ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

රජය සහ නීති ව්‍යුහය[සංස්කරණය]

බලය කි‍්‍රයාවේ යෙදවීම සම්බන්ධයෙන් රීති නිර්මාණය කිරීමේ දෙවන ආකාරය ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීති දැක්විය හැක. අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය සහ එහි ආයතනයන් අතර සම්බන්ධතාවය එය විසින් පාලනය කරනු ලබයි. මෙම සන්දර්භය තුල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවන්ගේ මූලක අරමුණක් වන්නේ බල ධුරාවලීන් දක්වා සිටීමයි. උදාහරණයක් ලෙස ඒකීය රාජ්‍යයක ප‍්‍රාදේශීය අධිකාරීන් වෙත බලය විමධ්‍යගතව පැවතුනද මධ්‍යම පරිපාලනය සහ ව්‍යවස්ථාදායකය වෙත විශාල බලයක් පැවරී තිබෙනු ඇත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් පෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කරන විට නීති සම්පාදනය ඒවා යෙදවිම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් සහායෝගීව කටයුතු කරන පාලන ව්‍යුහයන් හා ස්ථර ගණනාවක් හඳුනාගත හැකිවනු ඇත.

මිනිස් අයිතිවාසිකම්[සංස්කරණය]

මානව හිමිකම් හෝ සිවිල් අයිතිවාසිකම් ඕනෑම රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඉතා වැදගත් අංගයක් වන අතර රාජ්‍යයට එරෙහිව පුද්ගලයා සතු අයිතිවාසිකම් එමඟින් නිර්ණය කරනු ලබයි. එක්සත් ජනපදය, ප‍්‍රංශය වැනි බොහෝ රටවල තනි සංගෘහිත කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හා අයිතිවාසිකම් පිලිබඳ පනතක් පවතී. වඩාත් මෑතකාලීන උදාහරණය වන්නේ අනුමත කරගැනීමට අසමත්වූ යුරෝපය සඳහා වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇතුලත්වීමට නියමිතව තිබූ යුරෝපීය සංගමයේ මූලික අයිතිවාසිකම් පිලිබඳ ප‍්‍රඥප්තිය යි. කෙසේවෙතත් වඩාත්ම වැදගත් උදාහරණය වන්නේ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය යටතේ පවතින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ විශ්ව ප‍්‍රකාශනයයි. ජාතික රාජ්‍යයක් හෝ අන්තර් ආණ්ඩු දේහයක් විසින් සිය පුරවැසියන් සම්බන්ධයෙන් අනුගමනය කිරීමට බැඳී සිටින මූලික දේශපාලන සමාජීය සහ ආර්ථික ප‍්‍රමිතීන් සුරක්‍ෂිත කිරීම එහි අරමුණ වෙයි.

එක්සත් රාජධානිය වැනි සමහර රටවල මූලික අයිතිවාසිකම් දක්වා සිටින තනි ලේඛනයක් නොමැත. එම රටවල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සමන්විත වන්නේ ව්‍යවස්ථාවන් නඩු තීන්දු නීතිය සහ චාරිත‍්‍රයන්ගෙනි. එන්ටි‍්‍රක් එ. කැරින්ටන් නම් නඩුවේ තීන්දුව දක්වා සිටින්නේ පොදු නීතිය තුලන් පැන නගින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මූලධර්මයන්ය. එන්ටි‍්‍රක් මහතාගේ නිවස ෂෙරීෆ් කැරින්ටන් විසින් අවුස්සා දමා පරීක්‍ෂාවට ලක්කරන ලදී. කැරින්ටන් දක්වා සිටියේ තමන්ට එසේ කිරීමට අධිකරණ නියෝගයක් හෝ ව්‍යවස්ථාපිත ප‍්‍රතිපාදනයක් නොවුනද නීතිමය වශයෙන් වලංගු අධිකාරියක් වන රජයේ ඇමතිවරයකු වූ හේලිෆැක්ස්හි අර්ල්වරයාගෙන් තමන්ට ඒ සඳහා වරෙන්තුවක් ලැබුණු බවය. අධිකරණය මෙහිදී ප‍්‍රකාශකර සිටියේ,

”මිනිසා සමාජය වෙත ප‍්‍රවේශවීමේ අවසන් අභිප‍්‍රාය වන්නේ සිය දේපල ආරක්‍ෂා කරගැනීමයි. එම අයිතිවාසිකම ශුද්ධ ලෙස සුරක්‍ෂිත කළ යුතු වන අතර කිසියම් මහජන නීතියක් විසින් හෝ සියල්ලන්ගේම යහපත තකා එය අවලංගුකොට නොමැත්තේවී නම් එය කිසිදු අවස්ථාවක අහිමි කළ නොහැකි අයිතිවාසිකමකි. එංගලන්තයේ නීතීන්ට අනුව පුද්ගලික දේපලට වන ඕනෑම ආක‍්‍රමණයක් කෙතරම් සුළු එකක් වුවද එය අනවසර ඇතුල්වීමකි. නීතියේ නිශ්ෂබ්දතාවය විත්තිකරුට එරෙහි අධිකාරයක් වන අතර කිසිදු සමාවට හේතුවක් ඉදිරිපත් කරනු නොලැබුවොත් පැමිණිලිකරුට සිය වාසියට තීන්දුවක් ලබාගැනීමේ අයිතිය හිමිය.” ජෝන් ලොක්ගේ බලපෑම හේතුකොටගෙන නීතියෙන් තහනම් කළ දේ හැරෙන්නට ඕනෑම දෙයක් පුද්ගලයාට කළ හැකි නමුත් රාජ්‍යය කළයුතු වන්නේ නීතියෙන් නියමකොට ඇති දේ පමණකි යන මූලික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මූලධර්මය බිහිවී ඇත.

ව්‍යවස්ථා සම්පාදන පටිපාටිය[සංස්කරණය]

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තවත් වැදගත් කාර්යයක් වන්නේ පාර්ලිමේන්තුව විසින් නීති සම්පාදනය කළයුතු කාර්ය පටිපාටිය දක්වා සිටීමය. උදාහරණයක් ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට විශේෂ බහුතරයක් අවශ්‍ය වියහැක. ද්වි-මණ්ඩල ව්‍යවස්ථා සම්පාදනයේදී නීති කෙටුම්පත් බලාත්මක වීමට පෙර දෙවනවර හා තෙවනවර කියවීම දක්වා වන පටිපාටියක් ඇතිකොට තිබිය හැක.