අකුණු

විකිපීඩියා වෙතින්

අකුණු ගැසීම හෙවත් අපේ ගැමි ව්‍යවහාරයට අනුව හෙණ ගැසීම පෘථීවිය මතුපිට සිදුවන්නා වු ස්වාහාවික ක්‍රියාවලියකි. එහෙත් මෙමගින් මිනිසුන්ට මෙන්ම අනෙක් ජීවීන්ට හා ස්වාභාවික පරිසරයට හානි සිදු වන බැවින් අකුණු ස්වාභාවික විපත් (Natural Disasters) ගණයට අයත් වෙයි. පෘථීවියේ උපත සිදු වුයේ කවදාද එදා පටන් පෘථීවියේ අකුණු ගැසීම සිදු වන්නට ඇත. අකුණු ගැසීමෙන් ස්වාභාවික විපත් සිදුවුවත් පෘථීවි ජීවයේ උපතට අකුණු ගැසීම හේතුවක් වුවා සේම උපන් ජීවය අඛණ්ඩව පවත්වා ගැනීමට ද අකුණු ආධාර වේ. මේ නිසා පෘථීවිය මත අකුණු වල ක්‍රියාකාරිත්වයක් නොතිබුණා නම් ජීවින්ට ජීවත් වීමට සුදුසු ස්ථානයක් ලෙසට පෘථීවිය සැකසෙන්නේ නැත. එබැවින් අකුණු ගැන දැනුවත් වීම අකුණු අනතුරු වලින් බේරීමට තිබෙන පහසු මාර්ගයකි.

අකුණු යනු කුමක්ද?[සංස්කරණය]

අකුණු යනු ස්වාභාවිකවම සිදුවන විද්‍යුත් ස්ථිතික විසර්ජනය කි (Electrostatic Discharges). එම කාලය තුළ වායුගෝලයේ හෝ භූමියේ විද්‍යුත් ආරෝපිත කලාප දෙකක් තාවකාලිකව සමාන වන අතර එමඟින් ගිගාජූල් ශක්තියක් ක්ෂණිකව මුදා හැරේ. මෙම විසර්ජනය ඉලෙක්ට්‍රෝනවල වේගවත් චලනය මගින් නිර්මාණය කරන ලද ඉතා උණුසුම් ප්ලාස්මා සිට කළු-ශරීර විකිරණ ස්වරූපයෙන් දෘශ්‍ය ආලෝකයේ දීප්තිමත් දැල්වීම් දක්වා පුළුල් පරාසයක විද්‍යුත් චුම්භක විකිරණ නිපදවිය හැකිය. අකුණු මඟින් ගිගුරුම් ඇති කරයි, කම්පන තරංගයේ ශබ්දය විසර්ජනය අවට වායූන් ලෙස වර්ධනය වන අතර පීඩනය හදිසියේ වැඩි වේ. අකුණු කුණාටු සහ වෙනත් ආකාරයේ ශක්තිජනක කාලගුණික පද්ධති වලදී අකුණු සැර බහුලව සිදු වේ, නමුත් ගිනිකඳු පුපුරා යාමේදී ගිනිකඳු අකුණු ද ඇතිවිය හැකිය

ඇතිවීම[සංස්කරණය]

අකුණක් ඇතිවන ආකාරය

ලෝක ගෝලයේ ඇතිවනනය වන්නේ කපය කැටිවැහි වලාවළය. හොඳින් ආරෝපණය වු කැටි වලාකුළක පහළ කොටසේ ඍණ ආරෝපණ (-) හා ඉහළ කොටසේ ධන ආරෝපණ ( +) පවතී. මෙසේ හොඳින් ආරෝපණය වු වලාකුළු අතර ප්‍රේරණය (Induction) නිසා වලාකුලට පහළ පෘථීවිය මතුපිට ධන ආරෝපණ හට ගනී. මෙසේ ආරෝපණ කේන්ද්‍ර අතර වර්ධනය වන විද්‍යුත් ක්ෂේත්‍ර වාතයේ බිඳවැටීම් ක්ෂේත්‍ර දක්වා වර්ධනය වු විට ආරෝපණ කේන්ද්‍ර අතර විද්‍යුත් විසර්ජන හටගනි. පෘථීවියට ආසන්න වායුගෝලයේ බිඳවැටීම් විද්‍යුත් ක්ෂේත්‍රය මීටරයට කිලෝවෝල්ට් 12 ත් 15 ත් අතර ප්‍රමාණයක් වෙයි.

එහෙත් වායුගෝලයේ ඉහළට යනවිට පීඩනයේ අඩු වීම නිසා බිඳවැටිම් විද්‍යුත් ක්ෂේත්‍රයේ අගය ක්‍රමයෙන් අඩුවේ. වියළි වාතයේදී ට වඩා ජලවාෂ්ප සහිත වාතයේ සන්නායකතාව හෙවත් විදුලිය ගලා යාමේ හැකියාව (Conductivity) වැඩිය. (Electric)

මේ හේතුව නිසා වලාකුළක් තුළ පවතින බිඳවැටීම් විද්‍යුත් ක්ෂේත්‍රය පෘථීවිය ආසන්න ස්තර වල තිබෙන බිඳවැටීම් විද්‍යුත් ක්ෂේත්‍රයට වඩා අඩුය. මේ නිසා බොහෝ අවස්ථාවලදී පෘථීවිය වෙතට අකුණු ගලා ඒමට පෙර වලාකුළ තුළ විද්‍යුත් විසර්ජන හෙවත් වලා අකුණු ආරම්භ වේ.

අකුණු පහරක අඩංගු ශක්තිය[සංස්කරණය]

පෘථීවි අකුණු පහරක සාමාන්‍ය ධාරාව ඇම්පියර 25000 ක් පමණ වන අතර වෝල්ටීයතාව වෝල්ට් මිලියන 100 ක් පමණ වේ. ඒ අනුව කුලෝම්බ 5 ක පමණ විද්‍යුත් ආරෝපණයක් පෘථීවිය වෙත ගෙන එන අකුණු ධාරාවක් සතු ශක්තිය ජූල් මිලියන 500 ක් පමණ විශාල අගයකි. මෙයින් අකුණු පහරකට කොපමණ විනාශයක් කළ හැකිද යන්න තීරණය කිරීමට පුළුවන. එය වටහා ගැනීමට දළ උදාහරණයක් මෙසේ දැක්විය හැක. අකුණක් සතු ආරෝපණය යම්කිසි ආකාරයකට ගබඩා කරගතහොත් එම ආරෝපණය ශ්‍රී ලංකාව වැනි රටක අවුරුදු 10ක පමණ විදුලි අවශ්‍යතාව සැපිරීමට තරම් ප්‍රමාණවත් වේ.

අකුණු පහරක් ළගාවිය හැකි ප්‍රධාන ආකාර[සංස්කරණය]

ඍජු ගැටුම[සංස්කරණය]

වලාකුළක සිට පහත් වන අකුණු ධාරාවක් සෘජුවම ළගා වීමයි.සෘජු ගැටුම ඉතාම අනතුරුදායකයි. එවන් පහරකට ලක් වුවන් 10 දෙනෙකුගෙන් 8කටම මාරාන්තික උවදුරු ළගා වන බව කියැවේ. දෙදෙනකු සති කිහිපයක් සාත්තු ලැබිය යුතු ශාරීරික ආපදා වලට භාජනය වි ඇත .

ස්පර්ශ වෝල්ටීයතාවය[සංස්කරණය]

පෘථීවිය වෙත අකුණු ධාරාවක් ගමන් කරන ගසක්, ගොඩනැගිල්ලක්, හෝ කම්බියක් වැනි ද්‍රව්‍යයක් හි ස්පර්ශයක් පවතින විට ඒ හරහා අකුණු පහර ළගා වීම. හෝ ගසක් යට සිටින්නකුට අකුණු වැදීම ස්පර්ශ වොල්ටීයතාවයි

අංශ ජ්වලන[සංස්කරණය]

පෘථීවිය වෙත අකුණු ධාරාවක් ගමන් කරන ද්‍රව්‍යයක් ආසන්නයේ සිටින විට, ද්‍රව්‍යයේ සිට ඇති පරතරය පැන ආංශික ලෙස අකුණු පහර ළගා වීම.

පියවර වෝල්ටීයතාවය[සංස්කරණය]

පෘථීවිය හා ශරීරයේ කොටස් ස්පර්ශව පවතින විට සිදුවිය හැකි උවදුරකි. පීථීවිය වෙත අකුණු ධාරාවක් ළගා වු ස්ථානයක සිට විහීදි යන ධාරාවක් ආසන්නම ශරිර ස්පර්ශ ස්ථානයෙන් ඇතුල් වී වෙනත් ස්ථානයකින් යලිත් පෘථීවිය දෙස ගමන් කරයි. මෙවන් අනතුරු බහුලව වාර්තා වන්නේ අකුණු පහර වැදුන ස්ථානයක් ආසන්නයේ හිට ගෙන සිටින අවස්ථාවලයි.

අධි වෝල්ටීයතා (සර්ජ්) සම්ප්‍රේෂණය[සංස්කරණය]

විද්‍යුත් සහ සන්නායක පද්ධති හා සම්බන්ධව හෝ ආසන්නව සිටියදී පද්ධතිය වෙත ළගා වන අකුණු පහරවල බලපෑමෙන් ප්‍රේරණය වන ක්ෂණික අධි වෝලටීයතා පද්ධති ඔස්සේම සම්ප්‍රේෂණය වීම.

අකුණු වර්ග[සංස්කරණය]

අකුණු හටගන්නා විට එම අකුණු දිස්වන ආකාරයට අනුව ඒවා වර්ග කිරීමකට ලක් කෙරේ. මෙම වර්ග කිරීම රට රටවලට අනුව වෙනස් වේ. කෙසේ වෙතත් කරන ලද වර්ග කිරීම් වලට අනුව වඩාත් ප්‍රසිද්ධ අකුණු වර්ග මෙසේ සඳහන් කළ හැකිය.

  1. තාප අකුණු (Heat Lightning)
  2. තල අකුණු (Sheet Lightning)
  3. රොකට් අකුණු (Rocket Lightning)
  4. රිබන් අකුණු (Ribbon Lightning)
  5. පබළු අකුණු (Bead Lightning)
  6. බෝල අකුණු (Ball Lightning)
  7. රතු දේවතාවා (Red Sprite)
  8. නිල් ජෙට් (Blue Jet)

තාප අකුණු[සංස්කරණය]

තාප අකුණ

මෙම අකුණු හටගන්නා විට ගිගිරුමක් නොඇසේ. එහෙත් වලාකුළු ආලෝකවත් වෙයි. පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 25 ක්ප මණ හෝ ඊට වඩා උසකින් හට ගනී. මෙම අකුණු ඇතිවීමට හේතුව ඉහළ වලාකුළු වලින් අකුණු පරාවර්තනය වීමයි.

තල අකුණු[සංස්කරණය]

තල අකුණු

වලාකුළක තලයක් වැනි කොටසක් පමණ දීප්තිමත් වෙමින් හටගන්නා අකුණු තල අකුණු යනුවෙන් හැඳින්වෙයි.

රොකට් අකුණු[සංස්කරණය]

රොකට් අකුණු

ප්‍රමාණයෙන් දිගු මාර්ග සහිත අකුණු රොකට් අකුණු ලෙස හැඳින් වේ. මෙහිදී මෙම අකුණු සිය ගමන් මාර්ගයේ සෙමින් සෙමින් ගමන් කරන ආකාරයක් දිස්වේ.

රිබන් අකුණු[සංස්කරණය]

රිබන් අකුණු

සුළං ප්‍රවාහවල බලපෑම මෙම අකුණු වලට හේතු වේ. මේ නිසා වලාකුළු සහ පොළොව අතර සිදුවන අකුණු පහර විස්ථාපනයකට ලක්වීම නිසා පළලට දිස්වේ.

පබළු අකුණු[සංස්කරණය]

පබළු අකුණු

වලාකුළක් හා පෘථීවිය අතර හටගන්නා අකුණු පබළු අකුණු යනුවෙන් හැඳින්වේ. මෙම අකුණු වල තිඛෙන විශේෂත්වය නම් මීටර් 10 ක පමණ දිගින් යුත් කොටස් වලට කැඩී හෝ කැඩී තිඛෙන ලෙස පෘථීවියට දර්ශනය වීිමයි.

බෝල අකුණු[සංස්කරණය]

බෝල අකුණු

විවිධ ප්‍රමාණ වලින් දිස්වන මෙම අකුණු වායුගෝලය තුළ එහා මෙහා ගමන් කරන වර්ණවත් ආලෝක ධාරාවලින් යුක්ත වේ. ගෝලීය ස්වභාවයක් ගන්නා මෙම අකුණු ධාරාවක විෂ්කම්භය මෙන්ටිමීටර් 20ක් පමණ වේ.

නිල් ජෙට්[සංස්කරණය]

නිල් ‍ජෙට්

අකුණු වලාවේ මැද පෙදෙසට ඉහළ සිට ඊට ඉහලින් පිහිටි වලාකුළු දෙසට ඉතා සැණින් පිපිරී යන අකුණු නිල් ජෙට් යනුවෙන් හැඳින්වේ. එසේ හැඳින්වීමට හේතුව නිල් පැහැති කේතුවක හැඩයෙන් යුත් ආලෝක ධාරාවක් පිටවීමයි.

රතු දේවතාවා[සංස්කරණය]

අකුණ වලාවක ඉහළ කිලෝමීටර කිහිපයක් දුරට සිදුවන රතු පැහැති පිපිරීමක් රතු දේවතාවා යන අකුණු වර්ගයට අයත් වේ. බොහෝ දෙනාගේ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ගැමියන් තුළ පවතින අදහසක් වන්නේ අකුණත් සමග ලෝහමය හෙවත් යකඩ කූරක් ගමන් කරන බවයි. එය එසේ සිදු නොවන දෙයකි. මෙහිදී සිදු වන්නේ අකුණු පහරේ අන්තර්ගත ප්‍රබල විද්‍යුත් ධාරාව හේතුවෙන් එහි ගමන් මාර්ගයේ තිබෙන වායු කඳන් සැණින් රත් පැහැ ගැන්වීම හෙවත් රක්තතප්ත වීමයි. මේ ක්‍රීයාවලිය නිසා පොළොවට ළගාවන අකුණ එම ස්ථානයේ සිට පොළොව මතුපිට විවිධ දිශා ඔස්සේ සැණින් ගලායයි.

රතු දේවතාවා

මෙසේ වීම නිසා පොළොව මතුපිට තිබෙන ජලය සහ වායු වර්ග ඉතා සැණැණින් සෙල්සියස් අංශක 1000ක් තරම් අධික උෂ්ණත්වයකට රත්වීම නිසා ක්ෂණික පිපිරීමක් හටගනී. මේ නිසා අකුණු ගමන් ගත් පොළොව මතුපිට මාර්ගය පැළීම්, පිපිරිම් මෙන්ම පොළොව මතුපිට වළවල් හෑරීම්වලට ද ලක්වේ.මෙසේ පොළොව මතුපිට පැළීම්, හෑරීම් වැනි දේ අකුණු පහරකින් සිදුවන නිසා අකුණත් සමඟ ලෝහමය දණ්ඩක් පොළොවට ළඟා වන බව බොහෝ දෙනා විශ්වාස කරති.

අකුණු අනතුරුවලින් වැළකීම[සංස්කරණය]

  • ශ්‍රී ලංකාවේ පිහිටීම දෙස බලන විට අකුණු ඇතිවීම අන්තර් මෝසම් කාල සීමාවලදී බෙහෙවින් සිදුවන බව පෙනේ. සෑම වසරකම මාර්තු මස සිට මැයි මුල් සති දෙක දක්වා වු කාල සීමාව ප්‍රථම අන්තර් මෝසම් කාල සීමාව යනුවෙන් හැඳින්වේ. දෙවන අන්තර් මෝසම් කාල සීමාවට ඔක්තෝම්බර් දෙවන සතියේ සිට දෙසැම්බර් දෙවන සතිය දක්වා වු කාල සිමාව අයත් වෙයි. ශ්‍රී ලංකාවේ අකුණු ඇති කරවන කැටි වලාකුළු වැඩි වශයෙන් වර්ධනය වන්නේ මේ අන්තර් මෝසම් කාලසීමාවලදීය. තත්ත්වය එසේ වුවත් වසර පුරා හට ගන්නා විවිධ කාලගුණික තත්ත්වය යටතේ අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳ වඩාත් අවදියෙන් සිටිය යුතුය.
  • ගොඩනැගිලිවල හෝ නිවෙස්වල විද්‍යුත් පරිපථ හා සම්බන්ධ වු භූගත කම්බි වල ප්‍රතිරෝධය (Eart Rod) ඕම් 10 ට අඩු වන සේ තිබිය යුතුය. මෙම භූගත කම්බිය ලෝහ දණ්ඩක් හෝ ගැල්වනයිස් පයිප්පයක් හා සම්බන්ධ කර එය අඩි 5 ක් පමණ ගැඹුරට පොළොවේ වැළලිය යුතුය. මෙය පෘථීවි ගත කිරීම යනුවෙන්ද හැඳින් වේ. භූගත කූරු හෙවත් පෘථීවි දඬු භූගත කිරීමේදී හාරා ගන්නා වළට අගුරු සහ ලූණු කැට දැමීම සන්නායකතාව වැඩි කිරීමට හේතුවක් වේ.

  • ගොඩනැගිල්ල වටා පෘථීවි දඬු කිහිපයක් සවි කර ගොඩනැගිල්ලේ විදුලි පරිපථයේ විවිධ ස්ථානවලදී පෘථීවි දණ්ඩට හොඳින් සම්බන්ධ කිරීමෙන් ප්‍රතිරෝධය අඩුකර ගැනීමට පුළුවන. ප්‍රතිරෝධය අඩු කර ගැනීම අකුණක් භූගත වීමට පහසු කරවීමකි.
  • කොන්ක්‍රීට් වලින් ගොඩනැගු ස්ථර ගොඩනැගිල්ලක් නම් එහි තිඛෙන කොන්ක්‍රීට් තට්ටු පොළොව හා සම්බන්ධ වන අන්දමට සිරස් සන්නායක කම්බි සහිත අමතර කොන්ක්‍රීට් කණුවක් ඉදිකිරිම අකුණු අනතුරුවලින් බේරීමට පහසු මාර්ගයකි.
  • නිවසක් අසල හෝ ගොඩනැගිල්ලක් අසල උසට වැඩුණු ගස් තිබීම නිවාසය හෝ ගොඩනැගිල්ල අකුණු වලින් බේරාගැනීමට පහසු මාර්ගයකි. උසට වැඩුණු ගස් නොමැති වීම එම නිවාස හෝ ගොඩනැගිල්ල අකුණු අනතුරු වලට ගොදුරු වීමට තිබෙන ඉඩකඩ වැඩි කරයි.
  • රෙදි වැල් ලෝහ කම්බිවලින් සාදා නොතිබීම.
  • තදබල වර්ෂා, ගෙරවීම සහිත විදුලි කෙටීම් ඇතිවන දිනකදී නිවසේ භාවිතා කරන විදුලි උපකරණ විද්‍යුත් පරිපථයෙන් විසන්ධි කිරීම අනිවාරයෙන්ම කළ යුතු දෙයකි.
  • විශේෂයෙන් රූපවාහීනි යන්ත්‍ර ඇන්ටනාවලින් විසන්ධි කර ඉන්පසු රූපවාහීනිය විද්‍යුත් පරිපථයෙන්ද විසන්ධි කිරීම හෙවත් (Plug) ගලවා දැමීම අනිවාරයෙන් කළ යුතුය.
  • දුරකථන භාවිතය නොකළ යුතු අතර දුරකථනයද පරිපථයෙන් විසන්ධි කිරීම නුවණට හුරුය.
  • වෙල්යායක්, ක්‍රීඩා පිට්ටනියක්, වැනි වඩාත් එළිමහන් විශාල බිම් පෙදෙස්වල මෙන්ම ඇළදොළ, වැව් හා ගංගා වැනි ජලාශ්‍රීත ප්‍රදේශවල ගැවසීමද නොකළ යුතුය. එළිමහන් පිටියකදී හෝ කුඹුරකදී හෝ එවැනි ස්ථානයකදී ආරක්ෂා වීමට නම් දෙපා එකතු කර එකිනෙකට ආසන්නව තබා හිස සහ කඳ පහතට දමා පහත් වෙන්න.
  • විශේෂයෙන් මතක තබා ගත යුතු දෙයක් නම් එවැනි විටක ජලාශවල පිහිනීම හෝ ස්නානය නොකරන්න.
  • තත්තපරයකට අකුණු පහර 3 ත් 10 ත් අතර සංඛ්‍යාවක් හට ගන්නා අවස්ථාවලදී උස් ස්ථානයක සිටිනම් වහාම පහත් ස්ථානයකට ගමන් කිරීම හෝ ඉහත සඳහන් කළ ආකාරයට පහත් වි සිටීම වඩාත්ම යෝග්‍ය වේ.
  • එළිමහනේ කටයුතු කරන අවස්ථාවලදී වියළි පාවහන් පැලිම හෝ විද්‍යුත් පරිවාරක ද්‍රව්‍යයන් හෙවත් රබර්, ප්ලාස්ටික්, වියළි දැව වැනි විදුලිය ගලා නොයෙන ද්‍රව්‍යයක් මත සිටීම අකුණු අනතුරු වලින් බේරීමට පහසු මාර්ගයක් වේ.
  • විවෘත බෝට්ටුවක නැගී ධීවර කටයුතු කරන්නේ නම් එවන් අවස්ථාවකදී අකුණූ කුණාටු ළගාවීමක් සිදු වන්නේ නම්, ඔබ බෝට්ටුවේ සිටින උසම ස්ථානය බැවින් වහා බෝට්ටුවේ දිගාවී හෝ වඩාත් පහත්ව සිටින්න.
  • බහුදින යාත්‍රාවක් නම් එහි තිබෙන ඇන්ටනාවලට ස්පර්ශ වී සිටීමෙන් වළකින්න. මුහුද මැද සිටින අවස්ථාවකදී විදුලි කෙටීම් ඇතිවන්නේ නම් අකුණු අනතුරුවලින් බේරීමට හැකි සෑම පියවරක්ම ගත යුතුය. නැතහොත් හැකි ඉක්මනින් ගොඩබිමක් වෙතට සේන්දු වීම වඩාත් යෝග්‍ය වේ.
  • පාලමක් අසල හෝ පාලමක් යට බෝට්ටුව නැංගුරම්ලා නැවතීම අනතුරුදායකය. එවක් තැනකදී ඍජු සපර්ශයක් නොමැති නැංගුරම් ලෑම් ආරක්ෂා සහිත වේ.
  • අකුණු ඇතිවන වාර ගණන අඩුවන විට, අතර මැදි කාලය වැඩිවන බැවින් ඒ අතර කාලය තුළ ආරක්ෂා සහිත ස්ථානයකට යෑමට උත්සාහ ගත යුතුය.
  • හුදකලා ගස් අසලින් ඉවත්වීම වඩාත් සුදුසුය.
  • නිවෙස් තුළදී හෝ ඉන් පිටතදී ලෝහමය ද්‍රව්‍ය පරිහරණයෙන් ඈත්වීම අකුණු අනතුරුවලින් බේරීමට තිබෙන තවත් මාර්ගයකි.

බාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අකුණු&oldid=627634" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි