ගමට දැනුම

විකිපීඩියා වෙතින්

'ගමට දැනුම' යනු තොරතුරු තාක්ෂණය සම්බන්ධ විෂය කරුණු ගම් මට්‍ටමට ගෙන යාමට සුළුවෙන් අරඹන ලද ව්‍යාපාරික ලාභාපේක්ෂාවෙන් තොර ස්වේච්ඡා ව්‍යාපෘතියකි.

ඇරඹුම[සංස්කරණය]

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගනක තාක්ෂණ ආයතනයේ(UCSC) 2002/2003(A) කණ්ඩායමේ මිතුරන් පිරිසක් ඔවුන් රැකියා ප්‍රවිශ්ටය ලද පසු 2007 වසර මැද භාගයේ තමන් ලද නිදහස් අධ්‍යාපනයට ප්‍රති උපකාර කළ හැකි ක්‍රමයක් ඇතිදැයි සාකච්ඡා කළහ.එහිදී සුළුවෙන් හෝ ඈත දුර බැහැර පාසලකට යම් අධ්‍යාපනික වටිනාකමක් සහිත හෝ පාසල් ගමනට උපකාරී වන ද්‍රව්‍යමය ආධාරයක් කිරීම සුදුසු බවට එකඟත්වයක් ඇතිවිය.පාසල් ද්‍රව්‍යන්ද සමග 2008 වසරේ ජනවාරි මස රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසලකට ගිය පිරිස එක් සුවිශේෂී කරුණක් නිරීක්ෂනය කළහ.එනම් එතරම් ඈත ප්‍රදේශයකද එම පාසලට ඉතා හොඳ තත්වයක පරිගනක විද්‍යාගාරයක් අන්තර්ජාල සබඳතාවක් සහිතව ලබාදීමට රජය කටයුතුකොට තිබීමය.පරිගනක තාක්ෂණය උගැන්වීමට සුදුසු කෙනෙකු සොයාගැනීමට විදුහල්පතිතුමා උනන්දුවක් ගන්නා අයුරු දැකගත හැකිවිය.අනෙකුත් සම්පත් නැතත් එම කටයුත්තට සහාය දෙන මෙන් ඔහු ඉල්ලීමක්ද කළේය.


උසස් අධ්‍යාපනය ලබන අවධියේදී වැඩමුළු පවත්වා තිබූ අත්දැකීමත් නිදහස් අධ්‍යාපනයෙන් ලද දැනුම බෙදාහදා ගැනීමට තිබූ ආශාවත් නිසා මේ පිළිබඳ වැඩිදුර සොයා බැලීමට අදහසක් ඇති විය. තවදුරටත් කරුණු අධ්‍යනය කරනවිට පෙනී ගියේ ලංකාවේ ඈත දුරබැහැර සැළකිය යුතු පාසල් ප්‍රමාණයකට අංගසම්පූර්ණ පරිගනක විද්‍යාගාර මෙන්ම ඒ සඳහා යෝග්‍ය පෙළපොත්, අතිරේක පොත් ආදියද ලැබී ඇති බවයි.එහෙත් ප්‍රමාණවත් තරම් තොරතුරු තාක්ෂණ ගුරු මාපියන් නොමැති නිසා එම සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට නොගැනෙන බව පසක් විය.පාසල් දරුවන් මෙන්ම ඇතැම්විට වැඩිහිටි ගුරු මාපියන් තුලද පර්ගනකය සම්බන්ධයෙන් වන දුර්මත සහ අනවබෝධය තොරතුරු තාක්ෂණය ගමට යාමට අවහිරයක්ව ඇති අයුරු දකින්නට ලැබුණි.මෙම සියළු තත්වයන්ගේ ප්‍රතිඵලයක් ලෙස පරිගනකය සහ තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් මූලිකම සිද්ධාන්ත සරල උදාහරණ ආශ්‍රයෙන් ඒ සඳහා ආශාවක් ඇතිවන පරිදි නිබන්ධනගත කොට බෙදාදීමේ අදහස ඇතිවිය.

විකාශනය සහ වර්තමානය[සංස්කරණය]

තොරතුරුතාක්ෂණය සම්බන්ධව දැනුම වඩාත් ක්‍රමාණුකූලව සම්ප්‍රේශණය කිරීම සඳහා බහුතරයක් සිසු දරුවන්ට අවබෝධ වන පරිදි සරළ මාතෘකා ඔස්සේ සිංහල මාධ්‍යයෙන් නිබන්ධන සැකසීම ඇරඹුනි.ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරීමට ප්‍රථම අත්හදාබැලීමක් ලෙස මුද්‍රිත නිබන්ධන කුඩා පොත් ලෙස රත්නපුර ප්‍රදේශයේ පාසලකට වැඩමුළුවකදී බෙදාදෙන ලදී.එහිදී තරුණ සිසු දරුවන්ගෙන් ඉතා ප්‍රබෝධමත්(Inspiring) මෙන්ම වැදගත් ප්‍රතිචාර ගණනාවක් ලැබුණි.එම ප්‍රතිචාර 'ගමට දැනුම' ඉදිරියට ගෙන යායුතු ආකාරය තීරණය කරගැනීමට මහත්සේ පිටිවහලක් බවට පෙරලුනි.


ඔවුන්ගේ උද්‍යෝගීමත් ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක පහසුවෙන් නොමිලේ ලබාගතහැකිවන පරිදි සම්පත් අන්තර්ජාලයේ ගබඩා කරන ලදී.එහිදී හැකි අයට 'ගමට දැනුම' ව්‍යාපෘතිය පවත්වාගෙන යන්නන් සමග සම්බන්ධවී ගැටළු විසඳාගැනීමට සහ අදහස් ප්‍රකාශකිරීමට අවශ්‍ය පහසුකම්ද සපයා ඇත.


තවද 'ගමට දැනුම' වැඩමුළු පිළිබඳ විස්තරාත්මක තොරතුරුද අන්තර්ජාලයට මුදාහැරින.


තොරතුරු තාක්ෂණය පිලිබඳ මූලික අවබෝධයක් ලබාගැනීමට අදහස්කරන ඕනෑම පාසලකට හෝ වෙනත් එවැනි ස්ථානයකට ඉඩ ලැබෙන පරිදි පැමිණ වැඩමුළු පවත්වා දැනුම බෙදාහදා ගැනීමට 'ගමට දැනුම' සාමාජිකයෝ සැදී පැහැදී සිටිති.

නිබන්ධන සහ වැඩමුළු ව්‍යුහය[සංස්කරණය]

'ගමට දැනුම' වැඩමුළු සඳහා භාවිතාවන නිබන්ධන මූලිකවම සකසා ඇත්තේ පවර්පොයින්ට් ස්ලයිඩ්ස්(PPT) ලෙසය. ඒවා බහුතරය සිංහල මාධ්‍යයෙන් සකසා ඇති නිසා සිංහල යුනිකෝර්ඩ් නොමැති පද්ධතියක වුවද භාවිතාකිරීමට හැකිවන පරිදි පී.ඩී.එෆ්.(PDF) ආකාරයටද සකසා ඇත. පරිගනකය සම්බන්ධයෙන් ඇති මූලික දැනුම පාදක කොටගෙන නිබන්ධන පියවර 3කට බෙදා ඇත.මුල් පියවරට අන්තර්ගත වන්නේ බහුලවම භාවිතාවන මූලික දැනුමට ප්‍රයෝජනවත්වන සරල මාතෘකා 5කි.


1 පියවර - හැඳින්වීම
1) පරිගනකය 2) අන්තර්ජාලය 3) පරිගනක ජාලගතකරණය 4) ඔෆිස් (ඕපන් ඔෆිස් සහ මයික්‍රොසොෆ්ට් ඔෆිස්) 5) පරිගනක වෘත්තීන්


දෙවන පියවර ඉලක්ක කරනුයේ යම් මූලික පැහැදිලි අවබෝධයක් සහිත පරිශීලකයන්ට ඉදිරිගමනට උපකාරීවන ප්‍රධාන අංශ කීපයක් ගැන දළ අදහසක් ඇතිකිරීමට යොදාගතහැකි මාතෘකා කීපයක් සාකච්ඡා කිරීමය.


2 පියවර - මධ්‍ය මට්ටම)
1) Operating Systems and PC Maintenance - Microsoft and Unix like systems, software installation and updating, hardware maintenance troubleshooting
2) An Introduction to Programming Languages - VB[1], Java, HTML, A glimpse of C++ and MFC
3) Programming and Multimedia Tools - Adobe Flash, Adobe AIR, GWT, Joomla, 3D Max, Adobe Dream Viewer, Photoshop, Video Editing etc.
4) Networking Solutions - LAN, WAN, WiFi, Bluetooth, Infrared, Firewalls, Network Security etc.


තෙවන පියවර ලෙස අනුපූරක නැතහොත් ඌණපූරක මාතෘකා කීපයක් සාකච්ඡා කෙරේ. මේවා විෂය හා කෙළින්ම බැඳී නොතිබුනත් පුද්ගල දියුණුවට හා සාමාන්‍ය දැනුමට ප්‍රයෝජනවත් වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.


3 පියවර - අනුපූරක
1) පූර්විකාව - අභිප්‍රේරණ ඉදිරිපත්කිරීම
2) උසස් අධ්‍යාපනය, තෘතීය අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව හා රැකියා අවස්ථා - Some Experience Sharing

ක්‍රියා පටිපාටිය සහ සම්පත් දායකත්වය[සංස්කරණය]

'ගමට දැනුම' ව්‍යාපෘතියේ මූලිකම සහ ප්‍රධානම අරමුණ තොරතුරු තාක්ෂණය පිළිබඳව ඇති දුර්මත සහ අනවබෝධය දුරුකොට එය වඩාත් යහපත් හෙටදිනක් සඳහා උපයෝගී කරගන්නේ කෙසේදැයි ආශාවක් ඇතිවන පරිදි යම් විභවයක්(Potential) සහිත පිරිසක් සමග සාකච්ඡාවේ යෙදීමයි.එහිදී පරම අපේක්ෂාව(Ultimate Goal) වන්නේ තොරතුරු තාක්ෂණය ලංකාවේ අනාගතය අර්ථාන්විත කිරීම සඳහා ගම් නියම්ගම් සිසාරා සියළු ක්ෂේත්‍රයන් ආලෝකමත් කරනු ඇතැයි යන්නයි.'ගමට දැනුම' කුඩා උත්සාහයක් වුවද එය යම් ආරම්භක පදනමක් දැමීමට සුළුවෙන් හෝ උපකාරී වනුඇතැයි යන්න සම්පත් දායකයන්ගේ විශ්වාසයයි.


අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට 'ගමට දැනුම' නිබන්ධන සැකසීමේදී පහත ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත.


1) නිබන්ධන මාධ්‍ය ලෙස බහුතරයකට වඩා හොඳින් අවබෝධ වන සිංහල භාෂාව භාවිතා වේ. භාෂාමය අපහසුතා නිසා ආරම්භයේදීම තොරතුරු තාක්ෂණ විෂයෙන් ඈත්වීම වැළැක්වීමට මෙසේ සිදුකරන ලදී. එහෙත් ක්‍රමිකව හැකි සෑම ස්ථානයකම තොරතුරු තාක්ෂණ ලෝකයේ භාවිත වන ඉංග්‍රීසි වදන් වරහන් තුල දක්වන ලදී. ඉන් අපේක්ෂා කරනුයේ කාලයත් සමග නොදැනුවත්වම ඔවුන්ගේ ඉංග්‍රීසි වචන භාවිතය පිළිබඳ අනවශ්‍ය බිය මගහැරී යනු ඇති බවයි.

2) තොරතුරු තාක්ෂණය සම්බන්ධ කාරණා විස්තර කිරීමේදී සහ එහි ඇති අවශ්‍යතාවන් මෙන්ම ප්‍රයෝජන ගෙනහැර දැක්වීමේදී හැකිතාක් සරළ උදාහරණ යොදාගෙන ඇත. තොරතුරු තාක්ෂණය හා බැඳී පවතින සංකල්ප(Concepts) අපට නොතේරෙන එහා ලෝකයකින් ආ ඒවා(Alien Concepts) නොවන වග ඒත්තු ගැන්වීමට අපට එදිනෙදා හමුවන අපට බොහෝසෙයින් සමීප සැබෑ ලෝකයේ උදාහරන(Real World Examples) සමග පරිගනක තාක්ෂණය ගලපන ලදී.

3) ස්වභාවයෙන්ම ඉතා දිගු නිබන්ධන කියවීමට බහුතරයක් අකමැති නිසා නිබන්ධන හැකිතාක් කෙටිකර සකසන ලදී.සියළු නිබන්ධන එකතුකොට පොතක් සෑදුවහොත් ඇතැම්විට පොත ලොකු වැඩි යයි කියා කියවීමට අලස වියහැකි පිරිස අවම කරගැනීමට මේවා මුද්‍රණය කරනු ලබන්නේද එක් මාතෘකාවට එක් කුඩා පොත බැගිනි.මෙහි තවත් ප්‍රයෝජනයක් ඇත. එනම් එකම අවස්ථාවකදී වැඩි පිරිසකට විවිධ මාතෘකා ඔස්සේ පොත් පරිශීලනයට අවස්ථාව සැළසීමයි.

4) නිබන්ධන භාවිතා කරන්නන් උද්‍යෝගීමත් කොට එය අවසානය දක්වා පවත්වාගෙන යාමට ස්ථානෝචිතව සිත් ඇදගන්නා රූප සහ උදාහරන යොදාගන්නා ලදී.

5) සියළු නිබන්ධන ඔනෑම පද්ධතියක අපහසුවකින් තොරව පරිශීලනය කිරීම සඳහා පී.ඩී.එෆ්.(PDF) ආකාරයට වර්ණ(Colored) සහ කළු සුදු(Gray Scale) ලෙස දෙයාකාරවම සකසා ඇත.විශේෂයෙන්ම කළු සුදු නිබන්ධන සකසා ඇත්තේ ඉක්මණින් මුද්‍රණය කරගැනීමේ පහසුව පිණිසය.

6) සියළු නිබන්ධන නොමිලේ ඕනෑම අවස්ථාවක ඕනෑම කෙනෙකුට ලබාගතහැකි පරිදි අන්තර්ජාලයට මුදාහැර ඇත.

7) ගැටළු නිරකරණය කරගැනීමට හෝ වෙනයම් කටයුත්තකට සම්පත් දායකයන් හා ඕනෑම කෙනෙකුට සම්බන්ධ වියහැකි පරිදි අන්තර්ජාල පහසුකම් සකසා ඇත.

8) ගමට දැනුම ව්‍යාපෘතියේ සියළු අංශ හැකිතරම් සරළව සහ ඒකකාරී ගලායාමක් සහිතව(Integrity) පවත්වාගෙන යාමට කොන්දේසි විරහිතව උත්සාහ කර ඇත. ඒ සඳහා නිබන්ධන සංස්කරණ විස්තර(Versioning) සහිතව පවත්වාගෙන යාම, එකම පියවරට අදාල නිබන්ධන වල පසුබිම(Background) එකම ආකාරයට පවත්වාගෙන යාම, විවිධ මාතෘකා සාකච්ඡා කිරීමේදී එකම එළඹුමක්(Approach) යොදාගැනීම ආදිය සිදුකරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=ගමට_දැනුම&oldid=170791" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි