Pomaranian

විකිපීඩියා වෙතින්

ඉතිහාසය:

වර්තමානයේ පෝලන්තය හා ජර්මනිය අතර ප්‍රදේශයක් අතීතයේදී පොමරේනියාව නමින්. මේ ප්‍රදේශය තමයි මොවුන්ගේ මුල් නිජබිම වුණේ. මොවුන්ට "පොමරේනියන්" යන නම ලැබුනේ මේ නිසයි. අපේ රටේ බොහෝ දෙනා මොවුන්ව "පොමනේරියන්", "කොමනේරියන්" වැනි වැරදි නම් වලින් හඳුන්වනවා. නමුත් නිවැරදි නම පොමරේනියන් (Pomeranian) බව මතක තබාගන්න. මුල්ම යුගයේදී නම් මොවුන් ප්‍රමාණයෙන් ගොඩක් විශාල ව සිටි බව වාර්තා වෙනවා. එනම් කිලෝ 15ක් පමණ බර පොමරේනියන් සුනඛයින් අතීතයේදී දකින්න ලැබී තිබෙනවා. නමුත් අද වන දකින්න ලැබෙන්නේ ප්‍රමාණයෙන් බෙහෙවින් කුඩා අය පමණයි. මොවුන් වැඩි වශයෙන් සුරතලුන් ලෙස පමණක් ම ඇතිකරනු ලබනවා. කලාතුරකින් සර්කස් කටයුතු වලටත් පුහුණු කරවන අවස්ථා දැකගන්න පුළුවන්. ශරීර ප්‍රමාණය:

ඉතාම කුඩා හුරුබුහුටි සුනඛ වර්ගයක්. උරහිස තෙක් උස අඟල් 6-12 පමණ වන අතර බර 1.5kg - 3.5kg පමණ වෙනවා. මොවුන්ගේ ගැහැණු හා පිරිමි සතුන් අතර ප්‍රමාණයෙන් කැපීපෙනෙන වෙනසක් නැහැ. වර්ණ හා දේහ ලක්ෂණ:

තනි කළු පැහැය, තනි සුදු පැහැය, ක්‍රීම් පැහැය සහ තැඹිලි පාටට හුරු දුඹුරු පැහැය යන ප්‍රධාන වර්ණ 4න් මොවුන් දැකගන්න ලැබෙනවා. මීට අමතරව නිලට හුරු අළු පැහැය, ලා අළු පැහැය, තද දුඹුරු, දුඹුරු හා සුදු, කළු හා දුඹුරු වැනි වර්ණ සංකලන රැසකින් මොවුන් දැකගන්න පුළුවන්. සෘජුව ඉහලට පිහිටි කන් දෙකක් සහිත වන අතර ලොම් වලින් පිරුණු වලිගය ඉහලට නැවී පිහිටන පරිදි තිබෙනවා. ඒ වගේම මුළු ශරීරයම සිනිඳු, දිගු ලොම් වලින් ආවරණය වී තිබෙනවා. මේ නිසා මොවුන්ට බොහොම අලංකාර පෙනුමක් ලැබෙනවා. මේ ලොම් ගැටගැසීම වැලක්වීමට නිතර පනාවකින් පීරීම ඉතාම වැදගත්. ඒ වගේම වසරකට දෙවතාවක් පමණ සුළුවශයෙන් ලොම් හැලීම දකින්න පුළුවන්. පමණට වඩා ලොම් වැඩියෙන් වැවුනොත් කතුරකින් ලොම් කපා තරමක් කොට කිරීම ද සිදු කරන්න වගබලාගත යුතුයි.

ගතිලක්ෂණ:

පවුලට බෙහෙවින් ලැදි දඟකාර කුඩා දරුවෙකුගේ හැසිරීම් පෙන්වන අපූරු සුරතල් සුනඛ වර්ගයක්. ස්වාමියා ඇතුළු පවුලේ අයගේ අවධානය බෙහෙවින් බලාපොරොත්තු වෙන මොවුන් තමන්ව නොසලකා හරින්නේ යයි හැඟුනොත් බෙහෙවින් දුක් වන බවත්, ආහාර පවා ප්‍රතික්ෂේප කරන බවත් දකින්න ලැබෙනවා. ඒ නිසා මොවුන්ට හොඳින් ආදරය ලබා දීම වැදගත්. මේ නිසා පුංචි ළදරුවන් සිටින නිවසකට නම් මොවුන් එතරම් සුදුසු නැහැ. නමුත් සෙල්ලම් කරන වයසේ ළමුන් සිටින නිවසකට නම් සුදුසු බව කියන්න පුළුවන්. ප්‍රමාණයෙන් කෙතරම් කුඩා වුනත් සමහර අවස්ථා වල තමන්ගේ තරම නොදැන වැඩ කිරීමේ මුරණ්ඩු ගති ලක්ෂණ පෙන්නුම් කරනවා. මේ නිසා මොවුන් තමන්ට වඩා විශාල සුනඛයන්ට පහරදීමට ගොස් අනතුරු සිදුකරගැනීමටත් ඉඩ තිබෙනවා. එබැවින් ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්. නමුත් නිවසේ ඇතිකරන වෙනත් සුනඛ වර්ග සමඟ සමගියෙන් සිටීමට සාමාන්‍යයෙන් මොවුන් සමත් වෙනවා. අමුත්තන් එතරම් ප්‍රිය නොකරන මොවුන් අමුත්තෙක් නිවසට පැමිණෙන විට මහ හඬින් බුරමින් ඉදිරියට යනු දකින්න ලැබෙනවා. ඒ වගේම මොවුන් පුංචි උනත් අමුත්තන් සපා කෑමටත් පෙළඹෙන අවස්ථා දකින්න පුළුවන්. කුඩා කාලයේ සිටම මොවුන්ව හොඳින් කීකරු කරගැනීම සහ හොඳ පුරුදු කියා දීම වැදගත්. නැතිනම් අකීකරු වීමටත් ඉඩ තිබෙනවා. නමුත් හොඳ බුද්ධිමත් සුනඛ වර්ගයක් නිසා හොඳින් පුහුණු කලොත් පවුලේ නීති රීති තේරුම්ගෙන හොඳින් ජීවත් වීමට මොවුන් සමත් වෙනවා. පොමරේනියන් කියන්නේ බොහොම කඩිසර සුනඛ වර්ගයක්. ඒත් ප්‍රමාණයෙන් කුඩා නිසා මොවුන් ඇති කිරීමට විශාල ඉඩකඩක් අවශ්‍ය නෑ. නමුත් දිනපතාම සෙල්ලම් කිරීමට අවස්තාව ලබා දීම වැදගත්. එසේම විවිධ සෙල්ලම්බඩු ලබා දුන්නොත් තනිවම ඒවා සමඟ සෙල්ලම් කිරීමටත් මොවුන් කැමතියි. කූඩුවක දමා වෙන් කර තබනවාට වඩා මොවුන් කැමති පවුලේ අය සමඟ නිවස තුලට වී ජීවත් වීමටයි.


සෞඛ්‍යය:

අවුරුදු 12-15 පමණ ඉතාම හොඳ ආයුකාලයකට හිමිකම් කියන සුනඛ වර්ගයක් බව වාර්තා වෙනවා. සාපේක්ෂව ලෙඩ රෝග අඩුයි. නමුත් සුනඛ වර්ග අතරින් මොවුන්ට දත් දිරා යාමේ අවදානම තරමක් වැඩි බව වාර්තා වල සඳහන් වෙනවා. මේ නිසා නිතර පරීක්ෂා කර බලා අවශ්‍ය නම් පශුවෛද්‍යවරයෙකු ගේ උපදෙස් ගැනීම වැදගත්. මීට අමතරව ඝන ලොම් තට්ටුව නිසා මොවුන්ට සමේ රෝග ඇති විය හැකි බැවින් නිතර ලොම් පීරීම හා පිරිසිදුව තැබීම වැදගත්. සාමාන්‍යයෙන් මොවුන් වරකට බිහි කරන්නේ පැටවුන් 1-3 අතර වැනි සුළු ප්‍රමාණයක්. ඒ වගේම මොවුන් ප්‍රමාණයෙන් කුඩා නිසා සමහර විට පැටවුන් බිහි කිරීම පශුවෛද්‍ය වරයෙකු ගේ සහය ඇතිව සිසේරියන් සැත්කමක් මගින් කිරීමට සිදු වෙන අවස්ථා තිබෙනවා. මේ නිසා මොවුන් පැටවුන් බිහි කිරීමට සුදානම් වුනොත් අනිවාර්යයෙන්ම පශුවෛද්‍ය වරයෙකු ලවා පරීක්ෂා කරවාගෙන උපදෙස් ලබාගැනීම සුදුසුයි.

"https://si.wikipedia.org/w/index.php?title=Pomaranian&oldid=362383" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි