ලෙප්ටොස්පයිරෝසිස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

වෛද්‍ය විද්‍යාවට අනුව ලෙප්ටදස්පයිරෝසස් (Leptospirosis) ලෙසින් හඳුන්වන මේ රෝගය “ලෙප්ටෝස්පයිරා” නම් ඉතාමත් වේගයෙන් චලනය වන බැක්ටීරියාවක් මගින් බෝවන රෝගයකි.

මේ කාණ්ඩයට අයත් බැක්ටීරියා ප‍්‍රබේද දෙසීයක් (200) ක් පමණ අද වන විට ලෝකය පුරා රටවල් වලින් හඳුනාගෙන තිබේ.

ලෝකය පුරා මේ බැක්ටීරියාවෙන් පතුරුවන රෝග තත්ත්වය වාර්තා වුව ද නිවර්තන හා උප නිවර්තන රටවලින් බහුලව මේ රොගීන් හමු වේ. ශ‍්‍රී ලංකාවේ ද මෙවැනි බැක්ටීරියා ප‍්‍රබේද හයක් සොයාගෙන තිබේ. ශ‍්‍රී ලංකාවට ආවේණික රෝගයක් වන ජනවහරේ මී උණ නමින් හඳුන්වන රෝග තත්ත්වය ද වැළඳෙන්නේ මේ බැක්ටීරියාකාරකය මගිනි.

ශ‍්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මී උණ රෝගීන් ප‍්‍රමාණයක් සහ මරණ ප‍්‍රමාණයක් සිදු වූ වර්ෂය වශයෙන් පසුගිය 2008 වර්ෂය වාර්තාගත වී තිබේ. පසුගිය වසරේ මී උණ රෝගයට හත් දහස් හාරසිය හය දෙනෙකු ගොදුරු වී තිබේ. ඉන් දෙසීයක් පමණ මිය ගොස් ඇත.

ගොවිපළ සතුන්

විශේෂයෙන් මේ රෝග කාරක බැක්ටීරියාව ගොවිපළ සතුන්,, සුනඛයන් , පූසන්, මීයන්, ඌරුමීයන් හා මුගටියන් ඇතුළු කැලෑබද ක්‍ෂිරපායී සතුන්ගේ වකුගඩුවලින් ස්වාභාවිකව හමු වේ.

අලුත් ම සමීක්‍ෂණයකට අනුව මී ගවයන්ගේ මළ සහ මුත‍්‍රාවලද මේ බැක්ටීරියාකාරක විසබීජය පවතින බව ද ශ‍්‍රී ලාංකික වෛද්‍යවරුන් පිරිසක් විසින් හෙළිකැරගෙන තිබේ.

ම් සතුන්ගේ මුත‍්‍රා මගින් දූෂිත වූ ජලය, පස් හා ආහාර මිනිස් ශරීරයට රෝග කාරක ඇතුළු වන වඩාත් සුලභ ම මාර්ගය වේ.සත්ත්ව පාලනය, කෘෂිකාර්මික කටයුතුවල නියුතු වූවන්ට රෝග වැළඳීමේ වැඩි අවධානමක් පවතියි.

මෙවැනි කි‍්‍රයා හෝ එකී පරිසරය ආශ‍්‍රිත කටයුතු කරන්නන්ගේ සමේ පිපිරීම් තුවාල හෝ නාසයේ මුඛයේ හෝ ඇසෙහි “ශ්ලේෂමල” පටලවලින් ලෙපේටෝස්පයිරාවන් නැමැති මේ රෝග කාරක බැක්ටීරියාව ශරීර ගතවීමේ හැකියාව ඉතා බහුලය.

දූෂිත ජලය පානය කිරීමෙන්ද මේ විසබීජය ශරීර ගතවිය හැකිය. මේ බැක්ටීරියාව ශරීරගත වීමෙන් පසුව රුධිර සංසරණයට ඇතුළු වී සිරුරෙහි සියලුම අවයව හා පටල ආක‍්‍රමණය කරයි.

රෝග ලක්ෂණ

රෝගකාරක බැක්ටීරියාව ශරීරගතවී දින පහත් දාහතරත් අතර කාලයක දී රෝග ලක්ෂණ පහළ වේ. අනිකුත් උණ රෝගවලට වඩාපුළුල් පරාශයක මේ රෝගයේ රෝග ලක්ෂණ පැතිරී පවතියි.

එම රෝග ලක්ෂණ අතර මද උණ ගතියක සිට මරණය දක්වා ව්‍යාප්ත විය හැකිය.

මෙහි රෝග ලක්ෂණ ඇතැම් විට ඩෙංගු උණ, ඉන්ෆ්ලූවන්සාව, මෙනින්ජිපටල ප‍්‍රදාහය හා අක්මා ප‍්‍රදාහය හෙවත් හෙපටයිටීස් වැනි රෝග ලක්ෂණ වලට ද සමාන විය හැකිය.

එකවර හටගත් උණ, සීතල, ඇස් රතුවීම, හිසරදය, කොන්ද හා කෙන්ද ආශ‍්‍රිතව මස් පිඬු වේදනාව ඇතිවූ විට සැලකිලිමත් විය යුතුය.

මේ රෝග ලක්ෂණ පහළ වූ විට රෝගය පිළිබඳ නිවැරැදි ම නිරීක්ෂණයකට එළඹීමට නම් රෝගීන්ගේ ප‍්‍රතිදේහ (MAT) පරීක්ෂාවක්, මුත‍්‍රා පරීක්ෂණයේ දී ඇල්බියුමින් පෝටීන් තිබීම රුධිර පරීක්ෂණයේදී සුදු රුධිරානු (WBC / DC) වැඩි වීම වෛද්‍ය වරුන්ට රෝගය පිළිබඳව නිෂ්චිත තීරණ ගැනීමට හැකියාව උදා කරති.

වෛද්‍ය උපදෙස්

වෛද්‍ය උපදෙස් අනුව නියමිත ප‍්‍රතිකාර කිරීමෙන් රෝගය පහසුවෙන් සුව කළ හැකි රෝගයකි. රෝග ලක්ෂණ පහළ වූ වහාම පලදායී ප‍්‍රතිජීවක භාවිතා කොට ප‍්‍රමාද නොකර ප‍්‍රතිකාර කිරීම ආරම්භ කළ යුතුය.

කිසිවිටෙකත් පරීක්ෂණවල ප‍්‍රතිඵල ලැබෙන තුරු ප‍්‍රතිකාර ප‍්‍රමාද නොකළ යුතුය. ඊට හේතුව රුධිර පරීක්ෂණයෙන් මේ රෝගය වැළඳී තිබේදැයි හඳුනාගත හැක්කේ රෝග ලක්ෂණ පහළ වී සතියක් පමණ කාලයක් ගත වීමෙන් පසුව වීමයි.

රෝග ලක්ෂණ ඇති වූ වහාම රෝගීන්ගේ ශරීරයේ තරල හා අයන සමතුලිතතාව පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුය. වකුගඩු අකී‍්‍රයවීමක් සිදුවූහොත් ඉතා ඉක්මනින්ම කෘතී‍්‍රමව රුධිරය පිරිසුදු කිරීම කළ යුතුය.

මේ රෝගය සහ ඊට ප‍්‍රතිකාර ක‍්‍රම පිළිබඳ විවිධ ප‍්‍රදේශවල ඇතැම් පිරිස් මිථ්‍යා මත දරති. එවැනි තත්ත්වය හේතුවෙන් රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත් වෙති. රෝගය පිළිබඳව ලක්ෂණ පහළ වූ වහාම රජයේ රෝහල් වෙත වාර්තා කරන ලෙස මෙහි දී සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙති.

කුඹුරු ගොවීන්

ඒ අතර රටට බත සපයන ගොවියාත් සත්ත්ව නිෂ්පාදනය හා සත්ත්ව පාලනයෙන් කිරි හා සත්ත්ව නිෂ්පාදනය ආශ‍්‍රිත නිපැයුම්වල යෙදෙන පිරිස සඳහා වැඩි අවධානමක් එල්ල කර තිබීම ඉතා කනගාටුදායක කරුණකි.

දැනට රෝගයෙන් මියගොස් ඇති පිරිසෙන් වැඩි කොටසක් මෙකී ක්ෂේත‍්‍රවල නියලෙන අයයි.

විශාල වගකීමක්

කෙසේ වෙතත් දැයට බත සපයන ගොවියා ඇතුළු රටේ ශ‍්‍රම බළකායේ ශක්තිමත්ම පුරුක හා රටේ අනාගතය භාර ගැනීමට සැරැසෙන පිරිස රැක ගැනීම සඳහා ප‍්‍රායෝගිකව සාර්ථක කි‍්‍රයා මාර්ගයකින් රෝග මර්දනයට පිවිසිය යුතු කාලය එළඹ ඇති බව මෙරට සෞඛ්‍ය අංශ පමණක් නොව රටේ සියලු ජන කොටස් අවධාරනයෙන් සිහිකැඳවාගත යුතුය. එහිදී මේ රෝග මර්දනයේ දී මහජනතාවට ද විශාල වගකීමක් පවතින බවද කිවයුතු ය.

මේ රෝගවලින් මිදීමට මහජනතාව විසින් අනුගමනය කළ යුතු කි‍්‍රයා මාර්ග රැසක් පවතියි.

රෝගය වළක්වාගැනීම සඳහා මිනිස් වාසයට ආසන්න පරිසරය පිරිසුදුව තබාගැනීම හා රෝගකාරක විෂබීජ ඇතිවන ස්ථාන හා මාර්ග විනාශ කිරීමට පියවර ගැනීම, ගෙවතු, කී‍්‍රඩාපිටි ආදී ළමයින් කී‍්‍රඩා කරන ස්ථාන ආසන්නයේ රෝගකාරක විෂබීජය පතුරුවන සතුන් ගැවසීම වැළැක්වීම, ගොවිපළවල් හා සත්ත්ව පාලනයේ නියළෙන පිරිස් අවදානම් කටයුතු හා ස්ථානවලදී ආරක්ෂිත ඇඳුම් පැළඳීම, අපවිත‍්‍ර ජලය ඇතුළු නොවන පරිදි තුවාල ආවරණය කර ගැනීම, (විශේෂයෙන් මෙහිදී කුඹුරු ගොවීන් ඉතා සැලකිලිමත් විය යුතුය) උතුරුවාගත් ජලය පානය කිරීම, ගංවතුරෙහි ගමන් කිරීමෙන් වැළකීම ඇතුළු ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට ජනතාව මෙහිදී අවධාරණය කර ගත යුතුය.

ප‍්‍රතිජීවක ඖෂධ

රෝගය වැළැක්වීමට කුඹුරු ගොවීන් සඳහා කුඹුරට බැසීමට පෙර භාවිතා කිරීමට සුදුසුයැයි වෛද්‍යවරුන් විසින් අනුමත කරන ලද ප‍්‍රතිජීවක ඖෂධයක් වශයෙන් සැලකෙන “ඩොක්සිසයික්ලින්” (Doxycyline) නම් ඖෂධය සතියකට වරක් වෛද්‍ය උපදෙස් අනුව ලබා දීමට පියවර ගෙන තිබේ.

එමගින් මේ රෝගකාරක බැක්ටීරියාවට එරෙහිව ශරීරය ප‍්‍රතිශක්තීකරණයක් ඇති කරනු ලබයි. ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගෙන් මේ ඖෂධය ගොවීන් වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ ඖෂධය වුව ද ලබා ගැනීමේදී අනිවාර්යෙන් ම වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතා කරන මෙන් මහජනතාවට එම නිලධාරීහු දැනුම් දෙති.

"http://si.wikipedia.org/w/index.php?title=ලෙප්ටොස්පයිරෝසිස්&oldid=269265" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි