හිඳි බෝධිසත්ත්ව ප්‍රතිමාව (ත්‍රිත්ව මූර්තියක වම්පස පරිවාර ප්‍රතිමාව)

විකිපීඩියා වෙතින්
හිඳි බෝධිසත්ත්ව ප්‍රතිමාව (ත්‍රිත්ව මූර්තියක වම්පස පරිවාර ප්‍රතිමාව)
කොරියානු: 목조보살좌상조선
වර්ෂය17වන සියවසේ මැද පමණ (ජොසොන් රාජවංශය)
වර්ගයප්‍රතිමාව
මාධ්‍යයරන් ආලේපිත දැව
මාන51.4 cm × 35.6 cm (20.2 in × 14.0 in)
පිහිටීමමෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය, නිව් යෝක් නගරය
ප්‍රවේශනය2015.300.301a–c

හිඳි බෝධිසත්ත්ව ප්‍රතිමාව (ත්‍රිත්ව මූර්තියක වම්පස පරිවාර ප්‍රතිමාව) (කොරියානු: 목조보살좌상조선; චීන: 木造菩薩坐像朝鮮) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු අර්ධද්වීපයේ ජොසොන් රාජවංශයේ, ක්‍රි.ව. 17වන සියවසේ මැද භාගයේ පමණ නිර්මාණය වූ දැවමය බෝධිසත්ත්ව ප්‍රතිමාවකි. රන් ආලේපිත දැව මාධ්‍යයෙන් නිර්මිත මෙම බෝධිසත්ත්ව ප්‍රතිමාව, ශාක්‍යමුණි බුදුන් වහන්සේ හෝ අමිතාභය බුදුන් වහන්සේගේ රුව කේන්ද්‍ර කරගත් ත්‍රිත්ව මූර්තියක පරිවාර ප්‍රතිමා දෙකෙන් එකක් වන්නට ඇතැයි සැලකේ. ප්‍රතිමාවේ බෝධිසත්ත්ව රුවේ දක්නට ඇති උසැති අලංකාර කිරුළ, දිගටි මුහුණ සහ එල්ලා වැටෙන රැලිවලින් සමන්විත චීවරය අනුව මෙම ප්‍රතිමාව බොහෝවිට කොරියාවේ දකුණු ජොල්ලා පළාතේ බෞද්ධ ප්‍රතිමා ගුරුකුලයක නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කෙරේ.[1] 2015 වර්ෂයේ දී මේරි සහ ජැක්සන් බර්ක් පදනම විසින් මෙම ප්‍රතිමාව මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය වෙත ප්‍රදානය කරන ලදී.[2]

හැඳින්වීම[සංස්කරණය]

මෙම අගනා ප්‍රතිමාව මගින් බෝධිසත්ත්වයන් වහන්සේ කෙනකුගේ රුවක් නිරූපණය වේ. බෝධිසත්ත්වවරුන් මෙලොව සත්ත්වයනට මෝක්ෂය උදා කරලීම උදෙසා මඟ පෙන්වන දයානුකම්පිත උතුමන් ලෙස මහායාන බුදු දහම තුළ සඳහන් වේ.[3] දැවයෙන් තනා රන් ආලේප කරන ලද මෙම ප්‍රතිමාව ක්‍රි.ව. 17වන සියවසේ මැද කාලයේ කොරියානු අර්ධද්වීපයේ ජොසොන් රාජවංශ සමයේ නිර්මාණය වූවකි. ප්‍රතිමාවේ දක්නට ලැබෙන උසැති කිරුළ, දිගටි මුහුණ සහ එල්ලා වැටෙන සේ සැකසී ඇති චීවරයේ රැළි රටාව අනුව මෙම ප්‍රතිමාව කොරියාවේ දකුණු ජොල්ලා පළාතේ බෞද්ධ විහාරස්ථානයක් සඳහා ඉන්ග්‍යුන් (ක්‍රි.ව. 1615–1663 අතර කාලයේ ක්‍රියාකාරී වූ) ‍නම් භික්ෂුවගේ මූලිකත්වයෙන් කටයුතු කළ බෞද්ධ භික්ෂූ මූර්ති කලා ගුරුකුලයක් විසින් නිර්මාණය කරන්නට ඇතැයි අනුමාන කෙරේ.[1] මෙම ප්‍රදේශය එකල කොරියාවේ බුද්ධාගමේ වැදගත් මූලික ස්ථානයක් ලෙස පැවතිණි. බෝධිසත්ත්ව ප්‍රතිමාවේ හිසෙහි වූ කිරුළෙහි ගිනි දළු හැඩැති සැරසිලි අංගයන් ද දැකගත හැකි ය. මෙම ප්‍රතිමාව ආසන්න වශයෙන් උසින් සෙන්ටිමීටර 51.4ක් ද, පළලින් සෙන්ටිමීටර 35.6ක් ද සහ ඝනකම සෙන්ටිමීටර 36.2ක් ද ලෙස මිනුම්වලින් යුක්ත වේ. ගිනි සිළුවක් සහිත සැරසිලි අංගය ද සමග ප්‍රතිමාවේ සම්පූර්ණ උස සෙන්ටිමීටර 54.6ක් වේ.[1] මේරි ග්‍රිග්ස් බර්ක් එකතුවේ තිබූ මෙම ප්‍රතිමාව 2015 වර්ෂයේ දී මේරි සහ ජැක්සන් බර්ක් පදනම විසින් එක්සත් ජනපදයේ නිව් යෝක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය වෙත ප්‍රදානය කරන ලදී.[2] මෙම ප්‍රතිමාව එසේ ප්‍රදානය කිරීමට පෙර සහ පසු එය මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ අවස්ථා හතරක දී ප්‍රදර්ශනය කොට ඇත.[1]

ගැලරිය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 "Seated bodhisattva (left attendant of a triad)" (ඉංග්‍රීසි බසින්). සහ Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 2017-11-21.
  2. 2.0 2.1 Mary and Jackson Burke Foundation. "Seated Bodhisattva (left attendant of a triad)" (ඉංග්‍රීසි බසින්). The Mary Griggs Burke Collection. සම්ප්‍රවේශය 2017-11-21.
  3. 海濤法師. 《菩薩與羅漢的故事(上集)》. ISBN 957-29607-7-6. {{cite book}}: |access-date= requires |url= (help)

වැඩිදුර කියවීමට[සංස්කරණය]

  • Lee Soyoung (2004-10). A Seated Bodhisattva in the Collection of the Mary and Jackson Burke Foundation (ඉංග්‍රීසි බසින්). Vol. 7. New York. pp. 90–91. {{cite book}}: |access-date= requires |url= (help); Check date values in: |year= (help)
  • Marylin M. Rhie (2010). Early Buddhist Art of China and Central Asia (ඉංග්‍රීසි බසින්). Vol. 3. {{cite book}}: |access-date= requires |url= (help)

බාහිර සබැඳි[සංස්කරණය]