බොල්ගොඩ

විකිපීඩියා වෙතින්

බොල්ගොඩ ගඟ, වේරස් ගඟ, කළු ගඟ ද්‍රෝණිවලින් ඒකරාශී වන ජලය ඒකාබද්ධවී සැදුන එකිනෙකට සම්බන්ධිත ජලාශ ගණනාවකින් යුත් බස්නාහිර පළාතේ විශාලතම තෙත්බිම බොල්ගොඩ ජලාශයයි. බොල්ගොඩ ජලාශය විල් දෙකකින් සමන්විතය. එනම් ඉහළ බොල්ගොඩ හා පහළ බොල්ගොඩ ලෙසයි. විනෝදකාමීන් හා පරිසරහිතකාමීන් නිතරම ගැවසෙන්නේ පහළ බොල්ගොඩයි. දෙස් විදෙස් සංචාරකයන්ගේ, සංචාරක පාරාදීසයද පහළ බොල්ගොඩයි. බොල්ගොඩ ජලාශය අත්තිඩිය, පිළියන්දල, මොරටුව, පානදුර, කළුතර වැනි විශාල ප්‍රදේශයක් පුරා පැතිර ඇත. කොළඹ හා කළුතර යන ප්‍රධාන දිස්ත්‍රික්ක දෙකකින් වෙන්වී පවතී. මේ දෙකෙහිම මායිම බොල්ගොඩ ගඟයි. රත්නපුර දිස්ත්‍රික්කයද එක් මායිමකි.

සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්වු බොල්ගොඩ ගඟ ජල විද්‍යාත්මක , පරිසර විද්‍යාත්මක හා ආර්ථික වශයෙන් වැදගත් කාර්‍යභාරයක් ඉසුලු ජලාශයකි. ඕලන්ද පාලන යුගයේදී රත්නපුර හා සිංහරාජ වන ප්‍රදේශයේ සිට දැව හා වෙනත් වන සම්පත්ද රත්නපුර සිට කළුතර හා මීගමු කලපු දක්වා භාණ්ඩ ප්‍රවාහනය කලේද මේ ජලාශය හරහාය. එමෙන්ම මඩපාත, පොල්හේන, කහපොළ, ජබුරලිය, දම්පේ ආදී ප්‍රදේශයවල හටගන්නා කොස්, දෙල්, විවිධ අල වර්ග, පලා වර්ග, එළවලු ආදිය පානදුර ප්‍රදේශයට ප්‍රවාහනය කලේ ද ඔරු මගින් මෙම මාර්ගයෙනි.එයින් ප්‍රදේශවාසීන්ගේ ප්‍රවාහන පහසුවටත් ආර්ථිකයටත් මහත් දියුණුවක් ඇති විය.

බොල්ගොඩ ජලාශයේ කරදිය හා මිරිදිය මිශ්‍ර වු ජලය හේතුවෙන් ජල පෝෂක ප්‍රදේශයක් නමින්ද හැදින්විය හැකිය. ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ ගණයේ මත්ස්‍ය වර්ග , ජලජ ශාක කුරුලු විශේෂ හා ඖෂධීය ශාකද මෙහිදී දැකගත හැකියි. කුරුලු විශේෂ අතර සිබිල්ලා කිතලා, කොකුන් හා දියකාවුන් ප්‍රධාන තැනක් ගනී.


බ්‍රිතාන්‍ය යුගයේ ඉංග්‍රීසීන් තම විනෝදාස්වාදය සදහා මෙම පරිසරය භාවිතා කරත්, එයින් පරිසරයට කිසිදු හානියක් සිදුවී නොතිබුණි . නමුත් වර්තමානයේ බොල්ගොඩ ජලාශයේ අවට සිදුකරන කාර්‍යයන් නිසා එම පරිසරය විනාශ වෙමින් පවතී . වර්ධනය වන අධික ජනගහනය නිසා හා නාගරීකරණය නිසා රළු පරිසරයකට හිමිකම් කියන කොළඹ දිස්ත්‍රික්ක පරිසරයේ පිහිටි මෙම බොල්ගොඩ ජලාශය සොබාදහම විසින් අපට දායාද කල මහඟු තිළිණයකි.

"https://si.wikipedia.org/w/index.php?title=බොල්ගොඩ&oldid=476066" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි