මනෝ විශ්ලේෂණවාදය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Psychoanalysis
Intervention
ICD-9-CM 94.31
MeSH D011572
Freud picture.jpg

මිනිසාගේ දැනීමට හෝ පාලනයට හසු නොවන අවිඥාන මනසේ (Unconscious Mind) හෙවත් යටි සිතෙහි තිබෙන බලවේගයන් හා ගැටුම් පිළිබදව අධ්‍යයනය කරනුයේ මනේගතික විද්‍යාවෙනි. යටි සිතෙහි ක්‍රියාකාරීත්වයන් මිනිසාගේ චර්යාව කෙරෙහි මෙන්ම, මිනිසාගේ චර්යාවන් ද යටි සිතෙහි ක්‍රියාදාමයන්ට බලපෑම් ඇති කරන බව විද්‍යාත්මක පදනමකින් විග්‍රහ කරනු ලබන න්‍යාය මනෝ විශ්ලේෂණවාදය නම් වේ. යටි සිතෙහි බලවේග පිළිබදව විද්‍යාත්මක හැදෑරීම් හි පු‍රෝගාමියා ලෙස සැලකෙනුයේ ඕස්ට්‍රියාවේ ප්‍රසිද්ධ ස්නායු වෛද්‍යවරයෙකු වූ සිග්මන්ඩ් ප්‍රොයිඩ් (Sigmund Freud, 1856-1939) ය. මනෝවිශ්ලේෂණවාදය‍ (Psychoanalysis) වශයෙන් හැදින්වෙන ප්‍රොයිඩ්වාදය මනෝවිද්‍යාත්මක න්‍යායයක්, පර්යේෂණාත්මක විධික්‍රමයක් වශයෙන් මෙන්ම මානසික ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන්ද ප්‍රසිද්ධය.

පටුන

මනෝ විශ්ලේෂණවාදයේ වැදගත්කම[සංස්කරණය]

බොහෝ කරුණු හේතුවෙන් මනෝවිද්‍යාවේ විවිධ ගුරුකුල අතරින් මනෝවිශ්ලේෂණවාදය‍ට හිමි වන්නේ සුවිශේෂ හා වැදගත් ස්ථානයකි.

ප්‍රථමයෙන්, අනෙක් සෑම මනෝවිද්‍යා ගුරුකුලයකටම වඩා වෙනස්ව මනෝවිශ්ලේෂණවාදය‍ මනෝවිද්‍යා විෂයයෙන්ම ප්‍රභවය වූයේ නැත. විශේෂයෙන් එහි නිර්මාතෘ සිග්මන්ඩ් ප්‍රොයිඩ් තම න්‍යායය ගොඩ නැගීමට ආධාර කරගත්තේ විශ්ව විද්‍යාල පර්යේෂණාගාර නොව තමාගේ චිකිත්සාගාරයයි. මේ කාලයේ පැවති මනෝවිද්‍යා ගුරුකුලවල පොදු එකගතාවයක් වූයේ පර්යේෂණාගාර, පුස්තකාල සහ දේශනාගාර ආශ්‍රිතව මූලික සංකල්ප බිහි කිරීමයි. එනිසාම ඔවුනගේ අධ්‍යයන කටයුතු සංජානනය, සංවේදනය, මතකය සහ ඉගෙනුම යන පොදු සංකල්පයන්ගෙන් බැහැරට යොමු වූයේ නැත. එසේම ඔවුන් ස්වාභාවික විද්‍යාවන්ට සමාන්තරව මනෝවිද්‍යා ඥානය ගොඩනැගීමේ ප්‍රයත්නයක නියුක්ත වූහ. එහෙත් ප්‍රොයිඩ්ගේ න්‍යාය මානසික රෝගීන් ආශ්‍රිතව ගොඩ නැගුණු අතර එහි මූලධර්ම පෞරුෂය, චිත්තවේග, ප්‍රේරණ, මනස සහ මානසික ප්‍රතිකාර වැනි නව මංපෙත් කරා යොමු විය. ප්‍රොයිඩ්ගෙන් පසු ඔහුගේ සෑම අනුගාමිකයෙක්ම අද දක්වාම අනුගමනය කරන්නේ මෙම සම්ප්‍රදායයි. එබැවින් මනෝවිශ්ලේෂණවාදය‍ මගින් නව සම්ප්‍රදාය, නව සංකල්ප, නව විධික්‍රම මනෝවිද්‍යාව‍ට හඳුන්වා දුන් ගුරුකුලයක් වශයෙන් කැපී පෙනේ.

දෙවනුව මනෝවිශ්ලේෂණවාදය මනෝවිද්‍යාවේ පටු සීමාවන් ඉක්මවා තවත් විෂය ක්‍ෂේත්‍ර රාශියකට බලපෑම් කළේය. ඒ අතරින් භාෂා අධ්‍යයනය, දර්ශනය, දේශපාලන විද්‍යාව, ආචාර ධර්ම විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යාව, ආගම් අධ්‍යයනය සහ සෑම කලා ක්‍ෂේත්‍රයකම කැපී පෙනෙයි. මනෝවිශ්ලේෂණවාදය මුල් කරගෙන රමණීය කවි, කථා, ගීත, කාව්‍ය, චිත්‍රපට විශාල සංඛ්‍යාවක් බිහි වී ඇත. මේ නිසාම මනෝවිශ්ලේෂණවාදය නියම මනෝවිද්‍යා ගුරුකුලයක් වශයෙන් පිළිගැනීමට එකල මනෝවිද්‍යාඥයෝ අකමැති වූහ. එහෙත් මනෝවිශ්ලේෂණවාදට මනෝවිද්‍යාවේ පමණක් නොව සමස්ත මානව ඥානයේම නොසෙල්විය හැකි තැනක් ලැබී ඇත. එනිසාම මනෝ විශ්ලේෂණවාදය ස්වාධීන ජාත්‍යන්තර සංවිධානයක් වශයෙන්ද ගොඩනැගී ඇත.

තෙවනුව මනෝවිශ්ලේෂණවාදයේ මෙම විස්තීර්ණ බව හේතුවෙන්ම එය පොදු ජනතාව අතර ඉතාම ජනප්‍රියතම ගුරුකුලය බවට පත්ව ඇත. සමහර පුද්ගලයන් එය ඉතා ආදරයෙන් වැළඳගත් අතර සමහර පුද්රගලයින් එය‍ට වෛර කිරීමට පෙළඹුනාහ. සාම්ප්‍රදායික සූර්යකේන්‍ද්‍රවාදය ප්‍රතික්ෂේප කරමින් ගැලීලියෝ පෘථිවිකේන්‍ද්‍රවාදය ඉදිරිපත් කළ අවස්ථාවේ ලෝකයා කැළඹුණු ආකාරයටම ප්‍රොයිඩ් විසින් විඥානයේ යථා ස්වභාවය හෙළිදරව් කළ විට ලෝකයා යළිත් කැළඹුනහ.

සිව්වනුව මනෝවිශ්ලේෂණවාදය අන්සෑම ගුරුකුලයකටම වෙනස්ව තනි පුද්ගලයෙකුගේ එනම් පෞරුෂය කේන්ද්‍ර කරගෙන ගොඩනැගී ඇත. මනෝවිශ්ලේෂණවාදයේ න්‍යාය සහ මූලධර්ම අති බහුතරය ප්‍රොයිඩ් විසින්ම ගොඩ නගන ලදී. ඔහුගේ අනුගාමිකයන්ගේ කාර්යය වූයේ මෙම න්‍යායය සහ මූලධර්ම පෝෂණය කිරීම, වෙනස් කිරීම සහ අර්ථකතකය කිරීමයි. මෙම සියළු කරුණු හේතුවෙන් මනෝවිද්‍යාවේ විවිධ ගුරුකුල අතරින් මනෝවිශ්ලේෂණවාදය‍ට හිමි වන්නේ සුවිශේෂී හා වැදගත් ස්ථානයකි.

පෞරුෂයේ ව්‍යූහය පිළිබඳ මනෝවිශ්ලේෂණවාදී න්‍යාය[සංස්කරණය]

මනෝවිශ්ලේෂණවාදය‍ට අයත් න්‍යායය හා මූලධර්ම හැදෑරීමේදී ප්‍රථමයෙන් මනස පිළිබඳ ප්‍රොයිඩියානු සංකල්පය කෙරෙහි අවධානය යොමු කිරීම සුදුසුය. ප්‍රොයිඩ්ගේ ඉගැන්වීම් අනූව මිනිස් මනස ප්‍රධාන අංශ තුනකින් සමන්විතය. එනම්,

Freudsmind.gif
  • විඥානය (Conscious Mind)
  • පෙර (උප) විඥානය (Sub-Conscious Mind)
  • අවිඥානය (Unconscious Mind)

මෙම කොටස් තුන එක් වී මනස සකස් වී ඇති ආකාරය පැහැදිලි කිරීම පිණිස ඔහු එක්තරා උපමාවක් යොදා ගත්තේ ය. මෙම උපමාවට අනූව මිනිස් මනස සාග‍රයෙහි පාවෙන විශාල අයිස් කන්දකට සමානය. ඔහු ඉදිරිපත් කරන ලද පළමු විග්‍රහය රූපසටහනකින් මෙසේ දැක්විය හැක.

Brain.JPG

මෙවැනි අයිස් කන්දක මුහුදු මට්ටම‍ට ඉහළින් ප්‍රදර්ශනය වන්නේ ¼ පමණ වූ සුළු කො‍ටසක් පමණි. අයිස් කන්දේ ¾ ක් පමණ වූ විශාල කොටසක් මුහුදු මට්ටමට පහතින් පිහිටා ඇත. මිනිස් මනසෙහි ද පිටතට ප්‍රදර්ශනය වන්නේ සුළු කොටසක් පමණි. ප්‍රොයිඩ් එය විඥානය යනුවෙන් නම් කළහ. චින්තනය, කථනය, තර්කනය හා ප්‍රජානනය වැනි ස්වේච්ඡාවෙන්ම සිදු කරනු ලබන ක්‍රියාවන්ට සම්බන්ධ වන්නේ විඥානයයි.

මුහුදු මට්ටමට පහතින් පිහිටා ඇති අයිස් කන්දේ විශාල කොටස මෙන් මනසෙහි වැඩි කොටස ද අපගේ අවබෝධයෙන් දුරස්ව පිහිටා ඇත. මනසෙහි එවැනි අංශයක් පවතින බවට අපට දැනීමක් හෝ හැගීමක් ඇතිවන්නේ නැත. එබැවින් ප්‍රොයිඩ් එය අවිඥානය වශයෙන් නම් කළේය. ප්‍රොයිඩ් මනෝවිශ්ලේෂණවාදී ආකෘතිය සංවර්ධනය කිරීමේදී වැඩිම අවධානයක් යොමු කළේ අවිඥානය කෙරෙහිය. අවිඥානය මනසෙහි ප්‍රාථමික හා ප්‍රබලම අංශය වේ. සෑම ජීවී චර්යාවක් සඳහාම අවශ්‍ය වන ශක්තිය ගැබ්ව පවතින්නේ අවිඥානයෙහිය. එනිසා එය මනසෙහි අඩිතාලමට සමාන කළ හැකිය. මිනිසාගේ පෞරුෂය සම්බන්ධයෙන් ද අවිඥානය විශාල බලපෑමක් සිදු කරයි.

අවිඥානය සෑම විටම සැඟවුණු හා ගුප්ත ප්‍රපංචයක් ලෙස ප්‍රොයිඩ් විස්තර කළේ නැත. එහි පවතින සමහර අත්දැකීම් සහ මතකයන් තරමක උත්සාහයකින් පසුව විඥානයට නංවා ගත හැකි බව ප්‍රොයිඩ් පෙන්වා දුන්නේය. උදාහරණයක් වශයෙන් තරමක මනස වෙහෙසුවහොත් ඊයේ දිනයේදී කරන ලද බොහෝ ක්‍රියාකාරකම් නැවත මතකයට නගා ගත හැක. මනසෙහි මෙම අංශය විඥානය හා අවිඥානය අතර පවතින වෙනමම කොටසක් ලෙස ප්‍රොයිඩ් විස්තර කළේය. ඔහු එය නම් කළේ පෙර විඥානය වශයෙනි. සාගරයේ පාවෙන අයිස් කන්දෙහි නොගැඹුරු මුහුදේ පිහිටා ඇති කොටසට පෙර විඥානය සමාන කළ හැකිය.

විඥානය හා අවිඥානය නැමති සරල බෙදීම ප්‍රොයිඩ් පසුව සංශෝධනය කළේය. ඒ වෙනුවට මනසෙහි ව්‍යූහය සහ ක්‍රියාකාරකම් පිළිබඳව වඩා සංකීර්ණ සහ ක්‍රමවත් විග්‍රහයක් ඉදිරිපත් කෙරිණි. එහෙත් විඥානය හා අවිඥානය පිළිබඳ පෙර විස්තර කිරීම අවලංගු නොකෙරෙනු අතර ඒවාද මෙම විග්‍රහයට එක් කර ගන්නා ලදී. ප්‍රොයිඩ් නව විග්‍රහය මගින් නැවත වරක් මනස කොටස් තුනකට බෙදනු ලැබීය. එනම්,

  • දළ සිත (Id)
  • පහන් සිත (Ego)
  • සුපහන් සිත - උපරි අහංභාවය (Super Ego)

මෙම බෙදීම් ත්‍රිත්වය විඥානය, පෙර විඥානය සහ අවිඥානය පිළිබඳ බෙදීමට සමාන නැත. පසු විග්‍රහය රූපසටහනකින් මෙසේ දැක්විය හැක.

Brain 2.JPG

දළ සිත (Id)[සංස්කරණය]

නව විග්‍රහයට අයත් ඉඩ් අහංභාවය පෙර විග්‍රහයේ අවිඥානයට සමානය. සුපර් ඊගෝ අහංභාවයෙන් කොටසක් ද අවිඥානයට අයත් වේ. සාමාන්‍ය තත්වයන් යටතේ දැනගත නොහැකි මනසේ විශාල කො‍ටස ඉඩ් ලෙස හැඳින්වේ. එය පුද්ගලයාට උපතින් උරුම වන අතර ඊගෝ සහ සුපර් ඊගෝ අහංභාවය උපතින් පසුව වර්ධනය වේ. සමස්ත මනසෙහි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය එහි ගැබ්ව ඇත. ඒ අනූව මනසෙහි ශක්ති ආකරය වශයෙන් ක්‍රියාකරන්නේ ඉඩ් අහංභාවයයි. ඉඩ්හි මානසික ශක්තිය නිෂ්පාදනය කරන බලවේගය “ආශ” නමින් හඳුන්වන් ලැබේ. ආශ යනු ශරීරයේ ඇතිවන විවිධ ආතතීන් මුදා හැරීමේ දැඩි අවශ්‍යතාවයයි. මානසික ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන්නා වූ ශක්තිය නිෂ්පාදනය කරන්නේ මෙම අවශ්‍යතාවය විසිනි. ආශය උපතින් උරුම වන අතර ජීව විද්‍යත්මක පදනමකින් ද යුක්තය. පුද්ගලයාගේ පෞරුෂය කෙරෙහි වැදගත් වන ප්‍රධාන ආශයන් (Instincts) දෙවර්ගයක් ඉඩ් අහංභාවයේ පවතින බව ප්‍රොයිඩ් පවසයි. එනම්,

  • ජීවන ආශය හෙවත් ඊරෝස් (Eross)
  • මරණ ආශය හෙවත් තන්ටෝස් (Thanatos) ය.

ජීවන ආශය සමන්විත වන්නේ පුද්ගලයාගේ ස්වයං ආරක්ෂක ප්‍රේරණයන් හා ලිංගික ප්‍රේරණයන්ගෙනි. කුසගින්න, ජලය, වාතය සහ උණුසුම යනාදිය ස්වයං ආරක්ෂක ප්‍රේරණයන්ට අයත් වේ. මේවා පුද්ගලයාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධක වූව ද ප්‍රොයිඩ්ගේ වැඩි අවධානයක් යොමු වූයේ ලිංගික ප්‍රේරණයන් කෙරෙහිය. මන්ද ලිංගික ප්‍රේරණය පුද්ගලයාගේ පෞරුෂය හා චර්යාව කෙරෙහි වැඩිම බලපෑමක් ඇති කරන සාධකය ලෙස හේ සැලකූ බැවිනි. ප්‍රොයිඩ් මෙහිදී “ලිංගික” නැමති පදය භාවිතා කරන්නේ පටු අර්ථයකින් නොව “ඉන්ද්‍රීය සුඛය” වැනි පුළුල් අර්ථයකිනි. ජීවන ආශයන් ශක්තියක් ලෙස ප්‍රකාශ වීම හැඳින්වීමට ඔහු “ලිබිඩෝ (Libido)” නම් විශේෂ පදයක් භාවිතා කළේය.

මරණ ආශය සමන්විත වන්නේ තමා පිළිබඳව මෙන්ම අනුන් පිළිබඳ විනාශකාරී ප්‍රේරණයන්ගෙනි. ආක්‍රමණශීලීත්වය, ප්‍රචණ්ඩත්වය, සියදිවි නසා ගැනීම, පරපීඩක කාමුකත්වය, කෝපය යනාදී ප්‍රේරණයන්ගෙන් මරණ ආශය සමන්විත වේ. මරණ ආශය ද ජීවන ආශය ද සමාන වැදගත්කමකින් යුක්තය.

තමන් තුළ පවතින ආශයන් තෘප්ත කර ගැනීම ඉඩ් අහංභාවයේ පරම අධිෂ්ඨානයයි. ආශයන් තෘප්ත කර ගත නොහැකි වූ විට ඉඩ් ආතතියට හා ඉච්ඡාභංගත්වයට ගොදුරු වේ. ආතතිය හා ඉච්ඡාභංගත්වය දුරු කරමින් සුඛය ලඟා කර ගැනීමට ඉඩ්ට අවශ්‍යයය. මේ නිසා ඉඩ් පාලනය වන්නේ සුඛ මූලධර්මය අනුව යැයි පවසනු ලැබේ. ඉඩ් වනාහී මනසේ ආත්මාර්ථකාමී පක්ෂයක් ලෙස හඳුන්වනු ලැබේ. ඉඩ් නියෝජනය කරනු ලබන්නේ ජීවියාගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධක කීපයකි.

ඉඩ්ගේ අරමුණෙහි හා ක්‍රියාකාරීත්වයෙහි හොඳක් හෝ නරකක් නැත. ප්‍රොයිඩ්ගේ වචනවලට අනූව “ඉඩ් වටිනාකම් විනිශ්චයක් දන්නේ නැත. එයට හොඳක් හෝ නරකක් ද සදාචාරයක් ද ඇත්තේ නැත.”

ආශයන්ට‍ අමතරව පුද්ගලයා විසින් අවරෝධනය කරන ලද බොහෝ කාංසාජනක අත්දැකීම් ද ඉඩ් අහංභාවයේ තැන්පත්ව ඇත. ලිංගික සහ ආක්‍රමණශීලී ආශයන්ට අදාල සිතුවිලි හා ක්‍රියාකාරකම් පුද්ගලයාට සතුටක් ගෙන දෙයි. එහෙත් ඒවා පිළිබඳ සමාජයේ ආකල්ප නිශේධනාත්මක බැවින් පුද්ගලයා නිරන්තරයෙන් කාංසාවට බඳුන් වෙයි. උදාහරණයක් වශයෙන් කුඩා ළමයා තම ලිංගය ස්පර්ශ කිරීමට කැමතිය. එහෙත් දෙමව්පියන් සහ වැඩිහිටියන් උගන්වා ඇත්තේ එය නරක අපිරිසිදු ක්‍රියාවක් ලෙසයි. තමා‍ට තරවටු කරන පියා මිය යනවා‍ට කුඩා ළමයා කැමතිය. එහෙත් එය පව්කාරී සිතුවිල්ලක් ලෙස දෙමව්පියන් උගන්වා ඇත. සමාජයේ මෙවැනි ඉගැන්වීම් හේතුවෙන් ලිංගික සහ ආක්‍රමණශීලී සිතුවිලි හා ක්‍රියාකාරකම් පුද්ගලයා තුල දැඩි කාංසාවක් ඇති කරයි. ඒවා අප සතු අතිශය පෞද්ගලික රහස්ය. මෙසේ තාවකාලිකව යටපත් කරන්නා වූ දේවල් අවිඥානය තුළ සැගවී තිබේ. නොදැනුවත්වම පෞරුෂය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරයි.

ඉඩ් අහංභාවයෙහි තැන්පත්ව පවතින අවිඥානගත ආශ සහ කාංසාජනක අත්දැකීම් නැවත විඥානගත වන අවස්ථා කීපයක් සම්බන්ධයෙන් ප්‍රොයිඩ් විස්තර කර ඇත. එනම් සිහින, මෝහනය (Hypnosis), නියුරෝෂීය අබාධ, නිදහස් සංඝටනය (Free Association) සහ කට වැරදීම් (Freudian Slips) ය. මනෝවිශ්ලේෂණවාදයේදී සිහින වලට හිමිවන්නේ සුවිශේෂ වූ ස්ථානයකි. එහෙත් සිහින වනාහී සංකේතයක් මිස ඍජු ප්‍රකාශනයක් නොවේ. සිහින විචාරය හෙවත් සේවාලාභියා දකින සිහින නිසි පරිදී අර්ථකතනය කිරීම මනෝවිශ්ලේෂණවාදී ප්‍රතිකාරයේ වැදගත්ම ක්‍රම ශිල්පයක් බව ප්‍රොයිඩ් ප්‍රකාශ කළේය.

නියුරෝෂීය වර්ගයේ අසාමාන්‍ය චර්යාවන්ගෙන් ද පුද්ගලයාගේ අවිඥානගත හැඟීම් ප්‍රකාශයට පත්වීම සිදුවෙයි. නිදහස් සංඝටනය යනු මනෝවිශ්ලේෂණවාදී ප්‍රතිකාර ක්‍රමය යටතේ එන ප්‍රධානතම ක්‍රම ශිල්පයයි.

පහන් සිත (Ego)[සංස්කරණය]

මනුෂ්‍යයා තමන් ජීවත් වන පරිසරයේම කොටසකි. තම පරිසරයට අයත් කොන්දේසි මග හැර ජීවත් වීමේ හැකියාවක් මනුෂ්‍යයාට නැත. එහෙත් මේ කොන්දේසි බොහොමයක් ඉඩ්ගේ සුඛ අවශ්‍යතාවයන්ට පටහැනිය. මේ නිසා සුඛ මූලධර්මය හා බාහිර පරිසරය අතර බොහෝ වි‍ට දැකිය හැක්කේ ප්‍රතිවිරෝධයකි. මෙවැනි ප්‍රතිවිරෝධයක් පුද්ගලයාගේ පැවැත්මට හිතකර නොවේ. බාහිර පරිසරය සහ ඉඩ් අතර පවතින මෙම ප්‍රතිවිරෝධය පාලනය කිරීම සඳහා මිනිස් මනස තුළ ඊගෝ නම් අංශය වර්ධනය වේ.

ඊගෝ පාලනය වන්නේ යථාර්ත මූලධර්මයට එකඟවයි. ඊගෝ ඉඩ් හි සුඛ මූලධර්මයට විරුද්ධ නැත. එය උත්සාහ ගන්නේ බාහිර පරිසරයේ කොන්දේසීන්ට එකඟව ඉඩ් අවශතා ඉෂ්ට කර ගත හැකි උපාය මාර්ග ගවේෂණය කිරීමටයි. උදාහරණයක් වශයෙන් මළ මුත්‍රා පිට කිරීමට පුද්ගලයාට හදිසියේ අවශ්‍යතාවයක් ඇති වූ විට ඔහුට එය සිතූ සේ කළ නොහැක. මෙහිදී එය සිදු කළ යුතු ආකාරය පිළිබඳව ඊගෝ අහංභාවය තීරණය කරයි. ඊගෝ අහංභාවයේ යථාර්ත මූලධර්මය ප්‍රොයිඩ් විස්තර කළේ “ඉඩ් හි ආශයන් තෘප්ත කරන්නේ ද? නොකරන්නේ ද? ඒවා තෘප්ත කිරීමට සුදුසු කාලය සහ අවකාශය කුමක් ද? යනාදිය තීරණය කිරීම මගින් ඊගෝ තම පාලනය ඉඩ් මත විහිදුවයි. ” යනුවෙනි. ඉඩ් මත ඊගෝ හි පාලනය පැහැදිලි කිරීමට ප්‍රොයිඩ් යොදාගත් උපමාව වූයේ අසෙකු මත නැග ගත් අසරුවෙකි.

සුපහන් සිත - උපරි අහංභාවය (Super Ego)[සංස්කරණය]

ඊගෝ අහංභාවයේ වර්ධනයට සමාන්තරව මනසෙහි සුපර් ඊගෝ අහංභාවය නම් අංශය වර්ධනය වේ. සංස්කෘතිය, සාරධර්ම, ආගම, දෙමව්පිය උපදෙස් සුපර් ඊගෝ වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන්නේ ය. ඒ නිසා සුපර් ඊගෝ යනු සමාජ පරමාදර්ශයන්හි (හොඳ සහ නරක පිළිබඳ විනිශ්චයක්) නියෝජිකයායි. සදාචාරය මෙහි පාලන මූලධර්මයයි. සුපර් ඊගෝ ප්‍රධාන අංශ දෙකකින් සමන්විතය.

  • ඊගෝ පරමත්වය - සමාජය විසින් යහපත් යයි සළකන ලද ක්‍රියාවන් කිරීමෙන් පසුව පුද්ගලයාට දැනෙන සතුට මුසු අභිමානය
  • හෘද සාක්ෂිය - කිසියම් සමාජ විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවන්ගෙන් පසුව පුද්ගලයාට දැනෙන දෝෂත්ව හැඟීම මුසු වේදනාව

මේ අංශ දෙක සුපර් ඊගෝ තුළ තහවුරු කෙරෙන්නේ දෙමාපිය වැඩිහිටියන්ගේ ත්‍යාග හා දඩුවම් මාර්ගයෙනි. මෙහිදී ත්‍යාග හා දඩුවම් භෞතිකමය ප්‍රපංචයන්ට සීමා නොවේ. වචන, ඉරියව්, පරිත්‍යාග හා දඩුවම් ලෙස යොදාගත හැකිය. සමාජය විසින් අනුමත නොකෙරෙන සාපරාධී ක්‍රියා ලෙස සළකන ඉඩ් ආශයන් වැළැක්වීම සුපර් ඊගෝ විසින් සිදු කරනු ලැබේ. එනම් ලිංගික හා ප්‍රචණ්ඩ ආශයන් ය. මේ නිසා නිරන්තරයෙන් ඉඩ් සහ සුපර් ඊගෝ අතර තියුණු ප්‍රතිවිරෝධයක් ඇති වේ. කෙසේ වූව ද පුද්ගලයා නීතිගරුක ගුණගරුක පුද්ගලයෙක් බවට පත් කරනුයේ සුපර් ඊගෝ විසිනි. කෙසේ නමුත් ප්‍රොයිඩ්ගේ මතය අනූව සාර්ථක පෞරුෂයක් බිහිවීම සඳහා ඊගෝ අහංභාවය ඉඩ් අහංභාවය‍ට සහ උපරි අහංභාවය‍ට වඩා ශක්තිමත් විය යුතුය.

ඉඩ්, ඊගෝ සහ සුපර් ඊගෝ පිළිබද ඉහත විස්තර කිරීම් අනූව ඒවා පැහැදිලිව එකිනෙකින් වෙනස් කොටස් ලෙස පෙනුන ද ඒවා හුදෙක් මනසෙහි පවතින තත්වයන් පමණි.

පෞරුෂයේ වර්ධනය පිළිබඳ මනෝවිශ්ලේෂණවාදී න්‍යාය[සංස්කරණය]

මනෝවිශ්ලේෂණවාදී ආකෘතියට අනූව මනෝලිංගික (Psychosexual) අවධි මාලාවක් ඔස්සේ පෞරුෂය සංවර්ධනය වෙයි. මේ සෑම අවධියක්ම පුද්ගලයා‍ට ඇති අභියෝගයකි. එම අවධිය සාර්ථකව ජය ගැනීම හෝ නොගැනීම පෞරුෂය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරයි. මෙම අවධි හුදෙක් මනෝලිංගික ආශයන්ගේ වර්ධනයක් වශයෙන් විග්‍රහ කරයි. එම අවධි පහත දැක්වෙන පරිදී ය.

  • මුඛ (Oral) අවධිය
  • පායුක (Anal) අවධිය
  • ලිංගරූප (Phallic) අවධිය
  • සැඟවුණු / නිලීන (Latency) අවධිය
  • ප්‍රජනන ලිංගික (Genital) අවධිය

මුඛ (Oral) අවධිය[සංස්කරණය]

උපත ලැබ පළමු වසර ගෙවෙන තෙක් දරුවාගේ මනෝලිංගික ආශයන් ක්‍රියාත්මක වන්නේ මුඛය කේන්‍ද්‍ර කරගෙනයි. අත්, පා ආදී ඉන්‍ද්‍රියයන් එපමණ ශක්තිමත් නැත. මේ අවධියේදී දරුවා බාහිර ලෝකයට සම්බන්ධ කරන එකම අවයවය මුඛයයි. ආහාර ගැනීමට, විරෝධය පළ කිරීමට, සන්නිවේදනයට, දුක් වේදනා කියා පෑමට යන සෑම ක්‍රියාවකටම යොදා ගන්නේ මුඛයයි. මේ අවධියේදී දරුවාගේ සුඛ වේදනයන් ද ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන වශයෙන් මුඛය කේන්‍ද්‍ර කරගෙනයි. විවිධ දේ මුඛයට ඇතුළු කර ගැනීමෙන් ද මුඛයට ගත් දේ සැපීමෙන් ද සුඛ වේදනය ලැබේ. මවගේ පියයුරු, කිරි බෝතලේ වැනි ප්‍රණීත දේ සාදරයෙන් පිළි ගන්නා දරුවා අමිහිරි යමක් මුඛයේ වැදුනු වහා එය ප්‍රතික්‍ෂේප කරයි. මුඛ අවධියේදී දරුවා‍ට සම්පූර්ණයෙන්ම පාහේ බාහිර නියෝජිතයෙකු එනම් මව හෝ උපස්ථායිකාව මත රැදෙන්නට සිදු වේ. බාහිර නියෝජිතයාට ඉතා පහසුවෙන් දරුවාගේ චර්යාවන් පාලනය කළ හැකිය. දරුවා පළමු වසරේදී ලබන මෙම පුහුණුව සහ හික්මීම හේතුවෙන් වැඩිහිටියෙකු වශයෙන් ද බාහිර පරිසරය මත රැ‍දෙන්නට උගනී.

මව හෝ උපස්ථායිකාව විසින් දරුවා නොසලකා හරිනු ලැබීම මෙන්ම සීමාව ඉක්මවා ආරක්ෂා කරනු ලැබීම ද පසුකාලීනව අසාමාන්‍ය චර්යා වර්ධනය වීමට හේතු වෙයි. නොසලකා හරිනු ලැබූ දරුවා තුල සුපර් ඊගෝ නිසි පරිදී වර්ධනය නොවන අතර අධි ආරක්ෂාව ලැබූ දරුවා තුල සුපර් ඊගෝ ප්‍රමාණයට වඩා බලවත් වෙයි.

මුඛයේ දත් වර්ධනය වීමත් සමඟ දරුවාගේ ආක්‍ර මණකාරී ආශයන් තෘප්ත කිරීමට අවස්ථාව ලැබෙයි. වැඩිහිටිවියේ සියලු ආක්‍රමණකාරී ක්‍රියාවන්හි මූලාරම්භය මේ මුල් කිරි දත්වල සැපීමේ ක්‍රියාවලියයි. ඇනුම් පද කීම, කලහ කිරීම, යුද්ධ කිරීම මෙන්ම නීතීඥයන්ගේ ගුරුවරුන්ගේ හා දේශපාලනඥයන්ගේ කථිකත්වය ද ශල්‍ය වෛද්‍යවරුන්ගේ රැකියාව ද ආක්‍රමණකාරී ආශයන් තෘප්ත කිරීමක් බව ප්‍රොයිඩ් පවසයි. එමෙන්ම දිව හෝ තොල් සපා ගැනීම ස්වයං දඩුවම් දීමක් වශයෙන් ක්‍රියාත්මක වෙයි. මෙලෙස ජීවිතයේ පළමු වසරේදී මුඛය ප්‍රධාන මනෝලිංගික කේන්‍ද්‍රය වූව ද ඇස, නාසය, සම වැනි ඉන්ද්‍රියයන්ගෙන් ද දරුවාට සතුටක් ලැබේ.

පායුක (Anal) අවධිය[සංස්කරණය]

පළමු වසර අවසන් වීමෙන් පසු ශරීරයේ ප්‍රධාන මනෝලිංගික කලාපය පායුකය හෙවත් ගුදය වෙතට සංක්‍රමණය වේ. එතැන් සිට තුන්වන වර්ෂය තෙක් පායුක අවධිය ක්‍රියාත්මක වෙයි. මේ අවධියේදී සුඛ වේදනයන් ක්‍රියාත්මක වන්නේ මළපහ කිරීමේ ක්‍රියාවලිය තුළිනි. මළපහ කිරීමේදී ගුදයේ සහ මහාඅන්ත්‍රයේ මාංශ පේශී සහ ස්නායු පීඩනයට පත් වේ. මළපහ වීමත් සමග එම ආතතිය අවසන් වී සතුටක් දැනේ. වැඩිහිටිවියේ දී සිදුවන ආවේග පි‍ටවීම, කෝපය පි‍ටවීම සහ ආශාවන් පි‍ටවීම යනාදියේ මුල්ම ස්වරූපය මෙයයි. ළමයාට මළපහ කිරීමේ පුහුණුවක් ලැබීම මෙම අවධියේ සිදුවන වැදගත් සිදුවීමකි. මෙතෙක් කල් නිදහසේ එම ක්‍රියාවලිය සිදුකළ ළමයාට මෙම අවධියේදී කිසියම් යටපත් වී මෙම ක්‍රියාවලිය සිදුකිරීමට සිදු වේ. මෙය හුදෙක් යහපත් සෞඛ්‍ය පුරුද්දක් පමණක් නොවේ. ශිෂ්ටාචාරය සම්බන්ධයෙන් ළමයා ලබන පළමු පාඩම සහ පුහුණුවත් එයයි. මෙහිදී මනසේ ඉඩ් අහංභාවය‍ට තර්ජනයක් වෙමින් සුපර් ඊගෝ වර්ධනය වීම ළමයා තදබල කාංසාවට පත් කරයි.

මේ නිසා දෙමව්පියන්ගෙන් ලැබෙන ශිෂ්ටාචාරයේ මුල්ම පුහුණුව පිළිගැනීමට ළමයා සූදානම් නැත. ඔහු මළපහ කිරීම වර්ජනය කිරීමට උත්සාහ ගනී. මෙය ඉඩ්ගේ ආශයන්ට පක්ෂව ළමයා විසින් ශිෂ්ටාචාරයට එරෙහිව ඇති කරනු ලබන කැරැල්ලකි. කෙසේ වූවද අවසානයේ දී දෙමව්පියන්ගේ පුහුණුවට අවනත වීමට ළමයාට සිදු වේ. එහෙත් එම පුහුණුව ලබන ආකාරය පසුකාලීන පෞරුෂ වර්ධනයට බෙහෙවින් බලපායි. දිගු කාලයක් මුළුල්ලේ මළපහ කිරීම වර්ජනය කරමින් සිටින ළමයා පසුව මුරණ්ඩු, හිතුවක්කාර අයෙකු විය හැකිය. බොහෝ නිෂ්ක්‍රීය ආක්‍රමණික චර්යා ඇති පුද්ගලයන් තුළ පවතින්නේ ගුද අවධියේ බලපෑමයි. මළපහ කිරීමේ පුහුණුව නිවැරදිව ඉගෙන නොගත් ළමයා පසුව අක්‍රමවත් සහ අපිළිවෙල චරිත ලක්ෂණ සහිත වැඩිහිටියෙකු විය හැක. අනෙක් අතට මෙම පුහුණුවට දැඩි ලෙස යටපත් කරනු ලැබූ ළමයා වැඩිහිටිවියේදී ප්‍රමාණයටත් වඩා විනය ගරුක, ලෝභී සහ සීමාන්තික ලෙස පිළිවෙලකට වැඩ කරන පුද්ගලයෙක් බවට පත් විය හැකිය.

ලිංගරූප (Phallic) අවධිය[සංස්කරණය]

උපතින් පසුව හතරවන හා පස්වන වසර වලදී මනෝලිංගික ආශයන් ලිංග කලාපය වෙත සංක්‍රමණය වේ. මෙහිදී ළමයා ප්‍රිය කරන්නේ තමාගේ ලිංගික අවයවයන්ට මිස විරුද්ධ ලිංගිකයින්ගේ ලිංගික අවයවයන්ට නොවේ. මෙය ලිංගරූප අවධිය නමින් හඳුන්වන්නේ ද එබැවිනි. පිරිමි ළමයා තම ලිංගේන්‍ද්‍රයට ද ගැහැණු ළමයා තම ලිංගේන්‍ද්‍රයේ පිහිටි භගමනිය නම් කොටසට ද ඇලුම් කරයි. මේ ඇල්ම හේතුවෙන් ළමයා ප්‍රථම වරට ස්වයං ලිංගික වින්දනයට හුරු වේ. පෞරුෂ වර්ධනය සම්බන්ධයෙන් ඉතා වැදගත් සිදුවීම් කීපයක්ම මෙම අවධියේදී සිදුවෙයි. එසේම ප්‍රථම වරට ස්ත්‍රි පුරුෂ භේදයක් ප්‍රකට ‍වන අයුරින් පෞරුෂ වර්ධනයට සිදුවන්නේ ද මේ අවධියේ ය.

ලිංගරූප අවධියේදී ඔවුන් ප්‍රථම වරට මව සහ පියා වෙනස් ලිංගිකයන් ලෙස හඳුනා ගනිති. එවිට මව සහ පියා කෙරෙහි ගැහැණු ළමයා සහ පිරිමි ළමයා එකිනෙකට වෙනස් ආකල්ප දක්වන්නට පටන් ගනී. මවගේ ආදරය ලබා ගැනීමේදී පියා තමාගේ තරඟකරුවෙකිය යන ආකල්පය පිරිමි ළමයාට ඇති වේ. මේ නිසා ඔහු තුළ මව කෙරෙහි සෙනෙහස මුසු ඇල්මක් ද පියා කෙරෙහි බිය හා ඊර්ෂ්‍යාව මුසු වෛරයක් ද හට ගනී. මේ මානසිකත්වය ප්‍රොයිඩ් නම් කළේ ඊඩිපස් සංකීර්ණය (Oedipus Complex) යනුවෙනි. ඊඩිපස් සංකීර්ණය පිරිමි ළමයාගේ පැවැත්ම කෙරෙහි තර්ජනයකි. එය පිරිමි ළමයා විසින් ජය ගත යුතු අභියෝගයකි. මේ අභියෝගය ජය ගැනීමට ඔහුට උපකාරී වන සාධක තුනකි. එනම්,

  1. ළමයාගේ කායික සහ මානසික පරිනත වීම
  2. ඊඩිපස් මානසිකත්වයට මවගෙන් කිසිදු අනුබලයක් නොලැබීම
  3. කප්පාදු කාංසාව නම් මානසිකත්වය යි.

මෙයින් කප්පාදු කාංසාව නම් මානසිකත්වය ඉතා වැදගත් ය. මෙහිදී සිදුවන්නේ පියා තමාට දෙන දඩුවමක් වශයෙන් තම පව්කාරී ඉන්‍ද්‍රිය වන ලිංගය කපා දමනු ඇත යන කාංසාවක් ළමයාගේ අවිඥානයේ ඇති වීමයි. සම වයසේ ගැහැණු ළමුන්ගේ ලිංග ප්‍රදේශය දැකීමෙන් මේ බිය වඩාත් තහවුරු වේ. ඇයගේ ලිංගය කපා දමා ඇතැයි ඔහු සිතයි. මේ සාධක හේතුවෙන් පිරිමි ළමයා තම ඊඩිපස් සංකීර්ණය අවරෝධනය කරයි. පියා පරාජය කිරීම වෙනුවට පියා හා අනන්‍ය වීමට ඔහු උත්සාහ ගනී. මේ උත්සාහය පිරිමි ළමයාගේ පෞරුෂ වර්ධනයේ වැදගත් පියවරකි. මන්ද පියා මෙන් හැසිරෙන්නට, චින්තනය මෙහෙයවන්නට සහ බාහිර පෙනුම සකස් කර ගන්නට ළමයා පෙළ‍ඹෙන්නේ මෙම උත්සාහය බැවිනි. පිරිමි ළමයාට සැබෑ පුරුෂත්වය ලැබෙන්නේ මේ අවස්ථාවේදී ය. කෙසේ වූව ද ඊඩිපස් සංකීර්ණයේ බලපෑමේ අඩුවීමක් මෙයින් අදහස් නොවේ. තම මව කෙරෙහි පිරිමි ළමයා තුල පවතින අවිඥානික ඇල්ම දිගටම පවතින අතර අනාගත සහකාරිය වශයෙන් ඔහු බොහෝ විට තෝරා ගන්නේ තම මවට සමාන තැනැත්තියකි. ඊඩිපස් සංකීර්ණය නිසි පරිදී ජය ගත නොහැකි වීම අනාගත අසාමාන්‍ය චර්යා රාශියකට හේතු වේ. එවැනි පුද්ගලයෙකුට සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමේ දී යම් යම් දුෂ්කරතා ඇති විය හැක.

පිරිමි ළමයා මෙන්ම ගැහැණු ළමයා ද මුල් කාලයේ දී වඩා ඇලුම් කරන්නේ තම මවට ය. එහෙත් පසුව පිරිමි ළමයා‍ට මෙන් ඉදිරියට නෙරූ විශේෂ ලිංගේන්‍ද්‍රයක් තමා‍ට නැති බව ඇය නිරීක්ෂණය කරන්නී ය. තමා‍ට එය අහිමි කරන ලද්දේ තම මව යැයි ඇය තුළ සැකයක් පහළ වේ. මේ නිසා ගැහැණු ළමයා තම පියා කෙරෙහි ඊර්ෂ්‍යාව මුසු ඇල්මක් ද මව කෙරෙහි කෝපය මුසු වෛරයක් ද ඇති වේ. ප්‍රොයිඩ් එය නම් කළේ ඉලෙක්ට්‍රා සංකීර්ණය (Electra Complex) යනුවෙනි. පිරිමි ළමයාගේ කප්පාදු කාංසාව වැනි මානසිකත්වයක් පුරුෂ ලිංග මාත්සර්‍ය යනුවෙන් ගැහැණු ළමයාට ඇත. මේ මානසිකත්වයේ දී පුරුෂයන්ගේ විශේෂයෙන්ම තම පියාගේ ලිංගය පිළිබඳ ඊර්ෂ්‍යාවක් ගැහැණු ළමයා තුළ ඇත. ඊඩිපස් සංකීර්ණය අවරෝධනය කිරීමෙහිලා කප්පාදු කාංසාව ප්‍රබල හේතුවක් වූවද ඉලෙක්ට්‍රා සංකීර්ණය අවරෝධනය කිරීමට ලිංගික මාත්සර්‍ය හේතුවක් නොවේ. ඒ වෙනුවට පරිනත වීම සහ පියාගෙන් අනුබලයක් නොලැබීම වැනි සාධක පමණක් හේතු වේ. ප්‍රොයිඩ් පවසන පරිදී “සැබවින්ම ඉලෙක්ට්‍රා සංකීර්ණය කිසිවිටෙකත් පූර්ණ ලෙසින් අවරෝධනය නොවේ.” කාන්තා පෞරුෂය පූර්ණ වශයෙන් වර්ධනය නොවන බවක් මෙයින් හැගී යයි. එසේම කාන්තාවන් පුරුෂයන්ටය වඩා අසාමාන්‍ය චර්යාවන්ගෙන් යුක්තවීමේ අවකාශයක් පවතින බව ප්‍රොයිඩ් ද පවසා ඇත. ගැහැණු ළමයා ද මව පරාජය කිරීම වෙනුවට මව හා අනන්‍ය වීමට උත්සාහ ගන්නීය. එහිදී ඇය පූර්ණ ස්ත්‍රීත්වය ලබන්නීය. මෙලෙස පූර්ණ ලෙස මව හා අනන්‍ය වීමට නොහැකිව මවට වඩා පියාට සමීප වන ගැහැණු ළමයා අනාගතයේදී වර්ධනය වන්නේ කොලු කෙල්ලක වශයෙනැයි ප්‍රොයිඩ් පවසයි. ප්‍රොයිඩ් විග්‍රහ කරනුයේ මෙම මානසික තත්වයන් දෙකම ජයගත යුතු බවයි. නැතිකරගත යුතු බවයි. එසේ නොවූවහොත් එය පසුකාලීන පෞරුෂ සංවර්ධනයට බලපාන බව ප්‍රොයිඩ් අවධාරණය කරයි.

සැඟවුණු / නිලීන (Latency) අවධිය[සංස්කරණය]

දළ වශයෙන් වයස අවුරුදු පහෙන් පසුව පිරිමි ළමයාගේ මෙන්ම ගැහැණු ළමයාගේද මනෝලිංගික ක්‍රියාකාරකම් තාවකාලිකව සැඟවී යයි. මෙම අවධිය වයස අවුරුදු 12 පමණ වන තෙක් පවතී. මෙවැනි සැඟවුණු අවධියක් ඇති වීමට හේතුව සමාජය විසින් ළමයින්ගේ ලිංගික ක්‍රියාකාරකම් තදින් තහනම් කරනු ලැබීමයි. මේ කාලයේදී පෞරුෂ සංවර්ධනයේ වැදගත් වෙනස්කම් කීපයක් සිදු වේ. ඉතාම වැදගත් කරුණක් නම් ළමුන් ශීඝ්‍ර කායික හා බුද්ධි වර්ධනයක් ලැබීමයි.

ප්‍රජනන ලිංගික (Genital) අවධිය[සංස්කරණය]

ළමයාගේ වැඩිවිය පැමිණීම සිදුවන නව යොවුන් වියේදී ප්‍රජනන ලිංගික අවධිය ආරම්භ වේ. මෙම අවධිය ඉහත සඳහන් කළ අවධීන්ට වඩා වෙනස්ය. ඔවුන්ගේ ලිංගික ආශයන්ට ප්‍රජනන ශක්තිය ලැබෙන්නේ මෙම අවධියේය. දරුවෙකු බිහි කිරීමට හා පෝෂණය කිරීම සඳහා ඔවුනට අවශ්‍ය ශාරීරික හා මානසික ශක්තිය මේ අවධියේදී ගොඩ නැගේ. මේ නිසා ඔවුන් තම ලිංගික ආශයන් තෘප්ත කර ගැනීම පිණිස ප්‍රථම වරට විරුද්ධ ලිංගිකයන් වෙත යොමු වේ.මී‍ට පෙර පසුකල සෑම මනෝලිංගික අවධියකදීම ආශයන් ක්‍රියාත්මක වූයේ තමාගේම ශරීරය කේන්‍ද්‍ර කර ගනිමිනි. එය ප්‍රොයිඩ් හැඳින්වූයේ නාසිස් සංකීර්ණය යනුවෙනි. එය ජය නොගැනීම අසාමාන්‍ය චර්යාවන්ට හේතු විය හැක. මෝස්තර නිරූපනය කරන්නන්ගෙන් වැඩි දෙනා තුළ නාසිස් සංකීර්ණය ශේෂව පවතින බව ප්‍රොයිඩ් පවසයි. සමාජයේ සෙසු පුද්ගලයන්ට සේවය කිරීම සහ පොදු පරමාර්ථ උදෙසා කැපවීම නම් පරාර්ථකාමී මානසිකත්වය වර්ධනය වන්නේ මෙම අවධියේදීය. පුද්ගලයාගේ ජීවිතයේ දීර්ඝතම මනෝලිංගික අවධිය ද මෙම අවධියයි.

කාංසාව සහ සංරක්‍ෂණ ප්‍රයෝග[සංස්කරණය]

කාංසාව සහ සංරක්‍ෂණ ප්‍රයෝග වනාහී මනෝවිශ්ලේෂණවාදී ආකෘතිය සතු ඉතා වැදගත් සංකල්ප ද්වයකි. කාංසාව (Anxiety) යනු යමෙකුගේ මනසෙහි ඇතිවන ප්‍රබල අප්‍රසන්න චිත්තවේගයකි. මෙම චිත්තවේග සමග සමහර කායික රෝග ලක්ෂණ ද පහළ විය හැකියි. මනෝවිශ්ලේෂණවාදී ආකෘතියට අනූව සෑම අසාමාන්‍ය චර්යාවකම මුල්ම හේතුව කාංසාවයි. මනසෙහි ඇතිවන අසමබරතාවයන් කාංසාවට හේතු වේ. මෙම ආකෘතියට අනූව නීරෝගී හෙවත් ශක්තිමත් පෞරුෂයක් යනු ඊගෝ බලවත් වූ පෞරුෂයකි. ඊගෝ බලවත් හා ශක්තිමත් වූ විට එයට ඉඩ් හා සුපර් ඊගෝ නිසි පරිදී පාලනය කළ හැකිය. ඊගෝහී කාර්යය ඉඩ් හා සුපර් ඊගෝ යන ආශ‍යන්හී ඉල්ලීම් සමබර ලෙස තෘප්ත කිරීම මිස ඒවා ඉච්ඡාභංගත්වයට පත් කිරීම නොවේ. ඒ බව පැහැදිලි කිරීම‍ ට මහාචාර්ය රොස් ස්‍‍ටැග්නර් විසින් රූප ස‍ටහනක් නිර්මාණය කරන ලදී. එම රූප ස‍ටහන පහත දැක්වේ.

Ros stogner.JPG

කෙසේ වූව ද ජනතාවගෙන් බහුතරයකගේ ඊගෝ ශක්තිමත් නැත. මේ නිසා ඊගෝ යනු හැමවි‍ටම මනසේ පීඩාවට පත්වන අංශයයි. මේ පීඩාවේදී පුද්ගලයා කාංසාවට පත් වේ.

කාංසා වර්ග[සංස්කරණය]

පෞරුෂයේ ව්‍යූහය පිළිබද ස්වකීය න්‍යායට ‍අනූව කාංසා වර්ග තුනක් ඇතැයි ප්‍රොයිඩ් පවසයි. එනම්,

  1. බාහිර පරිසරයෙන් ඊගෝ වෙත එල්ලවන පීඩා හේතුවෙන් පැන නගින යථාර්තමය කාංසාව
  2. සමාජයේ පිළිගත් සදාචාර පද්ධතියක් බිඳ හෙලන්නට සිදු වූ පුද්ගලයාට ඇතිවන සදාචාර කාංසාව
  3. ඉඩ්හි අවිඥානික ප්‍රේරණයන් හේතුවෙන් ඇතිවන නියුරෝසීය කාංසාව

පහත රූප සටහටනෙන් එම කාංසා තෙවර්ගය දැක්වේ.

Kansawa.JPG

මනුෂ්‍යයා තුල ඇතිවන අසාමාන්‍ය චර්යාවන්ගෙන් වැඩි ප්‍රමාණයකට හේතුව නියුරෝසීය කාංසාවන් ලෙස ප්‍රොයිඩ් සැලකුවේය. කාංසාව නිසා වැඩිම පීඩාවකට පත් වන්නේ ඊගෝ අහංබාවයයි. එමගින් ඊගෝ ආරක්ෂා කර ගැනීමට සංරක්‍ෂණ ප්‍රයෝග උපකාරී වේ. ඊගෝ කෙරෙහි එල්ල වන තුන් ආකාරයක කාංසාවන්ගෙන් මනසෙහි ආරක්ෂාව සලසා ගනු වස් සංරක්‍ෂණ ප්‍රයෝග ක්‍රියාවේ යොදවයි. සංරක්‍ෂණ ප්‍රයෝගයන් හි ප්‍රධාන ලක්ෂණ තුනකි. එනම්,

  • සෑම සංරක්‍ෂණ ප්‍රයෝගයකම අරමුණ කාංසාවෙන් ආරක්ෂා වීමයි.
  • සංරක්‍ෂණ ප්‍රයෝග අවිඥානිකය.
  • සංරක්‍ෂණ ප්‍රයෝග කිසිවක් යථාර්තමය නොවේ.

ප්‍රධාන සංරක්‍ෂණ ප්‍රයෝග[සංස්කරණය]

ප්‍රොයිඩ් විසින් විස්තර කරන ලද ප්‍රධාන සංරක්‍ෂණ ප්‍රයෝග රාශියකි. ඒවා නම්,

* අවරෝධනය

මෙහිදී සිදුවන්නේ කාංසාමය අත්දැකීම් අවිඥානයට නෙරපා හැරීමයි. පුද්ගලයාට තමන් ලද අත්දැකීම අමතක වූ බවක් පෙනුන ද එම අත්දැකීම අවිඥානය තුල සුරක්‍ෂිතව තැන්පත් වී ඇති බැවින් එය කිසිසේත්ම අමතක වීමක් නොවේ. උදා: කුඩා කාලයේ දඩුවම් කරමින් උගන්වන ලද ගුරුවරයා පිළිබඳව පසුකාලීනව මතකයක් තිබුන ද ඔහුගේ නම අමතක වීම. එයට හේතුව ගුරුවරයා පිළිබඳ කාංසාජනක අත්දැකීම් හේතුවෙන් නම අභිප්‍රේරිතව අමතක වී යාමකි. මෙය ගුරුවරයා ප්‍රතික්‍ෂේප කිරීම හා සමානය.

* ප්‍රක්‍ෂේපණය

මෙහිදී සිදුවන්නේ තමන්ගේ කාංසාජනක අත්දැකීම සමාජයේ වෙනත් පුද්ගලයන්ගේ වගකීමක් ලෙස ප්‍රකාශ කිරීමයි. උදා: තම මිතුරන් සමග කළහයකට මුල පිරූ ළමයෙකු තමන් එසේ සිදු කළේ අන් අය රණ්ඩු කිරීම‍ට සූදානම් වූ නිසා යැයි පැවසීම.

* විස්ථාපනය

කාංසාව ජනනය කරන සැබෑ විෂය හෝ අත්දැකීම අතහැර එයට දැක්විය යුතු ප්‍රතිචාරය වෙනත් මධ්‍යස්ථ විෂයකට හෝ අත්දැකීමකට සම්බන්ධ කිරීම මේ නම් වේ. උදා: තම පියා සමග කෝප වන පුතෙකු අසල ඇති පු‍ටුවකට පහර දීම.

* ප්‍රතික්‍ෂේප කිරීම

මෙහි අර්ථය නම් පැහැදිලිව ප්‍රකට වන යථාර්තය ප්‍රති‍ක්‍ෂේප කරමින් එහි ප්‍රතිපක්ෂ මිත්‍යා ව පිළිගැනීමයි. උදා: සැමියා මිය ගිය කාංසාව දරා ගත නොහැකි බිරිද තම සැමියා මිය ගියේ නැතැයි පැවසීම.

* ප්‍රතික්‍රියා සාධනය

මෙහිදී පුද්ගලයා උත්සුක වන්නේ තමන්ට කාංසාව දනවන සිදුවීමට ප්‍රතිවිරුද්ධ දේ සිදු කිරීමටයි. උදා: කිසියම් නීති විරෝධී ක්‍රියාවක් සිදු කළ පුද්ගලයෙකු ඉන් පසු ධර්මිෂ්ඨ තත්වයට පත් වීම.

* යුක්ති ප්‍රතිපාදනය

තමන් මුහුණ පෑ කිසියම් අප්‍රසන්න අත්දැකීමකින් මතුවන කාංසාව තුනී කරනු වස් යථාර්තවාදී නොවන අයුරින් හේතු දක්වමින් තර්ක කිරීමයි. උදා: විභාගය අසමත් වූ ශිෂ්‍යයෙකු තමන්ගේ අසමත්වීම සම්බන්ධයෙන් ඉගැන්වූ ගුරුවරයාට දොස් පැවරීම.

* උත්කර්ෂනය

තමන්ගේ බලවත් ප්‍රේරණයක‍ට සමාජයෙන් අනුමැතියක් නොලැබෙන්නේ නම් පුද්ගලයා දැඩි කාංසාවට පත් වෙයි. මෙවැනි ප්‍රේරණයන් සමාජය විසින් අනුමත චර්යාවක් කෙරෙහි යොමු කිරීමට අවිඥානිකවම පෙළ‍ඹීම මේ නම් වේ. උදා: ආක්‍රමණකාරී ප්‍රේරණ සහිත පුද්ගලයෙකු දක්‍ෂ ශල්‍ය වෛද්‍යවරයෙකු වීම. මෙම මාධ්‍ය මගින් තමන්ගේ ප්‍රේරණ සමාජය‍ට හානියක් නොවන අයුරින් මුදා හරී.

මෙලෙස ගො‍ඩනගන ලද සිග්මන්ඩ් ප්‍රොයිඩ්ගේ මනෝගතික අදහස් යම් මට්ටමකින් හෝ පිළිගත් ශිෂ්‍ය හා අනුගාමික පිරිසක් ඔහුගේ ඉගැන්වීම්, ප්‍රතිකාර හා පර්යේෂණ ක්‍රම ඉදිරියට ගෙන යාමට කැපවූහ. එහෙත් ඔවුන් කිසිවෙක් අද මෙන්ම එදා ද සිග්මන්ඩ් ප්‍රොයිඩ්ගේ සෑම අදහසක්ම එකහෙළාම පිළිගැනීමට අකමැති වූහ. එනිසාම මනෝවිශ්ලේෂණවාදයේ නව පියවර, නව මනෝවිශ්ලේෂණවාදය (Neopsychoanalysis) වශයෙන් ඉදිරිපත් වෙමින් එහි ඉදිරිගමනට මංපෙත් සැලසීය. ඒ අනූව සිග්මන්ඩ් ප්‍රොයිඩ් මෙහි ආරම්භකයා වූව ද කාල් යුං (Jung 1954), ඇඩ්ලර් (1927), කැරන් හෙවන් (1950), සුලිමාන් (1953) හා බොඩින් (1963) බඳු අයගේ න්‍යායන් ද විශ්ලේෂණ ප්‍රවේශයේ ලා සලකනු ලැබේ.

උපදේශනය පිළිබඳ න්‍යාය[සංස්කරණය]

මෙම ප්‍රවේශයේ දී පුද්ගලයාගේ ගැ‍ටළුව හැටියට සලකන ලද්දේ ඔහුගේ අවිඥානයේ පවත්නා යම් යම් අත්දැකීම් ය. ඒවා යමෙකුගේ ළදරු විය දක්වාම විහිදී ගිය ඉතා සංකීර්ණ අත්දැකීම් මාලාවක් හැටියට සලකනු ලැබේ. උදා: තරුණ කාලයේ එක දිගටම අසනීපයෙන් පෙළුණු එක් තරුණියක පිළිබද ප්‍රොයිඩ්ගේ නිගමනය වූයේ නිසි ලෙස ජය ගැනීමට නොහැකි වූ ඉලෙක්ට්‍රා සංකීර්ණය ඇයගේ රෝගයේ අවිඥානගත නිධානය වී ඇති බවය. ළමාවියේ පියා සමග ඇතිකරගත් බැදීම වැඩිවියට පත්වීමෙන් පසුත් තුනී කර ගන්නට ඇති වූ අපහසුව නිසා ඇයට පියා හැර දමා විවාහ විය නොහැකි විය. රෝගීව සිටීමෙන් ඇයට දිගටම පියා සමග ගත කිරීමට අවකාශ ලැබේ. ඒ අනූව ඊඩිපස් සංකීර්ණය හා ඉලෙක්ට්‍රා සංකීර්ණය සාර්ථකව අවරෝධනය කිරීම‍ට නොහැකි වූ පුද්ගලයා පෞරුෂ අක්‍රමතාවයකට ගොදුරු වෙයි.

එමෙන්ම මනෝලිංගික සංවර්ධනයේ විවිධ අවධිවල ඇති වූ ප්‍රතිබද්ධතා (Fixations) කෙනෙකුගේ පසුකාලීන ජීවිතය පුරාම දක්නට තිබිය හැක. ප්‍රොයිඩ්ට අනූව ලෞකික බලවේගවල ගැලී කාමාශාවන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවය (Eross) මෙන්ම නිතරම ඉච්ඡාභංගයන්ට මුහුණදීම නිසා ආත්ම පරාජිතබාවයත් කෙළවර දිවිනසා ගැනීමේ ප්‍රයත්නයත් (Thanatos) පුද්ගලයා තුළ මතු විය හැකිය. පුද්ගලයා සිය අවිඥානක බලවේග පහසුවෙන් හදුනා නොගනී. මේ නිසා කාංසාවට හා කාංසාවන් පාදක කර ගත් විවිධ අක්‍රමතාවයන්ටත් මුහුණ දෙයි. මනෝවිශ්ලේෂණවාදයට අනූව පුද්ගලයාට ගැටළු හටගන්නේ මේ අවිඥානික ආවේග හේතුවෙනි.

උපදෙස් පතා එන්නා සිය චලිත ආවේග උපදේශන මනෝවිද්‍යාඥයා වෙත ඉදිරිපත් කරනු ලබන්නේ ප්‍රමානුමිතික සම්බන්ධතාවය (Transference Relationship) මගිනි. මනෝවිද්‍යාඥයා සිය සිතුම්, හැගීම්, වේදනා හා අත්දැකීම් සැබෑ ලෙසම අවබෝධ කරගෙන සිටින්නේය යන විශ්වාසය මෙයට හේතුවයි. මෙම තත්වය තුළ සේවාලාභියාගේ සම්පූර්ණ සහයෝගය ලැබෙන බැවින් සැසිය සාර්ථක වී යහපත් ප්‍රතිඵල ලබා දිය හැක. නමුත් සැසිය අවසන් වී එම සබදතා පවත්වාගෙන යාම ගැටළුකාරීය. එමෙන්ම සේවාලාභියා උපදේශකවරයාව හතුරෙක් ලෙස දකින අවස්ථා ද ඇත. එහිදී සිය චලිත ආවේග උපදේශන මනෝවිද්‍යාඥයා වෙත ඉදිරිපත් නොකර සිටීමට, කොටස් අතහැර කීමට උත්සාහ ගනී. එහිදී උපදේශකවරයා‍ට බනින්නේනම් එහිද ප්‍රතිකාරාත්මක වටිනාකමක් ඇත. එමෙන්ම උපදේශකවරයා‍ ද සේවාලාභියා සමග මනෝමය සම්බන්ධතාවයක් ඇති කර ගනී. එය ප්‍රතිප්‍රමානුමිතික සම්බන්ධතාවය යි. මෙය ද පෙර පරිදීම ධනාත්මකව මෙන්ම ඍණාත්මකව ද ඇති වේ. මෙම සම්බන්ධතාවයන් අවිඥානිකව සිදු වන බැවින් උපදේශකවරයා‍ මධ්‍යස්ථව සිටීමට කටයුතු කල යුතුය.

මනෝවිශ්ලේෂණවාදී න්‍යායේ ප්‍රතිකාර ක්‍රම ශිල්ප[සංස්කරණය]

මනෝවිශ්ලේෂණ ප්‍රතිකාරය චිත්තවේග හා ආවේග පාලනය සඳහා ඉලක්ක කෙරේ. ප්‍රොයිඩ්ට අනූව ගැටළු කෙරෙහි බොහෝ වි‍ට බලපානුයේ ළමා කාලයේ අවරෝධනය කර ගන්නා දේවල්ය. මෙහිදී ප්‍රධාන වශයෙන් ප්‍රයත්න දරනු ලබන්නේ අවිඥානික ද්‍රව්‍ය පුද්ගලයාගේ විඥානය වෙත ගෙන ඒම තුළින් මානසික රෝග සුවපත් කිරීමට ය. වෙනත් වචනවලින් කිවහොත් ඔහුගේ අවිඥානික බලවේගයන් ඔහුට විඥානිකව තේරුම් ගැනීමට ඉඩ සලස්වනු ලැබේ. මෙම සංකීර්ණ ප්‍රතිකාරක ක්‍රියාවලිය සඳහා මනෝවිශ්ලේෂණ ක්‍රම ශිල්ප භාවිතයට ගනු ලැබේ. එනම්,

  1. ස්වාපන ප්‍රතිකාරය /මෝහනය (Hypho Therapy)
  2. නිදහස් සංඝටනය (Free Association)
  3. විරෝධතා විශ්ලේෂණය (Resistance Analysis)
  4. සිහින විශ්ලේෂණය (Dream Analysis)
  5. මනෝ රංගනය (Psycho drama)

ස්වාපනය /මෝහන ප්‍රතිකාරය (Hypho Therapy)[සංස්කරණය]

මෝහනය සඳහා යොදාගත් සෝපානයකි

මෝහනයේදී සිදු කරනුයේ සවිඥානය ක්‍රියා විරහිත කර / නිද්‍රාව‍ ට පත් කර අවිඥානය තුළ ඇති තොරතුරු පි‍ටත‍ට ගැනීමයි. අවිඥානයේ ඇති ගැටළුකාරී තත්වයන් සවිඥානයට ගෙන ඒමට මෝහනය සාර්ථක, ක්‍රියාකාරී තත්වයක් විය. එමෙන්ම මෙමගින් සෑම ජීවිතයකම සෑම තත්පරයක්ම විශ්ලේෂණය කිරීමේ හැකියාව ඇත. විඥානයේ තිබෙන දේවල් එලියට ගැනීම භාව විරේකය නම් වේ.

උදා: කායරූපික ආබාධයකින් (SOMATAFORM) පෙළෙන පුද්ගලයෙක් සිටීනම් එම පුද්ගලයා එසේ හැසිරෙන්නේ කුමන හේතුවක් නිසාදැයි වෛද්‍ය විද්‍යානුකූලව විමසා බැලුවහොත් කිසිම රෝගයක් නොමැති විය හැක. එම නිසා එම කායික රෝග ලක්ෂණ කෙරෙහි හේතුවන මානසික කරුණු මොනවාදැයි මෝහනය තුළින් සවිඥානය නිද්‍රාව‍ ට පත් කර අවිඥානය තුළ ඇති තොරතුරු පි‍ටත‍ට ගැනීමෙන් සොයා ගත හැක.

ඒ අනූව මෝහන ක්‍රමය අනුගමනය කිරීමෙන් බොහෝ රෝගීන්ට සාර්ථක ලෙස ප්‍රතිකාර කිරීමට ප්‍රොයිඩ්ට හැකි විය. නමුත් මෝහනය සෑම පුද්ගලයෙකුටම, සෑම රෝගයකටම එකසේ නොගැලපෙන බව ද ප්‍රොයිඩ් තේරුම් ගත්තේ ය. ඒ අනූව ප්‍රොයිඩ් මෝහන ක්‍රමය අතහැර ඒ වෙනුවට නිදහස් සංඝටනය නම් ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කළහ.

නිදහස් සංඝටනය (Free Association)[සංස්කරණය]

මෝහන ප්‍රතිකාර ක්‍රමය අසාර්ථක වූ නිසා අළුත් ප්‍රතිකාර ක්‍රමයක් පිළිබඳව ගවේෂණය කිරීමේදී රෝගීන්ට කිසිදු බාධාවකින් තොරව කතා කිරීමට හා ඕනෑම දෙයක් තහංචිවලින් තොරව ප්‍රකාශ කිරීමට ඉඩ දීම තුළින් එම පුද්ගලයන්ගේ යටි සිතෙහි සැගව තිබූ රෝග නිධානයන් සොයා ගැනීමට සහ ඒ අනූව සාර්ථක ලෙස ප්‍රතිකාර කිරීමට ප්‍රොයිඩ්‍ සමත් වූයේය. සමහර රෝගීන් සුවපත් වූයේ නොපැකිලිව තම යටි සිතෙහි සැගවී තිබූ අදහස් ප්‍රකාශ කිරීමෙන් පමණි. මෙසේ නිදහසේ කතා කිරීමේ ක්‍රමය නිදහස් සංඝටනය පසුව ප්‍රොයිඩ්ගේ ප්‍රධානතම ප්‍රතිකාර ක්‍රමය බවට පත් වූයේ ය. මෙය යටි සිත පිරිසිදු කිරීමේ ක්‍රමයක් (Cathartic effect) වශයෙන් ක්‍රියා කිරීම මෙහි ලක්ෂණය යි. මනසේ තිබෙන නරක දේවල් විමෝචනය කරන බැවින් මෙය භාව විශෝධනය ලෙස ද හඳුන්වයි.

නිදහස් සංගටනයෙහි යෙදෙන අවස්ථාවක්

මෙහිදී සවිඥානය නිද්‍රාවට පත් නොකර පුද්ගලයාගේ කැමැත්ත, දැනුම ඇතුව අවිඥානයේ ඇති තොරතුරු සවිඥානය හරහා පිටත‍ට ගෙන එයි. සවිඥානයේ ඇති දේවල් පැවසීමට අවස්ථාවක් දුන් විට එහි රික්තකයක් ඇති වේ. එම රික්තකය පිරවීමට අවිඥානයේ තොරතුරු පැමිණේ. එම තොරතුරු ද පැවසීම තුළින් අවිඥානයේ ඇති තොරතුරු පි‍ටතට ගෙන ගැ‍ටළුව විසදිය හැක. එනම් අතීතය සිහිපත් කිරීම මගින් යටපත් කරන ලද සිද්ධීන් පිටතට ගැනීමෙන් පුද්ගලයාට සහනයක් ලබා දීම මෙහිදී සිදු වේ. මෙහි තිබෙන ගැ‍ටළුව නම් අවිඥානයේ ඇති තොරතුරු පිටතට ගලා එන්නේ මුල, මැද හා අඟ කලවම් වීමෙනි. එමෙන්ම එම පුද්ගලයාට ප්‍රජානනිකව අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් තිබිය යුතුය.

මෙහිදී පු‍ටුව තබා ගන්නා ආකාරය පවා වෙනස් වේ. 45%-50%ක ආනතියක් ඇත. සමහර පුද්ගලයින්ට අමිහිරි අතීත අත්දැකීම්, ලිංගික පීඩාවන් පවතීනම් සේවාලාභියාට උපදේශකවරයා සමග කෙලින්ම සම්බන්ධ විය නොහැක. එමනිසා උපදේශකවරයා තිරයක පිටුපසට වී ගැටළුව කෙරෙහි හූමිටි තබමින් සක්‍රීයව සවන් දිය යුතු වේ. ඒ තුළින් කිසිදු අපහසුතාවයකින් තොරව නිදහසේ සේවාලාභියාට තම අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබේ.

උදා: යම් කාන්තාවක් දූෂණය‍ට ලක් වී ඇත්නම් ඇයට තමන් පිළිබඳව නිදහසේ කතා කිරීමට අවස්ථාව සැලසිය යුතුය. සේවාලාභියාට තම හැගීම් ප්‍රකාශ කිරීමට අවස්ථාව දීම තුළින් ඇයගේ අවිඥානයේ තැන්පත්ව ඇති තොරතුරු පිටතට ගැනීමෙන් ගැ‍ටළුව විශ්ලේෂණය කල හැක.

විරෝධතා විශ්ලේෂණය (Resistance Analysis)[සංස්කරණය]

මෙම ක්‍රමශිල්පය යටතේ සේවාලාභියා දක්වනු ලබන විරෝධතා විශ්ලේෂණය කරනු ලබයි. එනම්,

  • සේවාලාභියා විසින් තම ගැ‍ටළුව ප්‍රකාශ කරගෙන යන අතරතුර කොටසක් මඟහැරීම.
  • සේවාලාභියා විසින් තම ගැ‍ටළුව ප්‍රකාශ කරගෙන යන අතරතුර එකම තැන කීපවරක් කීම.
  • සේවාලාභියා විසින් තම ගැ‍ටළුව ප්‍රකාශ කරගෙන යන අතරතුර ගැටළුවේ එක් තැනක නතර වී තවත් කතාවක් කීම.
  • සේවාලාභියාට තම සැසිය තිබෙන දිනය, දවස, වේලාව, ස්ථානය අමතක වීම.

යනාදී වශයෙන් විරෝධතාවන් තිබේනම් ප්‍රොයිඩ්ට අනූව ඒ කෙරෙහි සැලකිලිමත් විය යුතුය. මක්නිසාද යත් එය අවිඥානික බලපෑම නිසා සිදුවන්නක් වන බැවිනි. එම විරෝධතාවයන් ඇවීස්සීම විරෝධතා විශ්ලේෂණයයි. සේවාලාභියාට තම සැසිය තිබෙන දිනය අමතක වන්නේනම් එය එම සේවාලාභියා ප්‍රශ්නයට මුහුණ නොදී එය මගහැර සිටීමට දරන උත්සාහයක් විය හැක. නිදහස් සංඝටනයේ යෙදීමේදී ද විරෝධතාවය ඇති විය හැක. එය අවබෝධ කර ගැනීම තුළින් ගැටළුව තිබෙන තැන අවබෝධ කරගත හැක.

සිහින විශ්ලේෂණය (Dream Analysis)[සංස්කරණය]

අර්ථකතනය කරනු ලැබූ සිහිනයකි


ප්‍රොයිඩ් විසින් ක්‍රි:ව: 1900 දී “සිහින විචාරය” (The Interpretation of Dreams) නම් ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සිහින විචාරය හෙවත් සේවාලාභියා දකින සිහින නිසි පරිදී අර්ථකතනය කිරීම මනෝවිශ්ලේෂණවාදී ප්‍රතිකාරයේ වැදගත්ම ශිල්පයක් බවට පත් විය. සිහින යනු පුද්ගලයාගේ අවිඥානයෙන් විඥානයට එන පණිවුඩයකි. පුද්ගලයාගේ අවිඥානගත කරුණු සිහින මඟින් විටින් විට ප්‍රකාශයට පත් වේ. එහෙත් සිහින වනාහී සංකේතයක් මිස ඍජු ප්‍රකාශනයක් නොවේ. සිහිනයක කොටස් දෙකකි. එනම්,

  • ප්‍රක‍ට සංධාරය - මතුපිටින් පෙනෙන දේ
  • අප්‍රක‍ට සංධාරය - එහි සංකේතවලින් කියවෙන දේ

මෙම ප්‍රක‍ට සංධාරය තුළින් අප්‍රක‍ට සංධාරය මතුකර ගත හැක. නිදහස් සංඝටනයේදී ද වැඩි වැඩියෙන් සිහින පෙනේ. මෙහිදී නිදහස් සංඝටනයේම පියවරක් ලෙස කලින් දවසේ දුටු සිහින විමසිය යුතුය. මනෝවිශ්ලේෂණවාදීන් පවසන ආකාරයට මනුෂ්‍යයාගේ ජීවිතයේ ලිංගිකත්වය විශාල වශයෙන් වැදගත් නිසා ඔහුගේ සිහින තුළ ද මෙම ලිංගික පණිවුඩ අන්තර්ගත වේ. ප්‍රොයිඩ්ට අනූව අතීතයේ තෘප්ත කර ගැනීමට නොහැකි වූ දේවල් සිහිනයක් ලෙසින් පෙනේ.


මනෝ රංගනය (Psycho drama)[සංස්කරණය]

මෙය සිග්මන් ප්‍රොයිඩ්ගේ අනුගාමිකයින් විසින් දියුණු කරන ලද ප්‍රතිකාරක ක්‍රම ශිල්පයකි. මෙහිදී සිදු කරනුයේ සේවාලාභියාගේ ගැ‍ටළුවට සමාන නාට්‍ය පිටපතක් සකස් කර සේවාලාභියාගේ චරිතය ඔහුම නිරූපණය කරයි. සෙසු චරිත රඟපාන්නේ ප්‍රතිකාරකවරුය. මෙම ක්‍රම ශිල්පය තුළින් සේවාලාභියාට තමන්‍ට ප්‍රකාශ කිරීමට නොහැකිව තිබූ අදහස්, චිත්තවේග, හැගීම් පිට කිරීමට හැකියාව ලැබේ. සමහර පුද්ගලයින් ආගමික බලපෑම, දෙමාපිය බලපෑම ආදිය මත තම හැගීම් යටපත් කරගෙන සිටී. එවන් පුද්ගලයින්ට මෙම ප්‍රතිකාරක ක්‍රමය භාවිතා කළ හැක. ඒ තුළින් සුවයක් ලැබේ.

තවදුරටත් පරිශීලනය කළ හැකි ග්‍රන්ථ[සංස්කරණය]

  • Sdrow Lester M. (1990), “Psychology”, Brown & Benchmark Publishers, Madison, Wisconsin, Dubuque lowa, Indianapolis, Indiana Melbourne, Australia, Oxford, England.
  • අතුකෝරළ දයා රෝහණ, අතුකෝරළ හේළි නිමලා (2000), “අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා”, ශික්ෂා මන්දිර ප්‍රකාශන, නො:35, 11 මහල, සුපර් මාර්කට්, බොරැල්ල, කොළඹ 08.
  • අධ්‍යාපනය - 26 කලාපය, මහාචාර්ය ධර්මසේන අරම්පන්න සමරු කලාපය (1996 ජනවාරි), සංස්කාරක මහාචාර්ය එස්.රූපසිංහ, “මාර්ගෝපදේශය උපදේශනය හා මනෝ ප්‍රතිකාරය” - ඩී.එස් රණවක (79-92) ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන සංගමය, අධ්‍යාපන පීඨය, කොළඹ වි.වි.
  • අධ්‍යාපනය - 27 කලාපය (1997 මාර්තු), සංස්කාරක මහාචාර්ය එස්.රූපසිංහ, “පුද්ගල ගැටලුව හා උපදේශනය මනෝ විද්‍යාවේ විවිධ ප්‍රවේශ” - ඩී.එස් රණවක (67) ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන සංගමයේ ශාස්ත්‍රීය සංග්‍රහය, අධ්‍යාපන පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය.
  • එදිරිසිංහ දයා (1998), “මනෝවිද්‍යාව, ගුරුකුල සහ මනෝවිද්‍යාඥයෝ”, තරංජි ප්‍රින්ට්ස්, හයිලෙවල් පාර, නාවින්න, මහරගම.
  • කංකානම්ගේ සුගත් (2005), “පෞරුෂ වර්ධනය”, අස්ලිය ප්‍රින්ටර්ස්, කුරුණෑගල.
  • කොඩිකාර පසන් (2002), “මනෝවිශ්ලේෂණ ප්‍රවේශය - දේශන සිග්මන්ඩ් ප්‍රොයිඩ්”, දර්ශන පැතුම් මුද්‍රණාලය, නො:107, කඩුවෙල පාර, බත්තරමුල්ල.
  • බණ්ඩාරනායක අභය (1999), “මනෝවිද්‍යා ප්‍රවේශය”, සාර ප්‍රකාශන හා මුද්‍රණ, නො:94/1, අතුරුගිරිය පාර, කොට්ටාව.
  • රණවක ඩී.එස්., හපුආරච්චි ගාමිණී. (1996), “අසාමාන්‍ය මනෝවිද්‍යාව”, මනෝවිද්‍යා අධ්‍යයන ආයතනය, නො:34, ශර්බරි උද්‍යානය, බම්බලපිටිය, කොළඹ 04.
  • රාමණායක යූ.බී. (2001), “මනෝවිද්‍යා පදනම”, සර්වෝදය විශ්ව ලේඛා ප්‍රකාශන, නො: 41, ලුම්බිණි මාවත, රත්මලාන.

සබැඳි පිටු[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

පිංතූර ගැලරිය[සංස්කරණය]

ප්‍රතිකාර කිරීම සඳහා යොදාගත් උපකරණ[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=මනෝ_විශ්ලේෂණවාදය&oldid=250436" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි