේ ශිෂ්‍යයෙකු වූ අතර මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ගුරුවරයා ද විය. ඔහු බහුශාස්ත්‍රඥයෙක් ලෙසින් සැලකේ.

බටහිර දර්ශනවාදයේ නිර්මාතෘවරු හැටියට සැලකෙන ප්ලේටෝ සහ සොක්‍රටීස් සමඟින් ඇරිස්ටෝටල් ද එහි නිර්මාතෘත්වයේ ඉතා වැදගත් පුද්ගලයෙක් සේ සැලකිල්ලට පාත්‍ර වෙයි. අධ්‍යාත්ම විද්‍යාව, දේශපාලනය, ත‍ර්ක ශාස්ත්‍රය, සෞන්දර්ය විද්‍යාව සහ සදාචාරය යන කොටස්වලින් සමන්විත පූර්ණ සහ ක්‍රමානුකූල දර්ශනවාදයක් මුල්වරට හඳුන්වාදීමේ ගෞරවය ඇරිස්ටෝටල්ට හිමි වේ.

භොතික විද්‍යා ක්ෂේත්‍ර පිළිබද ඇරිස්ටෝටල් පළ කළ මතවාද මධ්‍යතන යුගයේ අධ්‍යාපනික ක්‍රමවේදයන් හැඩගස්වන ලද අතර ඒවායේ බලපෑම් විද්‍යාත්මක පුනරුදය දක්වා පැතිර ගොස් අවසානයේ දී නිව්ටන්ගේ භෞතික විද්‍යා ඉදිරිපත් කිරීම් වලින් නිශ්ප්‍රභා විය. ඇරිස්ටෝටල් විසින් සත්ව විද්‍යාව පිළිබඳ පළ කළ සමහර අදහස් සත්‍ය බව ඔප්පු කිරීම සිදුවූයේ 19 වැනි සියවසේ දී ය. දැනට හඳුනාගෙන ඇති ලොව ප්‍රථම ක්‍රමානුකූල තර්ක ශාස්ත්‍ර අධ්‍යයනයන් ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කරන ලද අතර ඔහුගේ එම අධ්‍යයනයන් මගින් හෙළි වූ කරුණු 19 වැනි සියවස අගභාගයේ දී නූතන ක්‍රමානුකූල තර්ක ශාස්ත්‍රය හා මුහුකර ගන්නා ලදී. යුදෙව් හා ඉස්ලාමීය දේවධර්ම සම්ප්‍රදායන් හි ආගමික හා දාර්ශනික චින්තනයට ඇරිස්ටෝටලියානුවාදය සහ පාරභෞතික විද්‍යාව බෙහෙවින් බලපාන ලදි. වර්තමානයේ පවා ක්‍රිස්තියානු දේවධර්මයට ඇරිස්ටෝටල්ගේ මතවාද බලපෑම් කරනු දැකිය හැකිය. ඇරිස්ටෝටල් චින්තනයේ සියලු පැතිකඩවල් වර්තමානයේ දී ක්‍රියාකාරී ශාස්ත්‍රීය අධ්‍යයනයන්ට භාජනය වෙති. ශාස්ත්‍රීය ග්‍රන්ථ හා සම්භාෂණ රාශියක් පළ කළ ද වර්තමානයේ ඇරිස්ටෝටල්ගේ ග්‍රන්ථවලින් ඉතිරිව ඇත්තේ තුනෙන් එකක ප්‍රමාණයක් පමණක් බව විශ්වාස කෙරේ. වරක් සිසෙරෝ විසින් ඇරිස්ටෝටල්ගේ ග්‍රන්ථයන් හා සාහිත්‍ය ක්‍රමය "රත්තරන් ගංඟාවකට" උපමා කරන ලදී.

පුද්ගලික තතු[සංස්කරණය]

ඇරිස්ටෝටල් උපදින්නේ ග්‍රීසියේ එවක ස්ටැජියිරා නමින් වූ නගරයේ ය. ඔහුගේ පියා වූ නිකොමාකස් මැසඩොන් හි ඇමින්ටාස් රජුගේ පුද්ගලික වෛද්‍යවරයා විය. රදළ පංතියට දායාද වූ අධ්‍යාපනයක් හා පුහුණුවක් ඇරිස්ටෝටල්ට ලැබුණි. වයස අවුරුදු දහඅටේ දී පමණ ඔහු ඇතැන්ස් හි පැවති ප්ලෝටෝගේ ඇකඩමියේ ඉගෙනුම පටන් ගනියි. ඔහු වසර විස්සක් පමණ එහි ගෙවා දැමූ බව සටහන් වෙයි. ප්ලේටෝගේ අභාවයෙන් පසු ඔහු ඇකඩමිය හැර ගියේ එහි නව පාලනය ලැබි ප්ලේටෝගේ ඥාති පුත් ස්පියුසිප්පස් සමඟ ඇතිකරගත් අමනාපයක් බැවින් යැයි කියැවේ. එහෙත් තවත් අර්ථ කතනයක් වන්නේ ඇරිස්ටෝටල් ප්ලේටෝගේ අභාවයට පෙර, මැසිඩෝනියානුවන්ට එරෙහි වූ හැඟීම් බහුල වෙද්දී ඇකඩමිය හැර දා ගිය බවයි. තියෝෆ්‍රැස්ටස් සමඟ ලෙස්බොස් නම් වූ දූපත කරා යන ඇරිස්ටෝටල් එහි දී ඔහු සමඟ එක් වී දුපතේ පැලෑටි විද්‍යාව හා සත්ව විද්‍යාව පිළිබඳ පර්යේෂණ පවත්වති. පිතියාස් නම් වූ ඇටැර්නියුස් හි හර්මියාස් නම් වූවාගේ සුළු දියණිය (ඥාති දුවක් ද වන්නට පිළිවන) හා ඇරිස්ටෝටල් විවාහ වෙයි. ඔවුනට ලැබෙන දියණිය ඔවුන් පිතියාස් යැයි නම් කරති.

හර්මියාසේගේ මරණයෙන් පසු මැසඩොන් හි දෙවැනි පිලිප් සිය පුත් ඇලෙක්සැන්ඩර්ට ගුරුවරයෙක් වන්නට යැයි කියා ඇරිස්ටෝටල්ට ආරාධනා කරන්නේ ක්‍රි. පූ. 343 දී ය. මැසඩොන් හි රාජකීය ඇකඩමියේ ප්‍රධානියා ලෙසින් ඇරිස්ටෝටල් පත්වීමක් ලබයි.

ක්‍රි. පූ. 335 දී ඔහු නැවතත් ඇතැන්ස් වෙත පැමිණ එහි දී ලයිසියම් නමින් තම අධ්‍යාපන ආයතනය පිහිටුවා ගනියි. ඊ ළඟ වසර දොළහක කාලයක් ඔහු එහි පාඨමාලා උගන්වයි. ප්ලේටෝගේ දර්ශනය එහි ඉගැන්වෙන අතර එය විවේචනයට ද භාජනය කෙරෙයි. එහි දී ඔහුගේ භාර්යාව වූ පිතියාස් මිය යන්නීය. ස්ටැජියිරා හි හර්ෆිලිස් නම් කාන්තාවක් හා සම්බන්ධකමක් ඇති කරගන්නා ඇරිස්ටෝටල් ලැබෙන පුත්‍රයා ඔවුන් නිකොමාකස් යැයි නම් කරති. ක්‍රි. පූ. 335 සිට 323 කාලය, ඇරිස්ටෝටල් සිය නිර්මාණ වැඩි ම ප්‍රමාණයක් බිහි කරන ලද කාලය සේ සැලකේ. ඔහු අතින් සම්පාදනය වූ වැදගත් ම කෘති ලෙසින් සැලකෙන්නේ භෞතික විද්‍යාව, පාර භෞතිකවිද්‍යාව, නිකොමාකියන් ආචාර ධර්ම, දේශපාලනය, ආත්මය ගැන සහ ගද්‍ය යන ඒවාය.

ඇලෙක්සැන්ඩර්ගේ මරණයෙන් පසුව, ඇතැන්ස් හි නැවතත් මැසඩෝනියානුවන්ට එරෙහි හැඟීම් බහුලව පැතිර ගියේය. දෙවියන් නිසි ගරුත්වයෙන් සලකන්නේ නැතැයි ඇරිස්ටෝටල්ව දෝෂාරෝපණයට පත්විය. ඇතැන්ස් වලින් පැන ඇරිස්ටෝටල් ඔහුගේ මවගේ ඥාතීන්ට අයත් වූ නිවෙසක ජීවත් වෙන්නට යයි. දර්ශනයට එරෙහිව දෙවතාවක් පව් කරන්නට ඇතීනියානුවන්ට ඉඩක් ලබා නොදෙන බව ඇරිස්ටෝටල් කියන්නේ ඊට කළින් සිදු වූ සොක්‍රටීස්ට මරණය පැමිණ වූ අන්දම සිහි කරමිනි. ක්‍රි. පූ. 322 දී ඔහු ඉයුබෝයා හි ස්වභාවික මරණයකට ගොදුරු වෙයි. තම සිසුවෙක් වූ ඇන්පේටර් වෙත අන්තිම කැමති පත්‍රයකින් බලතල පවරන ඇරිස්ටෝටල් තමාව තම භාර්යාව අසලින් මිහිදන් කරන්න යැයි ලියැවිල්ලෙන් ඉල්ලීය.

දර්ශනය[සංස්කරණය]

දාර්ශනිකයෙකු ලෙසින් තම පූර්වගාමීන්ට වඩා වෙනස් මඟක ගමන් කරන ඇරිස්ටෝටල් තම දර්ශනය ක්‍රමවත් ලෙසින් ලොවට පිරිනමයි. ඔහුගේ සංවාද ශීර්ෂයන් යටතේ බෙදා, විවේචනාත්මක ශෛලියකින් ඉදිරිපත් කරයි. එසේම ආගමික නැඹුරුවකින් හෝ දැඩි හැඟීම් වලින් ඉදිරිපත් නොවන නිසා අදහස් නීරස ලෙසකින් ඉදිරිපත් කර ඇත.

ඇරිස්ටෝටල්ට අනුව පවතින්නේ එක ලෝකයකි. ප්ලේටෝ ගේ සංකල්පවාදය විවේචනය කරන ඔහු තර්ක ගණනාවක් ගෙන එයි. රූපක යනු යමක සාරය නම් ඒවා එයින් බැහැරව පවතින්නේ කෙසේ දැයි ඇරිස්ටෝටල් විමසයි. ඒවා යමක හේතුව වන්නේ නම්, ඒවා වෙනත් ලෝකයක පවතින්නේ කෙසේද යැයි හේ විමසයි.

හෙරක්ලයිටස් දැරූ අදහස වූයේ චිරස්ථිතිය නම් මායාවක් යැයි කියාය. පාමනයිඩීස් දැරූ අදහස වූයේ චලනය මායාවක් යැයි කියාය. මේ උභතෝකෝටිකය විසඳන්නට ප්ලේටෝ හෙරක්ලයිටිස් හා පාමනයිඩීස් යන දෙදෙනාගේ ම අදහස් එකතු කළේය. වෙනස් වන හෙරක්ලයිටිගේ ලෝකය චිරස්ථායි වූ පාමනයිඩීස්ගේ ප්‍රතිබිම්බයක් යැයි ප්ලේටෝ කීම ඇරිස්ටෝටල් පිළිගත්තේ නැත. ඇරිස්ටෝටල් පැහැදිලි කළේ රූපක හා පදාර්ථ අතර විශේෂත්වය පහදනු අවශ්‍ය බවයි. මේ අංගයන් දෙක අතර සත්‍යයතාවය වටහා ගත හැකියාව ඇත්තේ සිතුවිලි වලට මිසක සිද්ධි දිහා බැලීමෙන් නොවන බව ඇරිස්ටෝටල් කියා දුනි. රූපක යනු බාහිර ව පවතින දෑ නොවේ. ඒවා ඒ ඒ දෑ වල අන්තර්ගත වූවකි. ඒවායෙන් ලොව නිමැ වී ඇත. යම් වස්තුවක් වස්තුවක් හැටියට සලකන්නට නම් එය රූපක සහ පදාර්ථ යන දෙකින් ම නිමැවී තිබිය යුතුයි. යම් වස්තුවක් නමින් හඳුන්වන විට එහි නාමය භාවිතා කරනවා යැයි ඇරිස්ටෝටල් පෙන්වා දුන්නේ ය. එසේම යම් වස්තුවක් එහි සාරය ද වෙයි. එහි ස්වභාවික වූ තත්වය ද වෙයි. එහිම සිද්ධ වෙන්නා වූ කර්තව්‍යයකින් යුතු වෙයි. යම් වස්තුවක පදාර්ථය වනාහි ඒ වස්තුවට පමණක් විශේෂිත වූවකි. යම් වස්තුවක රූපක හා පදාර්ථ යන දෙකම තිබීම ඇරිස්ටෝටල් විසින් භාවාර්ථය යැයි හැඳින්විය.

සෑම භාවාර්ථයකම සාරයක් ඇත. එය එහි රූපකය හා සාමාන්‍යයෙන් සමාන වෙයි. යම් වස්තුවක භාවාර්ථයට ඉතා වැදගත් වූ ලක්ෂණ මෙන් ම අවැදගත් ලක්ෂණ ද වෙති. මේවා හඳුනාගැනීම දර්ශනයේ කාර්යය බැව ඇරිස්ටෝටල් කියා දුන්නේ ය. මනුෂ්‍යයෙක් වන්නට නම් අයෙක් තාර්කික හැකියාවෙන් යුතු වීම අවශ්‍යය. එය මනුෂ්‍යත්ව සාරයේ අංගයක් වෙයි. නමුත් මිනිසුන් අතර දකින්නට ලැබෙන කොණ්ඩය තිබීම සහ තට්ටය තිබීම වැන්නක් මනුෂ්‍යත්වයේ වැදගත් අංගයක් නොවන බව හේ කියයි. ප්ලේටෝ ඉදිරිපත් කරන විවිධ මට්ටම් වලින් යුතු වූ රූපක වෙනුවට ඇරිස්ටෝටල් බහුවිධ භාවාර්ථ වලින් සත්‍යය නිර්මාණය වී ඇතැයි කියයි. රූපක හා පදාර්ථ සත්‍ය ලෝකය තුලින් විග්‍රහ කරන ඇරිස්ටෝටල් ඕක් ඇටයක උපමාවක් ගෙන එයි. ඕක් ඇටයක් තුල ඕක් ගසක් වීමේ ශක්තිය පවතී. එය තමයි ඕක් ඇටයේ සත්‍යය භාවාර්ථය. ඕක් ඇටයේ භාවාර්ථය මුදුන් ඵල වීම ඕක් ගස යැයි ඇරිස්ටෝටල් පෙන්වා දෙයි.

සියළු භාවාර්ථයන් ප්‍රත්‍යය හතරකින් විශ්ලේෂණයට ඇරිස්ටෝටල් සමත් වෙයි. යමක් නිමැ වී ඇති පදාර්ථ ප්‍රත්‍යය ඉන් එකකි. එනම් යම් ප්‍රතිමාවක් නිමැවෙන්නට පෙර ඇති කිරිගරුඬ පදාර්ථය. රූපක ප්‍රත්‍යය හෙවත් සාරය නම් එය නිමාවෙන් පිරිනැමෙන්නයි. මෙය නිර්මාණකරුවාගේ සිතේ හෝ ඒ කිරිගරුඬ වල ද තිබෙන්නට පිළිවන් වූවකැයි හේ කියයි. කාර්යක්ෂම ප්‍රත්‍යය නම් වෙනස ඇති කරන්නට සමත් වෙන්නයි. ශිල්පියා කිරිගරුඬ කඩා නිර්මාණයට බැසීම. අවසන් ප්‍රත්‍යය හැටියට ඇරිස්ටෝටල් දක්වන්නේ වස්තුවේ අරමුණයි. යම් ස්ථානයක් සැරසීම සඳහා එය ඉදිවීම.

ස්වභාව ධර්මය වනාහි එසේ සෑම තලයකින් ම සෑම ප්‍රත්‍යයක් විසින් ම ස්ව-සාර්ථක බවක් අත් කරගන්නට පරිපූර්ණත්වය කරා යන උත්සාහයකි. එහි දී ඒ ඒ සාරයට විශේෂ වූ සීමාවන් තුල ඒ පරිපූර්ණත්වය කරා යෑම සිද්ධ වෙන සාධ්‍යතා පද්ධතියක් බව හේ පෙන්වා දෙයි. ප්ලේටෝ මෙන් ම ඇරිස්ටෝටල් ද සෑම පද්ධතියක් ම පරම හොඳ යන්න සොයා යන්නකි. එසේ නම් සියල්ල විසින් සොයනා පරම හොඳ යන සත්‍යය වූවක් පැවතිය යුතු යැයි හේ පිළිගනියි.

අවිචාලිත ප්‍රේරකයක් යනුවෙන් ඇරිස්ටෝටල් සඳහන් කරන්නේ මේ භාවයයි. ඇරිස්ටෝටිලියානු පාරභෞතිකවාදයේ එය දෙවියන්වහන්සේ හා සමාන වූ ස්ථානයක් දැරුව ද එය ග්‍රීක දර්ශනයේ හෝ වෙනත් බටහිර දර්ශනයක එන දෙවියන්වහන්සේ හා සමාන අර්ථයකින් නොවූවකි. එනම් එය මානවතත්වාරෝපිතයකින් නොවූවකි. එය විශ්වයේ මූලාරම්භයට හේතු වූවකි. එහෙත් එය යුදෙව්-ක්‍රිස්තියානි සංකල්පයේ එන ශුන්‍යයකින් ඇති කරන ලද්දක් නොවේ. එය නිශ්ඨා ප්‍රත්‍යයක් වෙන්නේ ය. ධාවන තරඟකරුවෙක් තරඟයේ නිමාව වෙත දුවන සේ සියළු දෙයක් ම මේ නිශ්ඨා ප්‍රත්‍යය වෙත ඇදෙති. අවිචාලිත ප්‍රේරකය පමණක් විශ්වයේ කිසිත් වෙනස් නොවන්නයි. මන්ද, එය පරිපූර්ණ වූවක් නිසා එයට වෙනස් වීමට අවශ්‍යතාවයක් නැති බැවිනි. අවිචාලිත ප්‍රේරකයේ ඥානය ක්ෂණික නිසා එයට සම්පූර්ණ ස්ව-විඥානයක් ඇත. එයට හඹා යා යුතු වූවක් නැත.

ආචාර ධර්ම[සංස්කරණය]

ඇරිස්ටෝටල්ගේ ආචාර ධර්ම විග්‍රහය එන්නේ "නිකොමාකියන් ආචාර ධර්ම" ග්‍රන්ථයෙනි. සියළු දැයකට ම නිශ්ඨාවක් ඇතැයි කියන ඉහත දැක්වූ ඇරිස්ටෝටල්ගේ දර්ශනය ඔහුගේ ආචාර ධර්ම ද විස්තර කරන්නයි. සෑම ක්‍රියාවක් ම සිද්ධ කෙරෙන්නේ යම් අභිප්‍රායයක් සපුරන්නට යැයි ඔහු කියයි. අපි අර්ථ රහිත වූ චක්‍රකාර ජීවිතයක් ගත නොකරනවා යැයි කියන හේ පරම හොඳ තත්වයක් කරා අපගේ සියළු ක්‍රියාවක් ම දිවෙන බව කියයි. එහි දී ඒ හොඳ යන්න කුමක් දැයි අවබෝධ කර ගැනීම අපගේ කර්තව්‍යය බව හේ පැහැදිලි කරයි. එය පැහැදිලි කරගන්නා ඒ කරා පහසුවෙන් යන්නට මග පාදා ගන්නා බවත්, වඩාත් ම ශෝකාන්විත වූ යැයි ඔහු සලකන "නාස්ති වූ ජීවිතය" ගෙවා නොදමන බවත් කියයි.

සියළු මනුෂ්‍ය ක්‍රියාවන් සතුට සොයා යන ගමනක් යැයි ඔහුගේ දර්ශනයෙන් ඇඟවෙන්නකි. සතුට යනු මිනිස් බවේ ඇති හොඳ විය යුතුයි. මන්ද මිනිසා සතුට සොයන්නේ වෙනත් පරමාර්ථයක් හේතු කොට ගෙන සතුට වූ පරමාර්ථය ම හේතු කොට ගෙන නිසාය. එහෙත් සතුට යන්න දාර්ශනික විශ්ලේෂණයකින් සොයා නොගෙන, එය නිශ්චිතව ම කුමක් දැයි හඳුනා නොගෙන, එය සාක්ෂාත් කරගන්නේ කෙසේ දැයි පැහැදිලි කර නොගෙන එය සොයා යන්නා පරම හොඳ කරා ළඟා නොවෙයි. සතුට යන්නේ ස්වභාවය සොයන්නට හේ එයින් ඉටුවන කර්තව්‍යය දිහා බලයි. එහි දී ඔහු එන නිගමනය නම් විචාරය හා බැඳි සද්ගුණවත් බවින් යුතු ක්‍රියාවක නියැළීමෙන් සතුට ලැබෙන බවයි.

සතුට කරා යන්නට යම් භෞතික වූ කොන්දේසි සපුරන්නට අවශ්‍ය බව ඇරිස්ටෝටල් විශ්වාස කළේය. මෙහි දී ඔහුගේ රදළ වංශාධිපති හැදියාව ඉස්මතු වෙයි. හොඳ මිත්‍රයන්, සැප සම්පත්, දේශපාලන බලය යනාදියට හොඳ තැනක උපත ලැබීම, හොඳ දරුවන් සේ ම රූමත් බවත් අවශ්‍ය යැයි හේ කීය. විරූපී නම් මිනිසෙක් සතුටු වෙන්නේ නැතැයි හේ කීය.[1] එසේම අපි ශරීරය වෙහෙසන ශ්‍රමිකයන් වෙද්දී සතුට සොයා යා නොහැකි බවත් හේ කීය.[2]

ආචාර ධර්ම පැහැදිලි කිරීමට ඇරිස්ටෝටල් අතින් සම්පාදනය වෙන අනිකුත් කෘතිය ඉයුඩිමියන් ආචාර ධර්ම නම් වෙයි.[3] එහි නම වැටෙන්නේ ඇරිස්ටෝටල්ගේ සිසුවෙක් වූ රෝඩ්ස් හි ඉයුඩිමස් නැමැත්තා අතින් එහි අවසන් කාණ්ඩය සංස්කරණයට ලක් වූ නිසා යැයි කියැවේ. "නිකොමාකියන් ආචාර ධර්ම" හෝ ඉයුඩිමියන් ආචාර ධර්ම" යනු ඇරිස්ටෝටල් විසින් දුන් නාමයන් නොවෙති.[4] ඒවා පසුව එකතු කරන ලදැයි සැලකේ.

සද්ගුණය නම් ඇරිස්ටෝටල්ට අනුව යම් ක්‍රියාවක ඇති අනගි බවයි. යම් ක්‍රියාවක් සාර්ථක වූවක් බවට හරවන්නේ එහි ඇති අනගි බවයි. ඒ නිසා අනගිත්වය යනු ක්‍රියාවට නංවත හැකි වූවක් යැයි හේ සැලකීය. සද්ගුණය දෙයාකාරකින් දැකිය හැකි යැයි ද ඇරිස්ටෝටල් කීවේය. බුද්ධිය හා බැඳුන සද්ගුණය සේ ම ආචාර ධාර්මික වූ සද්ගුණයක් ද යනු ඒ දෙයාකාරයයි. දාර්ශනික ප්‍රඥාව සහ ප්‍රායෝගික ප්‍රඥාව අනුව ලැබෙන්නා වූ උරුමයෙන් හා අධ්‍යාපනයෙන් වඩවා ගන්නා සද්ගුණය බුද්ධිය හා බැඳි විද්වත් සද්ගුණයයි. ආචාර ධාර්මික සද්ගුණය යැයි හේ සැලකුවේ අනුන් අනුකරණයෙන්, පුහුණුවෙන් සහ හැදියාවෙන් යුතු වූ සද්ගුණයයි. අප ප්‍රගුණ කරගන්නා හැදියාවන් වලින් චරිතය හැදෙන බවත්, ඒ නිසා යම් සද්ගුණවත් ආකාර වලින් ක්‍රියා කරන්නට ඇතිදැඩි වෙද්දී ඒ අයගේ චරිතය සද්ගුණවත් යැයි හේ පෙන්වා දුන්නේය. ඇරිස්ටෝටල්ට අනුව යම් අවස්ථාවක දී අප කරනා තෝරා ගැනීමක් ඉදිරියේ දී සද්ගුණවත් තෝරා ගැනීමක් ගණිතමය ආකාරයකින් තෝරාගත නොහැකියි. එය ඒ ඒ අවස්ථාවට අනුව හරි වැරදි තුලින් තමන් විසින් සොයා ගත යුත්තකි. දාර්ශනික ප්‍රඥාව යනු විද්‍යාත්මකය, පැත්තකට බර නොවුනකි, චින්තාපර බවකින් යුතු වූවකි. පුද්ගලයා තුල ඇති විචාරමය හැකියාව ඔහු මිනිසෙක් යන්න පෙන්වන ලක්ෂණයක් නිසා, වඩාත් ම ඉහළ සද්ගුණය දාර්ශනික ප්‍රඥාව යැයි හේ පැහැදිලි කළේය. සතුට ලබනු පිණිස මේ දෙපැත්තෙන් ම අනගිත්වයක් වර්ධනය කරගත යුතු බව ද හේ කීය.

දේශපාලන දර්ශනය[සංස්කරණය]

ඇරිස්ටෝටල්ගේ දේශපාලන දර්ශනය ඔහුගේ ආචාර ධර්මයේ සංකල්ප තුලින් ගොඩනැඟෙන්නකි. සතුට යන්න ඒකීය මිනිසාගේ ක්‍රියාවක් සේ ම අරමුණක් ද වන්නා සේ ම එය රාජ්‍යයක පරමාර්ථයක් ද වන්නේ ය. ප්ලේටෝ හා එකඟ වෙන ඇරිස්ටෝටල් මිනිසා යනු සමාජ ආශයන් ඇතිව බිහිවූවෙක් යැයි කියයි. රාජ්‍යයක් යනු ස්වභාවයෙන් පැන නැඟුනා වූ එහි පුරවැසියන්ගේ සතුට වැඩි වර්ධනය කරන ආයතනයක් යැයි කියයි. පවුලට වඩා රාජ්‍යයකට ඊට සමත් විය හැකියාව ඇත්තේ සමාජයක් තුල වූ වාතාවරණයෙන් පමණක් මිනිසාගේ ස්වභාවය සර්ව සම්පූර්ණ ලෙසින් සාක්ෂාත් විය හැකි බැවිනි. යම් ව්‍යවස්ථාවක් සියළු පුරවැසියන්ගේ පොදු යහපත සඳහා සැකසී ඇත්නම් එය සාධාරණ රාජ්‍ය්‍යක් යැයි හේ කියයි. ආණ්ඩු ක්‍රමය ගැන කියන ඇරිස්ටෝටල් තනි පුද්ගලයෙක් කරන රාජාණ්ඩුවක්, පිරිසක් විසින් කරන රදළ ආණ්ඩුවක් සහ පුරවැසියන් පිරිසක් අතින් පාලනය වෙන සීමාසහිත වූ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන පහදයි. සමහර අවස්ථාවල දී ඇරිස්ටෝටල් රාජාණ්ඩුවක් ප්‍රිය කරයි. එනම්, අනගි දේශපාලන කුසලතාවයන් පිරි ශක්තිමත් පුද්ගලයෙකු විසින් තම පුරවැසියන්ගේ යහපත පිණිස නීති සම්පාදනයයි. එහෙත් ප්‍රායෝගිකව පිරිසක් අතින් සිද්ධ වෙන පාලනයට හේ කැමැත්ත දැක්වීය. ඒ පාලනයේ යෙදෙන පුරවැසියන් එතරම් කුසලතාවයෙන් නොයුතු වූවත් ඔවුන් එක එක්කෙනා ගත් විට සාමාන්‍ය පුද්ගලයන් වූවත් ඔවුන් සියළු දෙනා එකට එක් වූ කල ඔවුන් අතර අගය වැඩි වේ යැයි කියමිනි.[5]

කලාව ගැන දර්ශනය[සංස්කරණය]

කලාව ගැන ඇරිස්ටෝටල් ඉදිරිපත් කරන දර්ශනය ද ප්ලේටෝගේ දර්ශනය පිළිබඳ විචාරයක් ලෙසින් ලියැවුනකි. ප්ලේටෝ ට අනුව කලා යනු ප්‍රතිරූපයකි. රූපක යන්න දෙවියන්වහන්සේ කරන ලද නිර්මාණයක් වූ කල, අපි දකින ඒකීය වස්තූන් ඒ දෙවියන්ගේ රූපකයේ අනුකරණ වෙති. කලා යනු ඒ අනුකරණයන්ගේ ද ප්‍රතිරූපයන් වන බැවින් ඒවා අගය කිරීමෙන් සද්ගුණයට හානියක් වෙතැයි ද අහිතකර මනෝවිද්‍යාත්මක ප්‍රතිඵල ලැබේ යැයි ද ප්ලේටෝ අදහස් කළේය.[6] තව දුරටත් කලාකරුවා යනු සත්‍යය රූපක නොදන්නා අයෙක් ප්‍රතිබිම්බයන් දැක ඒවායෙන් ප්‍රතිරූප නිර්මාණය කරනා අයෙක් හෙයින්, සත්‍යය දන්නවා යැයි කියා එය උගන්වන්නට යන නූගතෙක් සේ ප්ලේටෝ සලකයි. ඒ නිසා කලාකරුවා යනු සාමාන්‍ය නූගතෙක් පමණක් නොව අවදානම් ඇති කරන නූගතෙක් යැයි ප්ලේටෝ කියයි. එසේම සත්‍ය දැයෙහි ලස්සන යන්න කලා කෘතියන් බිහිවීම නිසා අගයෙන් අඩුවේ යැයි ද හේ කියුවේය. දාර්ශනික බුද්ධියට ගෝචර නොවෙන කලා නිර්මාණය හැඟීම් උපදවන සුළු බැවින් එය දර්ශනය නොදන්නා සමාජයේ ගැටීම් වැඩි කරන බවත් හේ කීය. මෙහි දී ද කලාකරුවා සමාජයේ අවදානම් ඇති කරන්නෙකි.

ප්ලේටෝ හා ඇරිස්ටෝටල් එකඟ වෙන්නේ කලාව යනු ප්‍රතිරූපයන් යැයි කියන්නට ය. එහෙත් ඔහු ප්ලේටෝ කියන කලාවට හිමි ස්ථානය හා එකඟ නොවෙයි. කලා නිර්මාණ සාමාන්‍ය දෑ පිළිබිඹු කරනවා වෙනුවට ඉහළ සත්‍යයන් උලුප්පා පෙන්නුම් කරනවා යැයි ඇරිස්ටෝටල් පෙන්වා දුන්නේ ය. ඒ නිසා කලා නිර්මාණ සාර්ථක වෙද්දී එය දාර්ශනික බවින් යුතු වේ යැයි ඇරිස්ටෝටල් කීය. අයහපත් හැඟීම් අවුස්සනවා වෙනුවට ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ වලට පුද්ගලයන් තුල එතෙක් ගොඩනැඟී ඇති හැඟීම් වලින් අයහපත් කොටස් ඉවත් කර දැමිය හැකි බව ඇරිස්ටෝටල් විග්‍රහ කළේය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Aristotle, Nichomachean Ethics, in A Guided Tour of Selections from Aristotle's "Nichomachean Ethics", ed. Christopher Biffle, trans. F. H. Peter, California: Mayfield Publishing, 1991, 30 පිටුව
  2. Aristotle, Politics, trans. Benjamin Jowett, in the Basic Works of Aristotle, ed. Richard McKeon, New York: Random House, 1941, 1183 පිටුව
  3. http://en.wikipedia.org/wiki/Eudemian_Ethics
  4. http://plato.stanford.edu/entries/aristotle-ethics/
  5. Aristotle, Politics, trans. Benjamin Jowett, in The Basic Works of Aristotle, ed. Riachard McKeon, New York: Random House, 1941, 1183 පිටුව
  6. http://plato.stanford.edu/entries/plato-aesthetics/
  • බට්‍රන්ඩ් රසල්, බටහිර දර්ශන ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 1970
  • http://www.freewebs.com/theuniv/aristotle theuniv.webs.com
"http://si.wikipedia.org/w/index.php?title=ඇරිස්ටෝටල්&oldid=306138" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි