චන්ද්‍ර ග්‍රහණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සටහන : පරිමා‍ණයට ඇද නොමැත. සුර්යයා වඩා විශාල වන අතර ස‍ඳෙන් තවත් ඈතින් පිහිටයි.
සටහන:පරිමාණයට නෙවේ

චන්ද්‍රයා හා සූර්යයා අතරට පෘථිවිය පැමිණ ඒක රේඛීය වීමෙන් පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතට වැටීමෙන් ඇතිවන සංසිද්ධිය චන්ද්‍ර ග්‍රහණයක් ලෙස හැඳින්වේ. චන්ද්‍ර ග්‍රහණයක් සිදු වන්නේ පුර පසළොස්වක දිනයකදී වන අතර සූර්ය ග්‍රහණයක් අමාවක දිනකදී සිදුවේ. සූර්ය ග්‍රහණයක් මෙන් නොව චන්ද්‍ර ග්‍රහණයක් එදින රාත්‍රිය පවතින සියළු ස්ථාන වලට දර්ශනය වේ.

හැඳින්වීම[සංස්කරණය]

අප දන්නා පරිදි චන්ද්‍රයා, චන්ද්‍ර මාසයකට දෙවරක් පෘථිවිය සූර්යයා වටා ගමන් කරණ කක්ෂය ඡේදනය කරමින් ගමන් කරයි. එමඟින් චන්ද්‍රයා වරක් සූර්යයා හා පෘථිවිය හා සූර්යයා අතරටද (අමාවක) තවත් වරක් සූර්යයාට හා පෘථිවියට පිටුපසින්ද (පුර පසළොස්වක) පිහිටයි. එම අවස්ථා නිෂ්පන්ද (Nodes) ලෙස හඳුන්වනු ලැබෙයි. කලින් කී පරිදි මෙම අවස්ථාවලදී පිළිවෙලින් සූර්ය ග්‍රහණයක් හා චන්ද්‍ර ග්‍රහණයක් සිද්‍රවිය යුතුය. නමුත් සැමවිටම එය එසේ සිදු නොවේ. මන්ද යත් චන්ද්‍රයා පෘථිවිය ව‍ටා ගමන් කරන කක්ෂය පෘථිවිය සූර්යයා වටා ගමන්කරන කක්ෂයට 5° 8' ක ආනතියක් පිහිටීම නිසා ය.

යම් අවස්ථාවකදී සූර්යයා හා පෘථිවිය සමඟ මේ නිෂ්පන්ද දෙක ඒක රේඛීය වේ. එවිට චන්ද්‍රයා පෘථිවියට පිටුපසින් පිහිටි නිෂ්පන්දයේ පිහිටන විට චන්ද්‍ර ග්‍රහණයක් සිදුවේ. (පෘථිවියට ඉදිරියෙන් ඇති නිෂ්පන්දයේ ඇති විට සූර්ය ග්‍රහණයක් ඇති වේ) මෙම තත්ත්වය වසරකට චන්ද්‍රග්‍රහණ දෙකේ සිට පහ දක්වා වු ප්‍රමාණයක් ඇති කිරීමට ඉඩ සලස්වයි. දළ වශයෙන් ඒවා අතර කාලාන්තරය වනුයේ මාස 6 කි. මේ නිෂ්පන්ද දෙක 180° ක කෝණික පරතරයකින් පිහිටන බැවින් එක් නිෂ්පන්දයක් පෘථිවිය සූර්යයා හා ඒක රේඛීය වූ විට අනෙක ද ඒක රේඛීය වීම සිදුවේ. එම නිසා බොහෝ විට එක් චන්ද්‍ර මාසයක් තුල සූර්ය ග්‍රහණයක් හා චන්ද්‍ර ග්‍රහණයක් යන දෙකම ඇති විය හැක. උදාහරණයක් ලෙස 2011 ජූනි 1 දින සූර්ය ග්‍රහණයක් සිදුවී ඉන්පසු ජූනි 15 දින පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් සිදුවීම දැක්විය හැකිය.

පෘථිවියේ සිට බලන විට පෘථිවියෙහි සෙවනැල්ල ඒක කේන්ද්‍රික වෘත දෙකක් (අර්ධ ඡායාව හා පූර්ණ ඡායාව) ලෙස උපකල්පනය කළ හැක. (නමුත් සැබෑව නම් පෘථියේ සෙවැනැල්ල කේතුක ආකාරයක් ගන්නා බවයි.) රූප සටහන පෙන්වා දෙන පරිදි චන්ද්‍රග්‍රහණයේ වර්ගය අර්ථ දැක්වෙනුයේ එය පෘථිවියේ සෙවනැල්ල හරහා යාමේ යෙදෙන පථය අනුවය. සඳ අර්ධ ඡායාව හරහා යන නමුත් අභ්‍යන්තර වෘතයට ලඟා නොවේ නම් එය උප චන්ද්‍රගහණයකි (Penumbral). සඳ අභ්‍යන්තර වෘතයේ කොටසක් හරහා ගමන්ගනී නම් එය අර්ධ චන්ද්‍රග්‍රහණයකි (Partial). තවද මුළු චන්ද්‍රයාම අභ්‍යන්තර වෘත්තය හරහා ගමන් ගනී නම් එය පුර්ණ චන්ද්‍රග්‍රහණයකි (Total).

ග්‍රහණ කාලය සහ අඳුරු බව[සංස්කරණය]

තවද චන්ද්‍ර ග්‍රහණයකදී පූර්ණ චන්ද්‍ර ග්‍රහණය සිදු වන කාල සීමාව හා එහි අඳුරු භාවය කෙරෙහි කරුණු දෙකක් බලපායි.

  1. ග්‍රහණය සිදුවන අවස්ථාවේදී චන්ද්‍රයා හා පෘථිවිය අතර දුර
  2. උපරිම අවස්ථාවේදී චන්ද්‍රයාගේ කේන්ද්‍රයත් පෘථිවියේ කේතුක ඡායාවේ කේන්ද්‍රයත් අතර ඇති වෙනස (γ - ගැමා/Gamma)

ග්‍රහණය සිදුවන අවස්ථාවේදී චන්ද්‍රයා හා පෘථිවිය අතර දුර[සංස්කරණය]

චන්‍ද්‍රයා පෘථිවිය වටා ගමන් කරන ඉලිප්සාකාර මාර්ගයේ සමීපකය (Perigree) යනු පෘථිවියට ආසන්නම ලක්‍ෂ්‍ය වන අතර දූරකය (Apogee) පෘථිවියට දුරස්ථම ලක්‍ෂ්‍ය වේ. සමීපකයේදී හෝ එයට ආසන්න දිනයකදී චන්ද්‍රග්‍රහණය සිදුවන්නේ නම් චන්ද්‍රයා පෘථිවියේ කේතුක ඡායාව හරහා ගමන් කරන කාලය වැඩිවේ. එමෙන්ම දූරකයේ ඇති විට ඡායාව හරහා ගමන් කරන කාල අඩුවේ. චන්ද්‍ර ග්‍රහණයේ ග්‍රහණ කාලසීමාව තීරණය කරන ප්‍රධාන සාධකය මෙයයි.

එමෙන්ම අඳුරු භාවය ගැනද මෙමඟින් අදහසක් ලබා ගත හැකිය. එනම් සමීපකයේ ඇති විට ඉතා අඳුරු ග්‍රහණයකුත් දූරකයේ ඇති විට එතරම් අඳුරු වීමක් නොවීමටත් ඉඩ ඇත.
Lunar Eclipse si.jpg

γ - ගැමා[සංස්කරණය]

චන්ද්‍ර ග්‍රහණයේ උපරිම අවස්ථාවේදී චන්ද්‍රයාගේ කේන්ද්‍රයත් පෘථිවියේ කේතුක ඡායාවේ කේන්ද්‍රයත් අතර ඇති වෙනස γ ගැමා නම් වේ. පෘථිවියේ සමක අරය γ ඒකක 1ක් වේ. චන්ද්‍ර ග්‍රහණයේ උපරිම අවස්ථාවේදී චන්ද්‍රයාගේ කේන්ද්‍රයත් පෘථිවියේ කේතුක ඡායාවේ කේන්ද්‍රයත් සමපාත වුවහොත් γ=0 වේ. එවිට ග්‍රහණය සිදුවන කාලය උපරිම වේ. මෙහි ප්‍රතිලෝමයද සත්‍ය වේ.

γ අඩු වන විට අඳුරු ස්වභාවය වැඩි වන අතර γ වැඩි වන විට අඳුරු ස්වභාවය අඩුවේ.

රතු පැහැය[සංස්කරණය]

චන්ද්‍ර ග්‍රහණයකදී චන්ද්‍රයා තැඹිලි පැහැයෙන් දිස්වන්නේ මේ නිසාය

සූර්ය ග්‍රහණයකදී මෙන් මෙහිදී චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම වැසී නෙ‍යන අතර රතු වර්ණයට හුරු අඳුරු පැහියකින් දිස්වේ. පෘථිවියේ ඇති ඝණ වායුගෝලය නිසා සූර්යයාගේ සිට පැමිණෙන සුදු ආලෝකය වර්තනය වීමකට භාජනය වේ. එහිදී නිල් වර්ණය රූපසටහනේ දැක්වෙන අයුරින් දෙපසට විසිරී යන අතර රතු වර්ණය මධ්‍යයට අභිසාරී වේ (කි මි 260,000කදී පමණ). පෘථිවියේ සිට චන්ද්‍රයාට සාමාන්‍යයෙන් කිමී 356,400ක් පමණ තිබේ. එම නිසා චන්‍ද්‍ර ග්‍රහණ අවස්ථාවකදී මෙම රතු පැහැ ආලෝකය චන්ද්‍රයා මතට පතිත වීමෙන් එය රතු පැහැයෙන් දිස්වේ.

පෘථිවි වායුගෝලයේ ඇති දූවිලි අංශු ප්‍රමාණය චන්ද්‍ර ග්‍රහණයේ අඳුරු පැහැය කෙරෙහි බලපායි. එනම් ධූලි අංශු වැඩි වන විට අඳුරු පැහැය වැඩිවේ.

මෑතකදීම සිදු වු චන්ද්‍රග්‍රහණය පුර්ණ එකක් වන අතර එය 2011 ජූනි 15 වනදා සිදු විය. මෑත යුගයේ සිදුවූ දීර්ඝතම සහ අඳුරුතම චන්ද්‍රග්‍රහණයක් වූ එය පැය 3 විනාඩි 39ක් පැවතුණි (පූර්ණ ග්‍රහණය පැය 1 විනාඩි 40). මෙහි අඳුරු බවට හේතු ගණනාවක් විය. එනම් චන්ද්‍රයා පෘථිවි සමීපක අවස්ථාවෙන් ඉවත් වී දින තුනක් වැනි කෙටි කලකින් සිදු වීම, γ අගය 0.0897 වැනි 0ට ඉතා ආසන්න අගයක තිබීම. 2011 මැයි 21 දින පුපුරා යෑම ඇරඹූ අයිස්ලන්තයේ ග්‍රිම්ස්වෝට්න් (Grímsvötn) ගිනිකන්ද නිසා ඇති වුනු ධූලි වලාව මගින් වායුගෝලයේ ඝණත්වය වැඩි වී තිබීම වැනි හේතු බලපෑවේය.

මීළඟ පූර්ණ චන්ද්‍රග්‍රහණය සිදු වන්නේ 2011 දෙසැම්බර් 10 වනදා වන අතර එයද ඉතා දීර්ඝ චන්ද්‍ර ග්‍රහණයක් වනු ඇත (පැය 3 විනාඩි 32)

"http://si.wikipedia.org/w/index.php?title=චන්ද්‍ර_ග්‍රහණය&oldid=250181" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි