ඇමරිකානු විප්ලවීය යුද්ධය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඇමෙරිකන් විප්ලවීය යුද්ධයේ රූප එකතුවකි
1776 දී නිදහස් ප්‍රකාශනය ලිවීම
1779-1783 මහා ද්වීප හමුදාවේ පාබළ සේනාව
මහා ද්වීප හමුදාවේ සොල්දාදුවන්
එමානුවෙල් ලියුට්සි විසින් නිරූපිත ජෝර්ජ් වොෂිංටන් ඩෙලවෙයාර් තරණය
ලෝර්ඩ් කෝන්වලිස් යටත්වීම

ඇමෙරිකන් විප්ලවීය යුද්ධය (1775-1783), නොහෙත් ඇමෙරිකන් නිදහස් අරගලය නොහොත් සරල ව විප්ලවීය යුද්ධය යනුවෙන් හැඳින්වෙන්නේ ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය අතර පටන් ගැනුණකි. එය අවසානය වෙද්දී බ්‍රිතාන්‍ය එක පැත්තක ද, ඇමෙරිකාව, ප්‍රංශය, නෙදර්ලන්තය සහ ස්පාඤ්ඤය අනෙත් පැත්තේ ද සටන් වැදුනහ. ඇමෙරිකාවට ජය අත් විය. මෙය සාමජයීය පෙරළියක් නොව දේශපාලන සටනකි. ඇමෙරිකාවේ නිදහස වෙනුවෙන් සටන් වැදි මේ යුද්ධය තුලින් දිව යන්නේ පැරණි සහ නව දේශපාලන අදහස් වෙති. එසේම නව හමුදාමය සංකල්ප ඵල ගැනීමකි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජනයක් නැතිව, උපනිවේෂ ඇමෙරිකානුවන්ගෙන් අදහස් විමසන්නේ නැතිව ඔවුන් වෙත බදු පැනවිය හැකි ද යන්න බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ තුන්වැනි ජෝර්ජ් රජුට උත්තර දෙන්නට සිද්ධ වූ ගැටළුව යුද්ධයක් ලෙසින් දියත් වී බදු ගැන විමසූවන් වෙන් වී ගොස් රටක් ලෙසින් ලෝකයට බිහි වී නිමා වූවකි.[1]

උපනිවේෂයන් හි පාලකයන් යැයි කියාගත් බ්‍රිතාන්‍ය එහි ආරක්ෂාවට මුදල් වැය කරන්නට අකමැති වූහ. උපනිවේෂයන් හි මිලීෂීයාවට තම ආරක්ෂාව සලසා ගැනීමට තරම් යුදමය දැනුමක් සතු නොවිණ. බ්‍රිතාන්‍යයන් ස්වදේශී ඉන්දියානුවන් වෙත දැක් වූ සැලකිලි වලට ද උපනිවේෂ වැසියන් අකමැති වූහ. එසේම රටේ බටහිර පළාත් වලට උපනිවේෂ වැසියන් සංක්‍රමණය වීමට බ්‍රිතාන්‍ය අකමැත්ත දැක්විය. ඒ නිසා තමන් කමැති උපනිවේෂ වැසියන් අකමැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීමට ඔවුනට හමුදා බලය හා මුදල් අවශ්‍ය විණ. එහෙත් බ්‍රිතාන්‍යයේ මතය වූයේ තම ආරක්ෂාව පිණිස උපනිවේෂ වැසියන් මුදල් වැය දැරිය යුතු යැයි කියාය. තමන් කැමැත්තට ඉඩ නැත්නම් ආරක්ෂාව සලසන නාමයෙන් ගෙනෙන අනිකුත් බදු පිළිවෙත් වලට තමන් විරෝධ වෙන්නේ යැයි උපනිවේෂ වැසියන් බ්‍රිතාන්‍යයට කියා සිටියහ. අකමැති දෙයක් සඳහා වැය කරන්නට තමන් වෙතින් බදු මුදල් අය කර ගැනීම උපනිවේෂ වැසියන් දුටුවේ ඒකීය පුද්ගල අයිතිය ආක්‍රමණය කරන පීඩකයෙකුගේ හැදියාවක් ලෙසිනි.[2]

1764 දී මුද්දර බද්දට[3] කෙමෙන් කෙමෙන් අප්‍රසාදය වැඩි වුණි. අනතුරුව වෙනත් අපනයන භාණ්ඩ වලට, විශේෂයෙන් ම තේ සඳහා බද්දක් පැනවීම ඔවුනට රිස්සුවේ නැත. 1773 දී බොස්ටන් වරායේ දී ස්වදේශී ඉන්දියානුවන් මෙන් වෙස්වළා ගත් දේශප්‍රේමී උපනිවේෂ වැසියන් "තේ සාදයක්" පැවැත්වූහ. ඔවුන් ඊස්ට් ඉන්දියා කොම්පැණිය විසින් අපනයනය කරන ලද තේ පෙට්ටි නැව් වලින් ඇද මුහුදට හෙලූහ. ඊ ළඟ සැප්තැම්බරයේ දී මහාද්වීප කොංග්‍රසය ෆිලඩෙල්ෆියාවේ දී හමු වූහ. මුල් වෙඩි හඬ වැදුනේ 1775 අප්‍රේල් මාසයේ දී බ්‍රිතාන්‍ය හමුදාව අවි ගබඩා සොයන්නට සහ දේශප්‍රේමීන් අත් අඩංගුවට ගන්නට ගිය ලෙක්සින්ග්ටන් හා කොන්කෝර්ඩ් සටන් වල දී ය. සටන් පැතිර යන්නට පටන් ගැනිණ.

1776 ජූලි මාසයේ දී බ්‍රිතාන්‍යයට එරෙහිව නිදහස් ප්‍රකාශනය ලියා උපනිවේෂ වැසියන් විසින් සම්මත කරගන්නා ලදි. නිදහස නම් සංකල්පය මත පදනම් වූ යුද්ධය බ්‍රිතාන්‍යය උපනිවේෂ 13 ක වැසියන් අතර ජනප්‍රිය විය. යුද්ධය ආරම්භයේ දී ඇමෙරිකාවේ නිර්මාතෘවරුන් විසින් නිදහස් ප්‍රකාශනයෙන් කියූ දෑ සාක්ෂාත් කරගන්නට හැකි වේ යැයි සිතු අය නොවූහ. ඔවුන්ට මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය හා සටන් වැදීමෙන් ලැබෙනුයේ ජයග්‍රහණයක් නොව අපකීර්තියක් යැයි සිතූ අය වැඩි වූහ. කෙසේ වුව ද, 1783 දී පැරීසියේ සාම ගිවිසුම අත්සන් කරද්දී ඒ අනාවැකි එසේ වේ යැයි සිතූ අය බහුතරය විය.[4]

ඇමෙරිකන් විප්ලවීය හමුදාවේ නායකත්ව තනතුරු දරනා අයගේ යුද දැනුම හා හමුදා පුහුණුවක් නැතිකම යුද්ධයේ එතෙක් දැඩි අඩුපාඩුවකින් වූවකි. 1775 ජූනි මාසයේ දී කොන්ටිනෙන්ටල් හමුදාවේ අණ දෙන නායකයා ලෙස පත් කරන ලද ජෝර්ජ් වොෂින්ටන් ඊට පත්වූයේ වර්ජීනියා මිලීෂීයාවේ ඔහු දැක් වූ දස්කම් නිසාය. එහෙත් ඔහු වෘත්තියෙන් මිනින්දෝරුවෙකු වූ වැවිලි වගාවේ යෙදි ගම්බද මහත්තෙයක් ලෙසින් සැලකෙන ලද්දෙකි. ඔහු වෘත්තිමය සොල්දාදුවෙක් නොවීය. අනෙකුත් අය අතර හොරේෂියෝ ගේට්ස් සහ චාල්ස් ලී යන දෙදෙනා අවම යුද අත්දැකීම් වලින් යුතු අය වූහ. නැතානියෙල් ග්‍රීන් නැමැත්තා යකඩ තලන්නෙකි. හෙන්රි නොක්ස් පොත්කඩ අයිතිකාරයෙකි. බෙනඩික්ට් ආර්නෝල්ඩ් ඇපොතකරියේ අත් උදව්වට සිටියෙකි. ඔහු පසුකලෙක බ්‍රිතාන්‍යයට පක්ෂපාතී වූවෙක් වෙයි. මේ හමුදාපතිවරුන් හත් අවුරුදු යුද්ධයක් දිනාගත් මහා අධිරාජ්‍යයක් සොලවන්නට සමත් වේ යැයි කිසිවෙකු සිතුවේ නැත.

උපනිවේෂ ප්‍රාන්ත ආණ්ඩු සහ අලුතින් පිහිටුවා ගත් කොංග්‍රසය ස්ථිර හමුදාවක වැය දරන්නට ද පසුබෑමකින් යුතු වූහ. දේශපාලනඥයන් සිතුවේ ස්ථිර හමුදාවක් නඩත්තු කිරීමෙන් ප්‍රජා පීඩක ආඥාදායකයෙකුගේ වැඩීමකට අත දීමක් සිද්ධ වේ යැයි කියාය. ප්‍රාන්ත ආණ්ඩු කල්පනා කළේ රටේ ආරක්ෂාවට යන වැය ගැන ය. 1776 දී මුල් රෙජිමේන්තු වලට එකතු වූ ස්වේච්ඡා හමුදා භටයන් වේතන නොමැතිව සටන් කරනු නොහැකි යැයි කියා නිවෙස් බලා ගියහ. එවිට කොංග්‍රසය කලබල වී වහාම වසර තුනක සේවයට හෝ යුද්ධය අවසන් වෙන තෙක් පමණක් සටන් කරන්නට යැයි හමුදාවට එකතුවෙන්න යැයි ඔවුන් ව යළි කැඳවීමයි. රටේ ඇති තරම් පිරිමි ජනගහණයක් සිටියත් හමුදාවට බැඳෙන පිරිමි මඳ වූහ. එවිට කොංග්‍රසය මාස නමයක අනිවාර්ය සේවයක් නියම කළේය. ඒ 1777 මුල් කාලයේ දී ය. එහෙත් ඊට ද වැසියන් සවන් නොදුන්හ. මන්ද ප්‍රාන්ත බලය තුල ඒ අනිවාර්ය කිරීම බලපෑවේ කරකියා ගන්නට නොහැකි වූවන්ට පමණයි. හමුදාවට බැඳෙන අයට අතට මුදල් හා ඉඩම් කෑලි ලබාදෙනවා යැයි කොංග්‍රසය කියා සිටියේය. එහෙත් ජනතාව ඊට රැවටුනේ නැත. මන්ද අතට මුදල් දෙනවා කිව්ව ද, $750 ගෙවුනේ මුදල් අගය වේගයෙන් බහින කරදහි කොළ වලිනි. සොල්දාදුවෙකුගේ දවසේ වේතනයට වඩා තිස් ගුණයක් සිවිල් කම්කරුවෙකුට දිනක දී උපයත හැකියාව තිබිණ. ඒ නිසා ජෝර්ජ් වොෂින්ටන්ගේ හමුදාවේ සිටියේ තුනෙන් දෙකක ප්‍රමාණයක හමුදාවක සටන් වදින්නට නුසුදුසු අයයි.[5]

එහෙත් වොෂින්ටන්ගේ මූලිකත්වයෙන්, ප්‍රංශයෙන් එන මාර්කි ඩ ලාෆායෙට්[6] නම් වූ තරුණයා ස්වේච්ඡාවෙන් ම 1777 අගෝස්තුවේ දී මහාද්වීප හමුදාවට එක් වූයේය. 1778 පෙබරවාරියේ දී පෲසියන් (ජර්මන්) සරඹ ප්‍රවීනයෙක් සේ සැලකෙන ෆෙඩ්රික් වොන් ස්ටූබන් ඔවුන්ට එකතු වෙයි. මහා ද්වීප හමුදාවේ මිලීෂීයාව, ගොවියන් සහ රන් රදී වැඩකරැවන්ව[7] සාමාන්‍ය පුහුණු සොල්දාදුවෙකුගේ තත්වයකට ගෙන එන්නට ඔවුන් දෙදෙනා සමත් වෙති. හමුදාව හැර දා පැන ගිය අය බොහෝ විය. 1780 වෙද්දී හමුදාවට බැඳෙන අයගෙන් කාලක් පමණක් මාස නවයක අනිවාර්ය සේවය නිම කළ අය වූහ. කළු ඇමෙරිකානුවන් විශාල සංඛ්‍යාවක් ද යුද්ධයට එකතු වූහ. දකුණු ප්‍රාන්ත වල වහල් සේවයේ වූ කළු අයට හමුදාවට එකතු වීම තහනම් ව තිබියේය. ඔවුන් අතරන් සමහරු බ්‍රිතාන්‍යයට පක්ෂව සටන් කළහ. එහෙත් උතුරේ වැඩි කළු ඇමෙරිකානු ජනගහණය මහා ද්වීප හමුදාවට එකතු වී සටන් වැදුනේ වහල් සේවය අහෝසි කරන්නට ජය හේතු වේ යැයි යටි බලාපොරොත්තු වෙනි.

නොයෙක් දක්ෂතා වලින් යුතු වූවන් හමුදාවට සිටිය ද, උසස්වීම් සඳහා නියමිත ක්‍රමයක් නොවීය. සියළු ජනරාල්වරු පත්වුනේ කොංග්‍රසයේ අනුමැතියෙනි. ප්‍රාන්ත ආණ්ඩු වලින් අතුරු නිලධාරීන් පත් කෙරිණ. එහෙත් පක්ෂපාතීත්වය හා ඥාති අනුග්‍රහයන් නිසා තනතුරු හා උසස්වීම් ලැබි අය වැඩි වූහ. තනතුරු වලට සුදුසු වූ ජෝර්ජ් වොෂින්ටන් නිර්දේශ කළ අය නොසලකා හැරිණ. නිලධාරීන් විශ්‍රාම පඩි හැටියට වේතනයෙන් බාගයක් ජීවිතය තිබෙන තුරු ලබා ගැනීමට ඉල්ලා සිටියහ. ජෝර්ජ් වොෂිංටන් හමුදාපති වශයෙන් වේතනයක් නොමැතිව ස්වේච්ඡාවෙන් හමුදාවට බැඳී සිටියෙකි. ඔහු තම නිලධාරීන්ගේ ඉල්ලීමට සහයෝගය දැක්වූයේය. හමුදාවෙන් ඉල්ලා අස් වී යන සංඛ්‍යාව වැඩි වෙන්නට පටන් ගනිද්දී 1780 දී ඒ ඉල්ලීම අනුමත විය.

එහෙත් නායකත්වය, පුහුණුව හා වේතන පමණක් නොව ඔවුනට තිබි තවත් මහත් හිඟයක් විය. ඒ අවි ආයුධ, යුද උපකරණ හා ආහාර පාන යනාදිය කෘෂිකාර්මික රටාවක් පැවති සමාජයකින් පහසුවෙන් ලබාගත නොහැකි වීමයි. කාර්මික නිෂ්පාදන බොහොමයක් ආවේ යුරෝපයෙනි. අවි හා වෙඩි බෙහෙත් ගෙන්වා ගැනීම පහසු වෙන්නේ බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් තනාපතිවරයෙක් ලෙසින් ප්‍රංශයට ගිය පසුය. ප්‍රංශ හා ඕලන්ද අවි හා වෙඩි බෙහෙත් නැව් මඟින් ඇමෙරිකන් පුද්ගලික අංශයේ වෙළඳ මාර්ග වලින් ගෙන්වා ගන්නට මාර්ග පෑදිණ. ඔවුන් අතර යුද්ධය නිසා පොහොසත් වන්නට හැකි වූ අය වැඩි විය. කෘෂිකාර්මික සමාජයක ආහාර බෙහෙවින් තිබිය ද ඒවා බෙදා හැරීම පාරවල් එතරම් නොතිබි විශාල පෙදෙසකින් යුතු රටක් තුල පහසු නොවීය. සීතල කාලයේ දී ලුණු දමා කල්තබා ගත හැකි මස් ආදිය නිසියාකාරව කරන්නට නොහැකි වූ අවස්ථා වල දී නරක් වී විසි කිරීම නිසා සොල්දාදුවන්ට හාමතෙන් ඉන්නට ද සිද්ධ විය.

කොංග්‍රසය මඟින් අගය අඩු කරමින් යහමින් අච්චු ගැසූ කරදහි මුදල් පාවිච්චිය බොහෝ ගැටළු වලට මුල් විය. උපනිවේෂ 13 ආණ්ඩු ද තම තම ප්‍රාන්තය ගැන මිසෙක ෆෙඩරල් රජය ගැන දක්වන අවධානය හා සහයෝගය මඳ විය. බද්දක් පැනවීම ගැන කතා කරන්නට ඔවුනට නොහැකි වුණි. මන්ද සටන් වදින්නේ බදු වලින් ගැලවෙන්නට නිසාය. ණයට ගන්නා මුදල් වල පොලී ඉහළ ගියේය. 1776 දී ප්‍රංශ භාණ්ඩාගාරයෙන් මිලියන ලීව්ර ණය මුදලක් ගෙන තිබුණු ඇමෙරිකාව ප්‍රංශයෙන් තවත් ණය ඉල්ලා ගති. ලෝක ඉතිහාසයේ මුල් වරට ජාතික උත්සාහයකින් හැදි මහා ද්වීප හමුදාව කිසිසේත්ම සූක්ෂම වූයේ නැත. දක්ෂ වූයේ නැත. එහෙත් කෙසේ හෝ ඔවුන් යුද්ධය දිනන්නට සමත් වූහ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. David Chandler, General Editor, The Dictionary of Battles, New York: Henry Holt and Company, 1987
  2. Thomas Fleming, Liberty! The American Revolution, Viking Penguin, 1997
  3. Robert Middlekauff, The Glorious Cause: The American Revoluiton, 1763-1789, Oxford University Press, 2002
  4. Justin Winsor, The American Revolution, New York: Bicentennial Sons of Liberty Publication, 1972
  5. Robert Leckie, George Washington's War, The Saga of the American Revolution, Haper Collins, 1992
  6. John Anthony Scott, The Diary of the American Revolution 1775-1781, New York: Washington Square Press, 1967
  7. Bruce Lancaster and Bruce Canton, The American Heritage History of The American Revolution, New York: American Heritage Publishing Co., 1971