Jump to content

හ්‍යුංසොන් දේවොන්ගුන්

විකිපීඩියා වෙතින්
යි හා-ඉයුං
이하응 李昰應
හ්‍යුංසොන් දේවොන්ගුන්
흥선대원군 興宣大院君
1869 අවට දේවොන්ගුන්ගේ රුව.
කොරියාවේ රාජ්‍යාධිකාරී
ආධිපත්‍යය13 දෙසැම්බර් 1863 – 31 ඔක්තෝබර් 1873
පූර්වප්‍රාප්තිකයාජොසොන්හි චොල්ජොං
අනුප්‍රාප්තිකයාමියොංසොං අධිරාජිනිය
උපත21 දෙසැම්බර් 1820
මරණය22 පෙබරවාරි 1898 (77 වියැති)
වල්ලභයායෝහ්‍යු මින් වංශයේ මහා මින් යෝහ්‍යූං ආර්යාව, මහා මාලිගයේ කුමරුගේ වල්ලභ කුමරිය
දරුවන්
රාජවංශයජොසොන්
පියානම්යොන් කුමරු
මවයෝහ්‍යුං මින් ආර්යාව
හ්‍යුංසොන් දේවොන්ගුන්
හංගුල්흥선대원군
හන්ජා興宣大院君
ප්‍රතිශෝධිත රෝමානුකරණයHeungseon Daewongun
මැකූන්–‍රයිෂවර්Hŭngsŏn Taewŏn'gun
ලේඛන නාමය
හංගුල්석파
හන්ජා石坡
ප්‍රතිශෝධිත රෝමානුකරණයSeokpa
මැකූන්–‍රයිෂවර්Sŏkp'a
උපන් නාමය
හංගුල්이하응
හන්ජා李昰應
ප්‍රතිශෝධිත රෝමානුකරණයYi Ha-eung
මැකූන්–‍රයිෂවර්Yi Ha-ŭng
Courtesy name
හංගුල්시백
හන්ජා時伯
ප්‍රතිශෝධිත රෝමානුකරණයSibaek
මැකූන්–‍රයිෂවර්Sibaek

හ්‍යුංසොන් දේවොන්ගුන් (흥선대원군, 21 දෙසැම්බර් 1820 – 22 පෙබරවාරි 1898) හෙවත් දේවොන්ගුන් (대원군), ගුක්තේගොං (국태공, "මහා නායක ආදිපාද") නැතහොත් චාරිත්‍රානුකූලව හ්‍යුංසොන් හොන්උයි දේවොන්ගුන් (흥선헌의대원왕) යනුවෙන් හැඳන්වෙන්නේ 1860 දශකයේ පමණ ජොසොන් රාජවංශයේ ගෝජොං අධිරාජයාගේ කුඩා අවධියේ සිටි රාජ්‍යාධිකාරීවරයායි. අද්‍යතන බටහිර විද්වතුන් විසින් ගුං කුමරු යනුවෙන් හැඳින්වූ මොහුගේ මුල් නම යි හා-ඉයුං විය. ඔහු සිය මරණය තෙක්ම ජොසොන් කොරියාවේ වැදගත් දේශපාලන චරිතයක් ලෙස කටයුතු කළේ ය.

දේවොන්ගුන් යන වදනෙහි අරුත "මහා මාලිගයේ කුමරු" යන්නයි. මෙය සම්ප්‍රදායිකව ප්‍රදානය කෙරුණේ රජකරන රජුගේ පියා, රාජ්‍ය පාලනය නොකළ තැනැත්තකු නම් (එයට හේතුව ඔහුගේ ඥාති රජකු විසින් සිය පුත්‍රයාව සිහසුනට උරුමකරු ලෙස නම්කොට තිබීමයි) රජුගේ පියාට ය. ජොසොන් රාජවංශයේ තවත් දේවොන්ගුන්වරුන් තිදෙනකු සිට ඇත.^ ඒ අතුරින්, යි හා-ඉයුං පසුකාලීන ජොසොන් රාජවංශයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ නිසා සාමාන්‍යයෙන් “දේවොන්ගුන්” යන වදන භාවිතා වන්නේ ඔහුටයි.

දේවොන්ගුන් සිය පාලන සමයේ පුළුල් ප්‍රතිසංස්කරණ ආරම්භ කළ අතර, ඔහුගේ "දැඩි හුදකලා ප්‍රතිපත්තිය, ක්‍රිස්තු ලබ්ධිකයන්ට හිංසා පැමිණවීම, සහ කොරියාවට ඇතුළු වූ විදේශිකයන් ඝාතනය හෝ පිටමං කිරීම" වැනි ක්‍රියා මේ අතර ප්‍රමුඛ විය.[1]

දිවිය

[සංස්කරණය]

මුල්කාලීන දිවිය

[සංස්කරණය]

1820දී දේවොන්ගුන් උපත ලැබූයේ යි හා-ඉයුං යන නාමයෙනි. ඔහු රාජකීය පවුලේ සාමාජිකයකු වූ යි චේ-ජුංගේ සිව්වන පුත්‍රයා විය. 1816දී යි චේ-ජුංහට යි කු යන නාමය සහ නම්යොන් කුමරු යන පදවිය ලබා දිණි. දේවොන්ගුන් ඉන්ජෝ රජුගෙන් ඍජුවම පැවතෙන්නෙකි.[2]

දේවොන්ගුන් කොන්ෆියුසියානුවාදය සහ චින සම්භාව්‍ය කෘති පිළිබඳහසල උගතකු විය. ඔහු චාරුලේඛන කලාව (calligraphy) සහ සිතුවම් ශිල්පයට දස්කම් පෙන්වීය. ඔහුගේ මුල්කාලීන රජයේ රැකියාව සුළු එහෙත් ගෞරවණීය එකක් විය. ඔහුගේ දිවියේ මුල්කාලයේ ඔහු සහ රාජකීය නිවස අතර තිබූ සම්බන්ධය ඔහුට එතරම් ප්‍රයෝජනවත් එකක් නොවීය. දුගියකු වූ ඔහු රාජකීය නිවසේ ධනවත් ඥාතීන්ගේ ගැරහුමට ලක් විය.[2]

බලයට පත් වීම

[සංස්කරණය]

දේවොන්ගුන් බලයට පැමිණියේ ඔහුගේ පුත් යි මියොං-බොක් රජකමට නම් කෙරුණු නිසායි.

1864 ජනවාරි මස, චොල්ජොං රජු මියගියේ සිහසුන‍ට උරුමකරුවකු නොමැතිවය. මේ නිසා ඊළඟ රජු තේරීම වැන්දඹු බිසෝවරුන් තිදෙනකුට පැවරිණි. ඔවුන් තිදෙනා නම්, හොන්ජොං රජුගේ මව වූ සින්ජොං රැජිණ, හොන්ජොංගේ බිරිඳ වූ මියොංහොන් අගබිසව සහ චොල්ජොං රජුගේ බිරිඳ වූ චොරින් අගබිසවයි.[3] නමුත් "පත්කිරීමේ අයිතිය" හිමි වූයේ මින් වැඩිමහල්ම බිසව වූ සින්ජොං වැන්දඹු රජ බිසව හටයි.[2]

අද්භූත කථාන්තරයකට අනුව, යි හා-ඉයුංගේ එකොලොස් වියැති යි මියොං-බොක්ව කැඳවාගෙන ඒමට චොරින් අගබිසව අමාත්‍යවරයකු යැවුවාය. මේ වන විට මියොං-බොක් මාලිග උද්‍යානයේ සරුංගල් යවමින් සිටියේය. මෙම පුත්‍රයාව දෝලාවකින් මාලිගයට රැගෙන ආ අතර, එවිට සින්ජොං මව්බිසව දිවවිත් ඔහුට සිය පුතු යැයි ඇමතුවාය. මෙලෙසින් ජොසොන් රාජවංශයේ නව රජු වූ ගෝජොං පත්කෙරිණි. ගෝජොං කිරුළහිමි හ්යෝම්යොං කුමරුගේ හදාගත් පුත්‍රයා ලෙස සැලකිණි.[3] මෙම කතාපුවත සත්‍ය විය නොහැක.

නමුත් සත්‍ය යැයි පිළිගන්නා තොරතුරු අනුව, 1864 ජනවාරි 16 දින වැන්දඹු සින්ජොං බිසව විසින් යි මියොං-බොක් කුමරුන්, ඉක්සොංහි කුමරු ලෙස නම්කරන ලදී. ඊළඟ දිනයේ ඔහුගේ පියාට දේවොන්ගුන් යන පදවිය පිරිනැමිණි. ජනවාරි 21 දින යි මියොං-බොක්ව, ගෝජොං රජ යන නාමයෙන් සිංහාසනාරූඪ කළ අතර, සින්ජොං වැන්දඹු අගබිසව රාජ්‍ය පාලනය ඇරඹූවා ය.[2] මෙලෙසින් යි ව තෝරාගැනුණේ "ඔහු යි වංශයේ ජීවත්ව සිටින එකම සුදුසුකම් ඇති පුත්‍රයා වීමත්, රාජකීය නිවසට සමීපතම රුධිරය ඇත්තකු වීමත් නිසායි".[2]

ගෝජොං ලාබාල වියේ පසු වූ බැවින්, සින්ජොං රැජිණ දේවොන්ගුන්ට රාජ්‍ය පාලනයට සහාය වීමට ආරාධනා කළාය. ඇය රජ තනතුරේ වැඩබැලීමට තමන්ට ඇති අයිතිය ප්‍රකාශ කළාය. නමුත් ඇය නාමික රාජ්‍යාධිකාරිණිය විය. සැබවින්ම රාජ්‍යය පාලනය කළේ දේවොන්ගුන් විසිනි.[2]

ගෝජොං සිහසුනට පත් වූ පසු ඔහුගේ විවාහය පිළිබඳ යෝජනා ඉදිරිපත් විය. ගෝජොංගේ මව වූ යෝහ්‍යුං සිය මින් වංශයේ දියණියක වූ මින් ආර්යාවගේ නාමය මේ සඳහා යෝජනා කළාය. දේවොන්ගුන් ප්‍රකාශ කළේ මින් ආර්යාව "දැඩි මුරණ්ඩු සහ තැන්පත් කාන්තාවක්" බවයි. නමුත් ඔහු ඇයව සිය පුතුට විවාහ කරදුන්නේය. ඔහු තමන්ගේ ප්‍රධානතම දේශපාලන සතුරා වන්නේ මින් ආර්යාව බව දැනසිටියේ නැත.[3]

ප්‍රතිසංස්කරණ

[සංස්කරණය]

සිය පාලන සමයේ, දේවොන්ගුන් ප්‍රතිසංස්කරණ කිහිපයක් සඳහා මුලපිරී ය. ඔහුගේ ප්‍රධාන අරමුණ වූයේ, සියවස් ගණනාවක් පුරා රජවරුන්ගේ ආධිපත්‍යය බිඳදැමූ පැරණි පාලන පක්ෂය යටපත් කිරීමයි".[4]

බලය ලබාගත් පසු 1864දී දේවොන්ගුන්, රජය ප්‍රතිසංස්කරණයට ලක් කොට මධ්‍ය පාලනය ශක්තිමත් කිරීමට අදහස් කළේය. දූෂණ විරෝධී ව්‍යාපාරයක් දියත් කළ ඔහු රාජකීය වංශ හික්මවීමට උත්සාහ ගත් අතර වංශවතුන් වූ යැංබැන්වරුනට බදු පැනවීය.[2][3] කියුමිංස් සඳහන් කරන්නේ මෙය විප්ලවයක් නොව ප්‍රතිෂ්ඨාපනයක් බවයි. දේවොන්ගුන් උත්සාහ දැරූයේ පහළොස්වන සියවසේ සේජොං රජුගේ මෙන් යුගයක් පිහිටුවීමටයි.[3]

දේවොන්ගුන්ගේ වඩාත් වැදගත් කාර්යයක් ලෙස ග්යොංබොක් මාලිගය ප්‍රතිසංස්කරණය දැක්විය හැක. මෙම මාලිගය ජොසොන්හි පළමු රජ සමයේ ඉදිවූවකි. 1533දී ගින්නක් හේතුවෙන් මෙහි විශාල පෙදෙසක් විනාශ වී තිබූ අතර, 1592 ජපන් ආක්‍රමණය හේතුවෙන් එහි ශේෂ වූ කොටස ද විනාශයට පත් විය. මෙය ප්‍රතිනිර්මාණය කිරීමට වර්ෂ හතක් සහ මාස පහක් ගත විය. ඇතැම්විට ජොසොන් රාජවංශයේ වඩාත් වියදම් සහගත ව්‍යාපෘතිය මෙය වන්නට ඇත.[2]

දේවොන්ගුන්ගේ ප්‍රතිසංස්කරණ එතරම් සාර්ථක වූයේ නැත. ඇතැම් විද්වතුන් පවසන්නේ ඔහු "ඉහළ හැකියාවකින් යුක්ත වූ නමුත් රළු" බවයි.[4] එපමණක් නොව, ඔහුගේ ප්‍රතිපත්ති එතරම් ප්‍රතිඵලදායක නොවී ය. 1874දී ගෝජොං නිසි වයසට එළැඹි විට, ඔහු දේවොන්ගුන්ව අර්ධ-විශ්‍රාම ගැන්වීමකට ලක් කළ අතර, දේවොන්ගුන්ගේ ප්‍රතිසංස්කරණ බොහෝමයක් නිෂ්ප්‍රභ කළේය.[4]

විදේශ ප්‍රතිපත්තිය

[සංස්කරණය]

දේවොන්ගුන්ගේ විදේශ ප්‍රතිපත්තිය ඉතා සරල එකක් බව පවසන කියුමිංස් එය මෙසේ විස්තර කරයි: "ගිවිසුම් නැත, වෙළඳාම් නැත, කතෝලිකයන් නැත, බටහිර ජාතීන් නැත, සහ ජපානය නැත".[3] ඒ වෙනුවට ඔහු හුදකලා ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය.

මෙම ඒකලන ප්‍රතිපත්තිය මගින් බලවත් යැයි සිතූ චීනය හැර සෙසු සියලු විදේශ බලවේගවලින් ජොසොන් රාජ්‍යය හුදකලාව තබාගැනීම අපේක්ෂා කෙරිණි. ප්‍රංශ සහාය ආධාරයෙන් ජොසොන්හි වරායයන් විවෘත කිරීමට රුසියානුවන් දරන උත්සාහය ව්‍යර්ථ කිරීමට ඔහු උත්සාහ ගත්තේ ය. නමුත් 1866 බ්යුං-ඉන් හිංසන (병인박해) සිදුවීම හේතුවෙන් ප්‍රංශ ජාතිකයෝ එය ප්‍රතික්ෂේප කළහ. මීට අමතරව ඔහු ජනරාල් ෂර්මන් සිද්ධියට ද දායක විය. 1868දී කොරියාවට වරායයන් විවෘත කිරීමට බලකරමින් ජර්මානු වෙළෙන්දකු වූ අර්න්ස්ට් ඔපර්ට් විසින් දේවොන්ගුන්ගේ පියාගේ අස්ථි ප්‍රාණඇපයට ගැනීමට උත්සාහ දැරීම හේතුවෙන් ඒකලන ප්‍රතිපත්තිය තවත් දැඩිකෙරිණි.[5] ඉන් අනතුරුව, 1871 ග්වංහ්වාදෝහි ඇමරිකන් ප්‍රහාරය ද ඇති විය.

මෙම හුදකලා ප්‍රතිපත්තිය හේතුවෙන් කොරියානු දේශානුරාගය ඔප්නැංවුණු අතර කොරියානු කොන්ෆියුසියානු සංස්කෘතිය ද ආරක්ෂා විය. මෙලෙසින් හ්‍යුංසොන් දේවොන්ගුන්හට ජොසොන් රාජ්‍යය සංස්කෘතික අධිරාජ්‍යවාදයෙන් සහ බටහිරකරණයෙන් මුදාගත හැකි විය. ඔහු විසින් අන්තර්ජාතික සබඳතා පවත්වා ගැනීම ප්‍රතික්ෂේප කළ නිසා, වෙළඳාම සහ කොර්මික විප්ලවයක් සිදුවීමට ලැබුණු අවස්ථා අල්ප ය. සැබැවින්ම දේවොන්ගුන්ට අවශ්‍ය වූයේ බටහිර ජාතීන් සමග සබඳතා වැළැක්වීමයි. බටහිර ජාතීන් සමග සබඳතා පැවැත්වුවහොත් අනිවාර්යයෙන්ම එම රටවල්වලට නිදහස් වෙළඳාමට අවසර දීමට සිදුවන හෙයින්, එවිට රජයේ බලපෑම දුර්වල වේ. ජොසොන් රාජවංශය සතුවූයේ දැඩි සමාජ පන්ති ක්‍රමයකි. යැංබැන් වංශවතුන්ගේ ධනය සංමින් ගොවි කම්කරුවන් සහ කුලීකරුවන්ගේ කර මත රඳාපැවතිණි. දේවොන්ගුන් කීර්තිමත්, සාධාරණ පාලකයකු යැයි පැවසුණ ද, ඔහුට කුල ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය නොවී ය. එයට හේතුව සංමින් ජනයාගේ නිදහස මගින් සිය යැංබැන් පාන්තිකයන්ගේ තත්ත්වය බිඳවැටෙන නිසායි.

බටහිරකරණය වැළැක්වීම සඳහා දේවොන්ගුන් අනුගමනය කළ දුඩි ක්‍රමවේද හේතුවෙන් ජොසොන් රාජ්‍යයේ අන්තර්ජාතික සබඳතා බෙහෙවින් දුර්වල වන්නට විය. දේවොන්ගුන් තමන් දැන සිටි ලෝකය ආරක්ෂා කිරීමට උත්සාහ ගත්තේ, විදේශිකයන් නෙරපීමෙන්, නූතනකරණ සංවර්ධනයන් ප්‍රමාද කිරීමෙන් සහ කොරියාව හුදකලා රාජධානියක් ලෙස පවත්වා ගැනීමෙනි. බොහෝ කොරියානුවන් විශ්වාස කරන්නේ ඔහු සිය ලේලිය වූ මින් රැජිණ මෙන් විදේශ රාජ්‍යයන් සමග සම්බන්ධතා ගොඩනගා ගත්තේ නම් කොරියාවේ ජපන් පාලන යුගයක් නොඑ‍ළඹෙන බවයි. කෙසේනමුත්, ඇතැමුන් පවසන්නේ හුදකලා ප්‍රතිපත්තිය පැවති දස අවුරුදු සමය එ‍සේ තර්ක කිරීමට තරම් කුඩා වැඩි බවයි.[6]

විශ්‍රාම ගැනීම

[සංස්කරණය]

1874දී ගෝජොං රජු නිසි වයසට එළැඹි හෙයින්, ඔහුගේ බිරිඳ වූ මින් රැජිණ, "සම්පූර්ණ රාජකීය බලතල ලබාගන්නා" මෙන් ඔහුට යෝජනා කළා ය. මෙම ක්‍රියාවත් සමග දේවොන්ගුන්ව අර්ධ-විශ්‍රාම ගැන්වීමකට ලක් කරන ලදී.[4]

නැවත බලයට පැමිණීම

[සංස්කරණය]

1882 ඉමෝ සිද්ධියේ දී කෙටි කාලයක් බලය භුක්ති විඳීමට දේවොන්ගුන්ට අවස්ථාව හිමි විය. මෙම කැරැල්ල සිදු වූ දිනයේ, දේවොන්ගුන් විසින් "මින් රෙජිමය පරදවා ජපනුන් පිටුවහල් කරන මෙන්, සෙබලුන්ව දිරිමත් කළ බව" පැවසේ.[4] ගෝජොං රජු සිය පියා වූ දේවොන්ගුන්ට නැවත මාලිගයට ආරාධනා කළේ ය. දේවොන්ගුන් නැවත පැමිණියේ කැරලිකරුවන් 200ක් සමගිනි. එමගින් "මෙම අවුල් සහගත තත්ත්වයට ඉක්මන් අවසානයක් ලබාදීමට ඔහු අපේක්ෂා කළේ ය." ගෝජොං විසින් දේවොන්ගුන්ට "රජයේ සියලුම කුඩා සහ විශාල ගැටලු" භාරදුන් අතර, දේවොන්ගුන් එය භාරගත්තේ ය. ජපන් මෙන්ම චීන හමුදා කොරියාවේ කැරැලි ඇති කිරීමට මූලිකත්වය ගත් අතර, කොරියාවේ චීන විද්වතකු වූ මා චියෙන්-චුං තීරණය කළේ දේවොන්ගුන්ව ඉවත් කිරීමට සුදුසුම අවස්ථාව එය බවයි.[4]

දේවොන්ගුන්ව ඉවත් කිරීමට චීනුන්ට හේතු තුනක් තිබිණි: පළමුවැන්න, ඔහු විසින් චීන-හිතවාදී මින් පාර්ශ්වය බලයෙන් පහකිරීමට උත්සාහ ගැනීමයි. දෙවැන්න, "ඔහු ජපන් සෙබලුන්ට කොරියාවට ඇතුළුවීමට අවස්ථාවක් සැලසීමයි. එසේම එය චීනය සහ ජපානය අතර මෙන්ම කොරියාව අතර ද යුධ අරගලයක් ඇතිවීමට මගපෑදීය." තෙවැන්න නම්, "තේවොන්ගුන් [දේවොන්ගුන්]-අනුග්‍රහය ලත් කැරැල්ල, නීත්‍යානුකූලව ගොඩනැගුණු ජාතියක රාජ්‍ය පදනමට තර්ජනයක් වීමයි".[4]

"චීන අධිරාජයා විසින් කොරියාවේ රජුට පවර තිබූ බලය" බලෙන් පැහැරගෙන අධිරාජයාට අපහාස කිරීමේ ‍චෝදනාවට මා නිලධාරියා විසින් දේවොන්ගුන්ව අත්අඩංගුවට ගන්නා ලදී.[4] කෙසේනමුත්, ඔහු රජුගේ පියා වූ බැවින්, ඔහුට මෘදු අයුරින් සලකන ලදී. චීන සෙබලුන් සියයකගේ ආරක්ෂාව සහිතව දේවොන්ගුන්ව චීන යුධනැවක නංවා ටියෙන්ට්සින් වෙත ගෙනයන ලදී.[4]

නැවත කොරියාව වෙත පැමිණීම

[සංස්කරණය]

1885 බිඳ වැටීමත් සමග "අගබිසව සහ ඇගේ අනුගාමිකයන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ" චීනය දේවොන්ගුන්ව නැවත කොරියාව වෙත පිටත් කළේ ය.[4]

ගැබෝ ප්‍රතිසංස්කරණය

[සංස්කරණය]

1894දී, ජපනුන් කොරියාව කෙරෙහි සිය බලපෑම ශක්තිමත් කරන්නට වූහ. ගැබෝ ප්‍රතිසංස්කරණයේ දී ඔවුනට නම්‍යශීලී කොරියානු නායකයකු අවශ්‍ය විය. ඔවුහු ඒ සඳහා වඩාත් සුදුසුම තැනැත්තා දේවොන්ගුන් බව වටහා ගත්හ. ඔහුගේ එකඟතාව හිමිවීමෙන් පසු, ජූලි 23 දින ජපන්නු, ගෝජොං විසින් ඔහුට පනවා තිබූ නිවාස අඩස්සියෙන් ඔහුව මුදා ගත්හ. මෙම උදව්වට ප්‍රතිඋපකාර ලෙස දේවොන්ගුන් පොරොන්දුවක් ඉල්ලා සිටියේ මෙම ප්‍රතිසංස්කරණය සාර්ථක වුවහොත් "ජපානය කොරියාවේ එක් බිම් කඩකුදු ඉල්ලා නොසිටිය යුතු බවටයි".[1] සෙබලු ඔහුව මාලිගය වෙත රැගෙන ගියහ. ගෝජොං රජුට නින්දා කළ දේවොන්ගුන් තමන් නැවත පාලනය භාරගන්නා බවට නිවේදනය කළේ ය.[1]

දේවොන්ගුන් බලයට පත්වීමෙන් ජපනුන් භීතියට පත් විය. සේවොන්ගුන්ට අවශ්‍යව තිබුණේ "බලය අතට ගෙන, ප්‍රතිවාදීන්ට දඬුවම් කිරීමට බවත් ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය කෙරෙහි ඔහුට උනන්දුවක් නොමැති බවත් පෙනෙන්නට තිබිණි".[1] 1894 සැප්තැම්බර් වන විට, දේවොන්ගුන් විශ්වාස කටයුතු පුද්ගලයකු නොවන බව ජපන්නු වටහා ගත්හ. ඔක්තෝබර් මුල වන විට, "තේවොන්ගුන් [දේවොන්ගුන්]ව අතකොලුවක් ලෙස යොදා ගෙන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට වන සැලසුම සාර්ථක නොවන" බව පෙනෙන්නට තිබිණි.[1] ජපන් රාජ්‍යතාන්ත්‍රිකයකු වූ ඉනෝයි කඔරු නව නේවාසික අමාත්‍ය ලෙස පත්කෙරිණි. ඔහු දේවොන්ගුන්ට පැවසූයේ "ඔබ සැමවිටම අතරමග නවතියි" යනුවෙනි. අනතුරුව ඔහු දේවොන්ගුන්ට බලකළේ "දේශපාලන බාධාවීම්වලින් වැළකී සිටින ලෙසයි".[1]

මින් අගබිසවගේ ඝාතනයට දායකත්වය

[සංස්කරණය]

1895දී, කොරියාවේ විසූ ජපන් නිලධාරීන් ගෝජොංගේ බිසව වූ මින් රැජිණ ඉවත් කිරීමට සැලසුම් සකස් කළහ. ඉනෝයි නඔරුගේ අනුප්‍රාප්තිකයා ලෙස කොරියානු රජයේ ජපන් උපදේශක බවට පත් මියුරා ගොරෝ සහ ජපන් තානාපති කාර්යාලයේ ලේකම්වරයා වූ සුගිමුරා ෆුකාෂි මෙය සැලසුම් කළෝ ය. මෙම කුමන්ත්‍රණයට දේවොන්ගුන්වද සහභාගී කරවා ගැනීමට සිතූ ඔවුහු, සාකච්ඡා පැවැත්වීමෙන් පසු දේවොන්ගුන්ද ඔවුන් සමග එකතු වීමට තරම් මින් අගබිසව කෙරෙහි කෝපයෙන් සිටින බව වටහා ගත්හ.[4] 1895 ඔක්තෝබර් 8 දින, උදෑසන ජපන් පොලිස් භටයින් ‍දේවොන්ගුන්ව මාලිගය වෙත රැගෙන ගියෝය.[4] එතැන්සිට මෙම අපරාධයට දේවොන්ගුන්ගේ සම්බන්ධතාවය පැහැදිළි නැත. නමුත් එම උදෑසන, ජපන් නියෝජිතයින් විසින් මින් අගබිසව ඝාතනය කරන ලදී.

දේවොන්ගුන් මියගියේ 1898දී ය.[4]

  • පියා: නම්යොන් කුමරු (남연군, 1788–1836)
  • මව: මින් යෝහ්‍යුං ආර්යාව
  • බිරිඳ: යෝහ්‍යුං මින් වංශයේ මින් යෝහ්‍යුං මහා ආර්යාව, මහා මාලිගයේ කුමරුගේ වල්ලභ කුමරිය (여흥부대부인 민씨, 1818–1898)
  • පුතුන්:
  1. යි ජේ-ම්යොන් (이재면, 1845–1912)
  2. යි මියොං-බොක් (이명복, 8 සැප්තැම්බර් 1852 – 21 ජනවාරි 1919)
  3. යි ජේ-සොන් (이재선, ?-1881)^

සටහන්

[සංස්කරණය]
1.^ කාලානුක්‍රමය අනුව: සොන්ජෝගේ පියා (දොක්හ්‍යුං දේවොන්ගුන්), ඔහුගේ පුත්‍රයා (ජොංවොන් දේවොන්ගුන්; ඉන්ජෝගේ පියා), සහ චොල්ජොංගේ පියා (ජොංග්යේ දේවොන්ගුන්). ගෝජොංගේ පියා සිව්වැන්නා මෙන්ම අවසාන දේවොන්ගුන්වරයා වේ.
2.^ ඔහු නීත්‍යානුකූල නොවන පුත්‍රයෙකි.

මේවාත් බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b c d e f කොන්රෝයි, හිලරි. ද ජැපනීස් සෙයිසර් ඔෆ් කොරියා, 1868-1910: අ ස්ටඩි ඔෆ් රියලිස්ම් ඇන්ඩ් අයිඩියලිස්ම් ඉන් ඉන්ටර්නැෂනල් රිලේෂන්ස්. ෆිලඩෙල්ෆියා: යුනිවර්සිටි ඔෆ් පෙන්සිල්වේනියා ප්‍රෙස්, 1960.
  2. ^ a b c d e f g h චෝයි චිං යොං. ද රූල් ඔෆ් ද තේවොන්ගුන්, 1864-1873: රීස්ටෝරේෂන් ඉන් යි කොරියා. කේම්බ්‍රිජ්, Mass.: නැගෙනහිර ආසියානු පර්යේෂණ මධ්‍යස්ථානය, හාවර්ඩ් විශ්වවිද්‍යාලය, 1972.
  3. ^ a b c d e f කියුමිංස්, බෲස්. කොරියා’ස් ‍ප්ලේස් ඉන් ද සන්: අ මොඩර්න් හිස්ට්‍රි. නිව් යෝක්: ඩබ්. ඩබ්. නෝටන් සහ සමාගම, 2005.
  4. ^ a b c d e f g h i j k l m කිම්, ෂී. අයි. ඉයුජීන් සහ හන්-ක්යෝ කිම්. කොරියා ඇන්ඩ් ද පොලිටික්ස් ඔෆ් ඉම්පීරියලිස්ම්: 1876-1910. බර්ක්ලේ සහ ලොස් ඇන්ජලීස්: යුනිවර්සිටි ඔෆ් කැලිෆෝනියා ප්‍රෙස්, 1967.
  5. ^ නෙෆ්, රොබට් (21 ජූලි 2010). "ජර්මන් මර්චන්ට්'ස් ‍බොඩි-ස්නැචිං එක්ස්පෙඩිෂන් ඉන් 1868". ද කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 22 ජූනි 2015.
  6. ^ සු-ඉල්, ජේ. (2007). ද වර්ල්ඩ් ඉන්සයිඩ් කොරියා හව් හෑව් වී කොමියුනිකේටඩ් විත් ද වර්ල්ඩ්?. ද රීවිව් ඔෆ් කොරියන් ස්ටඩීස්, 10(2), 189-200. ISO 690

ලී, මූන්-සු. කොරියා දොංහක් ඇකඩමි ජර්නලය වෙළුම.11 අං.-(2002). Heungseundaewongun's Political reformation and its Limitation during Late Chosen Dynasty. පි. 1-29. කොරියානු ජනරජය: හංගුක් දොංහක් ඇකඩමිය, 2002.

බාහිර සබැඳි

[සංස්කරණය]