‍‍මැන්චෙස්ටර් හි මමිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Black and white drawing of a large three-storey building fronted by a four-column portico. A man on a light-coloured horse is riding down the wide empty street in front of the building.
The Museum of the Manchester Natural History Society c. 1850, in which Hannah Beswick's mummified body was displayed

‍‍හැනා බෙස්වික් (1688 - පෙබරවාරි 1758) එංගලන්තයේ, බ්‍රිචින් බවර්, හොලින්වූඩ්, ඕල්ඩ්හැම් Hollinwood, Oldham හි පදිංචිව සිටි ධනවත් කාන්තාවකි. ඇය යම් දිනක තමා අකල්හි භූමිදානයකට premature burial ලක්වෙතැයි නිරන්තර අනියත බියකින් පෙලෙන්නියක වුවාය.එය එක්තරා අන්දමක මානසික ව්‍යාධියක ස්වභාවය ගත් බියක් විය. 1758 දී ඇය මිය ගිය විට, කල් තබා ගැනීමට සකසන ලද embalmed ඇගේ මෘත ශරීරය මිහිදන් නොකර තබා ගන්නා ලද අතර විටින් විට ජීවය පිළිබඳ සලකුණු ඇත්දැයි පරීක්ෂාවට ද ලක්කරන ලදී.

හැනාගේ මෘත ශරීරය කල් තබා ගන්නට භාවිතා කරන ලද ක්‍රම වේදය පිළිබඳ කිසිදු තැනක සටහන් කොට නොතිබිණ. බොහෝ විට එය මෘත ශරීරයේ වූ රුධිරය ඉවත්කොට ඒ වෙනුවට ටර්පන්ටයින් turpentine සහ සාදිලිංගම් vermilion එන්නත් කිරීමෙන් සිදුකරන ලද බවට විශ්වාස කෙරේ. ඉන්පසුව ඇගේ දේහය පැරණි ඔරලෝසු ආවරණයක බහා බෙස්වික් පවුලේවෛද්‍යවරයා වූ වෛද්‍ය චාර්ල්ස් වයිට් Dr Charles White මහතාගේ නිවසේ තැන්පත් කර තබන ලදී. පැහැදිලිවම බෙස්වික්ගේ මේ විකාර හැසිරීම ඇය සිය ප්‍රදේශය තුල ඉතා ප්‍රසිද්ධියට පත් කාන්තාවක් බවට පත් කිරීමට සමත්විය. එපමණක් නොව අමුත්තන්ට ඇගේ මෘත ශරීරය දැක ගැනීමේ පහසුකම ද වෛද්‍ය වයිට්ගේ නිවසේ දී ලබා දී තිබිණ.

අවසානයේ බෙස්වික් මහත්මියගේ මමිකරණය කරන ලද මෘත ශරීරය ස්වාභාවික ඉතිහාසය පිළිබද මැන්චෙස්ටර් සංගමයට අයත් කෞතුකාගාරය Museum of the Manchester Natural History Society වෙත භාරදිමට කටයුතු කරන ලදී.බෙස්වික් මහත්මියගේ සිරුර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබන ලද අතර කෙටිකලකින්ම එය වෙත මැන්චෙස්ටර් හි මමිය යන සුරතල් නාමය පටබැදින. මීට අමතරව බ්‍රිචින් බවර් හි මමිය යන නාමයෙන්ද එය අමතන ලදී. පසුකලක ස්වාභාවික ඉතිහාසය පිළිබඳ මැන්චෙස්ටර් සංගමයට අයත් කෞතුකාගාරය සතු කෞතුක භාණ්ඩ එකතුව මුලුමනින්ම මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයට Manchester University භාරදෙන ලදී. ඉන්ඉක්බිති මැන්චෙස්ටර් හි බිෂොප්වරයාගේ Bishop of Manchester අවසරයද ඇතිව බෙස්වික් මහත්මියගේ මෘත ශරීරය මිහිදන් කරන්නට යෙදුනි. 1868 ජුලි 22 වැනි දින ඇගේ අවමංගල උත්සවය හාපර්හේ Harpurhey සුසානභූමියේ දී පවත්වන ලද අතර ඒ වන විට ඇය අභාවයට පත්වී වසර 110 ක් පමණ ඉක්ම ගොස් තිබිණ. ඇයගේසොහොන සළකුණු කිරීමට කිසිදු සිහිවටනයක් හෝ ඉදිනොකරන ලදී.

පසුබිම

A wooden coffin in a stone vault being opened by a shrouded figure inside.
Antoine Wiertz's L'Inhumation précipitée (The Premature Burial), 1854

18 වැනි සියවස මැද භාගයේදී අත්වැරදීමකින් තමන් පණ පිටින් මිහිදන් කරාවියැයි යන හැගීමක් මහජනයා තුල ඇතිවිය. එමෙන්ම මරණය නිශ්චය කර ගැනීමට එවකට භාවිතා කරන ලද සලකුණුවල අවිනිශ්චිත භාවය පිළිබඳව ද සමාජයේ විවිධ තර්ක විතර්ක පැවතුණි. මිහිදන් කිරීමට මත්තෙන් ජීවය ඇත්දැයි නිශ්චය කර ගැනීම සඳහා කල යුතු පරීක්ෂාවන් පිළිබඳ විවිධ යෝජනා ද ඉදිරිපත් විය.මෘත ශරීරයේ මුඛයට විනාකිරි සහ ගම්මිරිස් වත්කිරීමේ සිට පාදවලට සහ අධෝමාර්ගයට rectum ගිනියම් වු උදුන් කූර ඇල්ලීම දක්වා වු පරාසයක් මේ ක්‍රම අතර විය. 1895 දී ලිපියක් පල කල වෛද්‍ය ජේ. සී. ඔසලේ සෑම වසරකම එංගලන්තයේ සහ වෙල්ස් හී 2700 ක් පමණ දෙනා සැබෑ ලෙසම මියයන්ට පෙර වැරදීම් නිසා මිහිදන් කෙරෙන බව ප්‍රකාශ කර සිටියේය. නමුත් අනෙක් බොහෝ දෙනා ප්‍රකාශ කර සිටියේ එම ගණන 800 කට ආසන්න වන බවයි‍.

හැනා බෙස්වික් උපත ලද්දේ 1688 වසරේ දීය. ඇය සිය පිය උරුමයෙන් සැලකියයුතු ධනස්කන්ධයකට උරුමකම් කීවාය. ඇගේ පියා ෆෙල්ස්වර්ත් Failsworth හි ජෝන් බෙස්වික් නම් විය. ඇයගේ මරණයට වසර කිහිපයකට පෙර ඇයගේ එක් සහෝදරයෙකු වූ ජෝන් නමැත්තා මිය ගිය අතර ඔහුගේ සිරුර බහාලන ලද මිනී පෙට්ටියේ පියන වැසීමට මොහොතකට පෙර ඔහු වෙතින් ජීවය පිළිබද සලකුණු දක්නට ලැබිණ. ජෝන්ගේ දේහය අසල වැලපෙමින් සිටි අයෙක් ඔහුගේ ඇසිපිය සැලෙන ආකාරය දැක තිබුණි. එවකට බෙස්වික් පවුලේවෛද්‍යවරයා වූ වෛද්‍ය චාර්ල්ස් වයිට් Dr Charles White විසින් ජෝන් පරීක්ෂා කරන ලදුව ඔහු තවමත් ජීවත්වන, මිය නොගිය පුද්ගලයෙකු ලෙසට හදුනා ගන්නා ලද අතර දින කිහිපයකට පසුව ප්‍රකෘති සිහිය ලැබූ හෙතෙම ඉන් පසු වසර ගණනාවක් සුවසේ විසීය.

එංගලන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලයේ Royal College of Surgeons of England කෞතුකාගාරයේ වාර්තා තබන්නිය ලෙස කටයුතු කල ජෙසී ඩෙබ්සන් ප්‍රකාශ කර සිටියේ බෙස්වික් මහත්මියගේ මරණයෙන් පසු ඇතිවූ සිද්ධි දාමයෙහි පවා අකාර්යක්ෂම විසංවාදාත්මක කරුණු රැසක් වූ බවයි. බොහෝ දෙනෙකු ප්‍රකාශ කලේ බෙස්වික් මහත්මිය ඇගේ පවුලේවෛද්‍යවරයා වූ වෛද්‍ය චාර්ල්ස් වයිට් වෙත ස්ටර්ලින් පවුම් 25,000 ක මුදලක් ‍(2011 වසර වන විට එම මුදල ස්ටර්ලින් පවුම් මිලියන 3 ක පමණ වටිනාකමකින් යුක්ත විය.) එක් කොන්දේසියක් මත ලබා දෙන ලද බවයි.ප්‍රසව විද්‍යාව obstetrics පිළිබද විශේෂඥයෙකු වූ වෛද්‍ය වයිට් එවකට ආරම්භ කරන ලද මැන්චෙස්ටර් රාජකීය ගිලන් සේවාවේ Manchester Royal Infirmary ප්‍රාරම්භක සාමාජිකයෙකු ද විය. වෛද්‍ය වයිට් වෙත බෙස්වික් මහත්මිය පැනවූ කොන්දසිය වූයේ ඇගේ මෘත ශරීරය මිහිදන් නොකොට වෛද්‍ය වයිට් භාරයේ තබා ගත යුතු බවත් එසේ තබාගෙන වරින්වර ජීවය පිළිබද ලක්ෂණ ඉන් දිස්වේ දැයි පරීක්ෂා කොට බැලිය යුතු බවටත්ය. කෙසේ වෙතත්1757 ජුලි 25 දාතමින් වූ (ඇය මියයන්නට වසරකටත් වඩා අඩු කාලයකදී) බෙස්වික්ගේ අන්තිම කැමති පත්‍රයේ will සඳහන් කර තිබුනේ වෛද්‍ය වයිට් වෙත ඇය සතු වත්කමින් ස්ටර්ලින් පවුම් 100 ක් (2011 වසර වන විට වටිනාකම අනුව ස්ටර්ලින් පවුම් 11,000) හිමිවිය යතු බව පමණි. මීට අමතරව ස්ටර්ලින් පවුම් 400 ක් (2011 වසර වන විට ස්ටර්ලින් පවුම් 45,000 ක්) ඉන් ඇයගේ අවමංගල කටයුතු සඳහා වෙන්කර තිබිණ. සමහර ලේඛනයන් පෙන්වා දී තිබුනේ බෙස්වික් සිය අන්තිම කැමති පත්‍රයෙන් වෛද්‍ය වයිට්ව නම් කර තිබූ බවත් ඒ නිසා ස්ටර්ලින් පවුම් 400 ඔහුට ලැබෙන්නට ඇති බවත්ය‍.එසේම ඒ, ඇයගේ අවසන් කටයුතු අවසන් වීමෙන් ඉතිරිවන මුදලක් තමා සන්තකයේ තබා ගැනීමට වෛද්‍ය වයිට් හට අන්තිම කැමති පත්‍රයෙන් ඉඩ සලසා තිබිම නිසා යැයි ද මතයක් විය. මෙම මතයෙන් තව දුරටත් කියවුනේ ඉතිරිවන කොටස තබා ගැනීම වෙනුවට බෙස්වික් මහත්මිය සිය අන්තිම කැමති පත්‍රයෙන් අවමංගල කටයුතු සඳහා වෙන් කල මුළු මුදලම වියදම් නොකොට තමා සතු කර ගැනිම සඳහා වෛද්‍ය වයිට් ඇයගේ මෘත ශරීරය එම්බාම් කොට තම නිවසේ තබාගත් බවයි. මීට විරුද්ධ මතයකින් කියැවුනේ බෙස්වික් මහත්මියට වෛද්‍ය වයිට් ණය වී තිබුණ බවත් අවමංගල්‍ය කටයුතුවලින් පසුව එම ණය මුදල ආපසු ගෙවිය යුතු වූයෙන් එයින් වැලකීම සඳහා වෛද්‍ය වයිට් බෙස්වික් මහත්මියගේ සිරුර මිහිදන් නොකර තමා සන්තකයේ තබාගත් බවයි. එහෙත් බෙස්වික් සිය අන්තිම කැමති පත්‍රයෙන් තම උරුමකරුවන් ලෙස මේරි ග්‍රැහැම් සහ එස්තර් රොබින්සන් නම් කොට තිබූ අතර එහි වෛද්‍ය වයිට් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොවීය‍. ඇය මියගොස් වසර සියයකට වඩා කල් ගතවු වර්ෂ 1866 වන විට පවා ඇගේ අවසන් කැමති පත්‍රය සම්බන්ධයෙන් විවිධ විවාදාත්මක මත පළ වෙමින් පැවතිණ.

මෘත ශරීරයට බෙහෙත්කැවීම

Charles White

1757 දී බෙස්වික් විසින් ලියන ලද ඇගේ අවසන් කැමති පත්‍රය තුල ඇගේ මෘත ශරීරය බෙහෙත් ගල්වා කල්තබා ගතයුතු embalmed යැයි කිසිදු සටහනක් නොමැත. එය වයිට් මහතා විසින් කරන ලද යෝජනාවක් වූ අතර ඔහු විසින් බෙස්වික් මහත්මියගේ මළ සිරුර ඇය සත්‍ය වශයෙන්ම මරණයට පත් වී ඇද්ද යන්න පිළිබඳව සැකහැර දැනගැනීම සඳහා මිහිදන් නොකර තබා ගැනීමට පවසන ලදී. නමුත් ඔහුට සිය "වෙට් ඇන්ඩ් ඩ්‍රයි" ප්‍රදර්ශන භාණ්ඩ එකතුව තුලට මමියක් එක්කර ගැනීමට පැවති අසීමිත ආශාවට ප්‍රතිරෝදයක් දැක්වීමට නොහැකි වු නිසා වෙන් ඇගේ සිරුර එම්බාම් කිරීමට අවසානයේදී තීරණය කරන ලදී. වයිට් ලන්ඩනයෙහි වෛද්‍ය විද්‍යාව පිළිබඳ හදාරමින් සිටි අවදිය තුල ඔහු කාය විච්ඡේද විද්‍යාව පිළිබඳ යම්තරමක ඇල්මක් දැක්වීය. එසේම ඔහු "කියුරියෝසිටීස් " නමින් හැඳින්වුනු භාණ්ඩ එකතුවක් ද පවත්වාගෙන යන ලද අතර ඔහු මියයන විට එම භාණ්ඩ එකතුව තුලට තෝමස් හිගින්ස් නම් වූ සුප්‍රසිද්ධ මංපහරන්නාගේ highwayman ඇටසැකිල්ලද එමෙන්ම හැනා බෙස්වික්ගේ මමිය ද ඇතුලත් වූහ.

වයිට් විසින් මළ සිරුරු කල්තබා ගැනීම සඳහා භාවිතා කරන ලද ක්‍රමවේදය පිළිබඳව කිසිදු සටහනක් නොමැති නමුත් 1748 දී ඔහු විලියම් හන්ටර් William Hunter නම් වූ කාය විච්ඡේදකයා යටතේ ඉගෙනුම ලැබූ අතර ඔහු ධමනි හා සම්බන්ධ මළ සිරුරු කල්තබා ගැනීමේ ක්‍රමයක් අනුගමනය කරන ලද්දෙක් විය. එහෙයින් බොහෝ දුරට වයිට් ද මෙම ක්‍රමය අනුගමනය කරන ලදැයි සිතිය හැක. මෙහිදී පළමුව සියලු ධමනි arteries සහ ශිරා veins තුලට ටර්පන්ටයින් turpentine සහ සාදිලිංගම් vermilion සහිත මිශ්‍රණයක් එන්නත් කල යුතුව තිබු අතර පපු ප්‍රදේශයෙහි සහ උදරයෙහි වූ ඉන්ද්‍රීයයන් organs ඉවත්කොට ගැනීමෙන් අනතුරුව ඒවා පිරිසිදු කිරිමට සහ ඉදිමීම වැළැක්වීම සඳහා ජලයෙහි බහා තැබිය යුතු විය. එසේම මෘත ශරීරය තුල පවතින රුධිරය හැකිතරමින් මිරිකා හැරිය යුතු වූ අතර පසුව මුළු සිරුරම ඇල්කොහොල් යොදා සේදිය යුතු විය. මීලගට සිදුකලයුතු වන්නේ නැවතත් මෘතශරීරය තුලට ඉන්ද්‍රීයයන් බහා නැවත ටර්පන්ටයින් සහ සාදිලිංගම් මිශ්‍රණය එන්නත් කිරීමයි. පසුව මෘත දේහය මැසීමට පෙර ශරීරය තුල පවතින සියලු කුහරයන් කපුරු camphor,වෙඩිලුණු nitre සහ දුම්මල resin යොදා පිරවිය යුතුවන අතර සියලු විවරයන් ද කපුරු වලින් පිරවිය යුතු විය. අවසාන සේදීමෙන් අනතුරුව මෘතශරීරය ප්ලාස්ටර් ඔෆ් පැරිස් plaster of Paris අඩංගු වූ පෙට්ටියක් තුල බහාලිය යුතු වන්නේ මෘත ශරීරය තුල තවදුරටත් තෙතමනයක් පවතී නම් එය අවශෝෂණය කරගැනීමට වන අතර ඉක්බිති එය මත තාර තට්ටුවක් ආලේප කරනු ලබන්නේ වැඩිදුර ආරක්ෂාව සඳහාය.

ප්‍රදර්ශනය

බෙස්වික්ගේ මමීකරණය කරන ලද මෘත ශරීරය පළමුව බෙස්වික් පවුලේ තවත් සාමාජිකයෙකුගේ නිවසක් වන ඇන්කෝට්ස් Ancoats නැමැති ශාලාවේ තැන්පත් කර තබන ලද නමුත් එය ඉතා ඉක්මනින් වෛද්‍ය වයිට්ගේ සේල් Sale නම් නගරයෙහි පිහිටි ඔහුගේ නිවසෙහි කාමරයක් තුලට ගෙනයන ලද අතර එහිදී එය පරණ ඔරලෝසු ආවරණයක බහාලන ලදි. පැහැදිලිවම බෙස්වික්ගේ මේ විකාර හැසිරීම ඇය සිය ප්‍රදේශය තුල ඉතා ප්‍රසිද්ධියට පත් කිරීමට සමත් වූ බව ඇගේ සිරුර නැරඹීම සඳහා වයිට්ගේ නිවසට ගිය පුද්ගලයන් අතරින් එක් අයෙකු වූ තෝමස් ඩ් ක්වින්සි Thomas de Quincey නම් වූ ලේඛකයා විසින් පවසා ඇත.1813 දී වයිට්ගේ මරණයෙන් අනතුරුව බෙස්වික්ගේ මෘත දේහය ආචාර්ය ඔලිවර් වෙත භාර කල අතර 1828 දී ඔහුගේ මියයාමෙන් පසුව දේහය ස්වාභාවික ඉතිහාසය පිළිබඳ මැන්චෙස්ටර් සංගමයට අයත් කෞතුකාගාරය Museum of the Manchester Natural History Society වෙත භාරදීමට කටයුතු කරන ලදී. එහිදී ඇය මැන්චෙස්ටර් හි මමිය යන විරුදාවලිය ලද අතර බ්‍රිචින් බවර් හී මමිය ලෙසද හඳුන්වනු ලැබීය. එසේම ඇය පේරුවියන් සහ ඊජිප්තු මමීන් mummy අසලින්ම කෞතුකාගාරයට ඇතුලුවන ශාලාව තුල ප්‍රදර්ශනයට තබා තිබූ අතර ඇයගේ ඥාතීන් හට ඇය නැරඹීම සඳහා ඔවුනට අභිමත පරිදි පැමිණීමට ද අවස්ථාව සලසා දෙන ලදි.1844 දී කෞතුකාගාරය නැරඹීමට පැමිණියෙකු ඇය පිළිබඳව විස්තර කර ඇත්තේ "කෞතුකාගාරය තුල තිබෙන්නාවූ විශිෂ්ඨ ගණයේ වස්තූන් අතරින් එකක්" ලෙසය.එසේම ඊඩිත් සිට්වෙල් Edith Sitwell.නම් ලේඛිකාවට අනුව 18 වන ශතවර්ශයේ මැද භාගයේදී ඇයගේ මමියෙහි සීතල අඳුරු සෙවනැල්ල මැන්චෙස්ටරය පුරා සැරිසැරූ බව කියැවේ.

හැනා බෙස්වික්ගේ කිසිදු ඡායාරූපයක් මෙතෙක් හමුවී නොමැති අතර දේශීය ඉතිහාසඥයෙකු වන පිලිප් වෙන්ට්ව්‍රෝත් විසින් ඇය පිළිබඳ තොරතුරු මෙසේ ඉදිරිපත් කර ඇත.

"ශරීරය ඉතා හොඳින් ආරක්ෂා වී පැවතුණු නමුත් ඇගේ මුහුණ ඇකිලී රැලි වැටී කළු පැහැගැන්වී තිබිණ.දෙපා සහ බඳ මෙට්ට කවර සඳහා යොදා ගනු ලබන ශක්තිමත් රෙදි කඩකින් තදින් බැඳ තිබූ අතර මෙම කුඩා මහළු කාන්තාවගේ මළ සිරුර වීදුරු වලින් තනන ලද මිනී පෙට්ටියක හැඩය ගත් ආවරණයක් තුල බහා තිබිණ".

කෙටිකලකින් එනම් 1867 දී කෞතුකාගාරය මැන්චෙස්ටර් සරසවියට Manchester University පවරා දීමෙන් අනතුරුව බෙස්වික් ස්ථිරවම සහ ඉතා පැහැදිලි ලෙසම මරණයට පත්වී ඇති බව නිශ්චය කොටගත් හෙයින් ඇයව භූමදානය කිරීමට කාලය එළඹ ඇතිබවට තීරණය කරන ලදි. නමුත් 1837 සිට බ්‍රිතාන්‍ය නීතියට අනුව භූමදානය කිරීමට පෙර වෛද්‍ය පරීක්ෂකයෙකු විසින් මරණ සහතිකයක් certificate of death නිකුත් කල යුතු වූ අතර එහෙයින් ඇය මියයන ලද්දේ 1758 වසරෙහි බැවින් ඇයගේ භූමදාන කටයුතු සිදුකිරීමට අවසර ලබාගැනීම සඳහා රාජ්‍ය ලේකම්වරයාට අභියාචනයක් ද ඉදිරිපත් කිරීමට සිදුවිය. ඉනික්බිති මැන්චෙස්ටරයෙහි බිෂොප්වරයාගේ Bishop of Manchester අවසරය ද ඇතිව 1868 හි ජූලි මස 22 වැනි දින එනම් ඇගේ මරණයෙන් වසර 110 කටද පසුව හාපර්හේ Harpurheyනම් වූ සුසානභූමියෙහිදී ඇය මිහිදන් කරනු ලැබුවේ බෙස්වික් මහත්මියගේ සොහොන සලකුණු කිරීම සඳහා සිහිවටනයකුදු ඉදිනොකරමිනි.

නිධානය සහ අවතාරය

1745 දී බොනී ප්‍රින්ස් චාර්ලි Bonnie Prince Charlie සිය ආක්‍රමණික හමුදා මෙහෙයවමින් මැන්චෙස්ටර් ප්‍රාන්තය වෙත ඇතුලු විය. මෙම ආක්‍රමණයේදී සිය මුදල් ආක්‍රමණිකයන් අතට පත්වෙතැයි බියටපත් බෙස්වික් මහත්මිය තමන් සන්තකයේ වූ මුදල් වලින් වැඩි කොටසක් යම් ස්ථානයක සගවන ලදි‍. මිය යන්නට ඉතා කෙටිකලකට ඉහත දී තමන් විසින් ධනය සගවන ලද ස්ථානය සිය ඥාතීන්ට පෙන්වන බවට ඈ ප්‍රතිඥා දුන්නාය. නමුත් අවාසනාවකට සගවන ලද ධනය ඇති ස්ථානය සිය ඥාතින්ට පෙන්වන්නට තරම් කාලයක් ජීවත් වීමට ඇය වාසනාව නොලැබුවාය. ඇගේ අභාවයත් සමගම ඈ විසූ බ්‍රිචින් බවර් නිවස, සේවක කුලී නිවස්නයක් බවට පරිවර්තනය කෙරිණ. ඉන් පසු එම නිවස්නයේ විසූ කිහිප දෙනෙකුම කළු සිල්ක් ගවුමකින් සහ සුදු පැහැති තොප්පියකින් සැරසුන කාන්තාවක් බ්‍රිචින් බවර් හි ආලින්දය හරහා පාවී විත් එහි වූ එක් පැතලි ගලක් අභියස දී අතුරුදන්ව යනු තමන් දුටු බව පැවසූහ‍. ඔවුන් බොහෝ දෙනෙකුගේම අදහස වූයේ ඒ අන්කවරෙකුවත් නොව හැනා බෙස්වික් මහත්මියම බවය. පසු කලෙක බ්‍රිචින් බවර් හී විසූ රෙදි වියන්නෙක් නව රෙදි වියන යන්ත්‍රයක් සවිකිරීම සඳහා එහි පොළොව කනින අවස්ථාවකදී අහම්බෙන් හැනා බෙස්වික්ගේ පැරණි රන්කාසි තොගය සොයා ගත්තේය. ඒ කලින් කියු අවතාරය නොපෙනී ගිය පැතිලි ගල යට තිබිය දීය‍. ඔලිපන්ට්ස් නම් මැන්චෙස්ටර් රත්‍රරන් ව්‍යාපාරිකයෙක් එක් රන් කහවනුවක් සඳහා වියන්නා හට ස්ටර්ලින් පවුම් 3 කුත් සිලිම් 10 ක මුදලක් ගෙවන ලදී. එය 2011 වර්ෂයේ මුදලින් එක් රන් කහවනුවක් වෙනුවෙන් ස්ටර්ලින් පවුම් 460 ක් ලෙස ගණනය වියයුතුය. අවසානයේදී බ්‍රිචින් බවර්, ෆෙරන්ටි Ferrantiනම් කර්මාන්තශාලාවක් තැනීම සඳහා කඩා බිඳ දමන ලදී. එහෙත් අදටත් හැනා බෙස්වික්ගේ අවතාරය එම බිමෙහි සැරිසරනු දුටු බවට වාර්තා පළවේ.

ග්‍රන්ථ නාමාවලිය

  • Bondeson, Jan (1997), A Cabinet of Medical Curiosities, I. B. Taurus, ISBN 1-86064-228-4 
  • Bondeson, Jan (2001), Buried Alive: the Terrifying History of our Most Primal Fear, W. W. Norton & Company, ISBN 0-393-04906-X 
  • Clendening, Logan (2005), The Romance of Medicine: Behind the Doctor, Kessinger Publishing, ISBN 1-4191-5172-X 
  • Cooper, Glynis (2007), Manchester's Suburbs, The Breedon Books Publishing Company, ISBN 978-1-85983-592-0 
  • Dobson, Jessie (1953), "Some Eighteenth Century Experiments in Embalming", Journal of the History of Medicine and Allied Sciences (Oxford University Press) 8 (4): 431–441, doi:10.1093/jhmas/VIII.October.431, PMID 13109185 
  • Hough, Peter; Randles, Jenny (1993), Mysteries of the Mersey Valley, Sigma Leisure, ISBN 1-85058-355-2 
  • Hyde, Matthew; O'Rourke, Aidan; Portland, Peter (2004), Around the M60: Manchester's Orbital Motorway, AMCD (Publishers) Limited, ISBN 1-897762-30-5 
  • Kohl, Johann Georg (1844), England, Wales and Scotland, Chapman and Hall 
  • Portland, Peter (2002), Around Haunted Manchester, AMCD (Publishers) Limited, ISBN 1-897762-25-9 
  • Sitwell, Edith (1933), The English Eccentrics, London: Faber & Faber 
  • Zigarovich, Jolene (2009), "Preserved Remains: Embalming Practices in Eighteenth-Century England", Eighteenth-Century Life (Duke University Press) 33 (3): 65–104, doi:10.1215/00982601-2009-004 
"http://si.wikipedia.org/w/index.php?title=‍‍මැන්චෙස්ටර්_හි_මමිය&oldid=251271" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි