Dendrelaphis caudolineatus

විකිපීඩියා වෙතින්
හඳුනා ගැනීම[සංස්කරණය]

දේහය

පැහැදිලි ගෙලක් සහිත, සිහින්, දිගැටි, සිලින්ඩරාකාර, දේහය. දිගටි පෙයාර්ස් ගෙඩියක හැඩති (pear-shaped), පැහැදිලිව පෘෂ්ඨෝදරියව පැතලි වූ හිස. තරමක් දිගු, පැතලි, කෙළවර පළල්ව වටකුරු වූ හොම්බ. වෘත්තාකාර කණිනිකාවක් සහිත විශාල ඇස්. වෘත්තාකාර පාර්ශ්විකව පිහිටි නාස් විවර. මුළු දිගෙන් 1/3ක් පමණ වූ දිගු, ග්‍රාහක වලිගය.

කොරල

මධ්‍ය දේහයේ හරස් කොරල පේලි 13. දේහයේ අපර භාගයේදී දේහ කොරල පේලි 9 දක්වා අඩුවේ. උදරීය කොරල 148-175 (අටනියක් (notch) සහිත තියුණු පාර්ශ්වික දාරයක් (lateral ridge) සහිතය. බෙදුනු ගුද කොරලය. පෞච්ඡ උදරීය කොරල 108-129 (බෙදී ඇත, තියුණු පාර්ශ්වික දාරයක් සහිතය). ලලාට කොරලය දිගින්, පාර්ශ්ව කොරල වලට වඩා කෙටිය, නමුත් අධ්‍යක්ෂිත කොරල වලට සමානය. නාස් කොරලය බෙදී ඇත. අන්තර් නාස් කොරල 2. පූර්ව අක්ෂි ඵලක කොරල 1. අපර අක්ෂි ඵලක කොරල 2. ලොරියල් කොරල 1. ශංඛක කොරල 1–2. අධ්‍යධර කොරල 8-9 (4 සහ 5 හෝ 5 සහ 6 ඇස හා ස්පර්ශ වේ).

වර්ණය

පෘෂ්ඨීයව ඔලිව් මිශ්‍ර තඹ හෝ තැඹිලි මිශ්‍ර තඹ පැහැති දේහය. ශරීරයේ පූර්ව කොටසේ පාර්ශ්විකව කෙළවර වන, කළු පැහැ ඇල හරස් ඉරි පිහිටයි. ඇස හරහා දිවෙන තද පැහැති සිහින් පටියකි. එම පටියට ඉහළ ප්‍රදේශය තඹ මිශ්‍ර දුඹුරු පැහැතිය. ඊට පහළින් පිහිටි තොල් හා නිකට ප්‍රදේශය කහ/සුදු පැහැතිය. ඉහළ තොලේ ඉදිරිපස කොරල තද පැහැ කොරල මූල (scale bases) සහිතය. උදරීයව ලා පැහැතිය. පෞච්ඡ උදරීය කොරලවල සහ අවසන් උදරීය කොරල කිහිපයේ, වලිගය දිග අතට දිවෙන කළු පැහැ රේඛාවක් පිහිටයි.

දිග

වැඩුණු සතුන් මි.මී. 650-950.

හැසිරීම

දිවාචරය. ප්‍රධාන වශයෙන් වෘක්ෂීය වුවද භෞමීයවද හමුවේ. තම තියුණු නෞතල සහිත උදරීය කොරල යොදාගෙන ඉතා හොඳින් ගස් නැගිය හැක. ක්‍රියාශීලි නමුත් එතරම් කලබල නොවන විශේෂයකි. කලබල වූ විට ශරීරයේ පූර්ව කොටස පාර්ශ්විකව පැතලි කරයි. වරකට ඉතා දිගටි බිත්තර 3-6ක් දමයි.

ආහාර

ප්‍රධාන වශයෙන් කටුස්සන්, හූනන් හා ගස් ගෙම්බන්.

විෂ

නිර්විෂැතිය. නමුත් තුවාල වන සේ සපා කෑ හැක.

ව්‍යාප්තිය

තෙත් සහ අතරමැදි කලාපයේ පහතරට සහ මැදරට ප්‍රදේශවල හමුවේ. (කන්නෙලිය, නකල්ස්, මාතලේ, සිංහරාජ, ශ්‍රී පාද අඩවිය, ගිනිගත්හේන, බලංගොඩ, යටියන්තොට, උඩුගම, ඌරාගල, කොත්මලේ, කුකුළේගල, දැරණියගල, දෙනියාය, ඉංගිරිය, රත්නපුර)

මිට අමතරව කන්නෙලිය ප්‍රදේශයෙහ්ස දැක ගත හැක

"https://si.wikipedia.org/w/index.php?title=Dendrelaphis_caudolineatus&oldid=495623" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි