මහා කාශ්‍යප රහතන් වහන්සේ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෘතීය ශ්‍රාවක ලෙස හැඳින්වෙන මහා කාශ්‍යප රහතන් වහන්සේ ධූතවාදීන් අතරින් අග්‍රස්ථානය (අල්පේච්ඡ දිවියක් ගත කරන වුන් අතරෙන් අග්‍රස්ථානය ) දැරීය.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණක් පිහිටන දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ වලින් හතක් උන්වහන්සේටද පිහිටා තිබුණි. එසේම උන්වහන්සේ රූපයෙන් ගෞතම බුදුරජාණන් වහන්සේට බෝහෝ සෙයින් සමාන විය. එබැවින් සමහර අවස්ථාවන්හි දී ජනයා බුදුරජාණන් වහන්සේ යැයි වරදවා වටහාගෙන උන්වහන්සේට දන් පිළිගැන්වූ අවස්ථා තිබුණි.

අතීත ප්‍රාර්ථනාව[සංස්කරණය]

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ විය. උන්වහන්සේ එකල හංසවතී නගරය මූලික කරගනිමින් ධර්ම ප්‍රචාරයෙහි යෙදුනි. එකල ඒ නගරයෙහි අසූ කෝටීයක් ධනය ඇති වේදේහ නම් කෙළෙඹියෙක් වාසය කළේය. දිනක් ඔහු සිල් සමාදන් වී සුවඳ මල් ආදිය ගෙන විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේට වන්දනා කර පසෙකින් වාඩි විය. ඒ මොහොතෙහි පදුමුත්තර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ තෘතීය ශ්‍රාවක මහානිසභ තෙරුන් වහන්සේ ධූතවාදීන් අතරින් අග්‍රස්ථානයේ තබන ලදී.

"එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛුනං ධූතවාදානං යදිදං නිසභො"

වේදේහ නම් වූ උපාසක එය දැක ධර්ම දේශනාව අවසානයේදී බුදුරජාණන් වහන්සේට පසු දින දනට වඩින ලෙස ආරධනා කළේය. එවිට බුදුරජාණන් වහන්සේ "උපාසකය භික්ෂුසංඝයා බොහෝ වෙතියි" වදාළහ.
"ස්වාමීනී භික්ෂූන් වහන්සේලා කොපමණක්ද ?"
"උපාසකය, ගණනින් නම් සැට අට දහසක් වන්නේය"
"ස්වාමීනී, එසේ වී නම් එකඳු වූ සාමණේර නමක්වත් පන්සලේ ඉතිරි නොකොට සියලුම දෙනා සමඟ වැඩම කර මාගේ දන් පිළිගන්නා සේකවා" යැයි නැවතත් ආරධනා කරන ලදී.
එකල්හි බුදුරජාණන් වහන්සේ දන් ඇරයුම පිළිගෙන ඉවසා වදාල සේක.

පසු දින කෙළෙඹි පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට මහත් වූ දානයක් පිළියෙල කරවා දන් පිළිගැන්වීම සඳහා නියමිත කාලය පැමිණි කල්හී ඒ බව බුදුරජාණන් වහන්සේට සැලකර යැවුයේය.

බුදුරජාණන් වහන්සේ ඇරයුම පිළිගෙන සංඝ සමූහය පිරිවරා ගෙන ඔහුගේ නිවසට වැඩම කර අසුනේ වැඩ සිටින විට, මහානිසභ තෙරුන් වහන්සේ පිඬු පිණිස ඒ වීදියට වැඩියේය. උපාසක තෙමේද උන්වහන්සේ දැක හුනස්නෙන් නැඟිට ගොස් තෙරුන් වහන්සේගේ පාත්‍රය රැගෙන, උන්වහන්සේගේ ශාස්තෲ වූබුදුරජාණන් වහන්සේ ගෙය තුල වැඩ සිටිනා බව දන්වා නිවසට වඩිනා ලෙසට ආරාධනා කළේය. එවිට මහානිසභ තෙරුන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළේය. එකල්හි උපාසක තෙමේ තෙරුන් වහන්සේගේ පාත්‍රය පිණ්ඩපාතයෙන් පුරවා ගෙන ගොස් පිළිගැන්වීය.

ඉන්පසු උපාසකතුමා බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් සිදුවූ සියල්ල පවසා, "ස්වාමිනී, කිමෙක්ද, ඒ තෙරුන් වහන්සේට නුඹවහන්සේටද වඩා වැඩි වූ ගුණ ඇත්තෝදැයි" විමසීය.

එකල්හි බුදුරජාණන් වහන්සේ "එසේය උපාසකය, අනුන් විසින් පිළිගන්වන දන් බලාපොරොත්තුවෙන් අපි අනුන්ගේ ගෙවල් වලට වී සිටින්නෙමු. ඒ භික්ෂුව එසේ නොහිඳින්නේය. අපි ග්‍රාමන්ත සේනාසන වල වෙසෙමුය. ඒ භික්ෂුව ආරණ්‍යයෙහිම වෙන්සෙන්නේයැයි" පවසමින් මහානිසභ තෙරුන් වහන්සේගේ ගුණ අඩුවක් නොවන පරිද්දෙන්ම වර්ණනා කළ සේක.

මහානිසභ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැදී සිටි ඒ උපාසක තෙමේ බුදුරජාණන් වහන්සේගේ බස් අසා උන්වහන්සේ කෙරෙහි මහත් වූ පැහැදීමක් ඇතිකර ගත්තේය. ඉන්පසු "මටද අන් කිසිම සැපතකින් පලක් නැත.මමද අනාගතයේ බුදු සස්නක ධූතවාදීන් අතරින් අග්‍ර වෙමි" යි සිතා නැවතත් බුදුරජාණන් වහන්සේට දන් පිණිස ආරාධනා කර සත්දිනක්ම බුදුපාමොක් මහ සඟනට මහත් වූ ශ්‍රද්ධාවෙන් දන් පිළියෙල කර පිළිගැන්වීය.

සත්වන දින අවසානයේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට සිවුරු ආදිය පුදා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රාර්ථනා කරන්නාහු, "ස්වාමීනී, සත්දිනක් දන් දීමෙන් මා කරගත්තා වූ කුශල කර්මය හේතුවෙන් මට දිව්‍ය සම්පත්තියක් හෝ ශක්‍ර-බ්‍රහ්ම සම්පත්තියක් නොපතමි. මතුයම් බුදු සස්නක මහානිසභ තෙරුන් වහන්සේ පත් තැනට පත්වීමට හේතු වාසනා වේවායි" පැවසීය.

එකල්හි බුදුරජාණන් වහන්සේ මේ උපාසක තෙමේ මහත් වූ තනතුරක් පතන්නේයැයි සිතා අනාගතය බලා, "උපාසක, ඔබ විසින් මහත් වූ තනතුරක් පැතුවේය. අනාගතයේ කල්ප ලක්ෂයකින් පසු ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ නමක් පහල වන්නේය. ඔබ මහා කාශ්‍යප නමින් ඒ බුදුරජාණන් වහන්සේගේ තෘතීය ශ්‍රාවකයා වන්නේ " යැයි වදාළ සේක. එවිට වේදේහ කෙළෙඹි පුත්‍රයා "බුදු කෙනෙකුන්ගේ ප්‍රකාශයක් නම් නොවරදින සුළුය" සිතා ඉමහත් වූ ප්‍රීතියට පැමිණ ඉන්පසුද බොහෝ දානාදී පින්කම් කර මරණින් පසු දෙව්ලොව උපත ලැබීය.

ඒකශාටක බමුණු චරිතය[සංස්කරණය]

පදුමුත්තර බුදුරජාණන් වහන්සේට දන් පිළිගැන්වීමේ පිනෙන් ඔහු දීර්ඝ කාලයක් දෙව්මිනිස් සුගතියෙහි උපත ලබා , මීට කල්ප අනූ එකකට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේ බන්ධුමතී නගරය කේන්ද්‍ර කර ගනිමින් ධර්ම ප්‍රචාරය කරන කල්හි දෙව්ලොවින් චුතව විත් දුප්පත් වූ බමුණු ගෙයක උපත ලැබීය.

විපස්සී බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ සත්වසරකට වර බැගිනි. ධර්ම දේශනා කරන දින ළංවන කල්හි දෙවියෝ ඒ බව දඹදිව මුළුල්ලේ පතල කරති. එවිට මහත් වූ සෙනඟ දහම් ඇසීමට යති. මේ ආරංචිය දුප්පත් වූ බමුණාටද ඇසිණි. නමුත් ඔහුට තිබුනේ එක් වස්ත්‍රයක් පමණි. ඒ නිසා ඔහුට ඒක ශාටක බ්‍රාහ්මණයැයි කියති. ඔහුගේ භාර්යාවටද තිබුණේ එක් වස්ත්‍රයක් පමණි. එසේම ඔවුන් දෙදනාටම පෙරවීමට තිබුණේද එක වස්ත්‍රයක් පමණි. එම නිසා ඔවුන් දෙදනාටම එකවර දහම් දේශානාවට සවන් දීමට එලියට යා නොහැකිව තිබුණි.

ධර්ම දේශනා කරන දිනය ආ කල්හි, බමුණා බැමිණිය විචාරා ඇය දහවල් කාලයේ දහම් ඇසීමට යන බව දැන ඇයට පෙරවාගෙන යාම සඳහා සළුව දුනි. ඉන්පසු ඇය ආ කල්හි බමුණා රාත්‍රී කාලයේ එම සළුවම පොරවා ගෙන දහම් ඇසීමට ගියේය.

එසමයෙහි, විපස්සී බුදුරජාණන් වහන්සේ මහ පිරිස් මැද අතිමධුර වූ බ්‍රහ්මස්වරයෙන් ඉතා මිහිරි කොට දහම් දෙසන සේක. පිරිස් කෙළවර හිඳ දහම් අසන ඒකශාටක බ්‍රහ්මණ තෙමේට ප්‍රථම යාමේයේදීම මහත් වූ ප්‍රීතියක් ඇති විය.

එම මහත් වූ ප්‍රීතිය හේතුවෙන් ඔහුට තමා පොරවා සිටින වස්ත්‍රයෙන් විපස්සී බුදුරජාණන් වහන්සේ පුදන්නට ඔහුට සිතුණි. එකල්හි, " අප දෙදනාටම එලියට පොරවා ගෙන යෑමට ඇත්තේ මේ වස්ත්‍රය පමණි. මෙය දුනහොත් අපට ගෙයි සිටින්නටම වෙතියි සිතා මහත්හ් වූ මසුරු කමක් ඇති කර ගත්තේය.

නැවතත් සිත එක්තැන් කරගෙන බණ අසන ඒකශාටක බමුණු තෙමේට මධ්‍යම රාත්‍රියේදී නැවතත් ශරීරය පිණා යන තරමේ ප්‍රීතියක් දැණුනි. වස්ත්‍රය පූජා කරන්නට සිතුණත් පූජා කිරීමෙන් පසු සිදුවන අපහසුකම් ගැන සිතා වස්ත්‍රය නොදෙන්නට තීරණය කර ගත්තේය. පශ්චිම යාමේයේදී නැවතත් වස්ත්‍රය පුදන්නට තරම් ප්‍රීතියක් උපන් අතර "පසුව කුමක් වුවත් මම මුන්වහන්සේට මේ වස්ත්‍රය පූජා කරමියි" සිතා හැඳ සිටි වස්ත්‍රය හකුලා බුදුරජාණන් වහන්සේගේ දෙපා මුල තැබීය. එයින් බමුණු තෙමේගේ ප්‍රීතිය සිය දහස් ගුණයකින් වැඩි විය. වඩාත් වූ ප්‍රීතිය ඇත්තා වූ බමුණු තෙමේගේ මුවින් "මා දිනුවා, මා දිනුවා" යැයි ඉබේම කියවිණි.

එකල්හි රාජ්‍යය කරවන බන්ධුම රජතුමාද එහි විත් දහම් අසමින් සිටියේය. "මා දිනුවා" යැයි හඬ ඇසී ඒ පිළිබඳව විමසීමට රජතුමා පුරුෂයෙකු යැවීය. රාජපුරුෂයා ගොස් ඒකශාටක බමුණා විමසන්නාහු, "රාජපුරුෂය, අන්‍යයන් කඩු දුනු ආදිය ගෙන යුද කොට පර සේනාවන් දිනන්නාහ. එය මහත් වූ දෙයක් නොවේ. නමුත් මම පසුපසින් එන කුළුගොනකු පොල්ලකින් ගසා එලවන්නාක් මෙන් මාගේ මසුරු සිත මැඩ පවත්වා හැඳ සිටි එකම වස්ත්‍රය බුදුරජාණන් වහන්සේට පූජා කලෙමියි" පැවසීය.

රාජපුරුෂ තෙමේ නැවත පැමිණ ඒ කරුණ රජතුමාට දැන්වීය. රජතුමා සිතන්නාහු, "පූජාවක් කල යුතු බව අපිට නොතෙරුණේය. නමුත් බමුණාට වැටහුනේයැයි" කියා වඩාත් සතුටු වී බමුණාට සළු යුවලක්ම යැවීය. බමුණා එය පිළිගෙන "මේ සියල්ල මට ලැබුනේ බුදුරදුන්ගේ ගුණ කීම නිසාය, මේ වස්ත්‍ර ජෝඩුවද මම තථාගතයන් වහන්සේටම පුදමි" යි සිතා එම වස්ත්‍ර යුවල බුදුරදුන්ට පිදීය.

රජතුමා රාජ්පුරුෂයා විමසන්නාහු, බමුණා ඒ වස්ත්‍ර යුවලද බුදුරජුන්ට පූජා කල බව දැන නැවත සළු හතරක් යැවීය. බමුණා ඒ සළු හතරද බුදුරජාණන්ට පිදීය. රජතුමා ඒ බවද දැනගෙන නැවත සළු දෙගුණ කොට යැවීය. බමුණු තෙමේ සළු බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේද, රජතුමා නැවත නැවතත් සළු දෙගුණ කොට යැවීය. අවසන රජතුමා සළු තිස්දෙකක් එවූ කල්හි බමුණා "මෙලෙස වස්ත්‍ර පිදීම වැඩි කොට ගැනීමක් වැනිය" සිතා තමන්ට හා බැමිණියට සළු දෙකක් ඉතිරි කර අනෙක්වා සියල්ල බුදුරජාණන් වහන්සේට පූජාකලේය.

ඉන්පසු දිනක් ඒකශාටක බමුණා ශීතකාලයේ බුදුරදුන්ගෙන් දහම් අසනු රජතුමා දැක, තමන් පොරවා සිටි ලක්ෂයක් වටිනා කම්බිලිය ඒකශාටක බමුණාට දී "මෙය හැඳ දහම් අසන්නැයි" පැවසීය. බමුණා නැවත් එය බුදුරජාණන් වහන්සේට පූජා කර යන්න ගියේය.

එක් දවසක රජතුමා බුදුරදුන් හමුවට ගොස් ගඳකිළිය තුල බුදුරදුන් සමීපයෙහි හිඳ සිටියේය. එකල්හි තථාගත ශරීරයෙන් විහිදෙන ෂට් වර්ණ රශ්මීන් වැදී කම්බිලිය දිලිසෙමින් තිබුනි. රජු ඒ දැක බුදුරදුන්ගේන් කම්බිලිය පිළිබඳ විමසීය. එකල්හි බුදුරජාණන් වහන්සේ "මහරජ, ඔබ විසින් කම්බිලිය බ්‍රාහ්මණයාට පුදන ලද්දේද, ඔහු විසින් නැවත අපහට එය පූජා කරන ලද්දේයැ"යි වදාලහ.

එකල්හි රජතුමා, "මේ බමුණා අපට වඩා හොඳින් යුතුකම් දන්නේයැයි" සිතා ඔහු කෙරෙහි වඩාත් පැහැදී මනුෂ්‍යයන්ට ප්‍රයෝජනවත් යම් දෙයක් වේද එයින් අට බැගින් ගෙන ඔහුට සබ්බට්ඨක දානයක් දී පුරෝහිත තනතුරට පත් කර ගත්තේය.

මහත් වූ සැප සම්පත්තියක් ලැබුවා වූ ඒකශාටක බමුණු තෙමේ වඩ වඩාත් දානාදී පින්කම් කර ආයු කෙළවර නැවත දෙව්ලොව උපන්නේය.

පසේ බුදුන් වහන්සේට මඩ පිලිගැන්වීම[සංස්කරණය]

ඉක්බිති ඒ ඒකශාටක බමුණු තෙමේ දෙව් මිනිස් සුගතියෙහි ඉපදී, මේ කල්පයෙහි කෝණාගමණ - කාශ්‍යප බුදුවරුන් අතර කාලයේදී බරණස් නුවර කුල ගෙයක උපන්නේය. එක දිනක ගං තෙරක සිවුරක් කරමින් සිටි පසේ බුදුන් වහන්සේ නමක් නුවාවකට රෙදි මදි වීමෙන් සිවුරු හකුලනු දැක, ඒ පිළිබඳව විමසා, රෙදි මදි වීමෙන් බව දැන තමන් හැඳ සිටි උතුරු සළුව උන්වහන්සේට පූජා කලේය. පූජා කර "මේ පිනෙන් උපනූපන් සෑම ආත්මයකම මට කිසිවකින් අඩුවක් නම් නොවේවා" යැයි පැතීය.

එදින ඔහුගේ නිවසෙහි ඔහුගේ බිරිය හා නැඟණිය කලහ කරමින් සිටින්නාහ. එකල්හි ඒ පසේ බුදුන් වහන්සේ පිඬු පිණිස ඒ නිවස සමීපයට වැඩම කළ සේක. නැඟණිය පසේ බුදුන් වහන්සේට පිණ්ඩපාතය පිළිගන්වා " මේ නපුරු ගැහැනියගෙන් මා යොදුන් සියයක් දුරු වේවා"යි පැතීය.

මිදුලේ සිට නැඟණියගේ ප්‍රාර්ථනාව අසා සිටින්නා වූ ඔහුගේ බිරිය, "මැගේ පිණ්ඩපාතය මේ ශ්‍රමණයාට වළඳන්නට මම ඉඩ නොදෙමි"යි සිතා පසේ බුදුන් වහන්සේගේ පාත්‍රය අතින් ගෙන එහි වූ පිණ්ඩපාතය විසි කර දමා එයට මඩ පුරවා පිළිගැන්වීය.

එය දැක නැඟණිය කම්පා වන්නී, "මෝඩිය, වුවමනා නම් මට බනින්න, ගසන්න. ඒත් මෙවැනි උත්තමයන් වහන්සේ නමකගේ පාත්‍රයට බත් විසි කොට මඩ දමා යුතු නොවේ" යැයි පැවසීය.

එකල්හි සිහි නුවණ පැමිණියා වූ බිරිය, පසේ බුදුන් වහන්සේගේ හස්තයෙන් පාත්‍රය නැවත රැගෙන එහි වූ මඩ විසි කර දමා සෝදා පිරිසිදු කර සුවඳ සුණු උලා සුවඳ කොට එහි චතුමධුර පුරවා මතුපිට පියුම් ගැබ් වන් ගිතෙල් ලා ඔප ගන්වා පසේ බුදුන් වහන්සේට පූජා කලේය. පූජා කර "මේ පිණ්ඩපාතය සේම මාගේ ශරීරයද උපනූපන් හැම ආත්මයේම ආලෝකවත් වේවා"යි පැතීය. ඒ අඹුසැමි දෙදනා බොහෝ පින්කම් කර නැවත දෙව්ලොව උපන්නේය.

ඒ උපාසක තෙමේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී බරණැස් නුවර අසූ කෙළක් ධනය ඇති සිටු ගෙදරක උපන්නේය. ඔහුගේ බිරියද එවැනිම ගෙදරක උපන්නේය. සුදුසු කල් පැමිණි කල්හි ඒ සිටු දියණිය ඒ සිටු පුත්‍රයාට සරණ පාවා දෙන ලදී. එකල්හි එතෙක් කල් ඇයට විපාක නොදුන් පසේ බුදුන්ගේ පාත්‍රයට මඩ දැමීමේ පාපය විපාක දෙන්නට විය. සිය සැමියාගේ ගෙදරට ගිය කල්හි ඇගේ ශරීරයෙන් වැසිකිළියක මෙන් දුඟද හමන්නට විය. මේ ගඳ කොහින් එන්නේදැයි විමසන සිටු පුත්‍රයා හට එය අලුත ගෙනා මනාලියගෙන් පැමිණෙන්නේ යැයි දැන සිටු දුවණිය නැවත හරවා යැවීය.

නැවත නැවතත් ඇය සත් තැනකට සරණ පාවා දුන් නමුත් ඒ සෑම තැනකින්ම දුඟද නිසා නැවත හරවා එවිණි. ඇය යම් ලෙසකින් නිවසේ සිටින්නේද එවිට කිසිම දුඟදක් ඇඟේ ශරීරයෙන් පිටවන්නේ නැත.

පිනෙන් පරණ පව අහෝසී වීම[සංස්කරණය]

එකල්හි බොහෝ සත්ත්වයින් සසර දුකින් එතෙර කරවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ සේක. උන්වහන්සේගේ ධාතූන් තැන්පත් කර රන් ගඩොලින් චෛත්‍යයක් කරන්නට විය. සිටුදූ ද "සත් තැනකින්ම හරවා එවන ලද මාගේ ජීවිතයෙන් කවර නම් ප්‍රයෝජනක්ද ?" යැයි සිතා තමන් සතු වූ සියළුම රන් ආභරණ උණු කරවා රන් ගඩොලක් සාදා හිරියල් මනෝසීල බදාමද මානෙල් මල් මිටි අටක්ද රැගෙන චෛත්‍ය කරන තැනට ගියේය.

එවෙලේ එක ගඩොල් පෙලක් බැඳ අවසන් කිරීමට එක ගඩොල් කැටයක් මදි වී තිබුණි. එහි ගිය සිටු දුව "මේ ගඩොල් කැටය තබා බඳින්නට" යැයි පැවසීය. ඉන්පසු සිටූ දූ තමන් විසින්ම ඒ රන් ගඩොල් කැටය චෛත්‍යයේ තබා බදාමද යොදා, මානෙල් මල් පුදා වැඳ "මේ පිනෙන් උපනූපන් ජාතියේ මාගේ කයින් සඳුන් මල් සුවඳත්, මුව්න් මානෙල් මල් සුවඳත් විහිදේවා" යි පැතීය.

ඒ මොහොතෙහිම ඇය පළමු වරට ගිය සිටු පුත්‍රයා හට ඇයව සිහි විය. ඒ නගරයෙහි නැකැත් කෙළිය ආරම්භ කරන කාලයයි. ඇය කොහිදැයි විචාළන සිටු පුත්‍රයා හට ඇය ඇයගේ නිවසේ වස්නා බව දැනගන්නට ලැබී "නැකැත් කෙළිය සඳහා ඇයව රැගෙන එනුයි" සේවකයන්ට අණ කළේය.

සේවකයෝ ගොස් ඒ පුවත ඇයට දැන්වීය. එකල්හි තමන්ට පැමණීමට ආභරණ නැති බව ඈ පැවසීය. සිටු පුත්‍රයාට ඒ කරුණ දැන ගන්නට ලැබී ආභරණ ලැබිය හැකි යැයි පවසා එන ලෙස නැවත දන්වා යැවීය. එකල්හි සේවකයෝ ඈ රැගෙන ආවේය. ඈ නිවසට පා තැබූ කල්හි මුළු ගෙයිම සඳුන් මල් සුවඳ හා මානෙල් මල් සුවඳ පැතිරෙන්නට විය. එවිට සිටු පුත්‍රයා පුදුම වී "පෙර ඈ පැමිණි කල්හී වැසිකිළියක් මෙන් දුඟද පිට වන්නට වූ මුත් දැන් ඔබගේ කයින් සඳුන් සුවඳත්, මානෙල් මල් සුවඳත් නික්මෙන්නේය, ඊට හේතු කාරණා කිමදැයි" විමසීය. එකල්හි සිටු දුව සිදුවූ සියල්ල ඔහුට පැවසීය.

එකල්හි සිටු පුත්‍රයා මේ බුදු සස්න පිළිබඳව වඩාත් පැහැදී යොදුනක් පමණ වූ ඒ ස්වර්ණ චෛත්‍ය වස්ත්‍රයෙන් වසා එහි තැනින් තැන නෙළුම් මලෙන් සැරසීය. අවසන ආයු කෙළවර නැවත දෙව්ලොව උපත ලැබීය.

සිටුපුත් දෙව්ලොවින් චුතව නැවත බරණැස් නුවරට යොදුනක් පමණ දුරින් වූ ඇමති පවුලක උපන්නේය. සිටුදූ රජ පවුලෙහි දෙටු දුවණිය වී උපන්නේය. කුමරු වැඩිවිය පැමිණි කල්හි ගමේ පැවැත්වෙන නැකැත් කෙළියට සැරසෙනු සඳහා තම මෑණියන්ගෙන් වස්ත්‍ර ඉල්ලුවේය. ඈ සෝදා පිරිසිදු කල වස්ත්‍රයක් දුන්නීය. එය රළු වැඩියැයි කියා කුමරු එය ප්‍රතික්ෂේප කළේය. එවිට මව වෙනත් සළුවක් දුන්නීය. කුමරු එයද ප්‍රතික්ෂේප කළේය. මව තවත් වෙනත් සළුවක් දුන් විට කුමරු එයද ප්‍රතික්ෂේප කළේය. එකල්හි මැණියෝ "පුතණුවනි, අපට මෙයිට වඩා සියුම් වස්ත්‍ර ලැබෙන පිනක් නැතැයි" කීය. එකල්හි කුමරු "එසේ වී නම් මෑණියනි එබඳු සළු ලැබෙන තැනකට මම යමි" යි කියා නිවසින් පිටව ගියේය.

ඇමති පුත් තමන් විසින් අතීතයේ කරන ලද්දා වූ කුශල කර්ම වල මෙහෙයවීමෙන් සිය නිවසින් නික්ම බරණැස් නුවරට ගොස් රජ උයනේ මඟුල් උයනේ ගල් පුවරුවකට වී නිදා ගත්තේය. එය බරණැස් රජු කලුරිය කර සත්වන දිනය විය. එම රජුගෙන් පසු රාජ්‍යය භාර ගැනීමට කිසිවෙකුත් නොසිටියහ. එම නිසා සම්ප්‍රදාය අනුව මඟුල් ඇතු සරසවා ශ්වේත්ච්ජ්ත්‍රය සහිත පඤ්ච රාජ භාණ්ඩ එහි තබා ඇතුට යන්නට හැරියේය. එකල්හි මඟුල් ඇතු මඟුල් උයන දෙසට යන්නට විය. ඇතැම්හු "ඇතු පුරුද්දට මඟුල් උයනට ගමන් කරනවා" යැයි කියා ඇතු නවත්වන්නට උත්සාහ කලහ. පුරෝහිත බමුණා එය වළක්වා ඇතුට යන්නට දුන්නේය. මඟුල් උයනට ගිය ඇතු කුමරු ප්‍රදක්ෂිණා කර ඇතු පිට නැඟීමට හැකි පරිද්දෙන් සිට ගත්තේය. එවිට එහි පැමිණි පුරොහිත තෙමේ කුමරුගේ යටි පතුල් පරීක්ෂා කර බලා මේ තෙමේ මෙ නුවර රජකමට පමණක් නොව, සතර මහද්වීපයේ රජකටම වුවද සුදුසු බව" දැන තූර්ය වාදනය කරවීය.

එකල්හි නිදා හුන් කුමරු ඇහැරී බලා "කුමට ආවේදැයි" විමසීය. ඉක්බිති කුමරු සිදු වී ඇති සියල්ල පුරෝහිත බමුණාගෙන් දැන "එසේ වී නම් රාජ්‍යය කරමියි" කියා රාජ්‍යය භාර ගත්තේය.

උතුරු සළුව පිදීමේ විපාකය පල දීම[සංස්කරණය]

ඉන්පසු ඒ උයනෙහිම අභිෂේක මණ්ඩපයක් තනවා කුමරිය සර්වාලංකාරයෙන් සරසා කුමරුන් හට සරණ පාවා දී රාජාභිෂේකයද කරවා රාජාභිෂේකයෙන් පසු කුමරුට හැඳීමට ලක්ෂයක් වටිනා සළුවක් දුන්නේය.එකල්හි කුමරු "මේ කුමක්දැයි" ඇසීය. "දේවයන් වහන්ස, හැඳීමට සළුවකි"යි කීහ. "මේ සළුව රළුය. මීට වඩා සියුම් වූ සළුවක් නැත්දැයි" රජු විමසීය. "දේවයන් වහන්ස මේ මිනිස් ලොව නම් මීට වඩ සියුම් වූ සළු නැතැ"යි කීහ. "නුඹලාගේ රජු හැන්දේ මෙවැනි සළුදැයි" කුමරු විමසීය. "එසේය දේවයිනි" ඇමතියෝ පිළිතුරු දුන්හ.

එකල්හි "නුඹලාගේ රජු පිනැතියෙකු නොවෙමියි සිතමි. පැන් කෙණ්ඩියට වතුර ගෙනෙව්.සළු ලබනා සැටි මම පෙන්වමි" යි කුමරු කියා ගෙනා පැන් කෙණ්ඩියෙන් මුවද, අත්ද සෝදා නැගෙනහිර දෙසට පැන් ඉස්සේය.

එකෙණෙහිම ඝන පොළොව බිඳ කප් රුක් අටක් පැන නැංගේය. කුමරු දකුණු, බස්නාහිර, උතුරු දෙසටද පැනි ඉසින්නාහු ඒ දිශා වලින්ද කප් රුක් අට බැඟින් නැංගේය.

ඉන්පසු ඔහු ඒ එක දිවසළුවක් හැඳ එකක් පොරවා "මින්පසු රාජ්‍යයේ නූල් කටිනා සිත්‍රීන්ට නූල් නොකටිනා ලෙස" අඬබෙරයක් යවා මහත් වූ උත්සවශ්‍රීයෙන් නුවරට ගොස් නන්ද රජු නමින් රාජ්‍යය විචාරන්නට විය. ඒ උතුරු සළුව පිදීමේ විපාකයය.

එක් දිනක් නන්ද රජුගේ දේවිය කණගාටු වනු දුටු රජු ඒ පිළිබඳ විමසන්නාහු, "තමන්ගේ අතීත පුණ්‍යක්‍රියා නිසා තමන් මේ සා මහත් වූ සැප සම්පත්තියක් විඳින බවත්, අනාගතය පිණිස පුණ්‍යකර්මයක් නොකරන බැවින්" තම දේවිය ඒ පිළිබඳව දුක් වන බවත් දැනගත්තේය.

එකල්හි රජතුමා, "දේවියනි, අපි කා හට නම් දන් දෙමුද ? මේ නුවර සිල්වතුන් නම් නැතැයි" කීහ. එවිට බිසව "දේවයන් වහන්ස, මේ දඹදිව රහතන් වහන්සේලාගෙන් නම් හිස් වන්නේ නැත. නුඹ වහන්සේ දන් පිළියෙල කරනු මැනවි. මම රහතන් වහන්සේල සොයා දෙමි" යි කීය.

රජතුමා පසු දිනම මහ දනක් පිළියෙල කළේය. බිසව සිල් සමාදන් වී ප්‍රාසාදයේ උඩුමහල් තලයට නැඟ නැගෙනහිර දිසාවට හිස ලා බිම දිගා වී නමස්කාර කොට "මේ දිසාවෙහි රහතන් වහන්සේලා වැඩ වසන සේක් නම්, හෙට දින දන්ට වැඩම කර අපගේ භික්ෂාව පිළිගන්වා සේක්වා"යි ආරාධනා කළාය. නමුත් එම දිසාවෙහි රහතන් වහන්සේලා නොවූහ. පිළියෙල කල දානය නගරයෙහි වූ දුගී මගී යාචකාදීන්ට බෙදා දුන්හ. පසු දිනද දන් පිළියෙල කල එසේ කලාය. නමුත් රහතන් වහන්සේලා නොපැමිණියහ. තුන්වන දිනද එසේම කළේය. නමුත් රහතන් වහන්සේලා නොපැමිණියහ. සතරව දින ද මහත් වූ දානයක් පිළියෙල කර උතුරු දෙසට හිස ලා බිම දිගාවී දනට ආරාධනා කළාය.

එකල්හි හිමාලය වනයේ වැඩ වසන පදුමාවතී දේවියගේ දරුවන් වන පන්සියයක් පසේ බුදුවරුන්ගෙන් වැඩිමහලු මහාපදුම පසේ බුදුන් වහන්සේට එය දැනී තම සහෝදර පසේ බුදුන් වහන්සේලා අමතා "නන්ද රජු හෙට දින ඔබ සියලු දෙනාටම දනට ආරාධනා කරන්නාහ. ඔහුගේ ආරාධනාව ඉවසන්නැයි" වදාල සේක.

පසු දින පන්සියයක් පසේ බුදුන් වහන්සේලා අනෝතත්ත විලෙන් මුව සෝදා අහසින් වැඩම කර නගරයේ උත්තරද්වාරය සමීපයේදී පොළවට වැඩම කළ සේක. මිනිසුන් ද රජු වෙත ගොස් "රජතුමනි, පන්සියයක් පසේ බුදුවරුන් වහන්සේලා වැඩම කළහ"යි දැනුම් දුන්හ.

රජතුමා සහ දේවිය එහි ගොස් මහත් වූ හරසරින් පන්සියයක් වූ පසේ බුදුවරුන් වැඩම කරවා දන් පිළිගැන්වූහ. අවසානයේදී රජතුමා පසේ බුදුවරුන්ට එහිම වැඩ වාසය කරන ලෙසට ආරාධනා කළේය. රජතුමාගේ ඒ ඇරයුම පිළිගත් පසේ බුදුන්වරුන් වහන්සේලාට රජතුමා තම උයනෙහිම වාසස්ථාන පිළියෙල කරවා දුනි.

දිනපතා පසේ බුදුවරුන්ට උපස්ථාන කරන්නාවූ රජතුමන් හට දීර්ඝකාලයකට පසු ජනපදයක ඇති වූ කැරැල්ලක් මැඬ පැවැත්වීමට යන්නට සිදු විය. පසේ බුදුන් වහන්සේලාට අප්‍රමාදීව උපස්ථාන කරන ලෙස දැන්වූ රජතුමා කැරැල්ල මැඬපැවැත්වීමට පිටව ගියහ.

පසේ බුදුවරු පිරිණිවන් පෑම[සංස්කරණය]

දේවියද රජතුමා ගිය දා පටන් මහත් වූ ගෞරවයෙන් යුතුව පසේ බුදුන් වහන්සේලාට ඇප උපස්ථාන කලේය. නමුත් රජතුමා නැවත් පැමිණීමට පෙර පසේ බුදුන් වහන්සේලාගේ ආයු කාලය ගෙවිණි. මහපදුම පසේ බුදුන් වහන්සේ රාත්‍රිය මුළුල්ලේ ධ්‍යාන සුඛයෙන් කල් ගෙවා අළුයම් කාලයේදී සක්මන කෙළවර හේත්තු වන ලෑල්ලට හේත්තූ වී සිට ගෙනම පිරිණිවන් පෑවාහුය. එදිනම ඒ වේලේම අනෙක් පසේ බුදුන් වහන්සේලාද පිරිණිවියහ.

පසු දින් දේවිය දන් පිළියෙල කරවා පසේ බුදුන් වහන්සේලා වඩින තුරු බලා හිඳින්නී, ඒ බවක් නොදැක, "කිමෙක්ද ? පසේ බුදුන් වහන්සේලාට යම් කිසි අපහසුවක් වීදැයි බලාගෙන එවැයි" කියා රාජපුරුෂයෙකු යැවීය. ඔහු ගොස් පසේ බුදුන් වහන්සේලා වැඩ සිටින පන්සලේ දොර හැර බලා උන්වහන්සේලා එහි නොදැක සක්මනෙහි බැලූ කල එහි හිඳිනු දැක දනට වඩින ලෙසට ආරධනා කළහ. පසේ බුදුන් වහන්සේලාගෙන් පිළිතුරක් නොලද කල්හි මුන් වහන්සේ නිදාසිටී යැයි සිතා උන්වහන්සේගේ යටි පතුල් අත ගෑවේය. සිසිල්ව, තදව පිහිටියා වූ උන්වහන්සේගේ යටි පතුල් වලින් උන්වහන්සේ පිරිනිවී බව දැන අනෙක් පසේ බුදුන් වහන්සේලා වෙත ගියේය. එලෙසම අනෙකුත් පන්සියයක් පසේ බුදුන් වහන්න්සේලා ද පිරිනිවී බව දැන රජගෙට ගොස් ඒ බව දැන්වීය. දේවියද මහත් වූ ශෝකයෙන් හඬා වැලපෙමින් පැමිණ පසේ බුදුවරුන්ගේ දේහයන් ගෙන ගොස් අදාහන කරවා චෛත්‍යයක් කරවීය.

රජු පැවිදිවීම[සංස්කරණය]

ජනපදයේ ඇති වූ කෝලාහලය සන්සිඳුවා එන නන්ද රජතුමා තමන්ව පිළිගැනීමට පෙර මඟට පැමිණි දේවියගෙන් පසේ බුදුවරුන් පිළිබඳ විමසා උන්වහන්සේලා පිරිණිවන් පා වඳාළ බව දැන "මෙතරම් පණ්ඩිත පසේ බුදුන් වහන්සේලාටත් මරණය පැමිණි කල්හි අපිට එයින් ගැලවීමක් කොයිදැයි "සිතා නගරයට නොගොස් තම දෙටු පුත් හට රාජ්‍ය පවරා පැවිදි විය. දේවියද "මොහු පැවිදි වූ කල්හි මම කුමක් කරම්දැයි" සිතා දේවියද මහණ විය. දෙදනාම භාවනා කර ධ්‍යාන වඩා ආයු කෙළවර බ්‍රහ්ම ලෝකයෙහි උපත් ලැබීය.

ගිහි ජීවිතය[සංස්කරණය]

උපත සහ ළමා විය[සංස්කරණය]

ඔවුන් බ්‍රහ්ම ලෝකයේ වෙසෙන කල්හි ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළව දම්සක් පවත්වා රජගහ නුවරට වැඩි සේක. එකල්හි රජු බඹ ලොවින් චුතව විත් මගධ රට මහාතීර්ථ නම් බ්‍රාහ්මණ ගමෙහි පිප්ඵලීමාණව නමින් උපන්නේය. බිසව මදු රට සාගල නුවර කෝසියගොත්ත නම් බ්‍රාහ්මණයාගේ අග මෙහෙසුන් කුස බද්දකාපිළානි නමින් උපන්නාය.

නව යොවුන්විය හා විවාහය[සංස්කරණය]

පිප්ඵලීමාණව විසි අවුරුදු වියට පැමිණි කල්හි ඔහුගේ මවුපියන් සුදුසු තැනකින් විවාහයක් කර දෙන්නට සිතූහ. නමුත් පිප්ඵලීමාණව තෙමේ එය ප්‍රතික්ෂේප කළේය. නමුත් මවුපියන් නිතර නිතර ඒ පිළිබඳව පවසන්නට වූ කල්හි පිප්ඵලීමාණව තෙමේ එයින් ගැලවෙන්නට උපායක් යෙදීය. ඔහු රන්කරුවන් ලවා රන්කාසි දහසකින් ඉතා ශෝභන වූ ස්ත්‍රී රූපයක් තනවා මැනවින් ඔප ලා වස්ත්‍රාභරණයෙන් සරසා "මැණියනි, මේ රන් රුව බඳු වූ ස්ත්‍රී රත්නයක් ලදහොත් මම ඇය සරණ පාවා ගනිමි. නොලදහොත් මෙලෙසම වෙසෙමි" යි පැවසීය.

එකල්හි පණ්ඩිත වූ බැමිණිය මෙලෙස සිතන්නාහු, "අපගේ පුත්‍රයා බොහෝ පින් ඇතියෙක් බැවින් ඔහු හා විසුමට පින් කල කතක්ද සිටිය හැක. එම නිසා ඇය සෙවිය යුතුය". මෙසේ සිතා බමුණන් අට දෙනෙකු කැඳවා රන් රුව හා සමාන ස්ත්‍රී රත්නයක් සොයා ගෙන එන ලෙසට දැන්වීය.

බමුණෝද පළමුව මදු රටට යන්නාහු, එක්තරා නානතොටක රන් රුව තබා සැඟවී සිටියහ. එකල බද්දාකපිළානිගේ කිරි මව ඇයව නහවා සිරි යහන් ගබඩාවේ හිඳුවා නාවත නාන තොටට පැමිණෙන්නාහු, රන් රුව දැක භද්‍රාකාපිළානි යැයි සිතා කිපී "මෙ කෙල්ල කුමට මෙහි පැමිණේදැයි " තර්ජනය කොට කම්මුලට පහරක් දුනි. ඇගේ අත්ල පුපුරු ගසන්නට වූ කල්හි ඇය, "මේ මහ කළු ගලට මම මාගේ ස්වාමි දුව යැයි රැවටුනි, මෑ අපේ ස්වාමි දුවට වස්ත්‍ර දීමටවත් නුසුදුසුය" කීවාය.

එය ඇසූ බමුණෝ ඈ සමීපයට පැමිණ "තීගේ ස්වාමී දුව මීට වඩා ලස්සනදැයි" විමසීය. එකල කිරි මව ඇගේ ලස්සන වර්ණනා කරන්නාහු "මාගේ ස්වාමි දුව දොලොස් රියන් කාමරයක සිටින්නී නම් එහි පහන් දැල්වීමක් අවශ්‍ය නැතැයි " කීවාය. එබස් අසා සතුටට පත් බමුණන් ඇයත් සමඟම කෝසියගොත්ත බමුණාගේ ගෙදරට ගියහ.

බ්‍රහ්මණයාද ඔවුන් පිළිගෙන ඔවුන් පැමිණි කරුණ විමසා, ඉක්බිති ජාති කුල ගෝත්‍ර විමසා "යහපති දරුවනි, අප සමාන කුල ජාති ගෝත්‍ර හා සම්පත් ඇති තැනකට දැරිය දෙමි"යි පවසා ගෙන ගිය පඬුරු පිළිගත්තේය. එකල්හි බමුණන් විසින් එය කපිල බ්‍රාහ්මණයාට දැන්වූහ. මවුපියෝ සුදුසු ස්ත්‍රී රත්නයක් ලද බව පිප්ඵලීමාණව හට දැන්වූහ.

එවිට පිප්ඵලීමාණව තෙමේ "මම එබඳු දැරියක් නොලැබෙතියි සිතුවෙමි. එසේ වී නමුත් ලැබුවේයැයි මොවුන් කියති. මම මෙය නවතාලමි" සිතා "භද්‍රාවෙනි, මාගේ බලාපොරොත්තුව ගිහිව විසීමට නොව පැවිදි වීමටය. එම නිසා සුදුසු සැමියෙකු සොයා ගන්නය"යි රහසින් හස්නක් යැවීය. ඒ වන විට සොළොස් වියෙහි සිටි භද්‍රා කුමරියද තමා සරණ පාවා දෙන්නට යන බව අසා "තමා පැවිදි වීමට බලාපොරොත්තුවෙන් සිටින බව පවසා" රහසින් හස්නක් යැවීය.

සේවකයන් අත යැවූ මේ හසුන් වැඩිහිටියන් හට හසුවී ඔවුන් විසින් අන් හසුන් දෙකක් පිළියෙල කර දෙදනාටම යැවූහ. අවසානයේදී මවුපියන්ගේ උවමනාව මත ඔවුන්ගේ විවාහය සිදු විය.

එදින පිප්ඵලීමාණව හා භද්‍රා දෙදනාම මල් දම් දෙකක් ගොතවා ගත්තේය. රාත්‍රී කාලයේ සැතපීමට ශයනයට ගිය කල්හි යහන මැද මල් දම් තබා "යමෙකුගේ පැත්තේ මල් දම් මලානික වුවහොත් ඔහුට රාග සිත් ඇති වූ බව දත යුතු යැයි " කියා එකිනෙකා නොගැටෙන සේ ශයනය කළෝය.

ඔවුන් මවුපියන් ජීවත්වන තාක් කල් ධන පරිහරණයෙන්ද වැළකි සිටියහ. මවුපියන්ගේ මරණයෙන් පසු අසූ කෝටියක ධනය සමඟ ඇත්, අස්, රිය ඉතා විශාල ප්‍රමාණයක් හිමිවුණි.

දිනක් ඔහු රථයකට නැගී කර්මාන්ත පරීක්ෂා කරන්නට යන්නාහු, සීසෑ තැන්වලින් මතුවන පණුවන් කන කාක්කන් දැක "මොවුන් කුමක් කරන්නේදැයි " විමසීහ. "උතුමාණෙනි, පණුවන් කති" යි කීහ. එවිට "මේ පව හිමි වන්නේ කාටදැයි" ඇසීය. "උතුමාණෙනි, ඔබටය" ජනයා කීහ. එවිට පිප්ඵලීමාණව තෙමේ "මේ සියලු පාපයන් මට නම් මේ ධනයෙන් ඇති ප්‍රයෝජනයක් නම් නැත. සියල්ලම භද්‍රාවන්ට දී මහණ වෙමියි" සිතා ගත්තේය.

එදින භද්‍රාද තළසැලි තුනක් එලියෙහි වනා කිරිමවුන් හා සිටින්නි, කවුඩන් විසින් තල පණුවන් කනු දැක ඒ කුමක්දැයි විචාරා එහි පාපය තමන්ට හිමි වන බව දැන "මේ සතුන් කරන පාපය මට හිමි වන්නේ නම් මේ සංසාරයෙන් ගොඩ ඒමක් නම් නැත. මම සියල්ලම සැමියා හට දී පැවිදි වන්නෙමි" ඉටා ගත්තාය.

තාපස දිවිය[සංස්කරණය]

ගිහි ගෙය හැර මහණ වීම[සංස්කරණය]

පිප්ඵලීමාණව තෙමේ ප්‍රාසාදයට පැමිණ ආහාර අනුභව කොට තම බිරිඳ අමතා තමන් සතු සියළුම ධනය ඈ හට පවරා පැවිදි වීමට අදහස් කරන බව පැවසීය. එකල්හි භද්‍රා කුමරිය තමන්ද මහණ වීමේ බලාපොරොත්තුවෙන් ඔහු පැමිණෙන තුරු සිටි බව පැවසීය. එවිට ප්‍රීතියට පත් ඔවුන් ඔවුනොවුන් විසින්ම හිස්කෙස් බූ ගා කසාවත් හා මැටි පාත්‍ර ගෙන්වා "මේ ලෝකයේ යම් රහත් කෙනෙක් වේ නම් අපේ පැවිද්ද ඔවුන් උදෙසායි" කහවත් හැඳ පොරවා ප්‍රාසාදයෙන් බැස ගියහ. ප්‍රාසාදයේ විසූ කිසිවෙකුටත් ඔවුන් හඳුනා ගත නොහැකි විය. එසේ වී නමුත් තමන්ගේ දාසයින් සිටි ගම් හරහා යන විට දාසයින් ඔවුන් හැඳින ගත්හ. එකල ඔවුන් හඬා වැටී තමන්ලා කුමක් නිසා අනාථ කලේ දැයි ඇසීය. එකළ තාපස යුවළ ඔවුන් දාස භාවයෙන් මුදවා ඔවුන් හඬද්දීම පිටව ගියහ.

පැවිදි වීමෙන් පසු කාශ්‍යප නම් ලද පිප්ඵලීමාණව තෙමේ යන ගමන් , "මා පසු පසු මුළු දඹදිව තරම් වටිනා ස්ත්‍රී රත්නයක් එන්නීය. අප දක්නා සමහරුන් පැවිදිවීත් මොවුන් හට වෙන් විය නොහැකැයි සිතා සිත් දූෂ්‍ය කරගෙන අපායට යනු ඇත. එසේ හෙයින් මා විසින් මැය හැර දමා යා යුතුයැ"යි සිතීය.

අඹු සැමියන් වෙන්වීම[සංස්කරණය]

දෙමංසලකට පැමිණි විට කාශ්‍යප ස්ථවිර තෙමේ තම අදහස භද්‍රාට පැවසුවේය.ඇය ස්වාමීනි,නුඹ වහන්සේ එක මඟක් ගනු මැනවි. මම අනිත් මඟ ගනිමි" යි පැවසීය. පසුව භද්‍රා තුන් වරක් තෙරුන් වහන්සේ පැදකුණු කර වැඳ "කල්ප ලක්ෂයක් බැඳි මිත්‍ර සන්ථවය අඳින් කෙළවර වන්නේය, නුඹ වහන්සේ දකුණෙන් ඉන්න ජාතියේය. එම නිසා දකුණු මඟ ගනු මැනවි. මම වම් මඟ ගනිමි"යි කියා වෙන් වූහ.

බුද්‍රජාණන් වහන්සේ පෙර ගමන් කිරීම[සංස්කරණය]

එකල්හි මහා කාරුණික වූ තථාගතයන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වසන සේක්, මහ පොළොව කම්පා වීමට හේතු විමසා, අන් කිසිවෙකුත් නිසා නොව පිප්ඵලීමාණව හා භද්‍රාකාපිළානි නිසා බව දැන "මේ පින්වතුන් මහත් වූ ධනස්කන්ධයක් හැර පියා මා වෙනුවෙන් මහණ වූහ. මාද මොවුන්ට සංග්‍රහ කිරීම වටනේය"යි සිතා ගඳකිළියෙන් නික්ම තමන් වහන්සේ පමණක් තුන් ගවුවක් පමණ දුර ගමන් කර රජගහ නුවරටත්, නාලන්දාවටත් අතර වූ බහුපුත්‍රික නම් නුග රුක යට සමාධි සුවයෙන් වැඩ සිටින සේක.

එදා උන්වහන්සේ දුටු ඕනෑම කෙනෙකුට හැඳින ගත හැකි පරිද්දෙන් අසූ රියන් තැන් බුදු රැස් විහිදුවමින් බුද්ධ වේශයෙන්ම වැඩ සිටි සේක.

එකල්හි ඒ වනය ෂට්වර්ණ බුදු රැස් වැදී හිරු දහසක්, සඳු දහසක් පෑවුවාක් මෙන් ආලෝකමත් වුණි. දිලිසෙන තාරුකා සමූහයක් ඇති අහස මෙන්ද, හොඳින් පිපුණු සුදු රත් නෙළුම්වලින් ගැවසුණු ජලතලයක් මෙන්ද වන බැබළුණි. නුගරුකෙහි කඳ සුදුය, පත් නිල්ය, ගෙඩි රතුය, නුගරුක ස්වර්ණ වර්ණයෙන් බැබලිණි.

කාශ්‍යප තෙරුණුවෝ දුරදීම බුදුරජාණන් වහන්සේ දැක "මුන් වහන්සේ මාගේ ශාස්තෲවරයාණෝය.මාගේ පැවිද්ද මුන්වහන්සේ උදෙසාය" දුටු තැන සිට නැමී නැමී තථාගතයන් වහන්සේ වෙත එළඹ තුන් තැනක හිඳ වැඳ,

සත්ථා මෙ භන්තෙ භගවා, සාවකො හමස්මි, සත්ථා මෙ භන්තෙ භගවා, සාවකො හමස්මි

යනුවෙන්

ස්වාමීනි, නුඹ වහන්සේ මාගේ ශාස්තෲවරයාය, මම නුඹවහන්සේගේ ශ්‍රාවක වෙමියි, ස්වාමීනි, නුඹ වහන්සේ මාගේ ශාස්තෲවරයාය, මම නුඹවහන්සේගේ ශ්‍රාවක වෙමියි කීහ.

උපසම්පදාව ලැබීම[සංස්කරණය]

එකල්හි බුදුරජාණන් වහන්සේ වදාරණ සේක්, කාශ්‍යපය, යම් ශාස්තෲවරයෙක් නුඹ සේ මුළු සිතින්ම ශ්‍රාවකත්වය ප්‍රකාශ කරන ශ්‍රාවකයෙකු, නොදැනම දනිමියි, නොදැකම දැකිමියි කියන්නේ නම් ඔහුගේ හිස බොටුවෙන් ගිලිහී බිම වැටෙන්නේය. නමුත් මම මේ චතුරාර්යය සත්‍යය දැනගෙනම දනිමියි කියමි. දැකම දකිමියි කියමි.

ඉන්පසු බුදුරජාණන් වහන්සේ "තස්මාතිහ තෙ කස්සප එවං සික්ඛිතබ්බං" යානාදී අවවාද තුනක් දුන්හ. කාශ්‍යපයන් ඒ අවවාද තුන් ඉතා ගෞරවයෙන් පිළිගත්හ. ඒ අවවාද තුන පිළිගැනිම උන්වහන්සේගේ උපසම්පදාව විය. එය ඕවාදපටිග්ගහණ උපසම්පදා නම් වේ.

සිවුරු මාරු කිරීම[සංස්කරණය]

උපසම්පදාවට පත් කාශ්‍යප තෙරුන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ සමඟ නුග ගසේ මුලෙන් බැහැරව පාරට පැමිණ මඳ දුරක් ගමන් කල බුදුන් වහන්සේ එක්තරා ගසක් මුල විවේක ගන්නට විය. බුදුරජාණන් වහන්සේගේ අදහස වටහා ගත් තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ පට රෙදි වලින් කළ සඟළ සිවුර සතරට නමා තථාගතයන් වහන්සේට වැඩ සිටිනු පිණිස අතුළහ.

බුදුරජාණන් වහන්සේ සිවුර මත වැඩ සිටිමින්, "කාශ්‍යපය, නුඹගේ මේ පට සිවුර ඉතා මෘදුය"යි වදාළහ. එකල්හි තෙරුන් වහන්සේ බුදුන් වහන්සේගේ අදහස තේරුම් ගෙන "ස්වාමීනි, මාගේ මේ පට සිවුර පිළිගන්නා සේක්වායි" කීහ. එකල්හි තථාගතයන් වහන්සේ "කාශ්‍යපය, පරිභෝග කිරීම නිසා දිරා ඇති මේ සිවුර නුඹට පාවිච්චි කල හැකිදැයි" විමසීය. "එසේය, හිමියනි. ලැබුණොත් පරිභෝග කරමියි" කීහ.

එකල්හි බුදුරජාණන් වහන්සේ "කාශ්‍යපය, මා විසින් මේ සිවුර ගත් දිනයේදී මහ පොළොව කම්පා විය. මේ සිවුර මඳ ගුණැතියෙකු හට නම් පරිභෝග කළ නොහැක. මෙය පිළිගන්නට හැක්කේ පිළිවෙත් කිරීමට සමත් පාංශුකූලික භික්ෂූන් වහන්සේ නමක් පමණියි" කියා තෙරුන් වහන්සේ සමඟ සිවුරු මාරු කර ගත් සේක. එකෙණෙහිම මහ පොළොව යලිත් කම්පිත විය.

අරහත් භාවයට පත් වීම[සංස්කරණය]

තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙන් කෙළෙස් ධූත ගුණයන් සමාදන්ව සත දිනක් වීර්ය කොට අටවන දිනයේදී සව් කෙලෙසුන් නසා අරහත් පත් වුණි. පසු කළෙක බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප රහතන් වහන්සේගේ ගුණ වදාරා "එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ධූතවාදනං යදිදං මහා කස්සපො" යනුවෙන් උන්වහන්සේව ධූතවාදීන් අතරින් අග්‍රස්ථානයේ තබා වඳාල සේක.

අරහත් ජීවිතය[සංස්කරණය]

රහත් භාවයට පත් වූ කාශ්‍යප තෙරුණුවෝ තමන් වහන්සේ රූපයෙන් බුදුරජාණන් වහන්සේට සමාන වන බැවින් බොහෝ අපහසුතාවයන්ට පත් විය. එකල එක් වීදියක සිටි කාන්තාවක් සෑම දිනම මහා කාශ්‍යප රහතන් වහන්සේට පිණ්ඬපාතය පිළිගැන්වීමට පුරුදුව සිටියාය. දිනක් ඒ මඟ බුදුරජාණන් වහන්සේ වැඩි සේක. එකල්හි කාන්තාව මහා කාශ්‍යප හිමියන් වැඩියා යැයි සිතා රැවටී තමා සකස් කර තිබූ බත් හැන්දක් බුදුරජාණන් වහන්සේට පූජා කළාය. සුළු මොහොතකින් පිඬු පිණිස වඩින කාශ්‍යප හිමියන් දුටු කාන්තාව වහා දිව ගොස් බුදුරජාණන් වහන්සේ නවතා පාත්‍රයට අත දමා බෙදූ බත් හැන්ද රැගෙන නැවත් මහා කාශ්‍යප හිමියන්ට පූජා කළාය. මෙය දැනගත් මහා කාශ්‍යප හිමියන් බුදුරජාණන් වහන්සේට සිදු වූ අපහසුතාවය පිළිබඳ ඉමහත් සංවේගයට පැමිණ බුදු රදුන්ගේ අවසරය මත ආරණ්‍යවාසී විය. ඉන්පසු බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පානා තෙක්ම උන්වහන්සේ හිමාලය වනයේ භාවනා කරමින් උන්හ.

එකල්හි හිමාලය වනයේ වැඩ වාසය කරන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එක්තරා අධිෂ්ඨානයක් කරන්නාහුය. ඒ කෙසේද යත්, "යම් දිනෙක මාගේ ශාස්තෲ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පා වදාළ සේක්ද එකල්හි මේ ගල් ලෙන ඉදිරියේ තිබෙන්නා වූ මේ මල් ගසේ සියලුම මල් පරවී බිම වැටේවා" යන්නයි.

එක්තරා උදෑසනක කාශ්‍යප හිමියන් ගහේ තිබූ සියළුම මල් පරවී බිම වැටී තිබෙනු දැක එ කරුණින්ම බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පා වදාළ බව දැන තමන් වහන්සේගේ පා සිවුරු ගෙන කුසිනාරා නුවර බලා වඩින්නට විය.

එකල්හි මල්ල රජදරුවන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය අදාහනය කරන්නට සිතන්නාහු ඉතා අලංකාර වූ චිතකයක් සාදා එයට ගිනි දල්වන්නට උත්සාහ කරන මුත් ගිනි නොදැල්වෙන්නට හේතු මහා අනුරුද්ධ රහතන් වහන්සේගෙන් විමසීය. එවිට මහා අනුරුද්ධ රහතන් වහන්සේ තම දිව්‍යචක්ඛු ඥාණයෙන් බලා කාශ්‍යප රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට අවසන් ගෞරව දැක්වීම පිණිස වඩින බවත් එතෙක් කල් චිතකයට ගිනි නොදැල්වීම දෙවියන්ගේ අභිප්‍රාය බවත් දැන්වූහ.

මහා කාශ්‍යප හිමියන් එහි පැමිණ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සිරි පතුල් වන්දනා කිරීමත් සමඟම සතර වටින් චිතකයට ගිනි ඇවිලී යන්නට විය.

පළමු ධර්ම සංගායනාව පැවැත්වීම[සංස්කරණය]

ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පා වදාළ විට එහි සිට සුභද්‍ර" නම් භික්ෂුවක් "ඇවැත්නි; සෝක නොකරව්, නොවැලපෙව් ඵ් මහා ශ්‍රමණයාගෙන් අපි හොඳින් මිදුනෙමු. මේ තොපට කැපය. මේ අකැපයැයි ඹහුගේ නීති පැනවීමෙන් අපි පීඩා වින්දෙමු. දැන් අපි යමක් කැමති නම් ඵය කරන්නෙමු. යමක් අකමැතිනම් ඵය නොකරන්නෙමු." කියනු අසා මතු යම් දිනෙක බුදුන් වදාළ ධර්මයට සිදු විය හැකි හානිය දැක එය වළක්වානු ලස් ධර්ම සංගායනාවක් පැවැත්වීමට මූලිකත්වය ගත්හ.

ඉන්පසු උන්වහන්සේ අජාසත් රජතුමාගේ රාජ අනුග්‍රහය මත රජගහ නුවර වේහාර පර්වතයේ සප්තපණ්ණී ගුහාවේ පන්සියයක් රහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීය.

පර්නිර්වාණය[සංස්කරණය]

වසර එකසිය විස්සක් ජීවත්වූ මහා කාශ්‍යප රහතන් වහන්සේ දිනක් තමන්ගේ ආයුෂ අවසන් වී ඇති බව දැන පසු දින කුක්කුට සම්පාත නම් කන්දේදී පිරිණිවන් පෑමට තීරණය කළ සේක. ඒ බව සහෝදර භික්ෂූන් වහන්සේලාටද දැනුම් දී පසු දින පිඬු පිණිස වැඩම කර අවසන අජාසත් රජුටද දැනුම් දීමට පිටව ගියහ. එකල්හි රජු දිවා ආහාරය රැගෙන නිදාගන්නා බව දැන ගත් කාශ්‍යප හිමියන් රාජපුරුෂයන්ට තමන් වහන්සේ අද දින සවස කුක්කුට සම්පාත පර්වතයේදී පිරිණිවන් පානා බව රජුට දැනුම් දෙන්නැයි කියා ඉන් පිටව ගියහ.

පසුව කුක්කුට සම්පාත පර්වතයට වඩින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සෘද්ධි ප්‍රාතිහාර්ය පා රැස්ව සිටි පිරිසට අවවාද අනුශාසනා දී කුක්කුට සම්පාත පර්වත තුන මැද පිරිණිවන් පාන්නට අදහස් කළහ. එකල්හි එහි රැස්ව සිටි දෙවියෝ එහි ඇඳක් සාදා ඇඳේ පාද මත මල් පුරවන ලද්හ පුන් කලස් සතරක් තැබූහ.

එකල්හි මහා කාශ්‍යප රහතන් වහන්සේ ඇඳ මත සැතපී සමාපත්තියට සමවැදී අධිෂ්ඨානයක් කරන්නහුය. ඒ කෙසේද යත්,

මා පිරිණිවන් පෑ කල්හි මාගේ ශරීරයට අනතුරක් නොවන සේ මේ පර්වත තුන එකතු වන සේක්වා. මා වටා ඇති පහන් නොනිමේවා. මල් පරවී නොයේවා. මතු යම් දිනක මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී තම පිරිස් සමඟ මෙම ස්ථානයට වැඩම කර මාගේ සිරුර දකුණු අත්ලේ තබාගෙන, පින්වතුනි, මාගේ මේ අත්ලෙහි සිටින තෙරුන් වහන්සේ පිළිබඳව ඔබ දන්නෙහිද ? මොහු මේ කල්පයේ ලොව පහළ වී වදාළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා කාශ්‍යප නම් රහතන් වහන්සේයි. ධූතාංගධාරී හික්ෂූන් අතර අග්‍රස්ථානය වූ මොහු පිරිණිවන් පානා තෙක්ම ධූතාංග රකිමින් කටයුතු කළේය ආදී වශයෙන් පොළොව කුඩා කර මාගේ ගුණ මහත් කොට දේශනා කරනා සේක්වා. එකල්හි උන්වහන්සේගේ ශ්‍රී හස්තයේදීම මාගේ ශරීරය ගිණි ගෙන දැවෙන සේක්වා. එසේම මා පිරිණිවන් පෑ බව දැන මෙහි පැමිණෙන අජාසත් රජතුමන් හට මා වන්දනා කිරීමට මේ පර්වත තුන විවෘත වේවා. ඉන්පසු නැවතත් පර්වත එකට එක වේවායි යනුවෙනි. අජාසත් රජතුමා මේ බව දැනගත් වහාම මහා කාශ්‍යප හාමුදුරුවන් ගැන රජතුමාට තියෙන අසීමිත ගෞරවය නිසා රජතුමාට විපතක් වෙයි කියලා හිතන ඇමතිවරු වෛද්‍යවරුන්ට කියලා උක් යුෂ, කිරි, දී මණ්ඩි, ගිතෙල්, ගඳ කලල්, මැටි කලල් සහ සීතල ජලය තියෙන ඔරු 7 ක සකස් කරනවා. පස්සේ රජතුමාට මහා කාශ්‍යප හාමුදුරුවෝ පිරිනිවන් පාපු බව දැනුම් දීමත් එක්කම රජතුමාට සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමා උක් යුෂ ඔරුවට දාලා පස්සේ කිරි ඔරුවට දාද්දී රජතුමාට සිහිය එනවා. නැවතත් මේ පුවත ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කළාම සිහිපත් වුණාම රජතුමාට ආයි සිහිය නැතිවෙනවා. ඇමතිවරු රජතුමාව අනෙක් ඔරුවලටත් පිළිවෙලින් දාපුවාම රජතුමාට සිහිය එනවා. අන්තිමට රජතුමා කුක්කුට සම්පාත පර්වත භූමියට ගියාම මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ අධිෂ්ඨානයේ විදිහට පර්වත 3 විවර වෙනවා. බොහෝ කම්පා වෙන රජතුමා මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ දේහයට දින 7 ක් පූජා පවත්වලා අවසන් වීමත් එක්කම නැවතත් පර්වත 3 එකතු වෙනවා.

මේ කථාව මෙතනින් අවසන් වෙන්නෙ නෑ.

මෛත්‍රී බුදුහිමියන්ගෙ පිරිනිවීමටත් හේතුව

ඉතින් ඇයි මේ කාශ්‍යපහිමියන්ගේ ශ්‍රී දේහය මෛත්‍රී බුදුහිමියන් අතින් ආදාහන වෙන්නෙ. ඒකට හේතුවක් තියෙනව. ඒ හේතුවම තමයි මෛත්‍රී බුදුහිමියන්ගෙ පිරිනිවීමටත් හේතුව වෙන්නෙ. අපේ බෝසතාණන් වහන්සේ එක් අවස්ථාවක රජකෙනෙක්ව ඉපදුනා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ එතුමාගෙ ඇත්හලේ ඇතුන් හික්මවන ඇත් ගොව්වා උනා. දිනක් රජු ඇතා පිට යද්දි ඇතාට ඇතින්නියකගේ ගද දැනී කැලයට පැන දිවූ අතර රජු ගසක එක්ලී බේරුනි. මින් චෝදනාව ආවේ ඇත් ගොව්වාටය. ඇතුන් ඔහුට අවනත නැතිබව රජු විසින් දෝෂාරෝපණය කරන ලදි. ඇතා දින කිහිපයකින් සිය අවශ්‍යතා සපුරාගෙන නැවත ආවේය. ඒ අවස්ථාවේත සිට ඉතා කීකුරුව ඇත්ගොව්වා සමග කටුයුතු කලේය. ඇත්ගොව්වා සිය ඇතා කීකරු බව පෙන්වීමට රජු කියන සෑම දෙයක්ම ඇතා ලවා කර පෙන්වීය. එහෙත් රජු සෑහීමට පත් නොවීය. අවසානයේදී ගිණිගෙන දිලිසෙන යකඩ ගුලියක් ඇතාට හොඩයෙන් ගන්නට කීවේය. ඇතා ඇත්ගොව්වාගේ අණ පරිදි කදුලු පිරි දෙනෙතින් එයද කලේය. හොඩ චිරි චිරි යන හඩින් පුපුරද්දිත් ඉවසා සිටියේය. ඒ සැනින් රජු වහා එය බිම දැම්මවීය. මෙහි විපාක ලෙස ඇත්ගොව්වා මෛත්‍රී බුදුන්ද විපාක ලබයි. එනම් මහා කාශ්‍යප හිමියන්ගේ සිරුර ආදාහනය කරන්නේ මෛත්‍රී බුදු හිමියන් විසින්. ඒ ආදාහනය කරන්නේ ශ්‍රී හස්තය මත තබාගෙනයි. එහි ගිණි සැරට බුදුහිමියන්ගේ ශ්‍රී හස්තය දැවී ඒ මත දිය බුබුලක් පැන නගිනවා. එහි ඵල විපාක ලෙස බුදුහිමියන් පිරිනිවන් පානවා.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

  • 1. සූවිසි මහා ගුණය - රේරුකානේ චන්දවිමල මහා නා හිමි
  • 2. සම්පිණ්ඩිත මහා නිදානය - මහාකස්සපථෙර පරිනිබ්බාන කතා
  • 3. රිදියගම සුධම්මාභිවංශ හිමියන්ගෙ කර්මය කෘතිය