Jump to content

ගුවන් විදුලි මාධ්‍යයට ලිවීම

විකිපීඩියා වෙතින්

නිමේෂයකින් ඇසී නෑසී යන ගුවන් විදුලි ප්‍රකාශනය වූ කලී වහා වටහා ගැන්මේ ලක්ෂණයෙන් සමන්විත වූවකි.ඵබැවින් මෙම ප්‍රකාශනය ඉදිරිපත් කිරීමේ රටාව අනෙකුත් ලිඛිත ව්‍යවහාරයන්ට වඩා අමුතු මගක් ගත යුත්තේය.නැවුම් ගතියකින් යුක්ත විය යුත්තේය.සවන පිනවන සුළු විය යුත්‍‍තේය.එය වඩ වඩා සරල,සුගම,ළගන්නා සුළු විය යුත්‍‍තේය.පුවත් පතකට වාර්තාවක් ලියනා අයුරින් ගුවන් විදුලියට ලිවීම නොකළ යුත්තකි.මන්ද?යත් ගුවන් විදුලි පිටපතක් රචනා කරනුයේ අසන්නා වෙත කියවන්නට වීමය.නිවේදකයා එය කථන ක්‍රමයෙන් හෝ ගායනා ක්‍රමයකින් කියවයි.එම ක්‍රමයට උචිත පරිදි ලියැවී තිබීම වැදගත්ය. "ගුවන් විදුලි රචනාවේදී ගරු කළ යුතු රත්රන් නීතිය වනුයේ රචනයට පෙර එය කියා බලන්න" යනුවෙන් මයිකල් කේ. සහ ඇන්ඩෲ ප්‍රොපර්වෙල් යන මාධ්‍යවේදිහු පවසා ඇත.මෙයට හේතුව පිටපතක ලියැවෙන දෙය නිවේදකයාට අපහසුතාවයෙන් තොරව කියවා ගෙන යෑමට හැකි විය යුතු වීමය. ගුවන් විදුලි මාධ්‍යයේදී ක්ෂණ රුංග්‍යතාවයට මූලික තැනක් ලැබේ. ක්ෂණ ලුම්ගතාවය යනු ඇසෙන දේශනයෙන් නෑසී යාමයි මෙහි ඇති විශේෂ ලක්ෂණයකි.


ගුවන් විදුලියට ලිවීමේදී අවධානය යොමු කළ යුතු කරුණු 04කි.

01.එය කථා කිරීම සඳහාය.

(සාහිත්‍යමය රචනාවක් විලස නොව භාෂා විලාසයේ පවතින දෙයක් වීමය.)

02.එය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට ඉදිරිපත් කරන්නකි.

(සංවාදාත්මක ස්වරූපයක්,සුහද බවක් අන්තර්ගත විය යුතු විමය.)

03.එය අසන මාධ්‍යයකි.

(එක් වරක් පමණක් ඇසෙන මාධ්‍යයක් වන හෙයින් එක් ශ්‍රවණයකදී තේරුම් ගත හැකි පරිදි ලිවීමද සරල,කෙටි වාක්‍ය යෙදීමද වැදගත්ය.)

04.ශබ්දය ආත්මය කොට ගත් මාධ්‍යයකි.

(ගුවන් විදුලියේ ශබ්දය පමණක් පවතින නිසා ශබ්දය ඇසුරෙන් සහෘදයාට ‍තේරුම් ගත හැකි පරිදි ලිවීමය.)


ගුවන් විදුලි බස හැකිතාක් සරල වන පරිදි ලිවීම වැදගත්.ලියන වාක්‍ය අවුල් සහගත නොවිය යුතු අතර උච්චාරණය කිරීමට පහසු වන ආකාරයේ වචන වලින් ලිවිය යුතුයි.අර්ථය සෙවීමට ශ්‍රාවකයා වෙහෙසවන සුළු බරපතල වාක්‍ය නොලිය යුතු අතරම කර්තෘ කාරක වාක්‍ය යෙදීම වැදගත් වේ.ගුවන් විදුලි ප්‍රවෘත්ති තුළ පවතින ආධිපත්‍යමය බලය රැකෙන පරිදි ලිවිය යුතුයි.තනතුරු නාමයන්ට කෙටි නම් භාවිත නොකරයි. ගුවන් විදුලි පිටපත් තුළ සංඛ්‍යා ලිවීමේදී 1-9 දක්වා සංඛ්‍යා අකුරෙන් ලියන අතර 10-999 දක්වා ඉලක්කමෙන් ලියයි.ඊට වැඩි සංඛ්‍යා අකුරු ඉලක්කම් දෙකම භාවිත කරයි.

උදා‍:29785- 29 දහස් 785

රුපියල් 20 දහස් 270 ශත 50


එක් පිටුවක් එක් ප්‍රවෘත්තියක් සඳහා වෙන් කරන අතර ඊට වැඩි නම් More යනුවෙන් ලියයි. මෙසේ කරනුයේ නිවේදකයාගේ පහසුව උදෙසාය.ගුවන් විදුලි කථා බහකදී අත්‍යාවශ්‍ය නැති වේලාවකදී සංඛ්‍යා ඉදිරිපත් කිරීමේදී ආසන්න ලෙස කීම වටී.මන්ද?යත් කනට එක වරකට තොරතුරු රැසක් ග්‍රහණය කර ගත නොහැකි නිසාය.සංඛ්‍යා අවශ්‍යම නම් පූර්ණ ගණනක් කියන්න.අසන්නාට නැවත මේ කරුණට සවන්දීමටද නොහැකිය.ගුවන් විදුලි රචනයේදී ලිඛිත හා කථන භාෂා අතර බසක් යොදා ගැ‍නේ.අවසාන ක්‍රියාව කථනයට හරවයි.පහසුවෙන් කියවිය යුතුය.එසේම මධ්‍යම පුරුෂ ඒක වචනයෙන් "ඔබ" යනුවෙන් ඇමතිය යුතුය.පිටපත් රචකයා තමා ලියන විෂය පිළිබඳ මනා දැනුමැති අයෙක් විය යුතුය.එසේම ගුවන් විදුලි භාෂාවේ ව්‍යුහය පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය.


ගුවන් විදුලි පිටපත් රචනා කරනුයේ අරමුණු ද්විත්වයකිනි.

.ග්‍රාහකයා තුළ සැහැල්ලුවක් ඇති කිරීම.

(එදිනෙදා ජීවිතයේ දැඩි අසහනකාරී ඒකාකාරිත්වයෙන් මිදීමට)

.ජීවිතාවබෝධයක් ලබා දීම.

(ග්‍රාහකයා ප්‍රඥාවට පත්කිරීම අරමුණු කර ගනී.මිත්‍යාව තුළ සිර කළ මිනිසා ඉන් මුදවාගෙන ඔහුගේ චින්තනය අවධි කරයි.


පිටපත් රචකයා ග්‍රාහකයාගේ පරිකල්පනය අවධි කළ යුතුවාක් මෙන්ම තමා අරමුණු කර ගත් කණ්ඩායම මනාව අවබෝධ කර ගෙන ඔවුන්ට උචිත ලෙස ආමන්ත්‍රණය කළ යුතුය.වැඩසටහනට ඉලක්ක වූ ග්‍රාහක පිරිසට අනුව භාෂා ශෛලියද වෙනස් කළ යුතුවේ.

උදා:ළමා වැඩසටහන්,ශාස්ත්‍රිය වැඩසටහන්


රචනය අතරතතුරේදී ඒකාකාරිත්වයෙන් මිදෙනු පිණිස භාෂා ශෛලියේ සහ වදන් රටාවේ වෙනස් කම් සිදු කළ යුත්තේ ශ්‍රාවකයාට වඩා ආකර්ෂණය වනු පිණිසය.රචකයා තමාගේ පිටපත තුළ අභෞව්‍ය දේ අන්තර්ගත නොකළ යුතුය.BBC ලෝක සේවාවේ මයිකල් කේ. ගේ ශිෂ්‍යාවක් තම ප්‍රථම ගුවන් විදුලි කථාවේ මාතෘකාව ලෙස තෝරා ගත්තේ දරු උපතයි.ඇගේ කථාව ඇසූ සියලු දෙනා සිනාසුනහ.ශිල්ප ධර්ම භාවිතය එක්තරා ප්‍රමාණයකට අවශ්‍යය.එහෙත් අත්‍යාවශ්‍යය වනුයේ සත්‍යයට ළං වීමයි.ළමයින් උදෙසා යම් තරමක අභෞව්‍යමය දෙයක් යොදා ගත්තද එය හිතකර වීම වැදගත්ය. උචිත බැවහර යොදා ගත යුතුවාක් මෙන්ම ආරම්භය ආකර්ෂණීය විය යුතුය.එවිටය ග්‍රාහකයා ජය ගත හැකි වනුයේ.මෙලෙස ලබා ගත් අවධානය දිගටම රඳවා ගැනීමට පිටපත සමත් විය යුතුය.ග්‍රාහක මනස ගිනි පුපුරක් ‍සේ අවධි කරවීමට ගුවන් විදුලි බසට හැකියාව ඇත.රචකයා ගුවන් විදුලි ආකෘතියට ගැලපෙන පරිදි ලිවීම අත්‍යාවශ්‍යය වේ.මාධ්‍යයට ලිවීමේදී

*නිරවද්‍යතාවය

*පැහැදිලිතාවය

*සංක්ෂිප්ත භාවය

ආරක්ෂා කළ යුතුය.


ගුවන් විදුලි රචනයේදී අනවශ්‍යය වර්ණනාවලින් තොර විය යුතු අතරම අනවශ්‍යය නිපාත,උපසර්ග,අව්‍ය පද,වි‍ශේෂණ පද,පුනරුක්ති,අතිශයෝක්ති ආදියෙන් වැලකී සිටීමද වැදගත්ය.එසේම හැඟීම්බර ලෙස නොලිවිය යුතු අතරම මධ්‍යස්ථභාවය රැක ගත යුතුය.කිසිවෙකුටත් අපහාස නොකළ යුතුයි. පිටපත මගින් කිසිවෙකුගේ පෞද්ගලිකත්වයට හානි නොවිය යුතුය.අයෝග්‍ය දේවල් නොලිවිය යුතුය.ජන මාධ්‍යය සම්බන්ධ නීති පිළිගනිමින් ඒවාට යටත්ව තම කාර්යය ඉටු කළ යුතුය.සමහර අවස්ථාවල සමහර කරුණු කෙරේ ස්වයං වාරණ ඇති කර ගැන්මටද සිදු වේ.ආචාර ධර්ම පිළිබඳ හොඳ අවබෝධයක් පිටපත් රචකයාට අවශ්‍යය වේ.සබ්ජුඩ්සේ සිද්ධාන්තයට අනුව අධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධ සියළුම තොරතුරු හෙළි කළ නොහැක.

1.පාර්ශව කරුවන්ට බලපෑමක් වන්නට ලිවිය නොහැක.

2.සාක්ෂි කරුවන්ට බලපෑමක් වන්නට ලිවිය නොහැක.

3.විනිශ්චය කරුවන්ට හා අධිකරණයට බලපෑමක් වන සේ ලිවිය නොහැක.

මෙයින් අදහස් කරන්නේ තීන්දුවට බලපෑම් වන කිසිවක් ලිවීමට අවසර නැති බවයි.මීට අමතරව දණ්ඩ නීති සංග්‍රහය,රැඟුම් පාලක මණ්ඩලය,අපහාස නීතිය වැනි දේ උල්ලංඝනය නොකළ යුතුය.මේ සම්බන්ධයෙන් ලිවිය හැකි යහපත් දේ සඳහා ඉඩ ඇත.


ගුවන් විදුලි වාර්තාකරණයේදී

*ඉදිරිපත් කරන කරුණු සත්‍ය විය යුතු අතර සත්‍ය බව ඔප්පු කිරීමට සාක්ෂි තිබිය යුතුය.

*යම් කරුණක් හෙළි නොකර සිටීමෙන් රටට ජනතාවට හානියක් වන බව ඔප්පු කළ යුතුය.

*හොඳ හැඟීමෙන්,ද්වේෂයෙන් තොරව,සද්භාවයෙන් වාර්තා කළ යුතුය.'

මේ අනුව ගුවන් විදුලි රචනයේදී අපක්ෂපාතී,තැන්පත්, ඉවසිලි සහිත, සියල්ලෙන්ම ඈත් වූ ආකල්පයක් අවශ්‍යය වන අතර භාවමය ප්‍රකාශන අනවශ්‍ය වේ.සියල්ලටම අවසානයේ එය කියවිය හැකි එකක්දැයි බැලීම වටනේය.

ආශ්‍රිත

[සංස්කරණය]

"ගුවන් විදුලි මාධ්‍යය යනු....", මහාචාර්ය තිස්ස කාරියවසම්,S ගොඩගේ සහ සහෝදරයෝ,675,P ද S කුලරත්න මාවත,කොළඹ 10.

මේවාත් බලන්න

[සංස්කරණය]

ගුවන් විදුලිය