තෙපොංගල් 2014 තැපැල් මුද්දරය

විකිපීඩියා වෙතින්

මුද්දර නිවේදන අංකය 837[සංස්කරණය]

දමිළ ජනතාවගේ ඉතා වැදගත් දිනයක් වන තෙපොංගල් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ තැපැල් දෙපාර්තුමේන්තුවේ මුද්දර කාර්යාංශය රුපියල් 5ක හා රුපියල් 25 ක වටිනාකමින් යුත් නව තැපල් මුද්දර 2 ක් සහ සමරු පත්‍රිකාවක් 2014 ජනවාරි 12 වැනි දින නිකුත් කරනු ලැබේ.


හැදින්වීම[සංස්කරණය]

ප්‍රකට දමිළ කවියෙකු වන මහා කවි භාරදියාර් මහතා පවසා ඇති පරිදි "කෘෂි කර්මාන්තයටත්, වෘත්තියටත් වන්දනා කරමු." එම කියමන අනුව ඉතා හොද අස්වැන්නක් ලබා ගැනීමට උදව් උපකාර කරන ස්භාවධර්මයාටත්, හිරු දෙවියන්ටත්, කෘෂි කර්මාන්තය සදහා උදව් වන සත්ව සමූහයටත් තුති පුද කිරීමත්, සතුට ප්‍රකාශ කිරීමත් තෙයිපොංගල් දිනයේදී සිදු කෙරේ. ලොව පුරා විසිරී සිටින දමිළ ප්‍රජාව ආගම් භේදයකින් තොරව මෙම දිනය සමරනු ලබයි. ගොවි මහතුන් ඉතා දුක් මහන්සියෙන් ගොවිතැන් කර ලබා ගන්නා අස්වැන්නෙන් පලමු කොටස දෙවියන්ට පූජා කිරීමත් පසුව නැදෑයන් හට හා අනෙකුත් අයට ලබා දීමත් ඉතා දීර්ඝ කාලයක සිට කෙරෙන දමිළ සංස්කෘතික අංගයකි.

ජ්‍යෙතිෂයේ තෙපොංගල්[සංස්කරණය]

ජ්‍යෙතිෂයේ අනුව තෙ මාසයෙ හිරු දෙවියන් මකර රාශියට ඇතුළුවන කාලය මකර සංක්‍රාන්තිය වශයෙන් හදුන්වනු ලැබේ. එම කාලය උත්තරායන පුන්‍ය කාලය යනුවෙන් සදහන් වේ. එහි අරුත උතුරු පැත්තේ මාර්ගයක් යන්නයි. හිරු දෙවියන් දකුනේ සිට උතුර බලා ගමන් කරන කාලය උත්තරායන කාලයේ පලමු දිනය වේ. එය දමිළ වර්ශය ප්‍රථම මාසය වන තෙ මාසයේ ප්‍රථම දිනයද වේ. ජ්‍යෙතිෂයේ මෙම කාර්යය සූර්‍ය දෙවියන් ධනු රාශියේ සිට මකර රාශියට ගමන් කරන දිනය බව සදහන් වේ.

සමරණ ක්‍රමය[සංස්කරණය]

පොංගල් දිනයට පෙර දිනය දමිළ මාර්හලි මාසයේ අවසන් වන මෙම දිනය බෝගී දිනය යනුවෙන්ද සදහන් වේ. දමිළ ජනතාව මෙම දිනයේදී තම නිවස සම්පූර්ණයෙන් පිරිසිදුකර තීන්ත ආලේප කර එලිපෙහෙලි කරයි. ඒ සමගම පොංගල් දිනය වෙනුවෙන් අවශ්‍ය අළුත් කළයක් හා අනෙකුත් භාණ්ඩ මිලට ගනු ලැබේ. පොංගල් දිනයේදී හිමිදිරියේ නැගිට ස්නානය කර, අළුත් ඇදුම් ඇද, අළුත් කළයට කුබුරෙන් ගෙනා අස්වැන්න කොටා අළුත් සහල් සාදා ගේ ඉදිරිපිට මිදුලේ අළුත් ලිපක් දවා පොංගල් සාදනු ලැබේ. මෙම කලයේ කරට අළුත් නූලකින් අළුත් කහ කෑල්ලක් බදිනු ලැබේ. අළුතින් සකස් කර ගන්නා ලද එම ස්ථානය කෝලම් ඇද අළුත් කහ පැලයක්, උක්, බතල හා පුහුල් තබා සරස ගනු ලැබේ. රතුපස් පිරිමැද සකස්කරගත් මිදුලේ කහ වලින් ගණ දෙවියන් සාදා එම ස්ථානයේ පහන් පත්තුකරමින් සූර්‍ය දෙවියන් නමස්කාර කරමින් පොංගල් සාදනු ලබයි. මෙම ලිපේ තිබෙන බත් උතුරා භාජනයෙන් පිටතට හැලී යාමේදී චාරිත්‍රයක් වශයෙන් නිවැසියන් "පොංගලෝ පොංගලෝ" යනුවෙන් ශබ්ද නගා කෑගසමින් මහත සතුටින් ප්‍රීති ඝෝශා කරනු ලැබේ. පැණි කිරිබත් සූර්‍ය දෙවියන්ට පූජා කිරීම සදහා නිවසේ වහලයට විසිකරනු ලැබේ. ඉන්පසු පවුලේ අයට හා නෑදෑයනට බෙදා දී තමන්ද අනුභව කර සතුටුවේ. මෙය ඉතා පැරණි කාලයේ සිට දමිළ ජනතාවගේ චාරිත්‍රයකි.

ගවයන් සදහා පොංගල් (මාට්ටු පොංගල්)[සංස්කරණය]

තෙපොංගල් දිනයට පසු දිනය ගවයන් සදහා දිනය වේ. මෙම දිනය දමිළ භාෂාවෙන් මාට්ටු පොංගල් වශයෙන් සදහන් වේ. ගොවීන්ට නගුල ඇද ගොවිතැන සදහා උදව් වන ගවයන්ට ස්තුතිය පුදකිරීම සදහා මෙම දිනය සමරනු ලැබේ. මෙම දිනයේදී ගවයන් නහවා සැරසිලිකර එ අය සදහා පොංගල් සාදවා පිලිගන්වා පහන් දල්වා ගවයන් සතුටු කරනු ලැබේ. "තෙ මාසයේ උපතින් අළුත් මාවතක් විවෘත වේ" යන දමිළ කියමනක් ඇත. අප සාර ධර්මයට ගරු කරු කරමින් මේ තෙපොංගල් දිනය සමර සතුටු වෙමු.

නිකුත් කරන දිනය - 2014 ජනවාරි මස 12 වැනි දින. වටිනාකම - රුපියල් 5.00, රුපියල් 25.00. සැලසුම්කරු - පුලස්ති එදිරිවීර. ප්‍රමාණය - මි. මී. 41 x මි. මී. 30. හැඩය - තිරස්. මුද්‍රණ ක්‍රමය - ඕෆ්සෙට් ලිතෝග්‍රැෆි. පත් සැකැස්ම - පත්‍රිකාවක මුද්දර 20 බැගින්. සිදුරු ප්‍රමාණය - 13 1/2 x 14. මුද්‍රණකරුවෝ - රජයේ මුද්‍රණ දෙපාර්තුමේන්තුව, ශ්‍රී ලංකාව. වර්ණ ( පාවිච්චි කළ ) - හතරයි. කඩදාසි වර්ගය - 102 ජී. එස්. එම්. ආරක්ෂිත මුද්දර මුද්‍රණ කඩදාසි. මැලියම් - පීවීඒ. මුද්‍රණය කළ ප්‍රමාණය - මුද්දර රුපියල් 5.00 - 500,000. මුද්‍රණය කළ ප්‍රමාණය - මුද්දර රුපියල් 25.00 - 300,000. මුද්‍රණය කළ ප්‍රමාණය - සමරු පත්‍රිකා රුපියල් 30.00 - 15,000. අලෙවි කරන අවසන් දිනය - 2015.01.11.