දේශපාලන විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දේශපාලන විද්‍යාව යනු රාජ්‍යය, රජය හා දේශපාලනය පිළිබඳ අධ්‍යයනයට අදාළ සමාජ විද්‍යා ශික්ෂණයකි. [1]


දේශපාලනය විවිධ ඓතිහාසික සන්දර්භ වලදී මෙන්ම විවිධ විශ්ලේෂකයන්ගේ අර්ථකතනයන් හා විවිධ තේරුම් ද සහිතව ද ඉදිරිපත් වී ඇත. ඉංග්‍රීසි භාෂවේ politics යන යෙදුම සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දේශපාලනය වශයෙනි. ඒ නිසා බොහෝ දෙනෙකු දේශපාලනය (politics) යනු දේශය පාලනය කිරීම වශයෙන් අර්ථ ගැන්වීමට යොමු වී ඇති බව පෙනෙන්නට ඇත. එහෙත් මෙවැනි අර්ථ දැක්වීමකින් දේශපාලනය යන යෙදුමෙහි අන්තර්ගත වන අර්ථය කිසිසේත්ම පැහැදිළි වන්නේ නැත. වෙනත් ආකාරයකින් කියනවා නම් එය දේශපාලනය අසම්පුර්ණ ලෙස අර්ථ ගැන්වීමකි. ඇතැම් විට ජනප්‍රිය තලයේදී , එනම් එදිනෙදා ජීවිතයේදී සාමාන්‍යයෙන් මිනිසුන් දේශපාලනය අත් දකින ආකාරය අනුව එවැනි අර්ථ ගැන්වීමක් ප්‍රමාණවත් විය හැකි වුවත් දේශපාලන විද්‍යාව හදාරන්නන් එහි අර්ථය එයට වඩා තරමක් ගැඹුරින් අව‍බෝධ කරගත යුතුය.

දේශපාලන විද්‍යාවේ ආරම්භය[සංස්කරණය]

දේශපාලනය (Politics) යන යෙදුම බිහි වුයේ ග්‍රීක භාෂාවේ යෙදුමක් වු Polis යන වචනයෙනි. එහි තේරුම වුයේ නගර රාජ්‍ය යන්නය. මේ අනුව ඉපැරණි ග්‍රීකයන් විසින් සමස්ත වශයෙන් පුරවැසියන්ගේ ජීවිතය නගර රාජ්‍යයට දක්වන සබඳතාව තුළ ගෙවන සාමාජීය ජීවිතයේ සෑම පැතිකඩක්ම දේශපාලනික යැයි අර්ථකතනය කිරීමට ග්‍රීකයන් යොමු වුයේ මේ නිසාය. අනික් අතින් ග්‍රීක චින්තකයෝ දේශපාලනය නගර රාජ්‍ය මුලික කරගෙන සිදුවන්නාවු සමස්ත පුරවැසි ක්‍රියාකාරකම් යන තේරුම සහිතවද , ශාස්ත්‍රීය විෂයක් යන තේරුම සහිතවද භාවිත කළෝය.

ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම මිනිසා බලය පිළිබඳ අධ්‍යනයක යෙදීම ගැනත් බලය ක්‍රියාත්මක කිරීම ගැනත් අවධානය යොමුකර ඇත. පුරාතන ඉන්දියානු, චීන, ග්‍රීක හා රෝම ජාතිකයෝ, පාලකයා හා පාලිත පක්ෂය හෙවත් වැසියන් අතර පවත්නා සබඳතාවයනගේ ස්වභාවයත් දේශපාලන සංවිධානයයෙහි පදනමත් ස්වකීය සම්ප්‍රදායනට අනුව විමසිල්ලට ලක් කලහ. ඔවුහුත් ඔවුන්ගෙන් පසුව පහල වු අයත් දේශපාලන බලයට පදනම් වු, විශ්ව සාධාරණ යැයි තමන් සැලකු සදාචාරාත්මක, දාර්ශනික හෝ දේවදධාර්මික මූලධර්ම සකස් කිරීමට වෙර දැරූහ. දේශපාලන විද්‍යාව පිළිබඳ අධ්‍යනය හා විමර්ශනය අරභයා මෙතරම් දීර්ඝ සම්ප්‍රදායක් ඇතද අද එම විෂය හදාරන්නට මූලික ප්‍රශ්න රැසකට ම මුහුණ පෑමට සිදුව තිබේ. මෙහි හුදු විෂය ක්ෂේත්‍රයම අද විවාදයට ලක්ව ඇත. එය අධ්‍යනය කිරීම සඳහා යොදාගනු ලබන ක්‍රම හා මාර්ග මත භේදයනට තුඩු දී තිබේ. ඒ පිළිබඳව පිළිගත් වාග් මාලාවක් නොමැත. මෙම විෂයට අදාල මූලික යෙදුම්, සංකල්ප, හා මූලධර්ම විවිධ දේශපාලන විද්‍යාඥයින් විසින් විවිධාකාරයෙන් නිර්වචනය කර ඇත. "දේශපාලනය පිළිබඳ අධ්‍යනය විද්‍යාවක් නොව කලාවක්" යැයි සමහරුන් පෙන්වාදි ඇත.

දේශපාලන විද්‍යාවේ ඉතිහාසය[සංස්කරණය]

දේශපාලනය පිළිබඳ ව අධ්‍යයනය කිරීම මුලින්ම ඇරඹුණේ පුරාණ ග‍්‍රීසියේ සහ පුරාණ ඉන්දියාවේ වන අතර, දේශපාලන විද්‍යාව යනු සමාජ විද්‍යාව තුළට පසුව පැමිණි විෂයකි. කෙසේ වුවත්, මෙම විෂය ධාරාවට සදාචාත්මක දර්ශනය, දේශපාලන දර්ශනය, දේශපාලන ආර්ථිකය, ඉතිහාසය මෙන්ම සංකල්ප හා රාජ්‍යයක ක‍්‍රියාකාරකම් හා ලක්ෂණ උපකල්පනය කර ගනිමින්, ප‍්‍රමිතිගත ස්ථාවරයන්ට අදාළ අනෙකුත් ක්ෂේත‍්‍රයන් ද ඇතුළත් වේ. සියලූ ඓතිහාසික යුගයන්හිදී මෙන්ම, සෑම භූමි ප‍්‍රදේශයක් තුළම, දේශපාලනය අධ්‍යයනය කරන පුද්ගලයින් හා දේශපාලන අවබෝධයේ වැඩි වීමක් දැකගත හැකිය.

දේශපාලන විද්‍යාවේ ප්‍රධාන අංශ හතර[සංස්කරණය]

දේශපාලන විද්‍යාව නැමති පුඵල් ක්ෂේත්‍රය, පහසුවෙන් ම ප්‍රධාන අංශ හතරකට බෙදිය හැකිය.


දේශපාලන දර්ශනය[සංස්කරණය]

ඉන් පළමු වැන්න වනුයේ, දේශපාලන දර්ශනය හෙවත් දේශපාලන හා සමාජ න්‍යායයි. දාර්ශනික, ආගමික හා සදාචාරාත්මක දෘෂටිකෝණයක් අනුව දේශපාලන සංවිධානයෙහි හා දේශපාලන බැඳිමෙහි ස්වභාවය මින් විවරණය වේ. දේශපාලන දර්ශනය හුදෙක් දේව ධර්මයෙහි හෝ පොදු දර්ශනයෙහි ම හෝ අනුබද්ධ අංශයක් වශයෙන් හැදෑරු යුගයක් විය.

දේශපාලන ආයතන[සංස්කරණය]

දෙවැන්න දේශපාලන ආයතන වශයෙන් වර්ග කෙරේ. මෙයින් විග්‍රහ කරනුයේ ප්‍රාදේශීය, ජාතික හා අන්තර්ජාතික යනාදි විවිධ මට්ටම්වලදී දේශපලන බලය ක්‍රියාත්මක කිරිමට උපයෝගි කර ගනු ලබන ආයතනික සැකස්මයි. ප්‍රධාන රාජ්‍ය පාලන ආයතනයන් බිහි කොට ඒවා හසුරුවන ආණ්ඩු ක්‍රම, ව්‍යවස්ථා, රාජ්‍ය විධි නීතීය, රාජ්‍ය පරිපාලනය හා පරිපාලන නීතිය හා තුලානාත්මක ආණ්ඩුක්‍රම යනාදිය මීට අයත් වේ.


දේශපාලන පක්ෂ[සංස්කරණය]

තෙවැනි ප්‍රධාන අංශය වනුයේ දේශපාලන පක්ෂ, බලපෑම් කණ්ඩායම්, මහජන මතය පිළිබඳ අධ්‍යනයන් වේ. එක් අවධියකදී දේශපාලන විද්‍යාඥයින් බොහෝ දෙනෙක් යම් රටක ඇති ව්‍යවස්ථාවනත නොවන හෙවත් ව්‍යවස්ථාවනතභාවයෙන් බාහිර සංවිධාන, දේශපාලන ක්‍රියාවලිය කෙරෙහි දක්වන බලපෑම පිරික්සා නොබලා එරටෙහි දේශපාලන තත්වය සාකච්චා කිරිමෙහි යෙදුනහ. එහෙත් දේශපාලන ක්‍රමයෙහි ක්‍රියාකාරිත්වය අවබෝධ කර ගැනීම් වස්, දේශපාලන පක්ෂ, වෘත්තීය සංගම්, සේවා යෝජක සංවිධාන හා එම දේශපාලන ක්‍රමය ඇතුලතම පවත්නා වෙනත් සාමාජීය, ආර්ථික හා සංස්නෘතික කණ්ඩායම් හා සමිති පිළිබඳ මෙන්ම මහජන මතය සකස් කොට එය වෙනස් කිරීමටද තුඩු දෙන සාධක පිළිබඳවද දැනුමක් අවශ්‍ය වන බැව් අද වනවිට පොදු වශයෙන් පිළිගෙන ඇත.ඒ අනුව

අන්තර්ජාතික සම්බන්ධතා[සංස්කරණය]

දේශපාලන විද්‍යාවේ සිව් වැනි අංශය අන්තර්ජාතික සම්බන්ධතාවයන්ගෙන් සමන්විත වේ. යුද්ධය හා සාමය විවිධ මානව ව්‍යාපාර ක්ෂේත්‍රයන්යෙහිලා අන්තර්ජාතික සහයෝගිතාවය ඇති කිරිමේ ප්‍රයත්නය, ජාතින් අතර පැන නගින අරගල නිරාකරණය කිරිමත් පොදු ආර්ථික හා සමාජ ප්‍රශ්න විසදිමත් උදෙසා පිහිටුවා ඇති ආයතන සහ අන්තර්ජාතික නීතිය යන කරුණු පිළිබඳ අධ්‍යනය මෙම අංශයට අයත්ය.

රාජ්‍ය[සංස්කරණය]

දේශපාලන විද්‍යාය හදාරන්නා විසින් තම විමර්ශන ආරම්භ කිරීම සඳහා පහසු සීමාවන් තෝරා ගැනීම අවශ්‍ය මෙන්ම ප්‍රයෝජනවත් ද වේ. නූතන ලෝකයේ දක්නට ලැබෙන ඉතාමත් වැදගත් වූත්, විශ්ව ප්‍රචලිත වූත්, ආයතනය වනුයේ රාජ්‍යයයි. සෑම පුද්ගලයෙක්ම අනිවාර්යෙන්ම, යම් කිසි රාජ්‍යක සාමාජිකයෙක් වේ. මේ ආකාරයට බලන විට දේශපාලන විද්‍යාව අධ්‍යනයෙහිලා ආරම්භක සීමාව ලෙස අපට පහසුවෙන්ම "රාජ්‍ය" තෝරා ගත හැකිය. මේ අනුව දේශපාලන විද්‍යාවේ සමස්ථය "රාජ්‍ය" මත පදනම් වන බවක් දක්නට ලැබේ.

දේශපාලන විද්‍යාව පිළිබඳව ඉදිරිපත් වී ඇති නිර්වචන[සංස්කරණය]

ඇරිස්ටෝටල් දේශපාලනය හඳුන්වන්නේ අධිපති විද්‍යාව වශයෙනි. කේ. ලෝසන් දක්වන පරිදි දේශපාලනය සාමුහික මානව ක්‍රියාකාරකම් සංවිධානය කිරීමේ ක්‍රමෝපායක් වේ. ඔහු පවසන අන්දමට මෙවැනි සාමුහික මානව ක්‍රියාකාරකම් සඳහා සංවිධාන ගත වු වඩාත් සංකීර්ණ ආකෘති වශයෙන් ඉපැරණි නගර රාජ්‍ය, අධිරාජ්‍ය, ජාතික රාජ්‍ය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය දැක්විය හැකිය.


පුළුල් ආකාරයෙන් බැලු විට දේශපාලනය සෑම මනුෂ්‍ය අන්තර්ක්‍රියාකාරිත්වයකම අනිවාර්ය කොටසක් බව පෙනී යයි. දේශපාලනයට ඇති සරළ නිර්වචනයක් අනුව දේශපාලනය යනු හිඟ සම්පත් බෙදා වෙන් කිරීමේ ක්‍රමෝපායක් වේ. එහෙත් මෙවැනි නිර්වචනයකින් ආණ්ඩුවක් සහ නීතියක විෂය ප්‍රදේශයෙන් වෙන්වු සාමාන්‍ය ක්‍රියාකාරකම් පමණක් ගම්‍ය විය හැකි බැවින් එය සම්පුර්ණ නිර්වචනයක් වශයෙන් සැලකිය නොහැකිය. දේශපාලනය පිළිබඳ අද අපගේ පිළිගැනිම් සකස් වන්නේ නුතන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ක්‍රමයකදී පුද්ගලයාගේ සමාජීය චර්යාව පදනම් කරගෙනනය. එහෙත් එෆ්.ජේ. බාර්න්ස්, එම්. කාර්ටර්, ජේ.එම් ස්කිඩ්මෝ යන දේශපාලන විද්‍යාඥයින් දක්වන පරිදි පරම රාජාණ්ඩු ක්‍රමයකදී සිටින පහත්ම යටත් වැසියාට වුවද ‍දේශපාලන ජීවිතයේ යම් භූමිකාවක් ඇත.


ඇන්ඩ්රූ හේවුඩ්, ‍දේශපාලනය පිළිබඳ විශ්ලේෂණාත්මකව බැලීම සඳහා අපගේ අවධානය යොමු කරවයි. ඔහු දක්වන පරිදි දේශපාලනය යනු බලය නැතහොත් අධිකාරිය භාවිතා කිරීම හෝ හිඟ සම්පත් බෙදා වෙන් කිරීම හෝ වේ. එහෙත් මේ සියල්ලටම වඩා දේශපාලනය ක්‍රියාවක් වශයෙන් හඳුනාගත යුතු බව ඔහු පවසයි.දෙවනුව දේශපාලනය යනු සාමාජීය ක්‍රියාකාරකමකි. දේශපාලනය ඉස්මතු වන්නේ පුද්ගල අන්තර් ක්‍රියාකාරකම් මගින්ය. බලය මුලික කොටගෙන සිදුවන පුද්ගල අන්තර් ක්‍රියාකාරකම් වලින් දේශපාලනය ප්‍රකාශයට පත් වේ. තෙවැනි ලක්‍ෂණය නම් දේශපාලනය මත අවශ්‍යතා අභිලාශ යන සාධක වල විවිධත්වය මඟින් ජනිත වීමය. මේ විවිධත්වය ඍජුවම ගැටුම් වලට හේතුවිය හැකිය.


මිනිස් සමුහයකින් සංවිධානාත්මක , ඒකීය ක්‍රියාකාරිත්වයකට යොමු කරන්නාවු තීරණ, එනම් සාමුහික තීරණ ගැනිම විෂයෙහි දේශපාලනය පවතී. දේශපාලනය නිර්වචනය කොට දක්වන බොහෝ දේශපාලන විද්‍යාඥයින් පොදුවේ දේශපාලනය සාමුහික තීරණ ගැනිමට සම්බන්ධ ක්‍රියාවලියක් බව අවධාරණය කිරීමට යොමු වෙයි. රොඩ් හාග්, මාර්ටින් හර්ප්, සහ ෂාවුන් බ්‍රිස්ලින් යන දේශපාලන විද්‍යාඥයෝද දේශපාලනය යනු කන්ඩායම් තුළ සාමුහික තීරණ ගැනිමේ ක්‍රියාවලිය බව සඳහන් කරති.


දේශපාලනය යනු කුමක්දැයි පැහැදිළි කරන නිර්වචන අතුරින් වඩාත් පුළුල් අවබෝධයක් ලබාගත හැකි නිර්වචනයක් කාන්, මැක්නිවන්, සහ මැක්නොවුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. මෙම නිර්වචනයේ ඇති වැදගත්කම වන්නේ ක්‍ෂුද්‍ර මට්ටම සහ සාර්ව මට්ටම යන මට්ටම් දෙකෙහිම දේශපාලනය අවබෝධ කර ගැනිමට එයින් පිටුබලයක් ලැබිමය. ඔවුන් දක්වන පළමු නිර්වචනය අනුව සාමාන්‍යයෙන් දේශපාලනයට බලය, අණදීම, අධිකාරය සහ පාලනය වැනි සංකල්ප ඇතුළත් රාජ්‍යයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය වටා සිදුවන සියලුම ක්‍රියාවලි ඇතුළත් වේ. මේ අනුව දේශපාලනය යනු බලය හෝ බලයේ මොනයම් ආකෘතියක් නැතහොත් ප්‍රවර්ගයක් හෝ අන්තර්ගත වන ක්‍රියාවලියක් සිදුවීමක්නොහොත් සම්බන්ධතාවයක් වේ.ඔවුන් දක්වන දෙවන නිර්වචනය අනුව බලය සහ අධිකාරිය ඇතුළත් වු ඕනෑම මට්ටමක මානව සම්බන්ධතාවයක දේශපාලනය අන්තර්ගත වේ.


ඇන්ඩ්රූ හේවුඩ් සඳහන් කරන පරිදි දේශපාලනය ප්‍රකාශයට පත්වන්නේ කුමන විටක දී ද, කෙසේද , කොතනදී ද, කවුරුන් සම්බන්ධයෙන්ද යන්න පිළිබඳව විවිධ පිළි ගැනිම් ඇත. ඔහු දක්වන පරිදි උදාහරණ වශයෙන් කුමන ගැටුම දේශපාලනික යැයි කිව හැකිද කුමන ආකාරයේ ගැටුම් නිරාකරණ ආකෘතියක් දේශපාලනික වන්නේද දේශපාලන යැයි කියන ක්‍රියාකාරකම ස්ථානගත වන්නේ තොතැනද යන ආදි කරුණු පිළිබඳව විවිධ පිළිගැනිම් පවතියි. දේශපාලනය යන පදයේ නිරුක්තිය සම්බන්ධයෙන් ඇති විවිධ පිළිගැනීම් මධ්‍යයේ වුවද එහි අර්ථය පැහැදිළි කර ගැනිම සඳහා වර්ගීකරණ තුනක් දැක්වීමට ඇන්ඩ්රූ හේවුඩ් ඉදිරිපත් වේ. පළමුවෙන්ම දේශපාලනය බොහෝ දිගු කාලයක් තිස්සේ ආණ්ඩුවේ විධිමත් ආයතන තුළ සිදුවන ක්‍රියාකාරකමක් වශයෙන් පවතියි. දෙවනුව දේශපාලනය පෞද්ගලික හා පුද්ගල වශයෙන් සිතීමට ප්‍රති විරැද්ධව පොදු ජීවිතයට සහ පොදු ක්‍රියාකාකම් වලට සම්බන්ධ වන්නකි. තෙවනුව දේශපාලනය මානව පැවැත්මේ සෑම මට්ටමකදීම සහ සෑම ආයතනයක් තුළම බලය බෙදා හැරීමට ධනය සහ සම්පත් බෙදා හැරීමට සම්බන්ධතාවයක් දක්වන්නාවු දෙයක් බව ඇන්ඩ්රූ හේවුඩ් ප්‍රකාශ කරයි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. Oxford Dictionary of Politics: political science

මේ අඩවියත් බලන්න[සංස්කරණය]

දේශපාලන විද්‍යාවේ ස්වභාවය.

"http://si.wikipedia.org/w/index.php?title=දේශපාලන_විද්‍යාව&oldid=308407" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි