මාලදිවයින

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(දිවෙහි රාජ්ජේ වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
මාලදිවයින් ජනරජය
ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ
(දිවෙහි රාජ්ජේ ජමහාරියා)
ජාතික ගීය: "ගවුමී සලාම්
"ජාතික ආචාරය"

අගනුවර
(සහ විශාලතම නගරය)
මාලේ
4°10′N 73°30′E / 4.167°N 73.5°E / 4.167; 73.5
නිල භාෂාව(න්) (රාජ්‍ය භාෂා) දිවෙහි
ජනවාර්ගික කණ්ඩායම්  (ජන වර්ග) ≈100% දිවෙහි[1][2][3] (විදේශිකයන් නොමැතිව)
ජාති නාමය මාලදිවයින්
රජය (ආණ්ඩුක්‍රමය) ජනාධිපති ජනරජය
 -  ජනාධිපති ආචාර්ය මොහම්මඩ් වහීඩ් හසන් මනික්
 -  උප ජනාධිපති මොහම්මඩ් වහීඩ් දීන්
 -  කථානායක අබ්දුල් ෂහීඩ්
 -  අග විනිසුරු අහමඩ් ෆායිස්
ව්‍යවස්ථාදායකය (ව්‍යවස්ථාදායකය) මහජන මජ්ලිසය
නිදහස
 -  එක්සත් රාජධානියෙන් 1965 ජූලි 26 
 -  වර්තමාන ව්‍යවස්ථාව 2008 අගෝස්තු 7 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 298 කිමී2 (206 වන)
115 සතරැස් සැත 
 -  ජලය (%) (ජලයෙන් වැසුණු ප්‍රතිශතය) ≈95%
ජනගහණය
 -  2012 ජනවාරි ඇස්තමේන්තුව (ජනගහනය) 328,536 [4] (175 වන)
 -  ඝණත්වය 1,102.5/කිමී2 (11 වන)
2,855.4/සතරැස් සැත
GDP (PPP) 2011 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ (දල දේශීය නිෂ්පාදනය) ඇමරිකන් ඩොලර් බිලියන 2.841 [5] (162 වන)
 -  ඒක පුද්ගල ඇමරිකන් ඩොලර් 8,731[5] (89 වන)
GDP (නාමික) 2011 ඇස්තමේන්තුව
 -  සම්පූර්ණ (දල දේශීය නිෂ්පාදනය - නාමික) ඇමරිකන් ඩොලර් බිලියන1.944 [5] 
 -  ඒක පුද්ගල ඇමරිකන් ඩොලර් 5,973[5] 
HDI (2011) (මානව සංවර්ධන දර්ශකය) 0.661[6]
bug දෝෂය: අනීතික HDI අගයhttp://bugzilla.wikimedia.org/show_bug.cgi?id=දෝෂය: අනීතික HDI අගය · 109 වන
ව්‍යවහාර මුදල (මුදල් වර්ගය) මාලදිවයින් රුෆියා (MVR)
වේලා කලාපය (UTC+5)
දින ආකෘති dd/mm/yy
රිය පදවන්නේ (වාහන පැදවීම) වමෙන්
අන්තර්ජාල TLD .mv
ඇමතුම් කේතය 960

මාලදිවයින (ඉංග්‍රීසි - maldives) (දිවෙහි - ދިވެހިރާއްޖެ දිවෙහි රාජ්ජේ), නිල වශයෙන් මාලදිවයින් ජනරජය (ඉංග්‍රීසි - Republic of Maldives) (දිවෙහි - ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ දිවෙහි රාජ්ජේ ජමහාරියා) ඉන්දියානු සාගරයේ ඇති දූපත් රාශියකින් සැදුනු කුඩා රාජ්‍යකි. එය දූපත් පොකුරු 26 කින් සමන්විත වන අතර, ලක්ෂද්වීප් දූපත් වලට නුදුරින් මිනිකොයි දූපත් සහ චාගොස් කොදෙව්ව අතරින්, ලක්ක්දිව් මුහුදේ, ඉන්දියාවට කිලෝ මීටර 400 නිරිත දිගින් සහ ශ්‍රී ලංකාවට කිලෝ මීටර 700ක් නිරිත දිගින් පිහිටා ඇත.

දහසය වන සියවසේ සිට පෘතුගීසි, ඕලන්ද සහ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ අවධානයට ලක් වූ මාලදිවයින, බ්‍රිතාන්‍ය යටතේ කටයුතු කල සුල්තාන් වරයෙකුගේ පාලන ක්‍රමයකින් මිදී 1965 දී පූර්ණ නිදහස ලබා ජනරජයක් බවට පත් විය.

ඉන්දියන් සාගරයේ ගිලී ඇති විශාල කඳුවැටියක් වන චාගොස්-මාලදිවයින්-ලක්කදිව් කඳු වැටිය මුදුනේ මාලදිවයින පිහිටා ඇත. මාලදිවයින, චාගොස් දූපත් සහ ලක්ෂද්වීප දූපත් එකම පරිසර පද්ධතියකට අයත් වේ. "ඇටෝල්" (දිවෙහි - අතොල්හු) ලෙසින් හැඳින්වෙන මාලදිවයිනේ දූපත් පොකුරු වර්ග කිලෝමීටර 90,000 කට අධික සාගර කලාපයක් පුර විසිරී ඇති අතර, එය ලෝකයේ වඩාත්ම විසිරී ඇති රාජ්‍යයන් කිහිපයෙන් එකකි. මාලදිවයින කුඩා දූපත් 1192 කින් සමන්විත වන අතර, ඉන් 200ක් ජනාවාස වී ඇත. එහි සම්පූර්ණ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වාසය කරන්නේ අගනුවර සහ විශාලතම නගරය වන මාලේ හි ය. මාලේ අතීතයේ සිටම මාලදිවයින් සුල්තාන් වරුන්ගේ සහ ඉස්ලාමය පැමිණීමට පෙර සිටි රජවරුන් ගේ අගනුවර ලෙස පැවතිනි.

ජනගහනය අතින් සහ වර්ග ප්‍රමාණය අතින් මාලදිවයින ආසියාවේ කුඩාම රට වේ. මුහුදු මට්ටමේ සිට සාමාන්‍යය උස මීටර 1.5 වන අතර, එය ලෝකයේ පහතින්ම පිහිටි රට ද වේ. ලෝකයේ පහතින්ම පිහිටි ස්වභාවික උසම ස්ථානය සහිත රට ද මාලදිවයින ය. ඒ විලින්ගිලි දූපතේ පිහිටි මීටර 2.4 උස ස්ථානයකි. මුහුදු මට්ටම ඉහල යාම නිසා රට මුහුදට ගොදුරු වීමේ දරුණු තර්ජනයකට මාලදිවයින් වාසීහු මුහුණ පා සිටිති.

නම් ලද හැටි[සංස්කරණය]

"මාලදිවයින" යන නම බොහෝ විට සංකෘත "මහල්දීබ්" යන්නෙන් බිඳී ආවක් වීමට ඉඩ ඇත. මාලදිවයින් වැසියන් හැඳින්වුණේ "දිවෙහින්" යනුවෙනි. "දීබ්" යන සංස්කෘත යෙදුමේ මූලය "දීප (द्वीप)", හෙවත් දූපත, වන අතර "දිවෙහින්" යන්න "දූපත් වාසීන්" යන අරුත් නංවයි.

සමහරු දක්වන ආකාරයට මාලදිවයිනට එම නම ලැබුනේ "මාලද්වීප" යන සංස්කෘත යෙදුමෙනි. එහි අරුත "දූපත් වලින් සැදුනු මාලය" යන්නයි. මෙහි මලයාලම් පරිවර්තනය "මාලද්වීපු" (മാലദ്വീപ്) වන අතර දෙමල පරිවර්තනය "මාලෙයි තීවූ" (மாலைத்தீவு) වේ. නමුත් මෙම නම් කිසිවක් පුරාන ලේඛනයන් ගේ සඳහන් නොවන නමුත්, වේද යුගයට අයත් සංස්කෘත ලිපි වල "දූපත් ලක්ෂයක්" යන අරුත ඇති "ලක්ෂද්වීප" යන නම සඳහන් වේ. ලක්ෂද්වීප යන්න මාලදිවයින, ලක්කදිව්, අමිනිදිව්, මිනිකොයි සහ චාගොස් දූපත් සියල්ලම හඳුන්වන පොදු යෙදුමකි.

සිංහල බසින් "මාලදිවයින" යන වදනේ අරුත ද "දූපත් වලින් සැදුනු මාලය" යන්නයි. මෙය මාලදිවයින් දූපත් සමූහයේ හැඩය සමඟ හොඳින් ගැලපේ. මාල දිවයින මුලින් ම ජනාවාස කල කණ්ඩායම් බොහොමයක් පැමිණයේ ලංකාවෙන් වීමද සැලකිල්ලට ගත යුතු කරුණකි.

දෙවන සියවසේ ලියවුනු ශ්‍රී ලංකාවේ වංශකතාවක් වන මහාවංශයේ "මහිලා දිව" ලෙසින් පාලි බසින් හඳුන්වා ඇති දූපතක් ගැන සඳහන් වන අතර එය "කාන්තාවන්ගේ දූපත්" යන අරුත ගෙන දේ. සමහර විට මෙය සංස්කෘත යෙදුමක දූෂ්‍ය වූ ආකාරයක් වීමට ඉඩ ඇත.

මධ්‍යකාලීන අරාබි සංචාරකයෙක් වූ ඉබ්න් බතූතා අරාබි බසින් මාලදිවයින "මහල් දිබියත්" (محل دبيأت) ලෙස හඳුන්වා දී ඇත. "මහල්" යන අරාබි වදනේ තේරුම "මාලිගය" යන්නයි. මෙය බර්බර් ජාතික ඉබ්න් බතූතා දේශීය යෙදුම අරාබිකරනය කල ආකාරය විය හැක. මුස්ලිම් වරුන්ගේ පාලනය යටතේ පැවති උතුරු ඉන්දියාවේ සංචාරය කල ඔහු පර්සියානු සහ අරාබි වචන ඉන්දියානු බසට ඇතුල් වී ඇති ආකාරය දැක මාලදිවයින් වාසීන් ද අරාබි "මහල්" යන යෙදුමෙන් තම රට හඳුන්වන්නට ඇතැයි සිතන්නට ඇත. වර්තමාන මාදිවයින් රාජ්‍ය ලාංජනයේ අරාබි බසින් සඳහන් වන්නේ "මහල් දිබියත්" යනුවෙනි.

පුරාන අරාබි වරු සහ පර්සියන් වරු මාලදිවයින "දිබජත්" ලෙස හැඳින්වූහ.

බටහිර යටත් විහිත සමයේදී ලන්දේසීන් මෙරට "Maldivische Eilanden (මොල්දිවිශේ එයිලන්දෙන්)" ලෙස ඔවුන්ගේ ලිය කියවිලි වල හැඳින්වූ අතර, ඉංග්‍රීසීන් එය "Maldives Islands " ලෙස හැඳින්වූහ. පසු කාලීනව එය "Maldives " ලෙස හඳුන්වනු ලැබිණි.

ඉතිහාසය[සංස්කරණය]

ඈත අතීතය සහ ජනාවාස වීම[සංස්කරණය]

මාලදිවයිනේ භාෂාව, ජනකතා සහ සංස්කෘතික සම්ප්‍රදායන් අධ්‍යනය කිරීමේදී පෙනී යන්නේ එහි මුල්ම වැසියන් සංගම් යුගයේදී (ක්‍රි.පූ.300 - ක්‍රි.ව.300) කේරළයෙන් පැමිණි ද්‍රවිඩ ජාතිකයන් බවයි. මෙම කේරල වාසීන්ගෙන් පැවත එන්නන් "ගිරාවුරු ජනතාව" ලෙස අදත් මාලදිවයිනේ වෙසෙති. මාලේ රාජධානිය ආරම්භ කිරීම පිලිබඳ මාලදිවයින් ජනකතා සහ පුරාවෘත වල මෙම අතීත ද්‍රවිඩ වාසීන් පිලිබඳ සඳහන් වේ. මාලදිවයින් සමාජයේ අදත් පැහැදිලි ද්‍රවිඩ ජන සම්භවයක සහ සංස්කෘතික සම්භවයක සලකුණු දැකිය හැක. විශේෂයෙන්ම දිවෙහි බසේ මලයාලම් (කේරලයේ භාෂාව) සලකුණු තවමත් දක්නට ලැබෙන අතර එය ස්ථාන නාමයන්හි සහ ඥාති නාමයන්හි පැහැදිලිව පෙනේ. මාලදිවයිනේ ජන කවි වල, ජන නැටුම් වල සහ ආගමික ඇදහිලි වල ද ද්‍රවිඩ බලපෑමක් දකින්නට හැක. අතීත මලයාලම් වරු ලක්කදිව් දූපත් ජනාවාස කල අතර මාලදිවයින ද එම ජනාවාසයන් ගේම දිගුවක් ලෙස ඔවුහු සැලකූහ.

මෙම මුල් පදිංචිකරුවන් ගෙන් පසු දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළේ සිට පැමිණි ධීවරයන් ක්‍රමයෙන් මාලදිවයින ජනාවාස කළහ.

සමහර ඉතිහාසඥයන්ට අනුව ඉන්දු නිම්නයේ සිට පැමිණි සින්ධි වරු ද අතීතයේ මාලදිවයිනේ ජනාවාස පිහිටවූහ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සමයේ පටන් දෙබාල් (වර්තමාන කරච්චි නගරය අසල) හි සිට මුහුදු ගමන් පැවතුනු අතර පැරණි ජාතක කතා සහ පුරාන කතා වල මෙම මුහුදු වෙළඳාම පිලිබඳ සඳහන් වේ. මේ සම්බන්ධ වැඩි දුර සාක්ෂි ලෙස මාලදිවයිනේ සහ වයඹදිග ආසියාවේ බෝට්ටු තැනීමේ තාක්ෂණයේ සමානකම් සහ එකම ආකාරයේ රිදී කාසි භාවිතය දැක්විය හැක.

අග්නිදිග ආසියාවේ සිට පැමිණි ජනපදිකයන් ගැන ද සුළු සාක්ෂි හමුවේ. සමහර විට මොවුන් අග්නිදිග ආසියාවේ සිට පන් බෝට්ටු වලින් පැමිණ මැඩගස්කරය ජනාවාස කල ඔස්ට්‍රොනීශියානුවන් පිරිසකගෙන් වෙන්වී ගිය කණ්ඩායමක් විය හැක. අරාබි ජාතික පදිංචිකරුවන් පිළිබඳවද විශේෂයෙන්ම දකුණු දිග දූපත් වලින් සාක්ෂි හමුවන අතර මොවුන් ඉස්ලාම් යුගයේ දී අරාබියෙන් පැමිණි වෙළෙන්දන් විය හැක.

අතීත මාලදිවයින් වැසියෝ හින්දු ආගමේ පැරණි ආකාරයක් වූ ඇදහීම් වල නිරත වූහ. විශේෂයෙන්ම සුර්ය වන්දනාව ඔවුන් අතර ප්‍රචලිත විය.

මාලදිවයිනේ ලිඛිත ඉතිහාසය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ සිට සිංහල ජනතාව ගේ පැමිණීමත් සමඟය. සිංහලයන්ගේ පැරණි වංශකතාවක් වන මහාවංශයට අනුව, සිංහලයන් පැවත එන්නේ ඊශානදිග ඉන්දියාවේ (වර්තමාන බෙංගාලය) සිට පැමිණි (සමහරු විජය පැමිණියේ ඊශානදිග ඉන්දියාවෙන් නොව වයඹදිග ඉන්දියාවේ (වර්තමාන ගුජරාටය) සිට බව පෙන්වාදෙති) රජ කුමරෙක් වූ විජය සහ ඔහුගේ පිරිසෙනි. ඔවුහු ක්‍රි.පූ.543 දී පමණ ලංකාවට ගොඩබටහ. මහාවංශයට අනුව මෙම කණ්ඩායමේ එක නැවක් පිරිසෙන් මග හැරී ගොස් මහිලාදිව නම් දූපතකට පැමිණෙන ලදී. මෙම මහිලදිව දූපත, මාලදිවයින බව සමහරු විශ්වාස කරති. මහාවංශයට අනුව විජය ගේ පැමිණීම සිදුවන විටත් මහිලදිව වැසියෝ ලංකාව සමග ගනු දෙනු කළහ.

වංශකතාවන් ගේ සත්‍යතාවය කුමක් වෙතත්, ක්‍රි.පූ.500 දී හෝ ඊට ආසන්න වකවානුවකදී සිංහලයන් මාලදිවයින ජනාවාස කිරීම ඇරඹු බව පෙනේ. සිංහලයන්ගේ පැමිණීමත් සමඟම මාලදිවයිනේ ජන සංයුතියේ සහ සංස්කෘතියේ විශාල වෙනසක් ඇති විය. විශේෂයෙන්ම ඉන්දු-ආර්ය භාෂාවක් වන දිවෙහි බස මාලදිවයිනේ පැතිර යන්නේ සිංහලයන්ගේ පැමිණීමත් සමඟය. දිවෙහි බස සහ සිංහල බස අතර දැඩි සමානකමක් අද ද දැකිය හැක. විශේෂයෙන්ම පාලි ආභාෂය ලබා වෙනස් වීමට පෙර යුගයේ සිංහල බස, දිවෙහි බසට බොහෝ දුරට සමාන විය.

මේ සමයේ මාලදිවයිනේ එක් එක් දූපත් පොකුර ස්වාධීන පාලකයකු යටතේ පාලනය විය. මධ්‍යගත පාලකයකු නොවූ අතර මෙම ස්වාධීන පාලකයන් "රදුන්" යන නමින් හැඳින්විණි.

අශෝක අධිරාජ්‍යයා ගේ ධර්ම ප්‍රචාරණ සමයේදී (ක්‍රි.පූ. 300 දී පමණ) බුදු දහම මාලදිවයිනට පැමිණියේය. ඉන්පසු 12 වන සියවස තෙක්ම මාලදිවයිනේ ප්‍රධාන ආගම වූයේ බුදු දහමයි. මාලදිවයිනේ රජවරු බුදු දහමට අනුග්‍රහ දක්වූ අතර, මාලදිවයිනේ පළමු ලේඛන සහ කලාකෘති, පිළිම සහ ගෘහනිර්මාණ හමු වන්නේ මෙම යුගයෙනි.

මාලදිවයිනේ බෞද්ධ ඉතිහාසය ගැන පළමු වරට විධිමත් අධ්‍යනයක් කරන ලද්දේ එවකට ලංකාවේ සේවය කල බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරියකු වූ H.C.P. බෙල් මහතා විසිනි. 1879 දී ඔහු ගමන් කල නැව මාලදිවයින අවට මුහුදේදී අනතුරට පත් වීමෙන් පසු ඔහු මාලදිවයිනට ගොඩ බැස්සේය. එහිදී බෞද්ධ නටබුන් පිලිබඳ දැනගත් ඔහු කීප වරක්ම ඒ පිලිබඳ අධ්‍යනය කිරීමට මාලදිවයිනට පැමිණියේය. මාලදිවයින් වාසීන් විසින් හවිත්තා සහ උස්තුබු (මෙම වදන් "චෛත්‍යය" සහ "ස්ථූපය" යන වචන වලින් බිඳී ආ වදන් වේ) ලෙස හැඳින්වූ පුරාන බෞද්ධ ස්ථූපයන්හි නටබුන් ඔහුගේ විශේෂ අවධානයට ලක් විය. බෙල් මහතා පුරාන මාලදිවයින් වාසීන් ථෙරවාදී බුදුදහම ඇදහූ බවට නිගමනය කලත්, අද මාලේ කෞතුකාගාරයේ ඇති නටබුන් පිරික්සීමේදී පෙනී යන්නේ ඒවායින් බොහොමයක් මහායාන සහ වජ්‍රායාන සම්ප්‍රදායට අයත් බවයි.

ග්‍රීක ඉතිහාසඥ ෆිලොස්ටෝගියස් "දිව" නම් දූපතකින් පැමිණ, රෝම වරුන්ගේ අත්අඩංගුවට පත් පුද්ගලයෙක් ගැන සඳහන් කරයි. මෙම "දිව" මාලදිවයින විය හැක. මොහු තියෝෆිලස් ලෙස බෞතීස්ම ලද අතර ක්‍රි.ව.350 දී පමණ හිම්යාර් (වර්තමාන යේමනය) රාජ්‍යයේ ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර හරින ලදී. තියෝෆිලස් අරාබියේ සිට තම රට බලා ගිය බව සඳහන් ය. ඔහු තම රට සිට නැවත අරාබියට පැමිණි බවත්, ඇක්සම් (වර්තමාන ඉතියෝපියාව) නගරයට පැමිණි බවත්, අවසානයේදී ඇන්ටියොක් (වර්තමාන තුර්කිය) නගරයේ පදිංචි වූ බවත් සඳහන් ය.

11 වන සියවසේ මුල භාගයේදී මිනිකොයි දූපත් සහ තිලදුන්මති දූපත් පොකුර ඇතුළු මාලදිවයිනේ උතුරු දූපත් දකුණු ඉන්දියානු දෙමල රජෙක් වූ පළමුවන රාජරාජ රජු විසින් චෝල අධිරාජ්‍යයට ඈඳා ගන්නා ලදී.

මාලේ සහ අවට දූපත් මේ වනවිට පාලනය කරන ලද්දේ ආදීත්ත නමින් හැඳින්වුණු සූර්යවංශික රජ පරපුරකි. අරාබි ජාතිකයන් ද ඇතුළු විදේශික සංචාරකයින් මෙම ආදීත්ත රජුන් පිලිබඳ සඳහන් කර ඇත. මුහම්මද් අල්-ඉද්රිසි ගෙසටහන් වලට අනුව ආදීත්ත වංශික දමහාර් නම් රැජිනක් මාලේ පාලනය කොට තිබේ. 12 වන සියවස මුල වනවිට උතුරු දූපත් වලින් එල්ලවුණු චෝල බලපෑම් හමුවේ ඔවුන්ගේ බලය බිඳී ගොස් අරාජික තත්වයක් උදා වී තිබිණි.

මාලදිවයින් වාසීන්ගේ පුරාවෘතයකට අනුව දොළොස්වන සියවසේ මුල දී කොයිමාල නම් හෝම නම් වූ චන්ද්‍රවංශික රජ පෙළපතකට අයත් කුමරෙක් ඔහුගේ කුමරිය සමඟ මාලදිවයිනට පැමිණියේය. ඔහු මුලින්ම ගොඩ බසින ලද්දේ උතුරු මාල්හොස්මදුලු දූපත් පොකුරට අයත් රස්ගතීමු දූපතටය (රස්ගතීමු යන්නෙහි දිවෙහි අරුත "රජතුමාගේ නගරය" යන්නයි). ඔහු ඉන්පසු දකුණට යාත්‍රා කොට මාලේ වෙත පැමිණියේය. මුලින්ම ඔහුගේ නැව දකින ලද්දේ ගිරාවුරු ජනයා විසිනි. ඔවුහු මාලේ දූපතේ කොයිමාල කලොවූ (කොයිමාල උතුමන්) සඳහා වාසස්ථානයක් ඉඳිකොට එය වාසයට සුදුසු වන පරිද්දෙන් ගස් වවා සකස් කළහ. පුරාවෘතයට අනුව එහි මුලින්ම පැලවෙන ලද්දේ පැපොල් ගසකි.

1117 දී කොයිමාල කුමරු කොයිමාල ශ්‍රී මහාබරණ නමින් මාලේ රජ බවට පැමිණියේය. ඔහු චෝල හමුදාවන්ට එරෙහිව සටන් කොට ඔවුන් පලවා හැර මාලදිවයිනේ වැඩි ප්‍රදේශයක (දූපත් පොකුරු 14) තම බලය පිහිටුවා ගත්තේය. මාලදිවයින එක්සේසත් කල මුල්ම රජු ලෙස සැලකෙන්නේ කොයිමාල යි. ඔහුගේ රජ පෙළපත "තීමුගේ" ලෙස හැඳින්වුණු අතර පසු කලෙක ඔවුන් ආදීත්ත පරපුර සමග විවාහ සම්බන්ධකම් පවත්වා පෙළපත් දෙක එකක් බවට පත්කළහ. 1968 වනතුරු මාලදිවයිනේ පාලකයා ගේ ගෞරව නාමයේ "කුල සුධ ඉර" හෙවත් "ඉර හඳ පෙළපතින් පැවත එන" යන යෙදුම ඇතුලත්ව තිබිණි.

බොහෝ දෙනා පිලි ගන්නේ කොයිමාල කුමරු ලංකාවෙන් පැමිණි සිංහල කුමරෙක් බවට නමුත්, සමහරු ඔහු දකුණු ඉන්දියාවෙන් හෝ කාලිංග රටෙන් පැමිණියෙකු බවට අදහස් පල කරති. ඔහුගේ රාජකීය අසුන හඳුන්වන "සින්ගාසන" යන පදය සිංහල රජුන්ගේ රාජකීය ආසනය හඳුන්වන "සිංහාසන" යන්නට සමාන වීම ඔහු ලංකාවෙන් පැමිණි බවට ප්‍රභල සාක්ෂියකි.

1141 දී කොයිමාල රජු ගේ බෑනා වූ දොවෙමි කලමින්ජා ඔහුගෙන් පසු රජකමට පැමිණියේය. මාලදිවයිනට ඉස්ලාමය පැමිණෙන්නේ මෙම රජු ගේ සමයේදීය.

මාලදිවයිනේ පුරාවෘතයකට අනුව මෙකල රන්නමාරි නම් මුහුදු රකුසෙකුගේ බලපෑම මාලේ ජනයා වෙත එල්ලවී තිබිණි. රකුසා සඳහා බිලි පූජාවක් වශයෙන් සෑම මසකම පළමු දින රාත්‍රියේ කන්‍යාවක් මාලේ හි නැගෙනහිර වෙරළේ තිබූ හුදෙකලා පන්සලක රඳවා තබන ලදී. පසුදා උදෑසන එහි යන ඇයගේ දෙමාපියන්ට දක්නට ලැබුනේ ඇගේ මලකඳයි. මෙසේ රකුසාගේ බලපෑමෙන් පීඩා විඳි මාලේ වැසියන්ට පිහිට වීම සඳහා මුස්ලිම් සංචාරකයෙක් ඉදිරිපත් විය. එක් මසෙක කන්‍යාවක් වෙනුවට පන්සලේ රැය ගත කිරීමට ඉදිරිපත් වූ ඔහු රකුසා පැමිණිවිට කුරාන පාඨයන් කියවා රකුසා පලවා හැරියේය. මින් පැහැදීමට පත් දොවෙමි කලමින්ජා රජු මුහම්මද් ඉබ්න් අබ්දුල්ලා නමින් ඉස්ලාමය වැළඳගත් අතර, මාලදිවයින් වාසීන් ද ක්‍රමයෙන් ඉස්ලාමය වැළඳ ගත්හ. ඉබ්න් බතූතා ගේ සටහන් වල මෙම පුරාවෘතය සඳහන් කර තිබේ. ඉබ්න් බතූතා ට අනුව මෙම මුස්ලිම් වරයා බර්බර් ජාතිකයෙක් වූ අබු අල් බරකත් ය. නමුත් මාලදිවයින් ලේඛනයන්ට අනුව ඔහු තබ්රිස් නගරයෙන් පැමිණි පර්සියානු ජාතිකයෙක් වූ යුසුෆ් තබ්රිසි වේ.

මාලදිවයිනේ හද්දුන්මාති දූපත් පොකුරේ, ගැන් දූපතේ, කුරුහින්න හි තිබූ බෞද්ධ ස්ථූපය. මෙය මාලදිවයිනේ තිබූ විශාලම සහ අවසාන බෞද්ධ ස්ථූපය විය. වර්තමාන විශ්වාසයන්ට පටහැනි ලෙස ජන කතාවන් හි සඳහන් වන්නේ ස්ථූපය විනාශ කිරීමේදී එය භාරව සිටි භික්ෂූන් වහන්සේලා ඊට දැඩි විරෝධයක් එල්ල කල බවයි. උන්වහසේලා ස්ථූපය විනාශකිරීමට පැමිණියවුන් සමඟ ආයුධ සන්නද්ධව සටන් කළහ.

1153 දී සිදු වූ මෙම පෙරලිය මාලදිවයින් ඉතිහාසයේ දෙවැනි ප්‍රධාන සන්දිස්ථානයයි. බෞද්ධ සංස්කෘතිය ක්‍රමයෙන් අභාවයට ගිය අතර මුස්ලිම් සංස්කෘතිය මාලදිවයිනේ මුල්බැස ගත්තේය. මෙතෙක් රදුන් ලෙස හැඳින්වූ පාලකයා මෙතැන් සිට සුල්තාන් ලෙස හැඳින්විණි. ඉස්ලාම් භක්තික අරාබි වෙළඳුන් සමග සිදු වූ වෙළදාමේ වර්ධනය මාලදිවයින් වාසීන් ඉස්ලාමයට නැඹුරු කිරීමට හේතු වන්නට ඇතැයි සිතිය හැක. කෙසේ නමුත් මුස්ලිම් සංස්කෘතිය මාලදිවයිනේ පැලපදියම් වීමට තවත් දිගු කලක් ගත විය. අවුරුදු දෙසීයකට පමණ පසුවත් මාලදිවයිනේ පැරණි සංස්කෘතියේ අංග ඉතිරිව තිබූ බව 1330 දී පමණ මාලදිවයිනට පැමිණි ඉබ්න් බතූතා මාලදිවයිනේ සමහර දූපත් වල කාන්තාවන් උඩු කය නිරුවත්ව සිටි බව සඳහන් කර තිබීමෙන් පැහැදිලි වේ.

සමහර දූපත් වල ඉස්ලාමයට හැරවීම සාමකාමීව සිදු වූ නමුත් සමහර දූපත් වලදී එය ප්‍රචණ්ඩ ස්වරූපයක් ගන්නා ලදී. විශේෂයෙන්ම මාලදිවයින් බුදුදහමේ කේන්ද්‍රස්ථානය වූ හද්දුන්මති දූපත් පොකුරේදී මෙය වඩාත් දරුණු ස්වරූපයක් ඉසිලීය. මාලදිවයිනේ විශාලම ස්ථූපය පැවතියේ මෙම දූපත් පොකුරේ ගැන් දූපතේ වන අතර, සුල්තාන් වරයා ගේ අනින් එය විනාශ කිරීමට පැමිණි මුස්ලිම් වරුන්ට එරෙහිව භික්ෂූන් වහන්සේලා (සඟුමනුන්) ආයුධ සන්නද්ධව සටන් වැදුනහ. සටනින් පැරදුනු උන්වහන්සේලා, සහ එම දූපත් පොකුරේම ඉස්දූ සහ දබිඳු දූපත් වල පිහිටි පන්සල් වල වැඩ හුන් භික්ෂූන් වහන්සේලා මාලේ කරා ගෙන ගොස් හිස් ගසා දමන ලදී. ස්තූපයන්ගේ චත්‍රාවලි (සතිහිරුතළු) කඩා දැමුණු අතර, බුදු පිළිම සහ ධර්මය අඩංගු පුස්කොල පොත් සම්පූර්ණයෙන්ම විනාශ කර දමන ලදී. දබිඳු දූපතින් හමුවූ "ලොමාෆානු" ලෙස දිවෙහි බසින් හැඳින්වෙන තඹ පත්ඉරු වල ලියවුනු ලියවිල්ලක මෙම විස්තර සඳහන් වේ.

මාලදිවයින් ඉතිහාසය පුරාවටම අරාබි මුහුදේ, බෙන්ගාල බොක්කේ, දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සිට පැමිණි වෙළඳුන් මාලදිවයින් වාසීන් සමඟ වෙළඳ ගනු දෙනු කළහ. මාලදිවයින් සංස්කෘතියට මොවුන්ගෙන් විශාල බලපෑමක් ඇති වෙන ලදී. පුරාන මාලදිවයින් වැසියන්ගේ ප්‍රධාන වෙළඳ භාණ්ඩය වූයේ "කව්රි" (චොව්ර්ය්) ලෙස හැඳින්වුණු මුහුදු බෙල්ලන් විශේෂයකි. මෙම බෙල්ලන් අප්‍රිකාවේ, අරාබියේ සහ ඉන්දියාවේ මුදල් වශයෙන් භාවිතා කරන ලදී. මාලදිවයින් වාසීහු මෙම බෙල්ලන් මුහුදේ පාවෙන ලෙස සකස් කල පොල් අතු මත වගා කළහ. බස්රා නගරයේ සිට ශ්‍රී ලංකාවට සහ අග්නිදිග ආසියාවට යාත්‍රා කල අරාබි වෙළඳුන් ගේ පළමු නැවතුම වූයේ මාලදිවයිනයි. මාලදිවයිනේ නැංගුරම් ලෑ නැව් වතුර සහ අලුත් පලතුරු ලබා ගත්හ. ඊට අමතරව කළු බෝනිටෝ නම් බල වර්ගයට අයත් මාළුවන්ගේ දුම් ගසන ලද රත් පැහැ මස ද මෙම වෙළඳුන්ගේ ප්‍රධාන වෙළඳ භාණ්ඩයක් විය. මෙය විශේෂයෙන් සින්ද්, චීනය සහ යේමනයට අපනයනය කරන ලදී. මාලදිවයින් වාසීහු කර්මාන්ත ලෙස පිත්තල භාණ්ඩ සහ අනගි කපු රෙදි වලින් කල සරම් සහ ජටා නිපදවූහ. මෙම කර්මාන්තයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වන ලද්දේ පිටරටිනි. මාලදිවයිනේ තවත් ප්‍රධාන වෙළඳ භාණ්ඩයක් වූයේ පොල්කෙඳි යි. වලවල් වල දමා පල් කොට, තලා ගත් පොල් ලෙලි වලින් ගන්නා කෙඳි අඹරා සකස් කල කඹ මුහුදු වතුරට ඔරොත්තු දීමේ ගුණය අතින් ඉහල තත්වයක් ඉසිලීය. ඉන්දියානු සාගරයේ යාත්‍රා කල කුඩා රුවල් ඔරු සෑදීම සඳහා මෙම පොල් කෙඳි කඹ සින්ද්, චීනය, යේමනය සහ පර්සියානු බොක්ක අවට රටවල් වලට අපනයනය කරන ලදී.ඉබ්න් බතූතා සටහන් කොට ඇති ආකාරයට මෙම කඹ යොදා සකස් කල ඔරු ගල්පර වල ගැටීම් වලට ඉතා හොඳින් ඔරොත්තු දෙන ලදී. කොරල් පර ගහන ඉන්දියානු සාගරයේ යාත්‍රා කල ඔරු වලට මෙය මහගු වාසියක් විය.

මාලදිවයින් වැසියන් කාරුණික, ශීලාචාර සහ ආගන්තුක සත්කාරයේ ලැදි මිනිසුන් ලෙස විස්තර කර තිබේ.

යටත් විජිත සමය[සංස්කරණය]

පෘතුගීසි[සංස්කරණය]

1550 දී පමණ මාලදිවයින පෘතුගීසීන් ගේ බලපෑමට ලක්වීම ආරම්භවිය. පෘතුගීසි මිෂනාරි වරු මාලදිවයින් වැසියන් ක්‍රිස්තියානි ආගමට හැරවීම ආරම්භ කල අතර 1552 දී මාලදිවයිනේ සුල්තාන් වරයා වූ නව වන හසන්, දොම් මැනුවෙල් නමින් ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තේය. මේ සමඟම දොම් මැනුවෙල් බලයෙන් නෙරපා හරින ලද අතර ඔහු ගෝව ට පලා ගියේය. ඔහුගේ ඇමතිවරු වසර දෙකක් සාමූහිකව පාලනය ගෙන ගිය අතර 1554 දී ප්‍රධාන ඇමති වරයා දෙවන අබුබකුරු නමින් සුල්තාන් පදවියට පත් කරන ලදී. ඔහුගෙන් පසු 1557 දී දොම් මැනුවෙල් ගේ නැන්දා කෙනෙකු ගේ සැමියා වූ හතරවන අලී සුල්තාන් පදවියට පත් වන ලදී.

1558 දී පෘතුගීසි හමුදාවක් පැමිණ සුල්තාන් වරයා ගේ බලය මැඩ පවත්වා දොම් මැනුවෙල්ට නැවත පාලනය ලබා දෙන ලදී. මෙම සටනේදී සුල්තාන් අලී මිය ගියේය. පෘතුගීසීන් මාලේ නගරයේ වෙළඳ මධ්‍යස්ථානයක් ඉඳි කල අතර කුඩා පෘතුගීසි හමුදා ඛණ්ඩයක් එහි නවතා තබන ලදී. දොම් මැනුවෙල් මාලදිවයිනට නොපැමිණි අතර ගෝවේ නැවතී සිටියේය. මාලදිවයිනේ ඔහු වෙනුවෙන් පාලන කටයුතු කලේ ක්‍රිස්තියානිය වැළඳ ගත් මාලදිවයින් ජාතිකයෙක් වූ අන්දිරි අන්දිරින් විසිනි.

අන්දිරි අන්දිරින් සහ ඔහුගේ පෘතුගීසි සෙබළු මාලදිවයින් වැසියන් බලහත්කාරයෙන් ක්‍රිස්තියානියට හරවා ගැනීමට තැත් කල අතර ඊට විරුද්ධ වූවන් මරා දමන ලදී. ඔහුගේ දරුණු පාලනය පුරා වසර පහළොවක් තිස්සේ මාලදිවයින් වැසියන් පීඩාවට පත් කරන ලදී.

තිලදුම්මති දූපත් පොකුරේ උතීමු දූපතේ දූපත් ප්‍රධානියා ගේ පුතුන් තිදෙනා වූ මුහම්මද් තකුරුෆානු, අලි තකුරුෆානු සහ හසන් තකුරුෆානු පෘතුගීසි වරුන්ට එරෙහිව සටන් වැදීමට සැරසුණහ. 1573 දී ඔවුහු පිරිසක් සමඟ මිනිකොයි දූපත් වලට ගොස් "කල්හුවොෆ්ෆුම්මි" ලෙස ඔවුන් නම් කල රුවල් ඔරුවක් තැනූහ. ඔවුහු මෙම ඔරුවෙන් රාත්‍රී කාලයේ මාලදිවයිනේ එක් එක් දූපත් වලට ගොඩ බසිමින් පෘතුගීසි සෙබළුන් සහ මිෂනාරීන්ට එරෙහිව ගරිල්ලා ආකාරයේ සටන් මෙහෙයවූහ. දිවා කාලයේ ඔවුහු තම ඔරුවෙන් මුහුදට හෝ මිතුරු දිවයිනකට පලා ගියහ. ක්‍රමයෙන් මාලේ වෙත ලඟා වූ ඔවුහු එක් රාත්‍රීයකදී මාලේ වැසියන්ගේ උපකාරයද ඇතිව පෘතුගීසි හමුදාව සම්පූර්ණයෙන්ම විනාශ කොට මාලදිවයින පෘතුගීසි ග්‍රහණයෙන් මුදා ගත්හ. අන්දිරි අන්දිරින් මේ සටනේදී මිය ගිය අතර මෙම දිනය අද මාලදිවයිනේ ජාතික දිනය ලෙස සැලකේ.

ආශ්‍රිත[සංස්කරණය]

  1. David Levinson (1947). Ethnic groups worldwide: a ready reference handbook. Oryx Publishers. ISBN 978-1-57356-019-1. http://books.google.mv/books?id=uwi-rv3VV6cC&q=maldives. Retrieved 1 February 2011. 
  2. Maloney, Clarence. "Maldives People". International Institute for Asian Studies. http://www.iias.nl/iiasn/iiasn5/insouasi/maloney.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 22 June 2008. 
  3. "Maldives Enthongraphy". Maldives-ethnography.com. http://www.maldives-ethnography.com/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 30 June 2010. 
  4. "CIA Factbook". https://www.cia.gov/library/publications/the-world-factbook/geos/mv.html#People. 
  5. 5.0 5.1 5.2 5.3 "Maldives". International Monetary Fund. http://www.imf.org/external/pubs/ft/weo/2012/01/weodata/weorept.aspx?pr.x=44&pr.y=4&sy=2009&ey=2012&scsm=1&ssd=1&sort=country&ds=.&br=1&c=556&s=NGDPD%2CNGDPDPC%2CPPPGDP%2CPPPPC%2CLP&grp=0&a=. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 April 2012. 
  6. Human development statistical annex. undp.org (2011)
"http://si.wikipedia.org/w/index.php?title=මාලදිවයින&oldid=286025" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි