සහභාගිත්ව සංවර්ධනය

විකිපීඩියා වෙතින්


සහභාගිත්ව සංවර්ධනය



හැදින්වීම[සංස්කරණය]

දිළිඳුකම පිටුදැකීම සඳහා සංවර්ධන ආකෘතිය තුළ පැවති දුර්වලතා අවම කර ගැනීෙම් අරමුණ සහිත ජනතා සහභාගිත්වය සහ පුරෝගාමිත්වය සහිත වැඩ සටහන් ක්‍රියාත්මන කිරීම සඳහා 1970 දශකයෙන් පසු ආරම්භ වූ විකල්ප සංවර්ධන ප්‍රවේශය සහභාගිත්ව සංවර්ධනය ‍වේ.මෙම සංවර්ධන ප්‍රවේශය නූතන සංවර්ධන වැඩසටහන්වල ප්‍රධාන දර්ශනය බවට පත්ව තිබේ.සාම්ප්‍රදායික සංවර්ධන ක්‍රමෝපායන් මඟින් ප්‍රජා සංවර්ධනය සඳහා වූ සේවය අවම වීම හේතුවෙන් දිළිඳුකම පිටු දැකීම සඳහා ප්‍රමුඛ සංවර්ධන ප්‍රවේශයක් ලෙස සහභාගිත්ව සංවර්ධනය සංවර්ධනය වෙමින් පවතින රටවල භාවිතා වේ.Participatory Rural Appraisal (PRA)

දිළිඳුකම යනු කුමක් ද?[සංස්කරණය]

දිළිඳුකම

සහභාගිත්ව සංවර්ධන ප්‍ර‍‍‍වේශයේ පසුබිම[සංස්කරණය]

දශක ගණනාවක් තුළ තුන්වන ලොව රටවල ක්‍රියාත්මක වූ සාම්ප්‍රදායික සංවර්ධන උපාය මාර්ග මඟින් ඇති වූ ග්‍රාමීය සංවර්ධනය බලාපොරොත්තු වූ ඉලක්ක සපුරා ගෙන නොමැත.සාම්ප්‍රදායික සංවර්ධන ක්‍රමවේදයේ දී රජය විසින් සැලසුම් සකස් කිරීම‍‍, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම් සිදු කළ අතර ඉලක්ක ජනතාව සහභාගි වූයේ ප්‍රතිලාභීන් ලෙස පමණි.මෙම සංවර්ධන ක්‍රමවේදය ඌණ සංවර්ධිත රටවල දිළිඳුකම අවම කර ගැනීම සඳහා දායක නොවී ය.

මේ අතරතුර 1970 දශකයේ දී ලෝක ආර්ථිකය විශ්වකරණය (Globalization) වීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ රටවල් එම ආර්ථික ක්‍රියාවලියට ගැළපෙන පරිදි තම රටවල රාජ්‍ය තන්ත්‍රයේ ව්‍යූහගත වෙනස්කම් (Structural Adjustments) සිදු කරන ලදි.මෙම ව්‍යූහගත වෙනස්කම්වල ප්‍රතිඵල වූයේ රජයේ සුබසාධන වියදම් කපා හැරීම, පෞද්ගලිකරණය යනාදී ක්‍රියාවලීන් ය. සුබසාධන වියදම් කපා හැරීම තුළින් දිළිඳුභාවය උග්‍ර විය.එබැවින් මෙම අභියෝගය ජය ගැනීම සඳහා දිළිඳු පිරිස උදෙසා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මතු විය. සීමිත සම්පත් වලින් වැඩි පිරිසකට ප්‍රතිලාභ සැලසීමට හැකිවන පරිදි විකල්ප සංවර්ධන ක්‍රමවේදයන් සොයා බැලීමට සංවර්ධනවේදීන් උත්සුක විය.මෙහි ප්‍රතිඵලයක්ලෙස 1970 දශකයේ සිට තුන්වන ලොව රටවල් සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය අනුගමනය කිරීමට පෙළඹුණි.

සහභාගිත්ව සංවර්ධනය අර්ථ දැක්වීම[සංස්කරණය]

සහභාගිත්ව පර්යේෂකයින් විසින් සහභාගිත්ව සංවර්ධනය අර්ථ දක්වා ඇත්තේ පහත පරිදි ය.

පොන්න විග්නරාජා (Ponna Wignaraja):- "සංවර්ධන සැලසුම් සකස් කිරීමේ දී ප්‍රතිලාභීන්ගේ උපරිම සහභාගිත්වය සලසන්නා වූත් සංවර්ධන ක්‍රියාවලියේ දී කේන්ද්‍රස්ථානයක් ලෙස ගම සලකන්නා වූත් අරමුණු කණ්ඩායම්වල සවිබලකරණය හා ප්‍රාදේශිය මට්ටමේ සම්පත් හා තාක්ෂණය භාවිතය යන උපාය මාර්ගස මත පදනම් වූ සංවර්ධන ක්‍රියාවලිය සහභාගිත්ව සංවර්ධනය වේ".

බෙන්ජමින් ඩගොදින් (Benjemin Dagodin):- "කිසියම් ව්‍යාපෘතියක් සැලසුම් කිරීම, කළමනාකරණය කිරීම යන අවස්ථාවල දී වගකීම සහ කාර්යයන් අර්ථවත් පරිදි බෙදා ගැනීම සහභාගිත්ව සංවර්ධනය වේ".

විල්ෆ්‍රඩ් කරුණාරත්න (Wilfred Karunarathne):- "විවිධ බලවේගයන් විසින් කාලයක් තිස්සේ යටපත් කරනු ලැබ තිබූ බෙලහීන ජනතාවගේ සැඟවුණ නිර්මාණාත්මක කුසලතාවයන් සාමූහික ප්‍රයත්නයන් මඟින් ඉස්මතු කර ගනිමින් ඔවුන්ට වාසිදායක වන අයුරින් පවත්නා තත්වයේ වෙනසක් ඇති කරමින් ඔවුන්ගේ ම කතෘත්වයෙන් බිහි වන සංවර්ධන ක්‍රියාවලිය සහභාගිත්ව සංවර්ධනය වේ".

සංවර්ධන ක්‍රියාවලියේ දී සැලසුම් කිරීම පිළිබඳ ව තීරණ ගැනීමේ අවධියේ සිට ඇගයීමේ අවධිය දක්වා වූ සියලු ම කාර්යයන්ට සංවර්ධනයේ ප්‍රතිලාභීන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වය මෙන්ම සංවර්ධනයට දායක වන්නා වූ රජය, බාහිර ආයතන සහ ආධාරක ආයතන වැනි ආයතන වලින් සංවර්ධන ක්‍රියාවලියට අවශ්‍ය වු සහාය සැපයීම සහභාගිත්ව සංවර්ධනය ලෙස සරල ව හැඳින්විය හැකි ය.

සහභාගිත්ව සංවර්ධනයේ මූලික ලක්ෂණ[සංස්කරණය]

සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය සහ ධනේෂ්වර සංවර්ධන ක්‍රමවේදය අතර මූලික වෙනස්කම් කීපයකි.

1. සහභාගිත්ව සංවර්ධන ක්‍රියාවලියේ මූලික ඉලක්කය වන්නේ දිළිඳු ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරා ලීම යි.ඒ අනූව වැඩසටහන් හඳුනා ගැනීම,සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිලාභ භුක්ති විදීමත් ඇගයීමත් මෙම ජන කොටස් විසින් සිදු කෙරේ.ධනේෂ්වර සංවර්ධන ආදර්ශයේ කේන්ද්‍රීය අවශ්‍යතාවය වන්නේ ලාභය යි. ඒ සඳහා ආර්ථිකය මෙහෙය වනු ලබන අතර මිනිස් ශ්‍රමය වෙනුවට ලාභදායී තාක්ෂණික ක්‍රම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරයි.

2. පහළ සිට ඉහළට විහිද යන සන්නිවේදන රටාවකට සහ නියෝග මාලාවක් අනූව වැඩසටහන් ක්‍රියාවට නඟනු ලබයි. (Up-Bottom planning)‍මෙහි දී අඩු ආදායම්ලාභී ජන කොටස්වල සක්‍රීය සහභාගිත්වය මූලික ක්‍රියාමාර්ගයක් ලෙස සලකයි.ඒ අනූව අදාළ වැඩසටහන් ආරම්භයේ සි‍ට අවසානය දක්වා වූ සෑම අදියරකදී ම මෙම සහභාගිත්වය අපේක්ෂා කරයි.

3. සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය තුළ ප්‍රතිලාභීන්ගේ නිර්මාණාත්මක හැකියාවන්, ප්‍රජාතාන්ත්‍රීය ක්‍රියාවලීන්,දේශීය සම්පත් සහ තාක්ෂණය උප‍යෝගී කර ගනී. මෙහි දී අපේක්ෂා කරනුයේ දිළිඳු ජනතාව සවිබල ගැන්වීම යි. ධනේෂ්වර සංවර්ධන ආදර්ශය අනූව ප්‍රතිලාභීන් සහ ප්‍රතිලාභය අතර මානුෂික බැඳීමක් දක්නට නැත. ප්‍රතිලාභීන් ප්‍රතිලාභ ලබන්නන් පමණක් බවට පත් වේ.

සහභාගිත්ව සංවර්ධනයේ අරමුණු[සංස්කරණය]

දිළිඳු ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා වූ විකල්ප සංවර්ධන ප්‍රවේශය සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය වේ.මෙම ක්‍රමවේදය තුළින් බලාපොරොත්තු වන අරමුණු පහත පරිදි දක්විය හැකිය.

සහභාගිත්ව සංවර්ධනය සඳහා පදනම් මූලධර්ම[සංස්කරණය]

ජනතා මූලික භාවය[සංස්කරණය]

ගොනුව:People's participation 2.jpg

සහභාගිත්ව සංවර්ධන ක්‍රියාවලිය තුළ දී ග්‍රාමීය ජනතාව ඉලක්ක නොව සංවර්ධනයේ විෂය ක්ෂේත්‍රය වේ.මෙහි මුල් අදියර වන්නේ දිළිඳු ජනතාව විසින් ඔවුන් වටා ඇති සමාජ යථාර්ථය තේරුම් ගැනීම පිණිස කරනු ලබන විමර්ශනය යි. දිළිඳුකම ඇති වීමට හේතු,ඔවුන් දිළිඳුකමේ ම රඳවා තැබීමට හේතු වන කරුණු සහ ඒ සඳහා තුඩු දුන් සමස්ත ක්‍රියාවලිය තේරුම් ගැනීමත් ඔවුන්ට වාසි දායක වන අයුරින් වෙනස් කිරීම‍ට හේතු වන ආකාරයේ සංවර්ධන වැඩසටහන් ආරම්භ කළ යුතු වේ.




විමද්‍යගතකරණය[සංස්කරණය]

සංවර්ධන වැඩසටහන් සැලසුම් කරණයේ සිට අවසන් කිරීම දක්වා ක්‍රියාවලිය තුළ සිදුවන සහභාගිත්වය ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව වැඩි දියුණු කිරීමට විමද්‍යගතකරණ ආයතන ඍජු ව සම්බන්ධ වේ.සහභාගිත්ව සංවර්ධනය ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාවලියකි.ඒ අනූව සංවර්ධනයේ සෑම අදියරකදීම මෙම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ක්‍රියාත්මක කළ හැකි අතර විමද්‍යගත කරණය වැනි උපාංග ඒ සඳහා ප්‍රබල ශක්තියක් සපය යි.

බාහිර සභිකයන්ගේ කාර්ය[සංස්කරණය]

ගොනුව:Group argent.jpg

කිසියම් ප්‍රජාවක් තුළ සමාජ සජීවිකරණ ක්‍රියාවලියක් ඇරඹීමට ඒ සඳහා විශේෂිත පුහුණුවක් ලත් ක්ෂේත්‍ර ක්‍රියාකාරකයින්ගේ මැදිහත්වීමක් අවශ්‍ය වේ.සහාය අවශ්‍ය කරනු ලබන ජනතාවට තම සංවර්ධනය සැලසුම් කිරීමට උපකාරී වීම සහ බාහිර වශයෙන් සපයා ගත යුතු වන මූල්‍යමය,ද්‍රව්‍යමය සපයා ගැනීමට සහාය වීම බාහිර සභිකයින්ගේ කාර්ය වේ.මෙබඳු සහායකයින් විපර්යකාරකයින් ලෙස හැදින්වේ. මෙම නියෝජිතයන් මඟින් ඉටු වන කාර්ය පහත දැක්වේ.

  • සංවර්ධන විඥානය ගොඩ නැඟීම
  • කණ්ඩායම් සංවිධානය සහ ආයතන ලගාඩ නැඟීම
  • බාහිර සම්පත් ග්‍රහණය
  • කුඩා ව්‍යාපාර සංවර්ධනය


කුඩා කණ්ඩායම් ප්‍රවේශය[සංස්කරණය]

ගොනුව:Working group2.jpg

ග්‍රාමීය සංවර්ධන ව්‍යායාමය සාර්ථක කර ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදයක් ලෙස කුඩා කණ්ඩායම් ක්‍රමය දැක්විය හැකිය.මෙම කණ්ඩායමක සාමාජිකයන් සාමාන්‍යයෙන් 5-15 ත් අතර ප්‍රමාණයකින් සැදුම්ලත් වේ.ස්වයං සංවර්ධනාත්මක ක්‍රියාවන් ශක්තිමත් කරලීමට අවශ්‍ය සම්පත් පදනමක් ලොඩ නැගීමේ ක්‍රියාවලියේ මූලික පියවර වන්නේ සංවිධානය වූ කණ්ඩායම් ඔවුන්ගේ ම සම්පත් එක්රැස් කොට යෙදවීමට උත්සහ දැරීම යි. මෙම කණ්ඩායම් තුළ ගොඩ නැගෙන අරමුදල ජනතා ජීවිත උසස් කිරීමේ ක්‍රියාවලියේ ආරම්භක පියවර වේ.එය මූල්‍ය කළමනාකරණය, මූල්‍ය භාවිතය හා ඉතුරුම් සංස්කෘතියක් ගොඩ නැගීමට ලබා දෙන පුහුණුවකි.

දිළිඳුකම පිටුදැකීම සඳහා ශ්‍රී ලංකාවේ සහභාගිත්ව සංවර්ධන ප්‍රයත්නයන්[සංස්කරණය]

ජාතික වැඩසටහන්


සුළු පරිමාණ වැඩසටහන්

  • විපර්යකාරක වැඩසටහන
  • සහභාගිත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන
  • නිවාස දශ ලක්ෂයේ වැඩසටහන
  • හම්බන්තොට ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන
  • මහවැලි සංවර්ධන වැඩසටහන

මූලාශ්‍ර[සංස්කරණය]

කරුණාරත්න,විල්ෆ්‍රඩ්. (1998).(සංස්)ප්‍රජාතනත්‍රවාදය සහ සහභාගිත්ව සංවර්ධනය. පීඩා ආයතනය.

ගැමි නායකත්වය සහ බල සබඳතා ගොඩ නැඟීම කෙරෙහි විපර්යකාරක වැඩසටහනේ බලපෑම. (1998). ග්‍රාම සංවර්ධන අභ්‍යාස සහ පර්යේෂණ පුහුණු ආයතනය.

දිසානායක,ප්‍රේමරත්න. (1999). ශ්‍රී ලංකාවේ ග්‍රාමීය අංශයේ ගෙවතු සංවර්ධනය පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යනයක්. පශ්චාත් උපාධි නිබන්ධනය: කොළඹ විශ්ව විද්යානලය.

විජේරාම, ලයනල්. (සංස්.) (1998). ග්‍රාම සංවර්ධනය සහ සංවර්ධනය. ග්‍රාම සංවර්ධන අභ්‍යාස සහ පර්යේෂණ පුහුණු ආයතනය: කොළඹ.


Arunasiri, P.H.L. (1992). A Comparative Study of Paticipation Rural Development Through The Change Agent and Social Mobilization Pogramme in Mathara District in Srilanka. Asia Institute of Technology: Bankok.

Emanual,De Silva. (1992). Poverty Alleviation Through Agricultural Projects: World Bank.

Silva, G.V.S Wahid, Haque and Wignaraja, P. (1988). Towards A Theory of Rural Development. Progressive publication: Layore.

Wignaraja, P. (1991). Participatory Development. Learning for South Asia. Oxford university press: Tokyo

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

http://www. http://www.gdrc.org/u-gov/doc-jica_gg.html

සබැඳි පිටු[සංස්කරණය]

දිළිඳුබව

"https://si.wikipedia.org/w/index.php?title=සහභාගිත්ව_සංවර්ධනය&oldid=291399" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි