ලෙක්සින්ග්ටන් හා කොන්කෝර්ඩ් සටන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ලෙක්සින්ග්ටන් හා කොන්කෝර්ඩ් සටන
ඇමෙරිකන් නිදහස් අරගලයහි කොටසකි
Battle of Lexington, 1775.png
ලෙක්සින්ග්ටන් සටන
19 වැනි සියවසේ රොමැන්තික ලෙසින් කරන ලද නිර්මාණයකි.
දිනය 1775 අප්‍රේල් 19
ස්ථානය මැසචූසෙට්ස් හි මිඩ්ල්සෙක්ස් කෝරළය
Lexington: 42°26′58.7″N 71°13′51.0″W / 42.449639°N 71.23083°W / 42.449639; -71.23083 (Lexington)ඛණ්ඩාංක: 42°26′58.7″N 71°13′51.0″W / 42.449639°N 71.23083°W / 42.449639; -71.23083 (Lexington)
Concord: 42°28′08.54″N 71°21′02.08″W / 42.4690389°N 71.3505778°W / 42.4690389; -71.3505778 (Concord)
ප්‍රතිඵලය යටත්විජිතයට ජය ලැබීම;
ඇමෙරිකන් විප්ලවීය යුද්ධයේ ආරම්භය
රණපත්හු
මැසචූසෙට්ස් බේ ප්‍රාන්තය මහා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය්‍ය
ආඥාපතියන් හා නායකයින්
ජෝන් පාකර්
ජේම්ස් බැරෙට්
ජෝන් බට්රික්
විලියම් හීත්
ජෝසෆ් වොරන්
අයිසැක් ඩේවිස් (සොල්දාදුවා)
ෆ්‍රැන්සිස් ස්මිත්
ජෝන් පිට්කෙයාර්න්
හියු පර්සි
ප්‍රබලභාවය

ලෙක්සින්ග්ටන්: 77[1][2]
කොන්කෝර්ඩ්: 400[3]
සටන අවසන: 3,800[1]
බොස්ටන් පටන්ගත් 700[4]
ලෙක්සින්ග්ටන්: 400[5]
කොන්කෝර්ඩ්: 100[6]
සටන අවසන: 1,500[7]
ආපතිකයන් සහ හානි
මරණ 49,
තුවාල ලත් 39,
අතුරුදහන් 5[8]
මරණ 73,
තුවාල ලත් 174,
අතුරුදහන් 53[8]

සැකිල්ල:Campaignbox American Revolutionary War: Boston

ලෙක්සින්ග්ටන් හා කොන්කෝර්ඩ් සටන් යනු ඇමෙරිකන් විප්ලවීය යුද්ධයේ පළමු හමුදාමය සටන් වූහ .[9][10] 1775 අප්‍රේල් 19 වැනිදා බ්‍රිතාන්‍ය ඇමෙරිකාවේ ප්‍රාන්ත 13 විසින් මහා බ්‍රිතාන්‍ය හමුදාවේ 700 කට පමණ එරෙහිව (නූතන මැසචූසෙට්ස් ප්‍රාන්තයේ දී) සිද්ධ වූවකි. බ්‍රිතාන්‍ය හමුදාපති තෝමස් ගේජ්ට රහස් ඔත්තුකරුවන් වෙතින් කොන්කෝර්ඩ් නැමති ගමේ මැසචූසෙට්ස් මිලීෂියාවගේ අවි ආයුධ ගබඩාවක් ඇති බව දැනගන්නට ලැබේ. තමනට පහර වැදෙන්නට පෙර රහසින් ගිහින් එය වටලා අවි ආයුධ බ්‍රිතාන්‍ය්‍ය යටතට ගැනීමට ඔහු අපේක්ෂා කළේය. එහෙත් බ්‍රිතාන්‍ය හමුදාවේ රතු කෝට් සොල්දාදුවන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන්නට කොන්කෝර්ඩ් වලට නුදුරින් වූ බොස්ටන් නගරයේ දේශප්‍රේමී යටත්විජිත වැසියන් වූහ. රිදී කර්මාන්තයේ නියැළි පෝල් රිවියෙර් නැමැත්තා එවක දේශප්‍රේමී ව්‍යාපාරය සහ නිදහස් පුත්‍රයන් යැයි හැඳින්වූ සංවිධාන වල සාමාජිකයෙකි. රහසින් ගමන් අරඹන්නට සූදානම් වන බ්‍රිතාන්‍ය හමුදාවේ හැසිරීම දැකි පෝල් රිවියෙර් මැදියම් රැයේ බොස්ටන් සිට ලෙක්සින්ග්ටන් වෙත අසු පිටින් ගොස් අවදානම ගැන අනතුරු ඇඟවූයේය. බ්‍රිතාන්‍ය්‍ය හමුදාව පැමිණෙද්දී ඔවුන්ව පරාජයට සූදානම් වී සිටීමට යටත්විජිත අරගලකරුවන්ට හැකිවුණි.

බ්‍රිතාන්‍ය අරමුණ[සංස්කරණය]

තෝමස් ගේජ් යටතේ 1775 දී මුළු උතුරු ඇමෙරිකාවේ ම වූයේ අටදාහක් පමණ සොල්දාදුවන්ය. ඉන් තුන්දහස් පන්සියයක් පමණ සේනාංක නමයක් යටතේ මැසචූසෙට්ස් හි සිටිය ද බොස්ටන් නගරයෙන් බැහැර මැසචූසෙට්ස් ප්‍රාන්තයේ එතරම් පාලන බලයක් ඔවුනට නොතිබුණි. නව එංගලන්තය නමින් හැඳින්වෙන ඊසාන දිග ඇමෙරිකන් ප්‍රාන්ත වල වැසියන් යෙදෙන බදු කැරලි නවත්වන්නට ඔහු ලන්ඩනයෙන් තවත් විසිදාහක සොල්දාදුවන් ඉල්ලා සිටියේය. බ්‍රිතාන්‍ය හමුදාවේ සොල්දාදුවන් රතු කෝට් හැඳ සිටි නිසා "රතු කෝට්" යැයි ද නම් වූහ. ඔවුන් රැගෙන ගියේ "බ්‍රවුන් බෙස්" නමින් ජනප්‍රිය වූ අගිස්සේ උල් තුඩු පිහියක් ඇති 'මස්කට්' වර්ගයේ වූ තුවක්කුවකි. වෙඩි බෙහෙත් උණ්ඩ හැටක් බැගින් ද එක අයෙකුට නිර්දේශ විය.

1775 අප්‍රේල් 14 වැනිදා ඔහුට රාජ්‍ය ලේකම් විලියම් ලෙගෙ නොහොත් ඩාට්ත්මත් හි අර්ල් වෙතින් ලැබි අණ වූයේ පළාතේ සඟවා ඇති අවි ආයුධ සොයාගෙන කැරලිකාර අරගලකරුවන් සිරගත කරන්නට කියාය. විශේෂයෙන් ම ඔවුන්ට උවමනා වූයේ සැමුවෙල් ඇඩම්ස් හා ජෝන් හැන්කොක් යන කැරලිකරුවන් දෙදෙනා ය. අප්‍රේල් 18 වැනිදා උදෑසන හමුදාපති ගේජ් විසින් අශ්වාරෝහකයන් විසිදෙනෙක් මේජර් මිචෙල් යටතේ යවන්නේ ඇඩම්ස් හා හැන්කොක් දෙදෙනා ඉන්නා තැන් සොයා බලන්නට ය. ඔවුන් වෙනදා පළාතේ සැරිසරන සොල්දාදුවන් මෙන් නොව වෙනස් ආකාරයකින් හැසිරෙන බව මිලීෂීයාවේ ඔත්තුකරුවන් නිරීක්ෂණය කළහ.

බ්‍රිතාන්‍ය හමුදාවේ 700 ක් පමණ සොල්දාදුවන් ගියේ ලුතිනන් කර්නල් ෆ්‍රැන්සිස් ස්මිත් යටතේ ය. ඔහුට අප්‍රේල් 18 වැනිදා සවස හමුදාපති තෝමස් ගේජ් වෙතින් ලැබුණ අණ වූයේ ඒ ආඥාව ගමන පිටත් වූවාට පසු කියවන්නට කියාය. එහි වූයේ කොන්කෝර්ඩ් නගරයට ගොස් අවි ගබඩා තම බාරයට ගෙන විනාශ කර දමනු කියාය. කිසිම පුද්ගලික දේපලකට හානියක් නොකරන්න යැයි ද එහි ලියා තිබුණි.

ඇමෙරිකන් නිදහස් අරගලය ගැන බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය්‍යට වැටහීමක් නොතිබුණි. හුදෙක් එය යුදමය සටනක් හැටියට සැලකූ බ්‍රිතාන්‍ය්‍යන් එහි දේශපාලන හා සංස්කෘතික වූ පැතිකඩ නොසලකා හැරීම යුද්ධයේ පරාජයට හේතු විණ.

යටත්විජිත ඇමෙරිකානු සූදානම[සංස්කරණය]

ඇමෙරිකන් කැරලිකරුවන්ට විලියම් ලෙගෙ විසින් හමුදාපති ගේජ් වෙත එවන ආඥාව දැනගන්නට ලැබෙන්නේ ලන්ඩන් නුවර සිටි ඔත්තුකරුවන් ගෙන්. එනම්, ගේජ් දැනගන්නටත් පෙර ඔවුන් එය දැන සිටියහ. බොස්ටන් හි පදිංචිකරුවන් වූ සැමුවෙල් ඇඩම්ස් හා ජෝන් හැන්කොක් එවිට තම නිවෙස් වලින් පළා ගොස් සැඟවී සිටියේ ලෙක්සින්ග්ටන් හි හැන්කොක්ගේ ඥාති නිවසකය.

බොස්ටන් වලින් බ්‍රිතාන්‍ය රතු කෝට් හමුදාව පිටත් වෙන්නට පෙර මහ රෑ ගමන් කළ පෝල් රිවියෙර් ගැන පසුකාලයක හෙන්රි වැඩ්ස්වර්ත් ලොන්ග්ෆෙලෝ නම් ගද්‍ය රචකයා කවියක් ලියුවේය. "අහන්න මගේ දරුවෙනි එවිට ඔබට ඇසේවි පෝල් රිවියෙර් ගේ මැදියම් රෑ ගමන ගැන හැත්තෑපහේ අප්‍රේල් මාසයේ දහඅට වැනිදා අද එකෙකුදු නොමැත ජීවතුන් අතර ඒ වැදගත් දිනය සහ වසර මතකයේ ඇති අයෙක්.."[11]

ඇමෙරිකන් මිලීෂියාවට තිබුනේ 'බ්‍රවුන් බෙස්' තුවක්කු, 'බ්ලන්ඩර්බස්' නම් වූ තුවක්කු සහ වෙනත් සොයාගත හැකි ඕනෑම අවියකි. ඔවුන් අතර ස්වේච්ඡාවෙන් සටන් වදින්නට ආ ගම්වැසියන් බොහොමය වගා කටයුතු වල හා වෙළඳ ව්‍යාපාරයන් හි නිරත වූ අයයි. මිලීෂීයාවට අමතර ව මිනිත්තුවක කාලයක දී සටනක් සඳහා සූදානම් විය හැකි පුද්ගලයන් වූ නිසා ඔවුනට 'මිනිත්තු මිනිසුන්' යැයි ද නමක් වැටී තිබුණි.

ලෙක්සින්ග්ටන් සටන[සංස්කරණය]

කොන්කෝර්ඩ් ගම බලා එන අතරතුරේ දී මේජර් පිට්කෙයර්න් යටතේ වූ රතු කෝට් හමුදාව ලෙක්සින්ග්ටන් හි දී මිලීෂියාව හා ගැටුණහ. මුළු රාත්‍රියක් ඔවුන් එනතුරු බලාගෙන සිටි ලෙක්සින්ග්ටන් මිලීෂීයාවට ඔවුන් දකින්නට ලැබෙන්නේ 1775 අප්‍රේල් 19 වැනි දා හිරු උදාවත් සමඟිනි. බක්මන් තැබෑරැමෙන් එළියට ආවේ මිලීෂීයාවේ අසූ දෙනෙකි. ගම මැද්දේ ඔවුන් පේලී ගැසි සිටිය දී පාර දෙපැත්තේ 40-100 ත් අතර අය සටන නැරඹුවා යැයි ද සඳහන් ය. මිලීෂීයාවේ නායකයා වූයේ ජෝන් පාකර් නැමති ප්‍රංශ ඉන්දියානු යුද්ධයේ සටන් වැදි පළ පුරුදු භටයෙකි. එහෙත් ඔහු ක්ෂය රෝගයෙන් පීඩා විඳියෙක් සේ ම කන් ඇසීමේ දුර්වලතාවයකින් ද පෙළුනෙකි. පේලි ගැසුන මිලීෂීයාවේ නව දෙනෙකුගේ වාසගම් වූයේ හැරින්ග්ටන් යැයි ද, හත් දෙනෙක් ඇතුළු එහි සාර්ජන්ට්වරයා ද මුන්රෝ යන වාසගමින් ද, පාකර් වාසගම ඇති හතර දෙනෙක් ද, ටිඩ් යන වාසගම ඇති තුන් දෙනෙක් ද, ලොක් නම් වාසගම ඇති තිදෙනෙක් ද, රීඩ් නම් වාසගම ඇති තිදෙනෙක් ද වී යැයි ද කියැවේ. එහි රැස් වී සිටි හතරෙන් එකක් යම් විදියකින් කපිතාන් වූ ජෝන් පාකර්ට යම් ඥාති සබඳතාවයක් තිබියෙන් පෙනෙන්නේ එය ඉතා කුඩා ගමක් වූ බවයි. ඔවුන් මිනිත්තු මිනිසුන් සංවිධානයට අයිති අය සේ සැලකුනේ නැත.

ළඟට එද්දී තමන්ට වඩා වැඩි පිරිසක් බ්‍රිතාන්‍ය හමුදාවේ සිටි බව දැකි ජෝන් පාකර් තම ඥාතීන්ව සටනට බිලි දෙන්නට කැමති වූයේ නැත. යුද්ධයක් නිල වශයෙන් ප්‍රකාශ වී නොතිබි අතර කොන්කෝර්ඩ් ගමේ අවි ගබඩා සඟවා ඇති බව ද හේ දත්තේ ය. මීට කළින් ද මෙවැනි ගවේෂණ වලට බ්‍රිතාන්‍ය රතු කෝට් සොල්දාදුවන් පැමිණ අවි ආයුධ සොයාගත නොහැකිව හිස් අතින් ගිය බවත් හේ දත්තේ ය. ඒ නිසා ඔහු තම හමුදාව පේලි ගැසුවේ සටන් කරන්නට නොව තමන් ද ඉන්නා බව පෙන්වන්නට ය. "වෙනතක යන්න එපා; වෙඩි නොතැබුවොත් වෙඩි තියන්න එපා, ඒත් ඔවුන්ට ඕනෑ යුද්ධයක් නම්, ඒක පටන් ගන්නේ මෙතැන දී," යනුවෙන් ජොන් පාකර් කියන ලද බව අද එහි දකින්නට ඇති ස්මාරකයක කොටා ඇත.

එහි දී බ්‍රිතාන්‍ය හමුදාවේ අයෙක් (මේජර් පිට්කෙයාර්න් යැයි සැලකේ) අසිපත ලෙලවමින් ඉදිරියට එද්දී රැස් වූ සෙනඟට විසිර යන්න යැයි අණ දීමත්, අවි ආයුධ බිම තියන්න යැයි අණ දීමත් සමඟින් කපිතන් ජෝන් පාකර් තමන්ගේ මිලීෂීයාවට විසිර ගෙදර යන්න අණ දුන් බව කියැවේ. එහෙත් රැයක් පුරා අවදියෙන් එනතෙක් බලාගෙන සිටි හතුරාගේ ප්‍රමාණය නොදැක, නොසන්සුන් වූ මිලීෂීයා භටයන් ට ඔහු කියූව ඇසුනේ නැත. ටික දෙනෙක් හෙමිහිට විසිර ගියහ. එහෙත් කිසිවෙක් අවි බිම තැබුවේ නැත. පිට්කෙයර්න් සහ පාකර් දෙදෙනාම තම භටයන්ට වෙඩි නොතබන්න යැයි අණ දුන්නත් කවුදෝ තුවක්කුවක් පත්තු කළේය. එම පළමු උණ්ඩය ආවේ අවට රැස් වී බලා සිටි යටත්විජිත වැසියෙක් ගෙන් යැයි ද, තවත් වාර්තාවකට අනුව එය බ්‍රිතාන්‍ය හමුදාවේ අශ්වාරෝහක භටයෙක් ගෙන් යැයි ද කියැවේ. දෙපැත්තේ ම අය කිව්වේ එය ආවේ අනිත් පැත්තෙන් කියාය.

එහි දී ඇමෙරිකන් යටත්විජිත වැසියන් අට දෙනෙකු මරුමුවට පත් විය. දහ දෙනෙකු තුවාල ලැබූහ. එක් බ්‍රිතාන්‍ය සෙබලෙකු තුවාල ලැබූහ. කර්නල් ස්මිත් සමඟින් ආ බල ඇණියට වෙඩි වැදෙන සද්දය ඇසිණ. එහෙත් එවිට සටන අවසන් වී තිබිණ. යටත්විජිත මිලීෂීයාව විසිර ගියෙන් සටනේ ජයෙන් දිරිගත් බ්‍රිතාන්‍ය බල ඇණි දෙකම එකතු වී කොන්කොර්ඩ් බලා ගියේ නියෝගයේ ඉතිරි කොටස ක්‍රියාත්මක කරනු පිණිස ය.

කොන්කෝර්ඩ් සටන[සංස්කරණය]

ලෙක්සින්ග්ටන් සටනින් පළා ගිය මිලීෂීයාව මහා මාර්ග වල ගමන් නොකර වතු පිටි මැද්දෙන් හා කැලෑව තුලින් ගමන් කර කොන්කෝර්ඩ් වැසියන්ව රතු කෝට් පැමිණෙන්නට පෙර අනතුරු අඟවා සූදානම් කරන්නට සමත් වූහ. ඔවුන් ගමෙන් සියළු ස්ත්‍රීන් හා දරුවන් ව ඉවත් කළහ. ලෙක්සින්ග්ටන් වලින් ආ මිනිත්තු මිනිසුන් කොන්කෝර්ඩ් අය හා එකතුව රතු කෝට් සොල්දාදුවන් පිළිගන්නට සූදානමින් සිටියහ. යටත්විජිත මිලීෂීයාවේ නායකයා වූයේ කර්නල් ජේම්ස් බැරෙට් ය.

බ්‍රිතාන්‍ය හමුදාවේ 800 ක සොල්දාදුවන් කොන්කෝර්ඩ් ගමට පිවිසෙද්දී කර්නල් ස්මිත් හමුදාව දෙකකට වෙන් කළේ හමුදාපති ගේජ් වෙතින් ලැබි අණ ක්‍රියාවට නංවනු පිණිස ය. දහ වැනි රෙජිමේන්තුව දකුණු පාලම ආරක්ෂා කළේ කපිතාන් මුන්ඩි පෝල් යටතේ ය. කපිතාන් පාර්සන්ස් යටතේ සේනා හතක් විය. එහි සොල්දාදුවන් සියයක් පමණ වූහ. ඔවුන් උතුරු පාලම ආරක්ෂා කළහ. උතුරු පාලමෙන් ඔබ්බෙහි වූ අවි ආයුධ සඟවා ඇතැයි ඔත්තුව ලැබුණු බැරෙට්ගේ ගොවිපොළ වෙත කපිතාන් පාර්සන්ස් සේනා හතරක් රැගෙන ගියේය. සේනා දෙකක් මාර්ගය ආරක්ෂාවටත්, තවත් සේනාවක් පාලම ආරක්ෂාවටත් යෙදවිණ. ඒවා වූයේ එතරම් යුද අත්දැකීමක් නොතිබි කපිතාන් වෝල්ටර් ලෝරී යටතේ ය. තමන් වටලා සිටිනා බව දැනගත් කපිතාන් ලෝරී කර්නල් ස්මිත් වෙත පණිවුඩයක් යැව්වේ තව පිරිසක් අවශ්‍ය යැයි කියාය.

කොන්කෝර්ඩ් හි ඒෆ්‍රහයිම් ජෝන්ස්ගේ තැබෑරුමට පිවිසි රතු කෝට් හමුදාවට එහි භූමියේ වළලා තිබූ කාල තුවක්කු සොයා ගත හැකි විය. ඒවා විනාශ කර දමන්නට ඔවුන් සමත් වූහ. තුවක්කු සවිකරන ගැල් වලට ගිනි තබද්දී අහලක වූ රුස්වීම් ස්ථානයක් ද ගිනිබත් විය. සොල්දාදුවන් එහි ගිනි නිවන්නට ද සහාය දුන් බව කියැවේ. යටත්විජිත වැසියන් පිටි බැරල් සියයක් හා ලුණු දමන ලද මස් සමඟින් මස්කට් තුවක්කු සඳහා වූ රාත්තල් පන්සිය පනහක වෙඩි උණ්ඩ ද බ්‍රිතාන්‍ය හමුදාවට සොයාගත නොහැකි වන පරිදි අවට පොකුණකට හලන ලද බව සඳහන් ය. බ්‍රිතාන්‍ය හමුදාවට සොයාගත හැකිවූයේ කාල තුවක්කු පමණි. ඔවුන් ඉතා විනීතව හැසිරී තැබැරූම් වලින් ආහාර පාන ගෙන ඒවායේ බිල්පත් ගෙවූ බව ද කියැවේ.

කර්නල් ජේම්ස් බැරෙට් යටතේ මිනිත්තු මිනිසුන් වෙතින් සෑදුන කණ්ඩායම් පහක් ද, මිලීෂීයාවෙන් හැදි කණ්ඩායම් පහක් ද ඇක්ටන්, කොන්කෝර්ඩ්, බෙඩ්ෆර්ඩ් සහ ලින්කන් නම් ගම්මාන වලින් එකතු වී සිටියහ. යටත්විජිත කැරලිකරුවන්ට හාරසියයක් පමණ පිරිසක් සිටියහ. පාලම ආරක්ෂා කරන කපිතන් ලෝරීට වූයේ 90-95 ක පිරිසකි. කර්නල් බැරෙට් තම මිලීෂීයාවට කියා තිබුනේ තමන් පළමුවෙන් වෙඩි නොතියන්නට කියාය. ඔවුන් පෙරගමන් එද්දී කපිතාන් ලෝරී ඇතුළු පිරිස තමන්ගේ සහායට බ්‍රිතාන්‍ය හමුදාව නොඑන බව දැක පළා යන්නට පටන් ගති. බ්‍රිතාන්‍ය හමුදාවේ එක සොල්දාදුවෙක් පාලමේ ලීයක් ගැලවූයේ යටත්විජිත අයගේ පෙරගමන් වළකාලනු පිණිස ය. එහෙත් තමන්ට දේපල හානියක් නොකරන්න යැයි අණක් ලැබී නිසා මේජර් බට්‍රික් ඔවුනට එය කරන්නට එපා යැයි හඬ ගෑවේය. මෙහි දී අනපේක්ෂිත වැටලීමට ගොදුරු වූයේ ඔවුන් ය.

මෙවර මුල් වෙඩි පහර වැදුනේ බ්‍රිතාන්‍ය හමුදාවේ විඩාවෙන් තැතිගත් සොල්දාදුවෙක් වෙතින් යැයි කිසිත් සැකයක් නැතිව සටහන් කරන්නේ කපිතාන් ලෝරී විසින්ම ය. ඔහුට නවත්වා ගන්නට නොහැකි වූ වෙඩි පහරවල් හුවමාරු විය. ඇක්ටන් වලින් පැමිණි මිනිත්තු මිනිසුන් දෙදෙනෙක් වූ ඇබ්නර් හොස්මර් සහ අයිසැක් ඩේවිස් දෙදෙනා තුවාල ලැබ එසැණින් මරණයට පත්වූහ. මුහුණට මුහුණ ලා සිටි ඔවුන් අතර පරතරය යාර පනහක් (මීටර 46) පමණ වෙද්දී ඔවුන් සටන් වැදෙන්නට පටන් ගත්හ. තමනට වඩා වැඩි පිරිසක් සිටිනා බවත්, තම හමුදා නායකයන් සටන මෙහෙයවන දුර්වල ආකාරයත් දුටු බ්‍රිතාන්‍ය සොල්දාදුවන් කලබල වී තුවාල ලැබුවන් ද දමා පළා ගියහ.

කපිතාන් ලෝරී විසින් තව පිරිස උවමනා යැයි එවන ලද පණිවිඩය ලුතිනන් කර්නල් ස්මිත් වෙත ලැබෙන්නේ ඒ අවස්ථාවේ දී ය. ඔහුට පළාතේ හුවමාරු වූ වෙඩි හඬ ද ඇසුණි. සිය සේනාංක දෙක රැගෙන ඔහු ද උතුරු පාලම වෙත ආවේය. මඟ දෙපස පළා යන සේනාංක ඔවුනට දැක ගන්නට හැකිවිණ. මිනිත්තු මිනිසුන් පෙළ ගැසී සිටිනා බව දැක ලුතිනන් ස්මිත් තම පෙරගමන නැවැත්වීය. තම නිලධාරීන් කිහිප දෙනෙක් සමඟින් තතු විමසන්නට ගිය ඔහු හා නිලධාරීන් සියල්ලන්ටම වෙඩි තබන්නට හැකි දුරක මිලීෂීයාව සිටියහ.

මේ අතරේ දී බැරෙට් ගොවිපළේ අවි ආයුධ හොයන්නට ගිය පිරිස හිස් අතින් ආපසු පැමිණියහ. ඔවුන්ට ද දැකගත හැකිවූයේ පාලම උඩ මියගිය හා තුවාල ලත් තම හමුදාවේ අයයි. උදෑසන 11:30 වෙද්දී ඔවුන් සටන් බිමෙන් පසුබැස ගොස් යටත්විජිත වැසියන් අතර අවි ආයුධ ඇත්දැයි සොයා බලා, දිවා ආහාරය රැගෙන, එක් රුස් වී කොන්කෝර්ඩ් ගමෙන් එදින දහවල් දොළහට පිටත් වී ගියහ. ඔවුන් පිටත් වී යෑමට එසේ කල් ගැනීම නිසා මිලීෂීයාවට අවට ගම්මාන වලට ඔවුන් එන බව දැනුම් දෙන්නට හැකියාව ලැබිණ.

කොන්කෝර්ඩ් සිට ආපසු ලෙක්සින්ග්ටන් යන මාර්ගයේ මිලීෂීයා භටයන් පන්සියයක් කැළෑ තුල පෙළ ගැසී සිටියහ. ලුතිනන් කර්නල් ස්මිත් විසින් ඉදිරියෙන් යවන ලද භටයන් දැක මිලීෂීයාව පළා ගියේ නැත. මඟ දිගට බ්‍රිතාන්‍ය හමුදාවට පහර වැදිණ. ඉදිරියෙන් වූ තවත් ගස්, ගල් හා කැලෑවකින් යුතු පෙදෙසක මිලීෂීයා මිනිසුන් දෙසියයක් පෙල ගැසී සිටියහ. ඉදිරියට යන බ්‍රිතාන්‍ය හමුදාවට ඔවුන් පහර දෙද්දී, පිටුපස්සෙන් ඔවුන් හඹා ආවේ කොන්කෝර්ඩ් මිලීෂීයාවයි. මිලීෂීයා සංඛ්‍යාව එවිට දී දෙදහසක් දක්වා ඉහළ ගොස් තිබිණ.

පසු දා උදෑසන වෙද්දී බොස්ටන් නගරය අවට නොයෙක් පෙදෙස් වලින් පැමිණි පසළොස් දහසක මිලීෂීයා හමුදාවකින් වටලා තිබිණ. ඇමෙරිකන් නිදහස් අරගලයේ යුද්ධ පටන් ගැනිණ.


සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 Coburn, p. xii
  2. සටන සඳහා හරියට ම යුද පිටියේ වූ සංඛ්‍යාව කොපමණ දැයි යන්න විවාදයට තුඩු දුන්නකි. 400 පිටුවේ දී ෆිෂර් දක්වන්නේ සමකාලීන ගණනය කිරීම් සහ අනිත් ඉතිහාසඥයන් විසින් දක්වා ඇති අන්දමට 50 ත් 70 ත් අතර මිලීෂීයාවක් ද, පිටු 183 දක්වන පරිදි සිල්වනුස් වුඩ් දක්වමින්, වසර පනහකට පසු විස්තරයක් ආශ්‍රයෙන්, එතැන වූයේ මිලීෂීයා 38 ක් බව ගණනය කරයි. 60 වැනි පිටුව (කෝබර්න්) සටනට එකතු වූ 77 ක් දෙනෙක් නම් වලින් හඳුන්වති.
  3. Chidsey, 29 පිටුවේ ඇස්තමේන්තුව අනුව උපනිවේෂ හමුදාවේ 500 ක් සටන පැවැත්වෙද්දී සිටියහ. Coburn, 80–81 පිටු ගණනය පැහැදිලිව ම 300 ක් ද, තවත් ගණන් නොකරන ලද බල ඇණි කිහිපයක් ගැන ද කියයි.
  4. Chidsey, p. 6. මේ ස්මිත්ගේ හමුදාවේ මුළු සංඛ්‍යාවයි.
  5. Coburn, 64 පිටුව. මේ හමුදාව පිට්කෙයාර් යටතේ වූ සැහැල්ලු පාබල බල ඇණි හයකින් සමන්විත විය.
  6. Coburn, 77 පිටුව වෙනත් මූලාශ්‍ර පෙන්වන්නේ "බලඇණි තුනක්" තිබි බවයි. Chidsey, 28 පිටුව බල ඇණියක ඉන්නා සංඛ්‍යාව ගැන කියන්නේ "නාමිකව 28 ක්" කියාය.
  7. Coburn, 114 පිටුව පර්සිගේ හමුදාවේ සංඛ්‍යාව දාහක් යැයි කියයි. මේ ගණනින් ඇස්තමේන්තුව සහ පිටත් වී ගිය පිරිසෙන් තුවාල ලත් අය අඩු කර පෙන්නුම් කෙරෙයි.
  8. 8.0 8.1 Chidsey, 47 පිටුව අතුරුදහන් වූවන් හැරෙන්නට සියළු තුවාල ලද අය ගැන කියයි. Coburn, 156–159 පිටු කියන්නේ නගරය අනුව වූ ඇමෙරිකන් ජීවිත අහිමිය ගැන සහ බල ඇණිය අනුව වූ බ්‍රිතාන්‍ය ජීවිත අහිමිය ගැනයි, එහි ගේජ් ගේ වාර්තාවෙන් අතුරුදහන් වූවන් ගැන ද සඳහන් වෙයි. චිඩ්සෙ, කොබර්න් සහ ෆිෂර් යන අය සමහර ඇමෙරිකන් දත්ත ගැන එකඟ නොවෙති. චිඩ්සෙ සහ ෆිෂර් 39 ක් තුවාල ලත් සේ ගණනය කරද්දී කොබර්න් එය 42 ක් සේ දක්වයි. Fischer, 320–321 වැනි පිටුවල අතුරුදහන් ඇමෙරිකානුවන් සඳහන් වෙද්දී චිඩ්සෙ සහ කොබර්න් එම සංඛ්‍යාව 49 ක් යැයි ලියති.
  9. ෆ්‍රෙන්ච්, පිටු. 2, 272-273
  10. මෙයට සය මසකට පෙරදී සිදුවූ පොයින්ට් ප්ලසන්ට් සටන, විප්ලවීය යුද්ධයෙහි පළමු හමුදාමය පොරය බවට විවිදාත්මක අර්ථ නිරූපණයක් පවතියි. 1908 එක්සත් ජනපද සෙනෙට් මණ්ඩල යෝජනාවක් මගින් මෙය එසේ යැයි දැක්වූවද, ඉතා අල්පයක්, ඇත්තෙන්ම එලෙස සිටි නම්, ඉතිහාසඥයෝ එම මතය හා එකඟ වෙති.[1]
  11. http://poetry.eserver.org/paul-revere.html