කලාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

කලාව යනු සංවේදනා හෝ මනෝභාව ආමන්ත්‍රණය කෙරෙන පරිදි මූලිකාංග දැනුවත් ව පිළිවෙලකට සකස් කිරීමේ ක්‍රියාවලිය යි, නැතහොත් එම ක්‍රියාවලියේ ඵලය යි. සාහිත්‍යය හා සංගීතය ද ඇතුළු ව පුළුල් පරාසයක පැතිර ගිය මානව ක්‍රියාකාරකම්, නිර්මාණ හා ප්‍රකාශන මාධ්‍ය ගණනාවක් මෙයට ඇතුළත් වේ. සෞන්දර්යවේදය නමින් හැඳින්වෙන දර්ශනවාදයේ ශාඛාව තුළ කලාවේ අර්ථය ගවේෂණය කරනු ලැබේ.

කලාව නිර්වචනය කිරීම හා විනිශ්චය කිරීම 20 වැනි සියවසේ මුල් භාගයේ පටන් විශේෂයෙන් ප්‍රශ්නකාරී දෙයක් බවට පත් ව තිබේ. රිචර්ඩ් වොල්හයිම් මේ හා සම්බන්ධ ප්‍රවේශයන් තුනක් හඳුනා ගනියි : සෞන්දර්යාත්මක ගුණය මානව දෘෂ්ටියෙන් ස්වාධීන වූ පරම අගයක් හැටියට සලකන යථාර්ථවාදී ප්‍රවිෂ්ටය; සෞන්දර්යාත්මක ගුණය පරම අගයකින් යුක්ත වන නමුත් සාමාන්‍ය මානව අනුභූතිය මත රඳා පවත්නා බව පිළිගැනෙන වෛෂයිකවාදී ප්‍රවිෂ්ටය; සෞන්දර්ය ගුණය පරම අගයක් හැටියට නොගන්නා, ඒ වෙනුවට එය විවිධ මනුෂ්‍යයන්ගේ මානව අනුභූතීන් මත රඳා පවතින අතර ඒවා සමග විපර්යාසයට ද ලක්වෙතියි පවසන සාපේක්ෂතාවාදී ආස්ථානය.[1] කිසියම් වස්තුවක් එහි දෘශ්‍යමාන කාර්යය කුමක් හෝ වේවා එහි අරමුණ හෝ එවැන්නක් නොමැතිකම, එහි නිර්මාපකයා ආදී පදනම් මත ගුණාංගීකරණය කිරීමට පුළුවන. පෙනෙන පරිදි කිසියම් ද්‍රවයක් දරා සිටින උපකරණයක් හැටියට භාවිත කළ හැකි වුවත් කෝප්පයක් හුදෙක් සැරසිල්ලක් ලෙසින් භාවිතයට ගන්නේ නම් එය කලා කෘතියක් වශයෙන් ද සැලකීමට හැකියාවක් තිබේ. ඒ අතර ම චිත්‍රයක් මහාපරිමාණ ප්‍රතිනිෂ්පාදනයට ලක් වන්නේ නම් එය හුදෙක් ශිල්පයක් වශයෙන් හැඳින්වීමට ද ඉඩ තිබේ.

සාම්ප්‍රදායික ව, කලාව නමැති පදය ඕනෑ ම ශක්‍යතාවක් හෝ සමත්කමක් විස්තර කරනු පිණිස භාවිත විය. කලාව, "ආගම හා විද්‍යාව සමග එක්ව වර්ගීකරණය කළ හැකි මිනිස් මනසේ විශේෂ අධ්‍යයනේන්ද්‍රියක්"[2] හැටියට සැලකීමට පටන් ගත් රොමෑන්තික යුගයේ දී මේ සංකල්පනය වෙනසකට භාජනය විණි. සාමාන්‍ය වශයෙන්, කලාව සිතිවිලි හා භාව උද්දීපනය කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන නිර්මාණය කරනු ලැබේ.

කලාවේ ස්වභාවය "මානව සංස්කෘතිය පිළිබඳ සාම්ප්‍රදායික ගැටලු අතරින් වඩාත් ම දුරවබෝධාත්මක වූවක්"[3] වශයෙන් රිචර්ඩ් වොල්හයිම් විස්තර කරයි. මනෝභාව හා අදහස් ප්‍රකාශ කිරීම හෝ සන්නිවේදනය සඳහා වූ වාහකයක්, ආකෘතික අංශ ඒවායේ ම අවශ්‍යතා උදෙසා ගවේෂණ කිරීමේ හා ඇගැයීමේ මාර්ගයක්, සහ අනුකරණයක් හෝ නිරූපණයක් වශයෙන් එය නිර්වචනය කරනු ලැබ තිබේ. එක් පුද්ගලයකු තවෙකෙකු අතර වක්‍ර සන්නිවේදනයක් සිදු වන මාර්ගයක් වශයෙන් ලියෝ තොල්ස්තෝයි කලාව හඳුනාගත්තේ ය.[4] බෙනදෙත්තෝ ක්‍රෝස් සහ ආර්. ජී. කොලිංවුඩ් කලාව මනෝභාව ප්‍රකාශයට පත් කරන බවත් එහෙයින් කලා කෘතියක් සාරභූත වශයෙන් එහි නිර්මාපකයාගේ මනස තුළ පවත්නා බවත් කියැවෙන විඥානවාදී දෘෂ්ටිය ඉදිරිපත් කළෝ ය.[5] [6] කලාව ආකෘතිය වශයෙන් ගන්නා කලා න්‍යායෙහි මුල් ඇත්තේ ඉමැනුවෙල් කාන්ට්ගේ දර්ශනය තුළ ය. මෙය විසි වන සියවසේ මුල් භාගයෙහි දී රොජර් ෆ්‍රයි සහ සිල්වි බෙල් විසින් වැඩිදුර වර්ධනය කරනු ලැබී ය.[7] කලාව වනාහි අනුකරණය හා නිරූපණය හැටියට ගන්නා නිර්වචනය ඇරිස්ටෝට්ල්ගේ දර්ශනය තුළ ගැඹුරින් මුල් බැස ඇත.[8]


පදය පිළිබඳ නිර්වචන[සංස්කරණය]

’කලාව’යන වචනයේ ඉතාමත්ම සාමාන්‍ය ව්‍යවහාරය ප්‍රසිද්ධියට පත්වූයේ ක්‍රි.ව. 1750 න් පසුවය. එහිදී සෞන්දර්යාත්මක ඵලයක් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගනු ලබන කුසලතාවය හැඟවීම පිණිස ‘කලාව’ යන වචනය යොදාගනු ලැබිණි. බ්‍රිටැනිකා විශ්වකෝෂය ‘කලාව’ යන්න අර්ථ නිරූපනය කරන්නේ ‘අන්‍යයන් සමග බෙදාහදාගත හැකි සෞන්දර්යාත්මක වස්තූන්, පරිසරයන් හෝ අත්දැකීම් නිර්මාණය කිරීමේදී හැකියාව සහ පරිකල්පනය යොදාගැනීම’ යනුවෙනි. ‘කලාව’ යන වචනය පිළිබඳව වන කුමන අර්ථ නිරූපනයක් අනුව බැලූවද පූර්ව ඵෙතිහාසික චිත්‍රවල සිට වර්තමාන චිත්‍ර දක්වා වූ සෞන්දර්යාත්මක නිර්මාණයන්ට මිනිස් වර්ගයා තරම්ම දිගු ඉතිහාසයක් ඇති බව පෙනීයයි. ‘කලාව’ නැමැති සංකල්පය පිළිබඳව බොහෝ දේ ලියැවී ඇත. 1970 දී ඇඩර්නෝ කියා සිටියේ ‘දැන් පිළිගතයුතු කරුණ වන්නේ කලාව සම්බන්ධ කිසිවක් තවදුරටත් එසේ යැයි පිළිගත යුතු නොවන බවයි’ යනුවෙනි. කලාව පිළිබඳ මුල්ම සහ වඩාත් පුළුල් අර්ථය වන්නේ දළ වශයෙන් ‘හැකියාව’ නොඑසේනම් ‘කෞෂල්‍යය’ ලෙසින් පරිවර්තනය කරනු ලැබිය හැකි පැරණි ලතින් වචනය වේ. එමෙන්ම මෙම අර්ථයට සමාන අර්ථයක් ‘සැකසුම’ හෝ ‘පිළියෙල කිරීම’ යන අර්ථය ගැබ්වූ ඉන්දු යුරෝපීය මූල වචනයෙහිද ගැබ්ව ඇත. මේ අනුව බැලූකල කිසියම් කර්තෘවරයකු විසින් වුවමනාවෙන්ම සිදුකරන ලද්දාවූ සකස් කිරීමේ ක්‍රියාවලියකට බඳුන් වූ ඕනෑම දෙයක් කලාව යනුවෙන් හැඳින්විය හැකිය. මෙම තේරුම් ගැනීම් ඉතා පුළුල් එකක් බව ඔප්පු කිරීම සඳහා උදාහරණ ලෙස ඉංග්‍රීසි භාෂාවේ කලාව සඳහා යෙදෙන 'රඑ’ යන වචනය ඇසුරුකොටගෙන බිහිවී ඇති artifact (මානවකෘතිය), artificial (නිර්මාපිත), artifice (ප්‍රයෝගය), artillery (කාලතුවක්කු), medial arts (මාධ්‍යයීය කලාවන්) සහ military arts (යුධකලාවන්) යනාදී යෙදුම් දැක්විය හැකිය. කෙසේ වෙතත් මෙම යෙදුම වෙනත් බස්වහරවල යොදාගනු ලබන වෙනත් යෙදීම් රැසක්ද පවති. ඒවායින් සමහරක් නිරුක්ති ශාස්ත්‍රය හා සම්බන්ධිත ඒවා වෙයි.


’කලාව‘ යන වචනයේ දෙවන සහ වඩාත් මෑතකාලීන අර්ථය දැක්වෙන්නේ නිර්මාණාත්මක කලාව සහ ලලිත කලාව යන දෙකෙහි සංක්‍ෂිප්තකරණයක් ලෙසිනි. කලාකරුවගේ නිර්මාණශීලීත්වය ප්‍රකාශකිරීම සඳහා හැකියාව යොදාගැනීම හෝ රසවිඳින්නන්ගේ සෞන්දර්යාත්මක සංවේදනාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම හෝ ලාලිත්‍යමය දේ අවධානයට ලක්කිරීම සඳහා රසවිඳින්නන් පෙළඹවීම හෝ ලලිත කලාව යනුවෙන් හැඳින්වේ. බොහෝවිට හැකියාවන් සාමාන්‍ය හෝ ප්‍රායෝගික ආකාරයෙන් යොදාගනු ලබන්නේ නම් ජනතාව එවැනි නිර්මාණයන් කලාව ලෙස නොව ශිල්පයක් ලෙස සලකනු ලබයි. එමෙන්ම හැකියාව වානිජමය හෝ කාර්මික ස්වරූපයකින් යොදාගනු ලබන්නේ නම් එය කලාව ලෙස නොව වානිජ කලාව ලෙස හඳුන්වනු ලැබේ. අනෙක් අතට සමහර අවස්ථාවන්හිදී ශිල්පීය නිර්මාණයන් සහ සැලසුම් ව්‍යවහාරික කලාව ලෙසින්ද සලකනු ලබයි. සමහර කලා අනුගාමිකයින් කියා සිටින්නේ ලලිත කලාව සහ ව්‍යවහාරික කලාව අතර වෙනස තීරණය කළයුත්තේ කලාව පිළිබඳව වටිනාකම පදනම් කොටගෙන මිස පැහැදිලි අර්ථ නිරූපනමය වෙනස්කමක් පදනම් කරගෙන නොවන බවය. කෙසේ නමුත් හුදු ශුද්ධ නිර්මාණාත්මක බව සහ ස්වයං ප්‍රකාශනය අභිබවාගිය අරමුණු ලලිත කලාවට පවා ඇත. කලාකෘතීන්හි අරමුණ දේශපාලනික ආධ්‍යාත්මික හෝ දාර්ශනික අදහස් සන්නිවේදනය සුන්දරත්වය පිළිබඳ සංවේදනයක් නිර්මාණය කිරීම සන්තෘෂ්ඨිය සඳහා හෝ ප්‍රබල භාවයන් ජනනය කිරීම වියහැකිය. එමෙන්ම සමහර විටෙක එහි අරමුණ බැලූබැල්මට විද්‍යමාන නොවන්නක්ද වියහැකිය.

ගොනුව:Ma Lin 003.jpg
සොංග් රාජවංශික චිත්‍රශිල්පියකු වූ මා ලින් ගේ සිතුවමක්

ලලිත කලාවේ ලලිත යන යෙදුමේ නිරුක්තිය ආරම්භ වන්නේ යමක් පැහැදිලි කිරීමට හේතූන් හතරක් යෝජනා කරසිටි ඇරිස්ටෝටල්ගේ දර්ශනයෙනි. ඊට අනුව ඕනෑම යමක් පිළිබඳව වන අවසාන හේතුව වන්නේ එහි පැවැත්මේ අරමුණයි. ලලිත කලාව යන යෙදුම නිරුක්තිය ලබන්නේ මෙම සංකල්පයෙනි. කලා කෘතියක අවසාන අරමුණ එම කලා කෘතියම නම්, වෙනත් කිසිදු අරමුණක් වෙනුවෙන් නොවේනම් එනම් ‘කලාව කලාව උදෙසාම’ නම්, එකී කලාකෘතිය වඩාත් නිවැරදි ලෙස ලලිත කලාවක් ලෙසින් හැඳින්විය හැකිය. මීට සමීප සම්බන්ධයක් ඇති සුන්දරත්වය පිළිබඳ සංකල්පය ශාස්ත්‍රීයව ‘එය කවර කල්හි දුටුවද සන්තෘෂ්ඨිය ඇතිකරන්නක්’ ලෙසින් අර්ථ නිරූපනය කරනු ලබයි. සුන්දරත්වයේ අවසාන නිෂ්ටාව සන්තෘෂ්ඨිය ඇතිකිරීම වන අතර ඒ අනුව එහි වෙනත් කිසිදු අරමුණක් නොමැති අතර එහි අරමුණ වන්නේ එයමය.

නිර්මාණාත්මක හැකියාව පිළිබඳව අධ්‍යයනය, නිර්මාණාත්මක හැකියාව යොදාගැනීමේ ක්‍රියාවලිය හෝ නිර්මාණාත්මක හැකියාව පිළිබඳ රසවිඳින්නාගේ අත්දැකීම ආදී වශයෙන් කලාවට බොහොමයක් දේ විස්තර කළහැකිය. නිර්මාණාත්මක කලාවන් (කලාව දැනුම් පද්ධතියක් ලෙස) වූ කලි පුද්ගලික හඹායාමක් (කලාව ක්‍රියාකාරකමක් ලෙස) විසින් මෙහෙයවනු ලැබූ සහ නරඹන්නාට අර්ථ නිරූපණය කිරීම සඳහා (කලාව අත්දැකීමක් ලෙස) පණිවුඩයක මනෝභාවයක හෝ සංකේතවාදයක පිළිබිඹුවක් හෝ අනුනාදයක් වන්නාවූ කලාකෘතීන් (කලාව විෂය වස්තුවක් ලෙස) නිෂ්පාදනය කරන (කලාත්මක) දැනුම් පද්ධතීන්හි එකතුවකි. යම් අදහසක් තවත් අයකුට සන්නිවේදනය කිරීම සඳහා වන සීමාරහිත සංකල්පයන් හෝ අදහස්වල අරමුණු සහගත නිර්මාණාත්මක අර්ථ නිරූපණයන් ලෙසින් කලාකෘති හැඳින්විය හැකිය. එමෙන්ම එය අදහසක් පිළිබඳව ප්‍රකාශනයක් වන අතර එය විවිධාකාරයන් ගතහැකි වනවා මෙන්ම එය විවිධ අරමුණු වෙනුවෙන් එය සේවය කරනු ලැබිය හැකිය. නව විද්‍යාත්මක න්‍යායක් බිහිකිරීම සඳහා විද්‍යාත්මක න්‍යායන් යොදාගැනීම සඳහා හැකියාව මෙන්ම අලූතින් යමක් ‘නිර්මාණය කිරීම’ කළයුතු වන අතර එය නියෝජනය කරන්නේ විද්‍යාව පමණක් වන අතර එය කලාව ලෙස සලකනු නොලැබේ.

ඉතිහාසය[සංස්කරණය]

කලාවේ ඉතිහාසය තුල මතභේද වර්ගීකරණය[සංස්කරණය]

කිසියම් නිර්මාණයක් හෝ විධික‍්‍රමයක් කලාව ලෙස සැලකියහැකිද යන්න පිලිබඳව ජනතාව අතර මතභේද පැවතීම කලාවේ ඉතිහාසය තුල සාමාන්‍ය සිදුවීමකි. ඇත්තෙන්ම කියන්නේ නම් පසුගිය සියවසේ වැඩි කාලයක් කලාව යනු කුමක්ද යන්න පිලිබඳ මදභේද විය. කලාවේ දාර්ශනිකයෝ මෙම මතභේදයන් ‘කලාව වර්ගීකරණය කිරීමේ මතභේදයන්’ ලෙස නාමකරණය කරති. උදාහරණයක් ලෙස පැරණි ගී‍්‍රක දාර්ශනිකයෝ ‘යහපත් ජීවිතයක් ගතකිරීමේ’ කලාව ලෙස ආචාර ධර්ම සැලකිය යුතුද යන ප‍්‍රශ්ණය සංවාදයට ලක්කළහ. 20 වන සියවසේ වර්ගීකරණ මතභේදයන් අතර ඝනිකවාදී සහ ප‍්‍රකාශනවාදී චිත‍්‍ර, ඩුෂෙම්ප්ගේ ෆවුන්ටන්, චිත‍්‍රපට, මුදල් නෝට්ටුවල විශිෂ්ඨ අනුකරණයන්, සම්ප‍්‍රචාරණය පමණක් නොව මුත‍්‍රාවල ගිල්වන ලද සුරුවම පවා විය. සංකල්පීය කලාව බොහෝවිට දැනුවත්වම කලාව ලෙස සැලකෙන්නේ කුමක්ද යන්නෙහි සීමා මායිම් පුළුල් කරයි. කලාකරුවන් විසින් ක‍්‍රමක‍්‍රමයෙන් වීඩියෝ කී‍්‍රඩා වැනි නව මාධ්‍ය තෝරාගැනීම සහ/ හෝ කලාවේ ප‍්‍රවර්ගයන් ලෙස පිලිගැනීමට ලක්වෙමින් පවතී. මෙම නව වර්ගීකරණ විතැන්වීම් විශ්වීය ලෙස පිලිගැනීමට ලක්වී නොමැති බැවින් මතභේදය පිලිබඳ විෂය තවදුරටත් නොනැසී පවතී.

කලාවේ ස්වභාවය පිලිබඳව වන මතභේදයන් සියවස් ගණනාවක් තිස්සේ දික්ගැසුනු ඒවා වෙයි. එකී මතභේදයන්හි ප‍්‍රතිඵලයක් ලෙස සමහර ප‍්‍රවර්ගයන් තහනම් කිරීමද සිදුව ඇත.

දාර්ශනිකයකු වූ ඬේවිඞ් නෝවිස් පවසන ආකාරයට කලාවේ අර්ථ නිරූපනය පිලිබඳ එකඟතාවයක් නොවීම ප‍්‍රශ්ණයේ කේන්ද්‍රය වන්නේ කලාතුරකිනි. ඔහුට අනුව ‘කලාවේ වර්ගීකරණ මතභේදයන්හි වැදගත්ම කොටස’ වන්නේ ‘මිනිසාගේ සමාජ ජීවිතය තුල අන්තර්ගතව පවත්නා ලලාසාත්මක සිතිවිලි සහ අභිරුචීන්’ ය (නෝවිස් 1996). නෝවිස්ට අනුව වර්ගීකරණ මතභේදයන් බොහෝවිට නිවැරදි න්‍යායට අනුව ගමන් කිරීම වෙනුවට සමාජය සමඟ ගමන් කිරීමට උත්සාහ දැරීමේදී උත්ගත වන්නාවූ අපගේ වටිනාකම් පිලිබඳ මතභේදයන්ය. හර්ස්ට් හා එමින්ගේ කෘතින් පිලිබඳව චෝදනා කරමින් ඬේලි මේල් පුවත්පත ‘වසර 1000 ක් තිස්සේ කලාව ශ්‍රේෂ්ඨ ශිෂ්ඨකරණ බලවේගයක් ලෙස කටයුතුකොට ඇති අතර වර්තමානයේ මේ තක්කඞීන් අප සියලූ දෙනාම ම්ලේච්ඡයන් බවට පත්කිරීමට උත්සාහ ගනිති’ යනුවෙන් ලියන විට අදහස් කරන්නේ මෙයයි. කලාව පිලිබඳ අර්ථනිරූපනය හෝ න්‍යාය ඉදිරියට ගෙන යනවා වෙනුවට ඔවුන් කරන්නේ හර්ස්ට් හා එමින්ගේ කෘතීන්හි වටිනාකම් ප‍්‍රශ්ණ කිරීමයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Wollheim 1980, op. cit. Essay VI. pp. 231-39.
  2. Gombrich, Ernst. "Press statement on The Story of Art". The Gombrich Archive, 2005. Retrieved on January 18, 2008.
  3. Richard Wollheim, Art and its objects, p.1, 2nd edn, 1980, Cambridge University Press, ISBN 0521 29706 0
  4. Jerrold Levinson, The Oxford Handbook of Aesthetics, Oxford university Press, 2003, p5. ISBN 0-19-927945-4
  5. Jerrold Levinson, The Oxford Handbook of Aesthetics, Oxford university Press, 2003, p16. ISBN 0-19-927945-4
  6. R.G. Collingwood's view, expressed in The Principles of Art, is considered in Wollheim, op. cit. 1980 pp 36-43
  7. Jerrold Levinson, The Oxford Handbook of Aesthetics, Oxford university Press, 2003, p5. ISBN 0-19-927945-4
  8. Jerrold Levinson, The Oxford Handbook of Aesthetics, Oxford university Press, 2003, p5. ISBN 0-19-927945-4
"http://si.wikipedia.org/w/index.php?title=කලාව&oldid=249637" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි