අනූපම් කර්

විකිපීඩියා වෙතින්

ඔහු ජනප‍්‍රිය සිනමාවට මෙන්ම සම්භාව්‍ය සිනමාවටද නැතිවම බැරි නළුවෙකි. තමන් තුට්ටු දෙකේ චිත‍්‍රපට රැසකද රඟපෑ බව ඔහු පිළිගනියි.

එම චිත‍්‍රපට කෙසේ වෙතත් ඒවායේද ඔහුගේ රංගනයන් ඉහළ මට්ටමක තිබිණි. දුෂ්ට චරිත වේවා, විකට චරිත වේවා ඕනෑම ආකාරයක සංකීර්ණ චරිත වේවා ඒ හැමෙකකටම ඉහළම සාධාරණය ඉටු කර ඇති මේ බොලිවුඩ් නළුවා අනූපම් කර්ය. ජනප‍්‍රිය රැල්ලේ චිත‍්‍රපට රසිකයන් පවා අනූපම් නොහඳුනන්නේ නොවේ. ඔහු එම ජනප‍්‍රියත්වය ලබාගෙන ඇත්තේ තමන් සතු විශිෂ්ට රංගන ප‍්‍රතිභාව නිසාවෙනි.

‘මම පහළ මධ්‍යම පාංතික පවුලක උපන් කෙනෙක්. මම ඉගෙනුමට දක්ෂ වුණේ නැහැ. කී‍්‍රඩාවට දක්ෂ වුණා. පාසලේ දඩබ්බර ශිෂ්‍යයෙක් හැටියට ප‍්‍රකට වුණ මම මගේ ගුරුවරුන්ව, මවුපියන්ව අනුකරණය කළා’.

1955 මාර්තු 7 දා උපන් අනූපම් කර් ගේ පළමු රංගන පාඩම එම අනුකරණයයි. පසුකාලීනව රංගනය කෙරේ සිත යොමු කළ ඔහු ඉන්දියාවේ ජාතික නාට්‍ය පාසලෙන් රඟපෑම හැදෑරුවේය. ඉන්දියාවේ වාරණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කලක් කටයුතු කළ ඔහු ජාතික නාට්‍ය පාසලේ ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයකු ද වෙයි.

‘සමහර අය කියන්න පුළුවනි රඟපෑම ගැන මේ තරම් දැනුමක් ඇති අයෙක් තුට්ටු දෙකේ චිත‍්‍රපටවල රඟපෑ එක වැරදියි කියලා. එවායේ රඟපෑවේ ඇයි කියලා ශිෂ්‍යයන් පවා මගෙන් අහනවා. ඒ මගේ ගමනේ ආරම්භය. ඒ සියලු කඩුළු පැනලා තමයි මම මේ තත්ත්වයට ඇවිත් ඉන්නේ. රඟපාන්න හොඳ චිත‍්‍රපට ලැබෙන තුරු බලා සිටියා නම් මම තවමත් බලා ඉන්නවා. කවුරුවත් මා ගැන කතා නොකරන්න, කවුරුවත් මගෙන් මෙහෙම ප‍්‍රශ්න නොකරන්නත් ඉඩ තිබුණා’.

මෑතකදී ත‍්‍රස්තවාදය පසුබිම් කර ගත් ‘අ වෙන්ස්ඩේ’ නමැති චිත‍්‍රපටයේ ඔහු රඟපෑවේ භාරතයේ තවත් විශිෂ්ට රංගන ශිල්පියකු ලෙස පිළිගැනෙන නස්රුදින් ෂා සමඟිනි. බොහෝ විචාරකයන් පවසන්නේ අනූපම් හා නස්රුදීන් එම චිත‍්‍රපටයේ අතිශය උසස් මට්ටමේ රංගනයන්හි නියැළෙන බවය.

අනූපම් ගේ බිරිය කිරන් කර් ද බොලිවුඩ් සිනමාවේ නිළියකි. ඇය ද විශිෂ්ට රංගන ශිල්පිනියක ලෙස පිළිගැනෙයි. ඔවුන්ගේ පුත‍්‍රයා සිකන්දර් කර් ද චිත‍්‍රපට නළුවෙකි. සමර් 2007 හා වුඩ්ස්ටොක් විලා යන චිත‍්‍රපටවල රඟපාමින් ඔහු බොලිවුඩයට පිවිසිය ද ඔහුට රන්බිර් කපූර්ට හෝ සෝනම් කපූර්ට තරම් ජනප‍්‍රියත්වයක් ලැබුණේ නැත.

අනූපම් හෝ කිරන්, සිකන්දර් තම පුතු බව පවසමින් ඔහුට අනවශ්‍ය ජනප‍්‍රියත්වයක් හෝ ප‍්‍රචාරයක් ලබා දෙන්නට උත්සාහ කළේ ද නැත. ‘මම කලබල වන්නේ මගේ පුතා ඉක්මනින් ජනප‍්‍රිය නොවුණා කියලා නම් නෙවෙයි. ඔහු අදක්ෂ නළුවකු බව පෙනුණා නම් මම කලබල වෙනවා. ජනප‍්‍රිය නොවුණත් ඔහු රංගනයේ දක්ෂ අයකු බව සනාථ කර ඇති නිසා මම සතුටින් ඉන්නවා’. අතිශය සංකීර්ණ චරිත රඟපෑවද, අනූපම් වඩාත් කැමති විකට චරිත රංගනයටය.

‘මම විකට චරිත රංගනයට වඩාත් කැමති ඒවාට පෙ‍්‍ර්ක්ෂක ප‍්‍රතිචාර ඒ වහා ලැබෙන නිසායි. අනෙක් අතට මම කැමතියි මිනිසුන් හිනස්සන්න. කෙනෙක් අඬනවාට වඩා හිනැස්සවීම අමාරුයි. අද ලෝකයේ පවතින දේවල් අනුව මිනිසුන්ට හිනාවීම පවා ඉක්මනට අමතක වී යන්නට පුළුවනි. එහෙම කාලයක ඔවුන් හිනස්සවන්න ලැබීම මම සළකන්නේ මගේ වාසනාවක් හැටියට’.

හොලිවුඩයේ විකට නළුවන් පිළිබඳ අනූපම් දරන්නේ මෙවැනි අදහසකි.

‘ජිම් කැරි, පීටර් සෙලර්ස් හා ස්ටීව් මාර්ටින් වැනි නළුවන්ට මා ඉතාමත් කැමතියි. එහෙත් එදා මෙදාතුර ලෝකයේ බිහි වූ අග‍්‍රගන්‍යම විකට නළුවා චාලි චැප්ලින්. ඒ ගැන විවාදයක් නැහැ’.

අද ලෝකයේ ඉහළම සිනමා කර්මාන්ත දෙක හොලිවුඩය සහ බොලිවුඩයයි. වාර්ෂිකව නිපැයෙන චිත‍්‍රපට ප‍්‍රමාණය අතින් ඉන්දියාව හොලිවුඩයට වඩා ඉදිරියෙන් සිටියද, වෘත්තීයමය තත්ත්වය අතින් හොලිවුඩය බොලිවුඩයට වඩා ඉදිරියෙන් සිටින බව අනූපම් ගේ අදහසයි.

‘තාක්ෂණය හා වෘත්තීයමය තත්ත්වය වගේම පළපුරුද්ද වැනි දේ වලින් හොලිවුඩය බොලිවුඩයට වඩා ඉදිරියෙන් සිටිනවා. අපි එය අවංකවම පිළිගන්න ඕනෙ. ඒ වගේම හොලිවුඩයට අද ලෝකයේ කරට කර සටනක් දෙන්න ඉන්නෙත් බොලිවුඩයම විතරක්ම බවත් අපි මතක තියා ගන්න ඕනෙ’.

අනූපම් ජීවිතය දෙස ඉතාමත් සුබවාදීව බලන පුද්ගලයෙකි.

‘ජීවිතය හරිම සුන්දරයි. මම දුක් වින්ද කාල වකවානු තිබුණා. නමුත් සමහර විට මම හීනෙන්වත් නොසිතූ හොඳ දේවල් ජීවිතය මට ලබා දුන්නා. කිසිම දවසක මට ලන්ඩනයේ ජාත්‍යන්තර රංගන පාසලක් අරඹන්න පුළුවන් වේවි කියලා මම හිතුවේ නැහැ’.

අද ඔහු සතු එම රංගන පාසලේ රංගනය හැදෑරීමට වැඩි වශයෙන් පැමිණෙන්නේ එංගලන්තයේ තරුණ තරුණියන්ය.

‘මම හුඟාක් කි‍්‍රයාශීලී පුද්ගලයෙක්. කාර්ය බහුල මිනිසෙකුට හැම දෙයක්ම කරන්න වෙලාව තිබෙනවා කියා මම විශ්වාස කරනවා. පසුගිය වසර දහයක පහළොවක කාලය ඇතුළත මට කිසිම කම්මැලිකමක් එක තත්පරයකදීවත් දැනිලා නැහැ.

මියෙන තුරුම ඉගෙන ගන්න බොහෝ දේවල් ජීවිතයක තිබෙනවා. කරන්න දේවලුත් තිබෙනවා. ඒ දේ නොදන්නා අයට තමයි ජීවිතයේ කම්මැලිකමක් දැනෙන්නේ’.

"https://si.wikipedia.org/w/index.php?title=අනූපම්_කර්&oldid=268884" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි