මුඩුක්කු සහ පැල්පත්

විකිපීඩියා වෙතින්
මැනිලා නගරයේ පැල්පත් නිවාස

මුඩුක්කු සහ පැල්පත් යන්න නිරන්තරයෙන්ම එකට භාවිතා වන බව පෙනේ. මෙම මුඩුක්කු සහ පැල්පත් වාසීන් අඩු ආදායම් නිවාස හිමියන් ලෙසද හැඳින්වේ. එක්සත් ජතීන්ගේ නියෝජිත ආයතනයක් වන UN HABITAT දක්වන ලෙස මුඩුක්කු යනු නගරයක දුර්වල ප්‍රදේශයක් වන අතර ඒවායෙහි බාල තත්ත්‍වයේ නිවාස සහ පැල්පත් මෙන්ම නිවාස අයිතිය නොමැති වීම ආදී ලක්‍ෂණ සහිතය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ලොව පුරා බිලියන එකක ජනගහණයක් මුඩුක්කු වල ජීවත් වේ. එමෙන්ම 2030 වන විට එම ප්‍රමාණය බිලියන දෙකක් දක්වා වර්දනය වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

පැල්පත් යන්න සලකා බැලූ විට ඉවත ලන අමුද්‍රව්‍ය වලින් සකසාගත් දිළිඳු නිවාස වල දිළිඳු ජනයා වාසය කරන ස්ථාන ලෙස හඳුනාගත හැක. බොහෝ විට මෙම පැල්පත් තැනීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය අතර තුතී ලෑලි, වානේ තහඩු සහ ප්ලාස්ටික් තහඩු දැකිය හැක. මෙම පැල්පත් නිවාස බොහෝ විට නගර පර්යන්තයේ ගොඩනගන අතර ප්‍රමාණවත්සනීපාරක්‍ෂක පහසුකම් වලින් යුක්ත නොවේ.

කෙසේ වෙතත් මොවුන් නාගරික සමාජය තුළ ජීවත් වන විශේෂ සමාජ කොට්ඨාශයක් ලෙස දැක්විය හැක. මෙලෙස පවසන්නේ ඔවුන්ගේ ජීවන විලාශයන්, ජීවත් වීමට ඇති අවකාශ/ඉඩ ප්‍රස්ථා, මුඩුක්කු සහ පැල්පත් වල දක්නට ඇති සමාජ ව්‍යුහය සහ නගරයේ ආර්ථිකය හා දුගීබාවය පදනම් කොට ගෙනය. මෙම මුඩුක්කු සහ පැල්පත් දැකගත හැක්කේ දුප්පත් හෝ සංවර්ධනය වෙමින් පවතින රටවල පමණක් නොවේ. අද වන විට ඇමරිකාවේ චිකාගෝ නගරය ආදී ඉහල ආදායම් රටවලත් මුඩුක්කු ඇත. එමෙන්ම ලොව සැලසුම් කළ/නොකළ, විශාල/කුඩා, නව/පැරණි යන ඕනෑම නගරයක මුඩුක්කු පැල්පත් දැකගත හැක.

Slum යන ඉංග්‍රීසි වදන[සංස්කරණය]

මුඩුක්කු සහ පැල්පත් ජනාවාස වල වර්ධනය[සංස්කරණය]

මුඩුක්කු සහ පැල්පත් ජනාවාස වල ලක්‍ෂණ[සංස්කරණය]

මෙම ලක්‍ෂණ ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ. එසේ වුවද 1960 ගණන් වල ක්ලිනාඩ් විසින් පොදුවේ ලෝකයේ මුඩුක්කු සහ පැල්පත් වල දැකිය හැකි ලක්‍ෂණ ගණනාවක් පෙන්වාදී ඇති අතර අදටත් එම තත්ත්‍වයන් එසේම පවතින බව නොයෙක් සමාජ විද්‍යාඥයන් පෙන්වා දී ඇත. ඒවා නම් :

  1. මුඩුක්කු සහ පැල්පත් වල පවුලකට අයිති පුද්ගල සංඛ්‍යාව අධික වීම.එනම් මුඩුක්කු / පැල්පත් වල ජනගහණය අධිකය.
  2. මුඩුක්කු සහ පැල්පත් වල පෞද්ගලිකත්වයක් නොමැත.
  3. වතුර, වැසිකිළි පහසුකම් ආදී පොදු පහසුකම් වල හිඟතාවයක් පැවතීම.
  4. අපරාධ වල ඉහළ අනුපාතය.
  5. කියවීමට සහ ලිවීමට ඇති සාක්‍ෂරතාව අවම වීම.
  6. රැකියා වියුක්තිය, මදිරාබාධය, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම, දේශපාලන / සමාජීය අසහනකාරීත්වය මේවා තුළ හඳුනාගත හැකිවීම.
  7. දුර්වල නිවාස තත්ත්‍වය.
  8. කාණු පද්ධති වල ජරාව ඒකරාශී වීම.

මීට අමතරව ඔස්කාර් ලුවිස් (1968) පෙන්වා දී ඇත්තේ මෙම මුඩුක්කු පැල්පත් වල දුගීකමේ සංස්කෘතියක් දැකගත හැකි බවය. මෙක්සිකෝ නගරය ආශ්‍රිතව සිදු කරන ලද අධ්‍යයනයක් පදනම් කර ගනිමින් ඔහු දක්වන්නේ මෙම දුගී පුද්ගලයන් දුගීබවේ චක්‍රයක් තුළම ජීවත් වන බවය. එමෙන්ම මොවුන්ගේ සිතීමේ රටාවන්, අධ්‍යාපන රටාවන් පරම්පරාවෙන් පරම්පරාවට ඒ අන්දමටම පවතින බවත්ය.


පැල්පත් වර්ග[සංස්කරණය]


චාල්ස් ඒබ්‍රහම් (1977) දකුණු ඇමරිකානු නගර තුළ සිදු කරන ලද අධ්‍යයනයන්ගෙන් එකිනෙකට වෙනස් පැල්පත් වර්ග පහක් හඳුනා ගැණින.

  • හිමිකාරයෙකු සතු පැල්පත්.

මොවුනට තමන් වාසය කරන නිවාස අයත් වුවත් එය පිහිටා ඇති භූමිය අයත් නොවේ.

  • පැල්පත් බදු ගන්ණන්.

මෙම පිරිස නගරයට අලුතින් සංක්‍රමණය වන පිරිස් වන අතර පැල්පත් නිවාස බද්දට හෝ කුලියට ගෙන වාසය කරයි.

  • ලාභ අපේක්‍ෂාවෙන් ඉදිකරන පැල්පත්.

මොවුන් ඉඩමේ අයිතිය ලබා ගැනීම උදෙසා ඒවායේ මිනිසුන් පදිංචි කරවා දේපළ අයිතිය ලබා ගැනීමට උත්සාහ කරයි.

  • ගබඩා හෝ ව්‍යාපාරික පැල්පත්.

ගබඩා පහසුකම් හෝ ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගන්නා පැල්පත් වන අතර පුද්ගලයන්ද ඒවා තුළම ජීවත් වේ.

  • අර්ධ පැල්පත්.

මොවුන් පුද්ගලික ඉඩම් තුළ නිවාස ඉදිකොට පසුව ඉඩම් හිමියන් සමග කුලියක් ගෙවීමට හෝ මිලදී ගැනීමට එකඟතාවකට පැමිණි පිරිස්ය.

මුඩුක්කු සහ පැල්පත් හරහා මතු වන ගැටළු[සංස්කරණය]

විශේෂයෙන්ම මෙම මුඩුක්කු සහ පැල්පත් ආශ්‍රිතව ඔවුනට ආවේණික සංස්කෘතියක් දැකගත හැක. එම සංස්කෘතියට අනුගත වීමෙන් මෙ වැසියන් නොයෙක් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට සහ අපරාධ වලට යොමු වීමේ ඉහළ අනුපාතයක් පවතී.බොහෝ මුඩුක්කු වැසියන් අවිධිමත් ආර්ථික කටයුතු වල නිරතවේ. එනම් මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම, ගණිකා වෘත්තිය, මංකොල්ල කෑම මෙන්ම අවිධිමත් ආර්ථික ක්‍රියා ආදී ධන උපාය මාර්ග වලටද යොමු වීම හරහා විවිධ සමාජ ගැටළු උද්ගතවීම දැකගක හැක.එවැනි තත්ත්‍වයන්ට ප්‍රධාන හේතුව වී ඇත්තේ ආර්ථික වශයෙන් මොවුන් ඉතා දුෂ්කර තත්ත්‍වයන්ට මුහුණ දී සිටීමය. ඒ හැරුණු විට මෙම සමාජ කණ්ඩායම තුළ දැකිය හැකි වෙනත් ගැටළු සහගත තත්ත්‍වයන් ලෙස විවාහ වල අස්ථාවරත්වය, බාල අපරාධ, මදිරාබාධය, පාසැල් හැර යාම ආදිය කීපයක් ලෙස පෙන්වා දිය හැක. මෙම ගැටළු බොහෝමයකට පදනම වී ඇත්තේ මුඩුක්කු සහ පැල්පත් පරිසරයයි. අනෙක් අතට අපිරිසිදු පරිසරය සහ සෞඛ්‍ය පහසුකම් නොමැති වීම ආදිය නිසා සෞඛ්‍ය තර්ජනයන්ද මෙම වාසස්ථානවල බහුලව දැකගත හැකිය. ඉන්දියාව සලකා බැලූ විට 60% කට වැඩි කල්කටා, බොම්බේ, කාන්පූර් සහ නාග්පූර් ආදී ප්‍රදේශ වල තනි කාමරයේ මුඩුක්කු වාසය සඳහා සුදුසු නොවේ. එම පැල්පත් වල අඳුරු සහගත බව සහ තදබදය පිරිසිදු වාතය අවම කරයි. එසේ වුවද මෙම තනි කාමරයේ ජීවත්වන පුද්ගලයන් සංඛ්‍යාව 4 - 10 තරම් වේ.

කෙසේ වෙතත් එක්සත් ජාතීන් වාර්තා කරන පරිදි සියලු නාගරික වැසියන්ගෙන් තුනෙන් එකකට වඩා මුඩුක්කු සහ පැල්පත් වල වාසය කරන අතර ඉන් බහුතරය සංවර්ධනය වෙමින් පවතින රටවල නගර වේ.වර්ෂ 2006 UN-HABITAT වාර්තාවට අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල මිනිසුන් මිලියන 327ක් මුඩුක්කු සහ පැල්පත් වල ජීවත්වේ. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලින් හතරෙන් එකකම (අප්‍රිකානු, ආසියානු, පැසිෆික්) නාගරික පදිංචිකරුවන් තිදෙනෙකුගෙන් දෙදෙනෙක්ම මුඩුක්කු වල ජීවත් වන අතර මෙම රටවල් බොහෝමයක් සීඝ්‍රයෙන් නාගරීකරණය වෙමින් පවතී.

පැල්පත් නගරද අද වන විට රටවල් ගණනාවක දැකගත හැක. ලොව විශාලතම පැල්පත් නගරය ලෙස මෙක්සිකෝවේ "Neza-Chalco-Itza barrio" හැඳින්වේ. එමෙන්ම ආසියාවේ විශාලතම පැල්පත් නගරය පාකිස්තානයේ කරච්චි නුවර "ඔරන්ගි" නාගරිකය වන අතර අප්‍රිකා මහද්වීපයේ නම් කෙන්යාවේ නයිරෝබි නුවර "කිබේරා" නාගරිකය විශාලතම පැල්පත් නගරය වේ.

පිංතූර ගැලරිය[සංස්කරණය]

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

බාහැර සබැඳි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  • Abrams Charles, 1990, "Slums".In A. R. Desai, Devadas Pillai (ed.), Slums and Urbanization, Bombay,Popular Press Bldg.
"https://si.wikipedia.org/w/index.php?title=මුඩුක්කු_සහ_පැල්පත්&oldid=592986" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි