ගැටීම් ආවාට (Impact Crater) - පෘථිවි චන්ද්‍රයාගේ ඇති ටයි‍කෝ ආවාටය.

විකිපීඩියා වෙතින්

පුළුල්ව ගත් කල මිනිසුන් විසින් ඇති කරන ලද හෝ ස්වාභාවිකව ඇති වූ ඕනෑම අවපාතයකට ආවාටයක් යැයි කිව හැකි අතර ඒවා ඇතිවන්නේ විශාල ප්‍රවේගයකින් පැමිණෙන වස්තුවක් ඊට වඩා ප්‍රමාණයෙන් විශාල දේහයක් සමඟ ගට්ටනය වීමෙනි. පොදු භාවිතයේ දී ගැටීම් ආවාට යන වචනය ගැටීම් නිසා ග්‍රහ වස්තු, චන්ද්‍රයා‍හෝ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති වෙනත් ඝන දේහවල ඇති වූ වෘත්තාකාර අවපාත සඳහා භාවිතා වේ. වල ආවාට (Pit crater) ලෙස හැඳින්වෙන්නේ අභ්‍යන්තර කඩා වැටීමක් නැතිනම් ගිලා බැසීමක් නිසා මෙම වස්තු වල මතුපිට ඇතිවන ආවාටයි. ගැටීම් ආවාට වටා ඉස්සුනු ගැට්ටක් ඇති අතර ඒවා කුඩා සරල භාජන හැඩැති අවපාත වල සිට විශාල සංකීර්ණ මුදු රැසක් සහිත බේසම් හැඩැති අවපාත දක්වා විවිධ පරාසයන් තුළ දක්නට ලැබේ. උල්කාපාත ආවාටය හා වල ආවාටය පෘථිවිය මත දක්නට ලැ‍බෙන කුඩා ගැටීම් ආවාට වලට හොදම උදාහරණ වේ.

චන්ද්‍රයා බුධ, කැලිසෝටෝ, ගැනිමිඩ් සහ වෙනත් කුඩා චන්ද්‍රයින් හා ග්‍රහක වැනි සෞරග්‍රහ මණ්ඩලයේ වස්තු වල මුලික භූ ලක්ෂණයක් ලෙස ගැටීම් ආවාට දැක්විය හැකිය. වඩා ක්‍රියාකාරී භූ විද්‍යා ක්‍රියාවලීන් සිදුවන පෘථිවිය, සිකුරු, අගහරු, යුරෝප, ඉයෝ සහ ටයිටන් වැනි වස්තු වල ගැටීම් ආවාට එතරම් සුලබ නොවන්නේ කාලයත් සමඟ පිපිරීම්, වැසීයාම් වැනි විවිධ විපර්යාස වලට ඒවා ලක්වන බැවිනි. මෙලෙස විපර්යාසවලට ලක්වීම නිසා මුල් අවස්ථාවට වඩා වෙනස් ලක්ෂණ පෙන්නුම් කරන ගැටීම් ආවාට වලට ගැටීම් ව්‍යුහය හෝ ඇස්ට්‍රොබිලේම් යන නම් භාවිතා කරයි.

සෞරග්‍රහ මණ්ඩලයේ මුල් කාල වලදී ගැටීම් ආවාට ඇති වීම අදට වඩා සුලබව තිබෙන්නට ඇත. බුධ සහ චන්ද්‍රයා ගේ දක්නට ඇති මුදු ගණනාවක් සහිත කිලෝමීටර සියගණනක් හෝ ඊටත් වඩා විශාල බේසම් හැඩැති ගැටීම් ආවාට මීට වසර බිලියන 3.8 කට පෙර අභ්‍යන්තර සෞරග්‍රහ මණ්ඩලයේ ඇති වූ තීව්‍ර ගට්ටන නිසා බිහිවන්නට ඇත. එතැන් සිට පෘථිවිය මත ආවාට ඇති වීම කලාතුරකින් සිදුවන්නට ඇත. සෑම වර්ෂ මිලියනයකටම වරක් කිලෝමීටර 20 ක විෂ්කම්භයකින් යුත් ආවාටයක් ඇතිවීමට තරම් ප්‍රමාණවත් ගට්ටන සංඛ්‍යාවක් සිදු වේ. එම ගණන එකේ සිට තුන දක්වා අගයක් ගනියි. එබැවින් පෘථිවිය මත මෙතෙක් සොයා ගෙන ඇති ආවාට වලට වඩා තරුණ ආවාට ‍ඒමත තිබිය යුතුය.පෘථිවියේ ක්‍රියාකාරී පෘෂ්ඨය නිසා ආවාට බොහොමයක් ඉක්මනින් විනාශ වුවත් භෞමික ගට්ටන ආවාට 170 ක් පමණ දැනට සොයාගෙන ඇත. ඒවා මීටර් දහයක සිට කිලෝමීටර 300ක් දක්වා පරාසයකට අයත් වේ. මුහුදු පතුලේ ඇති ආවාට කිහිපයක් ද මේ අතරට අයත් නමුත් මුහුදු පතුල ගවේෂණය කිරීමට ඇති අපහසුතාවය සහ මුහුදු පතුලේ ක්ෂණික වෙනස් වීම් නිසා මෙම ආවාට සොයා ගැනීම තරමක් දුෂ්කර වේ.