ප්‍රෝටීන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න


ප්‍රෝටීන යනු ඇමයිනෝ අම්ල දාම එකකින් හෝ වැඩි ගණනකින් සැදුම්ලත් විශාල කාබනික සංයෝගයන්ය . සජීවී ජීවින් තුල පරිවෘත්තිය ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීම, ඩීඑන්ඒ ප්‍රතිවලනය කිරීම, උත්තේජකයන්ට ප්‍රතිචාර දැක්වීම, සහ එක් තැනක සිට තවත් තැනකට අණු රැගෙන යාම ආදි කෘත්‍යයන් අතිවිශාල සංඛ්‍යාවක් ඉටු කිරීම ප්‍රෝටීන මගින් සිදු කෙරෙයි. මෙම ඇමයිනෝ අම්ල කාබොක්සිල් හා ඇමැයිනෝ කාණ්ඩ අතර පෙප්ටයිඩ බන්ධන මගින් බන්ධනය වීමෙන් ප්‍රෝටීන් සෑදි ඇත. ප්‍රො‍්ටීනයක ඇමයිනෝ අම්ල පිහිටා ඇති ආකරය නිර්ණය වනුයේ ජානයක් මගින් වන අතර එය කේත ආකරයට පිහිටා ඇත. මෙම ජාන කේත මගින් ඇමයිනෝ අම්ල 20 ක් සහ සෙලෙනෝ සිස්ටීන් සහ පයිරෝලයිසින් නිෂ්පාදනය කෙරේ. ප්‍රෝටීන්වල ඇති මෙම අංග ඇතැම් අවස්ථාවන්හිදී රසායනික වශයෙන් නවීකරණය වීමක් සිදුකෙරේ. එය එම ප්‍රෝටීනය සෛලය තුළ ක්‍රියාකාරී වීමට පෙර හෝ එහි පාලන ක්‍රියාවලියෙහි කොටසක් ලෙසට සිදුවේ. ප්‍රෝටීන සඳහා විශේෂ ක්‍රියාවලීන් සිදුකිරීම පිණිස සාමුහිකව ක්‍රියාකාරීවීමට හැකියාව ඇති අතර ඒවා බොහෝ අවස්ථ‍ාවන්හිදී ස්ථායි සංකිර්ණයන් සාදයි.

පොලිසැකරයිඩ සහ න්‍යෂ්ටික අම්ල යන අනෙකුත් ජෛව විද්‍යාත්මක මහා අණු මෙන් ප්‍රො‍ටීනද ජීවින් සතු අත්‍යාවශ්‍ය අංගයක්වන අතර එය සෛල තුළ සිදුවන සියළුම ක්‍රියාවලීන් සඳහා දායකවේ. බොහොමයක් ප්‍රෝටීන එන්සයිම වන අතර පරිවෘත්තිය සඳහා අත්‍යවශ්‍ය වන ජීවක්‍රියාවලීන් උත්ප්‍රේරණය කරයි. ප්‍රෝටීන මගින් ජීවීන් තුළ ව්‍යුහමය ද්‍රව්‍යයන් සාදන අතර එමගින් කාර්මික ක්‍රියාවලීන් ද සිදුකරනු ලබයි. සෛලවල හැඩය පවත්වා ගැනීම සඳහා උපකාරීවන ඇක්ටීන් හා මයොසීන් ද ප්‍රෝටීන වේ. අනෙකුත් ප්‍රෝටීන වර්ග සෛල සඳහා සංඥා ලබාදීම, ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර, සෛල එකිනෙක සම්බන්ධ කිරීම සහ සෛල චක්‍රය පවත්වා ගැනීම සදහා උපකාරී වේ. ප්‍රෝටීන පුද්ගලයෙකුගේ ආහාර වේලෙහි අත්‍යවශ්‍ය අංගයකි. මිනිසුන් හට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සිරුර තුළ නිෂ්පාදනය කර ගැනීමට නොහැකි වීම නිසා ඒවා ආහාර මගින් සිරුර තුළට ලබාගත යුතු වේ. ආහාර ජීරණ ක්‍රියාවලිය ඔස්සේ මෙම ප්‍රෝටීන ද්‍රව්‍ය නිදහස් ඇමයිනෝ අම්ල බවට බිඳ හෙලනු ලබන අතර ඉන් පසුව ඒවා පරිවෘත්තීය ක්‍රියාවලිය සඳහා යොදා ගැනේ.

ප්‍රෝටීන යන වචනය සෑදි ඇත්තේ ග්‍රීක භාෂාවෙන් ප්‍රෝටා හෙවත් ප්‍රාථමික වශයෙන් වැදගත් යන තේරුම ඇතිවය . ප්‍රෝටීන මුල්වශයෙන් හඳුනාගෙන නම් කරන ලද්දේ ස්වීඩන් ජාතික රසායනික විද්‍යාඥයකු වූ ජෝන් ජේකොබ් බර්සීලියස් විසින් 1838 දීය. කෙසේ වුවද ජීවීන් තුළ ප්‍රෝටීනවල මූලික කර්තව්‍ය 1926 වන තෙක් හදුනාගෙන නොතිබුණි. ජේම්ස් බී සම්නර් විසින් යූරි‍ෙය්ස් එන්සයිමය ප්‍රෝටීනයක් බවට 1926 දී සොයා ගන්නා ලදී. 1958 දී ෆෙඩ්රික් සැන්ගර් විසින් සොයා ගන්නා ලද ඉන්සියුලින් නම් ප්‍රෝටීනය සදහා නොබෙල් ත්‍යාගය හිමිවුණි. ව්‍යුහාත්මක වශයෙන් ප්‍රෝටීනවල ඇති වැදගත්කම මුල්ම වශයෙන් පෙන්වන ලද්දේ හිමොග්ලොබින් සහ මයොග්ලොබින් සොයා ගන්නා ලද මැක්ස් පෙරුප්ස් සහ සර්ජෝන් කවුඩෙරි ‍කෙන්ඩෲ විසින් 1958 දීය. එක්ස් කිරණ විවර්තන අධ්‍යයනයන් මගින් ඉහත කී ප්‍රෝටීන වර්ග දෙකෙහි ත්‍රිමාණ ව්‍යුහයන් පිළිබඳව කරන ලද අධ්‍යයනයන් හේතුවෙන් ඔවුන් දෙදෙනාට 1962 දී රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමිවිය.

"http://si.wikipedia.org/w/index.php?title=ප්‍රෝටීන්&oldid=290157" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි