බ්‍රහ්මජාල සූත්‍රය

විකිපීඩියා වෙතින්

බ්‍රහ්මජාල සූත්‍රය දීඝ නිකායේ (බුදුන් වහන්සේගේ දීර්ඝ දේශන) සූත්‍ර 34 න් පළමුවැන්නයි. රජගහනුවර සහ නාලන්දා නුවර අතර පිහිටි අම්බලට්ඨිකා උයනෙහි රාජාගාරකයෙහි (රජුන් විසින් කරවන ලද ශාලාවෙහි), මණ්‌ඩලමාලා නම් රැස්‌වීම් ශාලාවේදී සුප්පිය පිරිවැජියා හා ඔහුගේ ශිෂ්‍යයකු වන බ්‍රහ්මදත්ත නම් තරුණයාත් අතර බුද්ධ, ධම්ම, සංඝ යන තුන් රුවන පිළිබඳ ඇති වූ ගුණ, නුගුණ විවාදය මුල්කරගනිමින් මෙම සූත්‍රය බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදී.

මෙම සූත්‍රය ප්‍රධාන මාතෘකා දෙකක් පිළිබඳ සාකච්ඡා කරයි.

  • දස සිල්පද (චූල ශීලය), මධ්‍යම ශික්ෂාපද (මජ්ඣිම ශීලය) සහ මහා සිල්පද (මහා ශීලය) විස්තර කිරීම.
  • මිත්‍යාදෘෂ්ටිකයන් විසින් ඇලී සිටින විශ්වාස 62 (දිට්ඨි) ගැන සාකච්ඡා කිරීම.

මෙම විශ්වාසයන් බොහොමයක් නූතන ලෝකයට තවමත් අදාළ වන අතර එම නිසා මෙම සූත්‍රය බෞද්ධ විද්වතුන්ට බුදුන්ගේ ඉගැන්වීම් ගැන මෙනෙහි කිරීමට බොහෝ තොරතුරු මෙම සූත්‍රයෙන් සපයා ගත හැක.

නමේ තේරුම[සංස්කරණය]

ඒවං වුත්‌තේ ආයස්‌මා ආනන්‌දෝ භගවන්‌තං ඒතදවෝච. අච්‌ඡරියං භන්තේ අබ්භූතං භන්තේ ඛෝ නාමායං භන්තේ ධම්‌මපරියායෝති?

මෙසේ වදාළ විට ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනී, ආශ්චර්යයයි! ස්වාමීනී, පුදුම සහගතයි! ස්වාමීනී, මේ ධර්ම ක්‍රමයට කියන නම මොකක්ද?”

තස්‌මාතිහ ත්‌වං ආනන්‌ද ඉමං ධම්‌මපරියායං අත්‌ථජාලන්‌තිපි නං ධාරේහි ධම්‌මජාලන්‌තිපි නං ධාරේහි බ්‍රහ්‌මජාලන්‌තිපි නං ධාරේහි දිට්‌ඨිජාලන්‌තිපි නං ධාරේහි අනුත්‌තරෝ සංගාමවිජයෝතිපි නං ධාරේහීති.

“එහෙම නම් පින්වත් ආනන්ද, මේ ධර්ම ක්‍රමය ‘අර්ථජාලය’ කියලා මතක තබාගන්න. ‘ධර්මජාලය’ කියලත් මතක තබාගන්න. ‘බ්‍රහ්මජාලය’ කියලත් මතක තබාගන්න. දෘෂ්ටිජාලය කියලත් මතක තබාගන්න. ‘අනුත්තර සංග්‍රාම විජය (දෘෂ්ටි යුද්ධයෙන් ලැබූ උත්තරීතර ජයග්‍රහණය)’ කියලත් මතක තබා ගන්න.

  • බ්‍රහ්මයාගේ දැල (ජාල - දැල්, පැටලීම).
  • අත්තජාල (සාරයේ දැල්)
  • ධම්මජාල, (ධර්මයේ දැල්)
  • දිට්ඨිජාල (දෘෂ්ටි දැල්)
  • අනුත්තරසංගම විජය (දෘෂ්ටි යුද්ධයෙන් ලැබූ උත්තරීතර ජයග්‍රහණය)


මේ දැල කුමක් සඳහා එලුවේ ද මිත්‍යාදෘෂ්ටික මත්ස්‍යයන් ඇල්ලීම සඳහාම එලුවේ ය.

බ්‍රහ්මජාල සූත්‍රය සහ අර්ථය[සංස්කරණය]

1. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා අන්‌තරා ච රාජගහං අන්‌තරා ච නාළන්‌දං අද්‌ධානමග්‌ගපටිපන්‌නෝ හෝති මහතා භික්‌ඛුසංඝේන සද්‌ධිං පඤ්‌චමත්‌තේහි භික්‌ඛුසතේහි. සුප්‌පියෝපි ඛෝ පරිබ්‌බාජකෝ අන්‌තරා ච රාජගහං අන්‌තරා ච නාළන්‌දං අද්‌ධානමග්‌ග පටිපන්‌නෝ හෝති සද්‌ධිං අන්‌තේවාසිනා බ්‍රහ්‌මදත්‌තේන මාණවේන.

මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පන්සියයක් පමණ මහත් වූ භික්ෂු සංඝයා සමඟ රජගහ නුවරටත්, නාලන්දා නුවරටත් අතරේ දිගු ගමන් මාර්ගයකට පැමිණ වදාළා. එහිදී සුප්පිය නම් වූ පිරිවැජියාත්, ඔහුගේ ශිෂ්‍යයකු වන බ්‍රහ්මදත්ත නම් තරුණයාත් සමඟ රජගහ නුවරටත්, නාලන්දා නුවරටත් අතරේ දිගු ගමන් මාර්ගයට පැමිණුනා.

තත්‍ර සුදං සුප්‌පියෝ පරිබ්‌බාජකෝ අනේකපරියායේන බුද්‌ධස්‌ස අවණ්‌ණං භාසති ධම්‌මස්‌ස අවණ්‌ණං භාසති සංඝස්‌ස අවණ්‌ණං භාසති; සුප්‌පියස්‌ස පන පරිබ්‌බාජකස්‌ස අන්‌තේවාසී බ්‍රහ්‌මදත්‌තෝ මාණවෝ අනේකපරියායේන බුද්‌ධස්‌ස වණ්‌ණං භාසති ධම්‌මස්‌ස වණ්‌ණං භාසති සංඝස්‌ස වණ්‌ණං භාසති. ඉතිහ තේ උභෝ ආචරියන්‌තේවාසී අඤ්‌ඤමඤ්‌ඤස්‌ස උජුවිපච්‌චනීකවාදා භගවන්‌තං පිට්‌ඨිතෝ පිට්‌ඨිතෝ අනුබද්ධා හොන්‌ති භික්‌ඛුසංඝඤ්‌ච.

එහිදී සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට අපහාස කරන්නට වුනා. ශ්‍රී සද්ධර්මයටත් අපහාස කරන්නට වුණා. ආර්ය සංඝ රත්නයටත් අපහාස කරන්නට වුනා. එනමුත් සුප්පිය පිරිවැජියාගේ ශිෂ්‍යයා වන බ්‍රහ්මදත්ත තරුණයා නොයෙක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරන්නට වුනා. ශ්‍රී සද්ධර්මයේ ගුණ වර්ණනා කරන්නට වුනා. ආර්ය සංඝරත්නයේ ගුණ වර්ණනා කරන්නට වුනා. ඉතින් ඔය විදිහට ගුරු ශිෂ්‍ය දෙදෙනා එකිනෙකාට හාත්පසින්ම විරුද්ධ වූ වාද ඇතිව භාග්‍යවතුන් වහන්සේත්, භික්ෂු සංඝයාත් පිටුපසින් ගමන් කරන්නට වුනා.

2. අථ ඛෝ භගවා අම්‌බලට්‌ඨිකායං රාජාගාරකේ ඒකරත්‌තිවාසං උපගඤ්‌ඡි සද්‌ධිං භික්‌ඛුසංඝේන. සුප්‌පියෝපි ඛෝ පරිබ්‌බාජකෝ අම්‌බලට්‌ඨිකායං රාජාගාරකේ ඒකරත්‌තිවාසං උපගඤ්‌ඡි සද්ධිං අන්‌තේවාසිනා බ්‍රහ්‌මදත්‌තේන මාණවේන. තත්‍ර පි සුදං සුප්‌පියෝ පරිබ්‌බාජකෝ අනේකපරියායේන බුද්‌ධස්‌ස අවණ්‌ණං භාසති ධම්‌මස්‌ස අවණ්‌ණං භාසති සංඝස්‌ස අවණ්‌ණං භාසති. සුප්‌පියස්‌ස පන පරිබ්‌බාජකස්‌ස අන්‌තේවාසී බ්‍රහ්‌මදත්‌තෝ මාණවෝ අනේකපරියායේන බුද්‌ධස්‌ස වණ්‌ණං භාසති ධම්‌මස්‌ස වණ්‌ණං භාසති සංඝස්‌ස වණ්‌ණං භාසති. ඉතිහ තේ උභෝ ආචරියන්‌තේවාසී අඤ්‌ඤමඤ්‌ඤස්‌ස උජුවිපච්‌චනීකවාදා විහරන්‌ති.

එතකොට භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රාජාගාරකයෙහි (රජුන් විසින් කරවන ලද ශාලාවෙහි) එක් රැයක් භික්ෂු සංඝයා සමඟ නවාතැන් ගන්නට වැඩම කළා. එකල්හි සුප්පිය පිරිවැජියාත් තම ශිෂ්‍යයා වූ බ්‍රහ්මදත්ත තරුණයා සමඟ ඒ අම්බලට්ඨිකාවේ රාජාගාරකයටම එක් රැයක් නවාතැන් පිණිස පැමිණියා. ඉතින් එතැනදීත් සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේට අපහාස කරන්නට වුනා. ශ්‍රී සද්ධර්මයටත් අපහාස කරන්නට වුනා. ආර්ය සංඝරත්නයටත් අපහාස කරන්නට වුනා. එනමුත් සුප්පිය පිරිවැජියාගේ ශිෂ්‍යයා වන බ්‍රහ්මදත්ත තරුණයා නොයෙක් ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරන්නට වුනා. ශ්‍රී සද්ධර්මයේ ගුණ වර්ණනා කරන්නට වුනා. ආර්ය සංඝරත්නයේ ගුණ වර්ණනා කරන්නට වුනා. ඉතින් ඔය විදිහට ගුරු ශිෂ්‍ය දෙදෙනා එකිනෙකාට හාත්පසින්ම විරුද්ධ වූ වාද ඇතිවයි වාසය කළේ.

3. අථ ඛෝ සම්‌බහුලානං භික්‌ඛූනං රත්‌තියා පච්‌චූසසමයං පච්‌චුට්‌ඨිතානං මණ්‌ඩලමාළේ සන්‌නිසින්‌නානං සන්‌නිපතිතානං අයං සංඛියාධම්මෝ උදපාදි. අච්‌ඡරියං ආවුසෝ අබ්‌භූතං ආවුසෝ යාවඤ්‌චිදං තේන භගවතා ජානතා පස්‌සතා අරහතා සම්‌මාසම්‌බුද්‌ධේන සත්‌තානං නානාධිමුත්‌තිකතා සුප්‌පටිවිදිතා. අයං හි සුප්‌පියෝ පරිබ්‌බාජකෝ අනේකපරියායේන බුද්‌ධස්‌ස අවණ්‌ණං භාසති ධම්‌මස්‌ස අවණ්‌ණං භාසති සංඝස්‌ස අවණ්‌ණං භාසති; සුප්‌පියස්‌ස පන පරිබ්‌බාජකස්‌ස අන්‌තේවාසී බ්‍රහ්‌මදත්‌තෝ මාණවෝ අනේකපරියායේන බුද්‌ධස්‌ස වණ්‌ණං භාසති ධම්‌මස්‌ස වණ්‌ණං භාසති සංඝස්‌ස වණ්‌ණං භාසති. ඉතිහමේ උභෝ ආචරියන්‌තේවාසී අඤ්‌ඤමඤ්‌ඤස්‌ස උජුවිපච්‌චනීකවාදා භගවන්‌තං පිට්‌ඨිතෝ පිට්‌ඨිතෝ අනුබද්ධා හොන්‌ති භික්‌ඛුසංඝඤ්‌චාති.

ඉතින් රෑ පාන්දරින් අවදි වෙලා රැස්වීම් ශාලාවේ එකතුවෙලා සිටි බොහෝ භික්ෂූන් වහන්සේලා අතර මේ කතාබහ ඇතිවුනා. “ප්‍රිය ආයුෂ්මතුනි, ආශ්චර්යයයි! ප්‍රිය ආයුෂ්මතුනි, පුදුම සහගතයි! දත යුතු සියල්ල දන්නා වූත්, දැක්ක යුතු සියල්ල දක්නා වූත්, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සත්වයන්ගේ එකිනෙකා අතර ඇති මේ වෙනස් අදහස් ඇති බව මොනතරම් පැහැදිලි ලෙසද තේරුම් අරගෙන තියෙන්නේ. මේ සුප්පිය පිරිවැජියා නොයෙක් අයුරින් බුදුරජාණන් වහන්සේට අගුණයක්ම කියනවා. ශ්‍රී සද්ධර්මයටත් අගුණයක්ම කියනවා. ආර්ය සංඝයාටත් අගුණයක්ම කියනවා. ඒ වුණාට සුප්පිය පිරිවැජියාගේ ගෝලයා වන බ්‍රහ්මදත්ත තරුණයා නම් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසාවක්මයි කරන්නේ. ශ්‍රී සද්ධර්මයට ප්‍රශංසාවක්මයි කරන්නේ. ආර්ය සංඝරත්නයට ප්‍රශංසාවක්මයි කරන්නේ. ඔය විදිහට ගුරු ගෝල දෙදෙනා එකිනෙකාට හාත්පසින්ම විරුද්ධ වාද ඇතිව භාග්‍යවතුන් වහන්සේගේත්, භික්ෂු සංඝයාගේත් පස්සෙන්ම ආවා නෙව” කියලා.

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රහ්මජාල_සූත්‍රය&oldid=528091" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි