බී.ආර්. අම්බේඩ්කර්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(අම්බෙඞ්කාර් වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
භීම්රාවෝ රාම්ජී අම්බේඩ්කර්

භීම්රාවෝ රාම්ජී අම්බේඩ්කර් (ඔක්තෝබර් 13, 1935)
උපත භීම්රාවෝ රාම්ජී අම්බේඩ්කර්
1891 -4 -14
මධ්‍ය ප්‍රදේශ්
මියගියේ 1956-12-6
දිල්ලිය
ජාතිකත්වය ඉන්දීය
වෙනත් නම් බාබා, බාබාසාහිබ්, භීමා, මූක්නායක්
ඉගෙනීම ලත් ශාස්ත්‍ර ශාලාව මුම්බායි විශ්වවිද්‍යාලය
කොලම්බියා විශ්වවිද්‍යාලය
ලන්ඩන් විශ්වවිද්‍යාලය
සංවිධානය සමත සෛනික් ඩාල්,
නිදහස් කම්කරු පක්ෂය
ආගම බුද්ධාගම
සම්මාන භාරත රත්න
අත්සන

ජනප්‍රිය ලෙසින් බාබාසහේබ් ලෙසින් හැඳින්වුණු, භිම්රාඕ රාම්ජී අම්බේඩ්කර් ( 14 අප්‍රේල් 1891 – 6 දෙසැම්බර් 1956), යනු ඉන්දියානු නීතිවේදියෙක්, දේශපාලන නායකයෙක්, දර්ශනවේදියෙක්, මානව විද්‍යාඥයෙක්, ඉතිහාසඥයෙක්, කථිකයෙක්, ආර්ථික විද්‍යාඥයෙක්, ගුරුවරයෙක්, සංස්කාරකයෙක්, මහජන ලේඛකයෙක්, විප්ලවවාදියෙක් සහ ඉන්දියාවේ බුද්ධාගම සඳහා පුනර්ජීවනවාදියෙක් වූ තැනැත්තෙකි. ඔහු ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ප්‍රධාන නිර්මාතෘද විය. 2012දී හිස්ට්‍රි ටීවී සහ සීඑන්එන්-අයිබීඑන් විසින් දේශව්‍යාප්තව පැවැති මත විමසුවකදී, මහාත්ම ගාන්ධි තුමන්ට පසුව, උසස්තම ඉන්දියානුවා ලෙසින් ඔහු තෝරා ගන්නා ලදි.[1][2]

දුගී මාහර් ( කුලහීන කුලයේ යැයි සැලකුණු) පවුලකට උපන් අම්බේඩ්කර්, චතුර්වර්ණ ක්‍රමය නම් සමාජ විවසනයට  – වර්ණ සතරකට හින්දු සමාජය වර්ගීකරණය කිරීම – සහ හින්දු කුල ක්‍රමයට විරුද්ධව ව්‍යාපාරයක් ගෙන ගියේය. බුද්ධාගම වැළඳගත් ඔහු වෙත, දලිත් වරුන් හෝ කුලහීන අයවළුන් හෝ දහස් ගණනක් ථේරවාද බුද්ධාගම වැළඳගැනුම සඳහා කරළිය සකස්කිරීම පිළිබඳව ගෞරවයද හිමි වෙයි. 1990දී මරණෝත්තර ලෙසින්, ඉන්දියාවේ උසස්තම සිවිල් ගෞරවය වන භාරත් රත්න සම්මානය, අම්බේඩ්කර් වෙත ප්‍රදානය කෙරිණි. [3]

බොහෝ සමාජ සහ ආර්ථික බාධක අභිබවමින්, ඉන්දියාවෙහි ශාස්ත්‍රාල අධ්‍යාපනය ලැබූ පළමු දලිත්වරුන් (කුලහීනයන්) අතුරින් එක් අයෙකු වීමට අම්බේඩ්කර් සමත් විය.

බාබා සහෙබ් අම්බෙඞ්කාර් ගැන ලාංකීය ජනතාව දන්නේ ඉතාමත් මඳ වශයෙනි. භාරතයේ සමහර කුලවතුන් යැයි කියාගන්නා අය එතුමා ගැන නොසැලකිලිමත් වුවත් මුළු භාරතයම එතුමා ගැන ඉතා හොඳින් දනිති. භාරතයේ ඇති අනුස්මරණ ප්‍රතිමා වලින් 80%ක් පමණම ඇත්තේ අම්බෙඞ්කාර්තුමාගේ ප්‍රතිමාවෝයි. අද ජාත්‍යන්තරව ආදර්ශයට ගත හැකි හොඳම රාජ්‍ය ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ මෙතුමාටය. නීතිය පිළිබඳ නිදහසෙන් පසු ඉන්දීය රජයේ නීතිය පිළිබඳ ප්‍රථම ඇමැතිතුමා වූ මෙතුමා රාජ්‍ය ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ මණ්ඩලයේ සභාපති විය.


ළමා අවධිය[සංස්කරණය]

1891 අප්‍රියෙල් 14 වැනිදා උපන් මෙතුමා මහර් හමුදාවේ සේවය කළ රාම් ජී තුමාගේ 14 වැනි දරුවාය. මේ දරුවා කිසිදිනක භාරත රත්න සම්මානයෙන් පිදුම් ලබාවි යැයි එදා කිසිවෙක් නොසිතූහ. මෙතුමා ඉපදුන සමාජයේ හින්දු ආගම විසින් පනවා තිබුණ අන්තගාමී කුලභේදය නිසා පහත් කුලයේ යැයි සම්මත බොහෝ දෙනා මහත් හිරිහැර වදබන්ධන වලට මුහුණ පෑ අතර බොහෝ මිනිස් අයිතිවාසිකම් ඔවුන්ගෙන් උදුරාගෙන තිබුණි. හින්දු ආගමට අනුව සමාජයේ ප‍්‍රධාන කොටස් හතරකින් යුක්තය. ඒ බ‍්‍රාහ්මණ, ක්ෂත්‍රීය, වෛශ්‍යය හා ශුද්‍ර යනු ඒ සම්මතයයි. සාමාන්‍ය සමාජයක් කුමන හෝ දේශයක ක්‍රයාත්මකවීමට උගතුන් හා අධ්‍යාත්මික නායකයින්, රාජ්‍ය පාලකයින් වෙළඳ ලෝකය හා කම්කරුවන් අවශ්‍යයය. ඈත අතීතයේ සිට අද දක්වාම මේ ක්‍රමය සමාජයේ දක්නට ඇත. භාරතයේ බ්‍රහ්මණ බලය වැඩිවත්ම මනුස්මෘතිය වැනි ග්‍රන්ථ ලිවීමෙන් මේ සාමාන්‍ය ක්‍රමය නිශ්චිත කුල ක්‍රමයක් බවට බමුණන් විසින් පත්කළහ. මේ ක්‍රමයට අයත් ශුද්‍රයන් මේ බෙදීමට අයත් නොව සමාජයේ අන්ත දුගී මෙන්ම සමාජ තිරයෙන් පිටුපස සිට සේවය කළ අප්‍රධාන කුල වූ, නේසාද, පුක්කුස, අයෝගව හා චණ්ඩාල යන නමින් අති විශාල පිරිසක් කිසිදු සමාජ හිමිකමක් නැති පෑගුන පිරිසකි. භාරතයේ සෑම ප‍්‍රාන්තයකම ඇති කසළ ඉවත් කිරීම, වැසිකිළි සුද්ධ කිරීම, මළමිනී ඉවත් කිරීම සිදු කළේ මොවුන් විසිනි. මොවුන්ට නියම වී තිබුණ නීතිය වූයේ සමාජයේ එළිමහනේ ගමන් කරන්නේ නම් කෙළ ගැසීමට භාජනයක් බෙල්ලේ එල්ලාගත යුතු අතර ඔවුන්ගේ පතුල් සලකුණ මැකී යාමට ඉදලක් වැනි උපකරණයක් පසුපසින් ඇදගන යා යුතුව තිබුණි. පසුකලක ඉංග්‍රීසි රජය විසින් මේ සමහර අන්තික ප්‍රතිපත්ති ඉවත් කරන ලදී. ඉංග්‍රීසි රජය යටතේ මොවුන්ගෙන් සමහර අයට හමුදාවට බැඳීමේ අවස්ථාව ලැබුණි.

විශේෂයෙන් ඔවුන්ගේ හැඩිදැඩිභාවය හා විනීත බව ඒ සඳහා හේතුවිය. ඉංග්‍රීසි රජය විසින් මොවුන්ගේ දක්ෂතා අනුවට සැලකීමට උත්සාහ ගත්තත් බ්‍රහ්මණ පරපුර ඒවාට දැඩි ලෙස විරුද්ධ විය. රාම ජී සක්පාල් මහතා පහත් යැයි සම්මත මහර් ජාතියට අයත් වූ අතර ඉංග්‍රීසි රජය විසින් එතුමාට මහර් හමුදාවේ ඉතා සුළු තනතුරක් ලබාදුන්නා. ඒද අධ්‍යාපනය නිසා නොව ශරීර ශක්තිය හා නිර්භීතභාවය නිසයි. හමුදා සොල්දාදුවකු වුවත් එදා සාමාන්‍ය සම්ප‍්‍රදායට අනුව දරුවන් 14 දෙනකුගේ පියා වූ අතර ඔහුගේ බොහෝ දරුවන් ඉතා කුඩා කාලයේදීම මියගියා. අවසාන දරුවා වූ අම්බෙඞ්කාර් කුඩා කාලයේ සිටම යම් යම් දක්ෂතා දැක්වූ නිසා පාසල් යැවීමට අදහස් කොට මුලින්ම ගම් ප්‍රදේශයේ කුඩා පාසලකට යැවීය. එදා අත නොගැසිය යුතු කුලයකට අයිති වූ මේ දරුවාට අධ්‍යාපනය ලැබීමේදී මහත් හිරිහැරවලට මුහුණදීමට සිදුවිය. පාසලේදී පංතියට ඇතුළුවීමට තහනම් වූ අතර අනෙක් ළමයින් පාවහන් ගලවන තැන බිම ඉඳගැනීමට සිදුවිය. අනෙක් දරුවන් වතුර බොන කරාමය ඔහුට පාවිච්චි කිරීමට තහනම් විය. නිතරම අනෙක් ළමයින් ක්‍රීඩාකරන විට ඔහු හුදකලාව බලාසිටියා. එහෙත් පාසලේ කෙතරම් ගැහැට ලැබුණත් අධ්‍යාපන කටයුතුවලදී ඉතාමත් ඉදිරියෙන් සිටීමට මේ දරුවාට අවස්ථාව ලැබුණි.

පාසලෙන් පිටත දී ද නිතරම අතරවරවලට ලක්වූයේ මේ කුලහීන දරුවාගේ දක්ෂතාව ගමේ කුලවතුන් අතරද ක්‍රමයෙන් ප්‍රසිද්ධ වීම නිසායි. වැසිදිනක ගෙයක අගුවක නොතෙමී සිටි අතර එය දුටු ගෙහිමි ස්වාමිදුව ඔහු එතැනින් එලවා ගත්හ. දිනක් තම සහෝදරයාත් සමග කුලී කරත්තයකින් දුම්රිය පලේ සිට ගමන් කරමින් සිටි අවස්ථාවේ මේ රාම ජී සක්පාල්ගේ දරුවන් බව දැන කරත්ත හිමියා ඔවුන් කරත්තයෙන් පෙරලා දැමීය. මනුස්මෘතිය නම් ග්‍රන්ථයේ දැක්වෙන ආකාරයට පහත් කුලයක අයෙක් වේදය හදාරයි නම් දිව ඇද කැපිය යුතුයි. වේදය අසයි නම් කනට ලාකඩ උණුකර වක්කළ යුතුයි. කුඩා කාලයේ ලැබුණ දහසකුත් ඊර්ෂ්‍යාව පදනම් වූ ගැහැට නිසා පසුබට නොවීමට දිරිගැන්වූයේ තම පියාත් එක් කරුණාබරිත එම පාසලේම ගුරුවරයෙකි.

අම්බෙඞ්කාර් නම් එම ගුරුවරයා එතුමාගේ නම පාවිච්චි කිරීමට මේ කුඩා දරුවාට අවසරදීමෙන් මේ භීමරාව් අම්බෙඞ්කාර් විය. මෙතුමා පියාට අවවාද කළේ මේ දරුවා අනාගතයේ ඉතා දක්ෂයකු වන බවත් මොහුට කෙසේ හෝ ඉගැන්විය යුතු බවත්ය.

මේ වනවිට මව මියගොස් සිටි නිසා පියා දරුවාට ඉගැන්වීමේ අභිලාෂයෙන්ම මුල් ගම් ප්‍රදේශය අත්හැර බොම්බායේ පදිංචියට ගොස් දරුවා බොම්බායේ එල්ෆින්ස්ටන් විද්‍යාලයට ඇතුළත් කළා. තමාට කුලයෙන්ම ඉගෙනීමට තහනම් වූ වේදය ඉගෙනීමට කැමැත්ත දැක්වුවත් බමුණු ගුරුවරු මොහුට සංස්කෘත භාෂාව ඉගැන්වීමට ඉඩ නොදුන්නේය. පසුකලෙක ජර්මනියේදී සංස්කෘත ඉගෙන ගෙන බමුණන් ඉදිරියේ සංස්කෘත භාෂාවෙන් කතා කළේය.


ඉගනීමේ දැක්වූ දක්ෂතා[සංස්කරණය]

ඉතා අභියෝගකාරී ලෙස ඉගෙනගත් මේ දරුවා එල්ෆින්ස්ටන්හි එම වර්ෂයේ මැට්‍රිකියුලේෂන් විභාගයෙන් ප්‍රථමයා වීමෙනි. මේ නිසා හරිජනයන් විසින් අති විශාල හරසර දැක්වීමක් සිදුකිරීමට උත්සවයක් සංවිධානය කළා. එම උත්සවයට එදා සමාජ ප‍්‍රතිසංස්කරණවාදියකුවූ කේ.ඒ. කේළුස්කර් මහතා හා එස්.කේ. බෝලේ වැනි සමාජ ප්‍රධානීහුද සහභාගි වූහ. මේ උත්සවයෙන් දැඩි උත්තේජනයක් ලැබූ භීමරාව් අම්බෙඞ්කාර්ට කේළුස්කාර්තුමා විසින් බුද්ධ චරිතය පොතක් පරිත්‍යාග වශයෙන් ලබාදුන්නා. සමාජ සම්මතයේ බොහෝදේට එරෙහි වුවත් කුඩා කාලයේදීම තම සමාජය විසින් ඔහුට බලකළ ආකාරයට විවාහවීමට සිදුවුණා. මෙම විවාහ උත්සවය පැවැත්වූයේ බෝම්බායේ එළවළු මාර්කට් එකේ එදින සෙනඟ පැමිණීමට කලිනි. ශාලාවක් ලබාගැනීමට වියදම දැරීමට ඒ සමාජයට හැකියාවක් නොවුණි.

විවාහ වුවද අධ්‍යාපන කටයුතු කරගෙන යෑම ඔහුගේ එකම උනන්දුව වූ නිසා පියාටත් ඔහුටත් ඒ සඳහා ගෙවා ගැනීමට නොහැකි වූ මුදල ලබාදීමට ඉදිරිපත් වූයේ කේළුස්කාර්තුමාය. එතුමා විසින් බැරෝඩා මහාරාජාගේ සහායෙන් මසකට රුපියල් 25ක ශිෂ්‍යත්වයක් අම්බෙඞ්කාර්ට ලබාදුන් අතර 1921 වර්ෂයේ බී.ඒ. විභාගය ඉහළින් සමත් විය. වැඩිදුර අධ්‍යාපනයට ඇමරිකානු එක්සත් ජනපදයට යාමට ආසා කළ එතුමාට බැරෝඩාවට අවුරුදු 10ක් සේවය කිරීමේ පොරොන්දුව මත මහාරාජා විසින් ඇමරිකානු එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍යත්වයක් ලබාදුන්නා. 1913 වර්ෂයේ ඇමරිකානු එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර බලා ගිය අතර එහි ජනතාව විඳින නිදහසත් සමානාත්මතාවයත් දැක භාරතය ගැන තව තවත් කළකිරුණ මෙතුමා තම වර්ගයාගේ විමුක්තිදායකයකු වීමේ අදිටනින්ම පැය 18ක් අධික ලෙස වෙහෙස වී 1916 වර්ෂයේදී එම්.ඒ. උපාධියද 1919 වර්ෂයේ ආචාර්ය උපාධියද ලබාගත්තේය.

බැරෝඩා මහාරාජා ආපසු කැඳවූ අතර බැරෝඩාවේ සේවය සඳහා නැවතීමට තැනක් නොවුණි. ඔහුගේ උගත්කම නිසාම ඊර්ෂ්‍යා කළ බමුණෝ එතුමාව මහත් ගැහැටට පත් කළේය. සේවය කළ කාර්යාලයේ කුලවාදී සුළු සේවකයන්ගෙන් පවා සමච්චලයට ලක්වුණි. එකල එවැනි තනතුරක අඩුකුලයේ අයෙක් භාරතය තුළ නොවූ අතර කුලවාදී බමුණන්ගේ ඊර්ෂ්‍යාව එන්න එන්නම වැඩිවුණේය. පසුව බරෝදාවෙන් අස් වූ අම්බෙඞ්කාර්තුමා තමාගේම ආර්ථික උපදේශ කාර්යාලයක් ආරම්භ කළත් එයද අසාර්ථක වූයේ කුලවතුන් අඩුගානට වුවත් ඔහුගෙන් සේවය ලබාගැනීමට අකමැති වූ නිසයි. පසුව බොම්බායේ විද්‍යාලයක කථිකාචාර්ය තනතුරක් ලැබ ගියද විවිධ බාධක ආවත් ඉගැන්වීමේ හැකියාව හා දක්ෂතාව ඒවා මැඩපැවැත්විය. පසුව ලන්ඩනයේ ඉගෙනීම සඳහා ශිෂ්‍යත්වයක් ලැබුණ අතර එහිදී නීතිය ඉතා උසස් අයුරින් හදාරා බැරිස්ටර්වරයෙකු ලෙස සිය රට පැමිණ නීතියේත් ආර්ථික විද්‍යාවේත් උසස් විද්වතකු ලෙස ප්‍රසිද්ධියට පත්විය.


කුලවාදයට එරෙහි සටන[සංස්කරණය]

මේ වනවිට වේදය, උපනිශද්, බුදු දහම හා අනෙකුත් ආගම්ද හදාරා තුලනාත්මක දැනුමක් තිබුන අතර බුදු දහමේ සමාජ සංශෝධනයට අවශ්‍ය මූලධර්ම දැඩි විමසුමට ලක් කළේය.

ප්‍රථමයෙන් හින්දු කුලවාදයෙන් පීඩාවට පත්වූ තම ජනතාව නගාසිටුවීමට පාසල් පුස්තකාල හා නේවාසිකාගාර පිහිටුවීමට සංගමයක් ආරම්භ කළේය. රජයේ පොදු අරමුදල් වලින් පිහිටුවන ආයතනවලට තම ජනතාවට ඇතුළුවීමට ඉඩ ලබාගත හැකි පනතක් රජය මගින් සම්මත කර ගත්තේ එතුමාගේ දැඩි උද්යෝගය නිසයි.

1927 දී අහිංසක ජනතාවට ඇති සමාජ හිරිහැර ගැන ප්‍රසිද්ධ දේශනයක් පැවැත්වූ එතුමා නගර සභාව විසින් හරිජනයන්ට තහනම් කර තිබූ ජලාශයකින් ජලය බීමට එම රැස්වීමේ ජනතාවත් සමග පැමිණුනා. හින්දු කුලවාදීන් මෙයින් මහත් කලබලයට පත්වූ අතර එම ජලාශයේ ජලය පවිත්‍ර කිරීමට මහා යාගයක් ද පැවැත්වූවා. දෙවියන් සාමාන්‍ය ජනතාවටත් අයිති බව කියා කෝවිල්වලට ඇතුළුවීමට ගිය අතර සමහර අවස්ථාවල මහා අරගල ඇතිවුණා. සාමාන්‍යවූත්, හරිජනවූත්, අවර්ණවූත්, අජූත වූ මේ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තු ආසනයක් ලබාගැනීමට දැඩි වෙහෙසක් ගත් අතර ඉංග්‍රිසි ආණ්ඩුව කැමැත්තද ප‍්‍රකාශ කළා. මුස්ලිම්වරුන්ට පාකිස්තානය වෙන්කර දීමටත්, බංග්ලාදේශය දීමට කැමති වූ මහත්මා ගාන්ධි හරිජනයන් වෙනුවෙන් අම්බෙඞ්කාර්තුමා ගෙන ගිය සටනට සම්පූර්ණයෙන්ම විරුද්ධ විය. ඉංග්‍රිසින් රටින් පලවා හැරීම සඳහා සත්‍යග්‍රහ ආරම්භ කළ මහත්මා ගාන්ධිතුමා හරිජනයන්ට නිදහස ලැබෙන කිසිදු පනතකට කැමැත්ත නොදැක්වීය.

අම්බෙඞ්කාර්තුමා කළ සටනට අනුව හරිජන ගිවිසුම ඉංග්‍රිසි රජයෙන් ලබාදීමට තීරණ ගත් අවස්ථාවේ එම පනත අස්කරගන්නා තෙක් පූනා නගරයේ ගාන්ධිතුමා විසින් ආරම්භ කළ උපවාසය අත් නොහළේය.

දේශපාලන ජීවිතය[සංස්කරණය]

කම්කරුවන් වෙනුවෙන් මහා සටනක් ගෙන ගිය අම්බෙඞ්කාර්තුමාව 1946 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කමිටුවේ සභාපති පදවියට නේරුතුමාගේත් ඉංග්‍රිසීන්ගේත් කැමැත්ත ඇතිව පත්කරන ලදී. විශේෂයෙන් අද ඉන්දියාවේ හරිජනයන් කිසියම් ආකාරයක නිදහසක් භුක්ති විඳී නම් ඒ මේ ව්‍යවස්ථාවේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ අම්බෙඞ්කාර්තුමා ඇතුළත් කළ ව්‍යවස්ථාවන් නිසාය. අද මේ ව්‍යවස්ථාවට විරුද්ධව කුලවාදි හින්දූන් සටනක් ගෙන යන බව පෙනේ. මේ වනවිට පහත් කුලයේ යැයි සම්මත අය ඉතා ඉහළ තත්ත්වයන්ට පත්වී ඇත. පසුගිය කාලයේ ජනාධිපති ධුරයට පත්වූ කේ.ආර්. නාරායන්ද අඩු කුලයේ අයෙකි. ඉන්දීය රාජ්‍ය ලාංඡුනය සඳහා සාරානාථයේ සිංහ හිසත්, ජාතික ධජයට ධර්ම චක්‍රයත් යෙදීමට හැකියාව ලැබුණේද මෙතුමාගේ උත්සාහයෙනි. මේ සංකේත පැහැදිලිවම බෞද්ධ බව දැනගත් වජ්පායි රජය මේවා ඉවත් කිරීමේ උත්සාහයක යෙදුණි. 1956 ඔක්තෝබර් 14 වැනිදා එතුමා වටා සිටි ලක්ෂ ගණනාවක් ජනතාවත් සමග නාග්පූර් නගරයේදී බුදුදහම වැළඳ ගනිමින් මෙසේ ප්‍රකාශ කළේය.

භාරතය ලොව තුළ ශ්‍රේෂ්ඨත්වයට පත් කළ ශ්‍රේෂ්ඨයාණන්ගේ ධර්මය නැවත භාරතයට ගෙන ඒමට අවස්ථාව ලැබීම භාග්‍යයක් වන අතර මා හින්දුවෙක් ලෙස ඉපදුනත් හින්දුවෙක් ලෙස මිය නොයමි

ජවහර්ලාල් නේරුතුමා මෙතුමා ගැන ප්‍රකාශ කරමින්

ඊනියා අජූතයින් අම්බෙඞ්කාර්තුමාට තමන්ගේ විමුක්තිදායකයා ලෙස සැලකූ අතර ඊශ්‍රායලයේ මෝසෙස් මෙන් මේ ජනතාව වහල්බවින් මුදවා ගැනීමට උත්සාහ ගත්තා.

වරක් මහත්මා ගාන්ධිතුමා එතුමා ගැන කීවේ මෙසේය.

වර්තමාන ඉන්දියාවේ නවීන ”මනු” ලෙස සැලකිය හැකි ආචාර්ය අම්බෙඞ්කාර් අපට අලූත් ව්‍යවස්ථාවක් නිර්මාණය කළේය. අම්බෙඞ්කාර්ගේ ජීවිතය අපට පාඩමක් වන්නේ අපේ සමාජයේ තිබුණ බොහෝ දුර්ගුණ දුරු කිරීමට ඔහු මහන්සි ගත් නිසයි.

බුදු දහම වැළඳ ගැනීමෙන් පසු වසරින් වසර සංඛ්‍යාත්මක වශයෙන් බෞද්ධ පිරිස වර්ධනය වූ අතර මේ වසරේ ඔක්තෝබර් 14 අති විශාල ප්‍රමාණයක් බුදුදහම වැළඳගත්හ. විශේෂයෙන් බුදුදහම එතරම් ප්‍රකට නැති පංජාබයේ අති විශාල බෞද්ධ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට මහා බ්‍රිතාන්‍යයේ අම්බෙඞ්කාර් අනුස්මරණ කමිටුව සූදානමින් සිටී.

මහා බ්‍රිතාන්‍යයේ අම්බෙඞ්කාර් අනුස්මරණ කමිටුව වෙනුවෙන් මේ ලිපිය සකස් කළේ,

වැඩිදුරට කියවීම සඳහා[සංස්කරණය]

  • Mahar, Buddhist. Religious Conversion and Socio-Political Emancipation by Johannes Beltz, 2005, New Delhi, Manohar.
  • Reconstructing the World: B.R. Ambedkar and Buddhism in India edited by Johannes Beltz and S. JondhaleNew Delhi: OUP.
  • Dr. Ambedkar and Untouchability: Analyzing and Fighting Caste by Christophe Jaffrelot (2005) ISBN 0-231-13602-1
  • Ambedkar and Buddhism by Urgyen Sangharakshita ISBN 0-904766-28-4
  • Ambedkar: Towards an Enlightened India by Gail Omvedt ISBN 0-670-04991-3
  • Life of Babasaheb Ambedkar by C. Gautam, Published by Ambedkar Memorial Trust, London, Milan House, 8 Kingsland Road, London E2 8DA Second Edition, May 2000
  • Thus Spoke Ambedkar Vol-I* (Selected Speeches of Dr. B.R. Ambedkar) Compiled and edited by Bhagwan Das, published by Dalit Today Parkashan,18/455,Indira Nagar, Lucknow (U.P.)India-226016
  • Revival of Buddhism in India and Role of Dr. BabaSaheb B.R. Ambedkar by Bhagwan Das, published by Dalit Today Prakashan,18/455,Indira Nagar, Lucknow (U.P.)India-226016
  • Dr. Ambedkar: A Critical Study by W.N. Kuber, published by People's Publishing House, New Delhi, India.
  • Dr. Ambedkar: Life and Mission by Dhananjay Keer published by Popular Prakashan, Bombay, India.
  • Economic Philosophy of Dr. B.R. Ambedkar by M.L. Kasare published by B.I. Publications Pvt. Ltd.,New Delhi, India.
  • The Legacy Of Dr. Ambedkar by D.C. Ahir published by B.R.Publishing Corporation, Delhi-110007,India. (ISBN 81-7018-603-X Code No. L00522)
  • Ajnat, Surendra: Ambedkar on Islam. Buddhist Publ., Jalandhar 1986.
  • Fernando, W. J. Basil: Demoralisation and Hope: Creating the Social Foundation for Sustaining Democracy -- A comparative study of N. F. S. Grundtvig (1783 -1872) Denmark and B. R. Ambedkar (1881-1956) India. AHRC Publication., Hong Kong 2000. (ISBN 962-8314-08-4)

සටහන් සහ ආශ්‍රිත[සංස්කරණය]

  1. අයිබීඑන් (15). "ද ග්‍රේටස්ට් ඉන්ඩියන් ආෆ්ටර් ඉන්ඩිපෙන්ඩන්ස්: බීආර් අම්බේඩ්කර්" (ඉංග්‍රීසි බසින්). අයිබීඑන්ලයිව්. http://ibnlive.in.com/videos/282480/the-greatest-indian-after-independence-br-ambedkar.html. 
  2. හිස්ට්‍රිඉන්ඩියා. "ද ග්‍රේටස්ට් ඉන්ඩියන්" (ඉංග්‍රීසි බසින්). හිස්ට්‍රිඉන්ඩියා. http://www.historyindia.com/TGI/. 
  3. "ලිස්ට් ඔෆ් රෙසිපියන්ස්ට්ස් ඔෆ් භාරත් රත්න" (PDF). ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඉන්දියානු රජය. http://www.mha.nic.in/pdfs/Recipients-BR.pdf. සම්ප්‍රවේශය කෙරුණු දිනය 1 අප්‍රේල් 2013. 
"http://si.wikipedia.org/w/index.php?title=බී.ආර්._අම්බේඩ්කර්&oldid=289607" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි